හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 August 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two)

TankLogoGIF  කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්‍රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ ප්‍රවෘත්ති නරඹනවා නම් යුද්ධ ටැංකි සටන් බිම තුළ ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ජාත්‍යන්තර යුධ න්‍යාය අනුව යම්කිසි රටක යුද ශක්තිය පිළිබඳව තක්සේරු කිරීමේදී ඒ රට සතුව කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තිබේද යන්නත් ඉතා වැදගත් සාධකයක්.


   අපි වගේ පුංචි රටකට නම්, ප්‍රතිවාදී හමුදාවක් සමග, යුද ටැංකි යොදාගෙන, මහා පරිමාණ ගොඩබිම් සටන් කරන්නට අවස්ථාවක් එළඹෙයි කියා, හිතන්නට අමාරුයි. නමුත්, මහා විශාල ගොඩබිමක් හිමි දැවැන්ත රටවලට නම්, යුද්ධයේදී යුද ටැංකිය ඉතා තීරණාත්මක සාධකයක්. අපි බලමුද, ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තියනවද කියලා. මේ තොරතුරු බොහෝවිට ලබාගන්නා ක්‍රම කීපයක් තිබෙනවා. එක ක්‍රමයක් තමයි ඔත්තු සේවා, ජාත්‍යන්තර මට්ටමේ ඔත්තු සේවා ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. එයින් සමහරක් තොරතුරු අන්තර්ජාලයේත් පළවෙනවා. තවත් ක්‍රමයක් තමයි රටරටවල් අතර සිදුවන නීත්‍යානුකූල මෙන්ම ලෝකයේ ඇස වසා කෙරෙන අවි ගණුදෙනු පිලිබඳ වාර්තා සොයාගැනීම. මා මෙහිදී දක්වන්නේ, ලෝකයේ රටවල් කීපයක තිබෙන, සියලුම මෝස්‌තර වලට අයත් යුද ටැංකිවල එකතුව, කොපමණද කියන එක පමණයි. 


                 රට                        යුද ටැංකි ප්‍රමාණය (2011 වර්ෂයේදී පමණ)
  1. ඇමරිකා එක්සත් ජනපදය                 6700 යි
  2. රුසියානු සමූහාණ්ඩුව                       23725 යි
  3. චීන ජනරජය                                    8500 යි (දැනට දන්න ප්‍රමාණය)
  4. ජර්මනිය                                          2000 යි
  5. ප්‍රංශය                                              407 යි
  6. ඊජිප්තුව                                           3095 යි
  7. ඕස්ට්‍රේලියාව                                    59 යි
  8. ජපානය                                           889 යි
  9. ඉන්දියාව                                        3712 යි
  10. පාකිස්ථානය                                  2620 යි
  11. දකුණු කොරියාව                            3122 යි
  12. උතුරු කොරියාව                            5213 යි
  13. ශ්‍රී ලංකාව                                      245 යි (ආසන්න වශයෙන්)                                                                                                                                                                                                          
 මොකද හිතෙන්නේ?......විශාල බිම් ප්‍රදේශයක් තිබෙන, වෙනත් රටවල් ගොඩකින් වටවෙලා ඉන්න, ඒ වගේම, තමන් සමග එදිරිවාදී රටවල් තිබෙන රාජ්‍යයන් තමයි, යුද්ධ ටැංකි ගොඩ ගහගෙන ඉන්නේ. තවත් වැදගත් හේතුවක් තමයි තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි තමන්ට යාළුවො හෝ තරහ කාරයෝ වැඩිවෙන්නේ. ඒ අනුව තමයි තමන්ට තියන තර්ජන අඩු වැඩි වෙන්නේ. හොඳයි, ඒ ගැන ඒ ටික ඇති නේද? පසුගිය ලිපියෙන් අපි දැක්කනේ මුල්ම පරම්පරාවේ යුද්ධ ටැංකි.


   අපි අද බලමු දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ යුද්ධ ටැංකි නිපදවීම අතින් විශේෂ දක්ෂතා දැක්වුවේ ජර්මනියයි. මුල් යුගයේදී යුද බිම හෙල්ලුවෙත් ජර්මන් යුද්ධ ටැංකි. නමුත්, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, චෙකොස්ලෝවේකියාව, ස්වීඩනය, වැනි රටවල් යුද ටැංකි නිපදවීම අතින් අතීතයේ සිටම බොහොම ප්‍රසිද්ධයි. අපේ අසල්වැසියා වන ඉන්දියාවත් අද ඉතා සාර්ථකව යුද ටැංකි නිපදවනවා. මෙන්න දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ සියල්ලම දෙවැනි ලෝක යුද සමයටයි අයිති. 


Churchill_VII


1280px-Königstiger_Thun_1


1280px-Yanks_advance_into_a_Belgian_town


1280px-Stridsvagn_m40K


Tank_LT-34 (1)


මෙච්චර දියුණු අවි ආයුධ තියන නවීන ලෝකයට
මේ යුද්ධ ටැංකි කියන යකඩ ගොඩවල් ඕනෙද?

1280px-Flickr_-_Israel_Defense_Forces_-_188th_Brigade_Training_Day,_March_2008-cropped   අපොයි ඔහොම කියන්නේ නෑ, යුද්ධ ටැංකියක තියන බලය ගැන දන්නවනම්. හිතෙන් මවාගන්න පුළුවන්ද, මහා සද්දන්ත යුද්ධ ටැංකි 50ක් 60ක්, එකපාරම අපේ මූණට එනකොට, දැනෙන්නේ කොහොමද කියලා. ඇත්තටම පොළොව හෙල්ලෙනවා වගේ දැනෙනවා. ඒ ටැංකිවල තියන මහ තුවක්කු වලිනුයි, බර මැෂින් තුවක්කු වලිනුයි, වෙඩි තියන්න පටන් ගත්තම දැනෙන්නේ, හෙණ ගහලා අහස කඩා වැටෙනවා වගේ. මේ පහත දැක්වෙන වීඩියෝවේ පළමුවැනි විනාඩි දෙක පමණක් බලන්න. 





යුද්ධ ටැංකි වලින් කොහොමද ඔච්චර ලොකු දෙයක් කරන්නේ?


3_AD_Iraq

   යුද්ධ ටැංකිය කියන්නේ, ගොඩබිමේ වෙනත් වාහන වලට යන්න අමාරු තැන් වලටත්, පහසුවෙන් ගමන් කරන්න පුළුවන්, සන්නද්ධ රථයක්. බුල්ඩෝසරයක මෙන්, තනිකරම යකඩෙන් තැනු ට්‍රැක් දෙකකින් තමයි, යුද්ධ ටැංකියක් ගමන් කරන්නේ. සමහ ටැංකිවල, ඒ ට්‍රැක් වලට රබර් කොට්ට හයි කරලා තියනවා. ඒ ටැංකි, පැයට කි.මී. 60 කටත් වඩා වේගයෙන් රළු භූමි ප්‍රදේශ වල ගමන් කරනවා. (හයි වේ එකකට දැම්මොත් ප්‍රාඩෝ පරාදයි :D) ඒ වගේම තමයි යුද්ධ ටැංකියක සවිකර තිබෙන්නේ විශේෂ ආකාරයේ තුවක්කුවක්.


   මතකද මම කිව්වා කාලතුවක්කු ගැන කතාකරද්දී, කාලතුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන් වෙන්නේ උණ්ඩය පරාවලයාකාර ගමන් මාර්ගයක යන ආකාරයටයි කියලා. නමුත් යුද්ධ ටැංකියක තියන 'මහ තුවක්කුවකින් - Main Gun' (පෙනෙන්නේ කාලතුවක්කුවක් වගේ) කෙළින්ම ඉදිරියේ ඇති ඉලක්ක වෙත වෙඩි තියන්න පුළුවන්. ඒ තුවක්කුවේ ඇති වාසිය තමයි, ඉදිරියේ ඇති වෙනත් යුද ටැංකි, සන්නද්ධ රථ, බර වාහන, ගොඩනැගිලි, ආදී සියල්ලටම කෙළින්ම ඇදීගොස්, ඉලක්කයේ වැදී පිපිරීමෙන්, අති මහත් හානියක් කරන, විවිධ උණ්ඩ වර්ග සහ සමහරවිට මිසයිල්ද යැවීමට හැකිවීම. එමෙන්ම යුද්ධ ටැංකියකට ප්‍රධාන තුවක්කුවට අමතරව විවිධ පරිමාණයේ බර මැෂින් තුවක්කු සවි කරන්නටත් පුළුවන්. එමගින් ගුවන් යානා නාශක ශක්තියද ලැබෙනවා.


   යුද ටැංකියකින් ඇතිකරන කම්පනය (shock action) යුද බිමේ සිටින සතුරු පාබල හමුදා සොල්දාදුවන්ව භීතියට පත්කරනවා. එමෙන්ම යුද්ධ ටැංකියකට පුළුවන් සමහර ගොඩනැගිලි කඩා දමන්නට, වෙනත් වාහන යටකරගෙන යන්නට. කාලතුවක්කුවක් ඉක්මනින් එහාට මෙහාට හරවා හරවා වෙඩි තියන්න බැහැ. නමුත් යුද්ධ ටැංකි තුවක්කුව ක්‍ෂණයකින් හරවන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. තවත් දෙයක් තියනවා ඒ තමයි 'ටැංකි යුද්ධය - Tank Battle' ඒ කියන්නේ යුද බිමේදී දෙපසේ යුද ටැංකි ගහගන්නවා. එතැනදී පාබල සෙබළුන්ට පුළුවන් බලා ඉන්න, මේ සද්දන්තයෝ ගහගෙන ඉවර වෙනතුරු. ටැංකි සටනින් දිනුවොත්, බලය තහවුරු කරගැනීම බොහොම පහසුයි. 1990 දශකයේදී ගල්ෆ් යුද්ධයේදී ටැංකි යුද්ධය මහා පරිමාණයෙන් සිදුවුනා. 


   (සාමාන්‍යයෙන් මහජනතාව ගැවසෙන ප්‍රදේශයක මහා මාර්ගයක යුද ටැංකි ධාවනය කරන්නේ නැහැ. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්න වුනොත්, වෙනත් වාහන එහි හැපුනාට වග කියන්නෙත් නැහැ. පුත්තලම ප්‍රදේශයේදී මේ අත්දැකීම මට ලැබුනා. මා ඉදිරිපිටදීම, නොසැළකිල්ලෙන්, හරස් පාරක සිට ප්‍රධාන පාරට දැමූ වෑන් රථයක්, සන්නද්ධ රථයක ගැටුනා. මගීන්ට කිසිම හානියක් නොවුනත්, වෑන් එකට බරපතල හානි වුණා. නමුත් සන්නද්ධ රථයට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ පොලීසිය විසින්. වෑන් රථයේ අයිතිකරුට කිව්වා, නීතිය මේකයි. රක්ෂණය ලබාගැනීමට උදව් කරන්නම් කියා) 






යුද්ධ ටැංකියකත් කෑලි බෑලි මහා ගොඩක් ඇති නේද?

   අපොයි මේ මොනවා කියනවද. හරිම සංකීර්ණයි. අනික් එක එව්වා සිංහලෙන් නම් කරන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා කොටස් නම් කරන පින්තූරෙයි ඒ කොටස් වලට කියන නම් ටිකයි විතරක් පෙන්නන්නම්.


M1 Abrams-TUSK.svg


ariete6


   කොහොමද වැඩේ? සෙල්ලමක් නෙවෙයි නේද? ඇත්තටම යුද්ධ ටැංකියක් කියන්නේ මහා සද්දන්ත යුද යන්ත්‍රයක්. එය හැසිරවීම, යුද බිමේ යෙදවීම, ඉතා කල්පනාකාරේව සහ සැලසුම් සහගතව කලයුතුයි. කවදාවත් තනි යුද්ධ ටැංකියක් සටනට යවන්නේ නැහැ. අවම තුනක්වත් තියෙන්න ඕනෙ.


   හිතෙන්නේ නැද්ද යුද්ද ටැංකියක් එළවලා බලන්න? යුද්ද ටැංකියක රියැදුරා, සෑමවිටම, පොඩි කවුළුවකින් බලාගෙන තමයි එලවන්නේ. නමුත්, ඒ කවුළුව වසා දමා, පෙරිස්කෝප් එක මගින් පමණක් ඉදිරිය බලාගෙන එලවන්න වෙනවා, යුද පිටියේදී. ඔන්න ඉතිං‍....... පෙරිස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා අමතක කරලනේ. මතක නැද්ද මම කියලා දුන්නා කාලෙකට උඩදී? ඔබ දන්නවද නවීන යුද ටැංකිවල ඇතුළත සම්පූර්ණයෙන් වායු සමනය කරලයි තියෙන්නේ. ඒ මොකටද අප්පේ ඒ?.......... එච්චර සැප ඕනෙද?........ ඇයි අනේ අමතකද, යුද්ද ටැංකියක් කියන්නේ මහ ඝන යකඩ පෙට්ටියක් කියලා. කොහොමද ඒක ඇතුළේ තියන රස්නේ? ඉතිං ඇතුළේ ඉන්න අය තැම්බෙන එක වළක්වන්නයි, පොඩි 'ඒ සී පාරක්' දාලා තියෙන්නේ. හොඳයි එහෙනම් පෙන්නනද ඇතුළේ හැටි සහ එලවන හැටි? ඔන්න බලාගන්න. වීඩියෝව විනාඩි 1යි තත්පර 47 සිට තත්පර 30ක් පමණ බලන්න. 





   අදට මේ ඇති නේද? තව විස්තර ගොඩක් තියනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ. ඒ නිසා යුද්ද ටැංකි සෙල්ලම් බලමු ඉදිරි කොටස් වලදී.


my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 02 වැනි දින 0910 පැය

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }