හෙහ් හෙහ් හෙහ්, අහලා තියනවද ඔය මාතෘකාවේ සඳහන් කියමන? අපි ඉස්කෝලේ යන කාලේදී, සමහර ගුරුවරු, ඔය කියමන කියනවා මා අසා තිබෙනවා. මේ කියමනේ සරල තේරුම වන්නේ, තමන් පණ්ඩිතයකු කියා පෙන්වීමට උත්සාහ කලත්, පාණ්ඩිත්‍ය භාවය, අවශ්‍ය අවස්ථාවේදී දැක්විය නොහැකි පුද්ගලයෝ ද සිටිති, කියන එකයි. සමහරු තමන් පොත් ගුල්ලන් බව පෙන්නුවත්, එදිනෙදා කතාබහේදී, ලේඛනයේදී, ඒ පොත්පත් වලින් ලද දැනුමක්, හැකියාවක්, කථිකත්වයක්, ලේඛන හැකියාවක් ඇතිබවක්, පෙනෙන්නේ නැහැ. නිකම් අල්මාරිවල පොත් ගොඩගහගෙන සිටින පිරිසකුත් ඉන්නවා. ඒ පොත් වලින්, තමන්ට හෝ අනුන්ට වැඩක් නැති බවත්, ඔවුන් දන්නවා. මේ චූර්ණිකාව මුලින්ම කිව්වේ, අද, මා ඔබ සමග, පොත් ගැන කතාකරන්න යන නිසයි.
මෙවර කොළඹ පොත් සල්පිල බලන්න නම් මා ගියේ නැහැ. කම්මැලියි, පොලේ එළවලු ගන්නවා වගේ තෙරපි තෙරපි, පොත් ගන්න. පොතක් තෝරන්න පුළුවන්, බොහොම විවේකීව. ඒ නිසයි නොගියේ. අපේ දෝණියන්දෑලා දෙන්නම ගියා. මගෙන් ඇහුවා, මොනවද ඕනේ කියා. මා කිව්වේ, අපේ දොස්තර මහත්තයාගේ අලුත් පොත් දෙක තියනවා නම් ගන්න කියලා. නමුත් අවාසනාවකට, ඒ පොත් දෙක, එම ප්‍රදර්ශනය පැවැත්වුණු කාලසීමාවේදී මුද්‍රණයෙන් පිටවුනේ නැහැ.
මෙන්න මට මෙවර ප්‍රදර්ශනයෙන් අපේ දුවලා දෙන්නා විසින් තෑගි කළ පොත්.
මැජික් බයිසිකලය කියන්නේ, අපූරු පරිවර්තන කෘතියක්. ලෝකප්‍රකට ළමා කතා නිර්මාතෘ වරියක වන, ඊනිඩ් බ්ලයිටන් ගේ රසවත් කථා මාලාවක් මේ ග්‍රන්ථයට ඇතුලත්ව තිබෙනවා.
ප්‍රබුද්ධ කාව්‍ය ග්‍රන්ථය ගැන මා ඔබ සමග වැඩිදුර කතාකරන්න අදහස් කරන්නේ නැහැ. ඔබ අතරින් බොහෝ දෙනා, මහගම සේකර ශූරීන් ගැන දන්නා නිසා. මේ පොත මා අත තිබී අතුරුදන් වුවක්. නැවත මගේ පුස්තකාලයට එකතු කරගැනීමට ලැබීම සතුටක්.
සුනාමි ව්‍යසනයේදී සයුරට බිලිවී අතුරුදන් වූ, මහා පඬි රුවනක් වූ, මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ කෘති, කවදත්, ධර්ම විනය පැහැදිළි කිරීමෙහි ලා, අනුපමේය සේවයක් ඉටු කරයි. මෙහි දක්වා ඇති ග්‍රන්ථය ගැන, පසු කලෙක කථා කිරීමට ඉඩ තබමි.
දැන් මා බලාපොරොත්තුවන්නේ මේ ලිපිය ලිවීමේ මූලික පරමාර්ථය වන මහා පුස්තකය ගැන ඔබ සමග කථා කරන්නයි.
මුලින්ම බලන්න පොතේ පෙනුම දැක්වෙන පින්තූර කීපයක්.
මෙන්න පොතේ මිළ. හැබැයි, පොත් ප්‍රදර්ශණයේදී, මේ පොතට, රු 800 ක වට්ටමක් ලැබී තිබෙනවා. මුදල්මය වටිනාකම නොව, දැනුම සම්බන්ධ වටිනාකම අතින්, අමිල ග්‍රන්ථයක් වන මෙය, මට ලබාදුන්, මගේ ලොකු දුවට, පින්සිදුවේවා කියා ප්‍රාර්ථනය කරනවා.
පොත කිලෝ ග්‍රෑම් පහකට වඩා බරයි. ඒ නිසා, අතේ තියාගෙන කියවන්න බැහැ. මේසයක් මත තබාගන්න සිදුවෙනවා.
මේ මහා ග්‍රන්ථයේ සම්පාදක ආචාර්ය, හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන ඔබ අතරින් බොහෝ දෙනෙකු හොඳින් දන්නවා ඇතැයි සිතනවා. මටනම් එතුමා මතක තියෙන්නේ 1971 ජවිපෙ කැරැල්ලේ විත්ති පක්ෂයේ අධිනීතීඥ වරයා ලෙසයි. එමෙන්ම එතුමා 'සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්‍ෂය' නමින් දේශපාලන පක්ෂකුත් නිර්මාණය කළා.
ශබ්ද කෝෂයේ සංඥාපනයෙන් කොටසකුත් කියවා බලමු.
ශබ්ද කෝෂයකින් අපට ඇති ප්‍රයෝජන අපමණ බව ඔබ හොඳින්ම දන්නවා. සිංහල අපේ සැලකියයුතු පිරිසකගේ වාග්කෝෂය ඉතා දුර්වල බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අහුලාගත් කෑලි සහ සිංහලටත් නැති, ඉංගිරිසියටත් නැති, විකාරරූපී වදන් අද්‍යතන සමාජයේ පාසල් සිසුන් පවා භාවිත කරනු ඇසීම කණගාටුවට කරුණක්.
මේ බලන්න, අද බහුලව භාවිත කෙරෙන වදන් දෙකක් වන, එළ සහ පට්ට යන වචන, වර්තමාන භාවිතයේ යෙදෙන්නේ, අර්ථ විරහිතව බව, මේ ශබ්දකෝෂයෙන් පැහැදිළි වෙනවා.
දැන් ඔබම සිතා බලන්න, ඔබ පට්ට කියා භාවිත කලාම එහි දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා, යන තේරුම් ද තියනවා.
එළ යන වචනය පාවිච්චි කලාම, ගවයා, එළුවා, බිහිරා, එළාපන්, දමාපන්, යන අර්ථය තිබෙනවා.
සමහරු, බ්ලොග් අඩවි වල පලකරන කමෙන්ට්ස් වලදී මේ වචන පාවිච්චි කරනවා. හොඳයි නේද?
ශබ්ද කෝෂයක් කියවීමෙන් ඔබේ වාග්මාලාව දියුණු වෙනවා. මේ දිනවල මා, දවසකට මේ ශබ්ද කෝෂයෙන් පිටු එකක් හෝ දෙකක් කියවනවා. එසේ කියවන අතර, එම පිටුවේ ඇති වචන වලින්, මා දන්නා වචන සහ නොදන්නා වචන කොපමණ තිබේද යන්න සලකා බලනවා.
ඇත්තෙන්ම නොදන්නා වචන සෑහෙන්න තියනවා. ඒ ඒ වචනය, විවිධාර්ථ නැගෙන පරිදි යෙදිය හැකි ආකාරය, සැලකිල්ලට ගන්නවා. ලොකු සතුටක් දැනෙනවා, විවිධ වචන අලුතෙන් ඉගෙන ගත්තම. මා හිතනවා, එයින් මගේ බ්ලොග් ලිවීමට, සෑහෙන ආධාරයක් ලැබෙයි කියා.
අපි බලමු පිටුවක දෙකක කොටස් කීපයක්.
අපේ රටේ විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන ශාකයක් තමයි, ග්ලිරිසීඩියා ශාකය. මේ ශාකය, ගිනිසීරියා, වැටහිර, ලාඩප්පා, වැට මාර, ඇල්බීසියා, කණ්ඩිමුරුංගා, වැනි නම් වලටත් හිමිකම් කියනවා.
මේ ශබ්ද කෝෂයෙන්, මේ ශාකයට කියන තවත් නම් දෙකක් හමුවුණා. කොංඩමරංගා සහ මකුලතා.
කොකං කරනවා, කොකං ගානවා කියන වචන මීට කලින් අහලා තියනවද? කොකං කරනවා කියන වචනය නම් මා අසා තිබුණා.
ව්‍යක්ත භාෂාවට අදාළ නොවන, එහෙත් එදිනෙදා සමාජයේ (විශේෂයෙන්ම පහල ස්ථර වල) භාවිත කෙරෙන වචන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබෙනවා.
සමහර වචන සඳහා දක්වා ඇති අර්ථය, නොගැලපේ හෝ ප්‍රමාණවත් නොවේ, කියා සිතෙන අවස්ථා තිබෙනවා. මෙන්න උදාහරණ.
බ්ලැක් මාර්කට් යන්න එලෙසම යොදා, බ්ලැන්කට් යන වචනයට, බ්ලැන්කේට්ටු කියා යෙදීමේ, නොගැලපීමක් තියන බවක් පෙනෙනවා. එහෙනම්, බ්ලැක් මාර්කට්ටු වියයුතුයි.
බ්ලේඩ් තල, බෝඩ් ලෑල්ල, වැනි වචන නොගැලපීම් සහිත බව, බෝහොවිට කියවෙනවා. එමෙන්ම මෙහි කියන්නේ, රැවුල් බෑම සඳහා ගන්නා, වානෙන් තැනූ තල යනුවෙන් පමණයි. නමුත්, බ්ලේඩ් යන වචනය, ලෝහ නොවන ද්‍රව්‍යයකින් නිමවා ඇති, සියුම් කැපුම් දාරයකටත් කියන්න පුළුවන්. edge යන අර්ථයද ඇතුළත්ව.
බ්ලොක් ගැන කිව්වාට, මේ ශබ්දකෝෂයේ, 'බ්ලොග්' යන වචනය නම් නැහැ.
බ්ලෝ ලාම්පුව, ධමනි ලාම්පුව වන්නේ කෙසේද යන්න, මට ගැටළුවක්.
උරපටි නැති බ්‍රසියර් දැන් තිබෙන නිසා, උරපටි යන යෙදුම ඉවත් කරන්නට සිදුවෙනවා.
බ්‍රේක් යන්න මෙවලමක් කියා හැඳින්වීම වැරදියි කියා හිතෙනවා. මෙවලමක් කිව්වේ, device යන අර්ථයෙන් විය හැකියි. නමුත්, වාහනයක තිබෙන්නේ බ්‍රේක් පද්ධතියක් system නේද? බ්‍රේක් පෙඩල් එක මෙවලමක්ද? අනෙක් අතට Brake සහ Break යන දෙකම මෙතන විස්තර කලානම් හොඳයි.
අසභ්‍ය යයි සම්මත කරගෙන ඇති සමහර වදන්, තවදුරටත් එසේම තබාගතයුතුද යන්න සිතා බැලිය යුතුයි.
කුණුහරප හෙවත් අසභ්‍ය වචන ගැන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබීම, එවැනි වදන් ගැන පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වනු ඇති.
කුණුහරප වශයෙන්ම නොසැලකුණත්, අව්‍යක්ත වදන් ලෙස සැලකෙන වචනද ඇතුලත්ව තිබීම, වාග්මාලා පිළිබඳ කරුනු සෙවීමේදී වැදගත් වෙනවා.
ගැහැණියට තමයි සියලු අපහාස. පිරිමියා සුදනා.
ඔබේ බිරිඳ සූතිකාවක් ද? නැත්නම් ඔබේ නිවසේ ඉන්නවාද සූතිකාවක්?
ෆ අක්ෂරයෙන් ඇරඹෙන වචන සෑහෙන ගණනක් ඇතුළු කර තිබීම, මේ ශබ්දකෝෂයේ විශේෂ ලක්ෂණයක් ලෙස මා දකිනවා.
දැන් මේ ලිපිය කියවලා **න්, නිකම් ඉන්නවා එහෙම නෙවෙයි **න්. රුපියල් 4000 ක් ගියාට කමක් නෑ **න්, පොත අරගෙන **න්, කියවනවා හොඳයි **න්. පොතේ පිටු 2023 ක් තියනවා **න්.
2016 ඔක්තෝබර් මස 17 වැනි දින 2302 පැය
මෙවැනි ශබ්ද කෝෂයක් නිර්මාණය වීම විශාල අඩුවක් පිරිමැසීමක් විචාරකතුමණි
ReplyDeleteඇත්තෙන්ම ඔව් ගුණසිංහ මහත්මයා. ඒ වගේම මේ ශබ්දකෝෂ යාවත්කාලීන වීමත් ඉතා වැදගත්.
Deleteවිචාගේ වචන භාවිතය මසුරං...
ReplyDeleteකේන්ති ගියාම ඒක බස්සගන්න ගොඩාක් වෙලා යනවද...විහිලුවට ඇහුවේ.
වචන තමයි එකිනෙකා හඳුනාගන්න පුලුවන් හොඳම විදිය. එතැන තමයි මිනිසා කියන සතා එලියට එන තැන. සත්තුන්ට කතා කරන්න බැහැනේ. මොන *ත්තකටද මන්දා මිනිස්සුන්ට විතරක් කට කියන එක කන්න විතරක් නොදී කතා කරන්නත් දුන්නේ. සත්තු පව් බං. මම ලියන දේවල් වැඩිය සීරියස් ගන්න එපා. ව්‍යාකරණ නන්නාන ලල්ලාන හිතන්නවත් එපා. මට ඒවා බැහැ. මම විචාගේ ලිවීමේ හැකියාවට ඊරිසයයි. මොනවා වුනත් විචා උඹ ලස්සනට ලියනවා.
ස්තුතියි අරු. මා සතුව යම් භාෂා හැකියාවක් තිබෙනවා. ඒ ගැන මුලින්ම මා පින්දෙන්නේ මගේ දෙමව්පියන්ට. ඔවුන් දෙදෙනාම මගේ ගුරුවරු. ඒ වගේම භාෂා ඥානය දියුණු කරගැනීමට බලපාන ප්‍රධානතම කරුණු දෙක වන කියවීම සහ ඇහුම්කන් දීම මට පුරුදු කලේ ඔවුන් දෙදෙනා.
Deleteකේන්ති ගියාම 'ඒක බස්සගන්න' බෑ අරු. කේන්ති නිවිලා, ඒක බස්සගන අවශ්‍ය තැනත් හරියට සූදානම් වුනාමයි, ඔන්න යන්තම් බස්සගන්නේ. නැත්නම් උස්සගෙනම තමා ඉන්න වෙන්නේ. :D :D :D
හෙහ් හෙහ්, නිකං හිතලා බලපන්, මිනිස්සු කතාකරන කන් කරච්චලෙත් තියෙද්දී, තව සත්තුත් කතාකරන්න පටන් ගත්තනම්, කොහොමට තියෙයිද කියලා.
බොරුනම් ගහන්න එපා. ඉස්සර මම අරුගේ අඩවිය කියෙව්වේ, උඹේ ලස්සන භාෂා විලාශයත් අගය කරමින්.
ඇගයීම ගැන අනේක වාරයක් ස්තුතියි.
පට්ට
ReplyDeleteහෑ.......... ඒ කියන්නේ මම දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා.
Deleteහා හා හොඳා එහෙනම්. දොස්තර මහත්තයෙක් කිව්වාම ආයේ ඉතිං මොනවා කියන්නද?
නෑ නෑ මම කිව්වේ වියමන ; ඔබතුමා එල
Deleteහෙහ් හෙහ් හෙහ්, විහිළුවක් කළේ අනේ. කවුද ඔව්වා ගණන් ගන්නේ?
Deleteසත්තයි ගන්නව ඒත් දැම්ම නෙමේ විචා මාමෙ
ReplyDeleteගෙදරක තිබුනට පාඩු නැති පොතක්. භාෂා දැනුම වර්ධනය කරගන්න මහත් පිටිවහලක්.
Deleteලංකාවේ ගොඩාක් අය ගාව තියෙනවා මලලසේකර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝෂය. ලංකාවේ වැඩියෙන්ම විකිනෙන්නෙත් එක තමයි. ගෙදර ගෙනහින් තියනවා. වැඩක් ගන්නේ නෑ අඩුම තරමේ පිටුවක් වත් පෙරලලා බලන්නේ නෑ. මමත් මීට අවුරුදු දෙක තුනකට කලියෙන් සරසවි ප‍්‍රකාශකයන්ගේ සරසවි සිංහල සිංහල ශබ්දකෝෂයක් මිලදී ගත්තා. හැබැයි ඒක නම් රුපියල් 1850 ක් මිලවුනේ. අදටත් මාගේ අත ලගින්ම මේසේ උඩ තියෙන පොත තමයි ඒක. ගොඩාක් ප‍්‍රයෝජනවත්
ReplyDeleteමලලසේකර ශබ්දකෝෂය කාලයක් තිස්සේ සංස්කරණය නොකර මුද්‍රණ දෝෂ (^ වැනි) එක්කම නිකුත් වුණා.
Deleteකොටින්ම computer යන වචනය තිබුණේත් නෑ.
සංස්කරණය කළ මුද්‍රණය හොඳයි.
ඇත්තෙන්ම සෑම ගෙදරකම පාහේ ශබ්දකෝෂයක් තිබීම වැදගත්. නමුත් ඔබ කියා ඇති ආකාරයට එය පරිහරණය නොකිරීම අඥාන කමක්.
Deleteඑමෙන්ම සෑම ශබ්දකෝෂයක් ම, අනිවාර්යයෙන් යාවත්කාලීන වියයුතුයි.
ඉංග්‍රීසි>සිංහල ශබ්දකෝෂයක් වගේම, සිංහල>ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සහ, මේ ගුණසේන ශබ්දකෝෂය වැනි, සිංහල>සිංහල ශබ්දකෝෂයක් තිබීමත් වැදගත්.
එළ එළ
ReplyDeleteඉස්සර මම ශබ්ධකෝශ කටපාඩම් කරන්න උත්සාහ කළා.. ඒ උත්සාහයේ දිගටම හිටියනම් මම දැං අංගොඩ
පට්ට ඇත්ත.
Deleteමට මුණ ගැසී තියෙනවා එහෙම පුද්ගලයෙකුව.
එළ එළ කිව්වේ මම ගවයා, එළුවා, බිහිරා කියලද :D :D
Deleteශබ්දකෝෂ පරිහරණයත් මට මගේ ගුරුවරයකු කියාදුන් දෙයක්. ඔහු කිව්වේ කවදාවත් වචන කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. සතියකට එක පිටුවක් පමණ කියවා, එහි ඇති වචන තමන් දන්නේද? අලුත් වචන හඳුනාගැනීමක් වුනාද යන්න ස්මරණය කරන ලෙසයි. මා අනුගමනය කරන්නේ ඒ ක්‍රමයයි.
ශබ්දකෝෂයේ මුද්‍රිත අකුරුවලට ටිපෙක්ස් ගෑමට විචාරකට සිදුවීම තමයි මෙහි හොඳම උත්ප්‍රාසය.
ReplyDeleteපට්ට, එළ ආදී වචනවල නව අරුත් ඊළඟ සංස්කරණයේ දී එකතු විය යුතුයි. නැතිනම් මේ ශබ්දකෝෂය නිශ්ප්‍ර්‍රයෝජනයි.
පුක යනු කුණුහරුපයක් නොවේ යන්න රසික කිවුව වගේම පයි* යනු කුණුහරුපයක් නොවේ කියල අපේ හැලපයිය කාලෙකට කලින් කියල තියෙනව.
Deletehttp://helapakade.blogspot.com/2013/03/blog-post_12.html
පක යනු කුණුහරුපයක් නොවේ කියල ගුන්දල බණුවර්ධන කියල තියෙනව
Delete@ රසිකොලොජිස්ට්
Deleteටිපෙක්ස් ගාන්නේ පාසල් ළමයි. ඔබ තවම උගෙන නැති, ඡායාරූප සංස්කරණය කිරීමේ මෘදුකාංගයක් භාවිතයෙන් තමා එම වචන මකා තිබෙන්නේ. එහි කිසිම උත්ප්‍රාසයක් නැත. සදාචාරය යන්න පිළිබඳව ඔබ සහ මා අතර ඇති ප්‍රමිතියේ වෙනස තමයි ඒ රූපයෙන් සහ ඔබේ කමෙන්ට් එකෙන් ගම්‍ය වන්නේ.
මෙන්න මගේ අහවල් එක කියා සරම උස්සා පෙන්වීමට අවශ්‍ය නැත. මන්ද අනික් අයට තිබෙන්නේත් මට ඇතිදේම ය. ඒ නිසා, ඒ කුණුහරප වචන තේරුම් ගැනීමට ඊට ඉදිරියෙන් ඇති නිර්වචා තබා, කුනුහරපය මැකුවේ, මා හැදී වැදී තිබෙන සමාජ සම්මතයන්ට අනුකූලවය. එපමණකි.
පට්ට එළ වැනි වචන එකතුවිය යුත්තේ බලහත්කාරයෙන් නොවෙයි. අව්‍යක්ත වචන යන වර්ගීකරණය සහිතවයි.
@ ප්‍රසන්න. 'පුක යනු කුණුහරපයක් නොවේ එහෙත් අව්‍යක්ත වචනයකි' යනුවෙන්, මා, එම ප්‍රකාශය වඩාත් හොඳින් අර්ථ ගන්වනවා.
@ ඉන්දික. පක යනු කුණුහරපයක් නොවේ, පක, පයි, යන වදන් දෙකම, පැරණි සිංහල සාහිත්‍යයේ එන වදන් දෙකක්.
සමාර හැගීම් දැනවීම් සදහා අලුතින් වචන නිතර නිර්මාණය වෙනවා. ඒවා කාලයක් භාවිතයේදි නියමාකාර නොවන භාවිත වචන බවට පත් වෙනවා. නොමැරෙන බාසාවක හොද ලක්ෂණය ඒකයි.. ඉතිං ඔයාට දෙන්ගේන හොද පක තියෙන්දි පරි ඇට වලින් හැමිනෙන එක නැවැත්තුවනං හරි.. හැක් හැක්
ReplyDeleteහරිස්චන්ත්‍ර මහත්තයා 2014 නේද ජනාධිපතිවරණයට ඉල්ලුවේ..
ඔහු විද්‍යා පොතුත් ( සැ.යු. ගස් පොතු නොවේ ) ලිව්වා
Deleteමං හිතුවෙම ගස් පොතු කියලයි හිටං..
Delete@ දේශ්. ඕනෑම භාෂාවක, ව්‍යක්ත යෙදුම්, අව්‍යක්ත යෙදුම්, අසම්මත් හෝ අසභ්‍ය යයි සම්මත යෙදුම් තියනවා. ඒ ඒ වචන පෞද්ගලිකව භාවිත කිරීම සහ ප්‍රසිද්ධියේ භාවිත කිරීම, ඕනෑම කෙනෙකුට තිබෙන නිදහසක්. නමුත්, අව්‍යක්ත, අසභ්‍ය, අසම්මත යෙදුම්, ප්‍රසිද්ධියේ භාවිත කරන්නා, එයින් පෙන්වන්නේ, තමන්ගේ බුද්ධි මට්ටම, සමාජානුයෝගී මට්ටම සහ කොටින්ම කිව්වොත්, හැදිච්චකමේ තරමයි.
Deleteහයියෝ.......එතුමා ඉල්ලුවනේ ජනාධිපතිකොමට. ඇපවත් ඉතුරුවුනාද මන්දා.
විචාරක නොදන්නා හෝ දැණුම්වත් වුවද ඒ බව පෙන්වීමට අකමැති දේ තමයි භාෂවත් පරිනාමය වනවා කියන දේ..
ReplyDeleteමම හිතන්නේ කව්සිළුමිණේ තියෙන භාෂාව විචාට උනත් තේරෙන්නේ නැතිව ඇති...
භාෂා (ඉන්ග්‍රීසි ) පරිණාමය ගැන වින්දනයක් සහිතව කියවන්න නම් Bill Bryson.
Deletehttps://www.amazon.com/Mother-Tongue-English-How-That/dp/0380715430
මාතේ, මම කැමතිම මෙන්න මේ වගේ පොල්ලෙන් ගහන කමෙන්ට් වලට. මෙවැනි කමෙන්ට් වලින් තමා සංවාද ගොඩනැගෙන්නේ. මා සතු යම් සිංහල දැනුමක් තිබෙනවානම්, ඒ දැනුම මට ලබාදුන් ගුරුවරුන්ගේ නාමයෙන් මා දිවුරා ප්‍රකාශ කරන්නේ, සිංහල භාෂාවේ ප්‍රගමනය, මා අතිශයින් අගය කරන, එකඟවන, හැකි සෑමවිටම ඉහලට ඔසවා තබන බවයි.
Deleteබොහෝ දෙනා සිතා සිටිනවා, එදිනෙදා සමාජයේ භාවිතාවන ප්‍රාදේශීය යෙදුම් පවා, ප්‍රධාන භාෂා දහරාවේ යෙදුම් ලෙස භාරගතයුතු බව.
නමුත් මා ඔබට යෝජනා කරනවා, ශ්‍රී ලංකාවේ වාග් විද්‍යාඥයන් විසින් ලියා ඇති සිංහල භාෂා විෂයයික ග්‍රන්ථ සහ ප්‍රකාශන කියවා බලන ලෙස.
අපේ භාෂාව, එකතැන පල් නොවී ඉදිරියට යමින් තියෙන්නේ. එය කාටවත් වලක්වන්න බැහැ.
කව් සිළුමිණ මා උගත්තේ, සාමාන්‍ය පෙළ පන්තියේදී විෂයය බාහිර කියවීමක් ලෙස. නමුත් එහි සඳහන් වචන පවා, අදත් අපේ භාෂාවේ භාවිත වෙනවා.
අපි දන්න සෑම වචනයක්ම කිසිදු සංස්කරණයකින්, නිරුක්ති විශ්ලේෂණයකින්, සමපාත කරගැනීමකින් තොරව, ප්‍රධාන ධාරාවට ඇතුළු කලොත්, අපේ භාෂාව විනාශ වෙනවා. ඒ කියන්නේ, සිංහල ගතිය නැතිවී අච්චාරු භාෂාවක් හැදෙනවා. මරදානේ චොප්පේ අයියලාගේ භාෂාවෙන්, මුළු සමාජයම කතා කරන්න පටන් ගන්නවා. ඒ තමයි ප්‍රධාන පෙළේ වාග් විද්‍යාඥයන්ගේ මතය.
@ Pra Jay. ලංකාවේ තිබෙන බොහොමයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල, Cunt, Fuck, යන වචන නැත්තේ, ඔක්ස්ෆර්ඩ් සදාචාරය නිසාදැයි සිතේ.
ඒ දේ බලෙන් නවත්තන්න බෑ... ඒක තමයි සඟිස්කුරුතිය කියන දේත් සාපේක්ෂයි කියලා කියන්නේ.. අද අපි ඉන්ගිරිසි උඩ දාගෙන නටනවා. වැඩි කාලයක් අපේ රට පාලනය කලේ ප්‍රංශ කාරයා හරි ස්පාඤ්ඤ කාරයා නම්, අපිට තියෙන්නේ වෙනම භාෂාවක්, වෙනම සඟිස්කුරුතියක්.. භාෂාවත් වෙනස්වීම් එක්ක ඔහේ ගලාගෙන යයි.. බැමි දාලා එක තැන තියෙන්න අරින එක විකාරයක්.. පෙරලෙන් ගලේ පාසි නොබැඳේ...
Delete'පකුම්' වචනය නිතර දෙවේලේ භාවිතා කලත් තේරුම දැනගත්තේ දැනුයි. " * ඕකගේ පකුම් බලන්න ඕනද ?". තේරුම හරියටම නොදැන ගත්තත් වචනය ගැන හැගීමක් තියෙනවා :)
ReplyDeleteඔන්න බලන්න ශබ්දකෝෂයක් පාවිච්චිකිරීමේ අගේ.
Deleteපට්ට.
ReplyDeleteබ්ලේඩ් තල කියන වචනෙ අවුල් වගේ නේද? බ්ලේඩ් කියන්නෙත් තල කියන්නෙත් එකමනෙ.
උඹටත් ඕන්නැති කෙං ගෙඩියක් නෑ o|o
Deleteතල කියන්නෙ sesame / gingelly
Delete@ ප්‍රසන්න. අන්න ඉහල කමෙන්ට් එකක අපේ දොස්තර මහත්තයත් මට බැනලා තිබුණා පට්ට කියලා.
Delete@ දේශ්. කෙංගෙඩිය කියන එකේ තේරුම මේ පොතේ තියනවා. හැබැයි ගෙයි පඩිය කියන එක නෙවෙයි.
@ Pra Jay. අම්මපා අද තමා ඔන්න ඒ වචනේ තේරුම ඉගෙනගත්තේ.
කොකං ගානවා කියන වචනය මටනං හුරු වචනයක්. මේ ගොඩක් වචන අපිට අලුත් වගේ දැනෙන්නෙ ප්‍රාදේශීයව භාවිතා කරන වචන ශබ්දකෝශ වල ඇතුලත් වන නිසා, මටනම් ශබ්දකෝශය බැලීම අරහං. පොතක් බලද්දි පිටුව යට තියන වචන වල තේරුම් බැලුවහම කාලයක් යද්දි ලොකු වචන ප්‍රමාණයක් ඔලුවෙ තැන්පත් වෙනව.
ReplyDeleteසෑම ශබ්දකෝෂයකම ප්‍රාදේශීය ව්‍යවහාර ගැනත්, පිටු කීපයක් වෙන්කරනවානම් හොඳයි. නමුත් එතනදී අවධාරණය කලයුතුයි, ඒ වචන/යෙදුම්, ප්‍රධාන ධාරාවේ ඒවා නොවන බව. එමෙන්ම, එහි ඇති ව්‍යක්ත අව්‍යක්ත බව ගැනද හැඳින්වීමක් කලයුතු වෙනවා.
Deleteශබ්දකෝෂයක් පරිහරණය කිරීම පාසල් ළමුන්ටත් එපාකරවන්නේ සමහර ගුරුවරු. නමුත්, එය මහා බරක් නොකරගෙන පරිහරණය කලොත්, ලබාගතහැකි ප්‍රයෝජන බොහොම ඉහළයි.
එල පට්ට වගේ වචන දැන් වෙන විදිහකට සමාජගත වෙලා ඉවරයි.වර්තමාන භාවිතය කියල කොටසකුත් ඕකට එකතුකරන්න වෙනව:)
ReplyDeleteඇත්තෙන්ම ඔව්. නමුත් ඒ වචන ව්‍යක්තද අව්‍යක්තද කියා, විග්‍රහකර පෙන්විය යුතුයි.
Deleteපොත ගන්න අදහසක් තවම නැහැ, නමුත් සිංහල ශබ්ධකෝෂයේ යම්කිසි ආකර්ෂණයක් තියෙන බවක් දැනෙනවා...
ReplyDeleteපුංචි පහේ මං වැඩසටහනේ වතාවක් ඇහුවා "උඩුහළු" සහ "ළමුන්දු" කියන වචන වල තේරුම...
පළවෙනි එකේ තේරුම එළු හමින් කල, දෙවැන්න අම්මා...
(මගේ මතකයේ පොඩි පොඩි දෝෂ තියෙන්නත් ඇහැකි...)
පොත ගන්නම අවශ්‍ය නැහැ. ප්‍රධාන පෙළේ පුස්තකාල වලත්, ආශ්‍රිත ග්‍රන්ථයක් ලෙස තිබෙන නිසා, එහි ගොස් පරිහරණය කරන්න පුළුවන්.
Deleteපුංචි පහේ මං හොඳ වැඩසටහනක්. ඒ නිසා බොහෝ දෙනා උනන්දු වුණා, පැරණි දැනුම නැවත සලකා බලන්න.
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ පොත නම් අනිවාර්යෙන්ම ගන්නවා. ස්තූතියි විචාරක. 'තුමා' නෑ.:)
ReplyDeleteඔයා නේද අර විචාමාමගේ පහුගිය පෝස්ට් එකේ බැනුං අහපු ඇනෝ ඇන්ට්.. නැද්ද..???
Deletewhat? are you kidding me? :O විචා මාමේ මෙන්න බලන්නකෝ :O
Deleteඅඩෝ කවුද මේ ළමයට ඒව මේව කියන්නෙ. හැක්..
Deleteප්‍රා ගොට් ස්ටොරොන්ං එවිඩන්සස්.. ඇන්ඩ් විචාස් ඩේටාබේස් හැඩ් අ පිව් ටූ.. යෑස් ඉදගෙන
DeleteHey I am Medusa. Be careful. One wrong look and your brain turns to stone.:P
DeleteThe brain? The Lecturer's? He got a brain? Where?
DeleteMedusa,
DeleteHe should be thanking you..You are doing him a favour...:)
If u turn his brain in to stone he'll get constipated
DeleteThis comment has been removed by the author.
DeletePra jay, ++++++++
Deleteසෙට් වෙලා යමුද මාතාට ගේමක් දීල එන්න.. හැක්..
Deleteබුදු අම්මෝ........කමෙන්ට් ගොඩ. ඒ අස්සේ ලියලා කපපුවත් තියනවා. කපන්න ඕනේ නැහැ අනේ. ඔන්න ඔහේ ලියන්න ආයෙත්.
Delete@ මෙඩුසා. හොඳයි හොඳයි පොත අරන් බලන්න. ඔය දේශා කියන ඒවා ගණන් ගන්න එපා. ඕකව ගල් කරලා දාන්න.
අනික් කමෙන්ට් කියවන්න ගියොත් පිස්සු හැදෙන නිසා මම මාරුවෙනවා.
/ දැන් ඔබම සිතා බලන්න, ඔබ පට්ට කියා භාවිත කලාම එහි දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා, යන තේරුම් ද තියනවා.
ReplyDeleteඑළ යන වචනය පාවිච්චි කලාම, ගවයා, එළුවා, බිහිරා, එළාපන්, දමාපන්, යන අර්ථය තිබෙනවා./
විචා, භාෂාවක් කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙවෙයි. භාෂාවක් ජීවමානයි, ඒ කියන්නෙ අලුතින් අතු රිකිලි දානව, මල් පිපෙනව,පරණ කොළ හැලිල යනව. අන්න එහෙම.
ඒ හින්ද වචනවල අර්ථය කාලෙන් කාලෙට වෙනස් වෙනව. වචනයක් යෙදෙන්නෙ මොන විදිහටද කියල තීරණය වෙන්නෙ කවුරුවත් අරම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියල කියන හින්ද නෙවෙයි. බහුතර භාවිතාවෙන්. පොදු සම්මුතියෙන්.
උදාහරණයක් විදිහට ගඳ කියන වචනෙ ගන්න. අද අපි ගඳ කියන්නෙ කුණු ගඳ, ඌරල් ගඳ අන්න ඒ වගෙ අප්‍රසන්න දේකට. ඒත් කාලෙකට ඉස්සරවෙලා බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ගඳ කිව්වෙ අද අපි සුවඳ කියල යොදන අරුතෙන්. " වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා..."
ඒ හින්ද නිසා මට හිතෙන්නෙ ඔබේ විරෝධය අර්ථ ශූන්‍යයයි කියලයි.
බුදුන් ගඳින් පුදන්නට අපට බල කරන ගල්ෆ් කුමන්ත්‍රණකාරින් එළවා දමමු.. නැත්නං රෙදි ගලවා ඇනෝ යවමු.. හැක්..
Deleteගඳකුටියට?
Deleteප්‍රා,
Deleteගඳ කුටිය කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ සැතපෙන කුටියට. පොඩි කාලෙ මම හිතාගෙන හිටියෙ ගඳ කුටිය කියන්නෙ කකුස්සට කියල...හෙහ්,හෙහ්,
මහද ගඳ කුටියක් කරන්නෙමි කොමෝඩ් එකකුත් සවි කරන්නෙමි..කියල ඔය ඒ කාලෙ සිංදුවකුත් මම හැදුව.
සිදත් සඟරාව ලිවීමේ පරමාර්ථය කතුවරයා පැහැදිලි කරන්නෙ මෙහෙමයි,
මහද ගඳ කිළි කැරැ
සව්නේ ගෙවා දත් හට
දුහුනන් දැනුම් සඳහා
කරනෙම් සිදත් සඟරා....
ඕකම ගිරිගෝරිස් ගෙ වෙඩින් එකේ කිව්වෙ මෙහෙමයි:
Deleteසැරදෙ ගිරිගෝරිස්
ඩීලිං හොරෙන් ගෙන ආ
ඒ සුභ මගුල සදහා
කරෙනෙම් සිදත් සගරා...
රවිය යොහෝවාගේ සාක්ෂිකාරයින්ගෙන් සල්ලි අරං බුදු දහම විකෘති කරන්න හදනව හිටං. හැක්..
Deleteඩ්‍රැකියො.. එක එකාගෙ වෙඩින්වල ගිහින් කවි කියන්ට කලින් උඹේ බ්ලොගෙ මැල්වෙයාර් ටික අහක් කරලා උන්නොත් මොකද?
Deleteබුරා, ඩ්‍රැකීගෙ සයිට් එකේ මැල්වෙයා තියෙනවා කිව්වා? සිරාවටම? ඌ ලියන දේවල් සහ ඇරුනාම වෙන මැල්වෙයා නම් මම දැක්කෙ නෑ. ඒකට ගිය ගමන් ෆයර්ෆොක්ස් කියනවා Firefox prevented you from automatically redirecting to another page කියලා. Allow එබුවාම සිං ගාල සයිට් එකට යනවා එච්චරයි
Deleteහැබෑට Firefox වලින් ගියහම ඒක නැහැ තමා.. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Chrome, ඒකෙන් ගියාම තත්පර ගානක් ඇතුළත redirection එකක් එනවා ඔන්න ඔය මොකක්දෝ නොහොබිනා සයිට් එකකට..
Delete@ රවී.
Deleteරවී, මම ඉහත මාතලන්ටත් කියලා තියනවා වගේ, මෙවැනි ලිපියක් ලිව්වම, මම බලාපොරොත්තුවෙන්නේ මෙන්න මේ වගේ කමෙන්ට්. මේ වගේ කමෙන්ට් වලින් තමයි, හොඳ සංවාදයක් ගොඩනැගෙන්නේ. එවැනි සංවාද ගොඩනගන්නයි, මේ වගේ ලිපි ලියවෙන්නේ.
භාෂාවක් ජීවමාන බවත්, එය එකතැන පල්වන දෙයක් නොවන බවත්, මා දැනගත්තේ, 1970 දශකයේදී මා කියවන ලද, ආචාර්ය විමල් අබේසුන්දර, මහාචාර්ය මිණිවන් පී තිලකරත්න, මහාචාර්ය ජේ.බී.දිසානායක, වෙ.වි. අභයගුණවර්ධන, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විද්වතුන්ගේ ග්‍රන්ථ පරිහරණය කිරීමෙන්.
භාෂාවකට අලුත් වචන එකතුවීම වැලැක්වියහැකි ජගතෙක් නැහැ. භාෂාවක තිබෙන ප්‍රමුඛ ලක්ෂණයක් තමයි වෙනස්වීම.
මව් භාෂාව කියන වචනයේ තේරුම නොදත් අය තමයි හිතන්නේ, හිතෙන හිතෙන ඕනෑම වචනයක් භාෂාවට එකතු කලහැකියි කියා. අපේ අම්මාගේ ඇඳුමේ මඩ පොදක් වැදිලා තියනවා දැක්කොත් අපි එය පිසදමන්නේ අපේ අතින්. අපේ අතේ මඩ ගෑවී අම්මාගේ මඩ ඉවත් කිරීම අපට ලොකුයි. අන්න එහෙමයි මව් භාෂාව රැකගත යුත්තේ.
ලස්සන පුංචි දිය දහරාවක් ගලාගෙන යනවා. එය පසුව ඇලක්, දොළක්, ඔයක්, ගඟක්, වියහැකියි. නමුත් ඔය ඇලට කුණු දාන්න පටන් ගත්තොත්, මෙතෙක් කල් 'ලස්සණ ඇල' කියා කියපු නම, 'කුණු ඇල' වෙනවා.
රවී, භාෂාවක දියුණුව කියන්නේ, හැම කුණුගොඩම ගෙනත්, භාෂාව ඇතුළට රිංගවන එක නෙවෙයි.
ඔබ හොඳින්ම දන්නවා, අපේ මේ පුංචි රට තුළ ප්‍රාදේශීය ව්‍යවහාර, අව්‍යක්ත ව්‍යවහාර, අසම්මත, අසභ්‍ය, ව්‍යවහාර කොතෙක් තියනවාද කියා.
අහලා ඇතිනේ අර චොප්පේ අයියා, හදිසි අනතුරක් ගැන උසාවියේදී සාක්කි දුන්න ආකාරය. ඔහු විනිසුරුට කිව්වා, 'අම්මට ඉකිලා තියෙයි බොසා, මේ උත්තිගේ පුතා ආරෙන් ආවා, අර උත්තිගේ පුතා මේන් ආව, අම්මට ඉකිලා තියෙයි දෙන්න ඇමිනුනා' කියලා.
අපිට හිතෙන හිතෙන, එදිනෙදා අපි හදාගන්න හැම වචනයක්ම භාෂාවක ප්‍රධාන ධාරාවට ඇතුළු කලොත්, අන්තිමට වෙන්නේ, අර චොප්පේ අයියගේ භාෂාව විතරක් ඉස්මතුවීමයි. හේතුව ඒ භාෂාව ජනප්‍රිය සහ උසුරුවීමෙදී විනෝදජනක වීමයි.
හිතන්න, අද අපි කියන ජනප්‍රිය වචන කොච්චර තියනවද? ඒ ඔක්කොම සිංහලද?
විශ්වවිද්‍යාල වල, සිංහල විශේෂ විෂයය ලෙස ඉගෙන ගන්න විද්‍යාර්ථීන්, ඇයි උද්ඝෝෂණ නොකරන්නේ, පට්ට, එළ, කචල්, කසිලි, බඩුව, කෑල්ල, චිච්චිය, ෂෝට, ඩෙනිම, (අනේ රවී මම දන්නේ ටිකයි) වැනි වචන, ප්‍රධාන දහරාවේ වචන ලෙස භාරගනු, ඒවා සාමාන්‍ය ව්‍යවහාරයේදී, අධිකරණ, පාර්ලිමේන්තු, අධ්‍යාපන, ක්ෂේත්‍රවල භාවිත කිරීමට ඉඩ දෙනු කියලා? ඔවුන් විශ්ව විද්‍යාලයේ එදිනෙදා කතා කිරීමේදී, අර ජනප්‍රිය වචන යෙදුවත්, ව්‍යක්ත සමාජයේදී භාවිත කරන්නේ නැහැ.
ඔබේ ලිපිවල මා කියවා තිබෙනවා, first hand යන්නට සුදුසු වචනය ලෙස, පළමෝත කියා ලියා තිබෙනවා. ඔබ පැහැදිලි කර දෙන්න සිංහල භාෂාවේ සන්ධි සැකසෙන ආකාරය අනුව, කෙසේද ඒ වචනය නිපැයුනේ කියා. පළමු + අත. මෙහිදී පළමු යන්නෙහි අග ඇති උ ස්වරය සහ දෙවැනි වචනයේ මුල ඇති අ ස්වරය සංයෝග වුනාද? උ + අ = ඕ කියා ඔබ තීරණය කලාද?
මම එළ සහ පට්ට කියන වචන වලට විරෝධයක් දක්වා නැහැ. මා කියන්නේ ඒ වචන එහි යතාර්ථයෙන් භාවිත කරන්න කියා පමණයි.
මීට පෙරත් ඔබ වරක් මේ පළමෝත කියන වචනය ගැන මගෙන් විමසුවා මට මතකයි. එවරත් මම මේ පිළිතුරම දුන්නා වගෙත් මතකයි.
Deleteවිචා, ඒ වදන මගේ නිපැයුමක් නොවේ. මීට වසර පහකට පමණ පෙර ටැබූ සබ්ජෙක්ට්ස් නමින් වියුණුවක් ලියූ ටැබූගේ නිපැයුමක් ඒ.සිංහල භාෂාවේ ස්වර සන්ධි පිළිබඳව මම ප්‍රාමාණික දැනුමැත්තෙක් නම් නෙවෙයි.ටැබූගේ වචනය මම භාවිතා කලා පමණයි. එය නිවැරදි නොවේනම් කුමක්ද නිවැරදි වචනය? පළමුවත ද?
එහෙනම් මට වැරදීමක් වෙලා. වරද පිලිගන්නවා. මම වැඩිපුරම ඒ වචනය කියෙව්වේ, ඔබේ ලිපිවල. ඒ නිසා මම වැරදි වැටහීමක් ඇතිකරගෙන.
Deleteවචනය හදපු කෙනා තමයි කියන්න ඕනේ, එය හැදුවේ සිංහල භාෂාවේ කුමන වියරණ රීතිය අනුවද කියා.
නැවුම් අත්දැකීමක් කිව්වම මදිද?
Firsthand කියන්නෙ නැවුම් කියන එක නෙවෙයි නෙ.. තමා විසින්ම අත්දැක්කා වූ දෙයක්, ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ දෙයක් කියන තේරුම නේද එන්නෙ? ගැලපෙන වචනය 'අත්දුටු' කියලයි මට නම් හිතෙන්නෙ..
Delete'නවමු අත්දැකීම' කිව්වොත් කොහොමද? නවමු කියන්නේ අලුතෙන් කියන එක නේද?
Deleteනවමු අත්දැකීම් ....එහෙම කොහොමද යකෝ. නවන කරන ඒවා කරන්නේ අපි විතරයි. අපි නවමු නීතිය කිව්වාට ඔහෙට බැහැ අත්දැකීම් නවන්න.. ඒක මගේ වචනයක් තේරුනාද. ඕවට ආවොත් නවනවා තමුසෙගෙ අහවල් එක.
Delete.... මීට පොලිස්පති තුමා.
හුට්ට බටා . ඒකත් එහෙමද?
Deleteදැනටමත් බිම බලාගෙන ඉන්න පරණ කෙහෙල් ගෙඩියක ආයේ මොනවද යකෝ නවන්නේ?
This comment has been removed by the author.
ReplyDeleteවිචා, ලොකු අයියෙ, මම මෙන්න මෙහෙම දෙයක් මෙතන දකිනවා. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගගෙ ශබ්ද කෝෂයෙ තවම අඩංගු නොවුනා කියලා වචනයක භාවිතාව එහෙම නොවෙයි කියලා අපිට තීරණය කරන්න බෑ. ඒ වගෙම සමහර වචන භාවිතාවෙන් ගිලිහිලා. උදාහරණයක් විදියට පරිය කියන වචනෙ අසභ්‍ය තේරුමෙන් පාවිච්චි කරනවා අහන්න වත් දැන් නෑ.
ReplyDeleteඑතකොට cool, nigger/nigga, motherfucker, වගෙ චචන වචනවලට විචයි මායි පුංචි කාලෙ තිබුණ තේරුමට අමතරව වෙනස් තේරුම් අද තියෙනවානෙ. Oxford, Cambridge, Webster වගෙ ශබ්දකෝෂ වලට වඩා පුළුල් විදියට තේරුම් online Urban Dictionary එකේ තියෙනවා. සිංහලවලට එහෙන පහසු දෙයක් නැති එක අවාසනවාක්. එහෙම තිබුනානම් එළ/එල සහ පට්ට වචන වලට අලුත් අර්ථකථනයත් ඒවයෙ තියෙයි.
ඒ ශබ්දකෝෂ බොහෝවිට කරන්නෙ අලුත් භාවිතාවන්ට අනුව තමන්ගෙ පොත යාවත්කාලීන අරන එකයි. එහෙම නැතුව අපේ පොතේ හැටියට නැතුව භවිතා කරන එක අභියෝග කරන එක නෙවෙයි. හුඟක් ශබ්දකෝෂ වල තේමාව භාෂාව මිනිසා සඳහා මිස මිනිසා භාෂාව සඳයා නොවේ කියන එක නෙවෙයි.
ඇත්තෙන්ම විචයි මායි පොඩි කාලෙ මේ ලැයිස්තුවෙ සමහර වචන තිබුනෙත් නෑ. තිබුනත් අද අපි සුලභව භාවිතා කරන අර්ථයෙන් නෙවෙයි. upload, download, router, online, mouse, program,... (list is endless)
/z/ ශබ්දයටත් අකුරක් නිර්මාණය කරන්න කාලෙ දැන් පහුවෙලාත් කියලා මට හිතෙනවා. අපි ඒ ගැන යමක් කරමු.
මේ වගේ එකක් හොඳ නැද්ද? (ல) කෙලින්ම දෙමළ බාසාවෙන් ගත්තෙ.. :-)
Deleteබුරා, ඔය 'ල' යන්නනෙ බොල.
Deleteහරි බං, ඒ දෙමළෙන්නෙ.. සිංහලෙන් තාම ඔහොම අකුරක් නැහැනෙ..
Deleteබුරා.. මරු බං :D
Deleteතව තව...
Deleteඩූඩ්, උඹේ කමෙන්ට් එක හරිම වැදගත්. එයින් කරුණු දෙකක් මුලින්ම අහකට අරන් මගේ අදහස් කියන්නම්.
Delete1. Z අකුරට සිංහල අකුරක් හදාගන්න බැරිවීම ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ. කාලෙකට ඉහතදී අදහසක් ආවා, සයන්නේ දෙපැත්තටම ඉරිකෑලි දෙකක් ගහලා, අකුරක් හදමු කියලා. දෙකක් බැරිනම් pකක් ගහලා හරි, අකුරක් හදන්න අපි දැන්වත් උනන්දුවෙන්න ඕනේ. නැත්නම් අපි විදේශීන් එක්ක කතාකරද්දීත් කියන්නේ සීබ්‍රා කියලා.
2. //හුඟක් ශබ්දකෝෂ වල තේමාව භාෂාව මිනිසා සඳහා මිස මිනිසා භාෂාව සඳයා නොවේ කියන එක නෙවෙයි//
සම්පූර්ණ ඇත්ත. නමුත් මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි හිතනවා එකම ඇඳුමෙන් කුස්සියට, කක්කුස්සියට, පාර්ලිමේන්තුවට, ඉස්පිරිතාලෙට, පන්සලට යන්න. එහෙම වෙන්නේ අවශ්‍ය ඇඳුම තෝරාගැනීම සඳහා අවශ්‍ය මූලික දැනුම, කුඩා වයසේ සිට අපට ලැබී නොතිබීමයි. ඒ නිසා අපි හිතනවා, ඇඳුම් කියන්නේ ඇඟ වහගන්න තියන දෙයක් පමණයි, එයින් ඕනෙම එකක් ඕනෙම තැනකට යන්න සුදුසුයි කියා. අපේ වාග් මාලාව දියුණු කරගෙන නැත්නම්, අපි එහෙන් මෙහෙන් සක්ක කෑලි ගහලා, ගොඩ යන්න බලනවා. අන්න ඒක වලක්වන්න, භාෂාව ගැඹුරකින් හැදෑරීම සහ මෙවනි ශබ්දකෝෂ පරිහරණය ඉතා වැදගත්. හිතලා බලපන් උඹ පේරාදෙණියේ පුහුණු වෙන්න කලින් ඉංග්‍රීසි භාශාවපිලිබන්දව තිබුණු ආකල්පය සහ පුහුණුවෙන් පසු ආකල්පය කොච්චර බරපතළ ලෙස වෙනස්ද කියලා. උඹ ඉංග්‍රීසි ඉගෙනගන්න යුදාගත් තාක්ෂණික ක්‍රමවේද යොදලා සිංහල ටිකක් ගැඹුරට කරපන්. උඹටම පුදුම හිතෙයි.
මිනිසා වෙනුවෙන් තියන මෙච්චර හොඳ භාෂාවක් හරියට ඉගෙනගන්නේ නැතුව, එදිනෙදා සමාජයේ නූගතුන් විසින් බිහිකරන යෙදුම්, කාලීන මහා නිර්මාණ ලෙස සැළකීම තමයි, අද්‍යතන සිංහල සමාජයේ තියන භාෂා ඛේදවාචකය.
ඉංග්‍රීසි භාෂාව කියලා වෙනසක් නැහැ ඩූඩ්, කොයි භාෂාවේත් බහ්වර්ථ පද තියනවා. කාලීනව ඒවා යෙදෙන ආකාරය වෙනස් වෙනවා. පැරණි සිංහල සාහිත්‍යයේ, 'සුඟක්' කියන වචනය යෙදුනේ ස්වල්පයක් කියන අර්ථයෙන්. නමුත් අද එහෙම නෙවෙයි නේද? උඹ වඩාත් හොඳින් දන්න ඉංග්‍රීසි භාසාවේ වචන වල අර්ථය වෙනස්වීම පෙන්නලා තියනවා වගේම, සිංහල භාෂාවෙනුත් එවැනි උදාහරණ ඕනෙතරම් දක්වන්න පුළුවන්. ඒවා නොදැන සිටීම සිංහල භාෂාවේ වැරැද්දක් නෙවෙයි.
ඒ නිසා අපේ භාෂාව ගැන ප්‍රාමාණික දැනුමක් නැති, භාෂාව කියන්නේ, විභාග සමත්වීම සඳහා ඉගෙන ගන්න, තවත් විෂයයක් පමණයි කියන අදහසින්, එදිනෙදා අතපතගාන පිරිස වැඩිවීම නිසයි, අරවගේ සක්ක පද වැඩි වැඩියෙන් බිහිවී භාෂාව දූෂණය කරන්නේ.
Z අකුර සඳහා සිංහල අකුරක් සෑදීමට වෙහෙසන සගයිනි, ජයවේවා!
@ඩූඩ්,
Deleteඅපේ අකුරු හා සමානව යන අනිකුත් වර්ණමාලාවන් කීපයක් තමා බුරුම, ලාඕස් හා ජෝර්ජියන්.. ඔවුවා කීපයක් අධ්‍යයනය කලොත් බැරිවෙන එකක් නෑ අපට ගැලපෙන එකක් හොයාගන්ට.. සංකේතයක් අලුතෙන්ම හදන්ට ඕනමයි කියලා නියමයක් නෑ නෙවැ..
මමනම් කියන්නේ බූරා අපි Z ශබ්දය සඳහා අකුරක් හදන්න ඕනේ කියලා. අපි සාමාන්‍ය පෙළ පන්තියේ හිටිය කාලේ තමයි ෆ යන්න (උපද්මානිය) හැදුනේ. ඒ කාලේ එය මිනිසුන් අතරට ගෙනගියේ, බොහොම ජනප්‍රිය 'ෆෝ ඒසස්' සිගරට් වලින්.
Deleteහොඳට බලන්න, අපෙන් ඉතා ටික දෙනෙකු පමණයි, Z අකුර සහිත වචන නිවැරදිව උසුරුවන්නේ.
අකුරක් හදන්ට ඕන තමා විචා. මම කියන්නෙ ඒකට අවශ්‍ය කරන සංකේතය/ රූපය අපට පුළුවන් වෙනත් වර්ණමාලාවකින් ණයට ගන්ට. 'ෆ' කියන සංකේතය වුනත් වෙනත් වර්ණමාලාවල යෙදෙනවා වෙනත් ශබ්ද වෙනුවෙන්..
Deleteදැන් විචා ඔය පොතේ තියෙන වචන දාලා බ්ලොග් පෝස්ට් ලිවුවහම, ඒවා කියෝලා තේරුම් ගන්ට අපිත් ඕකක් මිල දී ගන්ට ඕන ද? :-D
ReplyDeleteහිහ් හී..........ඉස්සර වෙලාම මට තේරෙන්න එපායැ එහෙම ලියන එව්වා. ඒ නිසා, ඔන්න ඔහේ වෙනදා විදිහට, කාටත් තේරෙන හිංගලෙන් ලියමු නේද?
Deleteවර්තමානයේ බොහෝවිට භාවිතාවන 'එළ' සහ 'පට්ට' යන වචන මෙම ශබ්දකෝෂයේ නිර්වචන සමග සංසන්දනය කිරීමේදී මට නම් හිතෙන්නේ මෙම ශබ්දකෝෂය මෑතකදී නවීකරනයවී නොමැති බවයි. ලෝකයේ ශබ්දකෝෂ නිතරම අලුත්වෙනවා. හේතුව භාෂාවක වචන නිතරම වෙනස්වීමත්, අලුත් වචන එක්වීමත් නිසයි. උදාහරණයක් ලෙස ළඟදී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට 'අයියෝ' යන වචනය එක්වූ බව පුවතකින් මා දුටුවා. මේ කාලයේ බොහෝ ජනප්‍රිය වචනයක් වන 'සෙල්ෆි' වචනයත් එහෙමයි. මේ වචනය ඕස්ට්‍රේලියාවේ ජනවහරින් සැදුනු වචනයක් ලෙසයි සැලකෙන්නේ. 'පට්ට' කියන වචනය ඉංග්‍රීසියෙන් 'real' යන තේරුම ගෙන දෙනවා. උදාහරණයක් ලෙස 'පට්ට වේසි' කියන ලංකාවේ බහුලව භාවිතාවන යෙදුම අරන් බලන්න. එහි ඉංග්‍රීසි පරිවර්තනය 'real whore'ඇත්තටම 'පට්ට' වචනය භාවිත වන විදිහ නිවැරදියි. 'එළ' වචනයත් එහෙමයි. මේ වගේ ලංකාවේ සාමාන්‍ය කථාවේ භාවිතාවන තව බොහෝ වචන තිබෙනවා, 'සෝබනේ'. 'සොමිය', 'ආතල්' වගේ වචන ඔය ශබ්දකෝෂයේ තිබෙනවාද කියා මා දන්නේ නැහැ. වරද තිබෙන්නේ මට හිතෙන විදිහට ඔය ශබ්දකෝෂයේ, හේතුව ඒක අලුත්වෙලා නැතිවීමයි.
ReplyDeleteබොහොම හොඳ අදහස් දැක්වීමක්. මමත් කියන්නේ එළ, පට්ට, වැනි වදන් දැනට මේ ශබ්දකෝෂයේ තිබෙන ස්ථානයේදීම, මෙන්න මෙහෙම යෙදුමක් කලානම් හරි. 'වර්තමාන සමාජයේ තිබෙන අව්‍යක්ත යෙදුමකි' කියලා.
Deleteසෑම ශබ්දකෝෂයක් ම, යටත්පිරිසෙයින් වසර දෙක තුනකට වරක් වත්, යාවත්කාලීන වියයුතුයි.
'පට්ට වේසි' කියන එක අපි නම් කියන්නේ, පහත්, අධම, නීච, ගර්හා කටයුතු, අශ්ලීල, වෛශ්‍යාව කියන අර්ථයෙන් විනා, ඉංගිරිසියෙහි real යන අර්ථයෙන් නෙවෙයි.
පට්ට ඇඹුල් = කටුක ඇඹුල් රස
පට්ට ගහපු ඇඳුම් = පාවිච්චිය නිසා වියැකී ගිය ඇඳුම්
ශබ්දකෝෂයේ වරදක් නැත. ඔබ කියන ආකාරයේ, සිංහල භාෂාවේ ප්‍රධාන ධාරාවට අයත් නැති, ප්‍රාදේශීය ව්‍යවහාර සියල්ල එකතු කිරීම සහ, ඒවා වර්ගීකරණය කිරීමයි කාලීනව සිදුවිය යුත්තේ. ලෝකයේ කිසිම භාෂාවකට අයත් ශබ්දකෝෂයක් නැහැ, අඩුපාඩු නැතැයි කියා කියන්නට පුළුවන්.
විචා මාමේ. ඔබගේ තවත් වැදගත් ලිපියක්. කොහොම උනත් ඔය ශබ්දකෝෂයේ කතෘ වගේම ඔබත් මේ ලිපිය ලියන්ට ලොකු කට්ටක් කන්ට ඇතිය. එකට මෙන්න රෙස්පෙක්ට් එක. මම අදත් කොච් කොච්චියගේ පොස්ට් එකකට පට්ට කිව්වාය. එකේ තේරුම දන්නේ දැන්ය. 🙈..
ReplyDeleteමේකේ සමහරක් අය කියල තිබ්බ ඔය ශබ්දකෝෂය දැනට සරිලන විදිහට වෙනස් කොරන්ට ඕනෑය කියල හිටන්. එහෙනම් ඉතින් පොඩි ටෙස්ටිං පාරක් විදිහට ට්‍රයි කොරල බලන්ට පුළුවන් සීගිරියේ කුරුටු ගී හරි වැදගත් සෙල්ලිපියක් හරි එකේ උඩ අලුතින් කොටල බලලම. 😜
කොහොමත් පැරණි දේවල් සාහිත්‍ය වගේ දේවල් ඒ ආකාරයෙන්ම තියෙන්ට ඕනෙයි කියන එක තමයි මගේ හැඟීම.
මොකද මගේ මව්තුමිය ලොකු කට්ටක් කනව මගේ සහෝදරියගේ ළමයි දෙන්නට සිංහල බාෂාව කවි වගේ දේවල් උගන්වන්ට. මට වෙලාවකට පනයනකන් හිනා. දුව නම් බොහොම අසාවෙන් ආච්චි අම්මගෙන් සිංහල ඉගෙනගත්තත් පුතණ්ඩියනම් ෂේප් න්‍යායෙන් ලිස්සල යන්නේ ඉස්සර මව්තුමිය මම දහම්පාසල් එක්කරගෙන යන්ට දුන්න ෆුල් ට්‍රයි එක මට සිහිපත්කරවමිනි.
ඉතින් සැදැහැවත් මාම කෙනෙක්ගේ යුතුකම වශයෙන් මම ඒ ඩබලටම බ්‍රිටිෂ් ස්ලෑන්ග් උගන්වමි. innit ..?? 🙃
ස්තුතියි විචා මාමේ..👊🏽
//ස්තුතියි විචා මාමේ//
Deleteමුගෙ ආච්ව්ට මේ බලකො :D
නියම අදහස් ටිකක් තිලාන්. මම උඹට හොඳ කතාවක් කියන්නම්, අපේ රටේ යුද්ධයේ අවසාන භාගයේදී, යුද හමුදාවේ කෝප්‍රල් නිලයේ අය තෝරාගෙන බඳවාගත්තා නිලධාරීන් ලෙස පුහුණු කරන්නට. ඔවුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වගකීම මට පැවරුණා. අනේ අනේ නන්නානේ. ඒ අයගෙන් සමහරෙකුට තමන් ගැන සිංහලෙන් වාක්‍ය 10 ක් ලියාගන්න බැහැ. මම ඇහුවා තොපේ මවට සැමනෙන්න කියන්නේ මොකක්ද කියා? උන්ගේ ඇස් උඩ ගියා. මම එතනින් තමා ඉංග්‍රීසි උගන්නන්න පටන්ගත්තේ. යුවර් මදර් වලින් පටන්ගත්තාම උන් ටක් ගාලා ඉංගිරිසි අල්ලගත්තා.
Deleteපැරණි දේ එලෙසම තියන්න ඕනේ තමයි. නමුත් භාෂාව හැමදාම එක තැන තියන්න බැහැ. එය ඒ භාෂාවේ සම්මත රටාව නොබිඳ වෙනස් වියයුතුයි.
@ පත්තරේ.
මේකා උගන්වන ස්ලෑන්ග් වලින් මූටම වදිනවා වැඩිකල් නොගිහින්.
@ පත්තරේ-;
Deleteඇයි බන් උබට අප්සට් වගේද? වැඩිය දැඟලුවොත් විචා මාමි එක්ක ට්‍රිප් එකක් යවනව හoගපු අවි ආයුද පෙන්නන්ට හරිද? 😜😜
@ විචා මාම -;
මටත් පොඩි හැකියාවක් තියෙනව භාෂා කිහිපයකම කුණුහබ්බ ටික විතරක් කියන්ට ලෙසටම ...
හැක හැක සමහරක්විට විචා මාමගෙ ඒ ඉංගිරිසි ක්ලාස් එකේ පොරවල්ද දන්නෙ නෑ මේ අනෝ ප්‍රොෆයිල් හදන් ඇවිත් ගේම ඉල්ලන්නෙ??
මොන විකාරද, උන්ට තවමත් කම්පියුටර් එකක ස්විච් එක දාගන්න බැහැ. අනික ඇනෝ ආපු එවුන්ට මේ ලෝක හමුදා දැනුමක් නැහැ.
Deleteභාශාව වැඩිදුරටත් හදාරන උදවිය (විශ්ව විද්‍යාලයේ භාශා උපාධි හදාරන්නන්) වැන්නවුන් සඳහා වියත් භාශාව සුරැකිය යුතු බව සැකයක් නෑ.නමුත් කාර්යාලීය කටයුතු සඳහා ගැලපෙන භාශාව එතෙන්ටත් අපි එදිනෙදා කතා බහ සහ සරල නවකතා/කෙටිකතා/බ්ලොග් වැනි භාවිතාවන් සඳහා එතෙන්ටත් සුදුසු ලෙසින් භාවිතයේ ඇති වදන් වලින් උරාගැනීමක් කරගත යුතුයි නේද?
ReplyDeleteජයවේවා..!!
භාශාව ආරක්ෂා කරන්න ඕනේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අය විතරක් නෙවෙයි ලබ්ස්. සමාජයේ සෑම ස්ථරයකම ඉන්න අපි ඔක්කොම. ඒ සඳහා කුඩාකල සිටම මව් භාෂාවට ආදරය කරන්න, රැකගන්න, පෝෂණය කරන්න, ඉගැන්විය යුතුයි. නමුත් අද භාෂාව කියා කියන්නේ, විභාග සමත්වීමට ගන්නා විෂයයක් පමණයි. ඒකයි දුක.
Deleteබ්ලොග් ලිවීමේදී, අපි ඉන්නේ අතිශයින් පෞද්ගලික ස්ථාවරයක. ඒ නිසා, බ්ලොග් ලියන අය අතින් භාෂාවට බලපෑම් එල්ලවීම, වලක්වන්න බැහැ. කලයුත්තේ, කවුරුන් හෝ ඒ ගැන සංවාදයක් අරඹා, භාෂාව රැකගැනීමේ වැදගත්කම පෙන්වාදීමයි.
මගේ කමෙන්ට් එක මේකේ නෑ ඒ කියන්නේ ආ අනිකේ දාන්න ඇත්තේ.ඕකනේ බැරි අනේ
ReplyDeleteඔන්න ඔහේ ඒක මෙතනට කොපි කරන්න අනේ. එතකොට ඉවරයි නේ.
Deleteබ්ලාෙග් ලෝකයට අත්‍යවශ්‍ය වී තිබූ භාෂාව ගැන සංවාදයක් අැති කරන්නට ඔබ මේ ගෙන අැති උත්සාහය ගැන බෙහෙවින්ම ස්තූතියි විචාරකතුමනි.පරිගණකයට /අන්තර්ජාලයට සිංහල භාෂාව අැතුළත් කරන්නට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අායතනයේ කථිකාචාර්ය ටියුරන්ස් නන්දසාර මහතා අැතුළු කණ්ඩායම ගත් උත්සාහය ගැනත්, භාෂා අභාවය හා ඝාතනය ගැනත් ලිපි දෙකක් මගේ ගොඩයාගේ අඩවිය බ්ලොගයේ තිබෙනවා. මේ සංවාදයට ඒ කාරණා යම් දුරකට වැදගත් වේවි.
ReplyDeletegodayage-adaviya
ඇත්තෙන්ම මගේ පරමාර්ථය වුනේ සංවාදයක් ගොඩනැගීමයි. එය යම් පමණකට සාර්ථකවීම සතුටක්.
ReplyDeleteප්‍රභාත් ඔබ මට තුමා කියා අමතන්නට අවශ්‍ය නැත. විචාරක කිව්වම හොඳටම ඇති.
නන්දසාර මහතාගේ සේවය අනුපමේයයි. මට මතකයි එතුමා රූපවාහිනී වැඩසටහන් වලට පැමිණ තම කාර්යභාරය සහ අරමුණු විස්තර කල ආකාරය.
තොරතුරු තාක්‍ෂණයේදී තවමත් සිංහල භාෂාව තරමක් පසුගාමීව තිබෙනවාද කියා හිතෙනවා. බොහොමයක් මෘදුකාංග වලින් සිංහල අකුරු සියල්ලම ටයිප් කරන්නට බැහැ. මොකක් හරි අඩුවක් තියනවා.
ඔබේ අදගස් වලට බොහොම ස්තුතියි.
එළම එළ ලිපියක් විචා. මම මේ ලිව්වේ එලබොන්ගා කියන අර්ථයෙන්. මහාචාර්ය සුචරිත ගම්ලත් නුත් සිංහල ශබ්දකෝෂයක් කලා නේද? සෑහෙන ගාණක් වෙනවයි කියල කවුද කිව්වා.
ReplyDeleteහිහ් හිහ්, එළ බොන්ගා බොල එන්ගා? අජිත්ට මතකද, සුචරිත ගම්ලත් ශූරීන් පත්තරවලට ලියපු ලිපි. සිංහල වරද්දන අයට දුන්නා එලව එලවා. අන්න නියම ශිෂ්ටසම්පන්න වාග් ප්‍රහාර. එතුමාගේ ශබ්දකෝෂය ගැනත් හොයලා බලන්න ඕනේ.
Deleteවිචා මහතා, ඉතා හොඳ මාතෘකාවක්.
ReplyDeleteමේ ලිපිය තුලින් හොඳට පැහැදිලි වෙනවා භාෂාවක් කියන සංකල්පය ගැන ඔබ දරන මතය.
මම පෞද්ගලිකවඔය සභ්‍ය අසභ්‍ය කියන බෙදීම දකින්නේ විහිළුවක් විදියට. මොකද කිසිම වෙනසක් රහිතව එකම අරුත දෙන පද දෙකක් එකක් සභ්‍ය හා අනෙක අසභ්‍ය වීම වෙන්නේ හේතු රහිත සම්මතයක් නිසා.
ඒ වගේම එක් අරුතකින් අසභ්‍ය වන වදනක්, රූපයෙහි වෙනසකින් තොරවම වෙනත් අරුතකින් සභ්‍ය වීමත් ඒ වගේම සම්මතය විසින් ගොඩ නැගී විහිළු.
ඒත් ඔබතුමා පැහැදිලිවම දක්වන ව්‍යක්ත යෙදුම් හා අව්‍යක්ත යෙදුම් කියන කාරනය වඩා අර්ථවත්.
මෙතැනදී හුදු වචනයකට වඩා ඒ වචනය යොදන වටපිටාවත් සමගම එහි ව්‍යක්ත බව හා අව්‍යක්ත බව රැඳී පවතිනවා.
ඒ වගේම නූතන අව්‍යක්ත බස කාලයත් සමග ව්‍යක්ත බසක් බවට පත් වීමේ ඉඩක් නැතැයි කියන්නටත් බැහැ.
කමෙන්ටු ටිකයි ඒවායේ පිලිතුරුයි නිසා ලිපිය පරිපූර්ණ වී තියෙනවා කියල හිතෙනවා.
බොහොම ඉහලින් අගය කරනවා ඔබේ අදහස් දැක්වීම.
Deleteඇත්තෙන්ම ලෝකයේ සෑම භාෂාවක්ම කාලීන සම්මතයට යටත් වෙනවා. ඒ අනුව, සභ්‍ය අසභ්‍ය යන්නෙහි නිර්නායකයන් ද, වෙනස් වෙනවා. එය අපට වැළක්විය නොහැකි ලෝක ස්වභාවයයි. නමුත්, සභ්‍ය සහ අසභ්‍ය යයි වෙනසක් නැතැයි කියා, අසභ්‍ය යයි සම්මත දෑ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අප වැළකී සිටින්නේ, කාලීන සංස්කෘතිය විසින්, යම් පූර්ව මගපෙන්වීමක් කර ඇති නිසයි.
එවැනි දේ ට අභියෝග කරන අය, එදත් හිටියා, අදත් ඉන්නවා, අනාගතයෙත් ඉඳියි. නමුත් ඔවුන්, අසභ්‍ය දෑ ප්‍රසිද්ධියේ භාවිත කලොත් බහුතර සභ්‍යවාදී සංස්කෘතිය මගින්, ඔවුන්ව කොන් කරනවා.
ව්‍යක්ත අව්‍යක්ත භාවය සම්බන්ධයෙනුත්, සියලු තීන්දු තීරණ ලැබෙන්නේ, කාලීන සමාජ සම්මතයන් තුළින්මයි.
නැවතත් ඔබට ස්තුතියි.
අපූරු සටහනක් විචාරකතුමා...ඔබ නිවැරදියි...බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව නිවැරදිව හැසිරවීම ඉගන ගැනීමට ඇති වුවමනාව, සිංහල භාෂාව අධ්‍යනය කිරීම සඳහා නැහැ...
ReplyDeleteමේ slang words යනුවෙන් පාවිච්චි වන වචන වෙනුවෙන් ලංකාවෙත් වෙනම ශබ්ද කෝෂයක් බිහි වුනා නම් හොඳයි...මා දන්නේ නැහැ දැනටම එහෙම දෙයක් තියනවද කියල...
බොහොම ස්තුතියි පොකුරු අදහස් දැක්වීම ගැන.
ReplyDeleteසිංහල භාෂාව අවඥාවට ලක්කරන අය තමන්ගේ මව අවඥාවට ලක්කලා හා සමානයි.
මා හිතනවා, අපේ ශබ්දකෝෂ ඉතා වේගයෙන් යාවත්කාලීන වියයුතුයි කියා. වෙනම ශබ්දකෝෂ සකස් නොකලත්, දැනට පවතින ශබ්දකෝෂවලම, අව්‍යක්ත වදන් පිළිබඳ විස්තර දක්වන්න පුළුවන්. වඩාත් ගැලපෙන්නේ ඒ ක්‍රමයයි.
ලිපිය කියෙව්වා.....පොතක් සතු කරගැනීමේ ආසාවක් ඇතිවුනා. ස්තුතියි ඔබට.
ReplyDelete