හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 December 2016

විස්තර කරන්නේ දෑහින් දුටු දේය..........

 හනේ මන්දා.......'මන්දා නාලනී' වගේ, ගජමන් නෝනා කෙනෙක් නොවුනත්, පහුගිය දොහක ගිය ගමනක විස්තරයක් තමා මේ කියන්ඩ තනන්නේ. පහුගිය 10 සහ 11 දවස් දෙකේ, අපේ ගෙදට කට්ටිය සමග පොඩි සංචාරයක් ගියා. පොඩි කිව්වට පොඩිම නෑ. 'දක්ෂිණ සීග්ගරගාමී පාරෙන්' මාතර දක්වා ගිහින්, මාතර සිට පරිසර චාරිකාවක යෙදෙමින්, කතරගම ගිහින්, තණමල්විල උඩවලව, පැල්මඩුල්ල, අවිස්සාවේල්ල, කෑගල්ල, පැත්තෙන් ගෙදර ආවා. කිලෝමීටර් 750 ක විතර චාරිකාවක්. මෙන්න දළ වශයෙන් ගමනේ වැදගත් කොටස්. දකුණු පළාතේ ගිය කොටස විශේෂයෙන්.



මුලින්ම අපේ ගෙදරින් පිටත්වුනා පාන්දර 4.00 ට විතර. කඩවතට ගිහින්, සීග්ගරගාමී පාරෙන් ගියා කොට්ටාවට. එතනින් දාගත්තා, අපේ දෝනියන්දැයි බෑණා පොඩ්ඩයි. ආයෙත් සීග්ගරගාමෙට ඇතුල්වෙලා, යන්ඩ පටන්ගත්තා කියමුකෝ එකසිය ගාණට. අම්මපා සමහර තැන්වලදි නම්, 110 ටත් ගියා, වේගය අල්ලන කැමරා තියේද කියා, බල බලා. මුළු ගමනටම ඉතින් මම තමයි ඩැයිවර. 

ඔය සීග්ගරේ අතරමග තියනවනේ, තේ බොන්ඩ, කෑම කන්ඩ, ආහාර ජීර්ණ පද්ධතියේ සහ මුත්‍රාශයේ බර අඩුකරගන්ඩ/වැඩිකරගන්ඩ තැනක්. එතන නවත්තලා, උදේට කාලා, මාතරට ගියයි කියමුකෝ. නොදෝකින්, අර ගෙඩි රුපියල් 550 ක් ගෙවපු කොළ කෑල්ලේ තියෙන්නේ, දළ වේගය පැ.කි.මී. 66 යි කියලා. ලැජ්ජා හතයි. මං වගේ ආමි ඩැයිවර කෙනෙකුට මොන තරම් අපහාසයක්ද? බැලින්නං අර නවත්තලා හිටිය කාලයත් ඇතුළුකොරලා තමයි, වේගය ගණන් හදන්නේ. අම්මපා මීට පස්සේ යන්නේ 60 ට. 

ඔන්න අපි මාතරට සැපත්වුණා. ඉස්සරවෙලාම ඇහැට වදින්නේ අර සීමාමාලකය නේ. ඉතින් එතනට ගියා. 





කෙළ මලියක්නේ. එතන නීතිරීති බොහොම තදයි. 'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්.  මේ බලන්ඩකෝ. 



ඒ මදිවට ලාළාමී කෙනෙක් දාලා ඉන්නවා, නීති කඩන එවුන්ට පොලුපාර දෙන්ඩ. මෙන්න ඒ ලාළාමී. බලා....න්ඩ පොල්ල අතේ.




මම අපේ ඇත්තිට කිව්වා, මගේ අහලකටවත් එන්න එපා කියලා. දුවටයි බෑණටයි කිව්වා, තොපි දෙන්නා මෙතැනදී නයයි පොළඟයි වගේ හිටපල්ලා, නැත්තං ලාළාමීගේ පොලුපාර තොපේ ඔලුවටම එයි කියලා.  

මාතර අහට ඇවිල්ලා ඉතිං, මාතර කොටුව නොබැලුවොත් ලොකු අඩුවක්නේ. ඔන්න ඉතින් ඒක බලන්ඩත් ගියා. ඇත්තෙන්ම මේ පාසල් නිවාඩු කාලේ, දරුවන්ට මේවා පෙන්නනවානම් හොඳයි. නමුත් එවැනි කවුරුවත් මෙතනට ඇවිත් හිටියේ නැහැ. 


මේ VOC කෑල්ල ගලවලා විකුණයිද දන්නේ නෑ හොරෙන්ම.


REDOUTE VAN ECK කියන්නේ මොකක්ද කියලා, දන්නා ඇත්තෙක් කියලා දෙනවා හොඳයි.



මෙතන තියන කුරුබිලියෙන්, දොරටු තුනක් එකවර ඇරෙනවා වැහෙනවා, දම්වැල් ලීවර ක්‍රමයකට. මෙන්න මෙව්වා තමයි ළමයින්ට පෙන්නන්ඩ ඕනේ. 




හැබෑටම මේ මක්කැයි කියාලා ලියාලා තියෙන්නේ? 

මෙහි තිබෙන කෞතුකාගාරය ඉතා වැදගත්. ලංකා ඉතිහාසයට අදාළ වැදගත් අභිලේඛනයක් වන, පනාකඩුව තඹ සන්නස මෙහි තැන්පත් කර තිබෙනවා. නමුත් ඡායාරූප ගන්න අවසර නැහැ. එහි හැඳින්වීම පමණක්, ඡායාරූපයට නගාගත්තා. 




අද කාලෙත් අලුත් ඉස්ටැයිල් ඒකෙ සමහර ගෙවල්වල මෙන්න මේ වගේ දොරවල් තියනවා. හැබැයි එව්වට ඔය ඊට පහලින් තියන පින්තූරේ ජාතියේ දොර අගුලු නැති එක ලොකු අඩුවක්. 






මාතර අහ ඉඳලා අපි ගියේ වෙහෙරහේනට. හපුච්චේ එතන නීති තවත් තදයි. මේ බලා........න්ඩකෝ.




ඒ කියන්නේ පෙම් යුවලක් ශෝභනව හැසිරෙනවා නම්, වැරද්දක් නැහැ. අශෝභන කියන්නේ, කැතට ඇඳලා, මූණ කට හෝදන්නේ නැතුව, ඔලුව පීරන්නේ නැතුව, එන එකට වෙන්ටෑ. ශෝභන සහ අශෝභන මට්ටම් පිළිබඳ නිර්ණායක ටික, ඔය බෝඩ් ලෑල්ලේම පහලින් දැම්මානම් ඉවරයිනේ. 

කවුරු මොනවා කිව්වත්, වෙහෙරහේන ගැන මගේ අවංක අදහස මෙයයි. වෙහෙරහේනේ, කිසිදු කෞතුක, ඓතිහාසික, කලාත්මක වටිනාකමක් මම නොදකිමි. මෙහි ඇති නිර්මාණ සියල්ලම පාහේ, ඉතා දුර්වල මට්ටමේ ඒවාය. මෙය, විනෝදයට යාමට සුදුසු ස්ථානයක් ලෙස, බොහෝදෙනා සලකන බව පැහැදිළිවම පෙනුනි. 




ආධාර එකතු කිරීම සඳහා විවිධ උපක්‍රම යොදා ඇත. පොලොව යට පිහිටි කොටසේ සිටි පිරිසක්, ඒ කොටසින් පිටවී යාමෙන්, ආධාර ලබාගැනීම මගහැරෙතැයි සිතා, එක් ස්වාමීන් වහන්සේ නමක්, වැඩ්ඩ වැඩිල්ලේ වේගය දැක, මට සිනහව නවතාගත නොහැකි විය. 

දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අපේ ඔලුවට 'ප්ර්රදීපාගාරය' කඩා වැටුණේ මෙන්න මෙහෙමයි.




ඒ කියන්නේ ලංකාවේ කොයි හද්දිබ්බාගයේ ඉන්න පුංචිඅප්පුහාමි වුනත්, කොළඹ හාබර් මාස්ටර් බැහැදැක, පඬුරු පාක්කුඩම් ඔප්පුකර වරං නොගෙන, මෙතනට ඇතුළුවෙනවා බොරුය. එහෙම වරං ලබා නැත්තං, මෙතන පින්සිබල් මාස්ටර් ඉඩ දෙන්නේ නැත. වයිස් පින්සිබල් නැද්ද කියා අහන්ඩ හිතුනත්, දැන්නම්, 'හාබර්' කියන වචනේ ඇහුනත් ඇඟ හිරිවැටෙන නිසා, කට පියාගත්තෙමි. 

පස්ස පැත්තෙන් ගොස් පින්තූර ගතිමි. (ඒ කියන්නේ, ප්‍රදීපාගාරයේ පසුපස ප්‍රදේශයෙන් ගිහිල්ලාය)








 ඊට පස්සේ අපි දෙවුන්දර බලා ගමන් කළා. දෙවුන්දර උපුල්වන් දෙවාලය ආශ්‍රිත විහාරස්ථානයේ බෝධිය අතිශයින් මා සිත් ගත්තේය. එහි සිසිලස ඇත්තම දහම් සිසිලස සිතට දනවයි. 




උපුල්වන් දේවාලය මනරම්ව වර්ණගන්වා තිබුණත්, එහි විදුලි කම්බි සවිකිරීම නම් බල්ලා මාක් ය. බස් නාක බස්නායක නිලමේටවත් මෙව්වා පෙනෙන්නේ නැද්ද හැබෑට? නවීන තාක්ෂණයෙන්, මේ කම්බි එකක්වත් නොපෙනෙන ලෙස සවිකල හැකි බව, උපුල්වන් දෙවියෝවත් නිලමේට පෙන්වා දෙත්වා!




හුම්...............ගාගෙන වේගයෙන් හුම්මානයට ගියත්, හුම්මානය හුම් කිව්වේ නැත. මූද කඩේ වහලාය. ඒ නිසා, හුම්මානයේ කට නිකම්ම වැහිලාය. දෙවරක් තුන් වරක්, පොඩ්ඩක් හුම් ගෑවා විතරය. ඇහැ රිදෙනතුරු, කැමරාව අටවාගෙන, දැන් එයි වතුර පාරක්, දැන් එයි කියා බලා හිටියත්, ආවේ නෑ ඒයි. ඉතිං මොකුත් නැතුව පල්ලම් බැහීමට සිදුවිය. අපි ගියාම පුවක් ගහෙත් දෙබල් කිව්වලු. 





දීර්ඝ කාලයක් තිස්සේ, යන්නට සිතාසිටි තැනකට යාමේ වාසනාව පැදීම ගැන සතුටු වුයෙමි. ඒ උස්සන්ගොඩ ජාතික උද්‍යානයයි. මෙතනට මගේ සිත වැටුණේ හේම නලින් කරුණාරත්න මහතා, HTV නාලිකාවේදී, මේ ප්‍රදේශය ගැන කළ වැඩසටහනක් දැකීමෙනි.




අනේ අපේ කට්ටිය බයවුනානේ මේ සුන්දර පාලු තැනිතලාවේ ඇවිදින්න. ඒ නිසා යන්තම් පොඩ්ඩක් එහාට මෙහාට ගියා විතරයි.



අපේ බෑණා පොඩ්ඩ නම් ටිකක් ඇවිද්දා.

හෑ.........හදිස්සියෙන් දැක්කා, යම්කිසි පිරිසක්, උද්‍යානයේ සුඛ විහරණය කොරන ආකාරය. නමුත්, මේ උද්‍යානයට, පාපැදියක්වත් ඇතුළු කරන්න තහනම් නේද? අපි නොදන්නා සුඛ විහරණ. මට පට්.......ටාස් ගාලා තේරුණා, මොකෑ වෙන්නේ කියලා. මේ අයගේ අවධානය මා වෙත යොමුවී තිබුණත්, නෑ මේ වෙන පොටෝ ටිකක් ගන්නේ කියන හැඟීම ඔවුන්ට ලැබෙන පරිදි, ඔවුන්ව කැමරාවට අල්ලගත්තා. කලුපාට බයිසිකලයේ, ඉස්සරහ රෝදයට එහාපැත්තෙන් බිම තියන, අපේ මෙන්ඩාගේ බ්‍රෑන්ඩ් එක පෙනෙනවා, පින්තූරය මත ක්ලික් කරලා බැලුවම. මේ අය කාගේ අවසරයක්, බලයක්, වරමක්, බලපුළුවන්කාර කමක් නිසාද මෙහෙම කරන්නේ?




අපි කිරින්දට එනකොට ටිකක් හවස්වෙලා තිබුණා. කිරින්දේ සුන්දරත්වය තරමක් අඩුවී ඇති බවකුයි මා දුටුවේ. මා අවසන් වරට කිරින්දට ගියේ, 1980 දශකයේදී. ඒ කාලයේ එතන නොතිබුණු, මහා විහාර සංකීර්ණයක් දැන් එතන ගොඩ නගලා. ස්වභාව අලංකාරය සහ පරිසරය බරපතළ ලෙස විනාශ කරලා. මේ දේශපාලන ව්‍යාපාරයක් වෙන්න ඇති. ආධාර එකතු කිරීම බොහොම ජයට සිදුවෙනවා. 











සොබාදහම ඇඳි රටා 

ඒ මදිවට ඉතා අප්‍රසන්න දැන්වීම් පුවරුවක් පිහිටුවා තිබෙනවා. කිරින්ද බලන්න ඇවිත්, මුහුදේ ගිලීමෙන් මියගිය අයගේ නාම ලේඛනයක්, බිත්තියක ඇඳ තිබෙනවා. තවත් ලියන්න ඉඩතබා තිබෙනවා. මියගිය අයගේ නම සහ ලිපිනය එලෙස සටහන් කිරීම, බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි මා දකින්නේ. 'මේ බලපල්ලා නිකම් නැහිච්ච එවුන්' කියනවා වගේ තමයි, මා ඒ පුවරුව දැක්කේ. 




කිරින්දට වැඩිපුර එන්නේ, බැතිමතුන් නොව සංචාරකයන් බව, විහාරස්ථාන පාලකයන් දන්නේ නැද්ද? මේ විහාරස්ථානයට හොඳ ආදායමක් තිබෙන නිසා, මේ නාම පුවරුව වෙනුවට, ජීවිතාරක්ෂකයන් එක්කෙනෙකුවත් යොදවන්න පුළුවන්. නැත්නම්, වරින්වර, ශබ්ද විකාශන මගින්, සංචාරකයන්ට අවවාදාත්මක පණිවිඩයක් දෙන්න පුළුවන්. 

කතරගමට එනකොට රෑ වුණා. පාසල් වියේ සිට මා කලණමිතු, සුනිල් සහ රාණි යුවළ, කතරගම පිහිටි ඔවුන්ගේ නිවසේ, අපට නවාතැන් දුන්නා පමණක් නෙවෙයි, අන්නපානාදී සියලු සත්කාර සංග්‍රහ ලබාදී සන්තර්පණය කළා. කතරගම් පින්තූර ලෙස මා ඔබට පෙන්වන්නේ කිරිවෙහෙරේ මේ පින්තූරය පමණයි.




ආපසු ගමනේදී, විදානේට සහ දෙමළ නයන්නාට සමන්වාගෙන එන්නට හිතා හිටියත්, කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඉඩක් ලැබුණේ නැහැ. එමෙන්ම, උඩවලවේ ඇත් අතුරු සෙවනට යාමත්, අවලංගු කරන්නට වුණා. ඒ වෙනුවට, උඩවලවේ ජලාශය අසල රැඳී, වැව් දියෙන් සැනහී, දවල් ආහාරය ගෙන පිටත් වුණා. 






අතරමගදී මග කැමරාව දුටු දසුන් කීපයක් පහත දක්වනවා. 













තවත් සංචාරක සටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 

2016 දෙසැම්බර් මස 21 වැනි දින 1234 පැය 

72 comments :

  1. ඔය තීන්නෙ.
    බලාගෙන යනකොට අපි නොගිය අවුරුදු තුන හතරට නීති වැඩි වෙලානෙ. අපියන කාලෙනං මාතර සීමා මාලකේ ඔච්චර දරුණු තත්වයක් තිබුණෙ නෑ වගේම දෙවුන්දර ලයිට් හවුස් එක ළඟටම යන්න දුන්න.

    මාත් මේ කියනකල් මාතර කොටුව ගැන දැනගෙන උන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එන්න එන්නම නීති වැඩි වෙනවා. කොල්ලෝ කෙල්ලන්ට නිදහසේ කතාකරන්න තැන් නැතිවුනාම, උන් ඒ සඳහා ආගමික සිද්ධස්ථාන තෝරාගන්නවා. සාමාන්‍ය විදිහට කතා කරන්නේ නැතුව, කරේ නැගලා කතාකිරීම නිසා තමයි නීති වැටෙන්නේ. පෙම්වතුන්ට ඉතුරුවෙලා තියෙන්නේ, සැඟවුණු වැසුණු තැන් විතරයි. ඒ වගේම, පෙම් කරනවා කියන්නේ, අතපතගෑම, මිරිකීම, කට කෑම, විතරයි කියලා හිතාගෙන ඉන්න, මෝඩ වාහෙලා නිසා තමයි, මේ වගේ ගැටළු ඇතිවෙන්නේ. තමන්ගේ චර්යාව පාලනය කරගනිමින් පෙම් කරන්න අවශ්‍ය චෛතසික සංවරය, බොහෝ දෙනා තුළ නැහැ.

      හෙහ්, මාතර කොටුව දන්නේ නැත්තං, උඹව දෙන්න වටින්නේ, මාතර ගඟේ ඉන්න කිඹුලිගෙ පැටියට.

      Delete
  2. හොඳ වෙලාවට විචා‍ මෙහෙන් යනකොට රෑ වෙලා තියෙන්නෙ. නැත්තං ඉතිං......... නෑ එක්කො ඕන නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතින්, පස්සේ පොඩි මැහුමක් දෙකක් දාගන්න වෙනවා උඹට. එච්චරයි. හැක්.

      Delete
  3. හොඳ රවුමක්නේ ගිහින් තියෙන්නේ. විචා...හොඳ රවුමක්නේ ගිහින් තියෙන්නේ. විචා...REDOUTE VAN ECK ගැන මේ කිට්ටුව ඉන්න මාතර බෝයියෙක් ගෙන් ඇහුවා. පොර කිව්වා VAN ECK කියලා ලන්දේසි ගවර්නර් කෙනෙක් ලංකාවේ හිටියලු. එයා දන්නේ එහෙමයි. කොලුවා මට මේ ලින්ක් එක දුන්නා.

    අපේ නංගිලා ඉන්නෙත් ඔය අහල පහලමයි.

    ReplyDelete
    Replies
    1. Wiki..
      The entrance gate of the Star Fort, which is faced with coral, is also emblazoned "Redoute Van Eck 1763", commemorating the Dutch Governor of Ceylon, Lubbert Jan baron van Eck (1719 - 1765).

      Delete
    2. @ අරු. බොහොම ස්තුතියි අරු. මම හිතුවේ ඒක මේ නිකම් ආදර්ශ පාඨයක් කියලා.

      @ Kandyan. මා හිතනවා අන්තර්ජාලයෙන් ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා.

      Delete
  4. මාතර ගිය දවසක මාත් ගියා මුහුදු පන්සල බලන්න. බෝඩ් දැක්කම අප්පිරියයි. එක තැනක තියනව 'ජෝඩු වශයෙන් හැසිරීම තහනම්' කියල. එක කොරිඩෝවක ගේ පොරවල් දෙන්නෙක් හිටිය. උන් ගැන නං හෙවිල්ලක් නෑ. විශම ලිංගිකයන්ට තමයි අවුල!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්, නියම කෑල්ල කියන්නේ රාජ්, ඔය බෝඩ් ගහන, බෝඩ් රකින, යන එන කොල්ලෝ කෙල්ලන්ට පොල්ල උරුක්කරන අයියලා හුඟදෙනෙක් දන්නෙත් නෑ, අවබෝධයකුත් නෑ, සමරිසියන් ඇවිත් යනවා නේද කියන එක ගැන.

      හැබැයි දැනගත්තොත් උන් දිහා බලන්නේ, අපායෙන් ආව උන් දිහා බලනවා වගේ. ඒ වුනාට ඔය අයියලාගෙන් බොහෝ දෙනෙක්, ගල්මුරුන්ගා කාපර්ලා උන්ගේ තරුණ කාලෙදි.

      Delete
  5. මම ලංකාවෙන් පිටවුනේ අපි නැවත එනවිට රට බොහෝදුරට බටහිරකරණය වී තිබෙවිය කියන අදහසින්. යුද්ධය ඉවර වුනාට පස්සේ එහෙම වේවිය කියන විශ්වාසයක් මට තිබුනා.

    නමුත් දැන් නම් මට බොහොම පැහැදිලිව පෙනෙන්නේ රට අරාබිකරනය වෙන වග. බෞද්ධ ආගමික සහ සංස්කෘතික ස්ථාන මේ අරාබිකරණයේ පෙරගමන් කරුවෝ බවට පත්වීම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ජරා බෝඩ් ගහන්නේ නැතුව, මිනිසුන්ගේ චර්යාව වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් හදන්න බැරි ඇයි? කොට යුනිෆෝම් සායවල් ඇඳගත්තු පොලිස් නෝනලා එනවා, පන්සල්වලට එන ගෑනුන්ගේ ගවුම කොටයි කියන්න.

      Delete
  6. හොඳ ට්‍රිපක්නේ දාලා තියෙන්නේ විචා.. අපිත් ඊයෙ ඉඳන් ට්‍රිප්....හෙට පාන්දරම යනවා තල්මස්සු බලන්න මිරිස්සේ...

    "ජෝඩු වශයෙන් හැසිරීම තහනම්" කියලා, ඉසුරුමුණියෙත් ගහන්ඩ ඕනා..

    ReplyDelete
    Replies
    1. චඃ, මාරු ගමනක් තමයි ඔය තල්මස්සු බලන්න යාම. මටත් තවම බැරිවුනා. කොහොමහරි යන්න ඕනේ.

      වහාම, සීගිරි ලලනාවන්ට බ්‍රසියර් ඇන්දවිය යුතුයි කියා, මම සීගිරිය උඩට නැගලා උපවාසයක් පටන්ගන්නවා, ලෙමන් පෆ් කකා. අම්මපා.

      Delete
  7. REDOUTE කියන්නේ ඉන්ග්‍රීසියෙන් Redoubt (බලකොටුව) කියන එකට
    https://en.wikipedia.org/wiki/Redoubt පින්තූරෙ බලන්න.

    Lubbert Jan baron van Eck 1700 ගණන්වල ලංකාවෙ හිටිය ඕලන්ද ආණ්ඩුකාරයෙක්.උඩරට ආක්‍රමණත් ඔහු මෙහෙයවූවා. ඔහු ධුරයේ සිටියදීමයි මිය ගියේ. පෘතුගීසින්ගෙන් අල්ලාගත් මාතර කොටුව ලන්දේසි විසින් නැවත දියුණු කර ගොඩ නැගුවේ 1600 ගණන්වල මැද කියලා තමයි සඳහන් වන්නේ. ඒ වැන් එක් ගේ කාලයට පෙර. කොටුව ඔහුගේ නමින් නම් කලේ කුමන කාලයකද/හේතුවකටද කියලා නම් සොයා ගන්න නෑ.

    ReplyDelete
    Replies
    1. මං පස්සෙයි අරුණගේ ලින්ක් එක දැක්කේ එහි තියනවා ස්වදේශිකයින්ගේ කැරැල්ලෙන් (උඩරටිනුත් ආධාර ලැබූ) පසුව ලන්දේසීන් තාරකා කොටුව 1763දී ගොඩ නැගුවා කියා. එය ඉන්ටටරෙස්ටින් නිසා සොයා බැලුවා. මාතර කැරල්ලෙන් පසුව 1763 ප්‍රතිසංස්කරණය කල කොටුව අවසන් කලේ 1767 වෙන්න ඕනෙ. (1767 තමයි කොටුවේ ගහල තියන අවුරුද්ද). වැන් එක් ධුරයේ සිටිද්දී මැරුණේ 1765 දී. එතකොට ඔහුගේ කාලයේ පටන්ගත්ත වැඩේ ඉවරවුනේ මරණයට පසුව. එනිසා නම දාන්න ඇති.
      (මෑන් වර්ථමාන ලාංකික දේශපාලකයෙක් වුනානම් "ලූබට් වැන් එක් අනුස්මරණ මහා ජාත්‍යන්තර ආරක්ෂක තාරකා බලකොටුව" කියලා දාන්න තිබුනා)

      අනිත් ඵලකයේ ඇති දේ සොය බලා ලියන්නම් පුලුවන්නම්. කෙසේවෙතත් පෘතුගීසි හා ලන්දේසි පාලන කාලවල කෝට්ටේ සිංහල රාජධානියේ තිබූ ලෙසම දිසාවවරුන් පත් කලා. සමහර දිසාවෙලා පෘතුගීසි/ලන්දේසි ජාතිකයින්. ඕකෙ දිසාවෙ සඳහන් වෙලා තියනවා.

      මං ආසම දෙයක්වන හිස්ටොරිකල් රිසර්ච්වලට අවස්ථාවක් දුන්නට ස්තුතියි :-D

      Delete
    2. " Van Het (of the)" " Landen (land/country/contries)", "Dissave" කෑලි සහ අවුරුද්ද තියනවා.
      දැන් වෙලා නෑ. පස්සෙ බලමු. :-)

      Delete
    3. ප්‍රා....ඒ ලින්ක් එක ඕලන්ද තානාපති කාර්යාලයේ පිටුවක් නිසා තොරතුරු විශ්වාසනීය යැයි කියලා හිතෙනවා. අනිත් වැදගත් දේ තමයි 1763 අවසන් කෙරු මේ ස්ථානය එක්දාස් නවසිය අසූ ගනන් වලදි අලුත්වැඩියා කරන්නෙත් බැලස්ට් නීඩම් කියන ඕලන්ද සමාගමක්ම වීම. ඕලන්දයින් ගොඩනැගූ අවසන් බලකොටුවත් එය බව එහි කියවෙනවා නේද? ඒ ලින්ක් එක කියවන්න වටිනවා.

      Delete
    4. අපේ පරම්පරාවේ මුත්තලා කඩවත ආවේ ලන්දේසි හටනකින් පස්සේ බවයි කියවෙන්නේ. කටුවන ලන්දේසි බලකොටුවක් තිබුණා ද?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. @අරුණ,
      මං ගෙදර ගිහින් පී. ඊ පීරිස් සහ ආර් ජී ඇන්තනීස්ගේ පොත් බැලුවා. ඇත්තෙන්ම ඉන්ටර්නෙට් සර්ච්වලින් ඉක්මනට හා පුලුල් පරාසයක තොරතුරු දැන ගැනීමට පුලුවන් වුනාට නැරෝ ඩීටේල්ඩ් විදිහට හරියට බලාගන්න පොත් තමයි. ( එහෙම නැත්නම් මං ඕල්ඩ් ෆැෂන්ඩ් වෙන්න ඇති. පොත් වලින් සර්ච් කරලා මොනවහරි හොයාගන්න ත්‍රිල්ල් එක මට ගූගල්වලින් ලැබෙන්නේ නෑ)
      කොටුව මුලින් පෘතුගීසි, ලන්දේසින් අල්ලගෙන් වැඩි දියුණු කලා, මාතර කැරැල්ලෙන් පසුව තාරකා බලකොටුව විදිහට හැදුවා මං හිතන්නෙ. ඒ ප්‍රොජෙක්ට් එක 1763 පටන්ගෙන 1767 ඉවරකරන්න ඇති. වැන් එක් 1765 දී මිය ගියා. ඔහුගේ අසාර්ථක උඩරට ආක්‍රමණයෙන් පසුව ඩිප්‍රෙස් වෙලා හිටිය ඔහු සිය දිවි හානි කර ගත්තා කියලා සමහරු කිව්වලු.

      @ Wicharaka, හරියටම කියව ගන්න පුලුවන් කෙනෙක් හමුවීමට යාම හෝ ඕක ගැන රෙකෝර්ඩ් තියන තැනකට යාමට කල් යනවා
      But, according to R.G. Anthonisz
      Oppperkoopman = Highest grade commercial officer of the Company (VOC)
      Dessave = Government Agent for rural districts.
      ඵලකයේ මැද "of the" "provided" වගේ තියනවා.
      වර්ෂය MDCCLXV = 1776.

      @ Rasikalogist,
      ඔව් තිබුනා. කටුවන ලන්දේසි බලකොටුවේ නටඹුන් තිබෙනවා.
      දළ විස්තරයක් https://en.wikipedia.org/wiki/Katuwana_fort
      ගූගල් කර images බලන්න
      රට ඇතුලට වෙන්න ලන්දේසි ප්‍රදේශ සීමාව මායිම් වුනේ සීතාවක, අඟුරුවාතොට හා කටුවන බලකොටුවලින්. මාතර කැරැල්ලේදී කටුවන කොටුව පහතරට කැරලිකරුවන්+උඩරට හමුදාව අල්ලා ගත්තා. ඉන් පසුව එහි රිලීෆ් සඳහා ගිය ඕලන්ද සේනාංකයටත් යටත් වෙන්න වුනා.ඔවුන්ට මාතරත් අත්හැර දැමීමට වුනා. ඉන්දියාවෙන් ආ reinforcements සමග ඔවුන් ප්‍රති ප්‍රහාර දෙමින් උඩරට රජුගේ ප්‍රදේශ ආක්‍රමණය කිරීමට තැත් කලත් එය සාර්ථක වුනේ නෑ. ඒ අස්සේ බ්‍රිතාන්‍යයන් හා උඩරට රජු සාකච්චා කරන්නත් පටන් ගත්තා. සාර්ථක වුනේ නෑ. පසුව වැන් එක් කුන්ඩසාලෙ ආක්‍රමණය කරලා පසු බැස්සා.
      රසිකට ප්‍රයෝජනවත් වෙයි Ceylon and the Hollanders by P.E. Pieris. (a small book with a concise, but complete, history of the times)
      හුඟක් දුරට රසිකගේ මුතුන් මිත්තන් එහෙන් ආවෙ 1761 වෙන්න ඕනෙ. (කටුවන සටන 1761 ජනවාරි/පෙබරවාරි. ලන්දේසි මාතර තාවකාලිකව මාතර අත්හැරියේ 24/03/1761.) කලබල අවුරුදු කීපයක් තිබිලා තියන නිසා ( ඩි කොස්ටෙ හා රජු සාම ගිවිසුමක් අත්සන් කලේ 1766. එයින් යුද්ධයට පෙර තිබුනු සීමා යලි පිලිගත්තා.) '61ට පස්සෙ වෙන්නත් පුලුවන්

      Delete
    7. ප්‍රා........මේ වැඩේට කැමැති කෙනෙක් නිසා පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඇතුලට ගිහිල්ලා බලන්න. තොරතුරු වගයක් තියෙනවා.

      මේ තියෙන ලින්ක් එකෙන් ඇතුලට ගිහිල්ලා බලන්න.

      Delete
    8. මා ඉතාම සතුටුවෙනවා ඓතිහාසික කරුණු සම්බන්ධ සංවාදයකට මග පාදන්නට හැකිවීම පිළිබඳව. මෙවැනි කරුණු වලදී, හුදෙක් අන්තර්ජාලයම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. පුස්තකාල විමර්ශනයක් කරන්න වෙනවා. එය පැරණි සාම්ප්‍රදායික ක්‍රමයක් කියා මා හිතන්නේ නැහැ. අන්තර්ජාලය තුල සියල්ල අඩංගු නැහැ. අදටත් විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ කටයුතු වලදීත්, පුස්තකාල පරිහරණය සිදුවෙනවා.

      අරුටත්, ප්‍රාජේටත්, රසිකටත්, බොහොම ස්තුතියි.

      Delete
  8. පිරිත් පැන් ටිකකින් සප්පායම් වෙන්න පබ් සප්තපාදී වන්දනාවෙ නොගියෙ ඇයි....?

    ReplyDelete
    Replies
    1. 25000 ත් සප්තපාදී එකෙන් දෙනවැයි.

      Delete
    2. @ චෙෆාකි. හයියෝ දෙයියනේ................ ඒ දේවාලේ එහෙමපිටින් අමතකවුණා නේ. චඃ, යන්න කලින්, ඔය මග දිග තියන අපේ අපේ කට්ටියගේ දේවාල ලැයිස්තුවක් හදාගන්නයි තිබුණේ.

      @ ප්‍රසන්න. එව්වා කොහෙද? ලාළාමිලාට පොඩි ගෙම්බර් එකක් දාලා මාරුවෙනවා.

      Delete
  9. මේ විදියට හැම පංසලක්,පල්ලියක් ගානෙම සංවරව හැසිරෙන්න කියලා බෝඩ් ගහන්න ගත්තොත් නියමෙට තියේවි."සදාචරය" නීති මගින් පාලනය කරන්න ගියොත් අන්තිමට නොදැනුවත්වම රට අන්තවාදී අගාධයකට ගිහින් තියේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ පොලිසියෙන් තමයි පන්සලේ බෝඩ් ගහලා තියෙන්නේ

      Delete
    2. @ මනෝජ්, මිනිස්සුන්ගේ හැදිච්චකම රඳාපවතින්නේ කාලීනව පොදු සමාජයේ තියන හැදිච්චකම අනුවයි. මෙච්චර බණ කියන බණ අහන රටක, මෙහෙම බෝඩ් ගහන්න වෙන්නේ අයි කියලා, මහානායක හාමුදුරුවරුන් හිතලා බැලුවානම් හොඳයි.

      @ රසික. පන්සල් වල බෝඩ් ගැසීම සඳහා, 'විශේෂ බෞද්ධ පොලිස් අංශයක්' හදයිද දන්නේ නෑ වැඩිකල් නොගිහින්.

      Delete
  10. වෙහෙරහේනේ නම් කෙරෙන්නේ අමු ගසාගෑම. අර උමගෙන් එළියට එන තැන වැඩ ඉන්න කහ සිවුරුකාර ගණින්නාසේ බොරුවට බණ ටිකක් කියලා පඩුරු කියලා රුපියල් පනහෙන් ඉහළ සල්ලි දාන්න කියලා දේසනා කළා.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, උන්නාන්සේගේ පින්තූරයක් ගත්තා නොදැනෙන්න. බෞද්ධයෙක් හැටියට මටම ලැජ්ජයි, ඒක මේ ලිපියට දාන්න.

      මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ, පිරිසිදු නිර්මල බුදුදහමේ ඉගැන්වෙන ත්‍රිලක්‍ෂණයයි.

      Delete
  11. මට සංවරව හැසිරෙන්න බැරි නිසා මම පන්සල්වලට යන්න වැඩි කැමත්තක් නෑ...

    තංගල්ලේ තියෙන වැඳිය යුතුම තැන මිස් වෙලා..

    හවුස් ඔප් කාල්ටන්.. සමහර වෙලාවට දෙයියත් වැඩ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, උඹ පන්සලකට ගියොත් කී දෙනෙකුගේ හොම්බට අනියිද දන්නේ නෑ. අපිත් හිතෙන එහෙම කරන වෙලාවල් තියනවා.

      තංගල්ලේදී මම දැක්කා, තවමත් ඒ දෙයියා, අර පරණ කටවුට් මේනියාවෙන් පෙලෙන බව. තැන් තැන් වල තිබුණු, දෙයියගේ කටවුට් දැකලා මම හිතුවේ, අනේ මේ දෙයියා තවමත් ඉන්නේ, පරණ රජ පිස්සුවේම නේද කියලා.

      Delete
  12. අපේ ගමටත් ඇවිල්ලා ගිහින්.බලකොටුවට ඉංග්‍රීසියෙන් කියන්නේ Redoute.තාරකා කොටුව හදපු දවස්වල ඉඳපු ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නම තමයි VAN ECK.එනබව කිව්වා නම් දෙවුන්දර ප්‍රදීපාගරය ඇතුලට එක්කගෙන යන්න තිබ්බා.ඒ විතරක් නෙවෙයි කිතුල් රා සූට්ටක් මද පමණට අනුමත වෙන්නත් චාන්ස් එකක් තිබ්බා.
    සබන් යකාගේ බඩ ගෙඩිය අඩු කරගත්ත නම් හොඳයි :D

    ReplyDelete
    Replies
    1. බලකොටුව...ඉංග්‍රීසි....redoubt
      ප්‍රංශ.. redoute

      Delete
    2. redoubt = ප්‍රතිසැකය ?! :D

      Delete
    3. සෙන්නා, හෙහ්.. ඉන්ග්‍රීසියෙන් redoubt වුනාට ප්‍රංශ, ජර්මන්, ඩච් සහ අනෙකුත් යුරෝපීය redoute / reduta.
      From Latin Reductus (refuge)
      Any more doubts ? :-D

      Delete
    4. two more doubts, what is the difference between redoubt and castle ?

      "Seegiriya" is fallen under which category ?

      Delete
    5. Redoubts usually were part of larger fortifications. Sometimes built outside a fort. Actually, the Sinhala "balakotuwa" may not be an entirely correct translation because recounts were a sort of supplementary or smaller defensive works.
      Castles were more of residential places of royalty and nobility than pure defensive places. In some fortified

      Delete
    6. Most castles were fortified in the past. But some surviving ones now are not. Inside the castle there was the keep which is a kind of a defensive fort or tower.

      Sigiriya is a rock fortress. A palace and other buildings surrounded by fortifications

      Delete
    7. Redoubts usually were part of larger fortifications. Sometimes built outside a fort. Actually, the Sinhala "balakotuwa" may not be an entirely correct translation because recounts were a sort of supplementary or smaller defensive works.
      Castles were more of residential places of royalty and nobility than pure defensive places. In some fortified

      Delete
    8. @ පමල් සඳරුවන් චඃ චඃ චඃ, මේ කොමෙන්ට් එක කියවලා පපුව කඩාගෙන ගියා අනේ. මගේ නරක ග්‍රහචාරේ නිසා තමයි ඔබතුමා වගේ සත්පුරුශයෙන් මුණගැහෙන්න වාසනාව නැතිවුනේ. සබන් යකාගේ බඩ අඩුකිරීමේ ව්‍යාපෘතියක් පටන් අරන් තියෙන්නේ.

      @ Aru, Pra Jay, & Senna. Thank you so much about your contribution to develop this post more meaningful and useful too.

      Delete
  13. විචාරකතුමා මට නම් ආරංචි උනෙ ඔබතුමා එනබව ආරංචි වෙලා ඔය අලුත් නීති දැම්ම කියල....

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්, මගේ පරණ තරහකාරයෝ එහෙම කොලාද දන්නේ නෑ.

      Delete
  14. දෙතුන් සැරයක් මාතර නෑ ගෙවල්වල් ගොස් නතර වී ඉඳලා තිබුණත් ලන්දේසි කොටුව ගැන දැනුයි දන්නේ. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. https://archive.org/stream/ceylonhollanders00pieruoft/ceylonhollanders00pieruoft_djvu.txt

      Delete
    2. මාතර ඇවිදින්න යන බොහෝ දෙනෙක් මේ කොටුවට අවධානය දෙන්නේ නැහැ කියලයි මටත් හිතෙන්නේ. ඒ වගේම මම දැක්කේ, 'ඕනෙනම් බලලා පලයන්' කියන ආකාරයෙන්, මෙතන පවත්වාගෙන යනවා වගේ. මෙය නගරය මැදම තියන නිසා, හොඳ සංචාරක ආකර්ෂණයක් ඇතිකරන්න පුළුවන්.

      Delete
  15. //පොලොව යට පිහිටි කොටසේ සිටි පිරිසක්, ඒ කොටසින් පිටවී යාමෙන්, ආධාර ලබාගැනීම මගහැරෙතැයි සිතා, එක් ස්වාමීන් වහන්සේ නමක්, වැඩ්ඩ වැඩිල්ලේ වේගය දැක, මට සිනහව නවතාගත නොහැකි විය.//
    වෙහෙරහේනේදී ඔය අත්දැකීම අපිටත් ලැබුණා. අපි පිටරටකින් එන්න ඇති කියලා ගෙස් කරලා ළමයින්ගෙන් වචනෙ ගන්න සෑහෙන ට්‍රයි එකක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. හනේ මන්දා සිවුර ඇඳගෙන දේවදත්ත ආගමේ විදිහට වැඩ කරනවද කියලා.

      Delete
  16. මාස කිහිපයකට උඩදි තිබ්බ මාතර පල්ලියෙ මංගල්ලෙට නන් මාතර ගියා... එහෙදි මේ සේරමත් බැලුවා... නීති නන් වැඩියි තමා...

    ReplyDelete
    Replies
    1. නීති නෙවෙයි තියෙන්නේ ඕනේ, ආගමික ස්ථානයක හැසිරෙන ආකාරය ගැන, මහජනතාවගේ අවබෝධය වර්ධනය කිරීමයි.

      Delete
  17. ඩයලොග් පාවිච්චි කරන යාලුවන්ට ... ඔයාලගේ එකතුවන ස්ටාර් පොයින්ට්ස් මේ දෙසැම්බර් 31න් අවලංගු වෙනවා.. ගොඩක් අය පාවිච්චි කරන්නැති නිසා නිකරුනේ වැය වෙන මේ ස්ටාර් පොයින් හරහා ඔයාලට පුලුවන් අලුතෙන් හදන "Little heart" ලමා හදවත් රෝගී අංශයේ ගිනුමට බැර කරන්න..
    කැමති අය #141*6# ඩයල් කරලා පසුව එන මෙනුවෙන් 4 little heart තෝරාගෙන මේ පිංකමට දායක වෙන්න.
    හැකි තාක් ශෙයා කර සහයෝගීතාවය දක්වන්න.

    ReplyDelete
    Replies
    1. ඩයලොග් සැටලයිට් ටීවී වලටත් තියනවද දිලීප?

      Delete
  18. ෆොටෝ ටිකයි විස්තරයි කොමෙන්ට් ටිකයි ඔක්කොම නියමෙටම නියමයි.ආගමික ස්ථාන අස්සෙ බයෙන් බයෙන් කොල්ලො කෙල්ලො රිංගන්නෙ ඇයි?
    නිදහස් උද්‍යාන රටකට තියෙන්නම ඕන දේවල්.තාරුණ්‍යය සඳහා කෝ ඉඩක්?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්ස්. මම කියන්නේ මේකයි. බුද්ධිමත් පෙම්වතුන්ට පුළුවන්, මේ ඕනෙම ස්ථානයකට ගිහින් සංවරව හැසිරෙමින්, ආගමික වතාවත් කරන්න. තමන්ගේ චර්යාව පාලනය කරගතයුත්තේ තමන්මයි.

      වර්තමාන පෙම්වතුන් සැලකියයුතු පිරිසක් දන්නේ නැහැ අවස්ථාවට සහ ස්ථානයට අදාලව හැසිරෙන්න. ඒ වගේමයි එයට ප්‍රතිකර්මය වියයුත්තේ මෙලෙස දැන්වීම් දමා පාලනය කිරීම නෙවෙයි. ධර්මාවබෝධය ලබාදීමයි.

      Delete
  19. විචාරකතුමා සවාරියක් ගිහින් වගේ.. සෑහෙන කාලෙකින් ගොඩ උනේ මේ පලාතට..
    දකුණු පළාත කියන්නේ මමත් ගිහින්ම නැති පලාතක්. වෙලාවක යන්න ඕනේ. අර බෝතල් පප්පලගේ ෆොටෝ එක ෆේස්බුක් එකෙත් දැම්ම නම් හොඳයි. මුන්ට ඉතිං කියන්න වචන නම් එනවා කටට..
    දැන් අලුත්ම බිස්නස් එක ආගම විකිණීම නේ. ඒ ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකින් විතර තමා අපිත් සංචාරයක් ගියේ.

      මමත් දකුණු පළාතේ ඇවිදලා තියෙන්නේ බොහොම සීමාසහිතව.

      අරවගේ පප්පලා ෆේස්බුක් එකේ නෙවෙයි මේ පින්තූරේ දාලා ඒ පැත්තේ පෝස්ටර් එකක් ගැහුවත් හැදෙන ජාතියේ අය නෙවෙයි.

      Delete
  20. වස විලි ලැජ්ජයි.. මාතර හරහා කෙල කෝටි වතාවක් විතර ගිහින් තිබ්බත් ඔය පරෙවි දූපත මක්කද එකටවත් කොටුවටවත් තාම ගිහින් නෑ නොවැ. ඒ තියා පඩුරු දාන්න නැවත්තුවට එකම දවසක්වත් මාතර බෝධි මළුවට ගොඩ වෙලත් නෑ.. වෙහෙරහේන ට ගිහිල්ලත් නෑ.. අනිත් තැන් නම් ඔක්කොටම ගිහින් තියෙනවා.. ඔය ලයිට් හවුසියේ උද ඉඳන් ගහපු ෆොටෝ එහෙකුත් තිබ්බ ඒ කාලේ දැන් කොහෙද දන්නෙත් නෑ.. ලයිට් හවුසිය තියෙන ඉඩමට අල්ලපු ඉඩම අයිති අපේ මස්සිනාගේ මාමණ්ඩියට.. සෙටාමන්ට් එහෙකට එහෙම කියාපු තැන.. ගාල්ල පැත්තේ එහෙම රවුන් ගහනවානම් මේ අපිටත් කියන්ඩ හොඳේ..

    ReplyDelete
    Replies
    1. හයියෝ.........අර මස්සිනාගේ මාමණ්ඩිව දන්නවානම් ඇඩ්වාන්ස් පාටියක් අරන් එන්න තිබුණා.

      මමත් ඔයා වගේ තමයි. තවමත් කුරුණෑගල ඇතුගල මුදුනට ගිහින් තියෙන්නේ එකපාරයි.

      Delete
    2. විලි ලැජ්ජයි.... බොලේ හැරමිට්ටෙන් ඇන ඇන හරි අපිත් ඊයෙ පෙරේදත් ගියා.. මේ දැන් කාලෙ කොල්ලො(?) කන්දක් නැගගන්න තියන කම්මැලිකම බලහල්ලකො...

      Delete
    3. හැක්.. ඇතුගල උඩට මං ගිහිල්ලම නෑ..

      Delete
  21. මරු ඔය දවස් දෙකේ ඔය පැත්තෙම ට්‍රිපක් ගියා හැබැයි රූට් එක පොඩ්ඩක් වෙනස්

    ReplyDelete
    Replies
    1. සමහරවිට අතුරු පාරකදිවත් අපි දෙන්නා දෙපැත්තට මාරුවෙන්න ඇති.

      Delete
  22. වෙහෙරහේන ගැන ඔබේ අදහසට උඩින්ම එකඟයි.
    වැවේ හිටියේ නැබුලු යකෙක් නේද?
    විචා මාමාගේ ඡායාරූප ශිල්පයේ හැකියාවත්, කලාත්මක ඇහැත් ඉහළින්ම අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එන්න එන්නම පන්සල් ගැරිල්ල වැඩිවෙනවා කියලයි මට හිතෙන්නේ.

      හෙහ් හෙහ්, නැබුළු යකා දැකලා තව පොඩ්ඩෙන් නාන්න ආව අයත් බයවෙනවා.

      බොහොම ස්තුතියි දිල්ශාන් ඡායාරූප ඇගයීම පිළිබඳව.

      Delete
  23. අම්මට උඩු සබන් යකා 🙈.. ලබන පාර මාතර එනකොට අපේ ගෙවල් පැත්තෙත් එන්න හොඳේ. පරණ තංගල්ල පාරේ ඩිපෝ එක එහා පැත්තෙ ගෙදර තියෙන්නෙ.

    පොල්ලක් අතින් අරං කෙලින්න යන පොලිස්කාරයෙක්..?? ඕකුන්ට පොල්ලත් හොඳ වැඩියි..

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔහෙලට හොඳේ විචා මාමි..

    ReplyDelete
    Replies
    1. චඃ, කලින් දන්නවනම් නොවරදවාම එනවා. ඊළඟ සැරේ බලමු.

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  24. සෑර් හමුදා තොරතුරු ගන්න පුළුවන්..සර්ගෙ වගේ තවත් blog ටිකක්..,දනිනම් url ටික දෙනවද ......

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ඔය වෙහෙරහේනෙ තියෙන තට්ටු බිල්ඩිම නැගල උඩ ඉඳං කාසි අතාරිනවා බුදු පිලිමෙ අල්ල උඩට.

    අර යකා නං මරු.

    ඔය කිරින්දෙ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර එනකොට ගෙදරක ප්‍රයිඩ් රයිස් විකුන්නොව හරීම රහයි.

    ඔය එන අතරමග "ගුවන්තොටුපොලට අච්චරයි"
    "ඒ තොටුපොලටම මෙච්චරයි"
    කියලා කැලේ දිහාට ඊතල ගහපු බෝට් කෑලි දැක්කෙ නැත?

    සීනි පොල්කොහු, හීංදෑරි මාළු, එහෙම හම්බුඋනේ නැත?

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }