මතකයි නේද මා ඔබ සමග බෙදා හදාගත් අද්දැකීම, මගේ උතුරේ සංචාරය ගැන? අද එහි දෙවැනි කොටසයි ඉදිරිපත් කරන්නේ. මේ සංචාරයේදී, සාමාන්‍යයෙන් යාපනයේ සංචාරයක යන අය බහුතරයක් නොයන තැනක් වන, ඩෙල්ෆ්ට් දූපතට යන්න මට අවස්ථාවක් ලැබුණා. ඔබ යාපනයේ සංචාරයක යෙදෙන්නට සිතා සිටිනවා නම්, ඩෙල්ෆ්ට් දූපතටත් ගොස් එහි සුන්දරත්වය රස විඳින්න කියා මා ඉල්ලා සිටිනවා. නාගදීපය වඳින්න යන්න බෝට්ටුවට ගොඩවෙන තැනින්මයි, ඩෙල්ෆ්ට් දූපතට යන බෝට්ටු සේවයත් පටන්ගන්නේ. බෝට්ටු ගාස්තුව රුපියල් 60 යි. මේ තියෙන්නේ බෝට්ටුවේ ටිකට් එක. ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත දුර, කි.මී. 17.4 ක් පමණ වෙනවා. නමුත් මේ දුර යන්න, බෝට්ටුව පැයක් පමණ වෙලාවක් ගතකරනවා. මුහුද රළු නම්, කාලය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.
මතකනේ පසුගිය කොටසේදී මම කිව්වා, අපි යාපනයේ නිවසක නවාතැන් ගත්තා කියලා. ඔන්න ඉතිං අපි උදෙන්ම පිටත්වෙලා, යාපනයේ හෝටලයකින් උදේ ආහාරය ගත්තා. මේ හෝටලයේ තිබුණ විශේෂත්වයක් වන්නේ, කාන්තාවන්ට ආහාර ගැනීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබීමයි. කාලය ගත නොකර, හැකි ඉක්මණින් කීරිකඩ්ඩුවාන් ජැටිය වෙත හැකි උපරිම වේගයෙන් අපි ගියා. යාපනය නගරයේ වාහන තදබදයක් නැහැ. ඒ නිසා කරදරයකින් තොරව යන්න පුළුවන්.
නමට විතරක් ගල්ගමුව. හැබැයි සිංහල නැහැ.
පහත ඇති සිතියම මත ක්ලික් කර, ලොකුකර බලන්න.
යාපනයේ සිට එන බස්රථ, ජැටියේ කෙළවරටම ඇවිත්, මගීන් බස්සවා, ආපසු යාපනය වෙත යන මගීන් රැගෙන යනවා. ඩෙල්ෆ්ට් සහ නාගදීපය යන දූපත්වල වැසියන්ටද, යාපනයට යන්න තිබෙන්නේ, මේ බස්රථ සේවයයි. නාගදීපය සහ ඩෙල්ෆ්ට් බලා යන සංචාරකයන්, තමන් පැමිණි වාහනයෙන් ජැටිය වෙත පැමිණ, වාහනයෙන් බැස, එම වාහන ජැටිය වෙත එන මාර්ගයේ කෙළවර වෙත ආපසු යවා, එහි නවතා තැබිය යුතුයි.
මේ තියෙන්නේ ජැටියේ තිබෙන මගී පර්යන්තය. පොලීසිය විසින් මෙතනදී සාමාන්‍ය පරීක්‍ෂාවක් කරනවා.
නාගදීපයට යන සංචාරකයන් සහ එහි පදිංචිකරුවන්, බෝට්ටුවට ගොඩවෙන ආකාරයයි, පහත දැක්වෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම බෝට්ටු තිබෙනවා.
ජැටියේ සිට නාගදීපයට ඇති දුර කිලෝමීටර් 1.5 ක් පමණ වෙනවා. ඒ නිසා ඉක්මනින් බෝට්ටු යනවා එනවා. නමුත් පැය බාගයක පමණ වෙලාවක් ගන්නවා. අපි හිතුවේ, ඩෙල්ෆ්ට් වෙත යන්නත්, පට් පට් ගාලා බෝට්ටු ලැබෙයි කියලා. පසුව තමයි දැනගන්නට ලැබුණේ, ඩෙල්ෆ්ට් වෙත බෝට්ටුවක් පිටත් වෙන්නේ, පැය තුනකට පමණ වරක් බව. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට, ඩෙල්ෆ්ට් පැත්තේ ඉඳලා ආවා බෝට්ටුවක්. අප්පොච්චියේ......... ඒක දැක්ක ගමන් මට හිතුණා, සියලු දෙවි දේවතාවුන් මතක් කරලා, අර ජැටියේ කණුවක පඬුරක් ගැටගහන්න. ඒ තරම් 'ඉස්තරම්' බෝට්ටුවක්. මේ බෝට්ටුවේ පෙනෙන කවුළු වලට පහළ කොටසේ, මගීන් 30 කට පමණ ඉඩ තිබෙනවා. දිග ලෑලි බංකු තමා තියෙන්නේ. ඒ වගේම මේ බෝට්ටු තට්ටුව මත වාඩිවී යන්නත් පුළුවන්. අපිත් ගියේ එහෙමයි. ජීවිතාරක්ෂක කබා තිබුණත්, ඒවා අඳින්න කියලා කියන්නේ නැහැ. කැමති අය අඳිනවා. මේ ප්‍රදේශයේ මුහුදේ ගැඹුර, මීටර් 7 - 15 අතර බව නාවික හමුදාවෙන් දැනගත්තා.
මේ බෝට්ටුවේ ප්‍රමුඛත්වය බඩු පැටවීමටයි ලැබුණේ. මෙන්න මෙහෙමයි බඩු පැටෙව්වේ. ඉඩ තියන තැන්වල මගීන්ටත් යන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි අපේ පිරිස බෝට්ටුවේ ගියේ. බෝට්ටුවේ වැඩිපුරම පටවා තිබුණේ, බිස්කට් හා නොයෙක් රසකැවිලි, ක්ෂණික ආහාර වර්ග සහ විවිධ වර්ගවල සිසිල් බීම බෝතල්. මේවා වැඩිපුරම පරිභෝජනය කරන්නේ ඩෙල්ෆ්ට් වාසීන් බවත්, සංචාරකයන් ඒවා පරිභෝජනය කරන්නේ ඉතා අඩුවෙන් බවත්, දැනගන්න ලැබුණා. දියවැඩියාව හදාගනියි හොඳට. නැද්ද මං අහන්නේ?
ඔන්න ඉතින් මගීන් සහ බඩු පටවාගෙන බෝට්ටුව පිටත් වුණා. බොහොම හෙමින් තමයි යන්නේ. මේ බෝට්ටුවේදී මට අහම්බෙන් හමුවුණා, ඩෙල්ෆ්ට් දූපතේ තියන නාවික හමුදා කඳවුරේ සේවය සඳහා යන, නාවික සෙබළුන් දෙදෙනෙක්. ඔවුන් කිව්වා, මෝසම වෙනස් වී මුහුද රළු වන කාලයේදී, මේ ගමන තරමක් අවදානම් බවත්, සමහරවිට ගමන් කිරීම නවතා දමන බවත්. අපි ආපහු එන ගමනේදී, මුහුද තරමක් රළු වී තිබුණා. බෝට්ටුව උඩ විසිකර මුහුදට අතාරිනවා මෙන් දැනෙන්නට පටන්ගත්තා. අපේ පොඩි හාමුදුරු දෙනම, ටිකක් බයවුණ බව පෙනුනා. ඩෙල්ෆ්ට් බලන්න ගිහින් එන වෙනත් කණ්ඩායමක සිටි දෙදෙනෙකු වමනය කළා, ඒ කැලැත්තීම දරාගන්න බැරුව.
මේ බෝට්ටුවේ තිබෙන්නේ බර වාහනයක තිබෙන ආකාරයේ ඩීසල් එන්ජිමක්. ගියර් පද්ධතිය වෙනස්කම් වලට භාජනය කරලා සකසා තිබෙන්නේ. එන්ජිම නගන හඬත් මහා කන් කරච්චලයක්. බෝට්ටු තට්ටුව මත තමයි, ඇක්සලරේටරය සහ ගියර් සීරුමාරුව සවිකර තිබෙන්නේ.
ජැටියෙන් පිටත්වීම සඳහා බෝට්ටුව හරවා ගැනීම සඳහා පමණයි ගියර් මාරු කරන්න වෙන්නේ. ඊට පස්සේ එක ගියරයකට දමා ඇක්සලරේටරය එකම වේගයක තබනවා. බෝට්ටුව ඉදිරියට ඇදීයනවිට, අවශ්‍ය දිශාවට බෝට්ටුව යොමුකිරීමට, සුක්කානමක් මෙන්, හබල් පතක් centre board පාවිච්චි කරනවා. බෝට්ටුවේ ටිකට් කඩන්නෙත් මෙයා. අර පිටේ එල්ලගෙන ඉන්නේ සල්ලි සහ ටිකට් සහිත මල්ල.
දැන් තියෙන්නේ ඔටෝ පයිලට් දාලා. :D අර දැරිවි ඩෙල්ෆ්ට් වල ස්ථිර පදිංචිකාරියක්. වගේ වගක් නැතුව, ඩෙල්ෆ්ට් වලට යනකල් හොඳ නින්දක් ගැහුවා.
මෙන්න මෙයා තමයි බෝට්ටුවේ හබල් පත බාරව ඉන්නේ. කොහොමද වැඩේ? මේ පොල්ල වමට දකුණට හරවනකොට, බෝට්ටුව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. මෙයා මරු වැඩක් කළා. ටිකක් දුර ගිහින්, මෙයත් ඉඳගත්තා අර අපේ පොඩි හාමුදුරුවන්ට මෙහායින්. ඉඳගෙන අර පොල්ල අග්ගිස්සේ තියන ලණුව, එයාගේ කකුලේ බැඳගත්තා. ඊට පස්සේ බෝට්ටුව full foot control නියමයි නේද? :D
අපි ටිකෙන් ටික අර මගී පර්යන්තයෙන් ඈත්වෙන්න පටන් ගත්තා.
ඈතින් ඩෙල්ෆ්ට් දූපත පෙනෙන්න ගත්තම, හිතට සතුටක් දැනුණා. අර ඊතලයෙන් පෙන්වන්නේ ඩෙල්ෆ්ට් දූපත.
දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මෙන්න අපි ඩෙල්ෆ්ට් දූපතට ළඟාවූ මොහොත.
දැන් ඉතින් අදම දූපතේ ඇවිදින්න ගියොත් වෙහෙසයි නේද? ඒ නිසා ඊළඟ කොටසේදී දූපතේ ඇවිදිමු. තව ලස්සන පින්තූර ගොඩක් තියනවා. ඒ ඔක්කොම දැම්මොත්, ලිපිය දික්ගැහීමෙන් නීරස වෙනවා.
දන්නවද වැඩක්? ඩෙල්ෆ්ට් දූපතේදී, මම මහා ගස් බෙනයකට රිංගුවා. ඒ වගේම, කඩාවැටෙන්න ගිය පරණ ලන්දේසි බලකොටුවක්, වැටෙන්න නොදී කර ගහලා ඇල්ලුවා. ඒ ඔක්කොම ඊළඟ කොටසෙදි කියන්නම්.
2015 පෙබරවාරි මස 22 දින 2226 පැය
කාලයත් සමගම ඉල්ලුම වැඩි වූ විට වඩා සැප පහසුකම් ඇති, ආරක්‍ෂිත බෝට්ටු සේවයක් ඇරඹෙණු ඇතැයි සිතමි.
ReplyDeleteබත්තලංගුණ්ඩුව නවකතාවේ තියෙනවා ඔය වගේ බෝට්ටුවක ගිය ගමනක කදිම විස්තරක්.
බෝට්ටුවෙදි නේද අර මිඩ්වයිප් නෝනද කොහේද හම්බ උනේ..
Deleteමේ බෝට්ටු කිසිම ආකාරයකින් 100% මුහුදට සුදුසුයි seaworthy කියා මා හිතන්නේ නැහැ. බෝට්ටුවක් පෙරලුනොත් නාවික හමුදාව එනතුරු බලාඉන්න වෙනවා. මේවා එක්තරා දේශපාලකයකුගේ දේපල බව පෙනෙනවා. ඔහු ඉන්නේ ඩෙල්ෆ්ට් දූපතේ අයිතිකාරයා වගේ. අනාගතයේදී මොහු දැන් තියන රජයට තර්ජනයක් විය හැකිදෝ කියා හිතෙනවා. ඩග්ලස් දේවානන්ද තමයි පුද්ගලයා.
Deleteපෝස්ටුවට අදාලව පොටෝ සෙලෙක්ට් කර ගැනීම ඉස්තරන්..
ReplyDeleteතව තිබුනත් අවුලක් නෑ වගේ.. අපිත් ගියා වගේ දැනුනා...
බොහොම ස්තුතියි. ඊළඟ කොටසේදී තව පින්තූර ටිකක් දෙන්නම්.
Deleteසජීවී විස්තර ප්‍රචාරයක් වගේ ලස්සනයි. කෝ...මේ එළකිරි ෆොටෝ ටික ගහපු පොර නෑනෙ.
ReplyDelete//ඩෙල්ෆ්ට් දූපතේදී, මම මහා ගස් බෙනයකට රිංගුවා.// :e
ඕකනෙ කියන්නේ. මම හැම බල්ලගේම පින්තූර ගහනවා. මගේ පින්තූරයක් ගහන්න එක බල්ලෙක්වත් නෑ.
Deleteමම මහා ගස් බෙනයකට රිංගුවා////
ReplyDeleteඔව් ඔව් එි ටික නං හිතා ගන්ට ඇහැකි....
කොහෙ ගියත් බෙන වලට රිංගන්ට හෙනම කැමති නෙව හිහි
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
Deleteනියමං අංකල්.. මම කවදාවත් ඔය බෝට්ටු සීන් එක අධ්‍යයනය කලේ නැහැනේ..
ReplyDeleteමොනවද බං අධ්‍යයනය කරන්නෙ. ඒක ඔටෝ පයිලට් යන එකක්නෙ. උඹට තියෙන්නෙ ඉඳගෙන යන එක විතරයි.
Deleteකියලා වැඩක් නෑ ප්‍රසන්න. මේකව බෝට්ටුවේ ගෙනිච්චොත් බෝට්ටුව හොදන්ඩ වෙනවා.
Deleteසුපිරියැ... සුපිරියැ... අපව ත් රැගෙනැ ගියා සේ හැඟිනැ... යටත් පිරිසෙයින් ඔබැ පිරිසැ හෝ සේෆ්ටි ජැකට් පැළැඳ උනි නම් අගේ යැ..
ReplyDeleteතොපගේ ලබ්බ බලන්නට එන්නෙමියැ, නොපමාවම. ඒ ජැකැට්ටු පැලැඳ ගත්තානම් දැනට මෙලොව නැති රෝග බෝවන තරම් සුපිරිසිදුවැ තිබුණි.
Deleteබලපං ගල් ගමුවත් මෙහෙ වගේ. තනි ඉර කපාගෙන යූ ටර්න් ගහන හැටි..
ReplyDeleteයාපනේ යන්න තාම අවස්ථාවක් ලැබුනෙ නැහැ බං.
හැමදාම බොග කොට කොටා ඉන්නේ නැතුව ටිකක් ඇවිදපන්. බොගවල් හැටක් කොටන්න දේවල් හම්බවෙයි. යාපනේ තවමත් පරණ යාපනෙම තමයි.
Delete//විශේෂත්වයක් වන්නේ, කාන්තාවන්ට ආහාර ගැනීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබීමයි. //
ReplyDeleteහේතුව මොකක්ද? ආගමික? සාමාජීය?
හින්දු ඇත්තොන්ගෙ එහෙම කේස් නැහැ නේද ප්‍රා..? මම මේ ලඟදි ජැෆ්නා ගිය වෙලාවේ මැන්ගෝ එකෙන් (නල්ලූර් කෝවිල ගාවම ) ඩිනර් ගත්තා එතන නම් එහෙම සෙග්‍රිගේෂන් තිබුනේ නැහැ....
Deleteමොකක් හරි බ්‍රාහ්මණ කේස් එකක්ද දන්නෙ නෑ චෙෆ් ආර්කි.
Deleteහැබැයි වෙන්න වැඩිය චාන්ස් එකක් තියෙන්නෙ ඕක එදා ඇතිවුන අහඹු සිදුවීමක් - විචාරකව දැකපු ගෑණු පුලුවන් තරම් ඈතට ගිය එක.
බොලා සැට් එක බීල යන නිසා ඕවා හරියට පේන්නැතිව ඇති.. (විචාට නං බොන්න නැති නිසා එදා වෙරි වෙන්ට ඇති)
Deleteඒක විචා වගේ කෙනෙක් එනවයි කියල ආරංචි වෙලාම සකස් කරපු ඔෆ්ෂන් එකක්. :D
Delete@ Pra - මේක මුස්ලිම් හෝටලයක්. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති. යාපනේ මුස්ලිම් දෙමල සමගියත් තවම හරියට තහවුරු වෙලා නැහැ.
Delete@ දේශ් - කොහෙද බොල හාමුදුරුවොත් එක්ක යනකොට බොන්නේ?
@ ප්‍රසන්න - මම කිව්වා කියලා හිතාගනින්
මමත් ලඟදි ඔය ඩෙල්ෆ්ට් ගිය බෝට්ටුවෙම යට තට්ටුවේ ගියා හැබැයි නාගදීපට යනකන් විතරක්.
ReplyDeleteවිචා කිව්වා වගේ කං කරච්චලේ තමයි අර එන්ජින් එක හුටු හුටු හුටු ගාන එකනම්..
මමනම් කෝකටත් කියලා සෑහෙන වෙලා හොයලා හොයලා මගේ බඩ සයිස් එකට හරියන ලයිෆ් ජැකට් එකක් නම් දාගත්තා....
අනේ ඇත්තටම විචා, කොහෙමෙයි ඔහේ ඔය හාන්දුරුගොල්ලන් එක්ක ගමන් යන්නේ...ඒ ඇත්තෝ එක්ක සුරාමේරය කේස් නේද?
මමනම් හිතන්නේ චෙෆාකි මේ බෝට්ටු දැන් තියෙන්නේ අවසාන අවස්ථාවේ. මේවා පාලනය වෙන්නේ දේශපාලන හස්තයන් විසින්. වහාම මේ සඳහා නියම මගී ප්‍රවාහන යාත්‍රා යෙදවීම රජයේ වගකීමක්. හම්මෝ........ අර ජැකට් අඳින්න බැහැ ඒ තරම් සුපිරිසිදුයි. ඒ නිසා මැරුණත් කමක් නෑ කියලා මම ඇන්දේ නැත්තේ.
Deleteහාමුදුරුවෝ එක්ක කාර් එකේ ගියාම නෝ බඩු හෑව්. බස් එකක් පුරවලා ගමේ අය ඈත මළ ගෙදරක යනකොට හාමුදුරුවෝ ඉස්සරහ සීට් එකේ. පස්සම සීට් එකේ අපේ තැබෑරුම.
නියමයි. පින්තූර මඟහරින්න එපා කපන්නත් එපා.
ReplyDeleteස්තුතියි රාජ්. තව පින්තූර තියනවා ඊළඟ කොටසේ.
Deleteහම්මේ.. ගෙදර ගිහින් ආවා වගේ..
ReplyDeleteවිචාරක තුමා සැදැහැවතුන්ගේ දැනගැනීම සඳහා සිතියමේ අඩංගු යම් යම් කරුණු ටිකක් තව පැහැදිලි කිරීමට අවසර. හැමන්හිල් බලකොටුවේ 'කො'යන්නට යටින් තියෙන පුංචි දිවයින එළුවතිවු. එතකොට හැමන්හිල් බලකොටුව තියෙන පුංචිම අයිලන්ඩ් එක අයිතිවෙන්නේ කරෙයිතිවු අයිලන්ඩ් එකට. කරෙයිනගර් තමයි ප්‍රධාන නගරය කරෙයිතිවු වල. ලංකාවේ තිබුණු ලොකුම දූපත තමයි කයිට්ස්. වර්ග කිලෝමීටර 65ක් වගේ. වේලනී හා කයිට්ස් යනුවෙන් කුඩා වෙලඳ නගර දෙකකින් සමන්විතයි. යාපනේ ඉඳල මුලින්ම එනකොට කෝස්වේ එකේ 'T' ජන්ශන් එකෙන් වමට හැරුනම හමුවෙන අයිලන්ඩ් එක මන්ඩතිවු. දිගටම ගියාම කයිට්ස් අයිලන්ඩ් එක. නමුත් මේ පාරෙ යනවිට කයිට්ස් සුළු නගරය හම්බ වෙන්නේ නෑ. කොබ්බෑකඩුව මහතා බෝම්බෙට අහුවුණු අරාලි තුඩුව ආසන්නයේ අරාලි හන්දියෙන් වමට හැරිල වේලනි හරහා පුංකුඩුතිව් වලට ගිහින් තමයි කොරිකඩ්ඩුවාන් පියර් එකට යන්නේ. මේ කයිට්ස් පුන්කුඩුතිව්, මන්ඩතිව් හා කරෙයිතිව් දැන් දූපත් ලෙස සළකන්නේ නෑ. හේතුව කෝස්වේ හරහා ගොඩබිමට සම්භන්ද වීම. ඉතින් දැනට ලංකාවේ තියෙන ලොකුම අයිලන්ඩ් එක තමයි ඩෙල්ෆ්ට්. ඩෙල්ෆ්ට් ඉඳලත් තව ටිකක් ඉන්දියාවේ තූත්තුකුඩිය පැත්තට ගියාම තමයි අර නිතර ඉන්දියාවත් එක්ක ඇරගන්න 'කච්චතිව්' එහෙම තියෙන්නේ. මේ Palk Strait එක හරහා (පෝක් සමුද්‍ර සන්ධිය ) ලොකු නැව් යන්න බෑ Shifting sand banks නිසා. ගැඹුර අඩු මුහුදු සීමාවක්. ඉස්සන්, දැල්ලන්, කකුළුවන්. පොකිරිස්සන්, මඩුවන් වැනි මාළු වැහි වැහැලා.. ඉතින් හැමදාම ඉන්දියන් මාළු ට්‍රෝලර් හා ලංකාවේ ධීවරයන් (වෙනුවෙන් නාවික හමුදාව) අතර ගැටුම්.
අහ්! ඔය විස්තර කරල තියෙන්නෙ ට්‍රෝලර් ගැන මරුවට.. බහුදින ධීවර යාත්‍රාවක කප්පිත්තෙක් විදියට රෙකමදාරු කරතෑකි බය නැතුව.. හැක් හැක්..
ඩෙල්ෆ්ට් වල බූරුවෝ (වල් අශ්වයෝ) හම්බුනේ නැද්ද? ඉතුරු ටික ඉක්මණටම බලා පොරොත්තු වෙනවා. ජය ශ්‍රී!
//මේ කයිට්ස් පුන්කුඩුතිව්, මන්ඩතිව් හා කරෙයිතිව් දැන් දූපත් ලෙස සළකන්නේ නෑ. හේතුව කෝස්වේ හරහා ගොඩබිමට සම්භන්ද වීම.//
Deleteමේක පිස්සු කේස් එකක්නෙ බන්! දැන් බ්‍රිතාන්‍ය දූපතයි යුරෝපා මහාද්වීපෙයි අතරෙ රේල් පාරක් තිබ්බ කියලවත්, බහරේන් සහ සෞදි අතරෙ කෝස්වේ එකක් තිබ්බ කියලවත් ඒව දූපත් නෙමෙයි කියල හඳුන්වන්නෙ නෑනෙ! එහෙව් එකේ කෝස්වේ එක හැදුවට කයිට්ස් දූපතක් නොවෙන්නෙ නෑනෙ මූලිකව.
මම 2002 ඔය කෝස්වේ එකේ ගියා. එතකොටනම් දෙපැත්තෙ වැටවල් ගහල බාබ්වයර්ස් දාල තිබ්බෙ. ඒත් දැන් පිලිවෙලට හැදිල ඇති!
//මේක පිස්සු කේස් එකක්නෙ බන්!// පිස්සු නැත්නං සෝයි නේ. කොහොම හරි එහෙම තමයි උඹ හොයල බලපං දැන් ලංකාවේ ලොකුම දූපත මොකක්ද කියල.. කියන්නේ ඩෙල්ෆ්ට් කියල..
Delete2002 නම් බඩුම තමයි.. මං අන්තිමට ගියේ 2012. එතකොටත් බාබ් වයර් එහෙමනම් අයින් කරලා. හැබැයි ඔය කොරිකට්ටුවාන් පියර් එක ඔක්කොම එතකොටත් රන් කරේ නේවි එකෙන්.. දැන් ඒව ඔක්කොම සුද්ද කරල වගේ.. බලමු විචාරක තුමාගෙන් අහල අළුත් තත්තෙ..
හෙහ් හෙහ්...මොක කරත් ඒ ගොන් සීන් එක එක්ක බැලුවම, මාතර ටවුමෙ පරෙයි අර්ධද්වීපය, එතකොට තලෙයි මන්නාරම් අර්ධද්වීපය, ගොරකාන කදුරු දූව අර්ධද්වීපය, කළුගඟ රථගාල අර්ධද්වීපය, මාදූව අර්ධද්වීපය, ඔය මට මතක් වෙච්චි ලංකාවෙ තවත් පාළම්නිසා බූරුවිශමතාවක් ඇතිවෙච්චි තැන්....හෙහ් හෙහ්...
Deleteඉන්දික බොස් මෙහෙම වෙන්න බැරිද? බහරේන් සවුදි කෝස්වේ එක මැද තියෙන මෑන් මේඩ් අයිලන්ඩ් දෙකකින් යා කරපු මූද උඩින් යන පාලම් වලින්නේ ගොඩ බිමට සම්බන්ද..අර මාතර පරෙයි අයිලන්ඩ් එක් වගේ..ඒ උනාට මිත්‍ර කියන යා කිරීම් කරලා තියෙන්නෙ මූද ගොඩකරපු පාරවල් වගේ ඉදිකිරීම් නිසා දූපත් කියන නාමය/අර්ථ කතනය වෙනස් වෙනවා නේද?
Delete@ කල්‍යාණ - බොහොම ස්තුතියි. ඔබේ පැහැදිලි කිරීමෙන් ලිපියට නව ආලෝකයක් ලැබුණා. හැමන්හිල් කො යන්න කියවලා හිනහත් ගියා. අහලා ඇතිනේ කෙල්ලෙක් කොල්ලෙකුට කිව්වලු කොටුවේ ටු යන්න යට ඉන්නවා ඇවිල්ලා හම්බවෙන්න කියලා. ඒ කියන්නේ කොටුව දුම්රිය ස්ථානය කියන එකේ ටු යන්න.
Deleteකෝස්වේ එක දැන් කාපට් කරලා ලස්සනට හදාගෙන යනවා. නාවිකයන්ට පින් සිද්දවෙන්න එක සැරයක් කච්චතීව් පැත්තේ කැරකෙන්න පුළුවන් වුනා 1990 දි.
නියමයි.. නියමයි. ෆොටෝ ටිකයි විස්තරෙයි.
ReplyDeleteඅර ගල්ගමුව බුවානං සිංහල වෙන්න ඇති. මොකද ස්ටෝර්ස් කියල ලියල තියෙනව වැරදියි මම හිතන්නෙ.
මෙච්චරකල් ප්ලේන් ඔටෝ පයිලට් යනව කියල අහල තිබුණට බොට්ටුත් එහෙම යනව කියල ඇහුවමයි. අර බුවා හබල කකුලෙ ගැට ගහගත්තට පස්සෙ නිදාගත්තෙ එහෙම නෑ නේද? මොකද ඔය රෑට යන සමහර දුර ගමං බස් වල ඩ්‍රයිවරලට නිදාගෙන උනත් පුරුද්දෙන් වංගුව තියෙන තැන කපාගෙන යන්න පුලුවං කියල අහල තියෙනවනෙ.
ස්ටෝර්ස් කියල ලියල තියෙනව වැරදියි මම හිතන්නෙ++++++++++
Deleteස්රෝර්ස් කියල නේද තියෙන්නේ?
ඔවු.
Deleteඒක ஸ்டோர்ஸ் වෙන්න ඕන.
ස්තුතියි ප්‍රසන්න. කවුද අනේ දෙමළ දන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ඒ මිනිස්සු වැරදි වැරදි වුනත් සිංහලෙන් සමහර දැන්වීම් පුවරු ලියලා තියනවා. ඒවාට හිනාවෙන්න හොඳ නෑ. හැබැයි තමන්ගේම භාෂාව වරද්දන එකට සමාවක් නෑ.
Deleteඅර ඔටෝ පයිලට් කතාවට බ.අ.සි!
ReplyDeleteටිකට් එකේ තියෙන්නෙ 18-02-14 නේද? එතකොට ත්‍රීවීල් කාරයගෙ පාක් එක පාර මැද වගේ!! ඒකත් නරක නෑ ක්‍රමේ.
මම 2002 යාපනේ ගියාම නාගවිහාරෙ කඩයක් දාන් හිටපු දෙමල මුදලාලි එක්ක කතා කරත්දි මනුස්සයෙග් නෝන සිංහල! යුද්ධ කාලෙදිත් යාපනේම තමා ඉඳල තියෙන්නෙ. ඒ කතාව ඇහුනම මතක් උනේ අර නඩේසන්ගෙ නෝනට රත්නශ්‍රී ලියාපු සින්දුව.
ඔය කන්කසන්තුරෙයි කියන එක KKT නොවී KKS උනේ ඇයි කියල දන්න කෙනෙක් නැද්ද?
KKS කියන්නෙ රේල්ලුව අන්තිමට ගිහිල්ලා නැවතිච්ච KKS ස්ටේසමට නේද? S අකුර එන්න ඇත්තේ ඒ නිසා මයෙ හිතේ. අද නම් එතන තියෙන්නෙ නටබුන්..
Delete@ ඉන්දික - බ.අ.සි. තේරුනේ නැත.
Deleteමේ ගමන ගියේ පහුගිය දෙසැම්බර් 17 18 දවස් දෙකේ. යාපනේ තවම මාර්ග නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බව පෙනුනා. විශේෂයෙන් පාසල් ළමුන් බයිසිකල් පදින්නේ පාර පුරා. ඉර කපා ඉස්සර කිරීම්, යූ ටර්න් ගැහීම් බහුලයි.
ත්‍රිවිධ හමුදාව විසින් ලංකාවේ සෑම ප්‍රධාන නගරයක්ම හැඳින්වීමට අකුරු තුනක කෙටි යෙදුමක් හදලා තියනවා (හැබැයි ත්‍රිවිධ හමුදාවේම ඒවා එක සමාන නැහැ) යුද හමුදාව මෙහෙමයි. CBO = COLOMBO, KDY = KANDY, GLE = GALLE, ආදී වශයෙන්. හැබැයි මම දන්නා තරමින් මේ KKS එක සුද්දගේ කාලයේ ඉඳලා තියනවා. සමහරවිට ඒ කාලේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් දාන්න ඇති. KKS දාන්න ඇත්තේ ඒ හා සමාන වෙන නගර නාමයක් එක්ක පැටලීම වලක්වන්න මන්දා. KGL = KURUNEGALA, KLE = KEGALLE
@ චෙෆාකි - සිරාවටමද කියන්නේ? නෑ නෑ දැන් KKS ස්ටේෂන් එක හදලා තියෙන්නේ.
හුටා, දැන්නේ ටියුබ් ලයිට් එක පත්තුවුණේ. බ.අ.සි. = බඩ අල්ලාගෙන සිනා. ඒ ටික මට එකවර නොතේරීම ගැන දැන් මටම බ.අ.සි.
Deleteඊළඟ පාර මාමා බෝට්ටුවේ යනකොට අර ඉවානයවත් අරන් ගිහිල්ලා මුහුද මැදදී මුහුදට දාලා බැලුවනම් හරි අර නාවික හමුදාවෙන් කියපු ගැබුර හරියටම හරිද කියලා
ReplyDeleteමැලේ හදන්නෙ ඔය හොඳට තියෙන මුහුද දූෂණය කරන්නද?
Deleteඕකා ගිලෙන්නේ නෑ දැන්..මෙන්ඩියා ඌට පපු කවර දීලානේ,
Deleteවැඩක් නෑ මැලේ, ඕකා මූදට දැම්මොත් පීනලා ඇවිත් උඹ ඉන්න තැනකින් ගොඩට එයි. නිකං නෙවෙයි මූදේ ඉන්න මාළුත් සබන් ගාලා නාවාගෙන.
Delete@ චෙෆාකි - පපු කවර කොහොම වෙතත් මුගේ පපුවේ විශාලත්වය ගැන මට පොඩි කුකුසක් තියනවා.
maru
ReplyDeleteමේ දවස්වල මාර hurry එකක නේද ඉන්නේ? අර හොයපුවා හම්බවුනාද?
Deleteපරණ පෝස්ට් එකේ තිබ්බ කැත පින්තූරවලට වඩා මේ පින්තූරු කොච්චර ලස්සණද? :P
ReplyDeleteගමන සුන්දරයි. ඒත් භයානකයි කියලා හිතුණා.
ඊතලයක් ගහලා තියෙන ෆොටෝ එකේ දූපතක් පේන්නේ නෑනේ. අනේ මට බෑම හිතුණා ඒ බෝට්ටුවේ යන්ට. :)
විචාරක තුමා.. මෙන්න තවත් පෝස්ට් එකකට ටොපිකක්.. යමක් දැකීමට හේතු.. පොඩ්ඩි.. මෙතන හේතුව ක්ෂිතිජය කැඩීම.. හොඳට බලන්න..
Deleteහෙහ් හෙහ් පරණ පොස්ට් එකේ පින්තූරවල හිටිය එවුන් මේ කමෙන්ට් එක දකින්නේ නැතෑ. ඔන්න මම එහෙම දන්නේ නෑ.
Deleteමොන භයානකද අනේ සුන්දර විතරයි.
මම අදනේ දන්නේ ඔයාට දුර පෙනෙන්නේ නෑ කියලා. ආයේ පාරක් හොඳට බලන්න දූපත් පෙනෙනවා.
@ කල්‍යාණ - යුදබිමේදී අයි දේවල් පෙනෙන්නේ යනුවෙන් මගේ පරණ ලිපියක් තියනවා.
https://jangun.wordpress.com/2012/12/04/%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%87%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99/
Sorry, the page you were looking for in this blog does not exist. :(
DeleteSorry, the page you were looking for in this blog does not exist. :(
DeleteSorry, the page you were looking for in this blog does not exist. :(
Deleteහා හා පුරා ආපු දවසෙ යාපනේ ගියා..මරු ඈ...
ReplyDelete