දැන්නම් මේ ලිපි පෙළට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම මට අමතක වූ කරුණු සහ මා නොදැන සිටි කරුණුද මතක් කර දෙන සියළු දෙනාට හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙනවා. එවැනි තොරතුරු නිසා, මේ ලිපි මාලාව තවත් දුරට ගෙන යා හැකි බවක් පෙනෙනවා. නමුත් අනවශ්‍ය ලෙස දීර්ඝ ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් දෙක නොකියවූ අයට මෙතනින් පළමුවැනි කොටස සහ මෙතනින් දෙවැනි කොටස කියවන්න පුළුවන්. මා, මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන වේගය වැඩි බවත් එක් පාඨකයකු කියා තිබුණා. නමුත් මා තෝරාගෙන ඇති වාහන වර්ග රාශියක් ඇති නිසා විස්තර ලිවීම කෙටිකර පින්තූර වලට ප්‍රමුඛත්වය දියයුතු වෙනවා.
බෙන්ස් එකක් ලැබීම අද කාලයේ නම් හරියට රුපියල් ලක්ෂ 50ක් සමග ලිමොසීන් එකක් ලැබුණා වගේ. ඒ කාලයේ බෙන්ස් වාහන දකින්න ලැබුනේ කලාතුරකින්. ඒ නිසා බෙන්ස් රථයක් පාරේ යනවිට මිනිස්සු හැරිලා බලනවා. මට මතක තිබෙන මෝස්‌තර කීපයක් පහත දක්වනවා. බෙන්ස් ලාංඡනය විවිධ කාලවලදී දැක්වුණේ මෙහෙමයි.
බෙන්ස් වාහන නිපදවන්නේ ජර්මනියේ බව මම නොකිව්වාට ඔබ දන්නවා ඇති.
ජර්මනියේ නිෂ්පාදිත තවත් වාහන වර්ග ඒකාලයේ අපේ රටට ආවා. එයින් වඩාත් කැපීපෙනෙන වාහන වර්ගයක් වන්නේ ෆොක්ස්වැගන් Volkswagen වර්ගයේ වාහනයි. මේ වාහන වර්ගය ලංකාවේ අතිශයින්ම ජනප්‍රියවූ වාහන වර්ගයක්. මෙහි විවිධ මෝස්‌තර රාශියක් තිබුණු අතර එක මෝස්තරයක් හැඳින්වුණු ජනප්‍රිය නම වුණේ 'කනේ මයිල් මොඩල්' යන්නයි. වායුවෙන් සිසිල් වන එන්ජිමක් සහිතව එමෙන්ම එන්ජිම වාහනයේ පසුපස කොටසේ සවිකර නිපදවුණ මේ කාර් වර්ගය අලුත්වැඩියා කිරීමට විශේෂ දක්ෂතා ඇති කාර්මිකයන් එවකට හිටියේ බොහොම ටිකදෙනයි. මේ කාරයේ ඉදිරිපස පෙණුම සැකසුන ආකාරය ගැන එක්තරා කතාවක් තියනවා. නමුත් එය හුදෙක්ම කතාවක් පමණයි. මුලින්ම බලන්න ෆොක්ස්වැගන් ලාංඡනය කාලීනව වෙනස්වූ අයුරු.
මේ වාහනයේ මෝස්‌තර කීපයක් පහත දක්වනවා. ෆොක්ස්වැගන් බීට්ල් beetle මෝස්තරය තමයි වඩාත්ම ජනප්‍රිය මෝස්තරය වුණේ. කාලෙන් කාලෙට එහි විවිධ වෙනස්කම් සිදුවුනා. මුල් කාලයේ කාර් වල විදුලි පද්ධතිය වෝල්ට් 6 ක බැටරියකින් ක්‍රියා කලේ. රාත්‍රී කාලයේදී එහි ප්‍රධාන ලාම්පු වලින් නිකුත්වුනේ බොහොම අඩු එළියක්. නමුත් 1960 දශකයේ අග භාගය වනවිට වෝල්ට් 12 විදුලි පද්ධතිය සහිත ෆොක්ස්වැගන් කාර් නිපදවුනා. ෆොක්ස්වැගන් කාර් වල එන්ජිම තිබුණේ, ඉදිරිපස නෙවෙයි පසුපස කියලා ඔබ දන්නවා ඇති. එමෙන්ම ඒ එන්ජිම වායුවෙන් සිසිල්වන එන්ජිමක් Air cool engine මේ පහත පින්තූරයෙන්, වාහනයේ සැකැස්ම ගැන, ඔබට යම් අවබෝධයක් ලැබෙනු ඇති.
තවත් පින්තූර මෙහි පහත දක්වනවා.
අපි අද දිගටම කතාකරමින් ඉන්නේ ජර්මන් වාහන ගැන නිසා, තවත් ජර්මන් වාහන වර්ගයක් ගැන බලමු. මේ වර්ගයේ නම, බොග්වාර්ඩ් - Borgward මේ වාහන වර්ගය එතරම් ප්‍රචලිතව නොතිබුණත්, බොග්වාර්ඩ් ඉසබෙලා Borgward Isabella නමැති මෝස්තරය සෑහෙන්න දකින්න ලැබුන වාහනයක්. එය මනරම් පෙනුමකින් යුත් වාහනයක්. මේ ජර්මානු සමාගම 1961 දී බංකොලොත් වීම නිසා වසා දැමුණා.
බොග්වාර්ඩ් සමාගමේ නිෂ්පාදිත 'බොග්වාර්ඩ් හන්සා' කාර් ඉතා සීමිත සංඛ්‍යාවක් ඒ කාලේ අපේ රටේ දකින්න ලැබුණා. එය ඉතාම ලස්සන කාරයක් බව මතකයි.
හම්බර් - Humber වාහනත් එතරම් ජනප්‍රිය නොවුණු, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මහ විසාල කාර් වර්ගයක්. (මා වැරදීමකින් මෙය ජර්මනියේ කියා සඳහන් කර තිබුණා. නමුත් 711 Amila මට ඊ මේල් එකක් මගින් ඒ වැරදි බව පෙන්වා දුන්නා. ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා) නමුත් බොහොම ගරු ගාම්භීර පෙනුමක් නම් තිබුණා. ඒ වගේම මේ වාහන ආරක්‍ෂාව, ශක්තිය, කල්පැවැත්ම, සැප පහසුව, අතින් ඉතා උසස් වුනත්, ඉන්ධන පිරිමැසුම්දායක බව නම් බොහොම පහළයි.
අද ලිපියේ අවසාන කොටස වශයෙන් මා විස්තර කරන්නේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොවූ තවත් කාර් වර්ග කීපයක්. මුලින්ම දක්වන්නේ රෝල්ස් රොයිස් Rolls Royce වාහන. මේවා ඒ කාලේ ලංකාවේ ඉහලම ප්‍රභූ පැලැන්තියේ අය පාවිච්චි කළා මතකයි. එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා, අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා වැනි අයගේ නිළ රථ වශයෙන්, රෝල්ස් රොයිස් රථ තිබුණා මතකයි. රෝල්ස් රොයිස් රථයට ආවේනික වූ ඉදිරිපස සෙල් එක අති විශේෂ දෙයක්.
රෝල්ස් රොයිස් ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය සහ රෝල්ස් රොයිස් රථ වල පින්තූර පහත දක්වනවා.
වූල්ස්ලි Wolseley නම් වෙළඳ නාමයෙන් පැමිණි කාර් රථ සෑහෙන ගණනක් ලංකාවේ තිබුණා. මේ වාහන, කඳුකර මාර්ග වලට හොඳින් ඔරොත්තු දෙන බවත් මා අසා තිබෙනවා. 1975 දී මේ වාහන නිපදවීම අවසන් කර තිබෙනවා.
ට්‍රයම්ප් Triumph සමාගම විසින් නිපදවන ලද මේෆ්ලවර් Mayflower නමැති කාර් මෝස්තරය එතරම් ජනප්‍රිය නොවුනේ, එහි තිබුණු පෙට්ටි හැඩය නිසා වන්නට ඇති. මටත් මේ වාහනය පෙනුණේ හරිම කැත හැඩයක් තියන වාහනයක් විදිහටයි.
අදට මේ ඇති නේද? තවත් වාහන ගොඩක් ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.