පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු විවිධ තොරතුරු ඇසුරෙන් ලිපි ලියා තිබුණා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අපේ කාමරේ සිරා නොවැ. මේ ඊයේ පෙරේදා මටත් අපේ ගෙදර පරණ පොත් පෙට්ටියක තිබිලා පත්තර කෑලි ටිකක් ලැබුණා. ඔන්න ඔබටත් බලන්න මම ඒවා පහත දක්වනවා.
මේ දවස්වල අපේ රටේ කැසිනෝ කෙළිය ඇරඹීමේ මහා විවාදය ඕසෙටම නැගලා යනවානේ. අපේ අමුණුගම ගොයියා නෙව මේ දවස්වල එකසිය ගානට අර ජේමිස් පැකර් සුද්දාගේ ගොම්පස් අල්ලන්නේ. සංචාරක කර්මාන්තය ගැන 1983 දී දිනමිණේ තිබුන කතුවැකියක් මේ. දැනුත් දිනමිණ ඉන්නේ මේ ප්‍රතිපත්තියෙමද කියලා හොයලා බලන්න වටිනවා.
චැඃ ..........කරුමෙට මේක පල කොරලා තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදාවක ය. ඒ නිසා මේ තියෙන්නේ ඒකාලේ අප්‍රේල් 1 විහිළුවක් කියලා දිනමිණ කාරයා දැන් කියන්න බැරි නැත.
ඊළඟට ලැබුන පත්තර කෑල්ලේ තිබුනේ අද බොහොම අභාවයට ගොස් තිබෙන අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය ගැන සටහනක්. කාන්තාව සහ පේෂකර්මාන්තය අතර තිබෙන්නේ සදා නොසැළෙන බැඳීමක් නේ. විජය රජුට ලංකාවේදී මුලින්ම මුණගසුනෙත් පෙහෙකම් ලියක්නේ. අපි කුඩා කාලයේදී බොහෝ ගම්වල අත්යන්ත්‍ර මගින් රෙදි විවීම පැවතුනා. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණා. රජයේ පෙහෙකම්හල වැනි ගැඹුරු නාම පද එන්නට කලින්, අපේ ගැමියෝ මේවා හැඳින්වූවේ, "වියන ඉස්කෝලේ" නමින්. ඒවා භාර ගුරුවරිය "වියන ඉස්කෝලේ හාමිනේ " කියලයි හැඳින්වුණේ. ඒ කාලේ හිටිය තරුණියන් මේවාට ගියේ රෙද්ද හැට්ටේ ඇඳලා බවත් මට මතකයි. 1960 දශකයේදී අද වගේ ඇඟලුම් කම්හල් තිබුණේවත් එවැනි දෙයක් ගැන අපි අහලාවත් තිබුණේවත් නැහැ. මේ ගැමි තරුණියන්ව අදවගේ "ගාමන්ට් කෙල්ලෝ" වැනි අපහාසාත්මක යෙදුම් වලට ලක්වුණේත් නැහැ.
ඒ කාලේ රු 15000 ක් කියන්නේ අද ලක්ෂ 10 ක් වගේ. නමුත් අවංකව ඉදිකිරීම් කළා අද වගේ කොමිස් ගැහිලි නැති නිසා.
මේ තරුණියන්ගෙන් බොහොමයක් අද අත්තම්මලා වෙලා ඇති. තවත් අය ජීවතුන් අතර නැතුවත් ඇති. බලන්න ඔබ දන්නා කියන අයත් මේ පින්තූරවල ඉන්නවාද කියා.
මෙතනින් එහා තිබෙන දේවල් ගැන මම මොකුත් කියන්නේ නැහැ. ඔබට හිතෙන දේවල් ඔබම කියන්න.
මෙතැනදී නම් මොකුත් නොකියා බැහැ. රු 170/- ට සාරි තිබුන කාලේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාසික වැටුප රු 350 - 400 වගේ තිබුණේ.
මේ පහළින් තියන නම් හොඳද බලන්න. සමහර නම් කියවන්න ගියාම දිව උළුක් වනවා.
කාන්තාවන්ගේ ඇඳුම් ගැන කවදත් සමාජයේ අවධානය යොමුවෙනවානේ. මෙන්න ඒ කාලේ ලිපියකින් කොටසක්.
ඒ කාලේ අදවගේ 119 අංකය හෝ ජංගම දුරකථන හෝ නොතිබුන නිසාත්, ගෘහස්ථ දුරකථන එතරම් නොතිබුන නිසාත්, එක්තරා බෝඩින් කාරයින් පිරිසක්, අනුන්ට කරදරයක් වී තිබෙන්නේ මෙහෙමයි.
ත්‍රිරෝද රථයට අපි නම් කීයක් කියනවද? මෙන්න ඉංග්‍රීසි වචනය ඒ ආකාරයෙන්ම සිංහලයට ගෙන ඇති ආකාරය.
තවත් පරණ පත්තර ටිකක් ලැබේවායි කියන ප්‍රාර්ථනයත් සමග ලිපිය අවසන් කරනවා.