හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 June 2016

ලෝක යුද ඉතිහාසයෙන් (පළමුවැනි කොටස)

   මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම, අරුමයක් නොවෙයි. එමෙන්ම, මානව ශිෂ්ටාචාරය මේ මිහිමත පවතින තුරු, යුද්ධයද පවතිනු ඇති බව, විද්වත් මතයක්. යුද්ධය ඇතිකරන්නෙත් මිනිසායි. සාමය ඇති කරන්නේත් මිනිසායි. මිනිස් චිත්ත සන්තානය තුළ, යුද මතය තිබෙනතුරු, ලෝකයේ කොහේ හෝ කොනක යුද්ධයක් පවතිනු ඇති. සාමය ඇති කිරීම කෙසේ වෙතත්, මතුපිටින් පෙනෙන සාමයට යටින්, ලෝකයේ බොහොමයක් රටවල්, තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින බවත්, නොරහසක්. 

   මේ අතර, අපේ රටට අතිරික්ත යුද අවි සහ උපකරණ, එම අවි සහ උපකරණ ලබාගත් රටවලටම, ආපසු විකුණා දැමීමේ අදහසක් තිබෙන බව, කොස්ගම යුදහමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිපිරීමේ සිද්ධියෙන් පසු, ජනමාධ්‍ය ඔස්සේ කියවුනා ඔබට මතක ඇති. මොකද ඒ ගැන හිතෙන්නේ? යුද වාර්තා, එදත් අදත්, විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තොරතුරු සමුදායක් බව, ඔබ කවුරුත් දන්නවා ඇති. අද මා, එවැනි වාර්තා කීපයකින් උපුටාගත් පින්තූර සහ විස්තර තමයි, ඔබ වෙත මෙසේ රැගෙන එන්නේ. 

   මෙම ලිපියට අදාළ කරුණු සහ පින්තූර උපුටාගත්තේ, HISTORY OF WAR සඟරා වලින් බව, සඳහන් කරන්නට කැමතියි. පින්තූර පෙන්වමින් විස්තරත් දෙන්නම්. 


   වර්ෂ 1941 දී ගත් ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ, හිමෙන් වැසී ගිය භූමියක, යුද හමුදා උපදේශක වරුන්ගේ යටතේ, හමුදා පුහුණුව ලබන, රුසියානු පාසල් සිසුන් පිරිසක්. ඔවුන් මෙහි පාවිච්චි කරන සෑම අවියක්ම, ඇත්ත අවියක ලී අනුරුවක් විනා, ඇත්ත අවි නොවෙයි. 1941 වනවිට, ජර්මානු හමුදාවේ තර්ජනය, ඉතා දැඩිව රුසියාවට දැනුනා. තම ත්‍රිවිධ හමුදාවේ භටපිරිස් ප්‍රමාණවත් නොවන නිසා, මෙලෙස, පාසල් සිසුන් පවා, යුද්ධයට සූදානම් කෙරුණා. අද නම් මෙය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති යටතේ තහනම් ක්‍රියාවක්. 


   සටනට උපන් අගමැති. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය දැරූ, ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් හමුදා විද්‍යාපීඨයේ උපාධිධරයකු වන අතර, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකුද විය. එබැවින්, ඔහු සටන් පෙරමුණට ගිය අවස්ථා බොහෝය. ග්‍රීක දූපත් වලට, විශේෂ පුහුණු නාවික යාත්‍රා බලගණයක් යැවූ ඔහු, මේ සිටින්නේ, එම බලගණය පරීක්‍ෂා කරමින්. චර්චිල්ගේ කටේ තියන සුරුට්ටුව, ඔහුගේ අනන්‍යතාවේ ලක්ෂණයක් ලෙස, ලෝක ප්‍රසිද්ධයි. 



   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ආරම්භ කෙරුණු, බ්‍රිතාන්‍ය විශේය නාවික යාත්‍රා බලගණය, Special Boats Squadron = SBS (අද අපේ රටෙත් තියනවා)  ඉතා රහසිගතව පවත්වාගෙන ගිය, ඉතා සාර්ථක සහ අති ප්‍රබල හමුදා ඒකකයක් වුණා. සතුරා විශ්මයට පත්කරමින්, මාරාන්තික ප්‍රහාර එල්ල කරමින්, උතුරු අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව තම ආධිපත්‍යය ගොඩනගා ගන්නට, ඔවුන් සමත් වුණා. 1944 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී වරයකු, මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්, සතුරු යාත්‍රාවලට පැන, ඔවුන්ගේ බෙල්ල කපා මරා දමන, ම්ලේච්ඡ සටන් කරුවන් පිරිසක්, බ්‍රිතාන්‍ය ධජය යටතේ, මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඉන්නවාද? කියා විමසීය. එයට පිළිතුරු දුන්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා, යනුවෙන් ප්‍රකාශ කළා. 


   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ, යූ එස් එස් ෆ්‍රෑන්ක්ලින්, ගුවන්යානා හාරක යුද නෞකාව, 1945 මාර්තු මාසයේදී ජපන් ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්ව, අර්ධ වශයෙන් ගිලීගිය අවස්ථාව. 800 ක් පමණ වූ නැවේ කාර්ය මණ්ඩලය, ඉතා අසරණව නැව් තට්ටුව මතට වී බලාසිටින්නේ, තමන් බේරා ගන්නා තුරුයි. 


   කටකාර මෙන්ම හැඩකාර, එමෙන්ම යකඩ ගැහැණිය යයි විරුදාවලි ලත්, බ්‍රිතාන්‍ය අගමැතිනි, මාග්‍රට් තැචර්, සිය සැමියා වන ඩෙනිස් තැචර් (පසුබිමේ) සමග, මේ යුද ගුවන් යානයකට ගොඩවී සිටින්නේ, ඇය අගමැතිනියව සිටි සමයේ, 1982 දී, බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා කම්හලක, නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවකයි. ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල ආකාරය, 'යකඩ ගැහැණිය' යන විරුදාවලියට හොඳින් ගැලපුණා. 

   බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්, රුසියානු අගමැති ජෝසෆ් ස්ටාලින්,  මෙසේ කැමරාවට හසුවූයේ, දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේදී, 1945 වර්ෂයේදී, ක්‍රිමියානු අර්ධ ද්වීපයේ යාල්ටා ප්‍රදේශයේදී පවත්වන ලද, සුප්‍රසිද්ධ 'යාල්ටා සම්මන්ත්‍රණය' සඳහා පැමිණි අවස්ථාවේදීයි. 


  ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු, 'ඩකාවූ සිර කඳවුරේ' සිටි, යුදෙව් වැසියන් 32000 කට අධික පිරිසක්, ජර්මානු SS භටයන් අතින් ඝාතනයට ලක්වූ අතර, 1945 අප්‍රේල් මස 29 වැනි දින, ඇමරිකානු යුද හමුදාව විසින් මෙම කඳවුර ජර්මානු ග්‍රහණයෙන් මුදාගන්නා ලදී. මෙහිදී එම කඳවුරේ සිටි SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු. 

   අදට ඇති නේද? මීට වඩා සංවේදී තොරතුරු ඇතුළත්, මෙවැනි ලිපි කීපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

2016 ජූනි මස 28 වැනි දින 0046 පැය 

22 June 2016

ගෙදරදි කළහැකි පොඩි පොඩි වැඩ කිඩ

   හප්පා..........මේ දවස්වල, ඔන්න ආයෙත්, එකසිය ගානට ජාලය පුරා කරක් ගහන්ඩ පටන් ගත්තා, පරණ යුද තොරතුරු ටිකක් හොයන්න. ඒ අල්ල පනල්ලේ දැක්ක දෙයක් තමයි, අද මෙහෙම බෙදා හදාගන්න හිතුවේ. හැබෑටම තමුන්නැහෙලා ගෙදර නිකං (ඇඳුම් ඇඳගෙන නිකං හිටං) ඉන්න වෙලාවට, ඔය පොඩි පොඩි කරුමාන්ත වැඩ කොරන්නේ නැද්ද? වයසක උන්දෑ වුනාට මොකෑ, මමනං ඔය, කියත, මිටිය, නියන (ඔව් හැම එකක්ම) පාවිච්චි කොරලා, පොඩි පොඩි කරුමාන්ත කොරනවා. තමන්ගේ ගෙදර පොරෝජනේට කියලා, නිකං මේ බංකු කෑල්ලක්, කොලොම්බුවක්, වගේ දෙයක් හදාගත්තාම දැනෙන චිත්තප්පිරීතිය, කියලා නිමකොරන්ඩ බෑ ඕං. ඔන්න මම පහලින් දානවා පින්තූර ටිකක්. බලන්ඩකෝ හිටං. බලලා කියන්ඩකෝ හිටං, මොකෑ හිතෙන්නේ කියලා.  


   බලන්ඩකෝ හිටං. ඔයවගේ පොඩි රාක්ක කෑල්ලක්, කුස්සියේ හරි, කාමරේක හරි හදාගන්ඩ පුලුවන්නං, කොච්චර පොරෝජං වෙනවද? 


   දඟකාර පැටවු දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට, උන්ගේ අඩුම කුඩුම තියාගන්න, මෙන්න මෙව්වාගේ එකක් හදලා දෙන්ඩ පුලුවන්නං හොඳයි නේද? ඔන්න හදන හැටි ගැන අදහසක් ගන්ඩ, පහල තියන පින්තූරේ බලන්ඩ.



   සපත්තු තියන්නයි, සපත්තු රාක්කය උඩ වාඩිවෙලා සපත්තු දාන්නයි, දෙකම කොරාගන්න මෙන්න බඩුවක්, හදන හැටිත් එක්කම.




පහලින් තියනවා, චූටි රාක්ක කෑලි කීපයක්. ඒවා සෑහෙන්න පොරෝජං වෙන බව පේනවා.










   මේක නම් ගෙදරදී හදන්න අමාරු වෙයි. නමුත්, වඩුවැඩ දන්නා කෙනෙකුට, එතරම් අමාරු දෙයක් නෙවෙයි. බිත්තියට ගිල්ලවූ රාක්කයක්. 



   අද කාලේ, ගෙදරක තියන දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ, ගෙදර නෝනා වුනත්, කියතක්, මිටියක්, ඉස්කුරුප්පු නියනක්, පාවිච්චි කරන හැටි දැන සිටීම වැදගත්. 





   ලෑලි කෑලි ටිකක් පුරුද්දන හැටි ඉගෙන ගැනීම, මහා ලොකු කජ්ජක් නෙවෙයි. ටිකක් කල්පනා කලාම, අදහස හිතට එනවා. තමන්ම හදාගත්තාම, කොච්චර සතුටක්ද? 













   මේ පහත තියන බහුකාර්ය කැබිනට්ටුව සහිත මේසය හදන්නත් ටිකක් දැනුම ඕනේ. ඔන්න හදන විදිහත් දානවා. 




   මේ මේසය නම්, හදන්න එච්චර අමාරු නැහැ.




මේස විතරක් හදලා මදිනේ. ඔන්න ලස්සණ පුටුවකුත් තියනවා. මේ පුටුව හැදීම, හිතන තරම් අමාරු නැහැ.





ඉතිං මොකද හිතෙන්නේ. විවේක වෙලාවල් තියන විටක, මෙවැනි දෙයක් කරන්න උත්සාහ කර බලන්න.

2016 ජූනි මස 21 වැනි දින 2243 පැය 


12 June 2016

ඇය සංජීවනී නම් වූවාය

   සංජීවනී අපේ පවුලට (ඇත්තටම අපේ ලොකු අක්කාගේ පවුලට) බැඳෙන්නේ, 1990 දශකයේදී බවයි මගේ මතකය. ඇය අපේ ලොකු අක්කාගේ, දෙවැනි පුතාගේ බිරිඳ ලෙසයි, අපේ පවුලට බැඳුනේ. කෙල්ලෝ කොල්ලෝ යාලුවීම, කසාද බැඳීම, කිසිදු අරුමයක් නෙවෙයි නේ. ඒ වගේම තමයි, අපේ ලොකු අක්කාගේ පුතුන් තුන් දෙනාගෙන්, දෙවැනි පුතා සමග පෙමින් බැඳුණු,  රූපිකා සංජීවනී ද අල්විස්, ඔහු සමග විවාහ වුණේ, මුල් කාලයේදී, ඇගේ පවුලෙන් මෙන්ම අපේ ලොකු අක්කාගේ පවුලෙන්ද, සාම්ප්‍රදායිකව එල්ලවන බාධක සහ විරෝධතා, සාර්ථකව ජය ගනිමිනි. 

   සංජීවනී, ඉතා කෙටි කලකින්, අපේ ලොකු අක්කාගේ දියණියක් හා සමානව කටයුතු කරන්නට වීම, ඉතා විශ්මයජනක විය. අපේ ලොකු අක්කාට දියණියන් නැති නිසා, මේ ලේලිය, ඒ අඩුව මනාව පුරවන බව, අප සැමට මනාව පසක් විය. 

   සංජීවනී සතුව, ඉහත ආත්මයකින් ගෙනා, අපූරු මිනිස්කම් රාශියක් විය. එයින් ඉතාම අගනා වටිනා, මිනිස් ගුණ ධර්මය වූයේ, ඇය සතු ඉතා ඉහල මට්ටමේ සමාජානුයෝගයයි. සංජීවනී සමග විනාඩි 5 ක් කතා කරන ඕනෑම පුද්ගලයකු, ඇය සමග හිතවත් වන්නේ, ඈ සතුව යම් අද්භූත බලවේගයක් තිබුණ නිසායයි, වරෙක මට සිතේ. එමෙන්ම, එක් වරක් හමුවූ පුද්ගලයකු, නැවත හමුවූ විට, මම ඔයාව අහවල් අවස්ථාවේ දී හමුවුනා මතකද  කියා අසන්නට තරම්, හොඳ මතකයක් ඇයට තිබුණි. 

   රූපිකා සංජීවනී, ඇගේ නමට ගැලපෙන ලෙස රූපිකාවක් වූවාය. මේ සමග තිබෙන්නේ, මා ඉතා අපහසුවෙන් සොයාගත් ඇගේ පින්තූරයකි. නමුත් මෙහි දක්වෙනවාට වඩා, ඇත්ත වශයෙන්ම, ඇය රූපිකාවක් වූවාය. කිසිදු අවස්ථාවක, ඇගෙන්, තරහව නැමති දුර්ගුණය දකින්නට නොලැබීම, මා පුදුමයට පත්කළේය. ඇගේ සැමියා විවිධ දුෂ්කර අවස්ථාවන්ට පත්ව, රැකියාව පවා අහිමිවීමේ තත්වයට පත්ව, අසරණව ගිය අවස්ථාවන්හිදී, ඇය පෙන්වන ලද චිත්ත ධෛර්යය, විශ්වාස කල නොහැකි තරම් ඉහළ තත්වයක විය.  

   සංජීවනී, සෑමවිටම නොයෙක් විලාසිතාවන්ගෙන් සැරසෙන නමුත්, එය විකාරයක් නොව අලංකාරයක්ම විය. ඈ සතුව තිබුණු, වයසට වඩා බෙහෙවින් අඩු පෙනුම, ඈ ලද ජන්ම දායාදයක් යයි සිතමි. ඇත්තෙන්ම ඇය දෙදරු මවක්ට වුවද,  පාසල් නිල ඇඳුම ඇන්දුවානම්, පාසල් දැරියක මෙන් පෙනෙනු නොඅනුමානය. 

  සංජීවනී දක්ෂ ගායිකාවක වූවාය. ඇගේ සැමියාගේ බාල සොහොයුරාගේ විවාහ මංගල්‍යයේදී, ඇය, යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග ගීත ගණනාවක් ගායනා කල අතර, ඇගේ ගායන හැකියාව, එම තූර්ය වාදක මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්විය. 

   මා හමුවන සෑම අවස්ථාවකම, 'මාමේ' කියා, ළදැරියක මෙන් අතේ එල්ලී කතාකිරීමට' සංජීවනී පුරුදුව සිටියාය. සැබවින්ම ඇය අපේ පවුලට බැඳුණු ඩයනා කුමරියක් බව මම කියමි.

  හෘද අකර්මණ්‍යතාවක් සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන්, 41 හැවිරිදි සංජීවනී, පසුගිය ජූනි 8 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ලංකාවේදී ලබාදියහැකි ඉහලම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත්, (පිටරටකට ගෙනියන්නට, ඇගේ පවුලේ ඥාතීන් සූදානම් වුවත්, වෛද්‍ය උපදේශය වූයේ ඇයව නොසොල්වන ලෙසයි)  නොසිතූ ලෙස ඇය අප හැරගියාය. එය සංජීවනීගේ පවුලටත්, අපේ පවුලටත් දැරිය නොහැකි වේදනාවකි. සංජීවනීගේ දෙමව්පියන්, ඇගේ සැමියා, පුතණුවන් දෙදෙනා, සුසාන භූමියේදී හඬා වැටුණු අවස්ථාවේ දී, මගේ පපුවේ ගිනි ගුලියක් පත්තුවෙන බවත්, උගුරේ ගිනියම් යකඩ බෝලයක් රැඳී තිබෙන බවත් මට දැණුනි. 

   සංජීවනී යන නමේ තේරුම, ජීවත්වන්නිය කියන එක නේද? නමුත්, මේ සංජීවනී, මෙතරම් ඉක්මනින් ජීවිතය හැරදා යාම, ලෝක ස්වභාවය පිලිබඳව, යලිත් සිතා බලන්නට ලැබුණු අවස්ථාවක් ලෙස, මම දකිමි.

  සංජීවනීගේ සැමියා සහ දරු දෙදෙනා රැකබලාගැනීම, අපේ පවුල්වල යුතුකම බව නොකිවමනාය. එය එලෙසින්ම ඉටුවන බව සහතිකය. නමුත්, බිරිඳ නැති අඩුව ඒ සැමියාටත්, අම්මා නැති අඩුව ඒ දරු දෙදෙනාටත් දැනෙන එක වැලැක්වීම, හිතන තරම් පහසු නොවේ. 

  සංජීවනී, ඉන්න තැනක සිට, ඔබේ සැමියාවත් දරු දෙදෙනාවත් බලාගන්න. අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. 

  තමන්ගේ සැමියා මියගොස්, තුන් මසක් පිරෙන්නටත් කලින්, දියණියන් නැති තමන්ට දියණියකවූ, එමෙන්ම තම දෙවැනි පුතාගේ බිරිඳ, මෙසේ අකල් මරණයකට ගොදුරුවීම, මගේ ලොකු අක්කා දරාගන්නේ කෙලෙසකද යන්න, මට සිතාගත නොහැකිය. ඇගේ සෞඛ්‍ය තත්වයද, එතරම් යහපත් නොවීම, මා සිත තුළ දැඩි කම්පනයක් ඇති කරයි. 

  පසුගිය වසර 10 ක පමණ කාලය තුළ, අපේ පවුල්වලට අයත් අවමංගල්‍ය උත්සව සෑහෙන ගණනාවකට, මට සහභාගී වීමට සිදුවූ අතර, එයින් වැඩි ගණනකදී, අවමංගල්‍ය සභාව මෙහෙයවීමේ වගකීම, මා පිට පැටවුණි. මගේ අවමංගල්‍ය සභාව මෙහෙයවන්නේ කවුද කියා, මා එදා අක්කාගේ පුතාලාගෙන් විමසූවිට, ඔවුන් මා බදාගෙන හඬා වැටුනා මිස, පිළිතුරක් නොදුන්නෝය. 

2016 ජූනි මස 12 වැනි දින 2210 පැය 

   

07 June 2016

තවත් බෝම්බ පුපුරන්නට පෙර.............

   
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, කොස්ගම ප්‍රදේශයේ පිහිටි, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය මධ්‍යම ගබඩාව, (Central Ammunition & Explosive Dump)  පුපුරායාමේ අනතුර හේතුවෙන්, ඉතා සංකීර්ණ තත්වයක් දැන් මතුවී තිබෙනවා. අපේ 'මාජ්ජ' බොහොමයක, මේ සිද්ධිය වූ අවස්ථාවේ සිට අද දක්වා වාර්තා කරන්නේ, මධ්‍යම අවි ගබඩාව Central Armoury) පුපුරා ගිය බවයි. මධ්‍යම අවි ගබඩාව තියෙන්නේ, වෙනම දිහාවක. (නෑ නෑ, ඒ කොහෙද කියලා ඔහෙලට දැනගන්න අවශ්‍ය නැහැ. ඒක පුපුරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඉන්නවා හොඳයි.) 

   අපේ රටට, වරින් වර, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන්නේ, දේව සාපයක් නිසා යයි, අපේ පැත්තේ වැඩිහිටියකු කියනු අසා, මා මුවින් නොබැන සිටියේ, ඒ ගැන මගේ අදහස් දැක්වීම, තවත් පිපිරීම් මාලාවකට හේතුවනු ඇතැයි සිතුන නිසයි.  

   මේ සිද්ධියට දේශලනය ගෑවෙන එක වලක්වන්න බැහැනේ. දැනටමත් සමහර මාධ්‍ය වල පශ්චාත් (පශ්චාද්?) මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. කපුටෝ හත් දෙනෙක් වමනේ කළ කතා පළවෙනවා. රජය විසින්ම, සියල්ල, ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, සාවද්‍ය තොරතුරු සහ කටකතා පැතිරීම වැළකෙනවා. අද උදේම, මාධ්‍යවේදීන් පිරිසක්, ගුවනින් ගෙනගොස් සිද්ධිය වූ තැන පෙන්නන්නයි තිබුනේ. (ගොඩබහින්න බැහැ. තවම පුපුරනවා) ඩ්‍රොන් කැමරා වලින්, රූපවාහිනී නාලිකා හොඳ ප්‍රයෝජනයක් අරන් තිබුණා. 

   මාධ්‍ය සාකච්ඡා නම් සතුටුදායක නැහැ. බස්නාහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, සෑහෙන ආතතියකින්, මාධ්‍යවේදීන්ට මුහුණදුන් බව පෙනුනා. ඇත්තෙන්ම, මෙය හමුදාවේ අභිමානය, කීර්තිය, පිලිබඳ අභියෝගාත්මක තත්වයක්. මාධ්‍ය සාකච්ඡා වලට සහභාගිවූ  දේශපාලනඥයන්ද තම වාසියට, තමන්  නොදන්නා විෂයය කරුණු ඇදබෑවා. රුපියල් සීය හිඟන්නලාගේ ගොම්මන්පිල උන්නාන්සේත්, කැබ් හැප්පෙනගේ මං අමද්‍යප හේරත් උන්නාන්සේත්,  පසුපසට ගාමී එකේ නොපුබුදු උන්නාන්සේත්, කිව්වේ, මෙතන තිබුනේ අවි ගබඩාවක් කියලයි. අගමැති උන්නාන්සේත් එතරම් චිත්ත ධෛර්යයකින් කතාකරපු බවක් පෙනුනේ නැහැ.  ඔය අල්ල පනල්ලේ, වෙබ් අඩවි වලින්, පශ්ම පශ්චාද් මරණ පරීක්‍ෂණ තියලා. මේ බලන්න. 



   (මුණ්ඩ/පුණ්ඩ) ගබඩා කිරීම ගැන දන්නා මේ විසේස අඥයා, පරචිත්ත විජානන ඥානය ඇත්තෙකු විය යුතුය. එහෙම නැත්නම් කොහොමද, මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් නොකොට, වෙනත් රටක සිට මෙහෙම මතවාද පතුරවන්නේ? උන්නැහේට එක්කෝ මෙව්වා දිවැසින් පෙනෙනවා වියයුතුය.

   ලෝකයේ ඕනෑම හමුදා අවි/පතරොම් ගබඩාවක්, සතුරන්ගේ අතට පත්වීම වැලැක්වීම සඳහා, එවැනි සතුරු ආක්‍රමණයකදී, පුපුරවා හරිනවාලු. ඇත්තය. නමුත් එය කරන්නේ, මේ ගබඩාව හදන ගමන් එවැනි ඇටවීමක් සවි කිරීමෙන් නොවෙයි. හොඳ පුහුණුවක් සහිත, යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් කීපදෙනෙකුට, එය සුළු වෙලාවකින් කලහැකිය. කරන්නේ අවසාන මොහොත එළඹෙන බව දැනුනොත් පමණයි. 

  අපොයි අර විසේස අඥයා දන්නා දේවල් හැබෑට. 

මෙන්න ඊළඟ එක.



   මේක දෙවන අවි ගබඩාවලු. මොනවා දෙවන ද? සතුට දෙවන ද, දුක දෙවන ද? එහෙම නැත්නම් දෙවැනි ගබඩාවද? ඒත් ඉතින් මේ වාර්තාවේ කියන්නේ, අවි ගබඩාව කියලනේ. ඒවා යකඩ ගොඩවල්නේ, කොහොමද ඒවා පුපුරන්නේ? 

   මේ කඳවුර භාරව ඉන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික බලකාය කියා, මේ වාර්තාවේ තිබේ. අපේ යුද හමුදාවට, 'ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික බලකාය' නමින් අලුත් බලකායක් තිබෙන බව, මා දැනගත්තේ, අද මේ වාර්තාව කියවීමෙන් පසුවය. මොකාද දන්නේ නෑ ඔය අලුත් බලකාය පිහිටෙව්වේ? සමහරවිට, ඔතන අල්ලපු වැටේ ඉන්න, අපේ දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා වෙන්ඩෑ. 

   අපි දන්නා විදිහට නම්, යුද හමුදාවට අයත් අවි සහ වෙඩි ද්‍රව්‍ය, නිල ඇඳුම්, සියලුම උපකරණ, කාර්යාල අවශ්‍යතා, ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, භාරව සිටින්නේ, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායයි. කොස්ගම ගබඩාව පාලනය කලෙත්, ඒ බලකායෙනි. එහෙනම් අනුමානයක් නෑ, උන්ව එතනින් එලවලා, තමන්ට අයිති නැති ජොබ් එකක් කරපු, මේ අලුත් බලකාය තමා, කොස්ගම වැඩේ කන්න ඇත්තේ. අනේ අනේ නන්නානේ.

   උණ්ඩ ගබඩාවක් ගිනිගත්විට මිනිසුන් රහිත ප්‍රදේශයක නම්, ඒ මතට ගුවනින් බෝම්බ හෙලා, සියලු පිපිරුම් ඉක්මනින් අවසන් කලහැකිය. කොස්ගම ඒ වැඩේ කරන්නට නොහැකිය. 

මෙන්න තවත් වාර්තා.






  ඇයි දෙයියනේ, හමුදා කඳවුරක පතරොම් ගබඩාව හදිසියේ පුපුරා ගියාම, ඒ වගකීම, අනිවාර්යයෙන්ම එන්නේ, හමුදාවට නෙවෙයි නම්, කොස්ගම ග්‍රාම නිලධාරි තුමාට හෝ, පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නෙවෙයිනේ. දේශපාලන විපරීත භාවයෙන්, මොළ කොලොප්පන් රෝගය උත්සන්න වූ උන්නැහේලා, මේ වගේ විහිලු මෙවැනි අවස්ථා වල කරන එකයි දුක.  ඒ මදිවට කියනවා, LTTE එක කොස්ගමට ගැහුවනම් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? දෙගොල්ලෝ ගහගනියි. දක්ෂයා දිනයි. ආයේ වෙන මොකක්ද? 

   පොහ්, මේ අඩවි වල ඉන්න ආරක්‍ෂක විශේෂඥ වාර්තාකාරයෝ ගැන, ඇමරිකාවේ පෙන්ටගනය එහෙම දැනගත්තොත්, උන්ට පෙන්ටගනයේ විශේෂඥ ජොබ් දෙන්න, ඔබාමා මාමා විසින්ම එයාර් බස් A 320 යානයක් පදවාගෙන, මේ රටට එනවා සිකුරුය. බලන්න, යුද්ධයට බයේ, වාලධිය දෙපරැන්ද අස්සේ ගසාගෙන සිටි මේ විශේෂඥ මහත්තුරු, අර යුද්ධය පැවති කාලයේ එලියට බැස්සානම්, අපිට ඒරොප්පෙටත් වැඩක් දෙන්න තිබුනේය. කැනඩාවේ කොටි ඩයස්පෝරාව, පෝර බෑග් වලට දමා, දඹුල්ලේ එළවලු ගොවීන්ට දෙන්න තිබුනේය. ඔහොමය මෙහෙමය. 



  කොස්ගම කඳවුර හමුදාවේ සුවිශේෂ කඳවුරක්ලු. මොකක්ද සුවිශේෂත්වය කියා කියන්නේ නැත. සුවිශේෂත්වය, මෙතන මුලින්ම තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා භටකාර්ය සම්පාදන හා අණදීමේ මූලස්ථානයද? (Logistic Command) ඉන්පසු පිහිටවූ, මධ්‍යම අවි ගබඩාව ද? ඊට සමගාමීව පිහිටවූ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ද? ඊටත් පසුව, අවි ගබඩාව ඉවත්කොට පිහිටවූ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවද? මෙතනින් සහමුලින් ඉවත් කරන්නට සැලසුම්කර තිබුනේ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවයි. ඒ බව, අද පැවති මාධ්‍ය හමුවේදී, බස්නාහිර ආඥාපති වරයා ප්‍රකාශ කළා. එතනින් එහාට මේ වාර්තාව දේශලන උපකල්පන මත ලියවී ඇති බැවින් විහිලු සහගතය. එමෙන්ම සිකේ පුංහල වලින් ලියා ඇත. (උදාහරණ:-  අහම්බුව, අවධානම්, විධිවිදාන, ස්රුජු,)

   හොඳයි. මේ විසූක දස්සන දිගේ ගියා දැන් ඇති නේද? දැන් අපි ටිකක් යථාර්ථවාදීව මේ ගැන බලමුද? මේ සිද්ධියට යුද හමුදාව සම්පූර්නයෙන් වගකිව යුතුයි. ඒකෙ දෙකක් නැත. හමුදාවේ බස්නාහිර ආඥාපති වරයා, තම ආඥාපති පත්වීමෙන්, ඉල්ලා අස්විය යුතුය. මේ ගැන යුද හමුදාපති වරයා හැකි ඉක්මනින්, ප්‍රකාශයක් කලයුතු අතර, ආරක්ෂක ලේකම් වරයා මගින්, සේනාධිනායක ජනාධිපතිවරයාට, සවිස්තර වාර්තාවක් සැපයිය යුතුය.  මේ කඳවුරු භූමිය ගැන, සතුටුදායක අවබෝධයක් ඇති පුද්ගලයකු ලෙස, මා නිර්දේශ කරන්නේ, මෙම භූමිය කිසිසේත්, පතරොම්/අවි ආයුධ ගබඩා කිරීමට නුසුදුසු බවයි. 

හේතු:-

1. මෙය ප්‍රධාන මාර්ගයකට යාබදව සහ සීඝ්‍රයෙන් වර්ධනය වන ජනාවාස සංකීර්ණයකට මැදිව පවතී. 

2. අවට උස්බිම් වල සිට පහසුවෙන් කඳවුරු භූමිය නිරීක්‍ෂණය කළහැකිය.

3. පිපිරුමක් ඇතිවුනොත් කොතරම් භයානකද යන්න දැනටමත් ඔප්පුවී තිබේ. 

   එබැවින් මා නිර්දේශ කරන්නේ, හදිසි අවස්වථාකදී යෙදවිය හැකි, යුද හමුදා බලඇණි දෙකක් පමණ, මේ භූමියේ රඳවා තැබීම පමණක් සුදුසු බවයි. එහෙම නැත්නම්, අර උඩවලවේ තියන, වාහන අලුත්වැඩියා කරන හමුදා වැඩපොළ, මෙතනට ගේන්නකෝ.

   මේ ස්ථානයේ තිබුන, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය පමණක් මෙහි තිබුනේ නම්, වඩාත්ම යෝග්‍යය. මේ පිපිරුමෙන්, එම මූලස්නථාය සම්පූර්ණයෙන් වැනසී තිබේ. ජීවිත හානි අවම වුවද, සමස්ත ස්වේච්ඡා බලසේනාවේ අතීතය, වර්තමානය, කැටිකොටගත් සියලු ලිපිලේඛන, සමරු සටහන්, අධි ලේඛන, නැවත සැකසීමට හැකි නොවනු ඇත. ඒ හැමටම වඩා, සියලු ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ගේ, පෞද්ගලික ලිපිගොණු විනාශවී ඇත්නම්, එය ඉතා බරපතල තත්වයකි. සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව, 1983 වර්ෂයේ සිට, මේ දක්වා නොකඩවා සක්‍රිය සේවයේ යෙදී සිටී. ඊට පෙර සක්‍රිය සේවයේ සිටියේ, ස්වේච්ඡා බලසේනාවේ තෝරාගත් ඒකක පමණි. 

 හොඳයි, මේ පතරොම් ගබඩා සිද්ධියට මේ තරම් විශාල තැනක් ලැබුනේ ඇයි? 

1. කෙලින්ම ජනජීවිතයට බලපෑ නිසා.

2. කිසිසේත් බලාපොරොත්තු නොවූ ව්‍යසනයක් නිසා. 

3. වලක්වාගත හැකිව තිබුණු ව්‍යසනයක් දැන දැනම වෙන්නට ඉඩහැරියා යයි චෝදනා එල්ලවන නිසා. 

මෙච්චර දෙයක් වෙලත් අපේ අය ඒවා නරඹන්න යන මානසිකත්වයෙන් සිටීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. වැලිඔය ප්‍රදේශයේදී, අපි MBRL ප්‍රහාරක රථය, වෙල් යායක් මැදට අරන් ගියා, LTTE ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කරන්න. ගෑණු, නයිටි පිටින් ළමයි ඉනේ ගහගෙන දුවගෙන ආවා, මල්වෙඩි බලන්න එනවා වගේ. අපේ සැරයන් කෙනෙක් හොඳ වචන ටිකක් කිව්වම ඈතට ගිහින් බලාගෙන හිටියා. 









   කොස්ගම තත්වය දැනගැනීම සඳහා, දන්නා කියන සියලු දෙනාට කතාකළා. දැනට තත්වය ගැන මෙන්න මේ ටිකයි කියන්න තිබෙන්නේ. 

1. විශාල ප්‍රදේශයක් පුරා, වී වැපිරුවා වගේ, බෝම්බ පතරොම් වෙඩි ද්‍රව්‍ය විසිරී තිබෙනවා. එයින් විශාල ප්‍රමාණයක්, නැවත පුපුරායාමේ අවදානමක් තිබෙනවා. 

2. කොළඹ - අවිස්සාවේල්ල පාර මත, විශාල බෝම්බ ගොඩක් විසිරී තිබෙනවා. ඒවා නිකම්ම ඉවත් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් පුපුරන්න ඉඩ තියනවා. ඒවා නිසි පිළිවෙත අනුව නිෂ්ක්‍රිය කළයුතුයි. ඒ සඳහා සැලකියයුතු කාලයක් ගතවෙනවා. දින කීපයක්.

3. නිවාස මත/තුළ, ගෙවතු වල විසිරී තිබෙන බෝම්බ වලින් මහජනතාවට, විශේෂයෙන් නොදන්නාකම නිසා ඒවා අතපතගන්න යන කුඩා ළමුන්ට, තරුණ අයට, ජීවිත හානි සිදුවීමේ අවදානමක් තිබෙනවා. කුඩා වනරොද වල, පාලු ගෙවතු වල, ඇස නොගැටී තිබෙන බෝම්බ, කාලයක් ගියාට පසුව වුනත්, පිපිරීමේ අවදානම තිබෙනවා. ඒ නිසා, නොදන්නා නාඳුනන කිසිවක් අතපතගාන්නට යාම, මරුවාට අත වැනීමක්. 


මේ පිපිරීම අපේ රටේ පළමුවැනි එකද? 

   අපොයි නැහැ. ඔබ අතරින් ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි මතකයක් ඇත්තේ, මීට පෙර, 2010 වසරේදී, වවුනියාව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පතරොම්  සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාව, දින දෙකක් තිස්සේ, මේ ආකාරයෙන්ම ගිනිගෙන පුපුරා විනාශවූ හැටි. ඒ ගැන මාධ්‍ය වාර්තා පළවුනා. එහිදී සිදුවුනෙත්, අධික උෂ්ණත්වය හේතුවෙන්, වෙඩි ද්‍රව්‍ය වලට ගිනි ඇවිලී විනාශවීමයි. වවුනියාව නගරයේ කොටසක ජනතාව ඉවත් කරන්නටත් සිදුවුනා.

   1999 වර්ෂයේදී වවුනියාවට උතුරෙන් පිහිටි තාණ්ඩිකුලම් නමැති ප්‍රදේශයේ පිහිටුවා තිබුණු අපේ හමුදාවේ අවි ගබඩාවකට LTTE කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවුනා. එම ගබඩාවත් දිනක් දෙකක් තිස්සේ පුපුරා ගියා. 

   ඔය කොස්ගම ගබඩාව වගේ දහ ගුණයකටත් වඩා විශාල, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාවක්, ඉස්සර කොළඹ තිබුණා. දන්නවද කොහෙද තිබුනේ කියලා? ගාලු මුවදොර පිටිය යට. එය තමයි, ඒ කාලේ යුද හමුදා පතරොම් ගබඩාව. සුද්දගේ කාලයේ එකක්. පැරණි යුද හමුදා මූලස්ථානයෙන් තමයි, ඇතුළුවන දොරටුව තිබුනේ. ඔබෙන් කාටහරි ගාලු මුවදොර පිටියේ අතීතය මතක නම්, ඉස්සර එහි තිබුණා, පොළොවෙන් අඩි කීපයක් ඉහලට එසවුණු වායු කුටීර. එයින් අර ගබඩාවේ වාතාශ්‍රය පවත්වා ගත්තා. මා එකම එක වරක් ඒ ගබඩාවට ගොස් තිබෙනවා. හඃ හඃ, අද එහෙම තිබිලා පිපිරුවානම් කොහොමද වැඩේ? 


මේ විදිහට පතරොම් ගබඩා පිපිරීමේ ලෙඩේ මේ අපේ රටට විතරක් තියන දෙයක්ද? 

   අපොයි නැහැ. මේ ලෙඩේ ලෝකය පුරාම තිබෙනවා. යුද්ධ තිබෙනතාක් කල්, අනාරක්‍ෂිත ගබඩා තිබෙනතාක් කල්, ආරක්ෂිතව තිබෙන ගබඩා නිසිපරිදි කළමනාකරණය සහ නඩත්තු කිරීම නොකරනතාක් කල්, මේ ලෙඩේ තියනවා. 




මේ ගබඩා ආරක්‍ෂිතව හදන්න ක්‍රමයක් නැද්ද? 

   අපොයි තියනවා. මෙව්වා මේ වී ගබඩා හදනවා වගේ හදන්න බැහැ. ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගන්නා ක්‍රමවේදයන් තියනවා. අපේ හමුදාවේ යුද්ධෝපකරණ බලකායේ නිලධාරීන්, පිටරටවල ගිහින්, ඒ ගැන විශේෂඥ පුහුණුවක් ලබනවා, කාලීනව. පුහුණුව ලැබුවට පස්සේ ඒ අයව හඳුන්වන්නේ, Ammunition Technical Officer = ATO කියලා. ඒ අය තමයි යුද බිමේ තියන ගබඩා පාලනය කරන්නේ සහ හමුදා ඒකක වල තියන කුඩා පරිමාන ගබඩා ඉදිකිරීම, පවත්වාගැනීම, නඩත්තුව ගැන උපදෙස් දෙන්නේ. මේවා ඉදිකරන ආකාරය ගැන අන්තර්ජාලයෙන් බලන්නත් පුළුවන්. 


   පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩා කිරීමේ සම්මත සැලසුම් තිබෙනවා. ඒවා අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත්. 




   වැඩ අවසන් කලාට පස්සේ පෙනෙන්නේ මෙහෙමයි. බලන්න, මෙය පොලොව යට නෙවෙයි තියෙන්නේ. මෙවැනි ගබඩාවක තබන්නේ, න්‍යෂ්ටික අවි නොවන, මිසයිල් නොවන, පුපුරන ද්‍රව්‍ය. 


මේ තියෙන්නේ එවැනි ගබඩා සංකීර්ණයක් 




මේවා ඇතුලේ කොහොමද බඩු තියලා තියෙන්නේ?

මෙන්න මෙහෙම තමා තියෙන්නේ.ඔය පහළ තියන පින්තූරයෙන් පෙන්නන 'කෙහෙල් මුව' තමා දැන් කොස්ගම පුරාම විසිරිලා තියෙන්නේ. 


ඉතිං අප්පච්චියේ මේ මගුලෙන් ගැලවෙන ක්‍රමයක් නැද්ද? 

තියනවා තියනවා. 

   මේ ගබඩා හැකි ඉක්මනින් ජන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනයා යුතුයි. අරයකා අර විල්පත්තුවේ බලෙන් අල්ලගත්ත ඉඩම් වල මේ ගබඩා හැදුවනම් ඉවරයි වැඩේ. නැද්ද මං අහන්නේ. 

  අනවශ්‍ය (කල් ඉකුත්වූ/කල් ඉකුත්වන, දැනට අපි පාවිච්චි කරන අවි වලට නොගැලපෙන) වෙඩි ද්‍රව්‍ය විනාශ කළයුතුයි. 

  ත්‍රිවිධ හමුදාවේ වෙඩි ද්‍රව්‍ය ගබඩා ඉදිකිරීම, පාලනය, කළමනාකරණය, හමුදා පොතේ තිබෙන අදාළ නීති රෙගුලාසි, අකුරට පිළිපදිමින්, කලයුතු අතර ඒ ගැන ඉතා දැඩි විනයක් පවත්වාගත යුතුයි. 

   විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා, කඩිනම් සැලැස්මක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සෑම වෙඩි ද්‍රව්‍ය ගබදාවක්ම දැඩිව පරීක්‍ෂා කොට, කෙටි කාලීන ආරක්‍ෂක පියවර වහාම ගතයුතුයි. 

   ඉතිං...........තවත් බෝම්බ පුපුරන්නට පෙර, කලයුතු දේ බොහොමයි. 

2016 ජූනි මස 06 වැනි දින 2342 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }