ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, 'වැදි' නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන් බලන්නට යාම සිරිතක්.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයට යන්නට සිදුවුණා. මගේ හමුදා සේවා කාලය තුළ මා කවදාවත් මේ ස්ථානයට ගිහින් නැහැ. හේතුව, මෙය ඉඳුරාම යුද හමුදාවට සම්බන්ධ ස්ථානයක් නොවන නිසා. මට ලැබුණු විශේෂ ආරාධනයක් නිසයි ගියේ. ආදි පාද හමුව ගැන වෙනම ලිපියක් ලියන්නම්. මේ කඳවුරේ දින දෙකක් ඉතා විනෝද ජනක ලෙස ගෙවීගියා. ඒ හමුවේ එක් ඉසව්වක් වුයේ, මහියංගනය සහ දඹාන යන ප්‍රදේශවල චාරිකාවක යෙදීමයි. ඒ අවස්ථාවේදී මා ලද අද්දැකීම් කීපයක් තමා, මේ සටහන තැබීමට නිමිති කරගත්තේ.
අපේ කණ්ඩායමේ, විශ්‍රාමික හමුදා නිළධාරීන් 30 ක් පමණ සිටියා. අපි රැගත් බස් රථය, මහියංගනය - පදියතලාව ප්‍රධාන මාර්ගයෙන්, දඹානට යන අතුරු මාර්ගයට හරවනවිටම, උඩුකය නිරුවත්, සරමක් දෙකට නවා ඇඳගත්, (වළාපොට ගහලා) වයස අවුරුදු 14 - 15 පමණ, කොලුගැටයෙක්, බස් රථය නවත්වන ලෙස සංඥා කළා. බසය පැදවුවේ, ඒ ප්‍රදේශය හුරු හමුදා රියදුරෙක්. ඔහු නිළ ඇඳුමෙන් හිටියේ. නිළ ඇඳුමෙන් සිටි තවත් හමුදා සොල්දාදුවකු, අපේ ආරක්ෂාවට ගමන් කළා. ඔහුත් මේ ප්‍රදේශය දන්නවා. ඒ සොල්දාදුවා එකවරම රියදුරාට කිව්වා,
'අපෙනුත් ගරන්න තමා හදන්නේ. නවත්තන්න එපා කෝප්‍රල්' කියලා.
මම ඒ සොල්දාදුවාගෙන් ඇහුවා,
'ඇයි එහෙම කිව්වේ' කියා.
'සර්, මේ ගොල්ලෝ ඕනෙම වාහනයක් ආවම, පාර පෙන්නන්න කියලා ඒකට නගිනවා. ඒකට ගාස්තුවක් අයකරනවා. එතන ඉඳලා එක එක දේවල් පෙන්නලා, විකුණලා, කීයක් හරි ඉල්ලන එක තමා වැඩේ' කියා, ඔහු උත්තර දුන්නා.
ඒ සමගම ඔහු මට පෙන්නුවා, ඒ කොලුගැටයා, වේගයෙන් දුවගොස්, ඒ අසළ කුඩා කඩයකට මුවාවී, තම සරමට යටින් ඇඳ සිටි කොට කලිසමේ සාක්කුවකින් ගත් ජංගම දුරකථනයකින්, ඇමතුමක් ගන්නා හැටි.
'ඔය කරන්නේ සර්, අර්ලි වෝනිං දෙන එක' අර සොල්දාදුවා කිව්වා.
(හමුදා භාෂාවෙන් අර්ලි වෝනිං Early Warning දෙනවා කියන්නේ, ඉතා නුදුරේදී යම් සිදුවීමක්/සතුරු ප්‍රහාරයක්/සතුරාගේ යම් ක්‍රියාකාරකමක්/වැදගත් පුද්ගලයකුගේ පැමිණීමක්/අනපේක්ෂිත කරදරයක්/ හෝ එවැනි යමක් සිදුවියහැකි බවට, කල්තබා දැනුම්දීම හෝ අනතුරු ඇඟවීමයි)
'ඉතින් මෙයා කාටද අර්ලි වෝනිං දෙන්නේ' කියා මම ඇහුවා.
'දඹානේ ඉන්න මෙයාගේ කට්ටියට තමා කියන්නේ, ඔන්න බස් එකක් එනවා ලෑස්තිවෙලා හිටපල්ලා කියලා' යනුවෙන් පිළිතුරු ලැබුණා.
අපි දඹාන මහා විද්‍යාලය අසළට යනවාත් සමගම, උඩුකය නිරුවත්, පිරිමි කීපදෙනෙක්ම උත්සාහ ගත්තා, බස්රථයට නගින්න, නමුත් අපේ ආරක්ෂාවට හිටිය සොල්දාදුවා, ඔවුන්ව වැළැක්වුවා.
'පාර පෙන්නන්න හැදුවේ, අපිවත් අරන් යන්න' ආදී වශයෙන්, ඔවූන් කෑ ගහනවා ඇහුණා.
ඔන්න ඉතිං අපි දඹානට ගියා කියමුකෝ. එතනදී මුලින්ම හමුවන්නේ කුඩා වෙළඳපොළක්. පරිසරය රැකීම ගැන, මේ වැදි ජනතාව කොපමණ දේ අපට කිව්වත්, මේ වෙළඳපොළ කාලීනව අලුත්වැඩියා කරන්නට, සෑහෙන ගස් ප්‍රමාණයක් කපන්න වෙන බව, පැහැදිළිවම පෙනුණි. මෙහි තිබෙනවා, වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, මී පැණි, ආදී මෙකී නොකී දෑ.
මේ මීපැණි ගැන කියනවානම්, මගේ දැනීමේ හැටියට, ඒවා පිරිසිදු මී පැණි නොවේ. අපද්‍රව්‍ය බහුලය, අසුරා තැබීම දුර්වල නිසා, තවත් අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩතිබේ. මී පැණි දමා තිබෙන විශාල භාජනවල, මී වද කැබලි බලෙන් ඔබා ඇත්තේ, ඒවා නියම මී පැණි බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට විය හැකිය. බෝතල්වල තිබෙන මී පැණි පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත. බොහෝදෙනා, ඒවා හොඳ මී පැණි කියා රැවටීම වැළැක්විය නොහැකිය. එතනදී ඒවා කියන්න ගොස්, ගුටිකන්න බැරිය. නමුත් මම එක දෙයක් කළෙමි. ඒ මී පැණි ගන්න උත්සාහ කළ, අපේ නඩයේ කීපදෙනෙකුටම, අකමැත්තෙන් වුවද, අර මිනිස්සුන්ට තේරෙයිදෝ යන සැකයද සහිතව, සුද්දාගේ බාසාවෙන් කරුණු කියා, ඒ මිනිසුන්ගේ බඩට ගහන්නට මට සිදුවිය.
(මී පැණි බහුළ ප්‍රදේශයක ඉපදුණු, එක්තරා සොල්දාදුවෙක්, නියම මී පැණි හඳුනාගන්නා හැටි, යුද්දෙට ගිය කාලෙදි මට කියාදී තිබුණා. ඒ අනුව මම වරක්, ආණමඩුව ප්‍රදේශයෙන් මිළදීගත් මී පැණි, නියම මී පැණි බව, ඔහු පරීක්ෂාකර සනාථ කළා)
එමෙන්ම, කළුවර ලීයෙන් සෑදු බව කියමින් පෙන්වන විවිධ නිර්මාණ, කළුමැදිරිය හෝ වෙනත් ලීයකින් නිමවා, සාර්ථකව කළු කළ ඒවා බව, ඉතා පැහැදිළිය. ඒවා කළුවර ලී නොවන බවත්, නිර්මාණයේ මිළ මා ගෙවන අතර, ඉන්පසු එය දෙකට කඩා, හරස්කඩ පෙන්විය හැකිදැයි මා ඇසු පැණයට, එක් පුද්ගලයකු කෝපයට පත්ව, මොනවාදෝ මුමුණමින්, (මගේ දෙමව්පියන් මතක් කරන්න ඇති) එතනින් ඉවත්ව ගියා.
කී කිරිඳි ඇට, කම්බි යොදා අමුණා, කර ඇති නිර්මාණ, ශක්තිමත් නොවන අතර, කියන මිළ ගණන් අසාධාරණ බව එකවරම පෙනීයයි.
ආදිවාසීන්ගේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරය ද නරඹන්නට අපිට හැකිවුණා. ඒ සඳහා ඉතා සාධාරණ මුදලකට ටිකට් පත් විකිණුනා. කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම තහනම් බව, දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කර තිබුණත්, ඒ අවස්ථාවේ, කෞතුකාගාරය නැරඹීමට, විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි සියළු දෙනාම පාහේ, තම ජංගම දුරකථන වලින්, සිත්සේ ඡායාරූප ගන්නා බව පෙනීගියා. එය වළක්වන්නට කිසිවෙකුත් කෞතුකාගාරය තුළ සිටියේ නැහැ.
මේ කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරය කිසිදු තේරුමක් නැතිව ලී කෝටු යොදා සකසා තිබුණා. ඔවුන් එයින් අදහස් කරන්නේ වනයේ පෙණුම ලබාගන්නට නම්, එය කිසිසේත් එතනට උචිත නැහැ. ඒ කෝටු උඩ ඔවුන්ගේ පොත්පත් සහ ගණක යන්ත්‍රය තබාගැනීමට වෙහෙසක් දරන්නට සිදුවුණා. එලෙස වනගත පෙණුමක් දෙන්නේ නම්, ටිකට් නිකුත් කරන අයද, වැදි ජනතාවගේ ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසුයි. මේ ලී රාමුව වසරකට වරක්වත් අලුත්වැඩියා කරන්නට සිදුවන බව නොඅනුමානයි. ඒ සඳහා ලී කපන්නේ කොහෙන්ද? බලය දෙන්නේ කවුද?
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නනියැලැත්තෝ හමුවීමට ඉඩක් ලැබේයැයි සිතා සිටි නමුත්, එතුමා තම කෘෂිකාර්මික කටයුතු ගැන සොයාබැලීමට බැහැරට ගොස් ඇතිබව දැනගන්ට ලැබුණා.
ආදිවාසීන්ටම උරුමවූ ආකාරයක වෛද්‍යකර්මයේ යෙදෙන ආදිවාසී සාමාජිකයකුගෙන්, තම විවිධ රෝග සඳහා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාගැනීමට, පැමිණසිටි සෑහෙන පිරිසක් උත්සුක වුණා.
අපි ආපසු එන්නට හැරෙන විටම ආදිවාසී දරුවෙක් අප වෙත පැමිණ පාසල් පොත් ගැනීමට ආධාරයක් කරන ලෙස ඉල්ලුවා. පාසල් යන අය සෑහෙන පිරිසක් ඉන්න බවද දැනගන්නට ලැබුණා. මේ දරුවා සමග අපි කෙටි පිළිසඳරක යෙදුණා. මේ දරුවා කිව්වා, ඔහුට නම් දෙකක් ඇති බවත්, පාසලට කියන්න එක් නමක් බවත් ගමේදී (වරිගයේදී) කියන්නේ තවත් නමක් බවත්. අපි ඔහුට සැළකිය යුතු මුදලකින් ආධාර කළා. ඔහු අපට ආදිවාසී ජන ගීයක් ගායනා කර පෙන්වූවා. මා එය මගේ කැමරාවේ සටහන් කරගත්තා.
අනේ මේ වීඩියෝවේ, අර ගීතය කියන දරුවා අසළ ඉන්නේ, අරයා නේද මෙයා නේද කියලා නම් අහන්න එපා.
මේ හැර විවිධ දේ විකුණන මෙන්ම, මුදල් ඉල්ලන අය කීපදෙනෙක්ද දකින්නට ලැබුණා. සියල්ල අවසානයේදී මා සිතට නැගුන දේ, ඔබ සමග සාකච්ඡා කිරීමේ අරමුණින් පහත දක්වනවා.
- මේ අය ආදිවාසීන් යන වර්ගීකරණයට වැටෙන්නේ කෙසේද? ආදී වාසීන් යනු, යම්කිසි රාජ්‍යයක/භූමි ප්‍රදේශයක/ මහාද්වීපයක/ වර්තමානයේ ප්‍රධාන ජාතිය ලෙස පිළිගන්නා ජන කොට්ඨාශය, පිටතින් පැමිණ එහි ස්ථිරව පදිංචිවීමට පෙර, එම ප්‍රදේශයේ, ආදි කාලයේ සිටම තම නිජබිම ලෙස පදිංචිව සිටි ජනතාවයි. 'වැදි' යනුවෙන් ජන කොට්ඨාශයක්, විජයාගමනය සිදුවන විට තිබුනේ නැහැ. වැදි පරපුර ඇතිවුණේ, කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් බවයි, ජනප්‍රවාදයේ පැවතෙන්නේ. නමුත් මේ ලිපිය ලියන්නට පෙර, මූලාශ්‍ර වශයෙන් මා කියවා බැලූ ලිපි එකකින්වත්, ඒ කරුණු සනාථ නොවූ අතර, වැදි ජනතාවද ආසියානු රටකින් මෙහි සංක්‍රමණය වූ බව පිළිගතහැකි සාධක තිබෙනවා.
- ගල් වැද්දන්, ගම් වැද්දන්, ආදී වශයෙන් සඳහන් ජන කොට්ටාශ කිසිවක්, අද ඒ මුල් ස්වරූපයෙන් අපේ රටේ නැති බව, අප දන්නවා. ඕනෑම රටක ඇති, කොතරම් සැඟවී පවතින කුඩා ජන සංස්කෘතීන් පවා, කාලීන වෙනස්කම් වලට ලක්වීම නොවැලැක්විය හැකියි.
- අපේ රටේ වැදි ජනතාව පිළිබඳව ගවේෂණය කල විද්වතුන් විසින් වාර්තා කර තිබෙන කරුණු පිළිබඳව සළකා බැලීමේදී, අද අප දකින්නේ, ඉතා සීඝ්‍ර ලෙස, සිංහල ජාතියේ සංස්කෘතික ලක්ෂණ වලට අනුගත වෙමින් පවතින, එහෙත් තවමත් තමන් ආදිවාසීන් යයි කියාගන්නා, ජන කොට්ඨාශයක් බව පෙනෙයි.
- අතීතයේදී ගල් වැද්දන් (ගල්කුළු සහිත ප්‍රදේශවලට සීමාවී ගල් ගුහාවල ජීවත් වූ වැදි පරපුර) අද කිසිසේත් දකින්නට නොලැබෙන අතර ගම් වැද්දන් යනුවෙන් හැඳින්වුන (වනයේ ජීවත්වුණ) වැදි පරපුර අද ඉතා සීඝ්‍රයෙන් ලාංකික සාමාන්‍ය සමාජය සමග මුසුවෙමින් පවතී.
- මොවුන් දෙබිඩි ජීවිතයක් ගතකරන බවට ඉතා පැහැදිලි සාක්ෂි තිබේ. එනම් ඔවුන් තම වත්කමේ ප්‍රමාණයට නවීන තාක්ෂණික මෙවලම්ද සහිතව සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර, තමන්ට විශේෂ අනන්‍යතාවක් ලබාගැනීමට සහ අයිතිවාසිකම් දිනාගැනීමට පමණක්, ආදීවාසී යන වර්ගීකරණයට වැටෙන්නට උත්සාහ කරයි.
- මෑතකදී මා සමග පිළිසඳරක යෙදුන බ්ලොග් රචකයකු, දැනට දශක දෙකකට පමණ පෙර, මෙම ජනතාව සම්බන්ධ සිය අත්දැකීමක් පවසමින්, ඔහු ඇතුළු පිරිසක් සමග, ඒ ප්‍රදේශයේම වෙනත් මෙවැනි ජන කොටසක් පෙන්වීමට ගිය ආදිවාසී පුද්ගලයකු, අර අනෙක් ජනකොටස IRC Buggers යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි යෙදුමක් භාවිත කරන්නට නම්, එක්කෝ ඔහු ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් ගැන අවබෝධයක් ලබා තිබිය යුතුය. නැතහොත්, වර්තමාන ලාංකික සමාජය සමග ගැටීමෙන්, ඉංග්‍රීසි වචන මුසු භාෂා ස්වරූපයට හැඩගැසී ඇත.
- ආදිවාසී නායකයා හට පසුගිය රජයෙන් පිකප් ට්‍රක් රථයක්, (ලංකාවේ සමාජ ව්‍යවහාරය අනුව ඩබල් කැබ් එකක්) ලබාදීමට කටයුතු යොදා තිබුණු අතර, ආදිවාසී නායකයා ඊට කැමැත්ත පළකර ඇත. නමුත් පැරණි වැදි සංස්කෘතිය අනුව නම්, ඔවුන් ගොන් කරත්තයක්වත් පාවිච්චි කරන්නේ නැත.
- මේ පිරිස තවදුරත් ආදිවාසී යන සුවිශේෂී වර්ගීකරණයක තැබීමෙන් පළක් නැත. ඔවුන්ට තම අභිමතය පරිදි රටේ සාමාන්‍ය සමාජ ප්‍රවාහයට අනුගත වන්නට හෝ තම නිජබිම් ලෙස සැළකෙන ප්‍රදේශවල, රටේ පොදු නීතියට යටත්ව තම පාරම්පරික සිරිත් අනුගමය කරමින් විසීමට නිදහස තිබිය යුතුය.
- සංචාරකයන් වෙනුවෙන්, තම අතීත ඇවතුම් පැවතුම් පෙන්වාදීමට සුදුසු ආදර්ශ ගම්මානයක්, රාජ්‍ය අනුග්‍රහයෙන් සකසා දියයුතු අතර, එය, මේ පරපුරේ, අද සිටින අයගේ ස්වභාවය නොව, මීට සියවසකට පමණ පෙර ජීවත්වූ, මෙම ජනවර්ගයේ ස්වභාවය බව, සංචාරකයන්ට පැහැදිළි කරදිය යුතුය. මේ පිරිස සංචාරකයන්ගෙන් සිඟාකෑම වැළක්විය යුතු අතර, ඔවුන්ගේ පාරම්පරික දක්ෂතා අර ආදර්ශ ගම්මානය තුළදී ප්‍රදර්ශනය කර, මුදල් උපයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.
- මේ පරපුරේ වර්තමාන තරුණ කොටස්, අධ්‍යාපනය වෙත උනන්දු කරවිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වහාම වැඩිදියුණු කළයුතුය.
මා හිතනවා, ඔබටත් මේ ගැන කියන්න බොහෝ දේ ඇති. ඒ නිසා, ඔබට ඉඩදී, මෙතෙකින් මගේ අදහස් දැක්වීම නිම කරනවා.
2015 අප්‍රේල් මස 05 දින 2208 පැය