ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප වතාවක් ගොස් ඇතත්, ඒ සෑම අවස්ථාවකම, හමුදා රාජකාරි වලට අදාලව ගිය අතර, මෙසේ නිදහසේ ඇවිදින්නට ඉඩක් ලැබුණේ නැහැ. එදා, මේ ප්‍රදේශය හමුදා ආරක්ෂාව යටතේ පැවති අතර, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වූ ප්‍රදේශයක්ව පැවතුණා. යුද්ධයෙන් පසු, ඉතා සාමකාමී නිදහස් පරිසරයක් මෙහි දකින්නට ලැබීම මහත් සතුටක්. අවට ජනාවාසද වේගයෙන් සංවර්ධනය වන බව පෙනුණා. (මේ ලිපියේ ඇති සමහර පින්තූර මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි) මා හිතනවා ඔබට මුලින්ම, තන්තිරිමලේ පිහිටීම විස්තර කරදීමට. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි තන්තිරිමලේ ප්‍රදේශය, අනුරාධපුර නගරයේ සිට, කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.
තන්තිරිමලේ ඉතිහාසය, ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. මේ පුදබිම, ඉතා විශාල ගල් තලාවන් කීපයක් අතර විහිදී තිබෙන අතර, එම ගල් තලාවන්හි විශාලත්වය, අක්කර 225 ක් පමණ වන බව දැනගන්නට ලැබුණා.
බොහෝ දෙනා තන්තිරිමලේ රජමහා විහාරය වන්දනාමාන කරගන්නට යන්නේ, එහි ඇති, පිහිටි ගලේ නෙලූ ප්‍රතිමා වන්දනාමාන කරගන්නටයි. එයින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ, එකිනෙකට තරමක් දුරින් පිහිටි, සැතපෙන පිළිම වහන්සේ සහ සමාධි පිළිම වහන්සේයි.
මේ පිළිම වහන්සේලා දකිනවිට, ඔබට නිතැතින්ම මතක් වන්නේ, පොළොන්නරුවේ ගල් විහාරය බව අමුතුවෙන් කීම අනවශ්‍යයි. නමුත්, පොළොන්නරුවේ පිළිමවල ඇති සියුම් සහ සවිස්තර බව, මේ පිළිමවල දකින්නට නැහැ. මේ පුදබිමේ පිළිම නෙලීමේ වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන්, විදේශීය (දකුණු ඉන්දියානු) සතුරු ආක්‍රමණ ලංකාවට එල්ලවූ බවත්, එබැවින් සෙල් පිළිම නිසිපරිදි නිමවීමට නොහැකිවූ බවත්, ඉතිහාසයේ සඳහන්. ඒ බවට සාක්‍ෂි, පහත දැක්වෙන පින්තූරයේ ඇති, වැඩ අවසන් නොකළ පිළිම වලින් තහවුරු වෙනවා.
මේ පුදබිම, අතීතයේදී මහා සංඝාවාසයක්ව පැවති බව තහවුරුවෙන ලක්ෂණ, මෙහි දකින්නට ලැබෙනවා.
මේ පුවරුවේ සඳහන් පොත්ගුලේ පින්තූර, පහත දක්වනවා.
මීට පෙර මා ඔබට කියා ඇති, අපේ ගමේ පන්සලේ සෙල් පිළිමයක් නෙළන බව. ඉතින්, මේ තන්තිරිමලේ ගමනට තවත් හේතුවක් වුණේ, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම සහ, අපේ ලොකු හාමුදුරුවන් සමග ඒ ගැන සාකච්ඡා කරමින්, අපේ පන්සලේ පිළිමය, නිසි පිළිවෙලට/පිළිවෙතට/පිරිවිතරයට/ අනුව සකසා ගැනීමයි. මේ පහත පින්තූරයේ, ඔබේ වම් අත පැත්තේ කෙලවර ඉන්නේ, අපේ ශිල්පියා වන, පතිරණ මහතා. (පිළිම නෙලීම පිළිබඳව, ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උපාධිධරයකු වන අතර, දැනට ඔහු කර තිබෙන නිර්මාණ විශ්මයජනකයි) ඊළඟට ඉන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඊළඟට අපේ පන්සලේ වැඩ වෙසෙන සාමනේර හිමිනමක් සහ අපේ දායක සභාවේ සභාපති ඉන්නවා. (මම තමයි රථාචාර්ය සහ කැමරාකරු)
ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් සිටි ගල් ලෙන් සහ, ඔවුන් විසින් අඳින ලද ගුහා චිත්‍ර, තන්තිරිමලේ විහාරාරාම සංකීර්ණ පරිශ්‍රයේ, තරමක් දුරින් පිහිටි පර්වතයක පාමුල, දකින්නට ලැබෙනවා. එතනට යන්නේ, වනගත අඩිපාරක් දිගේ. එය සුන්දර අත්දැකීමක්. පහුගිය යුද්ද කාලේ නම්, මේ හරිය තනිකරම හමුදා කඳවුරක්. මෙම විහාරස්ථානය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාවට, බලසේනාවක් Brigade යොදවා තිබුණා, මීට නුදුරින් පිහිටි චෙඩ්ඩිකුලම් ප්‍රදේශයේ.
මේ ලිපිය කියවන ඔබ, සමහරවිට බෞද්ධයකු නොවුනත්, පරිසර චාරිකාවක් ලෙස, තන්තිරිමලය ප්‍රදේශය නැරඹීම, ඉතා වැදගත් බව, මතක් කරන්නට කැමතියි. ඒ සුන්දර පරිසරයේ පින්තූර කීපයක් පෙන්වමින්, මේ ලිපිය අවසාන කරනවා.