මතකයි නේද මා ඔබ සමග බෙදා හදාගත් අද්දැකීම, මගේ උතුරේ සංචාරය ගැන? අද එහි දෙවැනි කොටසයි ඉදිරිපත් කරන්නේ. මේ සංචාරයේදී, සාමාන්‍යයෙන් යාපනයේ සංචාරයක යන අය බහුතරයක් නොයන තැනක් වන, ඩෙල්ෆ්ට් දූපතට යන්න මට අවස්ථාවක් ලැබුණා. ඔබ යාපනයේ සංචාරයක යෙදෙන්නට සිතා සිටිනවා නම්, ඩෙල්ෆ්ට් දූපතටත් ගොස් එහි සුන්දරත්වය රස විඳින්න කියා මා ඉල්ලා සිටිනවා. නාගදීපය වඳින්න යන්න බෝට්ටුවට ගොඩවෙන තැනින්මයි, ඩෙල්ෆ්ට් දූපතට යන බෝට්ටු සේවයත් පටන්ගන්නේ. බෝට්ටු ගාස්තුව රුපියල් 60 යි. මේ තියෙන්නේ බෝට්ටුවේ ටිකට් එක. ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත දුර, කි.මී. 17.4 ක් පමණ වෙනවා. නමුත් මේ දුර යන්න, බෝට්ටුව පැයක් පමණ වෙලාවක් ගතකරනවා. මුහුද රළු නම්, කාලය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.
මතකනේ පසුගිය කොටසේදී මම කිව්වා, අපි යාපනයේ නිවසක නවාතැන් ගත්තා කියලා. ඔන්න ඉතිං අපි උදෙන්ම පිටත්වෙලා, යාපනයේ හෝටලයකින් උදේ ආහාරය ගත්තා. මේ හෝටලයේ තිබුණ විශේෂත්වයක් වන්නේ, කාන්තාවන්ට ආහාර ගැනීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබීමයි. කාලය ගත නොකර, හැකි ඉක්මණින් කීරිකඩ්ඩුවාන් ජැටිය වෙත හැකි උපරිම වේගයෙන් අපි ගියා. යාපනය නගරයේ වාහන තදබදයක් නැහැ. ඒ නිසා කරදරයකින් තොරව යන්න පුළුවන්.
නමට විතරක් ගල්ගමුව. හැබැයි සිංහල නැහැ.
පහත ඇති සිතියම මත ක්ලික් කර, ලොකුකර බලන්න.
යාපනයේ සිට එන බස්රථ, ජැටියේ කෙළවරටම ඇවිත්, මගීන් බස්සවා, ආපසු යාපනය වෙත යන මගීන් රැගෙන යනවා. ඩෙල්ෆ්ට් සහ නාගදීපය යන දූපත්වල වැසියන්ටද, යාපනයට යන්න තිබෙන්නේ, මේ බස්රථ සේවයයි. නාගදීපය සහ ඩෙල්ෆ්ට් බලා යන සංචාරකයන්, තමන් පැමිණි වාහනයෙන් ජැටිය වෙත පැමිණ, වාහනයෙන් බැස, එම වාහන ජැටිය වෙත එන මාර්ගයේ කෙළවර වෙත ආපසු යවා, එහි නවතා තැබිය යුතුයි.
මේ තියෙන්නේ ජැටියේ තිබෙන මගී පර්යන්තය. පොලීසිය විසින් මෙතනදී සාමාන්‍ය පරීක්‍ෂාවක් කරනවා.
නාගදීපයට යන සංචාරකයන් සහ එහි පදිංචිකරුවන්, බෝට්ටුවට ගොඩවෙන ආකාරයයි, පහත දැක්වෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම බෝට්ටු තිබෙනවා.
ජැටියේ සිට නාගදීපයට ඇති දුර කිලෝමීටර් 1.5 ක් පමණ වෙනවා. ඒ නිසා ඉක්මනින් බෝට්ටු යනවා එනවා. නමුත් පැය බාගයක පමණ වෙලාවක් ගන්නවා. අපි හිතුවේ, ඩෙල්ෆ්ට් වෙත යන්නත්, පට් පට් ගාලා බෝට්ටු ලැබෙයි කියලා. පසුව තමයි දැනගන්නට ලැබුණේ, ඩෙල්ෆ්ට් වෙත බෝට්ටුවක් පිටත් වෙන්නේ, පැය තුනකට පමණ වරක් බව. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට, ඩෙල්ෆ්ට් පැත්තේ ඉඳලා ආවා බෝට්ටුවක්. අප්පොච්චියේ......... ඒක දැක්ක ගමන් මට හිතුණා, සියලු දෙවි දේවතාවුන් මතක් කරලා, අර ජැටියේ කණුවක පඬුරක් ගැටගහන්න. ඒ තරම් 'ඉස්තරම්' බෝට්ටුවක්. මේ බෝට්ටුවේ පෙනෙන කවුළු වලට පහළ කොටසේ, මගීන් 30 කට පමණ ඉඩ තිබෙනවා. දිග ලෑලි බංකු තමා තියෙන්නේ. ඒ වගේම මේ බෝට්ටු තට්ටුව මත වාඩිවී යන්නත් පුළුවන්. අපිත් ගියේ එහෙමයි. ජීවිතාරක්ෂක කබා තිබුණත්, ඒවා අඳින්න කියලා කියන්නේ නැහැ. කැමති අය අඳිනවා. මේ ප්‍රදේශයේ මුහුදේ ගැඹුර, මීටර් 7 - 15 අතර බව නාවික හමුදාවෙන් දැනගත්තා.
මේ බෝට්ටුවේ ප්‍රමුඛත්වය බඩු පැටවීමටයි ලැබුණේ. මෙන්න මෙහෙමයි බඩු පැටෙව්වේ. ඉඩ තියන තැන්වල මගීන්ටත් යන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි අපේ පිරිස බෝට්ටුවේ ගියේ. බෝට්ටුවේ වැඩිපුරම පටවා තිබුණේ, බිස්කට් හා නොයෙක් රසකැවිලි, ක්ෂණික ආහාර වර්ග සහ විවිධ වර්ගවල සිසිල් බීම බෝතල්. මේවා වැඩිපුරම පරිභෝජනය කරන්නේ ඩෙල්ෆ්ට් වාසීන් බවත්, සංචාරකයන් ඒවා පරිභෝජනය කරන්නේ ඉතා අඩුවෙන් බවත්, දැනගන්න ලැබුණා. දියවැඩියාව හදාගනියි හොඳට. නැද්ද මං අහන්නේ?
ඔන්න ඉතින් මගීන් සහ බඩු පටවාගෙන බෝට්ටුව පිටත් වුණා. බොහොම හෙමින් තමයි යන්නේ. මේ බෝට්ටුවේදී මට අහම්බෙන් හමුවුණා, ඩෙල්ෆ්ට් දූපතේ තියන නාවික හමුදා කඳවුරේ සේවය සඳහා යන, නාවික සෙබළුන් දෙදෙනෙක්. ඔවුන් කිව්වා, මෝසම වෙනස් වී මුහුද රළු වන කාලයේදී, මේ ගමන තරමක් අවදානම් බවත්, සමහරවිට ගමන් කිරීම නවතා දමන බවත්. අපි ආපහු එන ගමනේදී, මුහුද තරමක් රළු වී තිබුණා. බෝට්ටුව උඩ විසිකර මුහුදට අතාරිනවා මෙන් දැනෙන්නට පටන්ගත්තා. අපේ පොඩි හාමුදුරු දෙනම, ටිකක් බයවුණ බව පෙනුනා. ඩෙල්ෆ්ට් බලන්න ගිහින් එන වෙනත් කණ්ඩායමක සිටි දෙදෙනෙකු වමනය කළා, ඒ කැලැත්තීම දරාගන්න බැරුව.
මේ බෝට්ටුවේ තිබෙන්නේ බර වාහනයක තිබෙන ආකාරයේ ඩීසල් එන්ජිමක්. ගියර් පද්ධතිය වෙනස්කම් වලට භාජනය කරලා සකසා තිබෙන්නේ. එන්ජිම නගන හඬත් මහා කන් කරච්චලයක්. බෝට්ටු තට්ටුව මත තමයි, ඇක්සලරේටරය සහ ගියර් සීරුමාරුව සවිකර තිබෙන්නේ.
ජැටියෙන් පිටත්වීම සඳහා බෝට්ටුව හරවා ගැනීම සඳහා පමණයි ගියර් මාරු කරන්න වෙන්නේ. ඊට පස්සේ එක ගියරයකට දමා ඇක්සලරේටරය එකම වේගයක තබනවා. බෝට්ටුව ඉදිරියට ඇදීයනවිට, අවශ්‍ය දිශාවට බෝට්ටුව යොමුකිරීමට, සුක්කානමක් මෙන්, හබල් පතක් centre board පාවිච්චි කරනවා. බෝට්ටුවේ ටිකට් කඩන්නෙත් මෙයා. අර පිටේ එල්ලගෙන ඉන්නේ සල්ලි සහ ටිකට් සහිත මල්ල.
දැන් තියෙන්නේ ඔටෝ පයිලට් දාලා. :D අර දැරිවි ඩෙල්ෆ්ට් වල ස්ථිර පදිංචිකාරියක්. වගේ වගක් නැතුව, ඩෙල්ෆ්ට් වලට යනකල් හොඳ නින්දක් ගැහුවා.
මෙන්න මෙයා තමයි බෝට්ටුවේ හබල් පත බාරව ඉන්නේ. කොහොමද වැඩේ? මේ පොල්ල වමට දකුණට හරවනකොට, බෝට්ටුව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. මෙයා මරු වැඩක් කළා. ටිකක් දුර ගිහින්, මෙයත් ඉඳගත්තා අර අපේ පොඩි හාමුදුරුවන්ට මෙහායින්. ඉඳගෙන අර පොල්ල අග්ගිස්සේ තියන ලණුව, එයාගේ කකුලේ බැඳගත්තා. ඊට පස්සේ බෝට්ටුව full foot control නියමයි නේද? :D
අපි ටිකෙන් ටික අර මගී පර්යන්තයෙන් ඈත්වෙන්න පටන් ගත්තා.
ඈතින් ඩෙල්ෆ්ට් දූපත පෙනෙන්න ගත්තම, හිතට සතුටක් දැනුණා. අර ඊතලයෙන් පෙන්වන්නේ ඩෙල්ෆ්ට් දූපත.
දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මෙන්න අපි ඩෙල්ෆ්ට් දූපතට ළඟාවූ මොහොත.
දැන් ඉතින් අදම දූපතේ ඇවිදින්න ගියොත් වෙහෙසයි නේද? ඒ නිසා ඊළඟ කොටසේදී දූපතේ ඇවිදිමු. තව ලස්සන පින්තූර ගොඩක් තියනවා. ඒ ඔක්කොම දැම්මොත්, ලිපිය දික්ගැහීමෙන් නීරස වෙනවා.
දන්නවද වැඩක්? ඩෙල්ෆ්ට් දූපතේදී, මම මහා ගස් බෙනයකට රිංගුවා. ඒ වගේම, කඩාවැටෙන්න ගිය පරණ ලන්දේසි බලකොටුවක්, වැටෙන්න නොදී කර ගහලා ඇල්ලුවා. ඒ ඔක්කොම ඊළඟ කොටසෙදි කියන්නම්.
2015 පෙබරවාරි මස 22 දින 2226 පැය