වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත
‘සංග්‍රාමයෙන් පසු’ නමැති කෘතිය ඇසුරෙන්
මේ දවස්වල පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය වල අසන්නට දකින්නට ලැබෙන තොරතුරු අතර, හමුදාවෙන් පැනගිය හෝ හමුදා සේවයේ යෙදීසිටින අයවලුන් සම්බන්ධවූ අපරාධ පිළිබඳව තොරතුරු පළවෙනවා. දැන් දැන් හමුදා සාමාජිකයන් වෙත මහජන අප්‍රසාදය එල්ලවීම දකින්නට පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? හමුදා සාමාජිකයන් අපරාධ කාරයන්ද? හොරකම් කරන්නේ, මිනීමරන්නේ, ස්ත්‍රී දූෂණ කරන්නේ නැතිව ඉන්න හමුදා සාමාජිකයන්ට බැරිද? අඩු අධ්‍යාපන සුදුසුකම් තිබුනත්, හොඳ වැටුපක් සහ වෙනත් පහසුකම් රාශියක් ලබන මේ අය තෘප්තිමත් නොවන්නේ කුමන කාරනා වලින්ද? මේ කරුණුත් සම්බන්ධ කරගනිමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, පශ්චාත් සංග්‍රාමික මානව කළමනාකරණය පිළිබඳවයි. මේ සඳහා මා ආධාර කරගන්නේ වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා විසින් රචනා කර ඇති ‘සංග්‍රාමයෙන් පසු’ නමැති මනෝවිද්‍යා ග්‍රන්ථයයි. මේ පොත, ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය විසින්, අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් ලෙසයි මටනම් හිතෙන්නේ. යුද්ධයක් පවතිද්දී හෝ යුද්ධයකට පසුව හෝ සමහර සොල්දාදුවන්ගේ මනසට සිදුවන්නේ කුමක්ද? එයට හේතු මොනවාද? ඒ තත්වය මගහරවාගන්නේ කෙසේද? යන කරුණු මේ කෘතියෙහි වෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කෙරෙනවා.
දීර්ඝ කාලීන යුද්ධයක් පවතින රටක සිටින හමුදා සාමාජිකයන් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද, පොදුවේ ඒ රටේ මහජනතාවද, ඉතා දැඩි මානසික ආතතියකට ලක්වෙනවා. මෙහිදී වැඩිම මානසික ආතතියට ලක්වන්නේ සොල්දාදුවායි. ඔහු තමයි යුද්ධයේ භයානක, අමානුෂික, කටුක, අත්දැකීම් කෙළින්ම විඳින්නේ. ඔහුගේ පවුලේ අය සහ රටේ ජනතාවද, යුද්ධයේ ප්‍රතිඵල ලෙස, අඩු/වැඩි වශයෙන්, එවැනි කටුක අත්දැකීම් ලබනවා. මේ මානසික පීඩනය, පුද්ගලයකු මානසික රෝගියකු බවට පත්කිරීමට තරම් ප්‍රබල වන අතර, එහි අනිටු විපාක, ඒ පුද්ගලයාට මෙන්ම, ඔහු ජීවත්වන සමාජයටද අත්වෙනවා.
ඔබට මතක ඇති, එල්.ටී.ටී.ඊ.ය විසින්, රට පුරා බෝම්බ පුපුරවා, අහිංසක සාමාන්‍ය වැසියන් මරා දමද්දී, ගම්වලට පැන, අහිංසක මිනිසුන්, කුඩා දරුවන්, කපා කොටා ඝාතනය කරද්දී, ජීවිතය කොතරම් අවිනිශ්චිතද කියන හැඟීමෙන්, මේ රටේ ජනතාව මානසිකව වැටී සිටි අවධිය. උදේ තම රැකියාවට ගොස් සවස ගෙදර එන එක පවා අවිනිශ්චිතව තිබුනා. සැමියා සහ බිරිඳ, ජීවිතාරක්ෂාව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, වාහන දෙකකින් රැකියාවට ගියා. ඒ කාලයේ තිබුන මානසික පීඩනය නිසා, සමහර අය ඇත්තටම රෝගීන් බවට පත්වුනා.
වෛද්‍ය විද්‍යාවේදී මේ තත්වය හඳුන්වන්නේ PTSD = Post Traumatic Stress Disorder යනුවෙන්. මෙහිදී මා වෛද්‍ය විද්‍යාත්මක කරුණු විස්තර කරන්න නොයන්නේ, ඒ සඳහා මට සුදුසුකම් නැති නිසයි. මා හිතනවා මෙතැන්සිට ඔබට වෛද්‍ය ජයතුංගව මුණගස්වන්නට. ඔහුගේ අගනා කෘතියෙන් උපුටාගත් පිටු කීපයක් මා ඔබ වෙත ගෙන එනවා. මුලින්ම මා ඔබෙන් ඉල්ලන්නේ මේ සමග දක්වා ඇති පොත් පිටු උඩින් පල්ලෙන් නොකියවා,විවේකීව, සවිස්තරාත්මකව, කියවා බලන ලෙසයි. එමෙන්ම මා හිතනවා ,මේ පිටු කියවා, මේ පොතම කියවන්නට ඔබ පෙළඹෙනු ඇතැයි කියා.
එමෙන්ම ‘ආමිකාරයන්’ (නේවි, එයාෆෝස්, පොලිස්, ග්‍රාමාරක්ෂක) දෙස සාම්ප්‍රදායික චින්තනයෙන් නොබලා, මානුෂිකව බලන්නට ඔබ පෙළඹෙයි කියා මා වැඩි දුරටත් සිතනවා.
වෛද්‍ය ජයතුංග තම කෘතියේ අරමුණ පැහැදිලි කරන්නේ මෙහෙමයි.
වෛද්‍ය ජයතුංග මනෝවිද්‍යා ග්‍රන්ථ 40 ක් පමණ පළ කර තිබෙනවා. මේ විෂයය කොතරම් වැදගත්ද, පශ්චාත් යුද කළමනාකරණය නිසි පරිදි ඉටු නොකිරීමේ භයානක ඵල විපාක මොනවාද, යන්න පිළිබඳව, පහත දැක්වෙන පිටු කියවීමෙන්, ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇතැයි සිතනවා. මේවා ඇත්තටම සිදුවුනාද යන්න සමහරවිට ඔබට සිතෙයි. මේ කතා ඇසුරෙන්, මනෝවිද්‍යා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ඇතුළත් ටෙලිනාට්‍ය මාලාවක් සැකසිය හැකිනම්, කොපමණ වටිනවාද කියා මට මේ කෘතිය කියවද්දී කීපවරක් සිතුනා.
ඒත් ඉතිං අද බලන්නේ (බලෙන් පෙන්නන්නේ) ‘වංගු වංගු මී’ සහ දවස් පඩියට කරන ‘අමන ටෙලි නාට්ටි’ නේ. ඒවා බලන අතරේ මෙන්න ඩීසල් පෙට්‍රල් ලාම්පුතෙල් වලට කෙළලා. කාලා වරෙන්කො. (මේ ලිපිය සකසමින් පවතිද්දී)
මෙතැන්සිට මා ඔබට ඉදිරිපත් කරන්නේ මානසික ආතතියට පත්වූ සොල්දාදුවන් පිළිබඳව වෛද්‍ය ජයතුංග ගේ අත්දැකීම් කීපයක්. මේවා කියවද්දී ඔබට සිතෙන දේ අදහස් ලෙස දක්වනු ඇතැයි සිතනවා.
වෙනත් සොල්දාදුවකුගේ අත්දැකීමක කොටසක්
එවැනිම තවත් අත්දැකීමක්
තවත් අවාසනාවන්ත අත්දැකීමක්
තව එක කතාවක් පමණක් පෙන්වනවා
සෙබළුන් පමණක් නොව සෙබළියන්ද මේ තත්වයට මුහුණදී තිබෙනවා.
මෙන්න වෛද්‍ය ජයතුංග කියන පසුවදන
මෙවැනි කතා සිය ගණනක් මේ ග්‍රන්ථයේ ඇතුලත් වෙනවා. කෘතියට සහ කතෘ ට අසාධාරණයක් වෙන නිසා මීට වඩා තොරතුරු දක්වන්නේ නැහැ. මේ පිටු කීපය කියවූ පසු ඔබට මොකද හිතෙන්නේ. මා නම් හිතන්නේ අපි තවමත් ප්‍රමාද නැහැ. සමහරවිට ඔබේ පවුලේත්, යුද්ධයට ගිහින් මේ තත්වයට පත්වූ අයත්, යුද්ධයට ගිය අය නිසා මේ තත්වයට පත්වූ අයත්, සිටින්නට පුළුවන්. ඔවුන්ට නිසි ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාදීම අපේ යුතුකමක් වගකීමක්. මෙන්න තවත් පුංචි කතාවක්.
මේ කතාව නම්….හිනා යන එකක් නැහැ..මම ඒ දවස් වල 59 වාට්ටුවේ ඉගන ගන්න කාලේ…මුලතිවු සටන මතකද….?අපේ හමුදා camp එකකට කොටි ගහල..සේරම වගේ මරපු එක…මේ යුද්ද කාලේ අපිට ගොඩක් හමුදා සෙබළුන් ආවා..post traumatic stress disease නිසා…ඒ අයට relaxation කරන ඒක අපි ශිෂ්‍යයන්ට තමයි පැවරුනේ…මේක හරිම අමාරු දෙයක්..විශේෂයෙන්ම අධි මානසික පීඩනයක් යටතේ උන්න ඒ වගේ අයට…සමහරු අපිට කෙලින්ම බනිනවා…සමහරු අපිව එලවා ගන්නවා…
දවසක් එක සොල්දාදුවෙක්..හිටියා..මම relaxation session ඒක පටන් ගනිද්දී මේ ළමය මගෙන් අහනවා…”ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්…එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ “කියලා.අන්තිමේදී මම දවසක්ම ඒ ළමය කියන දේ අහන් හිටිය…තමන් එක්ක හිටපු සියලුම දෙන කැති ගාල කපා කොටලා මරද්දී..මේ ළමය තල් ගහක් උඩට වෙලා බලන් ඉඳල…ඒ මානසිකත්ව දරා ගෙන පිස්සු නැහැදී උන්න එකත් ලොකු දෙයක්…මට හිතුනා…ජීවිතේ කොයි තරම් නපුරුද..?
ලිපිය අවසන් කිරීමට පෙර හිතට එකඟව, අවංකව, යමක් කිව යුතුයි. මේ තොරතුරු පළමුවැනි වතාවටයි මා මේ බ්ලොග් එකේ ලියන්නේ. 1999 වර්ෂයේ වනවිට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය (Security Force Headquarters – Wanni) (Vavuniya) යටතේ පිහිටි බලසේනාවකට අයත්, පාබල බලඇණියක, අණදෙන නිලධාරි වශයෙන් මා සේවය කළා. ‘ජයසිකුරු’ මෙහෙයුමෙන් පසු වවුනියාවේ සිට උතුරු ප්‍රදේශයන් ඉතා විශාල භූමි භාගයක් අත්පත් කරගන්නට අපේ හමුදාව සමත්වුනා. හරියටම කියනවනම් මන්නාරමේ සිට මුලතිවු දක්වා ඉරක් ඇන්දොත් ඒ ඉරට උතුරෙන් අති විශාල භූමි භාගයක් අත්පත් කරගත්තා. මේ සඳහා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ භට පිරිස් යුද හමුදාව මෙන්ම භූමිය රැකගැනීමට ඉදිරි ආරක්ෂක වලල්ලේ සේවයට යොදා තිබුනා. ඊට අමතරව, මෙතරම් විශාල භූමියක් රැකගැනීමට තරම් ප්‍රමාණවත් පාබල (Infantry) භට පිරිස් නොසිටි නිසා, යුද හමුදාවේ, සටන්කාරී නොවන, සේවා රෙජිමේන්තු වල (Service Regiments) භට පිරිස් ද, සටන්කාරී භූමිකාවේ (Combat Role) යොදවනු ලැබුවා. සාමාන්‍යයෙන්, මෙවැනි ඉදිරි ආරක්ෂක ආරක්ෂක තීරයක, (Forward Defended Locality = FDL) එක බංකරයකට සෙබළුන් තුන් දෙනෙකුවත් සිටිය යුතු වුනත්, රැකගතයුතු භූමියේ විශාලත්වය සහ භට පිරිස් ඌනතාව නිසා, අතරින්පතර බංකර් හිස්ව තබන මට්ටමට පත්වුනා. එමෙන්ම සමහර ආරක්ෂක අංශ, මේ ක්‍රියාන්විත තත්වයේ බරපතල බව, හොඳින් අවබෝධ කරගෙන සිටියේ නැති බවත් පෙනෙන්නට තිබුනා. තමන්ගේ කුඩා කණ්ඩායම් ආරක්ෂක වලල්ලේ දුර්වල තැන වලින් ඇතුළට රිංගවාගත් එල්.ටී.ටී.ඊ.ය 1999 නොවැම්බර් මස 15 හෝ ඊට ආසන්න දිනක දී, ආරක්ෂක වළල්ලට ඉදිරිපසින් සහ පසුපසින්, එකවර, රාත්‍රී කාලයේදී, මහා ප්‍රහාරයක් එල්ල කළා. සියලුම ආරක්ෂක සැළසුම් අවුල් කරමින් කළ මේ ප්‍රහාරය නිසා, ආරක්ෂක වළල්ල බිඳ වැටුන අතර, අපේ ආරක්ෂක හමුදා ඉතිහාසයේ විශාලතම පසුබැසීම, එතැන්සිට ආරම්භ වුනා. පණිවිඩ හුවමාරුව අවුල් වුනා, සිදුවන්නේ කුමක්ද යන්න කවුරුවත් පැහැදිලිව දැනසිටියේ නැහැ, අණදීම සහ පාලනය බිඳ වැටුනා, භටපිරිස් එකිනෙකාගෙන් වෙන්වුනා. සමහරු ඉබාගාතේ යන්න පටන්ගත්තා. මගේ බලඇණියටත් ප්‍රහාරය එල්ලවුනා. සොල්දාදුවන් තිදෙනෙකු මියගියා. පසු බැසීමට ඇති හදිසිය නිසා ඔවුන්ගේ සිරුරු වලදමා එමු කියා මගේ නිලධාරීන් යෝජනා කළත්, මා කිව්වා, මිනී කුණු වෙනතුරු රැගෙන ගොස් තවදුරටත් ගෙනයන්නට බැරි තැනදී වලළමු කියා. වහාම ලී දඬු කපා මැසි තුනක් හැදුවා. ඒවායේ අර මිනී තබාගෙන කරගසාගෙන ආවා. (මතක තබාගන්න යුද්ධයක් සිදුවන්නේ ‘අදියර phases’ කීපයකින්. පසුබැසීම යනු එහි එක පියවරක්. එහිදී අනුගමනය කලයුතු න්‍යායාත්මක කරුණු තිබෙනවා. පසුව ලිපියක් ලියන්නම්) දින දෙකකට ආසන්න කාලයකදී අපට වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයට එන්නට පුළුවන්වු නිසා නරක් වෙමින් තිබුණු සිරුරු, එම්බාම් කර සකසා, හමුදාව මගින්, ඔවුන්ගේ පවුල් වලට භාරදෙන්නට පුළුවන් වුනා. දින දෙකක් තිස්සේ අපි කැලය මැදින් අපේ සියළු බඩුබාහිරාදිය රැගෙන පසු බසින්නට උත්සාහ කලත්, මාර්ග පහසුකම් නැති නිසා, මුලින්ම අපේ වාහන විනාශ කලා, සතුරාට අත්වීමට ඉඩ නොතබා. ඊළඟට මෝටාර්, විදුලි ජෙනරේටර් වැනි දෑ වැවකට දැමුවා සතුරාට අසු නොවන්නට. ඒ වනවිට, සතුරා අප පසුපස එමින්, මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්තා. සතුරු මෝටාර් වෙඩි අප අසලට පතිත වෙමින් තිබුන නිසා, වහාම පසුබසින්නට පටන්ගත්තා. දින දෙකක් කිසිදු ගුවන්විදුලි පණිවිඩ හුවමාරුවක් නැහැ. හමුදා දැනුමට හා පුහුණුවට පින්සිද්ධ වෙන්න, භූමියේ ගමන් කලයුතු දිශාව සොයාගෙන දිගටම ආවා. GPS එකට වතුර ගිහින් අක්‍රිය වුනා. රාත්‍රියේ මහා වැස්සකට අසුවුනා. අපි සියලුදෙනා තෙමී බත්වුනා. දෙවැනි රාත්‍රියත් එහෙමමයි. එදා මට බැරිම තැන, රෑ බිම දිගාවී සිටියදී මගේ ඇඟට යටින් මහා වතුර පාරක් ගලා ගියා. නමුත් මට එය දැනුනේ නැහැ. දෙවැනි දිනයේ මා තරමක් වික්ෂිප්ත භාවයට පත්වුණේ, අණදෙන නිලධාරියකු වශයෙන්, මා සතු වගකීම පිළිබඳව සිතා බැලීමෙදීයි. ජීවිත සියගණනක් රැකගෙන, ආපසු අපේ කඳවුරක් වෙත ගෙන ඒමේ බර, මගේ උරමත පැටවී තිබුණා. සමහර සොල්දාදුවන්, ඒ වනවිටත් ජීවිත ආසාව අතහැර, කොයි මොහොතේ හෝ සතුරු ප්‍රහාරයකින් මියයනු ඇතැයි යන මානසික කඩාවැටීමට ලක්ව සිටියා. කෙසේ හෝ දින දෙකකට පසුව, වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයට එන්නට අපට හැකි වුනත්, සිතට දැනුනු කම්පනය සෑහෙන කලක් තිබුනා. විශේෂයෙන් මේ තත්වය මගේ බිරිඳගෙන් සහ නෑ දෑ හිතවතුන්ගෙන් වසන් කරගැනීමට විශාල උත්සාහයක් දරන්නට වුනා. අප ගැන කිසිදු තොරතුරක් නැති බව ඔවුන් දැනගත්තානම්, ගෙවල් ඔක්කොම මළ ගෙවල් වෙනවා.
අපේ අණදීම යටතේ යුද බිමට යවන සොල්දාදුවන්, අපේ ඇස් ඉදිරිපිටම මස් ගොඩවල් වෙන හැටි දුටුවිට, ‘මේ කොල්ලන්ව මරාගත්තේ මමයි’ කියන හැඟීම එනවා. වරක්, මා ඉතා කලාතුරකින් ලැබුණු අවස්ථාවක් අනුව, සිංහල අවුරුදු දවස්වල ගෙදර ආවා. (බොහෝවිට අපි අවුරුද්ද සමරන්නේ යුදබිමේ) එක් දිනක්, දිවා ආහාරයෙන් පසු මා නිවසේදී කෙටි නින්දකට වැටී නොවැටී සිටියදී, එක දිගට වෙඩි හඬක් ඇසුනා. මා වහාම ඇඳෙන් පැන, පිස්තෝලය රැගෙන, බඩගාගෙන ඉදිරි දොරටුව වෙත ගියා. මගේ බිරිඳ විලාප තියන්නට පටන්ගත්තා. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් එකවරම මිදුලට හෝ දොරකඩට ආවානම් මගෙන් වෙඩි කනවා. සිදුවී තිබුනේ අසළ නිවසක ළමයි අවුරුද්දට රතිඥ්ඥා පත්තු කිරීමයි. නමුත් යුද මානසිකත්වයේ සිටි මට, එය ඇසුනේ මැෂින් තුවක්කු වෙඩි හඬක් ලෙසයි. මගේ උසස් නිලධාරියකු මගේ මානසික තත්වය වටහාගෙන ඒ තත්වයෙන් මා මුදාගත්තා. කවුද දන්නේ, අදටත් මගේ සිතේ යම් යම් මානසික වෙනස්වීම් තිබෙනවාද කියා? මා කවදාවත් එවැනි සායනයකට සහභාගිවී නැහැ. මගේ යටතේ සිටින සොල්දාදුවන් මියයාම සහ තුවාලවීම නිසයි, මගේ මනස පීඩාවට පත්වුණේ. මේ ලිපිය ලියන්නට සෑහෙන කලකට ඉහත සිට සිතාගෙන සිටියත්, මා ප්‍රමාදවුනේ ඇයිද යන්න මටම ප්‍රශ්නයක්. සමහරවිට මගේ යටිසිත මට යෝජනා කරන්න ඇති ලියන්න එපා කියලා.
තවත් අත්දැකීමක් කියන්නම්, අලිමංකඩ සහ කිලිනොච්චි ප්‍රදේශවලදී වරක් අපේ අති විශාල භට පිරිසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියගියා. (ඒ ප්‍රහාර වලදී කඩවූ අපේ හමුදාවේ භටයන්ගේ මානව හිමිකම් කතාකරන්න ගියොත් ප්‍රභාකරන්ගේ හත්මුතු පරම්පරාවට අමතරව ජිනීවා වල ඉන්න ඔක්කොම අය එල්ලලා මරන්න වෙනවා. ඉතා සංවේදී සහ රහස්‍ය යුද තොරතුරු තිබෙන නිසා, ඒ සෙබළුන් මියගිය ආකාරය, මා මෙතැනදී විස්තර කරන්නේ නැහැ) මියගිය සොල්දාදුවන් සිය ගණනකගේ (මම හිතන්නේ අවම වශයෙන් 500ක් පමණ) සිරුරු, ලොරි 11 කින්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ගෙනැවිත්, වවුනියාව, පොම්පෙයිමඩු ප්‍රදේශයේදී යුද හමුදාව වෙත භාරදුන්නා. එවකට මගේ බලසේනාධිපතිගෙන් මට නියෝගයක් ලැබුනා, හඳුනා නොගන්නා සෙබළ සිරුරු, ආදාහනය කිරීමට තැනක් සකසන ලෙස. (බොහොමයක් සිරුරු කුණුවී පණුවන් ගසා තිබුනා. අපේ කොල්ලෝ ඒ පනුවන් කැදලි අතින් ඉවත් කරමින් ඒ සෙබළුන්ගේ කර පැළඳි ඩෝග් ටැග් හෙව්වා. එල්.ටී.ටී.ඊ.ය විසින්, හිතාමතා, දිනයක් දෙකක් සිරුරු අව්වේ දමා තිබීමෙන් එහෙම වුනේ. ඔන්න මට කියවෙන්න යනවා අර නොකියන දේවල්. එහෙත් අපේ සොල්දාදුවෝ හැකිතරම් උත්සාහ කර සෑහෙන සිරුරු ගණනක් හඳුනාගෙන ගෙවල් වලට යැව්වා. හමුදාවේම සේවය කල අයියා, තම මල්ලීගේ සිරුර හඳුනාගත් අවස්ථාවකුත් තිබුණා)
ඉතිරි සිරුරු සියල්ල අඩි 40 x 40 පමණ දිග පළලකින් යුත්, අඩි 6 ක් පමණ උස මහා දරසෑයක, රාත්‍රී 2 ට පමණ, සියලු ආගමික වතාවත් සහ හමුදා ගෞරවාචාර පවත්වා, ආදාහනය කළා. ඒ සියල්ල වීඩියෝ කර, පොත්පත්වල සටහන් කර වාර්තාකර තබාගත්තා. මේ සිරුරු ආදාහනය කළ තැන මා මගේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි සැකසූ, වනයේ පිහිටි රහසිගත ස්ථානයක්. වවුනියාව – මන්නාරම පාරට කිලෝමීටර එකහමාරක් පමණ ඈතින් තිබුණේ. මේ ස්ථානය සොයා, පින්තූර ගෙන, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය වල පළකරන්නට විවිධ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කලත්, එක්තරා උපක්‍රමයකින්, ඒ ස්ථානය සොයාගන්නට බැරිවෙන ආකාරයට, ඔවුන් නොමග යවන්නට මට පුළුවන් වුනා. මගේ ජීවිතයේදී මා එකවර එතරම් සිරුරු ගොඩක් කවදාවත් දැක තිබුනේ නැහැ. මට නොදැනුවත්වම වරින් වර මගේ දෙනෙතින් කඳුළු ගැලුවා. නරක්වූ සිරුරු වල දුර්ගන්ධය කිලෝමීටර් දෙකක් පමණ දුරට දැනුනා. දවස් ගණනක් යනතුරු මම කෑම කෑවේ නැහැ. හමුදා නිවස්නයේ උයා තිබෙන, මස් හෝ මාළු දුටුවොත්, නරක්වී තිබුණු අර සිරුරු උස්සද්දී, මස් ගැලවී අතට ආව හැටි මතක් වුනා. අරක්කු සමග ක්‍රීම් ක්‍රැකර් බිස්කට් තමා මගේ ආහාරය වුනේ. මගේ සහායකයා (බඩී) දවස පුරාම ‘අනේ සර් මොනවහරි කන්නකෝ’ කියමින් ඇවිටිලි කළත්, එය කිසිසේත් කළ නොහැකි වුනා. මෙයින් එල්.ටී.ටී.ඊ. ය සමග දැඩි කෝපයක්, වෛරයක්, පළි ගැනීමේ චේතනාවක්, හිත තුළ පැළපදියම් වුණා. ඒ සිද්ධිය අදටත් මට ඉතාම හොඳින් පියවරෙන් පියවර මතක තිබෙනවා. කාලයක් යනතුරු මේ කම්පනය මගේ හිතෙන් ඉවත් වුනේ නැහැ.
යුද්ධය දිනා ජයපැන් බිව් අයවත්, රටට විහිළු සපයන අමෑත්ත පාත්තයන්වත් මේ තිත්ත ඇත්ත දිහා නිකම්වත් හැරිලා බලනවාද? කොහේ හරි මහා කැලේක, පාරවල් නැති, වතුර නැති, නගරයක් අහල පහළ නැති, රෝහලක් නැති පැත්තකින්, ‘රණවිරු ගම්මාන’ කියලා කර්කශ ඉඩම් කැබැල්ලක් දීලා, ගේ පොඩ්ඩක් දීලා, අත පිහදා ගැනීම ප්‍රමාණවත්ද? එවැනි දුෂ්කර ගම්මාන වල වෙසෙන ආබාධිත, යුද්ධයෙන් මානසික පීඩාවට පත්, සෙබළුන්ගේ හිතේ, මොනවා තියනවාද කියා දන්නේ කවුද? වියට්නාම් යුද්ධයෙන් පසු ඇමරිකාවේ හමුදා සාමාජිකයන් කරන අපරාධ බොහෝසෙයින් වැඩි වුනා. ඇෆ්ඝන් යුද්ධයට මුහුණ දුන් අයත් එය නොකර සිටිත්ද? අනෙක් රටවල් වගේම තමයි අපේ රටෙත් එවැනි අපරාධ සිදුවීමට ඇති ප්‍රවණතාව බොහෝ ඉහළයි. ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. මෙවැනි සොල්දාදුවන් අපරාධ වලට ඉතා පහසුවෙන් පොලඹවා ගතහැකි බව එක දෙස්පාළුවෙකුටවත් පෙනෙන්නේ නැතුවාද, නැත්නම් නොබලා ඉන්නවාද? කවුද මේවා දිහා බලන්න ඉන්නේ? හැබෑටම අපි මේ යන්නේ කොහෙද?
මගේ පුස්තකාලයේ තිබෙන තවත් පොත්, ඔබ සමග ඉදිරියේදී බෙදාහදා ගන්නට මා බලාපොරොත්තු වෙනවා.
2013 පෙබරවාරි මස 23 දින 0927 පැය