කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත පින්තූර කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා. සංවත්සර සභාව පැවැත්වෙන අතරතුර නැගිට නැගිට පින්තූර ගන්න බැහැනේ. ඒ වගේම බොහොම කාලෙකට පස්සේ හම්බවුන 'ආදිපාද'ලා (පරණ කකුල්) අතට අත දෙනවා, බඩ ඉඹිනවා, බදාගන්නවා, උම්මා දෙනවා, විස්තර අහනවා, එක වැඩයි. ඔක්කොමලත් එක්ක එක වචනයක් හෝ කතා නොකරත් බැහැ. ඒ නිසා පින්තූර ගැහිල්ලට දෙවැනි තැන තමයි දෙන්න වුණේ.
මෙන්න මේ වැඩේට තමයි මහගෙදර ගියේ. පින්තූරයේ නම් කීවෙනි සංවත්සරයද කියලා පෙනෙන්නේ නැහැ. එදා තිබුණේ 35 වැනි සංවත්සරය.
දැන් ඔය පින්තූරයේ තියන බැනර් එකේ පහළින්ම තියෙන්නේ, මා ඔය ගඟ අද්දර කියලා නේ. හිතන්න එපා අපි මා ඔය අයිනේ ගල් උඩ ඉඳගෙන සංවත්සරය පැවැත්තුවා කියලා. 'ගඟ අද්දර' කියන්නේ අපේ මහගෙදරට අයත් අක්කර සිය ගණනක් විශාල භූමියෙන් එක කොටසක්. ඒ ප්‍රදේශය හඳුන්වන නම තමයි ගඟ අද්දර. අපේ මහගෙදර ඉඩමේ එක මායිමක් තමයි මා ඔය.
මේ දෙන්නා තමයි බියුගල් හඬවා අමුත්තන් පිළිගැනීම කළේ.
මේ දෙන්නා ටිකක් මිටියි වගේ පෙනෙන්නේ මගේ අති විශිෂ්ඨ කැමරා ශිල්පයේ දක්ෂකම නිසා.
මේ දෙන්නා විතරක් නෙවෙයි අපේම තවත් පිරිසක් පිළිගැනීමේ කාර්යයට සූදානම්ව හිටියේ මෙහෙමයි.
සංවත්සර සභාව තියන්න විශේෂ එළිමහන් කූඩාරමක් ඉතා අලංකාරව සකසා තිබුණා. ඇත්තෙන්ම ශ්‍රවනාගාරයේ නොපවත්වා මෙසේ එළිමහනේ පැවැත්වීම කාටත් බොහොම පහසුවක් වුණා.
අපේ මහගෙදර භූමිය තුළ ඉස්සර පුංචි ජලාශයක් තිබුණා. අදවනවිට එය ඉතා අලංකාර කුඩා වැවක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. මේ පින්තූරය මගින් වැවේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. ඈතට යන්න මට වෙලාවක් නැහැ.
ලොව පුරා සිටින ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්වරක් හෝ එළිමහන් සිනමාවක චිත්‍රපටියක් නරඹා ඇති.
මේ අපේ මහගෙදර එළිමහන් සිනමාහල.
ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. අර ඈත පෙනෙන කන්ද දක්වා අපේ මහගෙදර ඉඩම විශාලයි. දන්නවද වැඩක්, ඒ කන්ද පාමුල තියෙන රක්ෂිත වනාන්තරයේ ගෝන්නු, මුවෝ, එහෙමත් ඉන්නවා. අපේ අයගේ ආරක්‍ෂාව යටතේ.
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සමුළුව අමතමින්
එදා යුදබිමේ මහ සෙනෙවියෝ පැරණි මතකය අවදි කරමින්
කිසිකලෙක නොසිඳෙන අභිමානය. විශ්‍රාමික උපකරණ පාලක සැරයන් මේජර් ජයතිලක
එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අලිමංකඩ අල්ලාගන්නට ඉඩනොදී සටන් කර ජයගත්, එමෙන්ම හසලක වීර ගාමිණී කුලරත්නගේ අණදෙන නිලධාරියාවූ, මේජර් ජෙනරල් සනත් කරුණාරත්න
පින්තූරයක් ගන්නවට එතුමා එච්චර කැමති වුණේ නැහැ.
අපි තරුණ නිළධාරීන් කාලයේ, අපිට ගුරුහරුකම් දුන් මේ සැරයන්වරු, සැරයන් මේජර් වරු දැක්කම, වැඩිහිටි නෑදෑයෙක් දැක්කා වගේ. එදා අපිට සමහර වෙලාවට මෙයාලව පෙන්නන්න බැහැ. අපේ වැරදි කියනවා අණදෙන නිළධාරි තුමාට. අපි මෙයාලට හදලා තිබුණ, හොඳ නම් දෙකක් මට මතක් වුණා. වම් පැත්තේ ඉන්න එක්කෙනාට අපි කිව්වේ 'දුෂ්ඨ බුද්ධි' කියලා. අනික් එක්කෙනාට කිව්ව නම මෙතන ලියන්න බැහැ. මම ඒ නම් දෙක මතක් කළාම, 'අම්මේ......... සර්ට ඔව්වා තවමත් මතකද' කියලා ඇහුවා.
පරණ කතන්දර කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. සොඳුරු අතීතයේ මිහිර, මධු විතකින් උණුසුම් වූ මොහොතක
සංගීතය නැති හමුදා ජීවිතය පරිප්පු නැති හෝටලය වගේ. එදා අයයි මෙදා අයයි සංගීතයේ මිහිර වින්දේ මෙහෙමයි.
කදවුරේ අලංකාරය වගේම සැප පහසුකම්ද විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේ තියෙන්නේ සැරයන් වරුන්ගේ නිවස්නය.
රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණයේ පිවිසුම
කඳවුරු භූමියේ තවත් දසුනක්
මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.
කාලය ගෙවෙනවා ලෝකය වෙනස් වෙනවා. ඇත්තටම ඒ වෙනස්වීම කාටවත් වලක්වන්න බැහැනේ. හමුදාව සම්බන්ධ එක්තරා කියමනක් තියනවා. සොල්දාදුවා කිසිදිනක මියයන්නේ නැත. කාලීනව වියැකී යනවා පමණි. මේ උත්සවයට ගියාම, නිළ ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෝ මට පිටුපා ඉන්න අවස්ථාවලදී, මට මතක්වුණා එදා මා සමග එකට සිටි අද ජීවතුන් අතර නැති සොල්දාදුවෝ. අර ඉන්නේ එයාවත්ද කියලා හිතුනා. නිළ ඇඳුමෙන් ඉන්නකොට හැම සොල්දාදුවාම එක වගේනේ. ජීවිතේ හැටි ඔහොම තමයි නේද?
මේ පහළින් ඉන්නේ, එදා තරුණ සොල්දාදුවන්ව සිටි, අද සොල්දාදුවන්ට නායකත්වය දෙන, පළපුරුදු, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් දෙදෙනෙක්.
රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි. ඒ සඳහා, සියල්ලට පළමුව විනය මූලික කරගත්, දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලට, අපිත්, අපේ ආශිර්වාදය සහ දායකත්වය පිරිනමන බව, කඳවුරෙන් එන්නට පෙර කියා ආවා.