හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label පුංචි කතන්දර. Show all posts
Showing posts with label පුංචි කතන්දර. Show all posts

17 February 2015

හා.............. එන්ඩේ............... එන්ඩේ................. පාටි කතා, පාටි කතා ........

Drunkard's Empty Mug
 බුදු අප්පොච්චියේ............... පහුගිය ඉරිදා තමයි ඉරිදා. (15 වෙනිදා) පත්තරයා තමයි පත්තරයා............ කරකවලා අතෑරියානේ  අපි සැට් එකක්ම. අම්මපා මම ගෙදර ආවේ අහසින්ද මන්දා. රෑ හතහමාරට විතර ගෙදරට ඇවිත්, ගේට්ටුව ඇරිය ගමන්, ලොකු දුව මාව වත්තම් කරගෙන වගේ තමයි ගෙට ගෙනිච්චේ........ පොහ් මල් හතයි ඈ. හොඳ වෙලාවට කාර් එක අරං නොගියේ. එහෙම උනානම් පොලිස් බෝඩින් කාමරේක පහුවදා වෙනකල් තැපලා එන්න තිබුණා. නෑ නෑ අපේ උන්දැ දන්නවනේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. ඒ නිසා සද්දයක් නැහැ.

පත්තරයාගේ ඇඹේනිය, අලුත් ජීන්ස් එකක් ගැනීමේ චිත්තප්පිරීතිය වෙනුවෙන්, 'පත්තර විලා' එකේ තමා, මේ පාටි පොජ්ජ තිබුණේ. මම හිතුවේ ඒක මේ කුරුණෑගල ඇත්කඳ විහාරේ පෙරහරට, නැට්ටුවෝ අඳින ඇඳුමක් කියලා. හරි හරි එව්වයෙන් කමක් නෑ. ආයේ මට ඒ පැත්ත පළාතේ යන්ඩ බැරිවෙයි.

  මෙන්න මෙව්වා තමයි වැදගත් තොරතුරු.

   අපේ චීෆ් ජස්ටිස් CJW තුමා, කලින් දවසේ රෑ 12 ට පැල්මඩුල්ලෙන් පිටත්වෙලා, පාන්දර 5 ට 'පත්තර ගෙදර' දොරකඩ උන්නලු. උන්නැහේ වගේ සෑම වැඩකදීම කල් ඇතුව ක්‍රියා කිරීම බොහොම හොඳ දෙයක් කියලයි මටත් හිතෙන්නේ. 'සූතළං මද්දා' මාව තම්බන්න හැදුවා උදේම. මම වහාම පොලිස් ස්ථාන කීපයකට කෝල් කරලා මේකා ඉන්න ඉසව්ව හොයාගත්තා. හොඳයි වරකො කියලා බලාගෙන හිටියා.

   අනේ ඒ අල්ලපනල්ලේ, 'පත්තර නෝනා' CJW ටයි මටයි තේ පැන් සංග්‍රහයක් පවත්තලා කිව්වා, 'අර කාලකන්ණි ටික පාත්වෙන්න කලින් හොඳට කාලා ඉන්න' කියලා. මට 'අයියේ' කියලා කිව්වේ. CJW ට ඒකට මළ පැනලා, එහෙනං මට මල්ලියෙ කියපං කිව්වා.

   හැබැයි පත්තරයත් අතෑරියේ නෑ වැඩේ. පත්තරේ ගෙනත් ගොඩ ගහන්න පටන් ගත්තා ලෙයිය පෙයිය ජාති ඔක්කොම.

සීනි කරිඤ්ඤං
සඟ ටොප්
දෙහි සුදි
අල හොදි
හිටපං මචං
ගහපං මචං
බැටරි සුදිය
බොකු දිරාස්

   යකෝ මං අහන්නේ එක අරක්කු බෝතලයක් දියන්. ම්හු........... පස්සේ අපි ගිහින් එව්වා ඇන්න ආවා.

photo0064


photo0065


photo0066


photo0067


photo0068


photo0074


photo0069


photo0071


photo0077


photo0080




photo0082




photo0083


photo0084


photo0085


wp_20150215_15_27_08_pro


photo0086


   අර රට කපටියා ප්‍රාජේ, ඉස්සා වගේ පනිනවා පොටෝ කෙළින්න හදනකොට. මේ පත්තරේ......, කා ළඟ හරි තියනවද දන්නෑ ප්‍රා නමැති කපටියාගේ පින්තූරයක්.

   ඔන්න ඉතිං යන්තම් අපි අතක් පයක් නොකැඩී, පත්තර ගෙදරටත් හානියක් නොකර, හවස හය විතර වෙනකොට, තොලොන්ජි වුණා.



2015 පෙබරවාරි මස 16 වැනි දින 2245 පැය

07 February 2015

චිකේ............ මටමනේ වෙන්නේ........................ Is this Murphy's Law

Screenshot (208)   පින්තූරේ දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර.....මේ මේ, අනික් එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න හැන්ඩියා, මම වගේම කොල්ලෙක් නෙවෙයිද කියලා.

   මේ සිද්ධිය සම්පූර්ණ ඇත්තක් බව ලැජ්ජාවේ තන්තෝසේ බැරුව දිවුරා පොරකාස කොරමි. සිද්ධියේදී කියවෙන අසල්වාසීන්ගේ නම් ද, ඇත්ත එව්වාය.

මෙහෙමයි කටන්තරේ. අපේ උන්දෑ ආවා, මම බොගක් කොට කොටා ඉන්නකොට, ගොම්පීටර් එක ළඟට.

   'මේ අනේ ඔය මගුල වහලා ලැස්ති වෙන්ඩකො පොළට යන්ඩ. මම උදේ කීයටද කිව්වේ පොළට යං කියලා. බලන්ඩකො ඔයා ඕකේ ඉඳගත්තම මෙලෝ සිහියක් නෑ නේ. මේ බලන්ඩ තේ එක. දැන් ඇල්වතුර වෙලා'

මම:-  'හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්ඩකෝ බෙලිකටු මල්ල පොළොවේ ගහන්නැතුව, ඔයා ලෑස්තිනම් මම තත්පර දහයෙන් ලෑස්තියි'. (හුටා, මෙතන තේ එකක් තියලා ගිහින් තියනවා මම දැක්කේ නැහැනේ)

එයා:- 'ලැස්ති තමයි. දැන් බලන්ඩ, පොළට හැතැම්මක් දුරින් තමා කාර් එක නවත්තන්ඩ වෙන්නේ, බඩුත් උස්සගෙන ත්‍රී වීල් එකකින් තමා කාර් එක ළඟට යන්ඩ වෙන්නේ' 

(අම්මපා කුරුණෑගල පොළ තියන දවසට කාර් එකක් නවත්තන්න තැනක් හෙවීම, නියම ගාණට එළවළු කිරන වෙළෙන්දෙක් හොයනවාටත් වඩා අමාරුය. පොළේ කාර් පාක් එකට රිංගන්න ගියාම, ආපහු කාර් එක එළියට ගන්න ගියාම, සංසාරේ එපා වෙනවාය) 

මම:- 'හරි හරි, මම මේ ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක හොඳයි. කලිසමයි සෙරෙප්පු දෙකයි දාගන්න විතරයි තියෙන්නේ'

(හුහ්, මම ආමි කාරයෙක් කියලා අපේ උන්දැට අමතක වෙලා වගේ. ඒකාලේ පුහුණු උපදේශකලා, සීනියර්ස්ලා 'කිට් චේන්ජිංග්' දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු කරලා පෙන්නන්නේ. පුහ්....... අනේ අනේ.... එව්වා කොරපු මට, මෙව්වත් වැඩද. තප්පර දෙකෙන් ඇඳගන්නංකො කලිසම ඔලුවෙන්) 

   හරි, දැන් ඇඳගෙන ඉන්න ෂෝර්ට් එක බොහොම පුංචි එකක් නිසා, ඒකට උඩින් කලිසම අඳිනවා. ඒක පහසුයි. 

   'කවුරු දකින්නද කවුරු බලන්නද - දැන් මොකවත් නැත්තේ, ඒ... ඒ..., දැන් මොකවත් නැත්තේ' (තිබුණත් වැඩක් නැතේ) 

   ඔන්න ඉතිං පොළට ගියා කියමුකො. අම්මපා මගේ ග්‍රහචාරේ කියන්නේ...... පොළ ළඟට යනකොටම, එතන නවත්තලා තිබුණ කාර් එකක් අහකට ගත්තා. 'බුග්' ගාලා මම එතනට කාර් එක ඔබාගත්තා. හප්පොච්චියෙ, සියලු දෙවි දේවතාවුන්නේ පිහිටයි. 

   හරි, 'යමුකො බබී යමුකො බබී එළවළු ගන්ටා - අර දකුණු කකුල පෙරට තියා පං පං ගාලා' 

   හපොයි, අපේ උන්දෑ බණ්ඩක්කා 250 ක් ගන්ඩත්, විසිපස් පොළකටවත් යනවා. අනේ අම්මේ.......... ඒ වෙලාවට මගේ ඉවසීමේ කටුව ගැහෙනවා. මොනවා කොරන්ඩද. 

   ඔන්න පොළේ ටිකක් දුර ඇවිදිනකොට, මට අමුත්තක් දැනෙන්ඩ පටන්ගත්තා. මට දැනෙන්නේ, යටට ඇඳගෙන ඉන්න ෂෝට් එකේ, සාක්කුවක තියන රෙදිකෑල්ලක්, (නිකම් ලේන්සුවක් වගේ එකක්) සාකුව හිල්වෙලා ද කොහෙද එලියට ඇවිත්, කකුල් දෙක අතරේ, (හරියටම දෙපරැන්ද මැද්දේ) එහාට මෙහාට ඇඹරෙනවා වගේ. මොකද්ද බොල මේ හුටප්පරේ?..........ම්හු..හිතාගන්ඩ බැහැ. හරි හරි ලේන්සුව වෙන්ඩ ඇති. කලිසමේ කකුල දිගේ පහළටම ගිහින් බිමට වැටෙන්නේ නැතෑ. එතකොට ඇහිඳගන්නවා. කියලා හිතාගත්තා. 

   තව ටිකක් පොලේ ඇවිදිනකොට මට දැනෙනවා අර රෙදි කෑල්ල හිතුවට වඩා ටිකක් ලොකුයි කියලා. ඒ වගේම දැන් කලිසම් කකුල දිගේ පහළට බැහීම ආරම්බ කොරලා කියලා. දණිස්ස දිහාට කිට්ටුයි. මම කලිසම් කකුලේ පිට පැත්තෙන් අතගාලා බැලුවා.

   හී............හ්, යකෝ, මේ මං අඳින ලාග්ගෙක් නේද? මේ #%^*@ මෙතනට ආවේ කොහොමද? ඇයි හත්දෙයියනේ දැන් මං මොකෑ කරන්නේ? මගේ නහය උඩට දාඩිය බින්දු හතක් දාලා. ඇඟ සීතල වෙලා. ඇයි යකෝ, පොළේ ඇවිදිද්දි මේක කලිසම් කකුලෙන් එළියට ආවනම්? කොයි දෙයිහාමුදුරුවන්ට කියන්නද? මුළු පොළම මාව වටකරගන්නවනේ, 'මෙන්නෝ... මැජික් කාරයෙක් ඇවිල්ලා, මෙන්න බලපල්ලා, කලිසම අස්සෙන් ලාග්ගෝ අල්ලලා පෙන්නනවා' කියලා.

   අපේ උන්දැ මේ ගැන හාන්කවිසියක් දන්නේ නැතුව ඉස්සරහට ඇවිදගෙන යනවා. මම එක අතකින්, කලිසම් කකුලේ, අර ලාග්ගා රැඳිලා තියන තැනින් අල්ලගෙන, (පොලීසියෙන් දැක්කනම් කුඩු විකුණන එකෙක් කියලා අල්ලගන්නවා) අමුතුම ආකාරයේ ගමනකින්, යන්තම් අපේ උන්දැ ළඟට කිට්ටු වෙලා කිව්වා, 'මේ, පොඩ්ඩක් ඉන්ඩ. මට පොඩි ප්‍රශ්නයක්' කියලා. 'ඇයි ඊයේ රෑ බීපුවා තවම දැනෙනවද? අන්න අර පැත්තේ තැඹිලි තියනවා' කිව්වේ නැතෑ. 

   'ඒ මගුලක් නෙවෙයි.. මම කණට කරලා කිව්වා, වෙලා තියන අබග්ගේ. අනේ...........ඒ වෙලාවේ උන්දැගේ මූණේ ස්වරූපය, වචන වලින් කියන්න බැහැ. ඇඳලා පෙන්නන්න වටිනවා. 

   'දෙයියනේ..........කොහොම හරි යන්ඩ. ඉක්මනට කාරෙකට ගිහින් ගලවලා දාලා එන්ඩ' උන්දැ කියපි.

   'හරි හරි, මමත් හිතුවේ ඒක තමයි. නමුත් මේක අතින් ලිස්සුවොත් තමා වැඩේ. කාර් එකට දුර මීටර් 250 ක් විතර තියනවා'

   ඔහොම කියාගෙන මම මොකද්ද වෙච්ච මොකෙක්ද එකා වගේ, කාර් එක බලා පිටත්වුණා. හුටා.................දේවිකා, මගේ මූණටම එනවා. දේවිකා කියන්නේ අපේ අසල්වැසි කාන්තාවක්. තිදරු මවක්, පෞද්ගලික අංශයේ බැංකුවක, විධායක ශ්‍රේණියේ නිළධාරිණියක්. මට එයාගේ පියාට වගේ සළකන්නේ. 

   'අංකල්, ඇයි මොකද අංකල්ට සනීප නැද්ද? මොකද වුනේ? කෝ ආන්ටි? 'අම්මෝ....... ප්‍රශ්න කෝටියයි. හෙහ්, අපි වගේ යුද්ධෝපක්‍රම, මූලෝපාය න්‍යාය, 'බැටල් ටැට්ටිස්' ද මොකද්ද එව්වා දන්න එව්වො, එහෙම ලේසියෙන් ඔය පුරස්න වලට අහුවෙන්නේ නෑ. 

   'නෑ නෑ දේවිකා, මේ මගේ කකුලේ දණහිස හරියේ දාලා තිබුණ, ක්‍රේප් බැන්ඩේජ් එක ගැලවෙලා. මම මේ ඒක වැටෙන්න නොදී අල්ලගෙන, කාර් එක ළඟට යනවා, කාර් එකේදි ගලවලා දාන්න'

   'ඉන්න අංකල්, මමත් එන්නම් එහෙනම්' (අයියෝ සාලවනේ......මේ මොකද වෙන්ඩ යන්නේ? කාර් එක ලඟට ගිහිං, දේවිකා දැක්කනම්, මගේ XXXXXXXL සයිස් ක්‍රේප් බැන්ඩේජ් එක, එයා කලන්තේ දාලා වැටෙනවා)  ' නෑ නෑ දේවිකා, මට පුළුවන් ළමයෝ, ඔයා යන්න එළවළු ගන්න' 

   'හරි අංකල් මම දිනේෂ්ට (දේවිකාගේ මහත්තයා) කියන්නම්, එයා අපේ කාරෙක ළඟ ඉන්නවා' 

  'අනේ බොරුවට එයාට කරදර කරන්න එපා ළමයෝ' කියාගෙන මම කාරෙක ළඟට කියා. කාලා වරෙන්කො. දිනේෂ් ඉන්නවා අපේ කාරෙක ළඟ. දේවිකා කෝල් එකක් දාලා කියන්න ඇති.

   'අංකල් දේවිකා කිව්වා අංකල්ට මොකක්ද ප්‍රශ්නයක් කියලා, මම මේ ඒකයි බලන්න අවේ' දැන් ඉතිං ගැලවීමක් නැහැ. මේකා කීයටවත් මාව දාලා යන්නේ නැහැ. ක්‍රේප් බැන්ඩේජ් කතාව කිව්ව ගමන්, 'ඉන්න මං උදව් කරන්නම්' කිව්වා. කලිසම් කකුලේ, අල්ලාගෙන ඉන්න තැනින් අතහැරුනොත්, ලාග්ගා එලියට එනවා. හරි වෙන කොරන්ඩ දෙයක් නැහැ. දුන්නා කාරෙකේ යතුර දිනේෂ්ට. 'ඇරපන්කො කාරෙක' කිව්වා. මම නැග්ගා කාරෙකට. දිනේෂ් මම කියන්නත් කලින්, පටස් ගාලා කාරෙකට නැග්ගා. දැන් මට උදව් කරන්නයි හදන්නේ. 'ඔහොම බලාගෙන හිටපන්' මම කිව්වා. ඇදලා ගත්තා ලාග්ගා එලියට.

   අරූ මුළු කුරුණෑගලටම ඇහෙන්න හූ කියා කියා හිනාවෙනවා. 'තෝ මෙතන ඇති තරම් හිනාවෙය. කාටහරි කියලා තිබුණොත්, තෝ මරනවා' මම කිව්වා. අනේ හවස් වෙනකොට ජගත්, අමිත්, අමරකෝන්, ධර්මසිරි, වගේ අපේ අසල්වාසී භවතුන්ගෙන්, පෝලිමේ කෝල් එනවා. 'සර්, අංකල්, මහත්තයා, අර ජාතියේ ක්‍රේප් බැන්ඩේජ් තියන තැනක් අපිටත් කියන්ඩකො' කියලා. ඉවරයි නේද සායම? නෑ නෑ, ඔව්වා දවසෙන් දෙකෙන් අමතක වෙනවා. හැබැයි පොඩි සාදයක් පැවැත්වෙන වෙලාවක ආයෙත් එළියට එනවා. 

   මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මම කොට කලිසමට උඩින් ඇන්ද දිග කලිසමේ, දෙපරැන්ද තියන තැන, කලින් ඇඳපු ලාග්ගෙක් තිබිලා. හොයන්නේ බලන්නේ නැතුව, මම ඒ කලිසම ඇඳගෙන ගියා. ඒකෙ ප්‍රතිඵලය තමයි ලැබුණේ. මදෑ ඔයින් ගියා, අතක් පයක් නොකැඩී.



2015 පෙබරවාරි මස 07 වැනි දින 1400 පැය

06 January 2015

ඡන්දෙ ඉවරවෙනකල්

Ha ha
 අම්මෝ.................ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්‍රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)


  තුවාල වෙච්ච හැටි

   ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා. 

"දෙවියනේ.....................!, මොකද ඔයාට වුණේ" ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.

"මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ........ කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, 'ග් ඌ...........' කියලා". සොල්දාදුවා උත්තර දුන්නා.

"එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති".  ආර්යාව කිව්වා.

"නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ..............කියලා"

"එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති". ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.

"නෑ නෑ තවම නෑ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්න.

"එහෙනම් මොකද වුණේ"?

"ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා". මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා".

"ඉතිං ඒ පාර?" ආර්යාව ඇහුවා.

"ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්නා.


  ජරා මැගසින්

   එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.

   "මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට එකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ"

   නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,

   "මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" කියලා.

   නිලධාරියා කියනවා,

   "ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.

type56


ප්‍රථමාධාර 

  බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා.

  උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

   "හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?"

   එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.

picture-22975


අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා. 



2015 ජනවාරි මස 06 දින 2306 පැය

28 December 2014

හෝ........කොමළ දයාසිරී....!


75111024734-dayasiri
   අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ.


  හම්මේ................දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. 

   අධිනීතීඥ නිසා නඩු බලවනවා හම්බවෙනවා ඇති ඕසෙට. ඒ සල්ලි වලින් වෙන්ඩැ මේ තැපැල් ගාස්තු ගෙවන්නේ. නැත්තං පළාත් සබාවේ සල්ලි මැතිවරණ ප්‍රචාරේට වියදං කොරා කියලා, අර ලස්සන දත් සැට් එකකින් යුක්තව නිතර හිනාවෙන, අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඇවිත්, දයාසිරි ගොයියව කුදලාගෙන යනවා සිකුරුයි. එයත් එක්ක සෙල්ලං නෑ. දයාසිරි දන්න, අර මැයි දින පෙළපාලියේදී පෙන්නපු, බල්ටි නැටුම්, රිලා නැටුම්, වලින් එදාට ගැලවෙන්න බෑ. මෙන්න බලාගන්නකෝ ලියුං කරදහිය.

AAA

   මේක කියවපු ගමන් මට එකපාරටම මතක්වුණේ පරණ සින්දුවක්. අපි ලාබාල දරුවන් කාලේ චිත්‍රපටියක ගීතයක්. චිත්‍රපටිය 'රම්‍යලතා'. තිරගත වෙලා තියෙන්නේ 1956 දී. පොඩ්ඩක් අහලා බලන්නකො මේ ගීතය. ටිකක් අහලා සින්දුව මතක් කරගන්නකො.




ඔන්න ඉතිං මමත් පදමාලාවක් ලිව්වා මේ තනුවටම. කියවලා බලන්නකො.

   හෝ......දයාසිරී - හෝ.........කොමළ දයාසිරී 
   කමකට නැතිවෙවී - කුරුණෑගලට වී - පිස්සෙකු වාගෙයි
   හෝ..........බොළඳ දයාසිරී
   අරෙහෙට පැන්නේ - මෙහාට පැන්නේ// - කරන වැඩක්    ඇත්තෙම      නැත්තේ - යෝදයෝ
   තවමත් සිහින ලෝකයේ අනේ
   බල්ටි නැටුම් රිලා නැටුම් දැම්මෙ හෝ ගගා //
   රටටම ණයක් වී - වයඹට දුකක් වී - විහිලු නම් එපා
   හෝ........කොමළ දයාසිරී

29 November 2014

පාර දිගේ - On The way

4fbbf4a4d3b425b1ec5ada35058a8141
 මේ දිනවල තිබෙන ජනාධිපතිවරණ උණුසුම මුළු සිංහල බ්ලොග් ලෝකයම වසාගනිමින් පැතිරෙන බව පැහැදිලිවම පෙනෙනවා. බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේත් දේශපාලන භූමිය තුළ කෙබඳු වෙනස්වීම් සිදුවන්නේද යන්න දැනගැනීමටයි.

   මගේ බ්ලොග් ලිපි ලැයිස්තුවේ සංස්කරණය කරමින් පවතින ලිපි කීපයක් තිබුණත්, මේ දිනවල ඒ ලිපි වලට එතරම් පාඨක අවධානයක් යොමුවේයැයි සිතන්නට අමාරුයි. ඒ නිසා මා සිතුවා, පසුගිය කාලයේ එදිනෙදා ජීවිතයේදී මා දුටු/නිරීක්ෂණය කළ දේවල් සමහරක් පිළිබඳව මතකය අවුස්සා, ඒ මතක සටහන් ඔබ සමග බෙදාගන්නට. මේ සියල්ල සරළ වින්දනයක් සඳහායි ඔබවෙත ගෙන එන්නේ. එතනින් එහා හිතන්නට එපා. නමුත් සමහර කරුණු ගැනනම් සාකච්ඡා කරන්නට වටිනවා.


1. ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද? 

article-2325652-19D1A11F000005DC-60_468x286   ජංගම දුරකථන පාවිච්චි කිරීම පිලිබඳ චර්යා ධර්ම ඔබ මටත් වඩා හොඳින් දන්නවා. නමුත් මෙතැනදී මම කියන්නේ අර හැමදාම කියන අචාර ධර්ම පද්ධතිය ගැන නෙවෙයි. ඔබ දැක ඇති, සමහර අය ඇමතුමක් ගන්නාවිට, කථාකරන අවස්ථාවේදී, දුරකථනයේ මයික්‍රෆෝනය තමන්ගේ මුව අසළට ගන්නවා. තමන්ට කියන්නට අවශ්‍ය දේ කියා අවසන් කළ වහාම, නැවත දුරකථනය කණට තියාගන්නවා. 

   මටනම් මෙය ලොකු ප්‍රහේළිකාවක්. ඉතාම බාල දුරකථන වල සහ, විවිධ දෝෂ සහිත දුරකථන වල නම්, යම් යම් බාධා මතුවෙනවා ඇති. එහෙත්, ඉතා නවීන ජංගම දුරකථන පාවිච්චි කරන අයත්, අර මා කියා ඇති ආකාරයට කතාකරනවා. එහෙම කරන්නේ ඇයි? දුරකථනය සාමාන්‍ය විදිහට කණට තියාගෙන කතා කරද්දී, දුරකථනයේ මයික්‍රෆෝනය තිබෙන්නේ ඔබේ මුවට ඈතින් වුනත්, ඒ අධි සංවේදී මයික්‍රෆෝනය, ඔබේ හඬ හොඳින් ග්‍රහණය කරගන්නවා නේද? නොඑසේනම්, දුරකථන නිෂ්පාදකයා උපදෙස් පත්‍රිකාවේ කියනවානේ, කතාකරන විට මයික්‍රෆෝනය පිහිටි ස්ථානය මුව අසළට ගන්න කියා. මේ පුරුද්ද තරමක් අවලස්සන සහ විකට ස්වරූපයක් ගන්නවා නේද?


2. මගුල් ගෙදරකටත් පෝළිම් ඕනෙද?

  මේ අත්දැකීම මට බොහෝ වාර ගණනක් ලැබී තිබෙනවා. විවාහ මංගල්‍ය උත්සවයකට සහාභාගිවීමේදී, ආහාර ලබාගැනීමේ වෙලාව පැමිණිවිට, ආහාර පිළිගන්වන ස්ථානයේ ඉතා දිගු පෝළිමක් දකින්නට ලැබෙනවා. සමහර 'නෝනලා සහ මහත්තුරු' තමන්ගේ පවුලේ අය සහ දරුවන් ඇදගෙන දුවනවා මේ පෝලිමට. මෙතනට පෝළිමක් අවශ්‍යද? පෝළිමේ නොගියොත් කෑම නැද්ද? කෑම හදන්නේ ආරාධිතයන් සියල්ලටම සරිලන ප්‍රමාණයට නේද? මටනම් කවදාවත් විවාහ මංගල්‍යයකදී ආහාර නොලැබී ගිහින් නැහැ. ඒ වගේම හොඳ කෑලි ඉවරවෙලා කුණු හරිය හම්බවෙලත් නැහැ. 

   ඇයි මේ හදිස්සිය? මේ පෙන්වන්නේ අපේ චර්යාවේ දුර්වලකම් නේද? මේ සමග ඇති පින්තූරයේ තියෙන්නේ, ඊයේ මම සහභාගිවුණු විවාහ මංගල්‍යයක, අර වගේ තිබුණු පෝලිම. කෑම බෙදාගන්නා ස්ථානයේ සිට, ප්‍රධාන ශාලාව හරහා මේ පෝළිම දික්ව තිබුණා. මේ පෝළිමට යන්න ඉඩදෙමින්, මා හෙමින් හෙමින් මධුවිතක් තොල ගෑ අතර, ඉන්පසු කිසි කරදරයකින් තොරව ගොස්, මට කෑමට හැකි ප්‍රමාණයට, ගැලපෙන ආහාර ලබාගත්තා. 


photo0027


3. ප්‍රචාරණය හොඳයි, ගැලපෙනවානම්


   මේ පින්තූරය මම මගේ ජංගම දුරකතනයෙන් ගත්තෙ, ලඟදි දවසක, සතොස වෙළඳසලකින් බඩු ගන්නට ගිය අවස්ථාවේදීයි. පොහ්....අපේ උන්දැගේ නිරීක්ෂණාක්‍ෂියට අහුවුණානේ, මම පොටෝ එකක් කෙළියා කියලා. සතොසෙන් එළියට ආව තැන ඉඳලා, මට ඔරවන්න ගොරවන්න පටන්ගත්තා. ගෙදර ඇවිත් පින්තූරේ පරිගණකයට දාලා, ලොකුකරලා පෙන්නලා මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම තමයි, ගිනිකන්ද නිවුණේ. මට කියන්න තියෙන්නේ මේකයි, සෑම ව්‍යාපාරයකටම ප්‍රචාරණයක් අවශ්‍යයි. ප්‍රචාරණයක් නැති ව්‍යාපාර අසාර්ථකයි. නමුත් අපේ කමට ගැලපෙන විදිහට ඒ ප්‍රචාරණය කළයුතුයි. මේ බලන්න සතොසේ උදාන වාක්‍යය වන 'ඔබේම තැන' කියන එක කොහෙද සටහන් කරලා තියෙන්නේ කියලා. 


photo0011


4. මේවට හිනාවෙනවද අඬනවද?


   අපි කවුරුවත් සර්ව සාධාරණ නැහැ. සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මේ ලියන මා තුළත් කොපමණ ගතිගුණ ඇද්ද නිවැරදි කරගතයුතු. හදිස්සියට කලිසමේ සිප් එක දාගන්න අමතක වෙලා බස් එකට නගින අයත් ඉන්නවනේ. මේකත් අන්න එහෙම දෙයක්.

   ඊයේ පෙරේදා දවසක, මමත් අපේ උන්දැත් ගියා, කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් බැහැලා, මතුගම බස් එකකට ගොඩවුණා. අප්පොච්චියේ ඒ බස් එක ගිය ගොලුබෙලි වේගය නිසා මට හිතුනා, බැහැලා පයින් යන්න. හැබෑටම මුළු ලංකාවේම තියෙන්නේ මේ වගේ කාලකන්ණි (මිනිස්සුන්ගේ, රටේ, සමාජයේ, කාලය කා දමන) ප්‍රවාහන ක්‍රමයක් නේද?  ඒ බස් එකට අතර මගින් කාන්තාවක් ගොඩවුණා. ඇය බස් රථයට නැග්ගේ කුඩා දියණියක්ද සමගයි. මහා පුදුම දෙයක් තිබුණා. ඇගේ හිසේ තිබුණා හිස පීරන පනාවක් සවි කරලා. හරියට අර තමන්ගේ ගායන නොහැකියාව පනාවෙන් වහගන්න හදන, ඊනියා 'ගායක පොජ්ජා' වගේ.

   මට එකවරම වැටහුණා, ඇය වැරදීමකින් තමා මෙහෙම පනාව හිසේ තිබියදීම බසයට නැග්ගේ කියා. මා සිටියේ පසුපස ආසනයක. මා හිතුවා නැගිට ගොස් ඇයට කියන්න, පනාව තවම හිසේ තියෙන්නේ කියා. නමුත් ඇය මගේ ප්‍රකාශය කොහොම බාරගනීද? දුවන ගමන් පිස්තෝලය ඇදලා වෙඩි තියන්න දන්න මට, තත්පරයෙන් සීයෙන් එකකදී විතර, දුරකථනය ඇදලා අරං පොටෝ එකක් කෙළින්නත් පුළුවන්. මෙන්න පින්තූරේ. මෙය පළකරන්නේ මගේ කතාව සනාථ කිරීමට මිසක්, අර කාන්තාවට අපහාස කරන්න නෙවෙයි. මොකද මගේ බිරිඳට වුණත් මෙහෙම වෙන්න පුළුවන්. 


photo0022

   පින්තූරය ගත් වහාම මම නැගිට්ටා ඇයට කියන්න මේ සිද්ධිය. නමුත් එවිටම වෙනත් කාන්තාවක් ඇයට ඒ බව කිව්වා. ඇත්තටම මෙය හිනාවෙන්න දෙයක් නෙවෙයි. අද අපි ඉන්න ලෝකයේ විවිධ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. ඉතින් මේ ගෘහිණියටත් වෙන්න ඇත්තේ ඒකම තමා. නමුත් ගමනකට සූදානම් වෙලා, අවසාන මොහොතේ හදිසියෙන් ගෙදරින් එළියට බහිනවාට වඩා පෙරසූදානමකින් කටයුතුකිරීම හොඳයි නේද? 

5. පනින්ට පෙර සිතා බලනු

   ඊයේ පෙරේදා තවත් ආදී - පාද හමුවකට යන්නට මට අවස්ථාව උදාවුනා. ඒ ගැන පසුව ලියන්නම්. මතකයි නේද මම කලින් ලියපු ආදී - පාද හමුව? මේ ආදී - පාද හමුව පැවැත්වුනේ කොළඹින් බොහෝ ඈත. ඌව පළාතේ තැනක. එහෙ ගිහින් එනගමන් අපි කට්ටිය එක තැනක වහනය නැවැත්තුවා 'බර අඩුකරගන්න' මම කිව්වා ටිකක් වටපිට බලනවා හොඳයි අහළ පහළ ගෙවල් දොරවල් තියනවා, අනික මේ මහ දවාලේ කියලා. කිව්වා වගේම අහළ පහළට මේ වැඩේ නිරීක්ෂණය වුණා. ඒ මිනිස්සු මොකුත් කිව්වේ නැත්තේ, 'පොඩි කොල්ලෝ ටිකක් නිසා' වෙන්න ඇති. හැබැයි මගේ කැමරාවෙන් බේරෙනවා බොරුයි. 

photo0020

අදට ඇති නේද? තවත් තියනවා. බලමුකෝ පස්සේ වෙලාවක.



my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 29 වැනි දින 2221 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }