කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්‍රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ ප්‍රවෘත්ති නරඹනවා නම් යුද්ධ ටැංකි සටන් බිම තුළ ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ජාත්‍යන්තර යුධ න්‍යාය අනුව යම්කිසි රටක යුද ශක්තිය පිළිබඳව තක්සේරු කිරීමේදී ඒ රට සතුව කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තිබේද යන්නත් ඉතා වැදගත් සාධකයක්.
අපි වගේ පුංචි රටකට නම්, ප්‍රතිවාදී හමුදාවක් සමග, යුද ටැංකි යොදාගෙන, මහා පරිමාණ ගොඩබිම් සටන් කරන්නට අවස්ථාවක් එළඹෙයි කියා, හිතන්නට අමාරුයි. නමුත්, මහා විශාල ගොඩබිමක් හිමි දැවැන්ත රටවලට නම්, යුද්ධයේදී යුද ටැංකිය ඉතා තීරණාත්මක සාධකයක්. අපි බලමුද, ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තියනවද කියලා. මේ තොරතුරු බොහෝවිට ලබාගන්නා ක්‍රම කීපයක් තිබෙනවා. එක ක්‍රමයක් තමයි ඔත්තු සේවා, ජාත්‍යන්තර මට්ටමේ ඔත්තු සේවා ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. එයින් සමහරක් තොරතුරු අන්තර්ජාලයේත් පළවෙනවා. තවත් ක්‍රමයක් තමයි රටරටවල් අතර සිදුවන නීත්‍යානුකූල මෙන්ම ලෝකයේ ඇස වසා කෙරෙන අවි ගණුදෙනු පිලිබඳ වාර්තා සොයාගැනීම. මා මෙහිදී දක්වන්නේ, ලෝකයේ රටවල් කීපයක තිබෙන, සියලුම මෝස්‌තර වලට අයත් යුද ටැංකිවල එකතුව, කොපමණද කියන එක පමණයි.
රට යුද ටැංකි ප්‍රමාණය (2011 වර්ෂයේදී පමණ)
- ඇමරිකා එක්සත් ජනපදය 6700 යි
- රුසියානු සමූහාණ්ඩුව 23725 යි
- චීන ජනරජය 8500 යි (දැනට දන්න ප්‍රමාණය)
- ජර්මනිය 2000 යි
- ප්‍රංශය 407 යි
- ඊජිප්තුව 3095 යි
- ඕස්ට්‍රේලියාව 59 යි
- ජපානය 889 යි
- ඉන්දියාව 3712 යි
- පාකිස්ථානය 2620 යි
- දකුණු කොරියාව 3122 යි
- උතුරු කොරියාව 5213 යි
- ශ්‍රී ලංකාව 245 යි (ආසන්න වශයෙන්)
මොකද හිතෙන්නේ?......විශාල බිම් ප්‍රදේශයක් තිබෙන, වෙනත් රටවල් ගොඩකින් වටවෙලා ඉන්න, ඒ වගේම, තමන් සමග එදිරිවාදී රටවල් තිබෙන රාජ්‍යයන් තමයි, යුද්ධ ටැංකි ගොඩ ගහගෙන ඉන්නේ. තවත් වැදගත් හේතුවක් තමයි තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි තමන්ට යාළුවො හෝ තරහ කාරයෝ වැඩිවෙන්නේ. ඒ අනුව තමයි තමන්ට තියන තර්ජන අඩු වැඩි වෙන්නේ. හොඳයි, ඒ ගැන ඒ ටික ඇති නේද? පසුගිය ලිපියෙන් අපි දැක්කනේ මුල්ම පරම්පරාවේ යුද්ධ ටැංකි.
අපි අද බලමු දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ යුද්ධ ටැංකි නිපදවීම අතින් විශේෂ දක්ෂතා දැක්වුවේ ජර්මනියයි. මුල් යුගයේදී යුද බිම හෙල්ලුවෙත් ජර්මන් යුද්ධ ටැංකි. නමුත්, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, චෙකොස්ලෝවේකියාව, ස්වීඩනය, වැනි රටවල් යුද ටැංකි නිපදවීම අතින් අතීතයේ සිටම බොහොම ප්‍රසිද්ධයි. අපේ අසල්වැසියා වන ඉන්දියාවත් අද ඉතා සාර්ථකව යුද ටැංකි නිපදවනවා. මෙන්න දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ සියල්ලම දෙවැනි ලෝක යුද සමයටයි අයිති.
මෙච්චර දියුණු අවි ආයුධ තියන නවීන ලෝකයට
මේ යුද්ධ ටැංකි කියන යකඩ ගොඩවල් ඕනෙද?
අපොයි ඔහොම කියන්නේ නෑ, යුද්ධ ටැංකියක තියන බලය ගැන දන්නවනම්. හිතෙන් මවාගන්න පුළුවන්ද, මහා සද්දන්ත යුද්ධ ටැංකි 50ක් 60ක්, එකපාරම අපේ මූණට එනකොට, දැනෙන්නේ කොහොමද කියලා. ඇත්තටම පොළොව හෙල්ලෙනවා වගේ දැනෙනවා. ඒ ටැංකිවල තියන මහ තුවක්කු වලිනුයි, බර මැෂින් තුවක්කු වලිනුයි, වෙඩි තියන්න පටන් ගත්තම දැනෙන්නේ, හෙණ ගහලා අහස කඩා වැටෙනවා වගේ. මේ පහත දැක්වෙන වීඩියෝවේ පළමුවැනි විනාඩි දෙක පමණක් බලන්න.
යුද්ධ ටැංකි වලින් කොහොමද ඔච්චර ලොකු දෙයක් කරන්නේ?
යුද්ධ ටැංකිය කියන්නේ, ගොඩබිමේ වෙනත් වාහන වලට යන්න අමාරු තැන් වලටත්, පහසුවෙන් ගමන් කරන්න පුළුවන්, සන්නද්ධ රථයක්. බුල්ඩෝසරයක මෙන්, තනිකරම යකඩෙන් තැනු ට්‍රැක් දෙකකින් තමයි, යුද්ධ ටැංකියක් ගමන් කරන්නේ. සමහ ටැංකිවල, ඒ ට්‍රැක් වලට රබර් කොට්ට හයි කරලා තියනවා. ඒ ටැංකි, පැයට කි.මී. 60 කටත් වඩා වේගයෙන් රළු භූමි ප්‍රදේශ වල ගමන් කරනවා. (හයි වේ එකකට දැම්මොත් ප්‍රාඩෝ පරාදයි :D) ඒ වගේම තමයි යුද්ධ ටැංකියක සවිකර තිබෙන්නේ විශේෂ ආකාරයේ තුවක්කුවක්.
මතකද මම කිව්වා කාලතුවක්කු ගැන කතාකරද්දී, කාලතුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන් වෙන්නේ උණ්ඩය පරාවලයාකාර ගමන් මාර්ගයක යන ආකාරයටයි කියලා. නමුත් යුද්ධ ටැංකියක තියන 'මහ තුවක්කුවකින් - Main Gun' (පෙනෙන්නේ කාලතුවක්කුවක් වගේ) කෙළින්ම ඉදිරියේ ඇති ඉලක්ක වෙත වෙඩි තියන්න පුළුවන්. ඒ තුවක්කුවේ ඇති වාසිය තමයි, ඉදිරියේ ඇති වෙනත් යුද ටැංකි, සන්නද්ධ රථ, බර වාහන, ගොඩනැගිලි, ආදී සියල්ලටම කෙළින්ම ඇදීගොස්, ඉලක්කයේ වැදී පිපිරීමෙන්, අති මහත් හානියක් කරන, විවිධ උණ්ඩ වර්ග සහ සමහරවිට මිසයිල්ද යැවීමට හැකිවීම. එමෙන්ම යුද්ධ ටැංකියකට ප්‍රධාන තුවක්කුවට අමතරව විවිධ පරිමාණයේ බර මැෂින් තුවක්කු සවි කරන්නටත් පුළුවන්. එමගින් ගුවන් යානා නාශක ශක්තියද ලැබෙනවා.
යුද ටැංකියකින් ඇතිකරන කම්පනය (shock action) යුද බිමේ සිටින සතුරු පාබල හමුදා සොල්දාදුවන්ව භීතියට පත්කරනවා. එමෙන්ම යුද්ධ ටැංකියකට පුළුවන් සමහර ගොඩනැගිලි කඩා දමන්නට, වෙනත් වාහන යටකරගෙන යන්නට. කාලතුවක්කුවක් ඉක්මනින් එහාට මෙහාට හරවා හරවා වෙඩි තියන්න බැහැ. නමුත් යුද්ධ ටැංකි තුවක්කුව ක්‍ෂණයකින් හරවන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. තවත් දෙයක් තියනවා ඒ තමයි 'ටැංකි යුද්ධය - Tank Battle' ඒ කියන්නේ යුද බිමේදී දෙපසේ යුද ටැංකි ගහගන්නවා. එතැනදී පාබල සෙබළුන්ට පුළුවන් බලා ඉන්න, මේ සද්දන්තයෝ ගහගෙන ඉවර වෙනතුරු. ටැංකි සටනින් දිනුවොත්, බලය තහවුරු කරගැනීම බොහොම පහසුයි. 1990 දශකයේදී ගල්ෆ් යුද්ධයේදී ටැංකි යුද්ධය මහා පරිමාණයෙන් සිදුවුනා.
(සාමාන්‍යයෙන් මහජනතාව ගැවසෙන ප්‍රදේශයක මහා මාර්ගයක යුද ටැංකි ධාවනය කරන්නේ නැහැ. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්න වුනොත්, වෙනත් වාහන එහි හැපුනාට වග කියන්නෙත් නැහැ. පුත්තලම ප්‍රදේශයේදී මේ අත්දැකීම මට ලැබුනා. මා ඉදිරිපිටදීම, නොසැළකිල්ලෙන්, හරස් පාරක සිට ප්‍රධාන පාරට දැමූ වෑන් රථයක්, සන්නද්ධ රථයක ගැටුනා. මගීන්ට කිසිම හානියක් නොවුනත්, වෑන් එකට බරපතල හානි වුණා. නමුත් සන්නද්ධ රථයට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ පොලීසිය විසින්. වෑන් රථයේ අයිතිකරුට කිව්වා, නීතිය මේකයි. රක්ෂණය ලබාගැනීමට උදව් කරන්නම් කියා)
යුද්ධ ටැංකියකත් කෑලි බෑලි මහා ගොඩක් ඇති නේද?
අපොයි මේ මොනවා කියනවද. හරිම සංකීර්ණයි. අනික් එක එව්වා සිංහලෙන් නම් කරන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා කොටස් නම් කරන පින්තූරෙයි ඒ කොටස් වලට කියන නම් ටිකයි විතරක් පෙන්නන්නම්.
කොහොමද වැඩේ? සෙල්ලමක් නෙවෙයි නේද? ඇත්තටම යුද්ධ ටැංකියක් කියන්නේ මහා සද්දන්ත යුද යන්ත්‍රයක්. එය හැසිරවීම, යුද බිමේ යෙදවීම, ඉතා කල්පනාකාරේව සහ සැලසුම් සහගතව කලයුතුයි. කවදාවත් තනි යුද්ධ ටැංකියක් සටනට යවන්නේ නැහැ. අවම තුනක්වත් තියෙන්න ඕනෙ.
හිතෙන්නේ නැද්ද යුද්ද ටැංකියක් එළවලා බලන්න? යුද්ද ටැංකියක රියැදුරා, සෑමවිටම, පොඩි කවුළුවකින් බලාගෙන තමයි එලවන්නේ. නමුත්, ඒ කවුළුව වසා දමා, පෙරිස්කෝප් එක මගින් පමණක් ඉදිරිය බලාගෙන එලවන්න වෙනවා, යුද පිටියේදී. ඔන්න ඉතිං....... පෙරිස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා අමතක කරලනේ. මතක නැද්ද මම කියලා දුන්නා කාලෙකට උඩදී? ඔබ දන්නවද නවීන යුද ටැංකිවල ඇතුළත සම්පූර්ණයෙන් වායු සමනය කරලයි තියෙන්නේ. ඒ මොකටද අප්පේ ඒ?.......... එච්චර සැප ඕනෙද?........ ඇයි අනේ අමතකද, යුද්ද ටැංකියක් කියන්නේ මහ ඝන යකඩ පෙට්ටියක් කියලා. කොහොමද ඒක ඇතුළේ තියන රස්නේ? ඉතිං ඇතුළේ ඉන්න අය තැම්බෙන එක වළක්වන්නයි, පොඩි 'ඒ සී පාරක්' දාලා තියෙන්නේ. හොඳයි එහෙනම් පෙන්නනද ඇතුළේ හැටි සහ එලවන හැටි? ඔන්න බලාගන්න. වීඩියෝව විනාඩි 1යි තත්පර 47 සිට තත්පර 30ක් පමණ බලන්න.
අදට මේ ඇති නේද? තව විස්තර ගොඩක් තියනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ. ඒ නිසා යුද්ද ටැංකි සෙල්ලම් බලමු ඉදිරි කොටස් වලදී.
හිටි හැටියෙ පිස්සු පොරවල් ඕව පැහැරගෙන පාරවල් දිගේ වාහන පොඩි කරගෙන යන අවස්ථාවලුත් තියෙනව නේද?
ReplyDeleteඇයි අර මිස්ටර් බීන් ගෙ කහපාට මිනි කාර් එකත් චප්පං කරන් යන්නේ? :-)
Deleteහපොයි ඔව්. ඒ ජාතියේ මානසික රෝගියෝ ඉන්නවා. මේ තියෙන්නේ ඒ වගේ සිද්ධියකට අදාළ වීඩියෝවක්.
Deletehttps://www.youtube.com/watch?v=6cio9DY-cC0
මටත් මතක් උනේ බීන්ව.
Deleteමේවා මඩ සහිත වැසි සහිත. පසුබිමකදි එරෙන්න බලනවා ඇති නේද? දැන් අර රජකාලෙ වගේ නගරෙ වටේ පට්ට දිය අගල් දෙක තුනක් තිබුනොත් ඒවයින් එතෙර වෙලා සටනට යන්න මේ ටැංකි වලට හැකි වෙයිද?
ReplyDeleteනැහැ අමිල. මඩ හෝ වැසි සහිත තත්වයන් යුද ටැංකි වලට අභියෝගයක් නෙවෙයි. එරුනත්, ටැංකියේ සිට ගහකට වානේ කේබලයක් දමා, වින්ච් කිරීමෙන්, ගොඩ එනවා. බැරිම තැනකදී උදව් වෙන්න 'ස්ටෝල්වර්ට් stalwart' නමින් වෙනම වාහනයක් (ටැංකියක්) තියනවා.
Deleteමේ පෙන්වන්නේ ස්ටෝල්වර්ට් එකකින් ලොකු වැගන් එකක් අදින හැටි.
https://www.youtube.com/watch?v=zVP8bSmtaCA
මේක බලන්න. මේ වගේ ත්ව ඔහොම යුධ ටැංකි එකතු කරන කට්ටිය ලෝකෙ ඉන්න්ව. මම ඊයෙ අහම්බෙන් නැට්ජියෝ ප්‍රෝග්‍රෑම් එහෙක දැක්කෙ!
ReplyDeletehttp://www.mishalov.net/military-vehicles/military-vehicles.html
බොහොම ස්තුතියි. බොහොම වැදගත් සහ වටිනා තොරතුරු ගොඩක් එතන තියනවා.
Deleteවිචාරක..සුපිරි විස්තර ටිකක් දීල තියෙන්නේ...
ReplyDeleteපිස්සු හැදෙනවා ටැංකි වල වැඩ ටික දැක්කම.
ඉතිරි කොටස් වලදී මීටත් වඩා දේ දැකගන්න ලැබෙයි.
Deleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
මං ඉන්න පලාතේ එක රිටයර්ඩ් ආමි පොරක් de-activated tank එකක් අරන් පාව්ච්චි කරනවා. පොර ෂොපින් යන්නෙත් ඒකේ. හැබැයි දුරගමන් යන්නෙ නෑලු, පෙට්‍රල් වියදම වැඩි නිසා. හොයලා බලපුවාම de-activate කරපු මිලිටරි වාහන අරන් පාවිව් කරන අය ඉන්නවා. වාහන ගන්ට පුළුවන් වෙබ් සයිට් එකක් තියෙනවා. ට්‍රේනින් කරන තැනුත් තියෙනවා. මේක බලන්ට..http://www.milweb.net/classifieds.php?type=1
ReplyDeletehttp://www.dailymail.co.uk/news/article-409518/Man-shells-14k-army-tank-supermarket-run.html
ෂඃ...........පිස්සු හැදෙන විස්තරනේ එතන තියෙන්නේ. අපිට නම් හීනයක් වගේ නේ. ඔක්කොටම වඩා කොයිතරම් නිදහසක් හා සාමයක් තියෙන්න ඕනෙද මේ දේවල් මේ විදිහට පාවිච්චි කරන්න.
Deleteබොහොම ස්තුතියි මේ අගනා තොරතුරු වලට.
විචාරක මහත්මයාටත් එකක් අරන් තියාගන්න තියෙන්නෙ කඩේ එහෙම යන්න..
Deleteගොඩක් ස්තුතියි දැනුම බෙදා ගන්නවට .. මං ආසම සෙට් එක T90 පස්සේ අපු tank ටික. අපේ රටේ තියෙනවද මොනවා හරි T Tank ?
ReplyDeleteඔව් අපේ හමුදාවේ තියනවා T55, T63, T69 වගේ ටැංකි.
Deleteඇගයීම ගැන ස්තුතියි.
ඉස්සර කාලෙ heavy cavalry දැන් කාලෙ battle tanks, ඕවා ඔහොම තමා ඉතින්.
ReplyDeleteහැබැයි ඉතින් tanks වලින් වැඩ දාන්ට tank country එකක් තියෙන්ට ඕන නේද?
Tank Battle එකක් කරන්න නම් විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍යයි. අපිට එහෙම භූමියක් නැහැ. ඒ වගේම අපිට කවදා හරි එහෙම යුද්ධයක් කරන්න වෙන්නේ සතුරු හමුදාවක් යුද ටැංකි අරන් ආවොත් විතරයි.
Deleteහැමදාමත් අශ්වයින්ගේ පිටේ ගිහින් යුද්ද කරන බැරි නිසයි යුද ටැංකිය ගැන මිනිසා හිතුවේ.
ඔවු. ඒක තමයි මමත් tank country කියන එකෙන් අදහස් කලේ, විශාල තැනිතලා භූමි.. දෙවන ලෝක යුද්ධ කාලෙ වැඩියෙන්ම tank battles ඇතිවුනේ උතුරු යුරෝපය, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාව, ස්ටෙප්ස් ආශ්‍රිත රුසියානු තැනිතලා වගේ පැතිවල නේද.?
Deleteවිචාරක, ශ්‍රී ලංකා යුධ හමුදාව භාවිත කරන MBT එක මොකක්ද? T-54 / T-55 ද?
T 55 සහ T 69 කියන වර්ග දෙකම පාවිච්චි කරනවා.
Deletehttp://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/T-55_4.jpg/450px-T-55_4.jpg
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/06/Type_69II_rear_q_Quantico.jpg/450px-Type_69II_rear_q_Quantico.jpg
නියමයි විචාරක තුමා.. ආසම කරන ලියමනක්...
ReplyDeleteඒ වගේම මෙව්වා එකක් ඇත්නම් කියා හිතුනා..
ජ ය වේ වා !!!
බොහොම ස්තුතියි ඇගයීම ගැන.
Deleteමෙව්වා එකක් ඕනෙ අන්රෙජිස්ටර්ඩ් ද රීකන්ඩිෂන් ද? පංචිකාවත්ත පැත්තේ ඇති. :e
පංකාදු විස්තරේ..පුදුමාකාර ආසාවක් ආවා සෑර් එකක් එලෝල බලන්ඩ… අම්මපා !!!!
ReplyDeleteමොනවා කරන්නද පත්තරේ, ඒ කාලේ වත් දැන අඳුනාගෙන හිටියානම් බලෙන්ම ආමි එකට බන්දලා දාන්න තිබුනා. :e
Deleteහපෝ...... මුව බන්දන්න ආමි එකට...! ආමි එකත් විනාස වෙයි......!
DeleteThumani
ReplyDeleteTank ekaka athule kidenekta ina puluwada?
Tankwalatama ena mashin gun tiyanawada?
Tank ekaka langa balana yanthranayak tiyanawada mam kwe tank eke inadn 2 3m withara
hadisiyakadi peralunoth pitin udawuwak nathuwa nathuwa nagitina puluwanda
ale plasna godaine!
ඔබට සිංහලෙන් ලිවීමේ ප්‍රශ්නයක් තියනවාද බුද්ධි? මම හිතන්නේ ඔය ටයිප් කරලා තියන ටිකම Google input tools මගින් ඉතා පහසුවෙන් සිංහලෙන් ලියන්න පුළුවන් මම මේ ලියන විදිහටම.
Delete1. යුද්ධ ටැංකියක කී දෙනෙකු යනවාද (how many members are in a Tank Crew) යන්න තීරණය වෙන්නේ ඒ ඒ යුද්ධ ටැංකියේ ස්වභාවය අනුවයි. යුද්ධ ටැංකි වර්ග තිබෙනවා. ඉදිරි කොටසකදී කියන්නම්.
2. අර ඉහත පින්තූරයේ යුද්ධ ටැංකියේ ප්‍රධාන තුවක්කුව (main gun) අසලින්ම තිබෙනවා coaxial gun කියලා තුවක්කුවක්. එය යුද්ධ ටැංකියට පමණක් විශේෂ වූ එකක්. ඊට අමතරව යුද්ධ ටැංකියක තිබෙන මැෂින් තුවක්කු, ඒ යුද්ධ ටැංකියට ගැලපෙන ආකාරයට, යම් යම් වෙනස්කිරීම් කළ, සාමාන්‍ය බර මැෂින් තුවක්කු විය හැකියි.
3. ළඟ විතරක් නෙවෙයි driver's hatch එක ඇරියොත් පහසුවෙන් අවට ඔක්කොම පෙනෙනවා. නමුත් එය වැසුවාට පසු බලන්නේ පෙරිස්කෝප් එකෙන්.
4. පැත්ත පෙරලුනොත් එලියට එන්න පුළුවන්. මුනින් පෙරලුනොත් අමාරුවෙනවා. නමුත් මමනම් කවදාවත් අහලා දැකලා නැහැ එහෙම පෙරළෙනවා. යුද්ධ ටැංකියක් ඒ තරම් ස්ථාවරයි (steady)
හුඟක් ස්තූතියි මේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට ... මෙච්චර විස්තර කලින් දැනගෙන හිටියේ නෑ...
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන. ඔබේ දැණුම වර්ධනයවීම සතුටක්.
Deleteරුසියාවෙ ටැංකි ටික එකතු කළොත් ලෝකෙටම ගහන්න බැරියෑ...
ReplyDeleteරුසියාවේ විශාලත්වය ගැන ඔයා දන්නවනේ. ඉතින් එච්චර ලොකු රටකට ටැංකි ගොඩක් අවශ්‍යවීම පුදුමයක් නෙවෙයි. ඒ වගේමයි රුසියාව වටේ තියන රටවල් බොහොමයක් රුසියාව සමග අමනාපයි.
Deleteරුසියාවට මොකටද අච්චර ගොඩක් යුද්ධ ටැංකි? :i
ReplyDeleteවිශාල රටක්නේ. අතීතයේ ඉඳලම හතුරෝ වැඩියි. දේශ සීමා ගොඩක් තියනවා. තවමත් බය සැකය තියනවා. ඒ නිසයි.
DeleteGodak sthutiy sir
ReplyDeletemama pawichi karanne nokia java phone ekak eken thamai mama blog kiyawane wiwekayak awama. mama 2015 al karanawa mashin eken online awoth payaganak danenama nathuwa washpa wenawane.
me cmnt eka dameth bus ekedi mama godak asaven kiyawana blog ekak thamai oba thamage blog eka
sirge cadet life eka gana liyana balaporothuwak nada?
හොඳයි බුද්ධි. ඔබේ දැනුමට යමන් එකතු වුණානම් මට සතුටුයි. මගේ පරණ ලිපිවල තියනවා මගේ කැඩෙට් ජීවිතය ගැන.
Deleteනොදැන හිටි විස්තර ..... ගොඩක් දැනුම ලැබුන විචාරක තුමණි ......
ReplyDeleteඑතකොට නේටෝ එකෙන් සටන් බිමට යවද්දී....ඒ...ඒ...රටවලින් යවනවද..... නැත්නම් ඒ අයට අයිති බඩු Have ද.......
ඇයි දෙයියනේ..... බටේ කොන කැඩිල තිබිලත් බඩු වැඩ නේ.....
හැබැයි පුරුෂයන් ගෙ බටේ කොන සුළු තුවාල තිබ්බොත් ..... අබ සරණයි නේද..... :) :)
ස්තුතියි කෙන්ජි.
Deleteනේටෝ සහ එක්සත් ජාතීන්ගේ සාම හමුදා සේවය සඳහා යද්දී තමන්ගේ බඩු අරං යන්න ඕනෙ. ඒවටත් ගෙවීමක් කරනවා. දැනට අපේ ටැංකි ගෙනිහින් තියනවා හයිටි වලට.
කොන කැඩිච්චි බටේ තියන ටැංකිය තියෙන්නේ කෞතුකාගාරයක දැන් වැඩ බෑ
(මම වගේ කියලා කිව්වොත් තෝ මරනවා)
අම්මපා සිප් එකට අහුවෙලා පොඩ්ඩක් තුවාල වෙලා මම පුදුම දුකක් වින්දා. විකල්ප ක්‍රියාමාර්ග ගන්න වුණා.
තාමත් සිප් එකට අහු කරගන්නවද අනේ ...... ආ අමතක උනා දැන් පැන්ෂන්නේ වැඩිපුර සිවිල් පිට ඉන්නවා ඇත්තේ
Deleteසිවිල් හිටියත් යුනිෆෝම් හිටියත් අහුවෙනවා නම් අහුවෙනවාමයි. ඒක පුරුෂයන් සඳහා වූ ලෝක න්‍යායකි.
Deleteතන්හා ආශා ඔලොගු කරෙ ලා.............. නේ අපි යන්නේ
ReplyDeleteකොම හරි මම කොටි දහය හොයා ගන්නවා එකක් මට අරන් ඔනිමයි හොඳේ ....... මම සල්ලි ටක හොයා ගන්නකන් ඔයා උඩට වාර්තා කරන්න එහෙම ඔන්න ඔට්ටු නෑ ......
හෙහ් හෙහ්...............කොටි දහය, සල්ලි ටක, ටක ටක රූට රූට කතාව වගේ තමයි. හදිස්සියට ටයිප් කරලා තියෙන්නේ.
Deleteමේකයි කතාව.
අලුතෙන් හමුදාවට බැඳුන කොල්ලෙක් (මම නෙවෙයි යකෝ) කෙල්ලට ලියුමක් ලියනවලු. (පුහුණුව ලබන කාලේදී ලියුමක් ලියන්න තියා හුස්මක් ගන්නවත් ඉඩක් නැහැ) කොල්ලා ලියුම ලියන්නේ හරිම අමාරුවෙන් ටික ටික රෑට රෑට. ඉතිං කොල්ලා ලියන්නේ තමන් දන්න සිංහලෙන්. මෙන්න මෙහෙමයි ලිව්වේ. 'සුදෝ මම මේ ලියුම ලියන්නේ ටක ටක රූට රූට' :e
බොලේ රුසියාවේ තියෙන ටැංකි තොගේ...
ReplyDeleteලොකු රටක්නේ. ඒ නිසා සූදානම් සරීරෙ කියලා තමයි ඔහොම කරලා තියෙන්නේ.
Deletearmour-penetrating ටැංකි නාශක අවි වැඩ කරන්නෙ කොහොමද?
ReplyDeleteඉදිරියේ එන කොටසකදී කියනවා. ඒ උණ්ඩය ගිහින් තහඩුවේ ඇලිලා වගේ එක පාරටම අතිවිශාල උෂ්ණත්වයක් සහිතව පුපුරනවා. ඒ උෂ්ණයට තහඩුව උණුවෙනවා. ඇතුළේ ඉන්න අය කරවෙනවා.
DeleteNo Man's Land කියන මම කැමතිම චිත්‍රපටය මතක් වුණේ මේක දැක්කම. ඒක බලලා නැත්නම් බලන්න. මම කැමතිම චිත්‍රපට වලින් එකක්.
ReplyDeleteස්තුතියි සුදීක. මම ඒ චිත්‍රපටිය බැලුවේ හමුදා සේවයේ ඉන්න ගමන්. ඉස්සර අපිත් ඒ වගෙ no man's lands හදාගෙන තිබුනා උතුරේ.
Deleteඅදයි කියෙව්වේ..
ReplyDelete'වීඩියෝව විනාඩි 1යි තත්පර 47 සිට තත්පර 30ක් පමණ බලන්න. " මෙහෙම කියන්නෙ බයිට් පිළිබඳ ප්‍රශ්න තියෙන අයට වෙන්න ඕනා. ඒත් විචාරක මහත්මයා අපි වීඩියෝවක් බලන අතර ඉදිරියට තිය්න ටික ලෝඩ් වෙනවනෙ. එතකොට බැලුවත් නොබැලුවත් බයිට් ගාන ගිහින්.