ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ ඇත්තටම මට පසක්වන්නේ 'ජාතිපි දුක්ඛො, ජරාපි දුක්ඛො, පියේහි විප්පයෝගෝ දුක්ඛො, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො, යන බුදු වදනයි. එය කොතරම් පරම සත්‍යයක්ද යන්න පසුගිය කාලය තුළ මා මොනවට පසක් කරගත්තා.
මගේ ජීවිතය එදා සිට අද දක්වා යන රටාවක් තියනවා. ක්‍රමයෙන් ඉහල නැගීම, සියලු සැප සම්පත් විඳිමින් කෙටි කාලයක් ගත කිරීම, එකවර කඩාවැටීම, මෙය මේ වනවිට අවම වශයෙන් 10 වතාවක් පමණ වී තිබෙනවා. හත් වැනි අටවැනි වර සිදුවන විට මා දැනගත්තා මේ තමයි මගේ ජීවන රටාව කියා.
1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස මා කටුක අත්දැකීම් රාශියක් විඳ නූලෙන් ජීවිතය බේරාගත්තා. මගේ වාසනාවට ඉන්පසු කාලයේදී අභිධර්මය උගත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකගෙන් මට ගැඹුරු දහම් කරුණු රාශියක් ඉගෙනගන්නට ලැබුණා. එයින් ලද සැනසීම තමයි අදටත් මා ජීවත් කරවන බලවේගය වී තිබෙන්නේ. මේ තියන පින්තූරය තමයි මා දන්නා කාලයක මගේ තනි ඡායාරූපයක් ලෙස ගත් මුල්ම එක.
මම ඉපදුනේ 1954 පෙබරවාරි මස 27 වැනිදා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, අදටත් එතරම් දියුණුවක් නැති, මොරදන නමැති ගමේ. නමුත් ඒ ගම ගැන මට එතරම් මතකයක් නැහැ. ඊට නුදුරු මාබෝපිටිය නමැති ගම ගැන, යන්තම් මතක සටහන් තියනවා. මගේ දෙමවුපියන් පාසල් ගුරුවරු, පසුකළක මගේ පියා විදුහල්පති කෙනෙක් වුණා. අපේ පවුලේ පිරිමි හතරයි ගෑණු තුනයි. එයින් අද ජීවත්ව සිටින එකම පිරිමියා මම. ගෑණු තුන්දෙනා (මගේ අක්කලා) විවාහකව කෑගල්ල සහ කොළඹ පලාත්වල ජීවත් වෙනවා. අටවැනි දරුවකු ඉපදී, සුළු මොහොතකින් මියගොස් තිබෙනවා. අපේ පවුලේ වැඩි දෙනෙක් (මමත් ඇතුළුව) ඉපදී තිබෙන්නේ ගෙදරමයි. මගේ අම්මාගේ අම්මා තමයි වින්නඹු අම්මාවී තිබෙන්නේ. මගේ අක්කලා කියනවා, මා ඉපදී සුළු මොහොතකින් දොරට වැඩු අවස්ථාව ඔවුන්ට හොඳින් මතක බව. මේ පින්තූරය ගත්තේ තරුණකම ඉහවහා ගිය අවධියක. මගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතියට තිළින කළ මේ පින්තූරයේ ඉතිරි කොපියයි මේ. නමුත් ඒ ප්‍රේමය ඉතා දැඩි දුකක් දෙමින් බිඳී ගියා. ඇයත් මාත් අතර තිබුණු සත් වසරක ප්‍රේමය ඉතා දැඩියි. ඇය රැයවල් දෙකක් මා අසළින් නිදා සිට ඇතත්, සිපගැනීමකට එහා නොගිය ඒ රැයවල් දෙක ගැන, අද මටත් වඩා ඇය සතුටු වෙනවා ඇති. අවංකව මමත් සතුටුවෙනවා ඇගේ ආත්ම ගෞරවය රැකගැනීම ගැන. අද ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව, සාර්ථක යුග දිවියක් ගතකරනවා. හැබැයි ඒ තොරතුරු මගේ 'බුද්ධි අංශයෙන්' සොයාගත් බව ඇය දන්නේ නැහැ. මට කවදාවත් ඇය ඉන්පසු හමුවී නැහැ. නමුත් ඇය ගැන සියලු තොරතුරු මා සොයාගත්තා. මේ සම්බන්ධය ගැන මගේ බිරිඳ සවිස්තරව දන්නවා. මගේ බිරිඳත් ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත වු පෙම්වතියක්. ඒ ගැනත් මා සවිස්තරව දන්නවා. ඉතා අහම්බෙන්, අප දෙදෙනාටම, අප දෙදෙනාගේ පරණ පෙම්වතා/පෙම්වතිය දකින්නට ලැබී තිබෙනවා. ඉතින් ඔවුන්ට නොදැනෙන ලෙස, 'අර ඉන්නේ අරයා' කියා, අපි දෙන්නාම ඔවුන්ව පෙන්වා දී තිබෙනවා. හැබැයි, මගේ බිරිඳගේ පෙම්වතානම්, මටත් වඩා කඩවසම්, උස මහත පුද්ගලයකු බව අවංකවම කියන්න ඕනේ.
කාලය ගෙවීයද්දී විවිධ ක්ෂේත්‍ර කෙරෙහි මගේ අවධානය යොමුවුනා, ගායනය, නිවේදන කටයුතු, ශිෂ්‍යභට පුහුණුව, ආදී නොයෙක් දේවල මම නිරත වුණා. මා ලියු කවි ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. කාර්මික සහකාර තනතුරක් සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට ගියත් දේශපාලනය ඊට හරස් වුණා. අවසානයේදී ගුරු වෘත්තියට මා නැඹුරුවුනේ, මගේ පියාගේ බලපෑම නිසයි. නමුත් මට වැළඳී තිබුණ 'ආමි උණ' හොඳවුණේ, හමුදාවට බැඳීමෙන් පසුවයි.
මේ කාලයේදී තරුණියන් දෙදෙනෙකු මගේ ප්‍රේමය පැතුවත්, මා හදවතෙහි තිබුණු ප්‍රථම ප්‍රේමයේ තුවාලය සුවවී තිබුණේ නැහැ. ඒ නිසා එවැනි කිසිවෙකුත් කෙරෙහි මගේ අවධානය යොමුවුණේ නැහැ. මා සිතුවේ මා මෙන්ම ප්‍රේමයෙන් පරාජිතවූ කෙනෙකු සමග විවාහ වෙනවා කියයි. එය එලෙසින්ම සිදුවුණේ අපි දෙදෙනාම දෙදෙනාට අවංකව තම අතීතය පැහැදිළි කළ නිසයි.
හමුදා සේවයට එක්වීමෙන් පසු ජීවිතයේ යථා ස්වභාවය ගැන නොයෙක්දේ අත්විඳ ගන්නට ලැබුණා. තමන්ට තමන්ගේ පිහිට පමණයි යන්න හොඳින්ම වැටහුණේ, හමුදාවට බැඳුණු මුල් කාලයේදීමයි. හැබැයි හමුදා පුහුණුවෙන් මා ලද පන්නරය, අද දක්වා මට මහත් ඵල ප්‍රයෝජන ගෙනදෙනවා. ඇත්තටම, කාර්යක්ෂම ජීවිතයක් සඳහා මා අඩිතාලම දැමුවේ හමුදා පුහුණුව නිසයි.
ලංකාවේ විවිධ පළාත්වලට ගොඩබිමෙන් අහසෙන් මුහුදෙන් යාමටත්, යුද්ධය පිලිබඳ විවිධ අත්දැකීම් ලබන්නටත්, මරනවා/මැරෙනවා යන අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබුණා. පොතෙන් දෙන හමුදා දැණුම වගේම සටන් බිමේදී ලැබිය යුතු අත්දැකීම්ද ඉතා වැදගත්වන බව තේරුම්ගත්තේ මේ කාලයේදීයි. හැබැයි සටන් බිමේ පුහුණුවෙන්න වෙලාවක් නැහැ. අත්දැකීම් ලැබීමක් පමණයි.
ඒවා භයානක අත්දැකීම් මිස රසවත් අත්දැකීම් නෙවෙයි. ඇත්තටම සටන් බිමේ මුල්ම අත්දැකීම් ලබද්දේ බයක් දැනෙනවා. 'හයියෝ මොන බයද අපි දුන්නනේ උන්ට දුවන්න' ආදී වශයෙන් බොරු කයිය ගහන්න නම් මම කැමති නැහැ. නමුත් ඒ බය පසුව අත්දැකීමක් බවට පත්වුනාම සහ අත්දැකීම් බහුල අයගේ ආශ්‍රය මෙන්ම උපදෙස් නිසා, චිත්ත ශක්තිය වර්ධනය වීමක් බවට පත්වෙනවා.
මොකක්දෝ හේතුවකට ඉස්කෝලේ යනකාලේ ඉඳලා තිබුන කැමරා පිස්සුව නිසා යුදබිමේ හැකි සෑම තැනටම කැමරාවක් අරන් යන පුරුද්ද මට තිබුණා. අදත් සංචාරයකදී කැමරාව වරදින්නේ නැහැ. මා සතුව යුදබිමේ පින්තූර 200 ක් පමණ තියනවා. නිසි නඩත්තුවක් නැති නිසා තව බොහෝ ගණනක් විනාශ වුණා.
ජීවිතේ ටික ටික ඉදිරියට ගියා ගෙයක් දොරක් හදාගන්නටත් කාලය ආවා.
ගෙවල් දොරවල් හදන්ඩ ගත්තේ ඒකේ ඉන්න පැටවූ ලැබෙන නිසානේ.
පැටවූ ලැබුනේ මෙන්න මෙව්වා නිසානේ
විවාහ ජීවිතය ගැන ලියනවානම් වෙනම ලිපියක් ලියන්න ඕනේ. අපේ 33 වැනි විවාහ සංවත්සරය ලබන මාසේ අගට යෙදී තියනවා. නමුත් විශේෂ උත්සවයක් නම් පවත්වන්නේ නැහැ. ඇත්තටම විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ පංච රසයෙන් යුක්තයි. අපි දෙන්නා එදා ඉඳලා අද දක්වා කිරියි පැණියි වගේ ඉන්නේ කියලා බොරු කියන්න නම් මම කැමති නැහැ. මම හමුදා සේවයේ යෙදී ඉන්න කාලෙනම් සමහර විට තරහ වුනාම දවස් ගණන් ගෙදරට කතා නොකර ඉන්නවා. අපේ උන්දැත් එහෙමම තමයි. උඹට ඕනෙනම් කතාකරපන් කියලා සද්ද නැතුව ඉන්නවා. අනේ ඉතින් මමම අන්තිමට කතා කරනවා. දැනුත් තරහා වෙනවා. හැබැයි උපරිම පැයයි දෙකයි. මොකද මේ මහ විසාල ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නට අපි දෙන්නා නැත්නම් වෙන කවුද ඉන්නේ කියන එක හොඳට තේරෙන්නේ දැන්.
කාලය ගතවුණා. මමත් හමුදා ජීවිතයේ ටික ටික ඉදිරියට ගියා.
පුහුණුව තරම් හමුදා සේවයේදී ලබාගත හැකි තවත් වටිනා සම්පතක් නැහැ. හමුදාවේ කියමනක් තියනවා, 'නිළධාරියකුට තම සෙබළුන්ට දියහැකි වටිනාම දායාදය වන්නේ පුහුණුවයි' කියා. මට ලැබුණු විදෙස් පුහුණුවත් එවැනි වටිනා දායාදයක්.
අත්දැකීම් බහුල මහ සෙනෙවියන් යුදපිටියේදී කරන සැළසුම් අපේ පරිණත බව වැඩිකරන්නට සමත්වුණා.
ඒ වගේම මේ මහ සෙනෙවියන් ඉගැන්වූ දේ තුළින්, ඉන්පසු කාලයේදී පැමිණි අභියෝග ජයගන්නත් පුළුවන් වුණා. එහෙම ආව එක අභියෝගයකට මම පිළිතුරු දෙන හැටි තමයි ඔය පහල පින්තූරේ තියෙන්නේ.
අපි එදා හැඩගසුනේ, ලෝක සංග්‍රාම භූමියේ මහ සෙනෙවියන්ගේ කියමන් ආදර්ශයට ගැනීමෙනුයි. මේ මගේ මව් කඳවුරේ තිබෙන එවැනි ආදර්ශ පාඨයක් සහිත පුවරුවක්.
ඇත්තටම කාලය ගතවුනේ හොරෙන් හොරෙන්. ළමයි දැන් ලොකුයි, අපි වයසට යන්න පටන් අරන්, කියන එක තේරුණේ, දැනට අවුරුදු හත අටකට උඩදී.
මම කවදත් පරිසර චාරිකා යන්න හරිම ආසයි. අදටත් ඒ පුරුද්ද අතහැරිලා නැහැ. යුද්ධය මැද වුනත්, ඉඩක් ලද විගස, දරුවනුත් කැටුව, පරිසර චාරිකාවක යෙදීම ඒ කාලෙත් කළා.
ජීවිතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස, විඳවිය යුතු දෙයක් නෙවෙයි කියලා, මට කියලා දුන්නේ, අර මම මේ ලිපියේ මුල හරියේදී කිව්ව හාමුදුරුවෝ. ඒ උපදේශයට පින්සිද්ද වෙන්න, අද මම උපරිමයෙන් ජීවිතය වින්දනය කරනවා. මට මහා විසාල බලාපොරොත්තු නැහැ. මගේ දියණියන් දෙදෙනා නිසි මග යන බවට, මට සැකයක් නැහැ. මම තන්හාව බොහෝ දුරට හිතෙන් ඈත් කරලා තියෙන්නේ. අද මම ලබන විශ්‍රාම වැටුපෙන්, පරෙස්සමෙන් ජීවිතය ගැටගහගන්න පුළුවන්. එදා වගේම අදත්, හමුදාවේ යාළුවො මා අමතක කර නැහැ. බොහෝවිට, අදටත් විවිධ කඳවුරුවල තිබෙන උත්සව/සාද සඳහා ඇරයුම් ලැබෙනවා. මේ ලිපිය ලියමින් ඉන්න අතරෙත්, ලබන මස 8 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙන එවැනි උත්සව දෙකක් සඳහා මටත් බිරිඳටත් ඇරයුම් ලැබුණා. එවැනි විටක එහි ගොස් විනෝදයක් ලබන්නටත් අමතක කරන්නේ නැහැ.
ඉතින් ඇති නේද? මම හිතනවා කවුරු නැතත්, අවුරුදු දෙකක් මා සමග ඉන්න ඔබ, ඒ විදිහට හැමදාමත් ඉඳියි කියලා. අද මගේ ප්‍රධානම කාර්‍යය වෙලා තියෙන්නේ, බ්ලොග් වැඩේ නේ. ඉතින් ඔබත් සමග අත්වැල් බැඳගෙන, ඉදිරියට යන්නට මා සූදානම්. ඒ සඳහා මට ඇති එකම ශක්තිය හා ධෛර්යය ඔබයි. මට උපන්දින සුබ පැතුම් ගෙගෙන සියළු දෙනාට කියන්න තිබෙන්නේ, මාව දිරිමත් කරන ඔබ සැමට අපමණ පින් කියලයි.