හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 October 2013

බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (දෙවැනි කොටස) – Organisation of an Army (Part Two)


  20090521_08Aහමුදාවක සංවිධානය කෙබඳුද යන්න පැහැදිලි කරදීම සඳහා මා ඉදිරිපත්කරන, මේ ලිපියේ පළමුවැනි කොටසටඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය ලැබී තිබුණා. මේ එහි දෙවැනි කොටස. මේ කොටසේදී මම ඔබව හමුදාවක සංවිධානයේ තවත් ඉහළම තලයක් දක්වා රැගෙන යනවා. අවබෝධ කරගන්නට අපහසු සියල්ල ප්‍රශ්න අසා විසඳාගන්නා මෙන් විශේෂයෙන් ඉල්ලනවා. හමුදාවක් ශක්තිමත්ව සහ කාර්යක්‍ෂමව ක්‍රියාකරන්නේ මේ සංවිධාන ශක්තියේ ඇති ක්‍රමවත්භාවය සහ ස්ථාවරභාවය නිසාමයි. සමහරු හිතන්නේ (හමුදාව ඇතුළේ ඉන්න සමහරු පවා) හමුදාව වහල් සේවයක් කියා. මහන්සිවී වැඩ කරන්නට සිදුවන රැකියා බොහොමයක්, වහල් සේවයක් ලෙස හඳුන්වන අය, ඕනෑතරම් ඉන්නවා. නමුත් හොඳ ආත්ම ශක්තියක් ඇති තැනැත්තා, ඊනියා වහල් සේවයම, ආත්ම තෘප්තිය ඇති ස්ථානයක් බවට පත්කරගන්නවා කොයි ක්‍ෂේත්‍රයේදීත්.
  ඔබට මතකද මා මේ ලිපියේ පසුගිය කොටස අවසන් කලේ හමුදා බලඇණියක් හෙවත් Battalion එකක් දක්වා යුද හමුදාවක සංවිධානය විස්තර කරදීමෙන්. අද එතැන්සිට ඉදිරියට යමු. බලඇණිය ළඟට ඉහළින් තිබෙන හමුදා සංස්ථාව තමයි බලසේනාව – Brigade බලසේනාවක් සකස්වීමට නම් අවම වශයෙන් බලඇණි තුනක්වත් එක්වන්නට ඕනේ. ඔබ හිතන්න පුළුවන් ‘බලඇණියක් කියන්නේ ලොකු සංවිධානයක්නේ. ඉතින් මොකටද බලසේනා හදන්නේ. බලඇණියකට පුළුවන්නේ යුද්ධ කරන්න’ කියා. එහෙම කරන්න බැහැ. ඔබ හොඳින්ම දන්නවනේ, අතේ එක ඇඟිල්ලකින් ගහන පාරකට වඩා, ඇඟිලි ඔක්කොම එකතු කරලා මිට මොලවලා ගහන පහර, වඩා ශක්තිමත් සහ ප්‍රතිඵලදායී බව. ඒ වගේ තමයි, හමුදාවක සාමූහික සංවිධාන ශක්තිය නිසා තමයි, යුද්ධ දිනන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු කොහොමද පාබල හමුදා බලඇණි වලින් යුත් බලසේනාවක් Infantry Brigade සිතියමක පෙන්වන්නේ කියලා. මේ පහළින් දැක්වෙන්නේ ඒ සංකේතයයි.
Brigade
  මේ සංකේතය තුළ විස්තර ටිකක් තියනවා. කතිරයක් සහිත කොටුවට ඉහලින් තියන පොඩි කතිරය මගින් බ්‍රිගේඩ් එකක් කියලා හඳුන්වන අතර, කොටුව තුළ ඇති ලොකු කතිරය මගින් මෙය පාබල හමුදා බ්‍රිගේඩ් එකක් බව පෙන්වනවා. මතකද පසුගිය ලිපියෙන් මා ඔබට කියාදුන්නා ඛණ්ඩයක් හෙවත් Platoon එකක් ලකුණු කරන හැටි. ඉතින් කොහොමද පාබල හමුදාවේ ඛණ්ඩයක් කියලා සිතියමේ ලකුණු කරන්නේ? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. බලන්න ඒ සංකේතය සමග මා එය පහත පැහැදිලි කර තිබෙනවා.
section
හාපෝ………. මේ කෙහෙම්මල් ඉගෙනගන්නවට වැඩිය හොඳයි කුලියට පොල් කඩන්න ගියානම් කියලා හිතෙනවද? මම බොහෝවිට මගේ ලිපිවල කියන ආකාරයට මේ ගැන උනන්දුවක් නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා.
  අපි කතාකර කර හිටියේ බලසේනාව ගැන නේ. දැන් ඔබ දන්නවා හමුදාවක විවිධ කාර්යයන් සඳහා බලඇණි තිබෙන බව. පාබල, ඉංජිනේරු, වෛද්‍ය, වැනි විවිධ කාර්යයන් සඳහා බලඇණි තිබෙනවා. බ්‍රිගේඩ් හෙවත් බලසේනා සෑදීමෙදීත්, එවැනි විෂයයකට අදාලව සකසන්න පුළුවන්. ඉතින් කොහොමද වෛද්‍ය බලසේනාවක් යුද්ද කරන්නේ? කවුද කිව්වේ වෛද්‍ය බලසේනාවක් තනියම යුද්දෙට යවනවා කියලා? මෙන්න මෙහෙමයි වෙන්නේ. පරිපාලන කටයුතු පහසු කරගැනීම සඳහා තමයි විෂයයන් සහ කාර්යභාරය role and task අනුව බලසේනා හදන්නේ. යුද්දෙට යන්නේ පාබල බලසේනා නේ. ඉතිං ඒ පාබල බලසේනාවට වෛද්‍ය, ඉංජිනේරු, කාලතුවක්කු, යුද ටැංකි, සංඥා, සැපයීම්, හමුදා පොලීසිය, බුද්ධි අංශය, ආදී එකී මෙකී නොකී (ජුකී? :D ) ඔක්කොම අනෙකුත් බලකාය වලින් අවශ්‍ය ප්‍රමාණයට කොටස් අමුණනවා. (යා කරනවා) කිලිනොච්චියේ තියන බලසේනාවට කාලතුවක්කු බතරොයි දෙකක් දීලා, (මේ, එකක් කියන්නම්. දැන් අහන්න එපා බතරොයි ගැන. කාලතුවක්කු ගැන කියලා දුන්නා මතක නැද්ද?) මැදවච්චියේ බලසේනාවට එක කාලතුවක්කුවක්වත් නොදී ඉන්න පුළුවන්. හේතුව යුද්දයේ තත්වය theatre of war අනුව තමයි ඒ ඒ බලසේනාවට එක් එක් සහායක හමුදා වලින් මෙපමණ අය/උපකරණ  අවශ්‍යයි කියලා තීරණය කරන්නේ. ඔය පත්තර වලින් යුද්ද කරන උන්නැහේලා ඇවිත්, බලසේනාවක් සංවිධානය කරගන්න, අපි ඒ කාලේ විඳපු දුක දැක්කනම්, අවම පහසුකම් නැතුව අපේ කොල්ලෝ යුද්ද කරපු හැටි දැක්කනම්, තමන්ගේ අමුඩය ගලවලා, ඒකෙන් බෙල්ල හිරකරගෙන මැරෙනවා.
  මේ ලිපි ලිවීමෙන් මා බලාපොරොත්තුවන තවත් දෙයක් තිබෙනවා. හමුදාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන බොහෝදෙනෙක් හිතන්නේ ‘කොල්ලො ටිකක් හමුදාවට බඳවාගෙන, වම දකුණ (වඃ ජඃ) කියලා ගමන් කරන්නයි, වෙඩි තියන්නයි උගන්නලා, ඊට පස්සේ කාලතුවක්කු යුද්ද ටැංකි වලින් ගහලා, ඊළඟට පාබල හමුදා කඩා පැනලා, හතර අතේ වෙඩි තියලා, සතුරන්ව මරණ එක තමයි යුද්ද කරනවා කියන්නේ’ කියලා. අනේ එහෙම දඩි බිඩි ගාලා යුද්ද කරන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉදිරි කාලයේදී, මා ඔබ සමග එක්වී, හමුදා ප්‍රහාරයක් සැලසුම් කරන්නබලාපොරොත්තූ වෙනවා. සූදානම්ව සිටින්න. සමහර අයට නම් බාගයක් කියවද්දී එපාවෙයි.  හැබැයි ඔබ දැනටමත් ’වීර පෙම්වතෙක්’ නම්, ඒ ලිපිය/ලිපි ඔබට අතිශයින් ප්‍රයෝජනවත් වෙයි.
  බලසේනාවක් යුද්දෙට යන්නේ මා ඉහත සඳහන් කල පරිදි තමන්ගේ ප්‍රධාන පාබල බලඇණි සහ කාලතුවක්කු, යුද ටැංකි, කමාන්ඩෝ/විශේෂ බලකාය, සංඥා, වෛද්‍ය, වැනි වෙනත් අංශ රාශියක් ඔවුන්ට ආවේනික භූමිකාවේ classic role යොදවමින්. ඉතින් මේ ඔක්කොමලා යුද පෙරමුණට ඇදගෙන යන්නේ නැහැනේ. කාලතුවක්කු තියෙන්නේ සමහරවිට බලසේනා මූලස්ථානයටත් වඩා පසුපසින් වෙන්න පුළුවන්. වෛද්‍ය බලකායේ කීප දෙනයි ළඟම ඉන්නේ. යුද පෙරමුණට ටිකක් පසුපසින් තමයි වෛද්‍ය බලකාය ඉන්නේ. තුවාලකරුවන් බාරගෙන, හදිසි ප්‍රතිකාර ලබාදී, ඔවුන්ගේ තුවාල වල ස්වභාවය අනුව වර්ග කර, (ඒ වර්ග කිරීම ගැන වෙනම ලියන්නම් පස්සේ) ගොඩබිමෙන්, අහසින්, මුහුදෙන්, වහාම ඊළඟ ඉහල වෛද්‍ය මධ්‍යස්ථානයට හෝ හමුදා/සිවිල් රෝහලට යැවීම තමයි ඔවුන් කරන්නේ. කමාන්ඩෝ හෝ විශේෂ බලකා කණ්ඩායම් වලට බාරදෙන්නේ ඉතා වැදගත් තීරණාත්මක සහ දඩි සටනකට මුහුණ දෙන්න වෙත තැන්. බලසේනා මූලස්ථානයේ උපක්‍රමික මූලස්ථානයක් යුද භූමියේ තබාගන්නට පුළුවන්. උපක්‍රමික මූලස්ථානය කියන්නේ භූමියේ එක තැනක ස්ථිරව පිහිටුවා නැති, අවශ්‍යතාව අනුව තැනින් තැනට වෙනස් කරන, කියන තේරුමයි. උපක්‍රමික මූලස්ථානයේ තම කාර්ය මණ්ඩලය සමග ඉන්න බලසේනාධිපතිවරයා තමන් යටතේ තිබෙන බලඇණි වලට අණදෙනවා. ඒ ඒ ක්‍රියාන්විත තත්වය අනුව. සාමාන්‍යයෙන් බලසේනාවක ඉන්න සම්පූර්ණ පිරිස 3000 ක් පමණ වෙන්න පුළුවන් අපේ රටේදී. වෙනත රටවල එය 5000 ක් පමණ වෙනවා. බලසේනා මූලස්ථානයක ඉන්න අය කවුද?
  • ප්‍රධානියා බලසේනාධිපති (බ්‍රිගේඩියර් brigadier වරයකු වියයුතුයි)
  • ප්‍රධාන ශාඛාව - General Branch භාර මාණ්ඩලික නිලධාරියා (අපේ හමුදාවේ නම්  ඉන්නේ බලසේනා මේජර්) මේ අංශයෙන් තමයි ක්‍රියාන්විත කටයුතු කෙරෙන්නේ. (යුද්ද කරන්නේ) ප්‍රධාන ශාඛාව යටතේ බුද්ධි නිලධාරියකු, සංඥා නිලධාරියකු, වැනි තවත් මාණ්ඩලික නිලධාරීන් සහ අදාළ අංශ තිබෙනවා.
  • පාලන සහ භාටකාර්ය සම්පාදන ශාඛාව Administration and Quartering Branch  භාර මාණ්ඩලික නිලධාරියා. (අපේ හමුදාවෙ නම් මේජර් පාලන සහ භාටකාර්ය සම්පාදන) මේ අංශයෙන් තමයි සොල්දාදුවන්ගේ අවි සහ පතරොම්, කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, භට පිරිස් සඳහා ප්‍රවාහන පහසුකම්, තුවාල වී රෝහල්ගත අය ගැන කටයුතු කිරීම, වැටුප්, ආදී සියල්ල සකසා දෙන්නේ. මේ අංශය යටතේ උපකරණ පාලක නිලධාරි සහ තවත් දෙවැනි මට්ටමේ පාලන නිලධාරියකු ඉන්නවා අපේ හමුදාවෙ නම්.
  • පාබල රෙජිමේන්තු එකකට හෝ කීපයකට අයත් බලඇණි කීපයක් බලසේනාව යටතේ යුද බිමේ වෙනත් තැන්වල ස්ථානගත කර තිබෙනවා.
  • අවශ්‍යතාව අනුව යුද ටැංකි කණ්ඩායමක් Squadron, කාලතුවක්කු බතරොයියක් Battery, බිම්බෝම්බ සහ මරඋගුල් ඇටවීමේ  මෙන්ම සතුරු බිම්බෝම්බ සහ මර උගුල් ඉවත්කරන ඉංජිනේරු පෙළ කීපයක් Engineer Teams, වාහන, ඉන්ධන, කෑමබීම සැපයීම සඳහා සේවා බලකායට අයත් කණ්ඩායමක් Squadron, (ඉන්ධන සහ වියලි/අමු ආහාර ගබඩා පහසුකම් සහිතව), වෛද්‍ය බලකා නියෝජිතයන් කීපදෙනෙක්, (වෛද්‍යවරුන් නෙවෙයි හෙද පුහුණුව ලත් අය) සතුරු පණිවිඩ හුවමාරු ග්‍රහණය කරගන්න විශේෂ ගුවන්විදුලි උපකරණ සහිත සංඥා සෙබළුන් කීපදෙනෙක්, යුදබිමේ සිටින පාබල බලඇණි සමග හෝ වෙනත් සුදුසු ස්ථානවල රඳවා සිටිනවා/තිබෙනවා. 
  දැන් අපි බලසේනා මූලස්ථානය පසුකරගෙන යමු ඊළඟ ඉහල ආයතනයට. ඒ තමා සේනාංකය  හෙවත් Division. සේනාංකයකට අණදෙන්නේ මේජර් ජෙනරල් වරයකු විසින්. සේනාංකයක් යටතේ බලසේනා කීපයක් (අවම වශයෙන් තුනක් වත්) තිබෙනවා. සේනාංකයකට ඇතුලත් පිරිස 6000 – 8000 පමණ වියහැකියි අපේ රටේදී. වෙනත් රටවල 15000 ක් පමණ වෙනවා. ඔබ දැන් හමුදා සිතියම් ලකුණු කිරීමේ සංකේත පිළිබඳව කිසියම් දැනුමක් ලබාතිබෙන නිසා, අනුමානයෙන් කියන්න පුළුවන් වියයුතුයි පාබල සේනාංකයක් පෙන්වන සංකේතය. මේ පහළින් තිබෙන්නේ එයයි. බලසේනාවට එක කතිරයක් යෙදූ ආකාරයට සේනාංකයට යොදන්නේ කතිර දෙකක්.
Div
  සාමාන්‍යයෙන් සේනාංක මූලස්ථානයක් පිහිටවන්නේ යුද පෙරමුණේ සිට සැලකියයුතු දුරක් පසුපසින්. සතුරු කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වියහැකි සීමාවට වඩා පසුපසින්. සමහරවිට කිලෝමීටර් 40 – 50 වෙන්නත් පුළුවන්. එයට හේතු රාශියක් තිබෙනවා. මෙන්න මේවා තමයි හේතු.
  • ප්‍රධානියා මේජර් ජෙනරල් Major General කෙනෙක් බව දන්නවනේ.
  • යුද පෙරමුණේ අවශ්‍යතා සඳහා හදිසි අවස්ථාවකදී යැවීමට සූදානම්ව සිටින භටපිරිස් සේනාංක මූලස්ථානයේ ඉන්නවා. ඔවුන්ව සතුරු ප්‍රහාර වලින් ඈත්ව තබා ගත යුතුයි. ඒ නිසා සේනාංක මූලස්ථාන යුදබිමෙන් ඈත්ව පිහිටුවිය යුතුයි.
  • සේනාංක මූලස්ථානයක් කියන්නේ බලසේනා කීපයකට (අවම වශයෙන් තුනක්වත්) අණදෙන ඉතා ඉහළ මූලස්ථානයක්.  ඒ නිසා එය සතුරු ප්‍රහාර වලට ලක්නොවන තැනක තබාගැනීම අතිශයින් වැදගත්. ඉතා වැදගත්, රහසිගත, තීරණාත්මක සංග්‍රාමික වැඩපිළිවෙල සංවිධානය කරන මූලස්ථානයක් ලෙස සේනාංක මූලස්තානයක ඇති වැදගත්කම වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.
  • බලසේනා වලට අවශ්‍ය සියලුම ආකාරයේ සැපයුම් සේනාංක මූලස්ථානයේ ගබඩාකර තිබෙනවා. (අවි පතරොම්. කෑම බීම, උපකරණ)  සතුරු ප්‍රහාරයකින් ඒවාට හානියක් වුනොත් යුදබිමේ ඉන්න සෙබලාට තමයි විඳවන්න සිදුවන්නේ.
  • සේනාංක මූලස්ථානයක ක්‍ෂේත්‍ර රෝහලක් තිබෙන්නත් පුළුවන්. ඉතින් එහි ප්‍රතිකාර ලබන සියලුදෙනා, වෛද්‍ය/හෙද කාර්ය මණ්ඩලය, රෝහලේ සියලු සේවා සහ පහසුකම් ආරක්ෂාකාරීව තබාගන්න ඕනේ.
  • සේනාංක මූලස්ථානයේ ඉන්න සේනාංකාධිපති විශාල භූමි ප්‍රදේශයකට අණදෙන ඉතා ඉහල මට්ටමේ නිලධාරියෙක්. එමෙන්ම  ඒ මූලස්ථානයේ සිට සටන් මෙහෙයවන ප්‍රධාන ක්‍රියාන්විත මැදිරිය Operational Room එහි පිහිටවා තිබෙනවා. එය අතිශයින්ම වැදගත් යුද රහස් තිබෙන ස්ථානයක්. හමුදාපති ඇතුළු විවිධ මට්ටමේ ජ්‍යොෂ්ඨ (සමහරවිට ත්‍රිවිධ හමුදාවේම) නිලධාරීන් මෙහි පැමිණ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා පවත්වනවා. ඒ නිසා සේනාංක මූලස්ථානය යුදබිමෙන් ඈත්ව ආරක්ෂිතව තිබිය යුතුයි.
  සේනාංක මූලස්ථානයක තිබෙන වැදගත් සියල්ල පෙනෙන ආකාරයට සිතියමක ලකුණු කිරීම සඳහා එක කොටුවක් (කොඩියක්) මදිවෙනවා. කොඩි ගහක්ම හිටවන්න වෙනවා :D සේනාංක මූලස්ථානයක තරම පෙන්වන්න. ඔන්න පහතින් එය රූපයකින් විස්තර කර තිබෙනවා. මෙය තරමක් සංකීර්ණ සංකේතයක්. ඒ සංකේතයේ ඇති උප කොටස් මා විස්තර කර තිබෙනවා ඔබේ අවබෝධය සඳහා.
Div Hq
  ‘හාපෝ……….ආමිඑක නම් එපා’ කියලා හිතෙනවා නේද? මතකතියාගන්න මම මේ පෙන්වලා තියන සංකේත නිකම් විහිළුවක් විතරයි. මීටවඩා අතිශයින් සංකීර්ණ සංකේත තිබෙනවා. පසුව වෙනම ලිපියකින් බලමු. මේ සංකේතය සකස් කිරීමේදී ජ්‍යොෂ්ඨතා අනුපිලිවෙළ සලකා තිබෙන්නේ, රෙජිමේන්තු ජ්‍යොෂ්ඨතාවය මෙන්ම, ඒ ඒ භට පිරිසේ විශාලත්වයද සැලකිල්ලට ගනිමින්. කවුද මේවා සිතියමක ලකුණු කරන්නේ? ඕනෑම හමුදා බලඇණියක/බලසේනාවක/සේනාංකයක/ ක්‍රියාන්විත කටයුතු වලට සම්බන්ධ නිළධාරීන් විසින් තමයි කරන්නේ. (කෝප්‍රල් සහ ඉන් ඉහළ නිළ වලින් තෝරාගත් අයත් සුළු ප්‍රමාණයක් විශේෂයෙන් පුහුණුකර යොදාගන්නවා ඉතා සීමිතව අපේ හමුදාවේ. එයට හේතුව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ප්‍රශ්නය සහ නිළධාරි පුහුණුවේදී මේ පිළිබඳව ඉගෙන ගන්නා ගැඹුරු විෂයය කරුණු ඔවුන් නොදැන සිටීමයි) මේ සිතියම් යුදබිමටත් අරන් යනවා. ඒ සඳහා විශේෂයෙන් සකස්කළ හමුදා සිතියම් තිබෙනවා. වතුරට ඔරොත්තුදෙන ඝන පොලිතීන් කවරයක දාගෙන යන්නේ. සිතියම එළියට ගන්නේ නැතුව බලන්න පුළුවන්. මෙන්න බලන්න අරන්යන හැටි. හැබැයි පුතෝ, මේ සිතියමක් සතුරාට අහුවුනොත් එහෙම, තත්වය බොහොම භයානකයි.
In The Field
පින්තූරය ගත්තේ මෙතනින්
  මේකා බයේ නේද මෙහෙම පස්සට වෙලා යන්නේ? නැහැ නැහැ. මෙයා වැදගත් රාජකාරියක් කරනවා. මේ තමයි මෙතන ඉස්සරහින් යන පිරිසේ කොතැනක හරි ඉන්න ප්‍රධාන නිළධාරියාගේ සංඥාකරු. signalman / runner කියලත් කියනවා. නිළධාරියාට සිතියම බලන්න ඉල්ලුවාම හෝ නිළධාරියාට වෙනත් කා සමග හෝ පණිවිඩ හුවමාරුවක යෙදෙන්න අවශ්‍ය වූ විට පමණයි මෙයාව ඉදිරියට ගෙන්වාගන්නේ. මේ සිතියම ඔබ දැක්කොත් පිස්සු හැදෙනවා මේකේ ලකුණු කරලා තියන සංකේත දැකලා.  අදට මේ ඇති නේද?
  බලන්ඩකෝ වැඩේ. යුද හමුදා මූලස්ථානය තවම ළඟපාතක නැහැ වගේ………. මොනවා කොරන්ඩද. ඔන්න ඔහේ කතා කර කර යන්කො ඉස්සරහට. ඔය කොහෙහරි තිබිලා ඒකත් හම්බවෙන්නේ නැතෑ.
my-signature-for-blog[1]  2013 ඔක්තෝබර් මස 23 වැනි දින 0005 පැය

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }