මේ කතාව කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මා කියන්නට උත්සාහ කරනදේ ඔබ වටහාගනු ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් තියනවා. සමහරු කියනවා මම මානසික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්නවා කියලා. දොස්තරවරු කියනවලු ඒ තත්වයට කියන්නේ Stockholm Syndrome කියලා. මට ඒ මොකවත් තෙරුම්ගන්නවත්, පිළිගන්නවත් අවශ්‍ය නැහැ. මට වැදගත් මගේ කතාවයි. මම ඒ කතාව කියනකම් ඔබ අහගෙන ඉන්නවා නේද? ඔබ මාව තේරුම් ගත්තොත් මට ඒ ඇති.
ඔබට පුලුවන්ද ඔබේ සතුරා සමග ස්නේහයෙන් බැඳෙන්න? ඔහු ඔබට දරුණු ලෙස සලකද්දීත්, ඔහුට වචනයකින්වත් විරුද්ධ නොවී ඉන්න? ඔහු කවුදැයි කියා තවමත් හරිහැටි නොදැන, ඔහු සමග හැමදාම ඉන්නට වුනත් කැමතියි කියන්න? ..........මම එහෙම කළා.........
කතාව ඉවරවුනාම ඔබ කියයි මට පිස්සු කියලා. ඔව් මම දන්නවා මට පිස්සු. හැබැයි මට පිස්සු හැදෙව්වේ මගේම මාමා. මගේ සුන්දර ළමා ලෝකය විනාශ කරලා, ඔහුගේ සිතැඟි පරිදි, මාව මල් කැකුළක්, බෝනික්කියක්, වගේ කියා රවටා, මා විනාශ කලේ ඔහු. ඔහුගෙන් ලැබුනේ වැඩිහිටියකුගෙන් බලාපොරොත්තුවෙන රැකවරණය නෙවෙයි. විනාශය, වේදනාව, බලාපොරොත්තු සුන්වීම, කලකිරීම. මගේ අම්මා? ඔව් අම්මා.......එදා මම ඒ ඔක්කොම අම්මට කිව්වම, අම්මා කිව්වේ, කාටවත් කියන්න එපා කියන එක විතරයි. ඇයි අම්මේ එහෙම කළේ?..........ඇයි?....ඇයි?
මගේ නම 'වීරා ත්‍රිපාටි'. මගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුට බොහොම බලගතු දේශපාලනඥයන් සහ ලොකු ලොක්කන් සමග සමීප සබඳතා තියනවා. 'විනේ' කියන්නේ මගේ අනාගත සැමියා. අපේ විවාහය තීන්දුයි. මම හරිම කැමතියි ත්‍රාසය මුසු නිදහසට. මම විනේට පෙරැත්ත කළා හයිවේ එක දිගේ රාත්‍රියේ කාර් එකෙන් ටිකක් දුර යමු කියලා. ඔහු මුලදී අකමැති වුනත් මගේ දැඩි ඉල්ලීම නිසා එකඟ වුණා.
නමුත් අපි දෙන්නම නොසිතූ ඉරණමකට ගොදුරුවෙන්න සිදුවුනා අපිට. කාරෙකට ඉන්ධන ලබාගන්න ගිය වෙලාවේදී එක්තරා පිරිසක් විසින් මාව පැහැරගනු ලැබුවා. ඔවුන් කවුද මට මොනවා වෙයිද කියන එක මට හිතාගන්නවත් බැරිවුණා.
එතැන් සිට මට අත්වුණේ මහා පුදුම ඉරණමක්. මාව පැහැරගත් පිරිස දෙකඩ වුණා. එයට හේතුව මගේ පියා බලගතු පුද්ගලයකු කියා දැනගත් පසු, තමන් අමාරුවේ වැටෙයි කියා හිතපු පිරිසක් වෙන්වී යාම නිසයි. නමුත් මා පැහැරගත් 'මහබීර් භාති' නමැති පුද්ගලයා මා රැගෙන රට පුරාම නොනවතින ගමනක යෙදෙන්න පටන්ගත්තා. එක තැන රැඳුනොත් මා සොයාගනියි කියන බයටයි ඔහු එහෙම කළේ. මෙන්න මේ ලොරියෙන් තමයි මාව අරගෙන ගියේ.
මුලදී මේ ගමන මට විශාල කරදරයක්, හිරිහැරයක්, වදයක්, ලෙසයි දැණුනේ. නමුත් මගේ හිතේ ඉස්සර ඉඳලා තිබුන නිදහස සහ ස්වාධීනත්වය කියන හැඟීම් ඉස්මතු වුණේ මෙන්න මේ වෙලාවෙදියි. මාමගේ අතවර නිසා මට අපේ ගෙදර පෙනුණේ අපායක්, ගිනිගොඩක්, හිරගෙයක්, වගේ. එදා විනේ එක්ක නිදහසේ රවුමක් යන්න හිතුනෙත් ඒ නිසයි. මට ඕනේ කිරිල්ලියක් වගේ නිදහසේ පියාඹන්න. ඉතින් දැන් හිරකාරියක් ලෙස වුනත්, මම යන්නේ එක්තරා නිදහස් ගමනක් කියලයි මට හිතුණේ. ඒ නිසා මාව පැහැරගත් මහබීර් ට මම කිව්වා, මම පැනලා යන්නේ නැහැ මට නිදහසේ ඉන්න දෙන්න කියලා.
මට වැටහුනා මහබීර් ටිකෙන් ටික මාව තේරුම් ගන්න බව. මෙතෙක් දවස් ලොරියේ පිටිපස්සේ හංගගෙන ගිය මට, ලොරියේ ඉදිරිපස අසුනේ ඉඳගෙන යන්න අවස්ථාව ලබුණේ, මම කරපු එක පුදුමාකාර වැඩක් නිසා. එක තැනකදී පොලීසියෙන් ලොරිය පරීක්ෂා කරද්දී, මම කාටවත් හොයන්න බැරිවෙන්න ලොරිය ඇතුළේ හැංගුනා. ඒ නිසා වෙන්න ඇති මහබීර් ටිකක් මට බුරුලක් දුන්නේ. ඒ ගමන්ම මහබීර් සමග වචනයක් දෙකක් කතාකරන්න මට පුළුවන්කම ලැබුණා. මම උත්සාහ කළේ හැකිතරම් ඔහුගේ සිතට එබී බලන්නයි. නමුත් ඔහුගේ හිතේ තියෙන්න ඇත්තේ, මාව ඇපයට තියා කප්පම් ගන්න බවත්, හැකිනම් මාව ගණිකා මඩමකට විකුනන්න ඔහු නොපැකිලෙන බවත්, මම දැනහිටියා. ඒ ඔක්කොම එහෙම වුනත්, මට ඔහු සමග කිසියම් සුහදතාවක් ගොඩනගාගන්න ඕනෑවුණා.
තමන් මහා දරුණු මිනීමරුවෙක් මංකොල්ල කාරයෙක් කියලා මහබීර් මට බොහොම දරදඬු විදිහට කියලා තිබුණා. නමුත් මට හිතුනා ඔහුට තවත් ටිකක් ළංවී බලන්න. මහබීර් කුඩා කාලයේදී ඔහුගේ මව කියාදුන් නැලවිලි ගීතයක් මට අල්ලාගන්න පුළුවන් වුණා. මම ඒ ගීතය ටිකෙන්ටික මුමුනද්දී ඔහු වෙනස්වුනා. හරියට නයි නලාවේ හඬින් දැපනේ වැටෙන නයකු වගේ.
ඔහුගේ ගල් හිත මොලොක් කරන මන්තරේ මට අහුවීමේ ප්‍රඵලය වුණේ, ඔහු තුළ මා කෙරෙහි යම් සෙනෙහසක්, අනුකම්පාවක්, වැනි හැඟීමක් ඇතිවීමයි.
නමුත් ඔහුට හිතෙන්න ඇති ඔහුගේ ප්‍රධාන අරමුණ මේ විදිහට මා එක්ක බැඳීමක් ඇතිකරගන්න එක නෙවෙයි කියලා. අනික් අතට මාව නිකම්ම අතහැරලා දාලා යාමෙන් මට අනතුරක් වෙයි කියන හැඟීමත් ඔහු තුළ තියෙන්න ඇති. ඒ නිසා ඔහු එක් දිනක් මාව රැගෙන පොලීසියක් ළඟට ගොස් මට කරුණාවෙනුත්, තදිනුත්, කිව්වා පොලීසියට භාරවෙන්න කියලා. නමුත් මට ඕනෑවුණේ මහබීර් එක්ක යන මේ කෙළවරක් නොදත් ගමනේ දිගටම යෙදීම මිසක් ආපහු ගෙදර යාම නෙවෙයි.
අන්තිමේදී ඔහු තීරණයක් ගත්තා. ඔහු මාවත් රැගෙන ඉන්දියාවේ ඇති සුන්දරතම ප්‍රදේශයක් වන කාශ්මීරයට ගියා. ඒ ගමන මගේ ජීවිතයේ සුන්දරතම අත්දැකීමක් වුණා. ඔබ කවදාහරි බස් රථයක වහලය මත නැගී ගමන් කර තියනවද. සීතල හිම කඳු අතරින් ගිය ඒ ගමන මටනම් දැනුනේ දිව්‍ය ලෝකයට යනවා වගේ.
කාශ්මීරයෙදී අපි එඬේර ගම්මානයක ජනතාව සමග මිතුරු වුණා. ඔවුන් අපිට නවාතැන් දුන්නා ඔවුන්ගේ නිවහනක. ජීවිතයේ පළමුවෙනි වතාවට, මම, අර පෙම්වතුන්ගේ සිහිනයක් වන, ලස්සන පලාතක ඈත කන්දක හදපු, පුංචි ගෙයක මගේ සිතගත් කෙනා එක්ක තනිවුනා. එදා ඔහුගේ සිත මුළුමනින්ම විවර වුණා. ඔහු කුඩා දරුවකු මෙන් හඬා වැලපුනා. ආදරය, සෙනෙහස, අනුකම්පාව, ප්‍රේමය, ආත්මාවබෝධය, වැනි සියලු සීමාවන් පසුකර යන්නට අපි දෙදෙනාට හැකිවුණේ ඒ සුන්දර පරිසරය තුළදීයි.
ඒ පුංචි නිවහනේ ගතකල රාත්‍රියෙන් පසු මට දැනුනේ මගේ ජීවිතයේ සියල්ල සම්පූර්ණ වූ බවයි. පසුදා උදේ ඔහු ඒ පුංචි නිවහනට පහළින් ඇති මිටියාවතේ සිටියා. මා ඔහු දෙස බලාගෙන, කවදත් ටිකක් සැර මගේ කට පාවිච්චි කරමින් හිටියා. ඒ වෙලාවේ...............
ඔව්, ඒ වේලාවෙන් පස්සේ මොකද වුණේ කියලා ඔබම බලනවානම් තමයි හොඳ.