හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 February 2012

ඉස්කෝලේ යන කාලේ 11

 මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියන්න කියලා ‘හීනලන්තයේ හ‍රී’ කියලා තිබුනා. ඇත්තටම මට ශිෂ්‍යභට ජීවිත දෙකක් තියනවා. 1. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ගතකල ශිෂ්‍යභට ජීවිතය. 2. යුද හමුදා ශිෂ්‍යභට ජීවිතය. එයින් අද ලියන්නේ පාසල් ශිෂ්‍යභට ජීවිතය ගැන. අපි පාසල් ශිෂ්‍යභට ජීවිතය ගතකලේ 1966 සිට 1973 පමණ වනතුරු. ඒ කාලයේ මුලින්ම තිබුනේ ලංකා ශිෂ්‍යභට බලකාය (Ceylon Cadet Corps – C.C.C) ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු එය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය (Sri Lanka Cadet Corps – S.L.C.C.) බවට පත්වුනා. පහල තියන පින්තූර තුන බලන්න ටිකක් ඈත් වෙලා. මොකද ඔබට යන හිනාවට කොම්පියුටරයට හානි වෙයි.
  දියතලාවේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් යුද හමුදා කඳවුරේ තමයි, ඒ කාලයේ ලංකාවේ සියලුම පාසල් ශිෂ්‍යභට කඳවුරු පැවැත්වුනේ. අද ශ්‍රී ලංකා ශිෂ්‍යභට පුහුණු කඳවුරු පවත්වන රන්ටැඹේ කඳවුර පිහිටවූයේ 1980 දශකයේ කියායි මගේ මතකය. එයට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම සඳහා, විශාල වශයෙන් යුද හමුදා භට පිරිස් පුහුණුව, නොකඩවාම කරගෙන යාමට සිදුවූ බැවින්, දියතලාව කඳවුර පාසල් ශිෂ්‍යභට පුහුණුව සඳහා ඉඩ දීමට කාලය නොමැතිවීමයි. අපේ කාලයේදී දියතලාවේ ගමන ඉතා මිහිරි මතකයන් රැසක් ගෙන දෙන්නක්. අපි දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්. කුරුනෑගල , අනුරාධපුර, කෑගල්ල, ආදී දිස්ත්‍රික්ක ගණනාවක පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙලින්. ශිෂ්‍යභටයන්ටම වෙන්වූ විශේෂ දුම්රියක් මේ සඳහා කොළඹ සිට දියතලාව දක්වා ධාවනය කෙරුනා. එය කොතරම් සංවිධානාත්මකදැයි එක උදාහරණයක් කියන්නම්. යම්කිසි දුම්රියපලකින් ශිෂ්‍යභට ඛණ්ඩයක් දුම්රියට ගොඩවෙනවානම් දුම්රිය වේදිකාවේ ඒ පාසලේ නම සුදු හුණු වලින් ලියා තිබෙනවා. දුම්රිය පෙට්ටියෙත් අදාළ පාසලේ නම ලියා තිබෙනවා. දුම්රිය පැමිණ වේදිකාවේ ඒ පාසලේ නම තිබෙන තැනට අදාළ දුම්රිය පෙට්ටිය පිහිටනසේ නවත්වනවා. දුම්රිය ස්ථානයෙන් කල්තබා නිවේදනය කරනවා මීළඟට පැමිණෙන දුම්රිය ශිෂ්‍ය භටයන්ට පමණක් බව. ඒ තරම් සංවිධානාත්මකයි. ඒ වගේම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භට කණ්ඩායම් ගමන් ගත්තේ රාත්‍රී දුම්රියෙන්. එයද විශේෂයෙන් වෙන්කළ දුම්රියක්. ඒ ගමනේ අත්දැකීම් බොහොමයි. 1969 දී අපි රාත්‍රී දුම්රියෙන් යන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්යාර්ථීන්ට හූ සංග්‍රහයක් දීගෙන ගියා. අපි ආපසු එන දවස තෙක් බලාසිටි ඔවුන් අපිව නෑවෙන්න චූ පිරවූ පොලිතීන් බෑග් සංග්‍රහයක් කළා. රාත්‍රී දුම්රියේ යන අතර රේල් පාරේ සිටින ලයින්මන්ලාව බාල්දියකට ගත් සීතල වතුරෙන් නාවාගෙන යන්නටත් අපි අමතක කරන්නේ නැහැ. හැටන් පසුවූ විට ඇත්තේ අධික සීතලක්. වතුර පාර වැදුනුවිට ඔවුන් කරන්නේ ඇඳිවත උස්සා පෙන්වීමයි.
 
  ශිෂ්‍යභට පුහුණුවේ අමතක නොවන දෙයක් තමයි මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් රාත්‍රී කාලයේදී භූමියේ ගමන් කිරීම. මෙහිදී ගමන් කරන්නට වන්නේ සම්පූර්ණ අඳුරේ. කිසිම එළියක් (ටෝච්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්,) ගෙනයාම තහනම්. (ඒ කාලේ ජංගම දුරකථන කියන නම අපි අහලාවත් තිබුනේ නැත. එය ලෝකයේ කොහෙවත් නිපදවා තිබුනේද නැත.) ගෙන ගියත් උපදේශකයන් කියන අවස්ථාවකදී පමණයි පාවිච්චි කල හැක්කේ. සීතල දියතලාවේ, මහ රෑ යන මේ ගමන එක අතකට ටිකක් භයානකයි. කටු කම්බි වැටවල්, මඩ ගොහොරු, දිය පහරවල්, ජලාශ, ආදිය තියන නිසා. වරක් යුද හමුදා පුහුණු භට පිරිසක් මඩ ගොහොරුවක එරීමෙන් ජීවිත හානි සිදුවුනා. මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් ගමන් කරන හැටි මීළඟ ලිපියෙන් කියන්නම්.

බේබද්දෝ



මේ කතා කීපය යලිත් මතකයට නැගුන නිසා ලියන්නට හිතුනා. සමහරවිට මේ ඔක්කොම ඔබ කලින් අසා ඇති. එහෙම අය අනේ මට බනින්න එපා. මේ කතා නොදන්නා අයත් ඇතිනේ.


1. කන පැලෙන්න  බීගත්ත යාළුවො තුන් දෙනෙක් දුම්රියපළට ආවා. ‘කෝච්චියට නැගීම කොහොම වෙතත් කෝච්චියට බෙල්ල තියයිද මේ යක්කු’ කියලා හිතපු දුම්රිය ස්ථානාධිපති වරයා, ඔවුන්ට නොදැනෙන්න, පෝටර් වරයෙකුත් සමග ඔවුන් අසලින්ම වාගේ සිටියා. දුම්රිය අවා. අර යාළුවො තුන්දෙනා එකිනෙකාව දුම්රියට නග්ගන්න මහන්සි වෙනවා. ‘කෝච්චිය පිටත් වෙන්න කලින් නොනැග්ගොත් අද්දන කෝච්චියට නගින්න ගිහින් මුන් නහිනවා’ කියා තමන්ටම කියාගත් ස්ථානාධිපති  වරයා පෝටර් වරයාත් සමග එක්වී අමාරුවෙන් දෙන්නෙක් කෝච්චියට දැම්මා. නමුත් මේ වනවිට කෝච්චිය අද්දනවා. තුන්වැනියා කෝච්චියට දාන්න බැරි තරම් කෝච්චියේ වේගය වැඩියි. ස්ථානාධිපති වරයා තුන්වනියාට මෙහෙම කිව්වා. ‘බොහොම කනගාටුයි මිස්ටර්, ඊළඟ කෝච්චිය ආවහම යන්න’.  ඒ මනුස්සයා වෙරි හිඳුන ලීලාවෙන් ස්ථානාධිපති දිහා රවලා බලලා මෙහෙම කිව්වා. ‘මොන මගුලක්ද ඕයි තමුසේ මේ කලේ. අරුන් දෙන්නා අවේ මාව කෝච්චියට ඇරලන්න’.


2. දවසේ වැඩ රාජකාරි අවසන් කරලා, පොඩි ඕවර් ටයිම් පාරක් දාගත්ත රජයේ හෝ පුද්ගලික අංශයේ සේවකයෝයි, දහසක් වැඩ රාජකාරි සඳහා නගරයට පැමිණ, ප්‍රමාදවී ආපසු ගෙදර යන අයයි. නොයෙක් සුළු වෙළඳාම් කටයුතුවල යෙදී ආපසු යන අයයි ආදී වශයෙන් විවිධ ජාතියේ අයගෙන් පිරුන, නගරයේ සිට ගමට යන අන්තිම බස් එක හොඳ ගානට සප්පායම් වූ අයගෙනුත් අඩුවක් නැතුවයි ධාවනය වෙන්නේ. කොන්දොස්තර ඉස්සරහ දොරෙන් නගිනකොටම හරහට ලොකු බඩු මල්ලක්. ‘කවුද බඩු දැම්මේ? කොන්දොස්තර ගෝරනාඩු කරා. පස්සම සීට් එකෙන් උත්තර ආවා. තොල්දෙක සහ දිව තියෙන්නේ කොහෙද කියා මතක නැති පදමට හිටිය පුරුෂ රත්නයක් මෙහෙම උත්තර දෙනවා. ‘බ් බ් බඩු දැම්මේ මම. ම් ම් ම් මගේ සල්ලි වලින් හන්දියේ බාර් එකෙන් දැම්මේ. ත් ත් ත් තමුසෙට මොකද මම බඩු දැම්මම?’


3. ඉතින් ඔය බස් එකේ යන්නේ ගමේ කට්ටියනේ. ඒගොල්ලෝ බහින තැන කියන්නෙත් ඒ පැත්තටම විශේෂ වූ ක්‍රමයකට. ‘මඤ්ඤොක්කා ගහ යට කඩේ ළඟ බහිනවා’ කියන්නේ, ඒ හරියේ තියන පොඩි කඩයක මිදුලේ ලොකු ‘හෙවන මඤ්ඤොක්කා’ ගහක් තිබුන නිසා. ‘තක්කාලි වංගුවේ බහිනවා’ කියන්නේ, කලකට ඉහත එතන තක්කාලි ලොරියක් පෙරලුන නිසා. ඉතින් ඔහොම යන අතරේ එක මනුස්සයෙක් කෑගහලා කිව්වා ‘ඉස්සරහ හුඹහ ළඟ බහිනවා’ කියලා. ඒ හරියේ පාර අයිනේ ලොකු හුඹහක් තිබුනා. ඉතින් ඒ මනුස්සයා බස් එකෙන් බැස්සට පස්සේ, අර පස්සම සීට් එකට වෙලා, ‘බඩු දාලා’ හිටපු මනුස්සයා, කොන්දොස්තරගෙන් අහනවා, ‘ මල්ලී නයෙක්ද බැස්සේ?’ කියලා.

27 February 2012

සුවඳ හමන ‘නයිට් ගාඩ් එක’


මේ සිදුවීම් කීපයට මා මුහුණ දුන්නේ 2002 දී පමණ බවයි මගේ මතකය.එවකට මා සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකුත්,  මුලතිවු දිස්ත්‍රික්කයේ කොටසකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසකුත් අයත්වනලෙස පිහිටවා තිබුන බලසේනා මූලස්ථානයකයි. මේ මූලස්ථානයේ කඳවුරු ආරක්ෂාව  සඳහා කාන්තා බලකායට අයත් භට ඛණ්ඩ දෙකක් යොදවා තිබුනා. ඒ සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් කරන ලද කඳවුරු ආරක්ෂක මුරයට අමතරවයි. කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ට දී තිබුනේ දිවා කාලයේ මුරය සහ රාත්‍රී කාලයේ සූදානමින් සිටීම පමණයි.

කාන්තා සෙබලියන් සිටීම පිරිමි සෙබළුන්ගේ චිත්ත ධෛර්යය, වික්‍රමාන්විත බව, රාජකාරි උනන්දුව වැඩිවීම, කෙරෙහි බලපාන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. ඒ උනන්දුව සීමාව ඉක්මවා යාම නිසා යම් යම් ප්‍රශ්න කාලීනව ඇතිවූ අතර, යුදහමුදා නීතිය සහ මානුෂීය ගුණධර්ම යන දෙකම සංකලනය කරගනිමින් ඒ ප්‍රශ්න නිරාකරණය කර ගන්නට අපට හැකි වුනා.

එක් වරක්  බලසේනාවට අයත් යුද හමුදා ඒකක අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කෙරුනා. නොකඩවා යුද්ධයේම යෙදී සිටින සොල්දාදුවන්ට කිසියම් මානසික සහනයක් ලබාදී ඔවුන්ගේ ආතතිය දුරු කිරීමටයි එවැනි දේ සංවිධානය කෙරෙන්නේ. මේ තරගාවලියේදී බලසේනා මූලස්ථාන කණ්ඩායමට ආධාරයක් වශයෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්යය, නැංවීමට ජයඝෝෂා කණ්ඩායමක් (Cheering Squad) ලෙස කාන්තා බලකායේ සෙබලියන් කණ්ඩායමක් ද නම් කෙරුනා. අවාසනාවකට මෙන් ක්‍රිකට් කණ්ඩායම සහ ජය ඝෝෂා කණ්ඩායම ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය අතරමගදී පෙරලුනා. කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවුනේ නැහැ. සුළු සීරීම් තැලීම් පමණයි. මේ සිද්ධිය අලලා අනෙකුත් බලඇණි විසින් ‘කාඩ්’ ගහන්නට පටන් ගත්තා . මොකද ඔවුන්ට එවැනි ජයඝෝෂා කණ්ඩායමක් නොසිටි නිසා.  ට්‍රක් එක පෙරලෙන්නට පෙර සෙබලියන් සහ සෙබළුන් ගමන් ගත්තේ ට්‍රක් එකේ පසුපස කොටසේ එකිනෙකට මුහුණලා ඇති ආසන පේලි දෙකෙයි. ට්‍රක් එක පෙරලුනේ සෙබලියන් උඩුබැලි අතට සිටිනසේ. එවිට සෙබළුන් කෙලින්ම ඔවුන්ගේ ඇඟ මතට වැටෙනවා. සමහර සෙබළියන්ට තැලීම් තුවාල ඇතිවී තිබුනේ ඒ හේතුවෙන්. හොඳම ‘කාඩ් එක’ මේකයි. ඔන්න ඉතින් දැන් ට්‍රක් එක පෙරලිලාලු. සෙබළු සෙබළියන්ගේ ඇඟ උඩලු. සෙබලියෝ කෑගහනවලු ‘අනේ අයින් වෙන්න, අපිව බේරගන්න’ කියලා. එතකොට සෙබළු කියනවලු, ‘හා හා එහෙම කරන්න බැහැ. යුද හමුදා නීතිය අනුව යුද හමුදා පොලීසියෙන් එනතුරු, අනතුරට සම්බන්ධ කිසිවක් වෙනස් කිරීම තහනම්, ඒ නිසා ඔහොම ඉන්න’ කියලා. (නමුත් එය ඇත්තක් නොවන බව ඔබේ දැනගැනීමට මෙහි සඳහන් කරනවා)


යුද්ධය දරුණු ලෙස පැවති අවධියේදී භටපිරිස් උපරිම ලෙස සටනට යොමු කරන්නට සිදුවුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රී මුරයටද කාන්තා සෙබලියන් යෙදවීමට සිදුවුනා. ඔවුන්ට ලබා දුන්නේ වඩාත් අඩු සතුරු තර්ජනයක් සහිත බංකර් 7 ක්, මේ කාලයේ මට ඒ කඳවුරේ කඳවුරු සේනාවිධායක (Camp Commandant) වගකීම පැවරුණා. මෙහිදී කඳවුරු ආරක්ෂක මුරය පිලිබඳ වගකීම දැරිය යුතුයි. ඒ නිසා ම වඩාත් අවධානය යොමු කලේ රාත්‍රී මුරය උපරිම මට්ටමෙන් පවත්වාගනීමටයි. රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට යාමේදී කාන්තා සෙබලියන් සිටින බංකර් පරීක්ෂාකිරීම එක්තරා පිළිවෙතකට අනුව සිදු කල යුතුයි. මා තනිව එහි යාම නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම අනවශ්‍ය ‘ලෙඩ’ දාගනීමක් වෙනවා. ඒ නිසා සෙබළියන්ගේ බංකර් පරීක්ෂා කිරීමට මා ගියේ කාන්තා සෙබලියන් භාර නිලධාරිනිය, ඇගේ සහයිකාව සහ කඳවුරේ රෙජිමේන්තු සැරයන් මේජර් සමගයි. එක් දිනක් මෙසේ රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට සෙබළියන්ගේ බංකර් දෙසට අප හතරදෙනා යනවිට පළමුවැනි බංකරයට මීටර් 15 ක් පමණ තිබියදී ඉතා තද සුවඳ විලවුන් සුවඳක් දැනුනා. රෙජිමේන්තු සැරයන් මේජර් සහ මම ඒවා පාවිච්චි කර සිටියේ නැහැ. අනික් දෙන්නා කාන්තාවන් නිසා ඔවුන්ගෙන් ඇසුවා සුවඳ විලවුන් ගල්වාගෙනද ඉන්නේ කියා. ඔවුන් නැහැ කිව්වා. මෙය දැන් විශාල ගැටළුවක්. අපි හෙමි හෙමින් පළමුවැනි බංකරය ලඟට අවා. එහි එවෙලේ රාජකාරියේ යදී සිටි සෙබළිය යුද හමුදා පිළිවෙත අනුව අභියෝග කර අපිව නවතා, හඳුනාගැනීම කළා. ඇය අසලට යනවිටයි අපට වැටහුනේ සුවඳ වහනය වන්නේ ඇයගෙන් බව. ඇය රාත්‍රී මුරයට ඒමට පෙර නෑමෙන් පසු සුවඳ විලවුන්ද නා, පැමිණ ඇති බව අපට තහවුරු වුනා. එපමණක් නොව ඒ බංකරයේ සිටි තවත් සෙබලියක්ද එලෙසම විලවුන් නාගෙන සිටින බව වැටහුනා. එහි වැරැද්ද කුමක්ද? හොඳ විමර්ශනශීලී සතුරකු මේ අසල ප්‍රදේශයට ආවොත් පහැදිලි වෙනවා මෙහි ඉන්නේ කාන්තා සෙබලියන් බව. මොකද ඒ සුවඳ වර්ගය අනුව එය පිරිමි සුවඳක් නොවේ. ඉතින් මට සිදුවුනා අර සෙබලියන් දෙදෙනාව නැවත නාවා විලවුන් රහිතව මුරයේ යොදවන්නට. සෙබලියන් භාර නිලධාරිනිය එය අකුරටම ඉටුකර තිබුනා.


තවත් දිනක එලෙසම මුරය පරීක්ෂාවට යාමේදී එක බංකරයකින් ‘කරකරස්’ ගා කොලයක් ඉරන හඬක් ඇසුනා. අපි මොහොතක් නැවතී කන්දීගෙන සිටිනවිට යමක් හපනවාක් මෙන් ‘කරුස් කුරුස්’ හඬක් ආවා. සොයාබැලීමේදී දැක්කේ මුරයේ සිටින සෙබළිය බිස්කට් එකක් අනුභව කරන බවයි. යුදහමුදාවේ සියලු දෙනාට පෝෂණ විශේෂඥයන් ගේ උපදෙස් අනුව සැකසු ඉතා හොඳ අහාර ඕනෑතරම් ලැබෙනවා. බංකරයක මුරයේ සිටින කෙනෙක් සෑම විටම සම්පූර්ණයෙන් නිශ්ශබ්දව විමර්ශනයේ යෙදිය යුතුයි. ඉතින් මේ සෙබළිය කලේ විශාල වරදක්. මම එවෙලේම දඬුවම දුන්නා. අපි බලාසිටියදීම සම්පූර්ණ බිස්කට් පැකට්ටුවම කා නිම කිරීමයි දඬුවම. ඇය හඬමින්ම දඬුවම වින්දා.


අපේ සෙබලියන් අවශ්‍ය තැනදී සටනට නොබියව එක්වන හැටි මා මුල්වරට දුටුවේ මේ කඳවුරට එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවූ දවසෙයි. සතුරු කාලතුවක්කු ප්‍රහාරයෙන් කඳවුරට තරමක හානියක් සිදුවුනා. තුවාලත් සිදුවුනා. ඔය අතරේ කඳවුරේ තිබුණු මිලිමීටර් 130 කාලතුවක්කු වලින් සතුරාට ප්‍රතිප්‍රහාර දීම ඇරඹුනා. සෙබළුන් ඉදිරියට ගිය පසු කඳවුරේ ආරක්ෂාවේ වැඩි වගකීම සෙබළියන්ට පැවරුණා. ඔවුන් නොබියව බංකර් වලට ගොස් සූදානමින් සිටියා. ඒ අතර, කාලතුවක්කු වලට අවශ්‍ය උණ්ඩ අවසන් වෙමින් පැවති නිසා, පොලොව යට පිහිටි ගබඩාවකින් ඒවා රැගෙන, කාලතුවක්කු තිබුන තැනට යැවිය යුතු වුනා. මිලිමීටර් 130 කාලතුවක්කු උණ්ඩයක්, ඒ උණ්ඩය යොදා වෙඩි තැබීම සඳහා යොදන ‘චාජරය’ නමැති කොටසත් සහිතව කිලෝග්‍රෑම් 30 කටත් වඩා බරයි. ඒ වගේම  විශාලයි. (පිත්තලෙන් සෑදු මේ කොටස අලංකාරය සඳහා හමුදාවේ අයගේ නිවෙස්වල තබා තිබෙනු ඔබ දැක ඇති.) අපේ සෙබලියෝ සතුරු ප්‍රහාරය මැදම මේවා කර ගසාගෙන ගොස් අවශ්‍ය තැනට ලබාදුන්නා.

26 February 2012

සාජන්ට් ගේ ‘ඇම්බුෂ්’ එක


මේකනම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිදු වූ ඇත්ත කතාවක්. ඒ නිසා බොහොම සංක්ෂිප්තව තමයි කතාව කියන්නට වෙන්නේ. පසුගිය යුද සමයේ මෙවැනි රසවත් සිදුවීම් ලක්ෂ ගානක් ඇති. ඉඩ ලැබෙන ආකාරයට සහ යම් යම් නීතිමය රාමු වලට අනුකූලව ඒවා පල කරන්නට අදහස් කරනවා.
සතුරා සමග සටන් කිරීමේදී ඔහුගේ බල බිඳින සාර්ථක උපක්‍රමයක් තමයි රැක සිට පහරදීම. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ ඇම්බුෂ් (Ambush) කියලා. මෙය ගෝත්‍රික ජන සමාජයන්ගෙන් පැවත එන්නක්. අවාසනාවකට මෙන්, යුද හමුදා කණ්ඩායමක් ඇම්බුෂ් එකක් කරන්නේ කොහොමද කියන එක, මෙහි විස්තර කිරීමට, යම් යම් නීතිමය බලපෑම් ඇතිවෙතැයි සිතන නිසා ඒ කොටස අත්හැර, සරලව කියන්නම්. ඇම්බුෂ් කිරීම අදත් සාමාන්‍ය සමාජයේ තියනවනේ. ඔබ දකිනවා ඇති විවිධ ජන මාධ්‍ය වල පල වෙනවා මග රැක සිට පහරදීම් ගැන. ඔබට පුළුවන් තනියම මග රැකසිට ඔබේ සතුරෙකුට පහර දෙන්න. දවල් කාලයේදීනම් ඈත තියා හඳුනාගෙන පාරේ ලයිට් කානුවකට මුවාවී සිට සතුරා ලඟට ආවිට, (පොලු පාරක් දීලා/පිහියෙන් අනලා/ඇසිඩ් ගහලා) ඇම්බුෂ් කර පැන දුවන්න පුළුවන්. රාත්‍රී කාලයේදී ඊට වඩා පරිස්සම් විය යුතුයි. එයට හේතුව ඔබද සතුරාගේ ඇම්බුෂ් එකකට අසුවෙන්න පුළුවන් නිසා. අපි හිතමු ඔබට සහයට දෙන්නෙක් ඉන්නවා කියලා. ඔබට පුළුවන් ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් යොදවන්න සතුරා එන බව ඔබට කිසියම් සංඥාවකින් දැනුම් දීමට. (මිස් කෝල් එකක්/නවතා ඇති කාර් එකක සිට ලයිට් ෆ්ලෑෂ් කිරීම වැනි) ඊළඟට ඔබ සතුරාට පහර දුන් පසු එය වැරදුනොත්, ඊළඟ මිතුරා තව නුදුරු තැනක තබන්න පුළුවන්, ගැලවී යන සතුරාට නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට. මෙය ඉතා සරල ඇම්බුෂ් එකක්. නමුත් හමුදාවක් ඇම්බුෂ් එකක් කිරීමේදී මීට වඩා අතිශයින් සංකීර්ණ සහ න්‍යායාත්මක කරුණු පදනම් කරගෙන දැඩි පුහුණුව සහ විනය යටතේ තමයි ක්‍රියා කරන්නේ.
ඔන්න ඉතින් එක්තරා බල ඇණියක, සැරයන් වරයෙක් හිටියා, තරමක් සුරාමේරයට බර. ඉඩ ලැබුනොත් දවස පුරාම වුනත්, දෙක තුනක් නෙවෙයි හතර පහක් දමා ගැනීමයි ඔහුගේ පුරුද්ද. සැරයන් වරයෙක් කියන්නේ 30 ක් 35 ක් පමණ සෙබල පිරිසක් ඇති භට ඛණ්ඩයක (Platoon) ප්‍රධාන සෙබලා. ඒ දිනවල හැමදාම රාත්‍රියට, භට ඛණ්ඩ කීපයක් යොදවා, සතුරු භූමියේ විවිධ තැන්වල ඇම්බුෂ් යොදවනවා. ඒ සෑම ඇම්බුෂ් එකකටම අණ දෙන්නේ සැරයන් වරයෙක්. ඇම්බුෂ් එකක් විතරක් නෙවෙයි, යුද හමුදා භට පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා කඳවුරෙන් පිටතට යනවානම්, ඔවුන් නියමිත නිල ඇඳුමෙන් කඳවුරු භූමියේ පෙළ ගස්වා ඛණ්ඩය භාර සැරයන් විසින් පරීක්ෂාකර, සියල්ල නිවැරදි බව තහවුරු කරගත යුතුයි. ඉන්පසු සැරයන් ඛණ්ඩයට අණ කරනවා ‘ඛණ්ඩය සීරුවෙන් සිටින්’ කියා. එයින් ඔහු, ඒ අසල සිටින ඛණ්ඩ භාර නිලධාරියාට අඟවනවා, තමන් ඔහුට වාර්තා කිරීමට සූදානම් බව. මේ වනවිට ඛණ්ඩය භාර නිලධාරියා (සාමාන්‍යයෙන් 2 වැනි ලුතිතන් හෝ ලුතිතන් නිලයේ නිලධාරියෙක්) ඛණ්ඩය ඉදිරිපිටට පැමිණ සිටගන්නවා. ඒ වනවිට ඛණ්ඩ භාර සැරයන් සිටින්නේ නිලධාරියාට පිටුපා ඛණ්ඩය දෙසට මුහුණලා. නිලධාරියා යුද හමුදා පිළිවෙත අනුව ගමන් කරමින් (march) පැමිණ නවතින හඬ සැරයන්ට හොඳින් ඇසෙනවා. මන්ද එවිට නිලධාරියා සහ සැරයන් අතර දුර වන්නේ අඩි 5 ක් පමණ. සැරයන් අංශක 180 ක් ආපසු හැරී සීරුවෙන් සිට අචාර කර, නිලධාරියාට මෙසේ වාර්තා කරනවා. ‘සුබ (උදෑසනක්/මධ්යාහ්නයක්/සන්ධ්‍යාවක්) වේවා තුමනි, මා ඇතුළු . . . (භට පිරිස කීදෙනෙක්ද යන්න) දෙනෙකුගෙන් යුත් (රැකසිට පහර දීමේ කණ්ඩායම/ මාර්ග බාධක මුරය ආදී වශයෙන් රාජකාරියේ ස්වභාවය) රාජකාරිය සඳහා පිටත්ව යාමට සූදානම්. සියල්ල සම්පූර්ණයි නිවැරදියි. ඔබතුමාගේ අවසර පතමි තුමනි’ මෙහිදී නිලධාරියා නැවත පරීක්ෂාවක් කර සියල්ල නිවැරදි බව තහවුරු කරගෙන, ඉන්පසු, වැඩිදුර උපදෙස් ඇත්නම් ඒවාද සඳහන් කර, රාජකාරියට පිටත්වීමට අවසර දෙනවා.
මේ සිද්ධිය වූ දිනයේදීත් අපේ සැරයන් කාටත් හොරෙන් උදේ සිටම සළු වෙමින් තමයි ඉඳලා තියෙන්නේ. හවස් වෙලා ඇම්බුෂ් එකට යන්න ඔහු සූදානම් වුනා. ඛණ්ඩය පෙළගස්වා පරීක්ෂා කළා. කෝ හරිද හරිද? වෙපන් හරිද? ග්‍රෙනේඩ් හරිද? එක්ස්ට්‍රා රවුන්ඩ්ස් (අමතර පතරොම්) හරිද? කෝඩ් එක හරිද? (ඇම්බුෂ් කණ්ඩායම දිග ලනුවක් ගෙනයනවා යම්කිසි වැඩකට. සතුරාව එල්ලන්න එහෙමෙ නෙවේ. වෙනත් මෙහි කිව නොහැකි වැඩකට) ආදී වශයේ ඔහු පට් පට් ගා පරීක්ෂාව අවසන් කළා. ‘ඛණ්ඩය සීරුවෙන් සිටින්’ කියා අණ දුන්නා. නිලධාරියා පැමිණ සිටගන්නවා ඔහුට ඇසුනා. මේ වනවිට වෙලාව රාත්‍රී 7 ට පමණ ඇති. මේ ස්ථානය තරමක් අඳුරුයි. සැරයන් විදුලි වේගයෙන් අංශක 180 කෝණයට ආපසු හැරුනා. නමුත් ඔහුගේ ‘සලුවීමේ මට්ටම’ විසින් ඔහුගේ වේගය පාලනය කල බැවින්, සැරයන් නැවතුනේ අංශක 180 වෙනුවට අංශක 270 ක් කැරකීමෙන් අනතුරුවයි. ඔහු බැලුවා කෝ නිලධාරියා කියා. නිලධාරියා නැහැ. ඔහුට හොඳටම කේන්ති ගියා. මෙපමණ වැදගත් රාජකාරියකට යාමට සූදානම්ව සිටින විටත් නියමිත වෙලාවට එන්න මේ නිලධාරියාට බැරිද? කෝ යකෝ මේ . . . ගේ පුතා නෑනේ . . .ඔහුට එක්වරම උස් හඬින් කියවුනා.
නිලධාරියා ඉවත්වගොස් කඳවුරේ අණදෙන නිලධාරියාට සියල්ල වාර්තා කළා. වහාම සැරයන් අත්අඩංගුවට ගත්තා. පසුවදා ඔහුට විරුද්ධ චෝදනා විභාගයක් පවත්වා සැරයන් නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා පහත හෙලනු ලැබුවා, බලඇණියේ අණදෙන නිලධාරියා විසින්. 
මෙයින් වැරදි අදහසක් ගන්න එපා, ඒ කාලයේ අපේ හමුදාව බීමත්ව යුද්ධ කළා කියලා. එහෙම කවුරුවත් රාජකාරි වෙලාවේදී බිව්වේ නැහැ. කවුරුන් හෝ බිව්වානම් සුළු මොහොතකින් ඔහු අසුවෙනවා. මේ වුනෙත් ඒකමයි.

25 February 2012

කෝප්‍රල්ගේ ‘බිවැක්’ එක


  හමුදා සේවයේදී ඉහලින් එන අණ පිළිපැදීම අනිවාර්යයෙන් කලයුතුයි. නැතිනම් ගෙදර යා යුතුයි. සොල්දාදුවෙකුට තමන් ළඟම සිටින අණදෙන්නා වන්නේ තමන් අයත් භට ඛණ්ඩයේ, (Platoon) තමන් අයත් පේලියේ, (Section) (ඛණ්ඩයකට පේලි තුනක් තිබේ.) අණදෙන්නා හෙවත් පෙළ අණ දෙන්නාය. (Section Commander) පෙළ අණදෙන්නා ලෙස කටයුතු කරන්නේ කෝප්‍රල් වරයෙකි. එක්තරා බලඇණියකට අයත් ඛණ්ඩයක, තරමක් දාර්ශනික දැනුමක් ඇති පෙළ අණදෙන්නෙක් සිටියේය. ඔහු තමන් යටතේ සිටින සොල්දාදුවන්ට යම් කරුණක් පැහැදිලි කරදෙන්නේද දාර්ශනික විලාශයෙනි.

උදාහරණයක් වශයෙන් ටී 56 තුවක්කුව ගැන උගන්වනවිට ඔහු පාවිච්චිකරන්නේ මෙවැනි වදන්ය. ‘සමස්ත මානව ඉතිහාසයම වෙනස් කිරීමට තරම් හේතුවූ මේ ප්‍රබල අවිය පරිහරණයේදී, මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳවද තමාලා සිතා බැලිය යුතුයි’. ඉතින් මේ දාර්ශනික වචන නොතේරුනොත් සොල්දාදුවන්ට වෙන්නේ විවිධ දඬුවම් වලට යටත් වෙන්නටයි. මේ නිසා ඔහු සමග පරිස්සමෙන් ගනුදෙනු කිරීමට ඔහු අණදෙන පෙළෙහි සොල්දාදුවන් අධිෂ්ඨාන කරගත්තා.

මේ කාලයේදී අලුත් සොල්දාදුවෙක් ඒ පෙලට එක්වුණා. කෝප්‍රල් වරයා ඔහු තමන්ගේ දැඩි අධීක්ෂණය යටතේ තබාගත්තා. දිනක් මහ කැලයේ සතුරු භූමියට ආසන්නව කඳවුරු බඳින්නට සිදුවුනා. මෙවැනි අවස්තාවලදී ඈතට පෙනෙන ලෙස විශාල කූඩාරම් සවි කරන්නේ නැහැ. සතුරාට පෙනෙන නිසා. ඒ වෙනුවට කරන්නේ සොල්දාදුවා තම පිටේ ගෙනයන ලොකු මල්ලේ තිබෙන ඝන ඉටිරෙද්දක් වැනි පොලිතීන් රෙද්දෙන්, පොළොවේ සිට අඩි දෙකක් පමණ උසට සිටිනසේ පල දෙකක කුඩා කූඩාරමක් සකසා ගැනීමයි. (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) මෙය හඳුන්වන්නේ ‘බිවැක් = Bivak’ යන නමින්. මෙය එක සොල්දාදුවකුට පමණක් සුදුසු වුනත්, මේ සඳහා ගන්න විශේෂ රෙදි හිග වූ විට දෙන්නෙක් එක කූඩාරමේ ඉන්නවා. එයින් ආරක්ෂාවද තහවුරු වෙනවා. ඉතින් අපේ අර කෝප්‍රල් එදා බිවැක් එකේ හිටියේ තමන්ගේ අධීක්ෂණය යටතේ ඉන්න සොල්දාදුවාත් සමගයි. ‘පරිසරය නිරීක්ෂණය කරනු, තමන් නිරීක්ෂණය කරනදේ හොඳින් අවබෝධ කරගනු, අවබෝධ කරගත් දේ නිවැරදිව මට වාර්තා කරනු,’ මේ තමයි එදා අපේ කෝප්‍රල් තමන්ගේ ගෝලයාට දුන්න උපදෙස්. මහ රෑ දෙකට විතර සොල්දාදුවා තමන් අසලම නිදා සිටින කොප්‍රල්ව අවදි කළා. කෝප්‍රල්, කෝප්‍රල්, කොප්‍රල්ට මොකක් හරි අමුත්තක් දැනෙනවාද? සොල්දාදුවා ඇහුවා. ‘නිශ්ශබ්දවනු’ කෝප්‍රල් කිව්වා. මම මොහොතක් නිරීක්ෂණය කරනතෙක් සිටිනු, හ්ම්ම්ම්ම් . .. . . පරිසරය බොහෝදුරට නිහඬයි. සතුරාට අපව නිරීක්ෂණය කරන්න හොඳ අවස්තාවක්, අහස පැහැදිලියි. තරු කෝටි ගණනක් දිස්වෙනවා. අන්තරීක්ෂය දක්වා නිරීක්ෂණය වෙනවා. කෝප්‍රල් සොල්දාදුවාට කියාගෙන ගියා. කෝප්‍රල්, පොඩ්ඩක් ඉන්නකෝ සොල්දාදුවා බාධා කළා. මට කෝප්‍රල්ට වාර්තා කිරීමට දෙයක් තියෙනවා. දැන් ඔය කෝප්‍රල් කියපු මොන රීක්ශයද මම දන්නෑ. එච්චර හොදට අහස පෙනෙන්නේ කෝප්‍රල්, කවුදෝ අපේ බිවැක් එක ගලවාගෙන ගිහින්.

24 February 2012

නිල ඇඳුමෙන් සිටි කාලේ 9


  නිළ ඇඳුමෙන් සිටි කාලේ ලිපි මාලාවෙන් මා තවමත් ඔබ සමග සිටින්නේ නුවරඑලිය ප්‍රදේශයේ. මගේ මතකය මා ඔබ වෙත ගෙන එන්නේ 1980 දශකයේ සිටයි. ඔබ නුවර එලිය ප්‍රදේශයේ සංචාරයකට යනවානම් එය යටත්පිරිසෙයින් දින තුනක්වත් විය යුතුයි. බොහෝ දෙනා නුවරඑලිය කියා සිතන්නේ නගරයේ පිහිටි මල්වත්ත සහ ග්‍රෙගරි වැවයි. එසේ නැතහොත් වෙන කොහේ හෝ යන අතර ඔන්න අපි නුවරඑලියටත් ගියා කියන්නට මෙන් පැයක් පමණ එහි රැඳී සිට යාමටයි තවත් බොහෝ දෙනා පුරුදුවී සිටින්නේ. ඔබ හග්ගල මල්වත්ත හරියට නරඹනවා නම් දවසක් වත් අවශ්‍ය බව දන්නවාද?
  පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේශනාගාරය පිහිටුවීමට පෙර එය ඕනෑම කෙනෙකුට ගොස් පරිසරය රස විඳීමට හැකි තැනක්ව තිබුනා. නමුත් සම්ප්රෙෂණාගාරය පිහිටුවීමෙන් පසු එය ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වුනා. ඒ නිසයි ඔවුන් 1984 වසරේ මැද භාගයේදී එයට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කලේ. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ සුන්දරතම ස්ථානයක් මෙන්ම උසින්ම පිහිටි භූමි භාගය නැරඹීමේ දුලබ අවස්තාව මුළු ලෝකයටම තහනම්වී යාමයි. රජය මේ පිළිබඳව නැවත සලකා බැලීමක් කල යුතු කාලය දැන් එළඹ ඇතැයි මා සිතනවා. වරාය, ගුවන් තොටුපල, වැනි ස්ථාන බලන්නට යාමට ඉඩ දෙන්නේනම්, මෙයද එවැනි ස්ථානයක් ලෙස සැලකිය යුතුය යන්න මගේ හැඟීමයි. පිදුරුතලාගලට පාරක් කැපීම මා කිසිසේත් අනුමත නොකරන බව මීට පෙර මගේ ලිපියකින් ප්‍රකාශ කළා ඔබට මතක ඇති. ඒ වෙනුවට කළයුතුව තිබුනේ, ජපන් ඉංජිනේරුවන් විසින්, බඩු ගෙනයාමට පමණක් සකස් කර තිබුණු කේබල් කාර් මාර්ගය, මිනිසුන් ගෙනයාහැකි ආකාරයට වැඩි දියුණු කිරීමයි. මේ සමග ඇති ගූගල් සිතියමෙන් ඔබට දැක ගත හැකියි, මේ අඩි 20 ක් හෝ සමහ තැන්වල ඊටත් වැඩි පළලින් යුත් කොන්ක්‍රීට් මාර්ගය නිසා, නොඉඳුල් වනාන්තරයට සිදුවී ඇති, නැවත සැකසිය නොහැකි හානිය. අනෙක් අතට කලින් තිබුන අඩි පාරේ යන්නට අද ඉඩදුන්නොත් සිදුවන හානිය හිතාගන්නටවත් බැරි තරම් බරපතලයි. ඒ තරම් ‘හොඳ’ සංචාරකයන් අපේ රටේ ඉන්න නිසා. ඒ නිසා හොඳම විසඳුම තමයි අතරමග නොනවත්වන කේබල් කාර් ක්‍රමයකින් වනාන්තරයද බලාගෙන මුදුන දක්වා (විවිධ ආයතන වලට අයත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශය මග හැර කඳු වැටියේ වෙනත් තැනකට) යාමට ඉඩ සැලසීම. මෙය සංචාරක ප්‍රවර්ධන කාර්යයක් ලෙස සැළකිය යුතුයි.
  පිදුරුතලාගල ආරක්ෂක මුරය හැටියට අපි සෑම විටම ගියේ කැලය මැදින් ඇති අඩි පාර දිගේ පයින්මයි. එය රසවත් බව මෙන්ම සතුරා ගැන අවධානයෙන්ද යුතුව යායුතු අභියෝගාත්මක ගමනක්. රසවත් බවේ එක උදාහරණයක් කියන්නම්. පිදුරුතලාගල රක්ෂිත වනයක් නිසා කිසිවෙකුටත් එහි ඇතුළුවීම තහනම්. නමුත් කඳු වැටිය පාමුල වටේටම ඇති වතු ජනාවාසවල සිටින කාන්තාවන් දර කඩාගැනීම සඳහා හොරෙන් රක්ෂිතයට ඇතුළු වෙනවා. දර කඩාගනීමට අමතරව කුඩා ගස් කපාගැනීම නිසා බරපතල හානියක් ඔවුන්ගෙන් සිදුවෙනවා. එක් දිනක් මම පිදුරුතලාගල මුරය භාර නිලධාරියා ලෙස රාජකාරිය භාර ගැනීම සඳහා මුරයේ සාමාජිකයන්ද සමග තරමක් පොද වැස්සේ පිටත් වුනා. මීටර් 300 ක් පමණ කැලය ඇතුලට යද්දී ඉදිරියෙන් යන විමර්ශන කණ්ඩායම හස්ත සංඥාවකින් කිව්වා, කවුරුන් හෝ කැලයේ සිටින බව ඇහෙනවා දැනෙනවා කියා. සියලු දෙනා වෙඩි තැබීමට සූදානම්ව ගස් වලින් ආවරණයක් ගෙන සිටින ලෙස සංඥා කල මම, බඩගාගෙන ඉදිරියට ගියා මගේ සහායක සෙබලාත් සමග. විනාඩි 10 ක් පමණ බඩගාගෙන යනවිට මට ඇසුනා ගැහැණු කටහඬවල් කීපයක් සහ හිනා හඬකුත්. මට එක්වරම අවබෝධවුනා මේ දර කඩන්නට හොරෙන් පැමිණි කණ්ඩායමක් බව. අදනම් හොඳ පාඩමක් උගන්වනවා කියා සිතූ මම, සෙබල කණ්ඩායම යොදවා ඒ ප්‍රදේශය වටකර, සෙබළුන් තිදෙනෙකු සමග එතනට කඩා පැන්නා. එතන තිබුනේ වැඩිහිටියන්ට පමණයි දර්ශනයක්. දර කඩන්නට එන කාන්තාවන් ඔවුන් යටි කයට ඇඳ සිටි වස්ත්‍ර උනා දමා ඉටි රෙදි ඇඳගෙනයි දර කැඩීමේ යෙදී තිබුනේ. එයට හේතුව ඔවුන්ගේ දුප්පත්කමයි. නිතර මාරුකරන්නට ඔවුන්ට ඇඳුම් නැතුව ඇති. අපි කඩා පනින වෙලාවේ ඔවුන් දර කැඩීම අවසන් කර නැවත ඇඳුම් මාරු කරමිනුයි සිටියේ. ඇඳුම් ඇඳගෙන සිටි අය විලාප දීගෙන පහලට දිව්වා. යටි කය නිරුවතින් සහ ඉටි රෙදි ඇඳුමෙන් සිටි අය බිම වාඩිවී හඬන්නට පටන් ගත්තා. මා සමග සිටි එක් සෙබළෙකුට දෙමල භාෂාව පුළුවන්. මා ඔහුට කිව්වා අපෙන් හිරිහැරයක් නොවන බවත්, අපි එතනින් ඉවත් වන බවත් එහෙත්, ඇඳුම් මාරු කරගෙන, ඔවුන්ගෙන් එක් අයෙකු පහලට ගොස්, පැන ගිය අයද රැගෙන ආපසු පැමිණිය යුතු බවත් කියනලෙස. එසේ කියා අපි ඉවත්වුණා. ටික වෙලාවකින් ඒ නඩයම එක් තැනකට ගන්නට අපි සමත් වුනා. ඉන්පසු අර සෙබලා මගින් මා ඔවුන්ට දැඩිව අවවාද කළා නැවත දුටුවොත් වෙඩි තබන බව. හැබැයි මේ සිද්ධිය කඳවුරට වාර්තා කල පසු මට ලස්සන අදහස් දැක්වීම් රාශියක් අසන්නට ලැබුනා සහෝදර නිලධාරීන්ගෙන්.

17 February 2012

ඇස් දෙකෙන්ම දුටු මිනීමැරුම


 මම මැදි විය ඉක්මවා සිටියත් මේ සිද්ධිය කිසි දිනක මගේ මතකයෙන් ඈත් වන්නේ නැති බව ස්ථිරයි. ඒ මම මගේම දෙනෙතින් අනියම් මිනීමැරුමක් දුටු එකම අවස්ථාවයි. පසු කාලයේ අපේ රටේ තිබුණු යුද්ධයේදී මරනු මැරෙනු දෙකම බොහෝ වාර ගණනක් දැක ඇතත්, කුඩා පාසල් දරුවකු ලෙස මේ සිද්ධිය මා අහම්බෙන් දුටුවේ වයස අවුරුදු 6 ක පමණ කාලයේදීයි. ඉතාම පුදුම සහගත දෙය වන්නේ මේ සිද්ධිය අකුරක් නෑර කීමට තරම් ප්‍රබලව ඒ කුඩා අවධියේදීම මගේ මතකයට කාවැදීමත්, අදටද එය එලෙසින්ම මතක තිබීමත්ය. මෙයයි ඒ සිද්ධිය.
ඒ 1960 දශකයේ මුල භාගයයි. මමත් අයියාත් (ඔහු මට වඩා අවුරුදු 8 ක් වැඩිමල් වුනත් අපි සෙල්ලම් කලේ බොහෝවිට එකටයි) වෙනදා වගේ පාර අයිනට ගොස් කරන සෙල්ලම ගැන සිතමින් හෝ අපේ කල්ලියේ කොල්ලන් ඒ දැයි සෙවිල්ලෙන් හිටියා. අපි මොකක්වත් නැති වෙලාවට කරන්නේ පාරේ උඩහ පැත්ත සහ පහල පැත්ත යනුවෙන් අපි නම් කරගෙන සිටි දෙපැත්තෙන් මීළඟට වාහනයක් එන්නේ කොයි පැත්තෙන්ද, ඒ වාහනය කාර් එකක්ද, බස් එකක්ද, ලොරියක්ද, වෑන් එකක්ද, යනුවෙන් කියා ඔට්ටු ඇල්ලීමයි. ඒ කාලයේ ඒ පාරේ වාහනයක් එන්නේ විනාඩි 15 – 20 විතර එකක් තරම්. එදා හවස මෙහෙම අයියයි මායි ඉන්නකොට තමයි අපි දෙන්නම මිනීමැරුම දැක්කේ.
  මගේ දෙමවුපියන් දුප්පත් ගුරු යුවලක් වූ නිසා (ගුරුවරුන්ගෙන් බහුතරය කවදත් දුප්පත්) වියන ඉස්කෝලය නමින් හැඳින්වුණු පැරණි ගෙයක්, ගුරු නිවාසයක් ලෙස සකසා ලබාදී තිබුනා. ඒ නම ලැබුනේ ඒ ගොඩනැගිල්ලේ කලින් රෙදි වියන ස්ථානයක් තිබුන නිසයි. මේ ගෙට තබා, ඒ පැත්තේ ගෙවල් වලින් 10% කටවත් විදුලිය තිබුනේ නැහැ. මේ ගෙදර සිට පාරට බහින්න පඩි පෙළක් තිබුනා. එහි පඩි හතක අටක් පමණ තිබුනා. ඒ කාලයේ අයියගේ යාලුවෙක් හිටියා සමරදිවාකර කියලා. එයාගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. මාටින් මුදලාලි කියලා කවුරුත් කිව්වේ. ඒ කාලයේ හැටියට හොඳට ඉදිකළ නිවසකුත් ඔවුන්ට තිබුනා. සමරදිවාකරගේ අම්මා උදෙන්ම නැගිටලා කඩයප්පන් හදනවා. සමරදිවාකර තමයි ඒවා කඩමන්ඩියට ගෙනයන්නේ. උදේ පාන්දරම කඩයප්පන් අරගෙන යන ගමන් සමරදිවාකර ලස්සන වැඩක් කරනවා. ඒ කාලයේ විශාල නූල් පන්දු ඔතා එවන කේතු ආකාරයේ ඝන කාඩ්බෝඩ් කේතු තිබුනා අඟල් 6 ක් විතර දිග. සමරදිවාකර එයින් එකක් හොයාගෙන එයට ඉපියාවක් හයි කරලා පාන්දර මහා හඬින් පිඹිමින් තමයි යන්නේ කඩමන්ඩියට. මේ මහා හඬට මුළු ගමම අවදි වෙනවා. සමහරු බනිනවා. ඒත් සමරදිවාකර නෙවෙයි ඒ වැඩේ නැවැත්තුවේ.
  මේ ගමේ හිටියා හුණු නිෂ්පාදනය කරන පවුල් කීපයක්. ඔවුන් හිටියේ අපේ අල්ලපු වැටේ. විශාල හුණු වලවල් ඔවුන්ගේ ගෙවල් වටා තිබුනා. බල්ලන් බළලුන් වැනි සතුන් මේ වලවල් වලට වැටී මියගිය අවස්ථා එමටයි. අපිට ඒ පැත්ත පලාතටවත් යාම දෙමවුපියන් විසින් සපුරා තහනම් කරලයි තිබුනේ. එයට වෙනත් ‘සමාජමය හේතු’ ද තිබුන බව අවබෝධ වුනේ ඊට හුඟක් කලකට පස්සෙයි. ඒ ගෙවල්වල දිනපතාම පාහේ බීමත්ව කෙරෙන සණ්ඩු සරුවල්ද නොඅඩුව තිබුනා. ඔවුන් කියන හරුප අක්කලාටත් අපටත් ඇසීම වැලක්වීමට අපේ දෙමවුපියන් යොදාගත් ඉතා කාලෝචිත උපක්‍රමය වූයේ මහා හඬින් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කිරීමයි. (ඒ කාලයේ කැසට්, සීඩී, තිබුනේ නැත. ස්පූල් ටේප් රෙකෝඩරයක් හෝ එල් පී රෙකෝඩ් ප්ලේයරයක් තිබුනේ ලක්ෂපති ගෙදරක පමණි.) අනෙක එෆ් එම් විකාශන කියා දෙයක් ඒ කාලයේ අපි අසා තිබුනෙවත් නැති අතර මධ්‍යම තරංග (Medium Waves) සහ කෙටි තරංග (Short Waves) ඔස්සේ අප සවන්දුන් වැඩසටහන් කොතරම් ඝෝෂාකාරීද යන්න අවබෝධවූයේ 70 දශකයේ අග භාගයේදී එෆ් එම් විකාශන ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය.
  හුණු නිෂ්පාදනය කරන පවුල් අතර ලොකු ගණන්කාරයෙක් හිටියේය ඔහුව හැඳින්වුණේ ‘කිරියා’ යන නමිනි. හැන්දෑවට පදමට සප්පායම්වන ඔහු ‘ මම කිරියා පුතා, මම තමයි නාරන්පිටියේ ගනන්කාරයා, මට වැඩිය එකෙක් මේකේ නෑ’ කියා කෑ ගසමින් කඩමණ්ඩිය දෙසට යනු සුලබ දසුනකි. පොලීසිය තිබුනේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි නගරයේ වුවද දුරකතනයක් ඒ අසල කිසිදු තැනක තිබුන බවක් මට මතක නැත්තේ ඒ ප්‍රදේශයේ අවුරුදු 5 ක් පමණ සිටි නිසාය.
  කිරියාගේ පුතාගේ නම ගුණපාල වගෙයි මගේ මතකය. සමරදිවාකරලාගේ ගෙදර තිබුනේ ප්‍රධාන පාර අසල ඇලකට එගොඩින් තරමක් උස්බිමකය. එහෙත් පාරේ සිට ගෙදරට අහස් දුර මීටර් 15 කට වඩා වැඩි නැත. සමරදිවාකරලාගේ නිවසට ටිකක් පහලින් ඇල අයිනට වන්නට ගෙඩි පිරුණු අඹ ගසක් විය. එක් දිනක් දවල් ගුණපාල මේ අඹ ගසට ගල් ගැසූ අතර එයින් එකක් සමරදිවාකරලාගේ ගෙදර වහලයට වැටී උළු කැටයක් බිඳුණි. එදා සවස වැස්සක් වැටුණු අතර සමරදිවාකරලාගේ ගෙදර සාලය අර උළු කැටය කැඩුණු තැනින් තෙමුනි. සමරදිවාකරලාගේ තාත්තා මාටින් මුදලාලි එදා සවස ගෙදර එනවිට සාලය තෙමිලාය. හේතුව විමසූ විට ගෙදර අයගෙන් සවිස්තර වාර්තාව ලැබුණි. මාටින් මුදලාලිත් හැන්දෑවට ‘දෙකක් දාන’ පුද්ගලයෙකි. වහලයට වුන දේ පිලිබඳ කතාව ඇසූ ඔහු කිසියම් අවශ්‍යතාවක් ඇතුව හෝ නැතුව කඩ මණ්ඩිය බලා පිටත්විය. ඒ යන අතරමග කිරියලාගේ ගේ අසල ගුණපාල සිටිනු ඔහු දුටුවේය. ‘ඇයි යකෝ අපේ ගෙදරට ගල් ගැහුවේ’ කියා ඇසූ මාටින් මුදලාලි, ගුණපාලගේ කණ හරහා එකක් දී කඩ මණ්ඩියට ගියේය. කනේ පහරින් රිදුනේ ගුණපාලගේ තාත්තා කිරියාටය. ඔහුත් හුණු වෙළඳාමේ ගොස් ගෙදරට ගොඩ වුනේ ඊට විනාඩි කීපයකට පසුවය. කිරියාගේ බිරිඳ (ඇය රණ්ඩු කෙක්කක් බව ඒ කාලයේ සමහර ගෑණු අපේ අම්මා සමග කියනු අසා ඇත්තෙමි) ලුණු ඇඹුල් ඇතිව වාර්තාව කිරියාට දුන් බව අපි දැනගත්තේ පසුවය. මාටින් මුදලාලි කඩ මන්ඩියේ සිට ආපසු සිය නිවස දෙසට ප්‍රධාන මාර්ගය දිගේ යමින් අපේ ගේ පසු කරන විට පඩි පෙළ පාමුල පාර අයිනේ සිටි අයියා සහ මා දෙස බලා ‘පුතේ මොකද ඔතන කරන්නේ’ කියා නොනැවතීම ඉදිටියට ගියේය. කිරියාගේ නිවස ඇත්තේ ඊට මීටර් 10 ක් පමණ දුරිනි. මාටින් මුදලාලි ඒ නිවස ඉදිරිපිටට ලංවන විටම කිරියාත්, ඔහුගේ අයියා පොඩි සිංඤ්ඤාත්, කිරියාගේ බිරිඳගේ මල්ලී වන රෙදි මුදලාලිත් (මොහුට ඒ නම ලැබුනේ සති පොලවල්වල රෙදි විකුණන බැවිනි) එක වරම කිරියාගේ ගෙදරින් එලියට බැස්සෝය. ‘මහත්තයා මොකද මගේ කොල්ලට ගැහුවේ’ කියා කිරියා මාටින් මුදලාලිගෙන් විමසුවේය. කේන්තිය ඉහවහ ගොස් සිටි මාටින් මුදලාලි කිරියලාගේ කුලමල කියමින් මහා හඬින් බැන්නේය.
කිරියා එක්වරම, සෑම විටම පාහේ තම ඉනේ තිබෙන දිග උල් පිහිය එලියට ඇදගත්තේය. රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤා මාටින් මුදලාලිගේ අත් දෙක දෙපසට ඈත් වන පරිදි හිරකර අල්ලා ගත්තෝය. මාටින් මුදලාලිද තරමක් බීමත්ව සිටි නිසා සෙලවීමටවත් නොහැකි විය. කිරියා හැකි වැර යොදා හරියටම මාටින් මුදලාලිගේ පපුවේ වම් පැත්තට පිහිය සම්පූර්ණයෙන් බස්සවා එලියට ගත්තේය. අයියාත් මාත් බලාසිටියදී මේ සියල්ල සිදුවූ අතර මාටින් මුදලාලිගේ පපුවෙන් උණු ලේ විදින්නට විය. මට දැන් සිතෙන්නේ පිහි පහරින් මාටින් මුදලාලිගේ හදවත සිදුරු වීමෙන් එසේ ලේ ගලන්නට ඇති බවය. මාටින් මුදලාලි අඩි 6 ක් පමණ උස පුද්ගලයෙකි. කිරියා කැහැටු අඩි 5 කට මදක් වැඩි උසකින් යුත් මිනිසෙකි. නමුත් තම අයියා සහ මස්සිනාගේ උදව්වෙන් ඔහු මාටින් මුදලාලිව මැරුවේය. මාටින් මුදලාලි අඩි කීපයක් ඉදිරියට ගොස් කපා හෙලූ ගසක් මෙන් පාර මැද වැටුණි. ඒ මොහොතේම වැස්සක් ආරම්භ විය. මාටින් මුදලාලිගේ ලේ වැසි වතුර සමග පාරදිගේ ගලද්දී අසල් වැසියෝද සමරදිවාකරද මහා හඬින් කෑගසාගෙන ආවෝය. පොලීසිය ආවේ පැයකට පමණ පසුවය. ආරංචිය ලැබෙන්නට ගිය කාලය අනුව එසේ වන්නට ඇත. ඒ වනවිට අපූරු දෙයක් වී තිබුණි. කිරියාගේ බිරිඳගේ වම් කම්මුලේ අඟල් හයක පමණ කැපුමකින් ලේ ගලමින් තිබුණි. ඇය පොලීසියට කිව්වේ මාටින් මුදලාලි තමන්ට පිහියෙන් ඇන්න බවයි. නමුත් ඒ සියල්ල බොරු බව මිනීමැරුම් නඩුවේදී ඔප්පු විය. මිනීමැරුම් නඩුවේදී අයියාටද සාක්ෂි දීමට සිදුවිය. නඩුව ඇසුවේ මහනුවර මහාධිකරනයෙදීය (ඒ කාලයේ නම මහාධිකරණය නොවේ වෙනත් එකකි. මට මතක නැත) මා සාක්ෂි නොදුන් බැවින් මිනීමැරුම ඇසින් දුටු එකම සාක්ෂිකරු මගේ අයියා විය. අද සිදුවනදේ එදාද සිදුවිය. කිරියාට විරුද්ධව සාක්ෂි දුන්නොත් ඔවුන් අයියාටද කරදරයක් කරනු ඇත යන අදහස කවුරුන් විසින් හෝ අපේ දෙමවුපියන්ගේ ඔලුවට දැමීම නිසා, පිහියෙන් ඇන්නේ කවුදැයි තමන් නොදුටු බවත්, කිරියා, රෙදි මුදලාලි සහ පොඩි සිංඤ්ඤාත්, සිටිනු දුටු බව පමණක් අයියා උසාවියේදී කීවේය. මිනීමැරුම තමන් දුටු බව එදා මගේ අයියා කිව්වානම් සිදුවන්නේ කුමක්ද? අදමෙන් නොව ඒ කාලයේදී මරණ දඬුවම අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය. අදට එය ගැලපේද නොගැලපේද යන්න මමත් සිතන අවස්ථා ඇත.    පසු කලකදී අයියා මට කීවේ විත්තේ කූඩුවේ සිට, කිරියා ඉතාම බැගෑපත් බැල්මෙන් අයියා දෙස බලා මිනීමැරුම නොදුටු බව කියන ලෙස ඉඟි කල බවයි. කෙසේ වෙතත් විත්තිකරුවන් තිදෙනාම බරපතල වැඩ ඇතිව දීර්ඝ සිර දඬුවමකට ලක්විය. දැනට මාස කීපයකට පෙර ඒ ප්‍රදේශය පසුකරගෙන මගේ මෝටර් රථයෙන් ගියේ මගේ බිරිඳගේ රාජකාරි අවශ්‍යතාවකටය. ඒ කාලය මතක්වී හදවතට දැනුනු වේදනාව අපමණය.

13 February 2012

ඉස්කෝලේ යන කාලේ 10


න  යි කාරයෝ, බේත් තෙල් කාරයෝ, සාස්තර කාරයෝ, සමග ගතවූ අපේ පාසල් ජීවිතයේ ඒ කාලයේ හැටියට ලැබූ ත්‍රාසජනක අත්දැකීම් දෙකක් මගේ මතකයට නැගෙයි. එයින් එකක් වන්නේ ‘සන්නාසි බිල්ලන්’ගේ කතාවය. දෙවැන්න ‘වාලක්කඩි’ කතාවය. කතා දෙකම කෙටියෙන් මෙසේය. ඊට පෙර මේ චූර්නිකාවත් කියවන්න. ඒ කාලේ අපේ රට මීට වඩා හුඟක් විසාලය. දැන් ඔබ සිතන්නේ මේ යකා මේවා ලියන්නේ ගංජා ගහලා කියාය. නැත. ඒ කාලේ අපේ රට මීට වඩා ලොකුයි කිව්වේ ප්‍රවාහනය සහ සන්නිවේදනය අතින් මෙතරම් දියුණුවක් එකල නොතිබූ බැවිනි. හැබැයි පේදුරු තුඩුවෙන් පිටත්වන මිනිහෙකුට කිසිදු කරදරයකින් තොරව අතරමග මාර්ග බාධකවල රස්තියාදු නොවී දෙවුන්දර තුඩුවට යාහැකි විය. දෙවුන්දර තුඩුවට තමන් පැමිණි බව කියා ඒ මිනිහා අද (දෙමලෙන් ලිපිනය ලියා) තැපැල් කරන ලියුම පහුවදා නොවැරදීම පේදුරුතුඩුවට ලැබුනේය. ඍජු දුරකථන ඇමතුම් තිබුනේ ප්‍රාදේශීයව පමණි.පේදුරුතුඩුවේ මිනිහාට දෙවුන්දර තුඩුවේ තැපැල් හලෙන් පේදුරුතුඩුවට දුරකථන ඇමතුමක් ගන්නටනම් ‘කෝල්’ එක ‘බුක්’ කර යටත්පිරිසෙයින් පැයක්වත් (බොහෝවිට ඊට වැඩි කාලයක්) බලාසිටිය යුතුය. නමුත් ටෙලිග්‍රෑම් නිසි වෙලාවට ලැබුණි. ඒවා යැව්වේ ‘මෝස් කේත ක්‍රමයෙන්’ යයි සිතමි. (Morse Code)
  අපේ නගරයේ මහ තැපැල් හලක් තිබුණි. ඒ තැපැල් හල ඉදිරිපිට ‘රාජකරුණා හෝටලය’ නම් සුප්‍රසිද්ධ හෝටලය තිබුණි. ඒ කාලයේ ඕනෑම දුරකථන අංකයක් ඉලක්කම් දෙකකට හෝ තුනකට සීමා විය. කොළඹ නගරයේනම් ඉලක්කම් හතරකි. විනාඩියක දුරකථන ඇමතුමක් සත දහයකි. ඉතින් අපේ ‘ඇට්ටර කල්ලිය’ එක් දිනක් සතේ සතේ එකතුකරගෙන සත දහයක් සාදාගෙන ජයග්‍රාහී ලීලාවෙන් තැපැල් කන්තෝරුවට ගියෙමු. රාජකරුණා හෝටලයට ඇමතුමක් ගත්තෙමු. ඇමතුම් කුටියේ සිට කතාකරන බැවින් පිටතට නොඇසෙයි. අපේ කල්ලියේ සිටි . . . . රණතුංග ගේ කටහඬ ටිකක් ගැඹුරුය. ඔහු එය තව ටිකක් ගැඹුරු කලවිට තරුණයකුගේ මෙනි. ඉතින් ඔහු හෝටලයෙන් ටී බනිස් දහයක් හා ප්ලේන් ටී දහයක් තැපැල් කන්තෝරුවට එවනමෙන් ඕඩර් කළේය. ඉන්පසු අපි තැපැල් හල ඉදිරියට වී බලා සිටියෙමු. ඕඩරය රැගත් වෙටරයකු නොපමාව තැපැල් හලට ගියේය. ගිය පයින්ම බැන බැන ආපසු ආවේය. අපි සිනාවීම ආරම්භ කලේ එතනින් සෑහෙන දුරකට ඉවත් වූ පසුවය.
  ඔන්න සන්නාසි බිල්ලා ආවා. ඒ කාලයේ ගම්බිම් සිසාරා සැරිසරන ‘සන්නාසි’ (සමහරු ‘තන්නාසි’ කියා කී බව මතකය) යන නමින් හැඳින්වුණු හින්දු පූජක වේශධාරී පුද්ගලයන් නිතර දක්නට ලැබුණි. හිස මුදුනට කර ගැට ගැසූ දිගු කොණ්ඩය, නළලේ මහ විසාල පොට්ටුවක් හා තුන්නූරු සලකුණ, එක අතක දිලිසෙන පිත්තල ත්රිශූලයක්, අනික් අතේ පිත්තල කෙණ්ඩියක් හා එහි පියන කොටසේ බැතිමතුන්ගේ නළලේ ගාන අළු, සිවුරක් වැනි කහපාට ඇඳුම, ඔවුන්ගේ සාමාන්‍ය පෙනුම විය. සමහර අයටනම් එය බිය මුසු භක්තියක් ඇතිකළ දසුනක් විය. අර ත්රිශූලයේම ගැට ගැසූ මිනි ගෙඩියක්ද හඬවමින් ‘හරෝ හරා’ යයි මහ හඬින් කියමින් ඔවුහු ගම්මාන පුරා සැරිසැරූහ. එක් දිනකට එක් අයෙකුට වඩා නොපැමිණෙයි. ගෙයක් ඉදිරිපිටට පැමිණ මෙසේ හරෝ හරා යයි හඬ නැගූවිට ඒ ගෙදරින් ඔහුට පුද පඳුරු වශයෙන් යටත්පිරිසෙයින් සත දහයක්වත් ලැබෙයි. එකල විශ්වාසය වූයේ ඔවුන් හිමාලයේ සිට පැමිණෙන බවත්, මෙසේ පඬුරුඑකතුකරමින් කතරගම දෙවොල දක්වාගොස් ඒවා පූජා කර ආපසු හිමාලයට යන (වඩින?) බවත්ය. පඬුරක් දුන් කෙනාගේ නළලේ අර කෙන්ඩියේ පියනෙන් ගත් අළු ටිකක් ගා, හරෝහරා යයි ආශිර්වාද කිරීමටද අමතක නොකරයි. වෙනත් කිසිදු කතාබහක් නොකරයි. මේ කාලයේදී ලංකාවේ තැන් තැන් වලින් කුඩා පිරිමි ළමයින් (විශේෂයෙන් වයස අවුරුදු 12 – 15 පමණ) අතුරුදහන්වීම් වාර්තාවන්නට විය. මෙය දෙමවුපියන් තැතිගන්වන භයානක සිදුවීමක් විය. අවසානයේදී මෙය සිදුකරන්නේ අර සන්නාසීන් විසින් යයි මතයක් ප්‍රචාරය විය. ඔවුන් මත් බෙහෙත් දී දරුවන් පැහැරගෙන ගොස් උතුරේ කරවල වාඩි වල කම්කරු සේවයට විකුණන බවද වැඩි දුරටත් ප්‍රචාරය විය. ඉන්පසු ‘සන්නසියා’ ‘සන්නාසි බිල්ලා’ ලෙස හංවඩු ගැසුණි. පුංචි එකාට බත් කටක් කවා ගන්නටත් අම්මලා කිව්වේ ‘පුතා බත් කෑවේ නැත්නම් සන්නාසි බිල්ලා එයි ඔන්න’ කියලාය.
  කෙසේ වෙතත් සමහර සන්නාසීන්ට පහරදී පොලීසියට භාරදුන් අවස්ථාද වාර්තා වූ අතර ඉන්පසු කාලයේදී ඔවුන් දක්නට නොවීය. එහෙත් ඔවුන් සියලුදෙනාම එවැනි බිල්ලන් නොවන බවත් බහුතරය මෙසේ ආධාර එකතුකරමින් ජීවිකාව රැකගත් අයවලුන් වන අතර, කොටසක් බිල්ලා වැඩේද කල බව පසුව පොලිස් විමර්ශන වලින් හෙළිවිය. 1990 දශකයේදී යුද හමුදා සේවයේ යෙදී සිටි මට කල්පිටිය හා ඊට උතුරෙන් ඇති දූපත්වල තිබෙන කරවල වාඩි දැකගන්නට අවස්තාවක් ලැබුණි. එකලද ඒවා අවට ලෝකයෙන් ඈත්වූ ප්‍රදේශ විය. මට එකවරම සිහිවූයේ අපි පාසල් ගිය 1960 දශකයේදී මේ ප්‍රදේශ කොහොම තියෙන්නට ඇද්ද යන්නය. ඇත්ත වශයෙන්ම කරවල වාඩි වල සේවකයන් ලෙස යෙදවීම සඳහා ළමුන් පැහැරගැනීම එකල සිදුවිය. එවනි සිදුවීමක් ‘වාලම්පුරි’ කතාවේ ඇත. මෙසේ කුඩා දරුවන් රැගෙන යන්නේ ඔවුන්ට කෑම ටිකක් පමණක් ලබාදී බර වැඩ ගැනීමටය. මේ ඉරණමට ගොදුරුවී අද මහලු වියේ සිටින අය සමහරවිට සිටින්නට පුළුවන.
වාලක්කඩියා.
  මෙය ද්‍රවිඩ භාෂාවේ වචනයක් යයි මම සිතමි. වාලක්කඩියා ජලජ සර්පයෙක් බවයි මගේ අවබෝධය. වඩා හොඳින් දන්නෝ මා නිවැරැදි කරත්වා. මේ සතා කරදිය සහ කිවුල් දිය පරිසරයේ ජීවත්වන බව එකල ප්‍රචාරය විය. මාරක විෂ සහිත බවත් දෂ්ට කලවිට කිසිදු ප්‍රතිකාරයක් නැති බවත් වැඩි දුරටත් ප්‍රචාරය විය. එකල තිබුණු අවාසනාවන්තම තත්වය වූයේ නරක ආරංචි කටකතා ලෙස සීඝ්‍රයෙන් පැතිරීම සහ ඒවා පිලිබඳ යතාර්ථය දැනගැනීමට පුවත්පත් හෝ ගුවන්විදුලිය පරිහරණය කිරීමට බොහෝදෙනෙකුට වත්කමක් මෙන්ම විචාර බුද්ධියක් නොතිබීමත්ය.වාලක්කඩි කතාව මුලින්ම එලියට ආවේ ධීවර ජනාවාස ආශ්‍රිතවය. එහෙත් අපේ කටකතා නිර්මාපකයෝ වාලක්කඩියාව ගමේ ඇල දොළ පමණක් නොව නාන ලිඳ දක්වා ගෙන ආවෝය. ගම්වල අවිචාරවත් මිනිස්සු ඇලක දොලක තබා ලිඳක වත් නෑමට බියවූහ. මේ නිසා එකල පුවත්පත් සහ ගුවන්විදුලිය මගින් යතාර්ථය පැහැදිලි කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම සර්පයා දෂ්ඨ කල අවස්ථා ධීවර ජනාවාස ආශ්‍රිතව එකක් හෝ දෙකක් සිදුවූ බවද සත්‍යයකි.

06 February 2012

ත්‍රිකුණාමලයේ සවාරියක්

අපේ පුංචි ජනාවාසයේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති සමිතියේ සාමාජික පවුල්වල අය පසුගිය නිදහස් දවසේ ජාතික නිදහස සමරමින් ත්‍රිකුණාමලයේ සංචාරයක නියැලුනා. මේ සංචාරයේදී ත්‍රිකුණාමලයේ වරාය සහ නාවික හමුදා කෞතුකාගාරය නරඹන්නටත් අපට අවස්ථාව ලැබුනා. නාවික හමුදාව විසින් සංචාරකයන් සඳහා බෝට්ටු සේවයක් පවත්වාගෙන යනවා. රුපියල් 100 ක් ගෙවීමෙන් පැයකට ආසන්න කාලයක් ත්‍රිකුණාමල වරායේ සංචාරය කරන්නට ඉඩ ලැබෙන අතර බෝට්ටුවේ ඇති ශබ්ද විකාශනයෙන් සියලු විස්තර සංචාරකයන්ට කියාදෙනවා. ඇත්තවශයෙන්ම නොවරදවාම යායුතු සංචාරයක් ලෙස මේ බෝට්ටු සවාරිය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වැදගත් ස්ථානයක් තමයි නාවික හමුදා කෞතුකාගාරය. දෙවැනි ලෝක යුද සමයේ පටන් වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ නාවික හමුදා ඉතිහාසය මෙහිදී දැකිය හැකියි. පසුගිය කාලයේ මහජනතාවට විවෘත නොවුණු මේ ස්ථානය අද නිදහසේ නරඹන්නට හැකියි. ඔබත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරතවන්නේනම් මේ ස්ථාන නරඹන්නට අමතක කරන්න එපා. මා ලබාගත් ඡායාරූප සමහරක් මේ සමග ඉදිරිපත් කරනවා.

01 February 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 8


නැවතත් ඔබව සුන්දර නුවරඑළිය වෙත කැටුව යන්නයි සූදානම් වන්නේ. පසුගිය දිනවල වෙනත් කතා වලට අවධානය වැඩි වූ නිසයි නුවරඑළියේ කතා ප්‍රමාද වුනේ.

මම තවමත් ඔබ සමග සැරිසරන්නේ නුවරඑළියේ අපේ කඳවුර සහ එහි යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳවයි.


මීට කලිනුත් මම ඔබට සෙබළුන්ගේ පුහුණුවීම් කටයුතු ගැන කිව්වා මතක ඇති. අදත් පුහුණුව ගැනම වැඩිදුර තොරතුරු කියන්නම්. නුවරඑළියේ සීතල ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. පසුගිය අධික සීතල පැවති එක් දිනයක නුවරඑළියේ උෂ්ණත්වය අංශක 2.7 ක් බව වාර්තා වුනා. බොහෝදුරට එදින පිදුරුතලාගල මුදුනේ උෂ්ණත්වය අංශක 1 ක් පමණ වන්නට ඇති. මම නුවරඑලියේදී අත්විඳ ඇති අවම උෂ්ණත්වය අංශක 5.7 ක්, ඒ වගේම මම පිදුරුතලාගල මුදුනේදී අංශක 4.8 ක ‘උෂ්ණත්වයකට’ මුහුණදීලා තියනවා. හැබැයි ඒ උෂ්ණත්ව ප්‍රමාණය දැනගත්තේ ඊට පසු දිනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයකිනුයි.


දිනපතාම පවතින අධික සීතල නිසාදෝ නුවරඑළිය ප්‍රදේශයේ මත්පැන් පරිභෝජනය ඉතා ඉහලයි. (මත්පැන් පානය කලවිට සීතල දුරුවෙනවා යන්න මිත්‍යාවකි. සිදුවන්නේ සංවේදනය නැතිවීමෙන් අපට සීතල ගැන හැඟීම නැතිවීම පමණි) සෑහෙන කාන්තා පිරිසක්ද මත්පැන් පරිභෝජනය කරනවා. දවල් කාලයේදී පවා වෙනත් ප්‍රදේශ වල දකිනවාට වඩා බීමත් පුද්ගලයන් දැකිය හැකියි.


මෙය නුවරඑළිය ප්‍රදේශයට කරන අපහාසයක් නොවන බව අවධාරණය කරමි.


මේ සීතල පරිසරය තුල යුද පුහුණුවේ යෙදීම ඉතාම කටුක අත්දැකීම් සහිතයි. පුහුණුවන ආධුනිකයන් මෙන්ම උපදේශකයන් වන අපිද පාන්දරින් අවදිවී සූදානම් වියයුතුයි.


වනය තුල කෙරෙන රාත්‍රී අභ්‍යාසයක් නම්, ඇටකටු පසාකරගෙන යන සීතලේ අපිද සිටිය යුතුයි. උෂ්ණ පලාත්වල ඉපදී, හැදී වැඩී, ඇති සමහර අයට, මේ සීතල විඳ දරාගැනීමට නොහැකිවීමෙන් අසනීප වන අවස්ථාද තිබෙනවා. පුහුණු කටයුතු වලදී සෑම විටම යුද හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයන් දෙදෙනෙකු, අවශ්‍ය ප්‍රථමාධාර දීමට සූදානමින්, ගිලන් රථයක් ලෙස පාවිච්චි කළහැකි වාහනයක් ද සමග, අභ්‍යාසය කෙරෙන ප්‍රදේශයේ ඉන්නවා. පිදුරුතලාගල කඳු මුදුනට පාරක් ඉදිකරන්නට පැමිණි, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් පිරිසක්, කූඩාරම් ඉදිකරගෙන පිදුරුතලාගල මහ වනයේ රැඳී සිටියදී, එක්වරම අසනීප වූ අතර, මහ රෑ ඔවුන් කරතබාගෙන කන්ද පහලට ගෙන එන්නට සිදුවුනා. කෙසේ වෙතත්, පුහුණු කටයුතු වලදී සෙබළුන් අධික වෙහෙසට පත් නොකිරීමටද වගබලාගන්නේ, මෙහි වායු පීඩනය මුහුදු මට්ටමේ ප්‍රදේශවලට සාපේක්ෂව අඩු නිසයි.


සෙබළුන් පුහුණුවේදී ලබන එක් අභ්‍යාසයක් වන්නේ, මාලිමා යන්ත්‍රය සහ සිතියමක් ආධාරයෙන්, භූමියේ මග සොයාගෙන ගමන් කිරීමයි. මෙය දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද වෙන වෙනම කරන අභ්‍යාසයකි. මෙසේ භූමියේ ගමන් කරන කෙනෙක් එක අංශකයකින් වැරදි කෝණයකට ගමන් කලොත් ඉදිරියට යනවිට එම කෝණය පුළුල් වීමෙන්, යායුතු මගෙන් ඉවත්වී, සම්පූර්ණයෙන් වෙනත් දිශාවකට ගමන් කිරීමට ඉඩතිබේ. (එහෙත් දැන් මේ සඳහා Global Positioning System = GPS තාක්ෂණය තිබෙන නිසා 99% ක් නිවැරදිව ගමන් කල හැකිය.) මෙසේ මග වරද්දගන්නවුන් සමහරවිට සොයා ගන්නේ, ඔවුන් අත තිබෙන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලට පින්සිදු වන්නටය.


බොහෝවිට මේ අභ්‍යාසය මා සැළසුම් කරන්නේ අපගේ මූලස්ථාන කඳවුර අසලින් ආරම්භ කර හග්ගල උද්භිද උද්‍යානයේ ඉහලින්ම පිහිටි භූමි භාගයෙන් අවසන්වන ආකාරයටය. (ඔබ හග්ගල උද්භිද උද්‍යානය නරඹන්නට යන්නේනම්, යන්තම් උඩින් පල්ලෙන් එහි ඇති මල් වර්ග පමණක් නරඹා ආපසු ආවොත්, ඔබේ සංචාරයේ කිසිදු වටිනාකමක් නැත. ඇත්ත වශයෙන්ම හග්ගල උද්භිද උද්‍යානය නිසි පරිදි නැරඹීමටනම්, ඔබ ආසන්න වශයෙන් එහි පැය 5 ක් වත් ගත කිරීමට සූදානම්ව යන්න. උද්‍යානය දිගේ එහි උසම භූමියේ ඇති වන රක්ෂිතය වෙත යන්න. එහිදී ඔබට ශ්‍රී ලංකාවේ වනයක ඇති ජෛව විවිධත්වය මනාව නිරීක්ෂණය කරන්නට ඉඩ ලැබේ. එමෙන්ම, සුදු අධිරාජ්‍යවාදීන් විසින්, මුල්ම කාලයේ සිටුවන ලද තේ ගස්, අද මහා තේ වෘක්ෂයන් බවට පත්ව ඇති ආකාරයද ඔබට දැකිය හැකියි.) අපගේ මූලස්ථාන කඳවුර අසලින් උදෑසන 6.00 ට පමණ ගමන ආරම්භ කරන ආධුනික සෙබළ කණ්ඩායම්, ගමන අවසන් කරන්නේ සවස 3.00 ට පමණ හග්ගල උද්‍යානයේ මුදුනෙනි. මග වරද්දාගත්තෝ එන්නේ ඊටත් පසුවය. දවල් ආහාරය ලැබෙන්නේ එහිදීය. ඒ වනවිට බොහෝ දෙනා ඉන්නේ පාන් කියාගන්නට බැරුවය. මන්ද, ගමන අතරමග ඔවුන් සීතාඑලිය වන රක්ෂිතය හරහා පැමිණ ජලදුර්ග තරණය කර නැවත හග්ගල නැගිය යුතුය. තවත් කොටසක් පසුව . . . . .
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }