මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියන්න කියලා ‘හීනලන්තයේ හරී’ කියලා තිබුනා. ඇත්තටම මට ශිෂ්‍යභට ජීවිත දෙකක් තියනවා. 1. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ගතකල ශිෂ්‍යභට ජීවිතය. 2. යුද හමුදා ශිෂ්‍යභට ජීවිතය. එයින් අද ලියන්නේ පාසල් ශිෂ්‍යභට ජීවිතය ගැන. අපි පාසල් ශිෂ්‍යභට ජීවිතය ගතකලේ 1966 සිට 1973 පමණ වනතුරු. ඒ කාලයේ මුලින්ම තිබුනේ ලංකා ශිෂ්‍යභට බලකාය (Ceylon Cadet Corps – C.C.C) ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු එය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය (Sri Lanka Cadet Corps – S.L.C.C.) බවට පත්වුනා. පහල තියන පින්තූර තුන බලන්න ටිකක් ඈත් වෙලා. මොකද ඔබට යන හිනාවට කොම්පියුටරයට හානි වෙයි.
දියතලාවේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් යුද හමුදා කඳවුරේ තමයි, ඒ කාලයේ ලංකාවේ සියලුම පාසල් ශිෂ්‍යභට කඳවුරු පැවැත්වුනේ. අද ශ්‍රී ලංකා ශිෂ්‍යභට පුහුණු කඳවුරු පවත්වන රන්ටැඹේ කඳවුර පිහිටවූයේ 1980 දශකයේ කියායි මගේ මතකය. එයට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම සඳහා, විශාල වශයෙන් යුද හමුදා භට පිරිස් පුහුණුව, නොකඩවාම කරගෙන යාමට සිදුවූ බැවින්, දියතලාව කඳවුර පාසල් ශිෂ්‍යභට පුහුණුව සඳහා ඉඩ දීමට කාලය නොමැතිවීමයි. අපේ කාලයේදී දියතලාවේ ගමන ඉතා මිහිරි මතකයන් රැසක් ගෙන දෙන්නක්. අපි දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්. කුරුනෑගල , අනුරාධපුර, කෑගල්ල, ආදී දිස්ත්‍රික්ක ගණනාවක පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් දුම්රියට ගොඩ වුනේ පොල්ගහවෙලින්. ශිෂ්‍යභටයන්ටම වෙන්වූ විශේෂ දුම්රියක් මේ සඳහා කොළඹ සිට දියතලාව දක්වා ධාවනය කෙරුනා. එය කොතරම් සංවිධානාත්මකදැයි එක උදාහරණයක් කියන්නම්. යම්කිසි දුම්රියපලකින් ශිෂ්‍යභට ඛණ්ඩයක් දුම්රියට ගොඩවෙනවානම් දුම්රිය වේදිකාවේ ඒ පාසලේ නම සුදු හුණු වලින් ලියා තිබෙනවා. දුම්රිය පෙට්ටියෙත් අදාළ පාසලේ නම ලියා තිබෙනවා. දුම්රිය පැමිණ වේදිකාවේ ඒ පාසලේ නම තිබෙන තැනට අදාළ දුම්රිය පෙට්ටිය පිහිටනසේ නවත්වනවා. දුම්රිය ස්ථානයෙන් කල්තබා නිවේදනය කරනවා මීළඟට පැමිණෙන දුම්රිය ශිෂ්‍ය භටයන්ට පමණක් බව. ඒ තරම් සංවිධානාත්මකයි. ඒ වගේම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භට කණ්ඩායම් ගමන් ගත්තේ රාත්‍රී දුම්රියෙන්. එයද විශේෂයෙන් වෙන්කළ දුම්රියක්. ඒ ගමනේ අත්දැකීම් බොහොමයි. 1969 දී අපි රාත්‍රී දුම්රියෙන් යන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්යාර්ථීන්ට හූ සංග්‍රහයක් දීගෙන ගියා. අපි ආපසු එන දවස තෙක් බලාසිටි ඔවුන් අපිව නෑවෙන්න චූ පිරවූ පොලිතීන් බෑග් සංග්‍රහයක් කළා. රාත්‍රී දුම්රියේ යන අතර රේල් පාරේ සිටින ලයින්මන්ලාව බාල්දියකට ගත් සීතල වතුරෙන් නාවාගෙන යන්නටත් අපි අමතක කරන්නේ නැහැ. හැටන් පසුවූ විට ඇත්තේ අධික සීතලක්. වතුර පාර වැදුනුවිට ඔවුන් කරන්නේ ඇඳිවත උස්සා පෙන්වීමයි.
ශිෂ්‍යභට පුහුණුවේ අමතක නොවන දෙයක් තමයි මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් රාත්‍රී කාලයේදී භූමියේ ගමන් කිරීම. මෙහිදී ගමන් කරන්නට වන්නේ සම්පූර්ණ අඳුරේ. කිසිම එළියක් (ටෝච්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්,) ගෙනයාම තහනම්. (ඒ කාලේ ජංගම දුරකථන කියන නම අපි අහලාවත් තිබුනේ නැත. එය ලෝකයේ කොහෙවත් නිපදවා තිබුනේද නැත.) ගෙන ගියත් උපදේශකයන් කියන අවස්ථාවකදී පමණයි පාවිච්චි කල හැක්කේ. සීතල දියතලාවේ, මහ රෑ යන මේ ගමන එක අතකට ටිකක් භයානකයි. කටු කම්බි වැටවල්, මඩ ගොහොරු, දිය පහරවල්, ජලාශ, ආදිය තියන නිසා. වරක් යුද හමුදා පුහුණු භට පිරිසක් මඩ ගොහොරුවක එරීමෙන් ජීවිත හානි සිදුවුනා. මාලිමා යන්ත්‍රයක් ආධාරයෙන් ගමන් කරන හැටි මීළඟ ලිපියෙන් කියන්නම්.
No comments :
Post a Comment