ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට පත්වුණා, නිසි පරිදි සුරක්‍ෂිත කර නොගැනීම නිසා. ඒ ඡායාරූප අතර, ඓතිහාසික සහ සංග්‍රාමික වශයෙන් ද වටිනා ඡායාරූප රැසක් තිබුණා. 'වෙච්ච දේට එන්න සෙයියරදු' කිව්වලුනේ. :D
ඉහත පින්තූරය ගත්තේ මෙතනින්
ඡායාරූප ශිල්පය ගැන මා තුළ උනන්දුවක් ඇතිවීමට තවත් හේතුවක් වුණේ, මගේ පියා, මා කුඩා කාලයේදී, සෑම පාසල් නිවාඩුවකදීම පාහේ, අපේ මුළු පවුලම රැගෙන, වන්දනා, විනෝද, අධ්‍යාපන, චාරිකාවක යෙදීම සහ, ඒ යන සෑම අවස්ථාවකදීම පාහේ, කැමරාවක් කාගෙන් හෝ ඉල්ලාගෙන ගොස්, පින්තූර ගැනීම නිසයි. එවැනි කලුසුදු පින්තූර රාශියක්, අපේ ගෙදර ඒ කාලේ තිබුණත් අද ඒවා අතුරුදන්. පහත දක්වන්නේ ඒ කාලයේ තිබුණු බොක්ස් කැමරාවක්. මෙහි පටල පටියේ ප්‍රමාණය 120mm ලෙසයි මට මතක තියෙන්නේ.
පින්තූරය ගත්තේ මෙතනින්
ඉන්පසු කාලයේ මා දුටු හොඳම කැමරාව වුණේ 127mm ප්‍රමාණයේ කැමරාවයි. එය පහත දැක්වෙන පින්තූරයේ පෙන්වන කැමරාවේ හැඩයට ආසන්නයි.
1960 දශකයේ දී ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් අත තිබුණු ප්‍රබලම අවිය වුණේ, රොලිෆ්ලෙක්ස් Rolleiflex වර්ගයේ කැමරාවයි. මට මතක හැටියට 120mm ප්‍රමාණයේ කැමරාවක් වූ මෙය, මහා බලගතු කැමරාවක් ලෙස එකල බොහොම ප්‍රසිද්ධව තිබුණා. මම මේ කැමරාවත් වාර දෙකක් හෝ තුනක් පාවිච්චි කර තිබෙනවා.
පින්තූරය ගත්තෙ මෙතනින්
කතාව වේගයෙන් ඉදිරියට රැගෙන යනවානම්, 35mm පටලපටි කැමරා පැමිණි යුගයේ, මහා විප්ලවවාදී විශ්වකර්මයා ලෙස සැළකුණේ, Yashica Electro 35 කැමරාවයි. මේ කැමරාව ඒ ගැන හොඳ පුහුණුවක් ලබා නැති අයට පාවිච්චි කරන්නට බැහැ. ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණයි.
පින්තූරය ගත්තෙ මෙතනින්
ඇත්තටම මට මගේම කියා කැමරාවක් ගන්නට ලැබුණේ 1980 දශකයේදීයි. මුලින්ම ගත්ත කැමරාව Olympus වර්ගයේ එකක්. මේ කැමරාවෙන් මට, යුදබිමේ පින්තූර පවා, සාර්ථකව ලබාගන්න පුළුවන් වුණා. හුරුබුහුටි නමුත්, හොඳ පැහැදිලි පින්තූර ගන්න පුළුවන්. මේ කැමරාවෙන් මා ලබාගත් ඡායාරූප, අපැහැදිළි බවකින් තොරව, 12 x 10 ප්‍රමාණයට පවා විශාලනය කර තිබෙනවා.
පින්තූරය ගත්තේ මෙතනින්
මීළඟට මගේ කැමරා මිතුරා බවට පත්වුණේ Yashica Zoomate 90 නමැති කැමරාවයි. සම්පූර්ණ ස්වයංක්‍රීය කැමරාවක් වුනත්, ඉතා තියුණු පින්තූර ගැනීමට මේ කැමරාවෙන් හැකිවුණා. මෙහි zoom power එක ඒ කාලයේ හැටියට ඉතා ප්‍රබලයි. මේ කැමරාවේ තිබෙන ලොකුම දුර්වලකම වුණේ ඉක්මනින් බැසයන බැටරියක් තිබීමයි. නැවත ආරෝපණය කළහැකි බැටරියක් මේ කැමරාව වෙනුවෙන් එකළ තිබුණේ නැහැ. මේ කැමරාවේ 90 මෝස්තරයේ පින්තූරයක් හොයාගන්න හැකිවුණේ නැහැ. මෙහි තිබෙන්නේ 70 මෝස්තරය. හැඩයෙන් එක සමානයි.
පින්තූරය ගත්තෙ මෙතනින්
35mm පටල පටි කැමරාවක් වශයෙන්, අවසාන වරට මා පාවිච්චි කළේ, පහත දැක්වෙන යශිකා කැමරාවයි. මේ කැමරාවේ කාච පද්ධතිය, ඉදිරියට සහ පසුපසට ගෙනයන flex කොටස, ඉක්මණින් කැඩෙනවා. එවිට සම්පූර්ණ කාච පද්ධතියම මිලදීගෙන සවි කලයුතුයි. flex කොටස එයටම සවිවූවක්. ඒ නිසා මේ කැමරාව අවුරුදු තුනකින් පමණ අත්හැර දැම්මා. අදටත් සිහිවටනයක් ලෙස තිබෙනවා.
පින්තූරය ගත්තෙ මෙතනින්
එක දෙයක් කියන්න අමතක වුණා. මේ කාලයේදී මා, වෘත්තීය මට්ටමේ ඇනලොග් කැමරා කීපයක් ඉල්ලාගෙන පාවිච්චි කිරීමෙන්, අත්දැකීම් රාශියක් ලබාගත්තා. එහෙත් ඒවා මිලදීගන්න තරම්, මට වත්කමක් තිබුණේ නැහැ.
පසු කාලයේදී මට, ඩිජිටල් කැමරා ගැන අහන්න දකින්න ලැබුනා. (අසමි දකිමි) ඒ ගැන වඩ වඩාත් කරුණු හොයන්නත් මා පෙළඹුනා. (අසමි දකිමි + සොයමි) පොත්පත් හොයාගෙන කියෙව්වා. ඩිජිටල් කැමරා පාවිච්චි කරන අය සමග සාකච්ඡා කළා, වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරා කීපයක් අතපත ගා, ටිකක් එහාට මෙහාට වනන්නත් ඉගෙනගත්තා. නමුත් වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරාවක මිළ අහපුවාම, මගේ රුධිර පීඩනය වැඩිවන නිසා, මෙන්න මේ වගේ පුංචි ඩිජිටල් කැමරාවකින් සෑහීමකට පත්වුණා.
පින්තූරය ගත්තෙ මෙතනින්
මෙය Sony DSC W360 මෝස්තරය. මේ කැමරාවෙන් සෑහෙන සතුටුදායක පින්තූර රාශියක් ගන්න මට හැකියාව ලැබුණා. නමුත් ඒ පින්තූර වලින් මා 100% ක් තෘප්තියට පත්වුණේ නැහැ. අද මා පාවිච්චි කරන්නේ, Sony DSC H300 කැමරාවක්. මෙය ඩිජිටල් කැමරා වර්ගීකරණයේදී බ්‍රිජ් කැමරා - Bridge Camera යන වර්ගීකරණයටයි වැටෙන්නේ.
පින්තූර ගත්තෙ මෙතනින්
මේ කැමරාවෙන් මට වෘත්තීය මට්ටමේ කැමරාවකින් ගන්නා ඡායාරූප වලට සෑහෙන තරම් ආසන්න මට්ටමේ පින්තූර ගන්න පුළුවන් වුණා. මේ කැමරාවේ තිබෙන ෆ්ලෑෂරය, පොපප් ෆ්ලෑෂරයක්. නමුත් එහි බලය, මට අවශ්‍ය ගුණාත්මක බව ලබානොදෙන නිසා, මම ස්ලේව් ෆ්ලෑෂරයක් එකතුකරගත්තා. (ඒ සඳහා මට මග පෙන්වූ වෙනීට මගේ ප්‍රණාමය පුදකරනවා) ඒ මෙන්න මෙහෙමයි.
මෙතනදී මම කළේ, ඝන ඇලුමිනියම් තහඩුවක, කැමරාව සහ ෆ්ලෑෂරය, මවුන්ට් කරන්න අවශ්‍ය ආකාරයට සකසා ගැනීමයි. මේ ඇටවුම, මා ළඟ තියන ට්‍රයිපොඩ් එකෙත්, මෙහෙමම සවි කරන්න පුළුවන් වීම විශේෂ වාසියක්. මේ ඇටවුම අතේ තියාගෙනත්, කිසිදු අපහසුවකින් තොරව පින්තූර ගන්න පුළුවන්. මේ ෆ්ලෑෂරය, කැමරාවේ පොපප් ෆ්ලෑෂරය සමග, ස්ලේව් යුනිට් එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා, වයර් සම්බන්ධතාවක් නැතුව. අවශ්‍යවිට ෆ්ලෑෂරය ගලවා අතට අරන්, සුදුසු පරිදි අල්ලාගෙනත් පින්තූර ගන්න පුළුවන්. එමෙන්ම මේ කැමරාවෙන් Manual Mode පින්තූර ගන්න පුළුවන්වීම ගැන, මම හුඟක් සතුවෙනවා. පහත දක්වන පින්තූර වලින් බොහොමයක් ඒ විදිහට ගත්ත ඒවා.
හැබැයි මේ ඔක්කොම කළත්, මම තවමත් බොහොම ආධුනිකයකු බව, මා කවදාවත් අමතක කරන්නේ නැහැ. අදටත් මම ඡායාරූපකරණය ගැන ඉගනගන්නවා, ඡායාරූප සංස්කරණය ගැන ඉගෙනගන්නවා. දැනට මම පෙරුම්පුරන්නේ, මේ පහළින් ඉන්න එක්කෙනා අයිතිකරගන්නයි. නමුත් දැනටනම් ඒක හීනයක් විතරයි, මෙයාගේ මිළ ගණන් එක්ක බැලුවම. ලක්ෂ 10 - 12 වටින බඩුත් ගෙවන්න දෙන මේ රටේ, කැමරා විතරක් එහෙම දෙන්නේ නැතිවීම ගැන දුකයි. මෙන්න ඉන්නවා ඒ සිහිනය.
හොඳයි, දැන් ඇති නේද කැමරා ගැන කිව්වා. එහෙනම් මෙතන ඉඳලා බලමු මගේ පින්තූර. මේ සියල්ලම ගත්තෙ අර Sony DSC H300 කැමරාවෙන්.
නිල්, කහ, රතු, කොළ, යන වර්ණ පමණක් වෙන්කරගෙන, අනෙක් සියලු වර්ණ කළු හෝ අළු පැහැයට හරවා, පින්තූර ගැනීමේ පහසුකම, මේ කැමරාවේ තියනවා. මේ තියෙන්නේ, ඒ ආකාරයට ගත්, පින්තූර කීපයක්.
පහත දැක්වෙන පින්තූර ගත්තේ, මේ කැමරාවේ zoom කිරීමේ හැකියාව මැන බලන්නයි.
මීටර් 20 ක් දුර සිට
මීටර් 15 ක් දුර සිට
මීටර් 50 ක් දුර සිට
මෑතකදී මට ජාතික සත්වෝද්‍යානයට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ එහිදී ගත් පින්තූර කීපයක්.
ඡායාරූප සංස්කරණය පිළිබඳව මා ලබාගත් අත්දැකීම් අනුව නිමැවූ පින්තූර දෙකක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.
මේ දැරිවි ඉන්නේ ගාලු මුවදොර වෙරළේ. මෙතන තවත් විශාල පිරිසක් හිටියා. දැරිය මුහුදු රැල්ළට අසුවෙයි යන බියෙන්, ඇගේ මව ඇය අසළම සිටියා. ඔවුන් සියලුදෙනා ඉවත්කර සංස්කරණය කර තිබෙන්නේ.
මේ දීර්ඝ ලිපිය ඉවසීමෙන් බැලූ ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ, මේ පින්තූරවල තියන අඩුපාඩු හැකිතරම් කියන්න. එය මට කරන ලොකුම උපකාරයක්.