හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ඓතිහාසික කතා. Show all posts
Showing posts with label ඓතිහාසික කතා. Show all posts

09 December 2016

වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ

ඔය ඇත්තන්ට මතකද මම ටික දොහකට උඩදී කතාවක් හෙවත් කටන්තරයක් ලිව්වා, වඩු කිරිල්ලියෙක් ගැන. අපේ ඉකොනොමැට්ටා තුමා, ඒ කතාව කියවලා මතයක් ප්‍රකාශ කළා, එය වඩු කිරිල්ලී වෙන්න බැහැ, වටු කිරිල්ලී වියයුතුයි කියලා. 

හරිනේ වැඩේ. බලනකොට වටු කිරිල්ලී නේන්නම්. ඊයේ පෙරේදා මගේ අසල්වැසියකුගේ නිවසේ ඉඳලා, මේ වටු කිරිල්ලිව මට අහම්බෙන් මුණගැහුණේ නැතෑ. ඕකනේ කියන්නේ, අර අහවල් එකට අහවල් එකක්, අහවල් දිහාවේදී හමුවෙනවා කියලා. මේ ඉන්නේ වටු කිරිල්ලී.



මේක ලස්සන ජනකතා එකතුවක්. ඒ.පී.ගුණරත්න මහතා ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැනේ. එතුමාගේ පරිවර්තන කෘති කියවා නැත්නම් වැඩක් නෑ හරිය? 

මේ පොතේ කථා 40 ක් තියනවා. මේ නිවාඩු කාලේ කියවන්න කියලා, පාසල් දරුවන්ට මේ පොත අරං දුන්නොත් නාකද? නිකං කාටුන් බල බලා, පෝන් ගේම් ගගහා ඉන්න වෙලාවේ, මොළයට යමක් දාගැනීම සඳහා. අනික විෂයය බාහිර කියවීම් අතින් අපේ දරුවන් බොහොම දුර්වලයි. 

ඔන්න මේ පොතේ තියන කතාවක් පහළින් දානවා. අනේ මේ, මට තේරෙන්නේ, මේක කතාවක් කියලා විතරයි. ඔය ඉකොනොමැට්ටා තුමා, රාජ් ගොයියා, අර නාහෙට නාහන මාතලන් ගොයියා, අපේ ඉයන් උන්නැහේ, මේ කතාව කියවලා මොන මොන අර්ථකථන දෙයිද මන්දා. මම මේ කතාව දාන්නේ පාසල් නිවාඩුව ගතකරන ළමයින්ට කියවන්නයි. මක්කිව්වා? ඔව් ඉතින් දියවන්නා පාසලේ දරුවන්ටත් ගැලපෙනවා මේ කතාව. 




හ්ම්.............මටත් කැකිරිහේනක් තිබුණානම්................

2016 දෙසැම්බර් මස 09 වැනි දින 2330 පැය 

05 December 2016

කස්ත්‍රෝට පෙර කියුබාව සහ කස්ත්‍රෝට කැමති ඇමරිකාව

   කස්ත්‍රෝට පෙර කියුබාව කිව්වම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, කස්ත්‍රෝට කැමති ඇමරිකාව කිව්වම නම්, එතන මොකොක්දෝ පොඩි පටලැවිල්ලක් තියනවා වගේ නේද? හොඳයි කමක් නැහැ, අද වැඩිය ලියන්නේ නැහැ. කෙටි වාක්‍ය සමග, පින්තූර ගොඩක් පෙන්නන්නයි හදන්නේ. 

   පසුගිය දිනවල අභාවප්‍රාප්ත වූ, කියුබාවේ අසහාය නායක, ෆිදෙල් කස්ත්‍රෝ සම්බන්ධව, සිංහල බ්ලොග් ලිපි සෑහෙන ගණනක් ලියවුණා. ඒ ලිපිවලින්, අද පරපුරත්, කස්ත්‍රෝ ගැන බොහෝ තොරතුරු දැනගන්නට ඇති. කස්ත්‍රෝ විසින්, ඒකාධිපති, අධිරාජ්‍යවාදී ගැති, බැතිස්තා ගේ පාලනය, ජනතාවාදී විප්ලවයකින් පෙරලා දැමීමට පෙර, කියුබාව පැවතුනේ, තවත් ඇමරිකානු ප්‍රාන්තයක් ලෙසයි. ඒ තරමටම කියුබානු ජනජීවිතය ඇමරිකාවේ අදිසි හස්තයේ ග්‍රහණයට හසුව තිබුණා. කියුබන් විප්ලවය මෙතරම් සුවිශේෂී වන්නේ දරුණු පාලනයකට එරෙහිව කළ මහා විප්ලවයක් නිසයි. 

   පහත දැක්වෙන පින්තූර, 1920 දශකයේ සිට, 1950 දශකයේ අග භාගය දක්වා වූ කාලය තුළ ලබාගත් ඒවා. එම පින්තූර වලින් පැහැදිළිවනවා, විප්ලවයට පෙර කියුබානු සමාජයේ ධනපති පන්තිය, කොතරම් සුඛෝපභෝගී ජීවිත ගතකළාද යන්න. 

මේ තමයි, විප්ලවයට පෙර සිටි රාජ්‍ය නායකයා. ෆල්ගෙන්සියෝ බැටිස්ටා.




ඒ කාලයේ කියුබාව ඇමරිකා එක්සත් ජනපදයේ, තවත් එක් ප්‍රාන්තයක් වගේ තිබුණේ. 'පස්කම් සැප' විඳින්නට, මේ මිහිමත තිබුණු හොඳම ස්ථානයක් ලෙසයි, කියුබාව සැලකුණේ. 


වර්ෂය 1946:- එවකට කියුබාවේ සිටි ප්‍රකට නිරූපිකාවක සහ ගායිකාවක වූ, ඇලීන් ජොන්සන් ඩි මෙනොකල්  තම පෞද්ගලික කාර්‍ය මණ්ඩලය සමග සාදයක් සඳහා කටයුතු සූදානම් කරන ආකාරය.


ඇලීන් ජොන්සන්ගේ තවත් ඡායාරූප කීපයක්;




කියුබාවේ රාත්‍රී සමාජශාලා ජීවිතය 1937 - 1946 අතර කාලය.














එවකට කියුබාවේ පාලක බැටිස්ටා ගේ මාලිගය.



කියුබානු සමාජයේ සීමිත පිරිසක් මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර, සාමාන්‍ය කියුබානු සමාජය තිබුණේ කෙබඳු තත්ත්වයකද යන්න පහත දැක්වෙන ඡායාරූපයෙන් පිළිබිඹු වෙනවා. 

මෙහි දැක්වෙන්නේ, විශාල උක් වගාවන්හි, උක්ගස් කපන්නකු ලෙස ජීවිකාව ගෙනයන පුද්ගලයකුගේ නිවස සහ පවුලේ සාමාජිකයන්ගේ ස්වරූපයයි.


තරුණ කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකානුවන් අතර ජනප්‍රිය වූ බව තහවුරුවන ඡායාරූප පෙළක්, මීළඟට ඉදිරිපත් කරන්නේ.

1959 වර්ෂයේදී මහා කියුබානු විප්ලවය ජයග්‍රාහීව නිමකළ, එවකට 33 වියැති තරුණ නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියේ, නිව්යෝක් නගරයේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයෙන් ලද ඇරයුමක් අනුවයි. මෙම සංචාරයේදී පවත්වන ලද කථා වලදී සහ ප්‍රවෘත්ති සාකච්ඡා වලදී, තම දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය යම් තරමකට සීමා කරගැනීමට කස්ත්‍රෝ පියවර ගෙන තිබුණු බවත්, වාර්තා වෙනවා. 


උම්මා........එකක් ඇද්ද?


කාගෙත් දරුවෝ......

සාදයකට ඇරයුමක්. කොහොමද ඇරයුම්පතේ ප්‍රමාණය? 


කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සභාපතිනිය සමග සාදයක.

ජනතාවට ආචාර කරමින්.......






කස්ත්‍රෝ 'අලින්ට' කැමතිද? 





පේනවද වැඩේ. කස්ත්‍රෝත් කොටි බලන්න ගිහින්. ඒ මදිවට කොටින්ව හුරතල් කරලා. අපිනම් හිතුවේ නැහැ ඔහොම කරයි කියලා. 




නිව්යෝක් සතුන් වත්තේ, පුංචි කෝච්චි සවාරියක්.

කාලා බලමුකො ඇමරිකන් අයිස්ක්‍රීම්.........


හෑ.....ඒ මදිවට 'උණු බල්ලෙකුත්' කාලා.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී.


ඇමරිකාවේ වෙසෙන කියුබානුවන්ගෙන් කස්ත්‍රෝට විරෝධතා එල්ලවීම.


හවානා සුරුට්ටු දුම් වලාවක් තුළ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්......


පින්තූර සහ තොරතුරු උපුටා ගැනීම;

http://monovisions.com/high-life-in-havana-cuba/

http://mashable.com/2014/12/24/havana-before-castro-revolution/?utm_cid=lf-toc#EKFlfZ8kEkq8

2016 දෙසැම්බර් මස 05 වැනි දින 0751 පැය

25 July 2016

ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස)

   අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු. 

   මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි. 

   එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය  නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


පුහුණු කටයුතු 

   බ්‍රිතාන්‍ය හමුදාව යටතේ  පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 

  පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings  යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි. 

   මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 


මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, 'උරේ අවි' නමැති ඉරියව්වෙන්. 
අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.











අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින් 
පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.


පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.



ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා. 
මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි. 



බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි. 
මේ ඉගෙනගන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.


රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව. 
පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.


දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ  


මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්  


මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව  


මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු. 


කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ  




සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව. 
එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ, 
සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.   
මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ 
CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.




තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.  


ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා. 
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම. 


බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,
සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම. 


ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා, 
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.


සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්. 


කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ.
හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.  


මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ්  - Heliograph කියලා.
මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා, 
මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්. 


ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා.
මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.


සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන,  
HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන, 
ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි 


ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ.
අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්. 


'අම්මෝ....පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ' කියමින්, 
බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව  




අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා, 
පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, 'තල්ලු ස්ටාර්ට්' එකක්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට, 
මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව, 
මූලාශ්‍රයේ සඳහන් වෙනවා.
ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.





සුබසාධනය 

එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ 
එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ 
ලංකාවේ ආණ්ඩුකාරයා වූ 
ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ 
එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ 
සභාපතිනිය ලෙස සේවය කළා. 
මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව.


බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි
බ්‍රිතාන්‍ය සාමාජිකාවන් මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.


පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර 


පොල් අතු නිවස්නය වුනත්,  පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.


ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ 


විවේකාගාරය 


අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්. 
මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි 
මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


අධීක්‍ෂණය 
අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර 
මේ කාලයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය 
ක්‍රියාත්මකව පැවතුණා.
පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ,
එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ 
ඩී.එස්.සේනානායක, 
ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය 
කර්නල් ජේ.එල්.කොතලාවල,
ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය 
HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට 
එක්වූ අවස්වථාක්.





ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා 
පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ 
එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි 
ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත 
1944 වසරේදී MBE (Military) සම්මානය බ්‍රිතාන්‍යයේ 
හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී.
නිල ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.


යාත්‍රා තොරතුරු 



HMS OKAPI මුර යාත්‍රාව ලාංකික නැවියන් සමග 
කොළඹ අවට මුහුදේ මුර සංචාරයක 



බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව 
යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක 
1944 වර්ෂය 


ලංකාවේ සේවා කාලය නිමාකොට 
ත්‍රිකුණාමල වරායෙන් 
ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන 
HMS NEWFOUNDLAND යුද නැව 


මෙන්න ඉන්නවා ඇම්ඩා
මේ තමයි, ජර්මානු නාවික හමුදාවට අයත් 
 KMS EMDEN නෞකාව
1939 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.

ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න 



   මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.

මූලාශ්‍රය:- http://www.iwm.org.uk/

2016 ජූලි මස 20 වැනි දින 2257 පැය     
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }