යුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 - 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස පස් දෙනයි. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ, සාමනේර හිමිවරුන් දෙනම, මගේ මිත්‍රයෙක් සහ මම. ඒ මිත්‍රයා සහ මා තමයි රියැදුරු රාජකාරිය කළේ. හැබැයි ඉතිං දවස පුරා රිය පැදෙව්වත්, හවසට ඇඟපත රත්කරගන්න ලැබුණේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ නිසා එව්වා අමතක කරලා දැම්මා.
මෙන්න මෙහෙමයි අපි ගිය ගමන් මාර්ගය. ගෙදර ඉඳලම පාර පෙන්නන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය කොටස තමා මේ පෙන්නන්නේ. වවුනියාව පහුකලාට පස්සේ, පුලියන්කුලමෙන් දකුණු අත පැත්තට හැරිලා, (භූමියේ නැගෙනහිරට) ඔය රතුපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ගිහින් කහපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ආපහු ආවා.
මා කවදාවත් මගේ සේවා කාලය තුළ, පුලියන්කුලමේ සිට මුලතිව් දක්වා ගොඩබිමෙන් ගමන් කර නැහැ. මේ තමයි ගිය පළමුවැනි වතාව. ඊලාම් යුද්ධය පැවති කාලයේ, ගුවනින් ගොස්, මුලතිව් ඝන වනාන්තරය දැක තිබුණත්, ඒ වනය මැදින් අද තිබෙන කාපට් පාරේ යනවිට ඇතිවෙන්නේ, අමුතුම හැඟීමක්. මට නොකඩවාම මතක්වුනේ, මේ භූමිය, LTTE ත්‍රස්තවාදීන්ගෙන් ජයගන්න, තම රුධිරයෙන් මේ බිම තෙත්කළ, අපේ රණවිරුවන්. ඔන්න ඉතිං අපි මුලතිව් වෙත ළඟාවුණා. හරිම ලස්සන වෙරළ තීරයක්.
අපේ හාමුදුරුවෝ වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹුවේ මෙහෙමයි. පොඩි දෙනම නම් රැල්ල පාගන්නත් ගියා.
ඊට පසේ අපි ගියේ පුදුකුඩිඉරුප්පු යුධ කෞතුකාගාරය බලන්නයි.
අපේ ආරක්ෂක හමුදා විසින් අල්ලාගන්නා ලද, LTTE සංවිධානය විසින් මුහුදු සටන් සඳහා භාවිත කළ යාත්‍රා, ඔවුන් විසින් වැඩිදියුණු කිරීමට උත්සාහ කල සබ්මැරීන්, සහ වෙනත් යුද්ධායුධ මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම, මානුෂික මෙහෙයුමේදී, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව, ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා, අපේ හමුදාව කළ මෙහෙය පිලිබඳව, ඡායාරූප විශාල ගණනක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
මානුෂික මෙහෙයුම අවසන් කොට, යුද ජයග්‍රණය අත්පත් කරගැනීම වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයයි මේ පහතින් දැක්වෙන්නේ.
මුලතිව් හමුදා කඳවුරකින් දිවා ආහාරය ලබාගත් අපි ඊළඟට කිලිනොච්චිය බලා පිටත්වුණා. සවස තේ පානය සඳහා අපි නැවතුනේ කිලිනොච්චියේ. අපේ අරමුණ වුණේ එදිනම කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා යාමයි. ඒ සඳහා බෝට්ටුවට නගින්න තිබෙන ස්ථානයට, දුර කිලෝමීටර් 90 ක් පමණ වෙනවා. නමුත් කිලිනොච්චියට නුදුරු පූනරින් ප්‍රදේශයට එනවිට, වර්ෂාව අධික වීමත්, මාර්ගය අබලන් වීමත් නිසා, ගමනේ වේගය හොඳටම අඩාළ වුණා. අපේ පුංචි කාර් එකට, මේ රළු මාර්ගයේ ගමන් කිරීම, විශාල අභියෝගයක් වුණා. (Toyota Stralet Reflet) වාහනය පදවන ගමන් මා ගත්ත පින්තූරයක් පහත දක්වන්නේ, මාර්ගයේ ස්වභාවය සහ වැසි ගතිය පෙන්වන්නටයි.
මෙන්න මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ මාර්ගයේ කොටසක්. පූනරින් - සංගුපිඩ්ඩි මාර්ගය, ඒ කාලේ මහා යුද්ධ පැවති ප්‍රදේශයක්. මෙහි ගමනාගමනය මුළුමනින්ම නැවතිලා තිබුණේ. අද මේ තරමින් හෝ යන්නට ලැබීම වාසනාවක්.
අපි හිතුවේ කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා ගොස්, රාත්‍රිය එහි ගතකරන්නයි. නමුත් ඩෙල්ෆ්ට් සහ නාගදීපය දක්වා බෝට්ටු සේවය පටන් ගන්නා කිරිකඩ්ඩුවාන් ජැටිය වෙත ළඟාවනවිට, හවස 6 විතර වුණා. එයට හේතුව වුණේ, යාපනයේ සිට පුන්කුඩුතීව් දක්වා දිවෙන මාර්ගයත්, තවම අලුත්වැඩියා කරමින් පවතින නිසා, පාර හදන අය විසින්, වරින්වර, එක දිශාවකට පමණක් වාහන ධාවනය කරන්න ඉඩ ලබාදෙන පරිදි, යන්නට සිදුවීම නිසයි. අපි ජැටියට එනවිට, ඩෙල්ෆ්ට් දක්වා යන අවසාන බෝට්ටුවත් ගිහින් තිබුණා. එහි සිටි නාවික හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්, වෙනත් බෝට්ටුවක් හොයාගන්නට දරන ලද උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්වුණා. නමුත්, යාපනයේ සිටින, අප දන්නා හඳුනන හමුදා නිළධාරීන්ට දුරකථනයෙන් කතාකර, නවාතැනක් හොයාගන්න පුළුවන් වුණා. එහෙත්, නවාතැන් ගන්න, ආපසු යාපනය දක්වා කිලෝමීටර් 31ක්, අර අබලන් මාර්ගයේ පැය දෙකක් තිස්සේ යන්න වුණා.
අපිට නවාතැන් ගන්න ලැබුණේ යාපනය නගරයේ ද්‍රවිඩ නිවසක. සැමියා ද්‍රවිඩ බිරිඳ සිංහල. සැමියාට සිංහල හෝ ඉංගිරිසි දෙකම බැහැ. නමුත් කොහොම හරි වැඩේ පිරිමහගත්තා. සැමියාගේ ගම හැටන් පැත්තේ. බිරිඳගේ ගම දැරණියගල. අපි යනවිට බිරිඳ යම්කිසි අවශ්‍යතාවකට ඉන්දියාවට ගොස් තිබුණා. මෑතකදී පත්වීමක් ලබා, මේ නිවසේ නවාතැන්ගෙන, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන, ගම්පහ පැත්තේ සිංහල තරුණයකු, අපට හමුවුණා. ඔහු අපට කිව්වේ, යාපනයේ මිනිසුන් ඉතා සුහදශීලී බවයි. නමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.
අපිට නිදහසේ මුළු නිවසෙන් වැඩි කොටසක් පාවිච්චි කරන්න ලැබුණා. එළියේ සවිකර තිබුණ ෂවර් එකකින්, මමත් මගේ මිතුරාත් හොඳින් නාගත්තා. හාමුදුරුවන්ට ඇතුළේ නාන කාමරය දුන්නා. හොඳ ලොකු ඇඳන්, අලුත් ඇතිරිලි සහ කොට්ට දමා සකසා තිබුණා. ෆෑන් තිබුණ නිසා මදුරු දැල් අවශ්‍ය වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගිලන්පස සකසාදී, මමත් මිතුරාත් නගරයට ගොස් රාත්‍රී ආහාර ගත්තා. මම ගියේ ආප්ප කන්නම් කියලා හිතාගෙන. දන්නවද වැඩක්? යාපනේ ආප්ප නැහැ. හදන්නේවත් කන්නේවත් නැහැලු. දකුණේ ඉඳලා යාපනයට යනකොට, අන්තිමට ආප්ප තියෙන්නේ වවුනියාවෙලු. ඒ සිංහල අය ඉන්න නිසා වෙන්න ඇති. මොකක්ද දන්නෑ හේතුව යාපනේ ආප්ප නොහදන. යාලුවා ඇහුවා මොකුත් කරනවද කියලා. නමුත් මම කිව්වා හොඳ නෑනේ, බැරිවෙලාවත් හාමුදුරුවන්ට දැණුනොත් කියලා. (මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර කෑවා. හුටා... වැළඳුවා)
අදට මේ ඇති නේද? ඊළඟ කොටසෙදී ඩෙල්ෆ්ට් යමු.
2015 පෙබරවාරි මස 12 වැනි දින 2328 පැය