හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 March 2012

මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරලා තියනවද? එහෙම නැත්නම් ‘පෙම්’ මෝටර්වත්?


   කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පෝස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී ට්‍රයි කරමුද? කියලා. කවුරු මොනවා කිව්වත් හිතුවත් ‘මොලොටෝව් කොක්ටේල්’ මුළු ලෝකයම දන්නා දෙයක්. සමහරු මේක දැකලත් අඳුනන්නේ නැති එකයි ප්‍රශ්නේ. කොක්ටේල් පාටි වලට සහභාගී වුන අය දන්නවා ඇති, කොහොමද ඒ සාදයක් පවත්වන්නේ කියලා. කොක්ටේල් සාද වලදී බොහෝවිට බීම සමග කටගැස්ම හැර, ආහාර සපයන්නේ නැහැ. අර කටගැස්මම තමයි සුළු ආහාරයක් කරගන්නේ. අනෙක් කරුණ තමයි, කොක්ටේල් සාදයකදී එකතැන වාඩිවී සිටින්නේ නැහැ, එයට සහභාගී වන අය. සෑම විටම සාදය පැවැත්වෙන ශාලාව හෝ භූමිය පුරා සෙමෙන් ඇවිදිමින්, සියලු දෙනා සමග වචනයක් හෝ හුවමාරු කරගැනීමත්, තමන් නටන්න දන්නවානම්, තමන් සමග නැටීමට කැමති (එවෙලේ හඳුනාගත්ත කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ) සහයිකාවක්/සහායකයෙක් ඉන්නවානම්, ආලිංගන නැටුමට එක්වීමයි සාමාන්‍ය සම්ප්‍රදාය.
  අනික් ප්‍රශ්නේ තමයි ඔය කොක්ටේල් සාද වලට යන එක හරි වියදම්. මොකද පුරුෂ පක්ෂයට අනිවාර්යයෙන්ම හොඳ යුරෝපීය ඇඳුමක් අඳින්න වෙනවා. කාන්තාවන්ටනම් ඇඳුම් අඩුවෙන් ඇන්ද තරමට තමයි තැන ලැබෙන්නේ. (මේ පෝස්ට් එක අපේ නෝනා බලන්නේ නැති නිසා හොඳයි) ඊළඟ ප්‍රශ්නේ ‘කඩු සටන්’ ඉතා හොඳින් පුළුවන් වෙන්න ඕනේ. වේටරයන් පවා එන්නේ ‘කඩුව’ දික්කරගෙන. ‘කඩු සටන්’ බැරිනම් හොඳම දේ තමයි, කලින්ම හොඳට ‘සළු වෙලා’ අයිනක් අල්ලාගෙන ඉඳීම. අත්දුටුවයි සත්තයි.  
  හැබැයි ඉතින් සලුවීම සීමාව ඉක්මවා ගියොත්, කඩු නැතුව අතින් පයින් සටන් කරන්න වෙනවා. මොකද සළු වෙන සමහර අයට තමන්ගේ වයස අමතක වෙනවා, තමන්ගේ නෝනව අමතක වෙනවා, වෙන වෙන නෝනලාට උදව් පදව් කරන්න යනවා, ඔන්න ඔය නිසා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි අය, කොක්ටේල් සාද වලට නොගිහින් සිටීම තමන්ගේ ශරීර සෞඛ්යයට මෙන්ම තමන් විවාහකයෙක්නම් තමන්ගේ පවුල් ජීවිතයේ සෞඛ්‍යයටත් හොඳයි.
  කොක්ටේල් පිළිබඳව මටත් සෑහෙන අත්දැකීම් තියනවා. ඒවා පස්සේ දවසක කියන්න ඉඩ තියලා, ඉක්මනින්ම මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්. මොකද දැන් ඔක්කොම ඉන්නේ ඒක ගැන දැනගැනීමේ අවශ්‍යතාවයෙන්නේ. හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක්. 
දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ  කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න.
මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම. දැන් බලන්න මේ තරුණිය කොක්ටේල් බෝතලයක් පිලිගන්වන්නයි සූදානම.
කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි.
පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි.
  ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි.
  ඉතින් ඇයි දෙයියනේ ඔයහැටි මට බනින්නේ, පෙට්‍රල් බෝම්බය ගැන කියන්නනේ මේ යකා මෙච්චර බයිලා ගැහුවේ කියලා. මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ. ඔන්න පහලින් තියන කතාව බලලා ආයෙත් මට බනිනවා එහෙම නෙවෙයි.
  මෝටර් නම් අපි ඕනේ තරම් දැකලා තියනවා. ඔය තියෙන්නේ එක එක වැඩ වලට ගන්න එක එක ජාතියේ මෝටර්. ඉස්සර අපි, වෙසක් කාලෙට, අර පුංචි මෝටර්, කඩෙන් ගෙනල්ල බුදුරැස් වළලු හැදුවේ. මෝටරේටත් ‘පෙම්’ ආව එකයි ප්‍රශ්නේ. අද ඉතින් උදේ ඇඳෙන් නැගිට්ට වෙලේ ඉඳලා, ආපහු රෑ ඇඳට වැටෙනකල් ‘පෙම් පෙම් පෙම්’ තමයි. රූප පෙට්ටියේ පෙම්, එෆ්.එම්. චැනල්වල හෝ. . . .  ගාලා පෙම්, බස් හෝල්ට්, ටියුෂන් ක්ලාස් අසල, මල්වතු, සිනමාහල්, කෝච්චියේ, බස් එකේ, ත්‍රී වීල් එකේ, හපොයි දෙයියනේ නැත්තේ කොහෙද?
  පෙම් කුරුල්ලෝ, පෙම් කිරිල්ලියෝ, අද ඉතින් ගිය ගිය තැන ඉන්නවනේ. ලෝකය මගුල් සක්වලකි කිව්වේ කට කහනවටයැ. ලෝකය පවතින්නේත් ඉතින් පෙම් නිසානේ. ඒත් ඉතින් මිනිසුන් හෝ සතුන් නොවන පෙම් දැක්කම තමයි පුදුම හිතෙන්නේ. එක අතකට අද ලෝකයේ අපි අහන දකින දේවල්වල හැටියට මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. පෙම් නොදැක්කොත් නොඇහුවොත් තමයි පුදුම වෙන්න ඕනේ.
  මම ගියා, අපේ ගෙදර වේලපු කොප්පරා ටිකකින් පොල්තෙල් හිඳගෙන එන්ඩ, අපේ ගෙවල් ළඟ තියන තෙල් හිඳින තැනකට. බලනකොට එතනත් පෙම්. නරක නෑ නේද වැඩේ? මටනම් පුදුම හිතුනා මෙතනටත් පෙම් කොහෙන්ද කියලා. හිතන්න බැරිද?. . . . . . . . . බැහැ? තව ටිකක් හිතන්න . . . . . . . . . . . .එත් බැරිද? හරි හරි කමක් නැහැ. මේ තියෙන්නේ. තෙල් මෝලේ එන්ජිම කරකවන්නේ පෙම්. ඒ කියන්නේ පෙම් (PEM) වර්ගයේ මෝටර් දෙකකින්. ඔන්න පෙම් මෝටර්.

30 March 2012

පතරොමක කතාව 1


   මම මීළඟට ලියන්න හිටියෙත් දැනට භාවිතයේ නැති මැෂින් තුවක්කුවක් ගැනයි. නමුත් ලේසි වැඩේ කෝකදලිපියෙන් පස්සේ පතරොම් පිළිබඳවසෙන්නාගෙන් විශේෂ විමසුමක් ලැබුනා. ඒ නිසා අර මැෂින් තුවක්කුව තියන තැනට ඔබව කැටුව යන්නට කලින් මා ඔබව කැටුව යන්නේ පතරොම් ගබඩාවකටයි. පතරොම් ගබඩාවකට යාම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. පළමුව ඔබ ඒ සඳහා නිසි අවසරය ලැබූ පුද්ගලයකු වියයුතුයි. දෙවනුව ඔබ කිසිදු ගිනි අවියක් අත දරාගෙන පතරොම් ගබඩාවට ඇතුළු නොවිය යුතුයි. තුන්වනුව ඔබ ලයිටරයක් හෝ ගිනිපෙට්ටියක් හෝ දැල්වෙන දුම්වැටියක්, ඉටිපන්දමක් හෝ එවැනි ගිනි දැල්ලක් සහිත ලාම්පුවක් හෝ ගිනි ඇවිලෙන සුළු කිසිවක් පතරොම් ගබඩාව වෙත රැගෙන නොආ යුතුයි. පතරොම් ගබඩාවේ සිටින විට ඔබ අවසරයකින් තොරව කිසිදු පතරොමක්, බෝම්බයක් හෝ වෙනත් පුපුරන ද්‍රව්‍යයක් නොඇල්ලිය යුතු අතර සෑම විටම පතරොම් ගබඩා පාලකගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතුයි. මේ උපදෙස් වලට පටහැනිව ක්‍රියා කලොත් ඔබ ක්ෂණික මරණයකට පත්වීමේ අවදානම තිබෙනවා පතරොම් ගබඩාවක් තුලදී. එසේ උපදෙස් වලට පටහැනිව ක්‍රියාකර ඔබ පණ පිටින් පතරොම් ගබඩාවෙන් එලියට ආවොත් හමුදා නීතිය යටතේ ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග වලට යටත්වීමට සිදුවීම අනිවාර්යයි.
   පතරොමක් කියන්නේ මොකක්ද? එයට දිය හැකි සරල පිළිතුර මෙයයි. පතරොමක් යනු, ලෝහමය හෝ ප්ලාස්ටික් හෝ, ඉතා ඝන කඩදාසි වැනි ද්‍රව්‍යයකින් හෝ ඒ සියල්ලේම සංකලනයකින් සැකසුන බඳක් සහිත, ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන උපක්‍රමයකින් සහ එම ගිනි බලයෙන් ඉදිරියට තල්ලුවන මූනිස්සම් සමූහයකින් හෝ එක උණ්ඩයකින් හෝ සමන්විත සිලින්ඩරාකාර හැඩයෙන් යුත් පුපුරන වස්තුවකි. පතරොමකින් ඇති ප්‍රයෝජනය වන්නේ කිසියම් ඉලක්කයක් වෙත විනාශකාරී, මරණීය, ප්‍රහාරයක් එල්ල කිරීමයි. (අවිහින්සාවාදීහු මාගේ මේ ප්‍රකාශය වරදවා වටහා නොගනිත්වා. මා කරන්නේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් මිස වර්ණනාවක් නොවේ) පතරොමක් පාවිච්චි කිරීමටනම් අනිවාර්යයෙන් තුවක්කුවක් අවශ්‍යයි. පතරොම යන දෙය නිර්මාණය කිරීමට පෙර තිබුණු තුවක්කු, වෙඩිබෙහෙත් තුවක්කුව තුලට කොටා වෙඩි තබන තුවක්කු විය. එම තුවක්කු 19 වන සියවසේ මුල් භාගයේදී පවා පාවිච්චි කෙරුණි.
  පතරොම් සෑදීමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1580 පමණ ඈතට දිව යනවා. මුල්ම කාලයේ සෑදු  පතරොම් ඝන කඩදාසි වලිනුයි සාදා තිබෙන්නේ. එහි අනික් විශේෂත්වයනම් එම පතරොම් තුවක්කුවට වෙඩි බෙහෙත් කොටන ආකාරයට බටයේ අග කෙලවරින් ඇතුළු කිරීමයි. එසේ ඇතුළු කිරීමට පෙර පතරොමේ පසුපස කොන පිහියකින් කපා දමා හෝ කටින් හපා කඩා දමා ඇතුළු කල යුතුයි. ඊට පෙර තුවක්කුවට වෙඩි බෙහෙත් ස්වල්පයක් ඇතුළු කර තිබිය යුතුයි. එසේ මුලින්ම ඇතුළු කල වෙඩි බෙහෙත් ගිනිගත් පසුව ඇතිවන ගිනි බලයෙනුයි පතරොම පත්තු වෙන්නේ.
 19 වැනි ශතවර්ෂයේ මුලදී කඩදාසි පතරොම වැඩිදියුනු වුනා. 1812 සිට ඇරඹුණු ඒ වැඩි දියුණු වීම 1836 වනවිට කැප් එක සහිත පතරොමක් දක්වා දියුණු වුනා. කැප් එක යනු කුමක්ද යන්න පහත විස්තර කරනවා. 1861 – 1865 කාලයේ පැවති ඇමෙරිකානු සිවිල් යුද්ධයේදී පතරොම් නිෂ්පාදනය වඩාත් දියුණු තත්වයට පත්වුනා. 1845 වනවිට වාණිජ මට්ටමින් පතරොම් නිෂ්පාදනය කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට හැකියාව ලැබුනා. 1867 වනවිට බ්‍රිතාන්‍යයද ඉතා සාර්ථකව පතරොම් නිපදවූවා.
පතරොම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තුවක්කු පතරොම් සහ රයිෆල් පතරොම් යනුවෙන්. මුලින්ම නිපදවුණ පතරොම් රයිෆලය වෙනුවෙන් සැකසුන ඒවායි. නමුත් තුවක්කුව වෙනුවෙන්ද පතරොම් නිපදවීම ඉක්මන් වුනේ තුවක්කුව රයිෆලයට වඩා ජනප්‍රිය වීමට පටන්ගත් නිසයි. අපි මුලින්ම බලමු තුවක්කු පතරොමක සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය.
දැන් මා ඔබට විස්තර කරන්නේ මෙහි දකුණුපස ඇති තුවක්කු පතරොමක සැකැස්ම යනුවෙන් දක්වා ඇති රූපය පිළිබඳවයි. පතරොම සිලින්ඩරාකාර වස්තුවක් බව ඒ රූපය දෙස බලන ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇති. දැන් මා ඔබට මේ රූපය විස්තර කරන්නේ එහි පහල සිට ඉහළටයි. මෙහි දැවෙන්නේ පතරොමක හරස්කඩක්. එහි පහල කොටසේ පිත්තල පාදම යන කොටස මේ සිලින්ඩරයේ ශක්තිමත්ම කොටසයි. එය තුල තවත් යාන්ත්‍රණයක් නැතහොත් දාම ක්‍රියාකාරිත්වයක් අඩංගුවී තිබෙනවා. පතරොමේ රතු පැහැති ප්ලාස්ටික් බඳ දරා සිටින්නේද ඒ පාදම විසින්. මේ පාදමේ හරි මැද තිබෙන්නේ පතරොමේ ක්‍රියාකාරිත්වය ආරම්භ කරවන උපකරණයයි. එය හඳුන්වන්නේ ‘ප්‍රයිමරය’ යනුවෙන්. නමුත් අපේ රටේ එදිනෙදා ව්‍යවහාරයේදී මෙයට කියන්නේ ‘කැප් එක’ කියලයි. මේ කැප් එක ඇතුලේ තියෙන්නේ ක්ෂණිකව ලැබෙන පීඩනයකින් ගිනි ඇවිලෙන ඝන රසායනික මිශ්‍රනයකුයි. එයින් ඇති කරන්නේ ගින්නක් මිස පිපුරුමක් නොවේ. එහෙත් එය පිපුරුමක් මෙන් ක්ෂණිකයි. කැප් එකෙන් ඇතිකරදුන් ගිනිබලය වහාම, ඊට ඉදිරියෙන් ඇති, වහා ගිනි ඇවිලෙන සුළු වෙඩි බෙහෙත් වෙත පැතිරෙනවා. එහිදී ඇසිපිය ගසන වේගයෙන් එම වෙඩි බෙහෙත් ගිනි ගන්නවා. මෙසේ ගිනි ඇවිලීමට පතරොම තුල වාතය තිබිය යුතුයි බූසිය නමැති කොටසෙන් එවැනි වායු කුටීරයක් පතරොම තුලා සාදා තිබෙනවා. බූසියද ගිනි ඇවිලෙන සැහැල්ලු ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙන්නේ. වෙඩිබෙහෙත් පත්තුවීම නිසා ඉතා දැඩි පීඩනයක් පතරොම තුල ඇතිවෙනවා. එහි ප්‍රතිපලය වන්නේ ඊට ඉදරියෙන් තිබෙන මූනිස්සම් පතරොමේ ඉදිරි පස මුද්‍රාව(සීල් එක)ද කඩාගෙන තුවක්කු බටන් එලියට විසි වීමයි. තුවක්කු බටයේ දිග නිසා ඒ මූනිස්සම් සෑහෙන දුරක් යන්නට අවශ්‍ය ප්‍රවේගයද ලබාගන්නවා. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ ඇසිපිය ගසන සැනෙකින් බව ඔබට අවධාරණය කල යුතුයි.
ඊළඟට සිදුවන්නේ කුමක්ද? පතරොම පත්තුවී වෙඩිල්ල තුවක්කුවෙන් පිටවී අවසන්. එහෙත් පතරොම් කොපුව තවම තුවක්කුව ඇතුලේ තියනවා. නැවත පතරොමක් දැමීම සඳහා තුවක්කුව විවෘත කරන විට හිස් කොපුව එලියට විසිවෙනවා. ඒ සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස්කර තිබෙනවා. පහත දැක්වෙන පින්තූර වලින් ඒ එක් එක් අවස්තාව පැහැදිලි වෙනවා.
  
 
අපි අද සාකච්ඡා කලේ සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොමක ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. මීළඟ ලිපියෙන් මා ඔබට කියන්නේ රයිෆල් පතරොම් ගැනයි. ඉහත එක් රූපයක තිබෙනවා පතරොමක් පිහියකින් කපා එහි ඇතුලත ඇතිදේ එලියට ගෙන පෙන්වීමක්. කියන තැනකට වඳීඤ්ඤං ඒ වැඩේ කරන්නනම් උත්සාහ කරන්න එපා, බැරිවෙලාවත් පතරොමක් එහෙම ලැබුනොත්.

28 March 2012

ජෙනරල්ගේ රේඩියෝ ඉන්ටර්වීව් එක


පොඩි කතාවක් මතක්වුනා. හැබැයි මෙහෙම කතා ලියපු ගමන් ‘සෙනා‘ ගෙන් බැනුම් අහන්න වෙනවා. තරහ නැහැ නේද සෙනා? දන්නවා නේද ‘ජාතික මහජන එෆ් එම්’ එක? දන්නේ නෑ?. . . . . අයියෝ. . . . . . ඔය රේඩියෝ එක ටියුන් කරගෙන යන්නකෝ. එතකොට අහුවෙයි ඒක. ඉතින් මේකයි කතාව. පුංචි බාලදක්ෂයෝ පිරිසක් යුද පෙරමුණට ආසන්න ප්‍රදේශයක පිහිටි විශාල හමුදා කඳවුරක් බලන්න චාරිකාවක යෙදෙන්න සූදානම් වුනා. දවස් දෙකක (පැය 48 ක) මේකට හොඳ ප්‍රචාරයක් දෙන්න බාලදක්ෂ සංගමයට ඕනේ වුනා. ඉතින් දන්නවනේ ඔය එෆ් එම් චැනල් වේලි වේලි ඉන්නේ මොනවහරි අලුත් දෙයක් නැතුව. ජාතික මහජන එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ කට්ටිය හැමදාම ලොක්කන්ගෙන් බැනුම් අහනවා උණු උණු දේවල් නැහැ කියලා. ‘බලනවකො අර ‘කබර හම එෆ් එම්’ එකේ, එතකොට ‘අපි ගහ උඩ එෆ් එම්’ එකේ, මේ ඊයේ පෙරේදා පටන් ගත්ත ‘උනහපුලු ඇස එෆ් එම්’ එකේ පවා යනවනේ හොට් හොට් නිවුස්, තමුසෙලට තමයි බැරි. අඩු ගණනේ දෙනවා පොඩි ලයිව් කවරේජ් එකක්වත් මේ බාලදක්ෂයන්ට’ ලොක්කා නියෝග කළා.

ඔන්න ඉතින් අර, ඕනේ එකටයි එපා එකටයි හැමදේටම හොට දාන, ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතිකය තිබුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න, කන්නාඩි දාන කෙනෙකුව ඉන්ටර්වීව් කලොත්, ‘ඔබතුමා කන්නාඩි දාන්නේ ඇස් දෙකටමද? වැනි ගොන් ප්‍රශ්න අහන, ඕනෙම ප්‍රශ්නෙකට ‘අනිවාර්යයෙන්ම’ කියලා අසන්නන්ට උත්තරේ දෙන, නිවේදිකාවක්, මේ බාලදක්ෂ පිරිස අර කඳවුරට ගිය මොහොතේ සිට, දුරකථන මගින් තමන්ගේ චැනල් එකට සජීවීව සම්බන්ධ කරගත්තා.
දැන් මෙයා ‘එකසිය ගානට’ අර බාලදක්ෂයන් එක්ක කතාව. හරියට බාලදක්ෂයෝ කොයි මොහොතේ හරි කොටින්ට අහුවෙයි වගේ. මේ සංවාදය අහගෙන හිටිය, ඒ බලප්‍රදේශය භාර ජෙනරල්, බාලදක්ෂ පිරිස අසලට ආවා. දැන් බාලදක්ෂයන් සමග ඉන්න ගුවන් විදුලි නියෝජිතයා මහා ජයග්‍රාහී ලීලාවෙන් කිව්වා (අපි කියමුකෝ නිවෙදිකාවගේ නම ‘පැදුරුමලී’ කියලා.)   පැදුරූ . . .පැදුරූ . . . මොහොතක් ඉන්න, දැන් අපි සමග ‘දොඩමලු වෙන්න’ (දොඩමලු වෙන්න ජෙනරල් බීලද දන්නේ නෑ උදේ පාන්දරම) මේ ප්‍රදේශය භාර ජෙනරල් තුමා විශේෂයෙන්ම පැමිණ සිටිනවා ඔබට පුළුවන් මේ මහා ව්‍යාපෘතිය (අනේ ආතේ. . .පැය 48 ක් ගතවන සංචාරය) ගැන එතුමන්ගේ අදහස් විමසන්න. මෙහෙම කිව්වා විතරයි, නිවේදිකාව පටන් ගත්තා ප්‍රශ්න අහන්න හරියට අර, හැමදාම කැඩිලා වතුර ගලන කොලොන්නාවේ පයිප්පෙ වගේ.
මෙන්න නිවේදිකාව සහ ජෙනරල් අතර ඇතිවූ සංවාදය.
නිවේදිකාව:- ජෙනරල් තුමනි, මේ කුඩා බාලදක්ෂයන්ට ඔබතුමාලා මොනවද කියලා දෙන්නේ?
ජෙනරල්:- ඔව්, අපි කියලා දෙනවා කඳු නගින්න, ටාසන් වගේ කඹේ එල්ලිලා යන්න, ඔරු පදින්න, වෙඩි තියන්න.
‘වෙඩි’ කියන වචනය ඇහුනා විතරයි නිවේදිකාව පැන්නා රිටි පනින ඔලිම්පික් ක්‍රීඩිකාවක් වගේ.
නිවේදිකාව:- වෙඩි තියන්න උගන්වනවා? එය තරමක් භයානක දෙයක් නේද?
ජෙනරල්:- මමනම් එහෙම හිතන්නේ නැහැ. ඔවුන් සෑම විටම පුහුණු උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේයි ඉන්නේ.
නිවේදිකාව:- නමුත් ඔබ හිතන්නේ නැද්ද මෙය කුඩා ළමයින්ට පුහුණු නොකළ යුතු කෲර සහ අනතුරුදායක ක්‍රියාවක් බව?
ජෙනරල්:- මටනම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන් තුවක්කුවකට අත තැබීමටත් පෙර අපි ඔවුන්ට ආරක්ෂාකාරී බව සහ විනය ගැන කියා දෙනවා.
නිවේදිකාව:- නමුත් ඔබ අනාගතේ ඔවුන්ව මිනීමරුවන් බවට පත්කිරීමේ මූලික පුහුණුව නේද මේ දෙන්නට යන්නේ?
ජෙනරල්:- මේ බලන්න නෝනා, ගණිකාවක් වීම සඳහා අවශ්‍ය දේවල් ඔබට උපතින්ම පිහිටා තිබෙනවා, නමුත් ඔබ ගණිකාවක් නෙවෙයි කියා මාහිතනවා, මම හරි නේද?
නිවේදිකාව:- ඔව් අසන්නනි, අපේ දුරකථන සංවාදයට තාක්ෂණික දෝෂ නිසා බාධා එල්ල වුනා. දැන් සවන්දෙන්න අමරසිරි පීරිස් ගේ ළඳුනේ ගීතයට.


26 March 2012

ලේසි වැඩේ කෝකද? මෙන්න උත්තරේ

අප ජීවත්වන ලෝකය පාලනය කරන ස්වභාව ධර්මයේ බලවේග වලට, අප සැම, සෑමවිටම යටත්ව සිටිනවා. ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වනවා මිස, එය වෙනස් කරන්නට යාම විනාශයට මුලයි. ගුරුත්වාකර්ෂණය යනු ස්වභාව ධර්මයේ එවැනි වෙනස් කල නොහැකි බලවේගයක්. අප පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ගුවනට නැග්ගත් අප උපදවාගත් බලය කවදා හෝ අවසන් වෙනවා. එවිට ආපසු අපව පොලොව වෙත ඇද ගන්නවා ගුරුත්ව බලයෙන්. තුවක්කුවකින් පිටවන වෙඩි උණ්ඩයක් පවා මේ ස්වභාව ධර්මයේ නීති රීති වලට යටත්. අපි සාමාන්‍යයෙන් මේ මහ පොලොව මත දකින විවිධ වස්තූන් අපේ ඇස විසින් හඳුනාගන්නේ සියයට සියයක් නිවැරදිව නොවේ. සමතලා භූමියක අප ඈතින් දකින වස්තුවක් වෙත ඇති දුර නිශ්චය කිරීම බොහෝවිට සාර්ථක වුනත්, කඳු මුදුනක ඇති වස්තුවක් වෙත හෝ කඳු මුදුනක සිට පහල භූමියේ ඇති වස්තුවක් වෙත හෝ දුර නිශ්චය කිරීමේදී, අපේ ඇස දෘෂ්ටි මායාවන්ට හසු වෙනවා. ඒ නිසා අප වෙඩි තැබීම සඳහා ගන්න ඉලක්ක බොහෝවිට වැරදීයාමට ඉඩ තිබෙනවා.
 තුවක්කුවකින් පිටවන උණ්ඩයක් එය පිටවූ මොහොතේ පටන්ම ගුරුත්වාකර්ෂණය විසින් පොලොව දෙසට ඇදගනිමින් පවතිනවා. මේ නිසා එය ගමන් කරන්නේ අප සිතා සිටිනාවක් මෙන් සරල රේඛාවක නොවේ. ක්‍රමයන් පොලොව දෙසට පහත් වන වක්‍ර රේඛාවක් දිගෙයි උණ්ඩය ගමන් කරන්නේ. මේ නිසා ඉලක්කයක් ගැනීමේදී මේ වක්රතාව (tajectory) ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි.

මේ හේතු නිසා අපි සෑම විටම ඉලක්කයක් ගැනීමේදී, තුවක්කුව ඉලක්ක කලයුත්තේ, ඉලක්කයට මදක් ඉහලින් සිටින ආකාරයටයි. වම් පැත්තේ ඇති රූපය බලන්න. එහි මැද කොටසේ ඇත්තේ පොළොවට සමාන්තරව වෙඩි තැබීමේදී කලයුතු නිවැරදි පිළිවෙතයි. වෙඩි තබන්නාට ඉලක්කය පෙනෙන ආකාරය කොළ පාටින්ද, තුවක්කුවේ බටය යොමු කලයුතු ආකාරය නිල් පාටින්ද, උණ්ඩයේ ගමන් මග රතු පාටින්ද, පෙන්වා තිබෙනවා. නිල් පාටින් පෙන්වා ඇති ආකාරයට ඉලක්කය නොගෙන, කොළපාටින් දක්වා ඇති ආකාරයට ඔබ ඉලක්කය දකින විදිහටම තුවක්කුව යොමු කලොත් අර එළුවාගේ පාමුල ඔබේ උණ්ඩය වදිනවා. එවිට එළුවා හිටියාටත් වඩා හොඳින් (අපිට පස්ස පැත්තද පෙන්නා) දුවනවා. කඳු මුදුනක සිට පහල දෙස හෝ පහල භූමියේ සිට කඳු මුදුන දෙස බැලීමේදී අප දෘෂ්ටි මායාවකට හසුවෙනවා. ඒ නිසා අප මතක තබාගත යුතුයි, ඒ අවස්ථා දෙකේදීම, ඉලක්කය තිබෙන්නේ අපි හිතනවාට වඩා ආසන්නයෙන් බව. උදාහරණයක් වශයෙන් ඔබ හිතනවානම් ඉලක්කය තිබෙන්නේ මීටර් 200 ක් දුරින් කියා, ඔබ රයිෆලයේ දුර සැකසීමේ ඇණය කරකැවිය යුත්තේ මීටර් 170 ක පමණ දුරකට වෙඩි තබන ආකාරයටයි. එමෙන්ම ඉලක්කයට වඩා ඉහලින් සිටිනසේ තුවක්කුව අල්ලන කෝනයද සමතලා භූමියකදී වෙඩි තබනවිට එසේ ගන්න කෝණයට වඩා වැඩි විය යුතුයි.
දැන් බලන්න දකුණු පස ඇති රූපය දෙස. එහි පෙන්වා තිබෙන්නේ, වෙඩි උණ්ඩයක් තුවක්කුවෙන් පිටවූ පසු, ගුරුත්වාකර්ශනයට හසුවීම නිසා, ක්‍රමයෙන් එය පොළොවට පහත්වන ආකාරය. එහි පෙන්වා දෙන්නේ තත්පරයකට අඩි 3200 ක වේගයෙන් තුවක්කුවකින් පිටවන උණ්ඩයක් යාර 400 ක් දුර ගමන් කරන විට අඟල් 30 ක පමණ ප්‍රක්ෂිප්ත පථයක ගමන් කරන බවයි. ඉතින් දැන් ඔබට වැටහෙන්නට ඇති වෙඩි තැබීමත් විශේෂයෙන් ප්‍රගුණ කලයුතු ශිල්පයක් බව.
ප්‍රශ්නයට පිළිතුරු දුන් සියල්ලන්ට හද පත්ලෙන්ම ස්තුති කරන අතර නිවැරදි පිළිතුර ලෙස තේරුනේ හරී ලබාදුන් පිළිතුරයි. එය සියලුම න්‍යායාත්මක කරුණු තාර්කිකව පදනම් කර ගනිමින් ඉදිරිපත් කර තිබුනා. හරී, තෑග්ග හැටියට .303 රයිෆලයක් එවන්නද? සමහර අය අනුමානයට ලබාදුන් පිලිතුරුත් හොඳයි.
පසුව එකතු කිරීම. හරී මතක් කරලා තිබුනා මගේ අවසාන ප්‍රශ්නයට පිළිතුර දීලා නැහැ කියලා. ඇත්තටම මම හිතුවේ අර දෘෂ්ටි මායාව ගැන කිව්වම සියලු දෙනා තෙරුම්ගනියි කියලා උත්තරේ. හොඳයි, මේකයි. නැවත කියනවානම්, කන්ද පහල සිට උඩටත් උඩ සිට පහළටත් වෙඩි තැබීම එකසේ දුෂ්කරයි. හේතුව අර මා විස්තර කල දෘෂ්ටි මායාව හෙවත් දුර නිශ්චය කිරීමේදී ඇතිවන තත්වය. සහ ප්‍රක්ෂිප්ත වෙනසේ ඇති විශාලත්වය. දැන් හරිද හරී?

24 March 2012

ලේසි වැඩේ කෝකද?


මීළඟ ලිපිය පල කරන්නට පෙර මේ බ්ලොග් එක බලන සියලු දෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න ප්‍රශ්නය. ඉතා නවීන රයිෆලයක් ඔබ අතේ තියනවා. ඔබ එයින් වෙඩි තියන්නත් දන්නවා. ඔබ එක දවසක් දඩයමේ යනවා. ඔබ දකිනවා මීටර් 200 ක පමණ කඳු මුදුනක සිටින එළුවෙක්. ඔබ ඌට වෙඩි තියනවා. (වැදුනාද නැද්දැයි මා දන්නේ නැහැ) ඒ වගේම එම කඳු මුදුනේ ඔබ සිටින විට දකිනවා, කන්ද පාමුල සිටින එළුවෙක්. ඔබ ඌටත් වෙඩි තියනවා (පෙරසේම වැදුනාද නැද්දැයි මා දන්නේ නැහැ) මේ අවස්ථා දෙකෙන්, ඔබට වඩාත් පහසුවෙන් හා නිවැරදිව වෙඩි තැබීමට හැකිවන්නේ කන්ද පාමුල සිට කන්ද උඩටද? නැත්නම් කන්ද උඩ සිට කන්ද පාමුලටද? ඔබේ පිළිතුර කමෙන්ට් එකක් ලෙස ඉදිරිපත් කරන්න.

23 March 2012

අපේ කාලයේ තුවක්කු 4

කොහොමද? .303 රයිෆලයෙන් වෙඩි තැබීමෙන් පසු ඔබ සනීපෙන් ඉන්නවද? හරියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා. මම පාසල් ශිෂ්‍ය භටයකු කාලේ එහෙම වෙනවා මම දැක තිබෙනවා. එයට හේතුව උරහිසට හේත්තු වන පරිදි නිසි ලෙස රයිෆලය තබා නොගැනීමයි. රයිෆලයේ මිට (butt) සහ උරහිස අතර පරතරයක් සිටිනසේ රයිෆලය අල්ල ගත්තොත් එවැනි අනතුරු වෙනවා. 

දැනට තිබෙන පාසල් කාන්තා ශිෂ්‍යභට සාමාජිකයන්ටනම් මේ රයිෆලය කිසිසේත් සුදුසු නොවන බවයි මගේ හැඟීම. හැබැයි ටී 56 රයිෆලය මෙපමණ ගැස්සෙන්නේ නැති නිසා එය පහසුවෙන් පරිහරණය කල හැකියි. ඔබ පසුගිය ලිපියේදී .303 රයිෆලයට පතරොම් 10 ක් දැම්මා. ඒ කියන්නේ චාජර් දෙකක්. ඔබ සිතුවද මේ චාජර් කම්හලේදීම පතරොම් සහිතව එනවා කියා? එහෙමෙ නෙවෙයි. අපි අතින් චාජරයට පතරොම් සවි කරන්න ඕනේ. එක චාජරයට පතරොම් 5 බැගින්. ඉතින් දෙයියනේ චාජර් වලට පතරොම් පුරවන අතරේදී සතුරා අපිට අතවනලා අඬගහලා වෙඩි තියලා යයි නේද කියලා ඔබට සිතෙනු ඇති. නමුත් මොහොතක් සිතන්න. සතුරා අතේ තියෙන්නෙත් මෙවැනිම තුවක්කුවක්නම් දෙගොල්ලොම සමානයි. අනික චාජර් තියනවා කිලෝ ගානට. ඒ නිසා සටනට යාමට පෙර හැකිතරම් ප්‍රමාණයක් චාජර් පුරවලා සටන් බිමට ගෙනියනවා. 

ඔබ නොදන්නා තවත් දෙයක් කියන්නම්. අද පාවිච්චි කරන ටී 56 රයිෆලයට වුනත් පතරොම් පුරවන්න ඕනේ. ටී 56 අවියේ එක මැගසින් එකකට පතරොම් 30 ක් පුරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක තුවක්කුවකට මැගසින් 4 ක් එනවා. ඉති ඒ මැගසින් 4 ඉවර වුනාම මොකද කරන්නේ? ‘මල්ලී. . . මැගසින් පුරවනතුරු කෙටි විරාමයක් හොඳේ ‘ කියලා සතුරාට කියනවද? දැන් වුනත් කරන්නේ අර වැඩේම තමයි. සටනට යන්න කලින් අමතර මැගසින් දහස් ගණනක් පුරවා තබා ගන්නවා. 

බිම දිගේ බඩගාගෙන හෝ ගිහින් සටන් කරන පිරිසට ඒ මැගසින් දීම හෝ ඒ අයගේ මැගසින් ඉවර වනවිට එතනට වෙන කෙනෙක් යෙදවීම (අවස්ථාව අනුව) කෙරෙනවා. ඒ වගේම යුද බිමේදීම ඉතා වේගයෙන් මැගසින් පුරවා ඉදිරි භූමියට යැවීමට වෙනම කණ්ඩායම් ඉන්නවා. එදත් අදත් එය එහෙමමයි. මැගසින් පුරවන යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් හදලා නැහැ. ඔන්න ඔබ එකක් හැදුවොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්.

පසුගිය ලිපියේදී අපි .303 රයිෆලයෙන් ඉදිරි භූමියට වෙඩිල්ලක් තබා බැලුවා මතක ඇති. ඉතින් ආයෙත් වෙඩිල්ලක් තියන්න ඔබ මොකද කල යුත්තේ? නැවතත් බෝල්ට් එක වමට කරකවා පස්සට අදින්න. එවිට ඔබ වෙඩි තැබූ පතරොමේ හිස් කොපුව එලියට විසිවෙනවා. දැන් නැවතත් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට කරකවන්න. දැන් නැවතත් පතරොමක් චෙම්බරයට ඇතුළුවී තිබෙනවා. ඔය විදිහට ඔබට වෙඩි 10 ක් තැබිය හැකියි. ඉන්පසු එක්කෝ ඔබට පතරොම් පිරවූ මැගසින් එකක් ලැබුනොත් කෙලින්ම එය රයිෆලයට සවිකර නැවතත් වෙඩි තැබිය හැකියි. නැතිනම් ඔබට සිදුවන්නේ මැගසිනයට පතරොම් 10 ක් පිරවීමටයි.

රයිෆලයේ බෝල්ට් එක පිහිටි කොටසේ තවත් විස්තර මේ පින්තුරයෙන් බලන්න. තුවක්කුවකින් වෙඩි තැබීම කල්පනාකාරීව සහ ශාස්ත්‍රානුකූලව කලයුතු ක්‍රියාවක්. ඔබ දැක ඇති චිත්‍රපටිවල තුවක්කු සටන් වලදී නළුවන් හැරුණු හැරුණු අතේ සෑම වෙඩිල්ලක්ම නිවැරදි ඉලක්කයට තබනවා. එවැනි වෙඩික්කරුවන් ඉන්නේ චිත්‍රපටිවල මිසක් සැබෑ ලෝකයේ නොවන බව හොඳින් මතක තබාගන්න. එවැනි අය 10 ක් විතර යවලා අපට එල්.ටී.ටී.ඊ. යුද්ධය ජයගන්න තිබුනා, ඔවුන් ඇත්තටම මේ ලෝකයේ ඉන්නවානම්.
තුවක්කුවකින් වෙඩි තැබීමේ මූලික ඉරියව් තුනක් තිබෙනවා.
1. සිටගෙන වෙඩි තැබීම
2. දණ ගසාගෙන වෙඩි තැබීම
3. බිම දිගාවී වෙඩි තැබීම
සිටගෙන වෙඩි තැබීමටනම් ඔබ ඉලක්කය පහසුවෙන් දර්ශනය වන භූමියක සිටිය යුතුයි. ඉලක්කය ඔබට සෑහෙන තරම් ආසන්න විය යුතුයි. ඉලක්කය සතුරකු නම් සතුරාට ඔබව නොපෙනිය යුතුයි. රාත්‍රී කාලයටනම් මෙය එතරම් සුදුසු මදි. මේ රූප සටහනෙන් පෙන්වන්නේ සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වයි.
 වෙඩි තබන්නා තම දෙපා අඩි දෙකක් පමණ පළලට තබාගෙන සිටිනවා. තුවක්කුව හොඳින් ග්‍රහණය කරගෙන සිටිනවා. හැබැයි ඔබ ගෑනු ළමයෙක් බදාගන්නවා වගේ කිටි කිටියේ තුවක්කුව බදාගත්තොත් කිසි දෙයක් කරන්නට බැහැ. (ගෑනු ළමයෙක් ඕනෙවට වඩා හයියෙන් බදාගත්තත් කිසි දෙයක් කරන්න බැහැනේ) තුවක්කුවේ බට් එක හොඳින් උරහිසට හේත්තුවී තිබෙනවා. වම් අතෙන් හෑන්ඩ් ගාඩ් එකත් දකුණු අතෙන් පිස්ල් ග්රිප් එකත් අල්ලාගෙන සිටිනවා.

දැන් බලන්න දණගසාගෙන වෙඩි තැබීමේ ඉරියව්ව. සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වේදී මෙන් මෙහිදීද සැලකිල්ලට ගතයුතු කරුණු මොනවාදැයි ඔබට වැටහෙනවා ඇති.වෙඩි තබන්නාගේ දකුණු කකුල තබාගෙන සිටින ආකාරය නිසා තුවක්කුවෙන් ඇති කරන ගැස්සීමද පාලනය කරනවා. මේ රූප සටහන් වලදී ඔබ අවධානය යොමු කලයුතු අනෙක් කරුණ තමයි තුවක්කුව පොළොවට සමාන්තරව සිටිනසේ අල්ලාගෙන සිටින ආකාරය.
අපි දැන් බලමු බිම දිගාවී වෙඩි තැබීමේ ඉරියව්ව කෙබඳුද කියා.
 
වම් පස ඇති රූපයෙන් ඔබට පෙනෙන්නේ රයිෆලයේ බට් එකේ පිටුපසයි. බලන්න එහි ඉතා ඝන යකඩ තහඩුවක් සවිකර තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බට් ප්ලේට්’ එක කියලයි. ඒ බට් ප්ලේට් එකේ පුංචි දොරක් තිබෙනවා. දැක්කද එය විවෘත කර ඇති හැටි? එයින් එලියට එන්නේ රයිෆලය පිරිසිදු කිරීමට ගන්න තෙල් (රයිෆල් ඔයිල්) සහිත කුප්පියයි. ඊට අමතරව ඊළඟ රූපයෙන් පෙන්වන සුරයක් වැනි කොටස හෙවත් ‘වේට් එක’ සහ සිහින් ලනුව හෙවත් ‘පුල් ත්රූ’ එකත් තියෙන්නේ අර බට් ප්ලේට් කුහරයෙමයි. 

ඉතින් කොහොමද මේවා පාවිච්චි කර රයිෆලය පිරිසිදු කරන්නේ. මුලින්ම මේවා එලියට ගන්න. ඊළඟට රයිෆලයේ පතරොම් හිස්කර බටයේ මුල පැත්තෙන් (චෙම්බර්) ‘පුල් ත්රූ’ එකට සවිකර ඇති ‘වේට්’  එක යවන්න. එහි බරට එය සෙමෙන් බටය දිගේ ගොස් අනික් පැත්තෙන් මතු වෙනවා. එවිට එය ඉවතට ගන්න. නමුත් ලණුවේ මේ පැත්තේ කෙලවර ඔබ අතේ තිබිය යුතුයි. වේට් එකේ පැල්මක් තියනවා. එයතුලින් දැමිය හැකි සිහින් රෙදි පටි විශේෂයක් තිබෙනවා ‘ප්ලැන්ලට්’ කියා. එයින් පටියක් වේට් එකේ පැල්ම තුලින් යවා එය තෙල් වලින් පොඟවා ආපසු අදිනවා එවිට රයිෆල් බටය පිරිසිදු වෙනවා. අවශ්‍යතාවය අනුව මෙය කීප වරක් කිරීමට සිදුවෙනවා. ප්ලන්ලට් කෑල්ල කිලුටුනම් අලුත් එකක් යොදන්න. ඉන්පසු අනෙක් කොටස් සියල්ල ගලවා (බෝල්ට් එක, මැගසින් එක, ආදිය) තෙල් ගල්වා පිරිසිදු කර යුතුයි. ගොඩාක් වෙඩි තැබුවානම් බටයේ ඇතුලත මුලින්ම උතුරන වතුර දමා සෝදා ඉන්පසු ‘පුල් ත්රූ’ කල යුතුයි. වතුර බිඳක්වත් බටයේ ඇතුලත නොසිටින පරිදි පිරිසිදු කල යුතුයි. දැන් රයිෆලය සවිකර පිරිසිදු රෙදි කඩකින් පිසදමා හාදුවක්ද දී ආයුධාගාරයේ තැන්පත් කරන්න. 

මීළඟට මා ඔබේ අතට දෙන්නේ මීට වඩා ප්‍රබල අවියක්. එය පිළිගැනීමට සූදානමින් සිටින්න.

20 March 2012

භූතයාගේ වරදානය


යුද හමුදා කපිතන් වරයෙක්, සැරයන් වරයෙක් සහ කෝප්‍රල් වරයෙක් මුලතිවු කැලේ මැදින් ගමන් කරමින් සිටියා. එක වරම සැරයන්ගේ කකුල බිම තිබුණු යමක වැදුනා. එය පොළොවේ වැලලීගිය භාජනයක් වැනි යමක් බව පෙනුන නිසා, බිම් බෝම්බ ඉවත් කරන විදිහට හාරලා ගොඩ ගත්තා. ටිකක් එහාට මෙහාට හරවලා බලනකොටයි තේරුනේ එය ඉතා පැරණි යුගයකට අයත් පහනක් බව. 

සැරයන් වරයා පහනේ තිබුණු පස් පිසදමන්නට පටන්ගත්තා විතරයි, දුම් වලාවක් සමග යෝධ භූතයෙක් පහනෙන් මතුවුනා. හමුදාවේ තුන්දෙනාම ගල් ගැහිලා ගියා. භූතයා කිව්වා බය වෙන්න එපා, මම මේ පහනේ භූතයා. කවුරුහරි අතේ මේ පහන තියනවනම්, මම එයාගේ සේවකයා. මා ළඟ වර තුනක් තියනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඒ නිසා වර තුනක් ඉල්ලන්න කියලා කිව්වා. 

කපිතන් කිව්වා, ‘සාජන්, ඔයාටනෙ පහන හම්බ වුනේ, ඒ නිසා ඔයා මුල්ම වරය ඉල්ලන්න, කෝප්‍රල්, නිලධාරියෙක් හැටියට මම ඔයාව කපාගෙන යන්න කැමති නැහැ, ඔයා ඊළඟ වරය ඉල්ලන්න. මම අන්තිම වරය ඉල්ලන්නම්’ කියලා. 

ඔන්න සැරයන් භූතයාගෙන් මෙහෙම ඉල්ලුවා. මාව ඇමරිකාවේ හවායි වෙරළට ගෙනියන්න. මට ලස්සන සුද්දියෝ දෙන්නෙකුත් ඕනේ මාඑක්ක දවස් කීපයක් ගත කරන්න. මෙහෙම කිව්වා විතරයි ‘පොහ්’ ගාලා සද්දයක් එක්ක සැරයන් අතුරුදන් වුනා. කෝප්‍රල් මෙහෙම ඉල්ලුවා මාව යවන්න ඩුබායි වලට. මට ඕනේ ලස්සන අරාබි කාන්තාවන් එක්ක කැසිනෝ ශාලා වල සැරිසරන්න. කොප්‍රලුත් ‘පොහ්’ ගාලා අතුරුදන් වුනා. 

කපිතන් තමන්ගේ ඉල්ලීම කරන්න හදනකොටම බල ඇණියේ අණදෙන නිලධාරියා, කපිතන් අතේ තිබුන ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් විමසුවා මොකද ප්‍රමාද කියලා. කපිතන් උඩ විසිවුනා. ‘හත් ඉලව්වයි, මල ජූලියයි, (ഹ്സ്വ്ക്ക ) යකෝ, අර බැල්ලිගෙ පුතාලා දෙන්නා දැන්මම ආපහු මෙතනටම ගෙනත් දියන්. අද රෑට ඔපරේෂන් එකක් තියනවා’. කපිතන් තමන්ගේ වරය ඉල්ලුවා.

අපේ කාලයේ තුවක්කු 3

මුලින්ම මෙම ලිපි මාලාව කියවන සියලුම දෙනාගෙන් සමාව අයදිනවා මේ කොටස පල කිරීමට ප්‍රමාද වීම ගැන. කිසිසේත් වලක්වාගත නොහැකි වැඩ කටයුතු රාශියකට යොමුවීමට සිදුවීම නිසයි ප්‍රමාදය ඇති වුනේ.

මා ඔබට .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය හඳුන්වා දුන්නා මතක ඇති, පසුගිය ලිපියෙන්. අද තවදුරටත් ඉදිරියට යමින් අපි ඒ රයිෆලයෙන් සයිබර් අවකාශය තුල වෙඩි තබමු. මා මුලින්ම මේ රයිෆලයෙන් වෙඩි තැබුවේ 1969 දී බවයි මගේ මතකය. 1895 හඳුන්වාදුන් රයිෆලයකින් ඊට අවුරුදු 75 කට පමණ පසු වෙඩි තබන්නට ලැබීමත් වාසනාවක්නේ. 

හැබැයි පාසල් ශිෂ්‍ය භටයන් වූ අපි ශක්තිමත් මිනිසුන් නොවුණු නිසා, මේ රයිෆලයෙන් වෙඩි තබනවිට ඇතිවන ගැස්සීමෙන්, අපේ උරහිසේ රයිෆලයේ මිටේ හැඩයට රතුපාට සලකුණක් (අපි සුදු කොල්ලො ඈ) ඇතිවීමත් මට හොඳට මතකයි. ඒ කාලේ අපේ වෙඩි තැබීම් උපදේශකව හිටියේ පාබල හමුදාවට (Ceylon Light Infantry = CLI අද Sri lanka Light Infantry = SLLI) අයත් සැරයන් ‘රෝසා’ නමැති උපදේශක වරයෙකි. අපට සුළු වැරදීමක් වුවද ඔහු, ‘බනිසා , බනිසා, බනිස් මරුවා, ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බනිස් කීයක් කනවද? දැන් එනවා මෙතන. තුවක්කුවක් හරියට අල්ලගන්ඩ බැහැ’ කියා කෑ ගසන අතර ඔහුගේ කෝපය ඉහවහ යන්නේ අපි කරන තවත් වැරැද්දක් නිසාය. 

දියතලාව යාර 220 (මීටර් 200) වෙඩිපිටියේ සවිකර ඇති ඉලක්ක පත් (Target) වලට ඉහලින් ඒ ඒ ඉලක්කපතේ අංකය සඳහන් ලෝහ පුවරුවක් ඇත. මෙවැනි ඉලක්කපත් 8 ක් තිබුන බවයි මගේ මතකය. වෙඩි තැබීමේදී අපි කොයිතරම් දක්ෂද කිවහොත් ඉලක්කපතට අඩි 8 ක් පමණ ඉහලින් සවිකර ඇති අංක තහඩුවට වෙඩි තබන අතර, එයින් චිත්‍රපටියක වෙඩි තැබීම් දර්ශනයකදී මෙන් ‘ටෑන්’ යනුවෙන් ශබ්දයක් එයි. ඒ  අතර තහඩුවේ හිලක්ද සෑදෙයි. රෝසා ‘යකා’ වී රයිෆලයේ බටය පිරිසිදු කිරීමට ගන්නා හීනි යකඩ කූරෙන් අපේ පස්ස පැත්ත රත්වෙන්නට පහරක් දෙයි.
     
සයිබර් අවකාශයේ වෙඩි තැබීමට පෙර අපි .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයේ මූලික කොටස් හඳුනා ගනිමු. මින් ඉදිරියට මා ඒ ඒ කොටස් සම්බන්ධ කරුණු විස්තර කිරීමේදී ඔබට පහත දැක්වෙන රූප සටහන ආධාරකයක් වශයෙන් තබාගත හැකිවනු ඇති.
.303 රයිෆලය විප්ලවකාරී වෙනසක් ඇති කලේ ,එහි තිබුණු කාර්යක්ෂමතාවය එකල තිබුණු අනෙකුත් බෝල්ට් ඇක්ෂන් තුවක්කු වලට වඩා ඉහලින් තිබීමයි. අනෙකුත් තුවක්කු සෑම එකකටම එක වරකට යෙදිය හැකි වුයේ එක පතරොමක් පමණයි. නමුත් මේ රයිෆලයට එකවර පතරොම් 10 ක් යොදන්නට හැකිවීම විශේෂ දියුණුවක් බවට පත්වුනා. අපි දැන් ඉහත සඳහන් රූප සටහනේ ඇති රයිෆලයේ බටයේ කෙලවර සිට එහි මිට දක්වා කොටස් හඳුනා ගනිමු. 

මේවාට සිංහල නම් යොදනවාට වඩා ඉංග්‍රීසි නම් වලින්ම හැඳින්වීම පහසුයි. මස්ල් කියන්නේ බටයේ අග හෙවත් කෙලවර. උණ්ඩය මෙතනින් පිටවෙන්නේ විදුලි වේගයෙන්. ඊට පිටුපසින් ඇත්තේ ඉලක්කය ගැනීමට ආධාර වන ෆෝසයිට් බ්ලේඩ් එක. බ්ලේඩ් කිව්වාට එය කැපෙන දෙයක් නෙවෙයි. එහි ආරක්ෂාව සඳහා දෙපසින් ඉහලට එසවුණු කොටස් දෙකක් තිබෙනවා දැක්කාද?  රයිෆලය කරේ එල්ලගෙන යන පටිය (රයිෆල් ස්ලින්ග්) සවිකිරීමටයි ස්වයිවල් රිංග් දෙකක් තිබෙන්නේ. රයිෆලයේ බටය වෙඩි තැබීමේදී අධිකව රත් වෙනවා. ගෑවුනොත් අත පිච්චෙන තරමට. ඒ නිසයි ලීයෙන් සෑදු හෑන්ඩ් ගාඩ් එකක් තියෙන්නේ එයින් වෙඩි තබන්නාගේ අතත් රයිෆල් බටයත් ආරක්ෂා වෙනවා. බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය මම මීට පෙර කිව්වා. ඉදිරියේදී තවත් විස්තර කරන්නම්. ලීෆ් බැක් සයිට් එකෙන් තමයි වෙඩි තැබීමේ දුර සකස් කරගන්නේ. එහි උඩ කොටසේ කරකැවෙන ඇණයක් තිබෙනවා. 

අපි තුවක්කුවක කොකා කියන කොටසට තමයි ඉංග්‍රීසියෙන් ට්‍රිගර් කියන්නේ. එහි ආරක්ෂාවට එය වටා ඇති අර්ධ කවාකාර යකඩ පටියට කියන්නේ ට්‍රිගර් ගාඩ් කියලයි. තුවක්කු මිට (අපේ සමහර ගැමියන් ‘තුවක්කු වල්ල’ කියනවා මා අසා තිබෙනවා) තමයි බට් කියා හඳුන්වන්නේ.
මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 රයිෆලයට යොදන පතරොමයි. එය හඳුන්වන්නේ .303 බෝල් පතරොම යනුවෙන්. බෝල්ට් නෙවෙයි බෝල්. මෙන්න පතරොම.
දැන් අපි රයිෆලයට පතරොම් දමමු. එය කරන්නේ මෙහෙමයි. රයිෆලය ක්‍රියාත්මක කිරීමට එහි ආරක්ෂක ඇණය හෙවත් ‘සේෆ්ටි කැච් safty catch’ එක ඉදිරියට දැමිය යුතුයි. මේ තියෙන්නේ සේෆ්ටි කැච් එක හා ඒ සමග යාවෙන අනෙක් තොරතුරු. මෙය පසුපසට දමා ඇත්නම් රයිෆලය ක්‍රියාත්මක වන්නේ නැහැ.
හොඳයි. දැන් ඔබ දන්නවා රයිෆලයේ ආරක්ෂක අගුල අරින්න. ඉතින් දැන් සෙමින් එය ඉදිරියට අර්ධ කවාකාර හැඩයට කරකවන්න. දැන් රයිෆලයේ මැගසින් එකට ඉදිරියෙන් හෑන්ඩ් ගාඩ් ලී කොටස වම් අතින් අල්ලාගෙන දකුණු අතින් බෝල්ට් එක වාමාවර්තව අංශක 90 ක් කරකවා පසුපසට අදින්න. ඔන්න බෝල්ට් එක අරුනා. දැන් පෙනෙනවානේද මැගසින් එකේ උඩ පැත්ත බෝල්ට් විවරයට යටින්.
ඉහත දී මම රූපයකින් පෙන්නලා තියනවා පතරොම් 5 ක් එකට අමුණලා තියන චාජරය නමැති කොටස. දැන් ගන්න එවැනි චාජරයක් අතට. ඒවා තියෙන්නේ ඔබේ නිල ඇඳුමේ ඉදිරිපස කොටසේ පපුව දෙපැත්තේ එල්ලාගෙන සිටින පවුචස් නමැති කැන්වස් බෑග් වලයි.
එක පවුච් එකක චාජර්ස් 15 ක් විතර දාන්න පුළුවන්. හොඳයි, දැන් අපි චාජරයේ ඇති පතරොම් මැගසින් එකට කවන්නයි යන්නේ. බලන්න කරන විදිහ.
දැක්කනේ වැඩේ? ‘වැරි සිම්පල්’ නේද? මහපට ඇඟිල්ලෙන් පතරොම් ටික පහලට තද කරනවා ‘චරාස් ‘ගාලා ඔක්කොම පතරොම් මැගසින් එක ඇතුලට යනවා. මදි මදි පතරොම් පහයිනෙ දැම්මේ. මේ මැගසින් එකට පතරොම් 10 ක් දාන්න පුළුවන්. ඒ නිසා තව 5 ක් දාන්න කම්මැලි නැතුව. නැත්තම් මම ‘රෝසට’ කියනවා.
හරි. දැන් හරි පතරොම් පුරවපු මැගසින් එක ගලවලා බලන්න පුළුවන්. ඒ සඳහා ට්‍රිගර් ගාඩ් එකට ඉදිරියෙන් තියනවා මැගසින් කැච් කියලා පුංචි ලීවරයක්. එය මිරිකා මැගසිනය ඉදිරියට තල්ලු කලාම මැගසිනය ගැලවී අතට එනවා. මේ බලන්න පතරොම් පිරුණු මැගසිනය.
මැගසින් එක ආපහු මැගසින් විවරයෙන් තියලා අතින් හයියෙන් තට්ටුවක් දෙන්න. ටකස් ගාලා ශබ්දයක් එක්ක එය ලොක් වෙනවා. දැන් වෙඩි තියමු නේද? ඔව්, දැන් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට අංශක 90 ක් කරකවන්න. එවිට බෝල්ට් එක මැගසින් එකේ උඩින්ම තියන පතරොම රයිෆල් බටයේ මුලට (එතනට කියන්නේ චේම්බර් එක කියලා) තල්ලුකර ලොක් කරනවා. පරිස්සම් වන්න. දැන් ඔබ අතේ තියෙන්නේ වෙඩි තැබීමට සූදානම් කල අගුලු දමා නැති රයිෆලයක්. සුළු අත් වැරද්දකින් ට්‍රිගරය මිරිකුනොත් වෙඩිල්ල පිටවෙනවා. දැන් ඔබ රයිෆලය වෙඩි තැබීමේ ඉරියව්වට ගතයුතුයි. බිම දිගාවී හෝ දණ ගසාගෙන හෝ සිටගෙන හෝ වෙඩි තැබිය හැකියි . අවශ්‍යතාවය හා පරිසර තත්ත්වය අනුවයි, වෙඩි තැබීමේ ඉරියව්ව තීරණය කල යුත්තේ. දැනට ඔහොම නිකම් ඉදිරි භූමියට වෙඩිල්ලක් තියන්න. එවිට ඔබට මේ රයිෆලයේ ක්‍රියාකාරිත්වය ගැන හැගීමක් ඇති වෙනවා. ඊළඟ කොටසේදී හරියට වෙඩි තබමු. මතක ඇතුව වෙඩි තැබීමෙන් පසු සේෆ්ටි කැච් එක පසුපසට කරකවා තුවක්කුව අගුලු දමන්න. (Safety First)

14 March 2012

අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටස

අපේ කාලයේ තුවක්කු පළමුවැනි කොටස මා ආරම්භ කලේ චූර්ණිකාවකිනි. මෙන්න දෙවැනි කොටසට අදාළ චූර්ණිකාව. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව හමාර කරන සියලුම ශිෂ්‍ය භටයන්, දියතලාව පුහුණු කඳවුර වෙත යාමට පෙර, දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතුය. මෙහිදී, ඛණ්ඩය භාර නිලධාරියා, ඛණ්ඩය පෙළගස්වා, සියලු දෙනාම දකුණු අතේ අල්ල ඉදිරියට සිටිනසේ වැලමිටෙන් අත නවා, දිවුරුම් දීමේ ඉරියව්වෙන් සිට ඛණ්ඩ භාර නිලධාරියා විසින් කියවනු ලබන වාක්‍යයක් කියවනු ලබයි. 

1968 වර්ෂයේදී මා මුලින්ම මේ වාක්‍යය කියවූ හැටි මට මතකය. එහිදී අපි දිවුරුම් දුන්නේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ලංකාව ආරක්ෂා කරන බවටය. (1971 කැරැල්ලේ චුදිතයන්ට එරෙහිව නැගු චෝදනාව වූයේද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජ්‍යයට අයත් ලංකාව පැහැර ගන්නට තැත් කිරීමය) මෙම දිවුරුම් දෙන අවස්ථාවට සාමදාන (සමාදාන නොවේ) විනිශ්චයකාර වරයකුද සහභාගිවූ අතර, ඔහු සිය අත්සන යොදා දිවුරුම සහතික කළේය. මෙය ඇත්ත වශයෙන්ම ඉතා ගරුගම්භීර ලෙස සිදුවිය. අධිරාජ්‍යවාදී සහ යටත්විජිතවාදී ස්වරූපය එහි තිබුනද ශිෂ්‍ය භටයාගේ අභිමානයට ඉන් හානියක් නොවූ බවයි මගේ හැඟීම.

ඉතින්, අපේ කාලයේ තුවක්කු වලින් මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 ලී එන්ෆීල්ඩ් වර්ගයේ රයිෆලයයි. (.303 Lee Enfield Rifle)
ලෝක ඉතිහාසයේ මෙතෙක් පාවිච්චි කල තුවක්කු අතරින් මේ තුවක්කුවට හිම්වන්නේ අද්විතීය ස්ථානයකි. මෙය ‘බෝල්ට් ඇක්ෂන් Bolt Action’ ක්‍රමයට සැකසු තුවක්කු අතරින් ව්ශිෂ්ඨතම තුවක්කුව ලෙස හැඳින්විය හැකිය. දැන් ඔබේ ප්‍රශ්නය මම දනිමි. බෝල්ට් ඇක්ෂන් කියන්නේ මොකක්ද? එය ඉතා සරලව පැහැදිලි කල හැකියි. ඔබ දන්නවානේ ඔබේ නිවසේ දොරවල් වලට සවි කර ඇති ‘සොයිබය’ නමැති කොටස. මේ තියෙන්නේ.
 ඔබ මේකට කියන්නේ වෙනත් නමක්ද? හොඳයි, නම මොකක් වුනත් මට අවශ්‍ය වුනේ, මේ කොටසේ ක්‍රියාකාරිත්වය ඔබට හොඳින් මතක තිබෙන නිසා, ඒ ඇසුරෙන් කරුණු පැහැදිලි කරන්නයි. මේ කොටස ඉංග්‍රීසියෙන් හඳුන්වනේ ‘ඩෝර් බෝල්ට්’ කියලා. ඔබට මතකනේ, අගුල දැමීමටනම්, මේ කොටස ඉදිරියට (දොරේ තිබියදී උඩට, පහලට හෝ පැත්තට විය හැකියි) තල්ලු කර, එහි හිස කොටස පැත්තට නැවීමයි කල යුත්තේ. එමෙන්ම අගුල ඇරීමටනම්, ඒ ක්‍රියාවම ප්‍රතිවිරුද්ධ දෙසට කල යුතුයි. ඉතින් බෝල්ට් ඇක්ෂන් රයිෆලයෙන් වෙඩිල්ලක් තැබීමට හා වෙඩි තැබූ පසු හිස් පතරොම ඉවත් කිරීමටත් කලයුත්තේ එම ක්රියාවමයි. දැන් තේරුනා නේද බෝල්ට් ඇක්ෂන් එක. හැබැයි දොරේ බෝල්ට් එකනම් ඔබට වමට හෝ දකුණට නැවිය හැකියි. එහෙත් රයිෆලයේ බෝල්ට් එක නැවිය හැක්කේ දකුණු පැත්තට පමණයි.

ලී එන්ෆීල්ඩ් රයිෆලයට දීර්ඝ ඉතිහාසයක් තියනවා. එය හැකි තරම් සංක්ෂිප්තවයි මම ඉදිරිපත් කරන්නේ. එයට හේතුව නීරස භාවය හැකිතාක් අඩුකර ගැනීමයි. ඔබ දැක ඇති, නැත්නම් අහලා ඇති, අපේ රටේත් ඉස්සර තිබුන, සමහර විට දැනුත් හොරට තියාගෙන ඉන්න, ‘බෙහෙත් කොටන තුවක්කු’ කියන තුවක්කු වර්ගය. බෙහෙත් කොටන කියන්නේ බෙහෙත් දාලා කාට හරි කොටනවා නෙවෙයි. ඒ වර්ගයේ තුවක්කු වලට තිබුනේ පතරොම් නෙවෙයි. තුවක්කුවේ බටය අගින් වෙඩි බෙහෙත් සහ මූනිස්සම් ඇතුළු කරලා කුඩා පුළුන් කෑලි, ඉතා කුඩා රෙදි කෑලි, ඔබලා හීනි දිග ලී කූරකින්, ඒවා හොඳින් හිර වෙන්න කොටනවා. ඒ ලී කූරට කිව්වේ ‘අච්චුක් කූර’ (Ram Rod) කියලා. ඉන්පසු තුවක්කුවේ බටයේ මුල පැත්තේ (තුවක්කුවේ මිට පැත්තේ) ඇති නිපල නමැති ස්ථානයට ගිනි තබනවා. (පසු කාලීනව නිපල මතට ගැස්සිය හැකි කොකෙක් නිර්මාණය කෙරුනා) 

ඉතින් හිතාගන්න පුළුවන් නේද යුද්ධයකදී එක වෙඩිල්ලක් තියලා ඊළඟ වෙඩිල්ල තියන්න කොච්චර වෙලා යන්න ඇද්ද කියලා. (දැනට පාවිච්චි කරන ටී 56 වැනි අවියකින්, ඉතා හොඳින් පුහුණු සොල්දාදුවකුට, විනාඩියකට උණ්ඩ 600 ක් පමණ වෙඩි තැබිය හැකියි.) මෙසේ තුවක්කු කට පැත්තෙන් වෙඩි බෙහෙත් කවලා වෙඩි තියන තුවක්කු හැඳින්වුණේ ‘මස්ල් ලෝඩර්ස්’ (Muzzleloaders) කියලයි. තුවක්කුවේ මිට පැත්තෙන් ඇරලා එතනින් පතරොම් ඇතුළු කරලා වෙඩි තියන ක්‍රමය ආවේ ඊට පස්සේ. එවැනි තුවක්කු වලට කියන්නේ ‘බ්රීච් ලෝඩර්ස්’ (Breech Loaders) කියලයි.
ලී එන්ෆීල්ඩ් රයිෆලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ‘ජේ.පී. ලී’ නමැත්තායි (1831 – 1904) ඔහු විවිධ තුවක්කු වර්ග නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක්. .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය මුලින්ම නිපදවුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර උප නගරයක් වූ එන්ෆීල්ඩ් ප්‍රදේශයේදී 1902 වර්ෂයේදී. ලී මහතාට කරන ගෞරවයක් වශයෙනුත්, රයිෆලය නිපදවූ ප්‍රදේශයට කෙරෙන ගෞරවයක් වශයෙනුත් මෙය ලී එන්ෆීල්ඩ් රයිෆලය නමින් නම් කරනු ලැබුවා. 

මේ රයිෆලයේ කැලිබර් එක වුනේ .303 ඒ නිසා මේ රයිෆලයේ සම්පූර්ණ නම ‘.303 ලී එන්ෆීල්ඩ් රයිෆලය’ යන්නයි. මෙහි මුල්ම මෝස්‌තර 1880 ගණන් වල සිට බ්‍රිතාන්‍ය හමුදා විසින් භාවිතයට ගැණුනා. කෙසේ වෙතත් 1960 දශකය වනවිට බ්‍රිතාන්‍යය මෙය හමුදාවල පාවිච්චියෙන් ඉවත් කළා. ලංකාවේ මෙය පාවිච්චියෙන් ඉවත් කෙරුනේ 1980 දශකයේ මැද හෝ අග භාගයේදී. අවසාන වරට මෙය ලංකාවේ භාවිත කලේ පොලීසියයි.

සාමාන්‍යයෙන් ගිනි අවියක (firearm) තත්වය, හැකියාව, මනින ලෝක සම්මත මිනුම් දඬු තිබෙනවා. ඒ මිනුම් දඬු අනුව 303 රයිෆලයට ලැබෙන්නේ වැදගත් තැනක්. ඒ ගැන කෙටි විස්තරයක් මේ.
වර්ගීකරණය = බෝල්ට් ඇක්ෂන් රයිෆල්
නිපදවූ රට = මහා බ්‍රිතාන්‍යය
පාවිච්චි කිරීම = 1895 සිට 1960 දශකය දක්වා
ලෝකයේ සමහර රටවල අදටත් පාවිච්චි කෙරේ. කිසිදු රටක අලුතෙන් නිපදවන්නේ නැත.
පාවිච්චි කල විශේෂ අවස්ථා
1 වැනි ලෝක මහා සංග්‍රාමය
2 වැනි ලෝක මහා සංග්‍රාමය
කොරියානු යුද්ධය
අරාබි ඊශ්‍රායල් යුද්ධය
ඇෆ්ඝනිස්තාන් අර්බුදය
නිෂ්පාදන ඉතිහාසය
සැලසුම්කරු = ජේම්ස් පැරිස් ලී
මෙතෙක් නිපදවා ඇති අවි ගණන = 17,000,000 වඩා වැඩිය.
මෙතෙක් නිපදවා ඇති මෝස්‌තර ගණන 13 කි
තුවක්කුවේ දිග = පැරණි මෝස්තරය අඟල් 30 යි. නව මෝස්තරය අඟල් 44 යි.
තුවක්කු බටයේ දිග = අඟල් 25 යි
තුවක්කුවේ බර = රාත්තල් 8.8 (4 කි.ග්රෑම්)
උණ්ඩ පිටවන සාපේක්ෂ ප්‍රවේගය (Muzzle Velocity) = තත්පරයට අඩි 2441 (මීටර් 744)
සාඵල්‍ය දුර (effective range) (වෙඩිල්ලකින් ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන උපරිම සීමාව) = යාර 550 යි (මීටර් 503)
වෙඩි උණ්ඩයක් ගමන් කරන උපරිම දුර (maximum range) = යාර 3000 යි (මීටර් 2743)
වරකට තුවක්කුවට යෙදිය හැකි පතරොම් ගණන (magazine capacity) = 10 යි.
කොටස් හැඳින්වීම, වෙඩි තබන හැටි, ආදී තවත් රසවත් තොරතුරු මීළඟට.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }