හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 April 2015

ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද?............... Who are the Aborigines of Sri Lanka?

DSC01308
 ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, 'වැදි' නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන් බලන්නට යාම සිරිතක්.

   පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයට යන්නට සිදුවුණා. මගේ හමුදා සේවා කාලය තුළ මා කවදාවත් මේ ස්ථානයට ගිහින් නැහැ. හේතුව, මෙය ඉඳුරාම යුද හමුදාවට සම්බන්ධ ස්ථානයක් නොවන නිසා. මට ලැබුණු විශේෂ ආරාධනයක් නිසයි ගියේ. ආදි පාද හමුව ගැන වෙනම ලිපියක් ලියන්නම්. මේ කඳවුරේ දින දෙකක් ඉතා විනෝද ජනක ලෙස ගෙවීගියා. ඒ හමුවේ එක් ඉසව්වක් වුයේ, මහියංගනය සහ දඹාන යන ප්‍රදේශවල චාරිකාවක යෙදීමයි. ඒ අවස්ථාවේදී මා ලද අද්දැකීම් කීපයක් තමා, මේ සටහන තැබීමට නිමිති කරගත්තේ.

   අපේ කණ්ඩායමේ, විශ්‍රාමික හමුදා නිළධාරීන් 30 ක් පමණ සිටියා. අපි රැගත් බස් රථය, මහියංගනය - පදියතලාව ප්‍රධාන මාර්ගයෙන්, දඹානට යන අතුරු මාර්ගයට හරවනවිටම, උඩුකය නිරුවත්, සරමක් දෙකට නවා ඇඳගත්, (වළාපොට ගහලා) වයස අවුරුදු 14 - 15 පමණ, කොලුගැටයෙක්, බස් රථය නවත්වන ලෙස සංඥා කළා. බසය පැදවුවේ, ඒ ප්‍රදේශය හුරු හමුදා රියදුරෙක්. ඔහු නිළ ඇඳුමෙන් හිටියේ. නිළ ඇඳුමෙන් සිටි තවත් හමුදා සොල්දාදුවකු, අපේ ආරක්ෂාවට ගමන් කළා. ඔහුත් මේ ප්‍රදේශය දන්නවා. ඒ සොල්දාදුවා එකවරම රියදුරාට කිව්වා,

   'අපෙනුත් ගරන්න තමා හදන්නේ. නවත්තන්න එපා කෝප්‍රල්' කියලා.

   මම ඒ සොල්දාදුවාගෙන් ඇහුවා,

   'ඇයි එහෙම කිව්වේ' කියා.

   'සර්, මේ ගොල්ලෝ ඕනෙම වාහනයක් ආවම, පාර පෙන්නන්න කියලා ඒකට නගිනවා. ඒකට ගාස්තුවක් අයකරනවා. එතන ඉඳලා එක එක දේවල් පෙන්නලා, විකුණලා, කීයක් හරි ඉල්ලන එක තමා වැඩේ' කියා, ඔහු උත්තර දුන්නා.

   ඒ සමගම ඔහු මට පෙන්නුවා, ඒ කොලුගැටයා, වේගයෙන් දුවගොස්, ඒ අසළ කුඩා කඩයකට මුවාවී, තම සරමට යටින් ඇඳ සිටි කොට කලිසමේ සාක්කුවකින් ගත් ජංගම දුරකථනයකින්, ඇමතුමක් ගන්නා හැටි.

   'ඔය කරන්නේ සර්, අර්ලි වෝනිං දෙන එක' අර සොල්දාදුවා කිව්වා.

   (හමුදා භාෂාවෙන් අර්ලි වෝනිං Early Warning දෙනවා කියන්නේ, ඉතා නුදුරේදී යම් සිදුවීමක්/සතුරු ප්‍රහාරයක්/සතුරාගේ යම් ක්‍රියාකාරකමක්/වැදගත් පුද්ගලයකුගේ පැමිණීමක්/අනපේක්ෂිත කරදරයක්/ හෝ එවැනි යමක් සිදුවියහැකි බවට, කල්තබා දැනුම්දීම හෝ අනතුරු ඇඟවීමයි) 

   'ඉතින් මෙයා කාටද අර්ලි වෝනිං දෙන්නේ' කියා මම ඇහුවා.

   'දඹානේ ඉන්න මෙයාගේ කට්ටියට තමා කියන්නේ, ඔන්න බස් එකක් එනවා ලෑස්තිවෙලා හිටපල්ලා කියලා' යනුවෙන් පිළිතුරු ලැබුණා.

   අපි දඹාන මහා විද්‍යාලය අසළට යනවාත් සමගම, උඩුකය නිරුවත්, පිරිමි කීපදෙනෙක්ම උත්සාහ ගත්තා, බස්රථයට නගින්න, නමුත් අපේ ආරක්ෂාවට හිටිය සොල්දාදුවා, ඔවුන්ව වැළැක්වුවා.

   'පාර පෙන්නන්න හැදුවේ, අපිවත් අරන් යන්න' ආදී වශයෙන්, ඔවූන් කෑ ගහනවා ඇහුණා.

   ඔන්න ඉතිං අපි දඹානට ගියා කියමුකෝ. එතනදී මුලින්ම හමුවන්නේ කුඩා වෙළඳපොළක්. පරිසරය රැකීම ගැන, මේ වැදි ජනතාව කොපමණ දේ අපට කිව්වත්, මේ වෙළඳපොළ කාලීනව අලුත්වැඩියා කරන්නට, සෑහෙන ගස් ප්‍රමාණයක් කපන්න වෙන බව, පැහැදිළිවම පෙනුණි. මෙහි තිබෙනවා, වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, මී පැණි, ආදී මෙකී නොකී දෑ.

   මේ මීපැණි ගැන කියනවානම්, මගේ දැනීමේ හැටියට, ඒවා පිරිසිදු මී පැණි නොවේ. අපද්‍රව්‍ය බහුලය, අසුරා තැබීම දුර්වල නිසා, තවත් අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩතිබේ. මී පැණි දමා තිබෙන විශාල භාජනවල, මී වද කැබලි බලෙන් ඔබා ඇත්තේ, ඒවා නියම මී පැණි බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට විය හැකිය. බෝතල්වල තිබෙන මී පැණි පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත. බොහෝදෙනා, ඒවා හොඳ මී පැණි කියා රැවටීම වැළැක්විය නොහැකිය. එතනදී ඒවා කියන්න ගොස්, ගුටිකන්න බැරිය. නමුත් මම එක දෙයක් කළෙමි. ඒ මී පැණි ගන්න උත්සාහ කළ, අපේ නඩයේ කීපදෙනෙකුටම, අකමැත්තෙන් වුවද, අර මිනිස්සුන්ට තේරෙයිදෝ යන සැකයද සහිතව, සුද්දාගේ බාසාවෙන් කරුණු කියා, ඒ මිනිසුන්ගේ බඩට ගහන්නට මට සිදුවිය. 

   (මී පැණි බහුළ ප්‍රදේශයක ඉපදුණු, එක්තරා සොල්දාදුවෙක්, නියම මී පැණි හඳුනාගන්නා හැටි, යුද්දෙට ගිය කාලෙදි මට කියාදී තිබුණා. ඒ අනුව මම වරක්, ආණමඩුව ප්‍රදේශයෙන් මිළදීගත් මී පැණි, නියම මී පැණි බව, ඔහු පරීක්ෂාකර සනාථ කළා) 

   එමෙන්ම, කළුවර ලීයෙන් සෑදු බව කියමින් පෙන්වන විවිධ නිර්මාණ, කළුමැදිරිය හෝ වෙනත් ලීයකින් නිමවා, සාර්ථකව කළු කළ ඒවා බව, ඉතා පැහැදිළිය. ඒවා කළුවර ලී නොවන බවත්, නිර්මාණයේ මිළ මා ගෙවන අතර, ඉන්පසු එය දෙකට කඩා, හරස්කඩ පෙන්විය හැකිදැයි මා ඇසු පැණයට, එක් පුද්ගලයකු කෝපයට පත්ව, මොනවාදෝ මුමුණමින්, (මගේ දෙමව්පියන් මතක් කරන්න ඇති) එතනින් ඉවත්ව ගියා. 

   කී කිරිඳි ඇට, කම්බි යොදා අමුණා, කර ඇති නිර්මාණ, ශක්තිමත් නොවන අතර, කියන මිළ ගණන් අසාධාරණ බව එකවරම පෙනීයයි.


DSC01302


  ආදිවාසීන්ගේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරය ද නරඹන්නට අපිට හැකිවුණා. ඒ සඳහා ඉතා සාධාරණ මුදලකට ටිකට් පත් විකිණුනා. කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම තහනම් බව, දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කර තිබුණත්, ඒ අවස්ථාවේ, කෞතුකාගාරය නැරඹීමට, විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි  සියළු දෙනාම පාහේ, තම ජංගම දුරකථන වලින්, සිත්සේ ඡායාරූප ගන්නා බව පෙනීගියා. එය වළක්වන්නට කිසිවෙකුත් කෞතුකාගාරය තුළ සිටියේ නැහැ. 

   මේ කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරය කිසිදු තේරුමක් නැතිව ලී කෝටු යොදා සකසා තිබුණා. ඔවුන් එයින් අදහස් කරන්නේ වනයේ පෙණුම ලබාගන්නට නම්, එය කිසිසේත් එතනට උචිත නැහැ. ඒ කෝටු උඩ ඔවුන්ගේ පොත්පත් සහ ගණක යන්ත්‍රය තබාගැනීමට වෙහෙසක් දරන්නට සිදුවුණා. එලෙස වනගත පෙණුමක් දෙන්නේ නම්, ටිකට් නිකුත් කරන අයද, වැදි ජනතාවගේ ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසුයි. මේ ලී රාමුව වසරකට වරක්වත් අලුත්වැඩියා කරන්නට සිදුවන බව නොඅනුමානයි. ඒ සඳහා ලී කපන්නේ කොහෙන්ද? බලය දෙන්නේ කවුද?


DSC01304

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නනියැලැත්තෝ හමුවීමට ඉඩක් ලැබේයැයි සිතා සිටි නමුත්, එතුමා තම කෘෂිකාර්මික කටයුතු ගැන සොයාබැලීමට  බැහැරට ගොස් ඇතිබව දැනගන්ට ලැබුණා.


Vedda_Chief_Uruwarige_Wannila_Aththo

  ආදිවාසීන්ටම උරුමවූ ආකාරයක වෛද්‍යකර්මයේ යෙදෙන ආදිවාසී සාමාජිකයකුගෙන්, තම විවිධ රෝග සඳහා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාගැනීමට, පැමිණසිටි සෑහෙන පිරිසක් උත්සුක වුණා.

DSC_1852

   අපි ආපසු එන්නට හැරෙන විටම ආදිවාසී දරුවෙක් අප වෙත පැමිණ පාසල් පොත් ගැනීමට ආධාරයක් කරන ලෙස ඉල්ලුවා. පාසල් යන අය සෑහෙන පිරිසක් ඉන්න බවද දැනගන්නට ලැබුණා. මේ දරුවා සමග අපි කෙටි පිළිසඳරක යෙදුණා. මේ දරුවා කිව්වා, ඔහුට නම් දෙකක් ඇති බවත්, පාසලට කියන්න එක් නමක් බවත් ගමේදී (වරිගයේදී) කියන්නේ තවත් නමක් බවත්. අපි ඔහුට සැළකිය යුතු මුදලකින් ආධාර කළා. ඔහු අපට ආදිවාසී ජන ගීයක් ගායනා කර පෙන්වූවා. මා එය මගේ කැමරාවේ සටහන් කරගත්තා. 



   අනේ මේ වීඩියෝවේ, අර ගීතය කියන දරුවා අසළ ඉන්නේ, අරයා නේද මෙයා නේද කියලා නම් අහන්න එපා.

   මේ හැර විවිධ දේ විකුණන මෙන්ම, මුදල් ඉල්ලන අය කීපදෙනෙක්ද දකින්නට ලැබුණා. සියල්ල අවසානයේදී මා සිතට නැගුන දේ, ඔබ සමග සාකච්ඡා කිරීමේ අරමුණින් පහත දක්වනවා. 

  • මේ අය ආදිවාසීන් යන වර්ගීකරණයට වැටෙන්නේ කෙසේද? ආදී වාසීන් යනු, යම්කිසි රාජ්‍යයක/භූමි ප්‍රදේශයක/ මහාද්වීපයක/ වර්තමානයේ ප්‍රධාන ජාතිය ලෙස පිළිගන්නා ජන කොට්ඨාශය, පිටතින් පැමිණ එහි ස්ථිරව පදිංචිවීමට පෙර, එම ප්‍රදේශයේ, ආදි කාලයේ සිටම තම නිජබිම ලෙස පදිංචිව සිටි ජනතාවයි. 'වැදි' යනුවෙන් ජන කොට්ඨාශයක්, විජයාගමනය සිදුවන විට තිබුනේ නැහැ. වැදි පරපුර ඇතිවුණේ, කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් බවයි, ජනප්‍රවාදයේ පැවතෙන්නේ. නමුත් මේ ලිපිය ලියන්නට පෙර, මූලාශ්‍ර වශයෙන් මා කියවා බැලූ ලිපි එකකින්වත්, ඒ කරුණු සනාථ නොවූ අතර, වැදි ජනතාවද ආසියානු රටකින් මෙහි සංක්‍රමණය වූ බව පිළිගතහැකි සාධක තිබෙනවා.
  • ගල් වැද්දන්, ගම් වැද්දන්, ආදී වශයෙන් සඳහන් ජන කොට්ටාශ කිසිවක්, අද ඒ මුල් ස්වරූපයෙන් අපේ රටේ නැති බව, අප දන්නවා. ඕනෑම රටක ඇති, කොතරම් සැඟවී පවතින කුඩා ජන සංස්කෘතීන් පවා, කාලීන වෙනස්කම් වලට ලක්වීම නොවැලැක්විය හැකියි. 
  • අපේ රටේ වැදි ජනතාව පිළිබඳව ගවේෂණය කල විද්වතුන් විසින් වාර්තා කර තිබෙන කරුණු පිළිබඳව සළකා බැලීමේදී, අද අප දකින්නේ, ඉතා සීඝ්‍ර ලෙස, සිංහල ජාතියේ සංස්කෘතික ලක්ෂණ වලට අනුගත වෙමින් පවතින, එහෙත් තවමත් තමන් ආදිවාසීන් යයි කියාගන්නා, ජන කොට්ඨාශයක් බව පෙනෙයි. 
  • අතීතයේදී ගල් වැද්දන් (ගල්කුළු සහිත ප්‍රදේශවලට සීමාවී ගල් ගුහාවල ජීවත් වූ වැදි පරපුර) අද කිසිසේත් දකින්නට නොලැබෙන අතර ගම් වැද්දන් යනුවෙන් හැඳින්වුන (වනයේ ජීවත්වුණ) වැදි පරපුර අද ඉතා සීඝ්‍රයෙන් ලාංකික සාමාන්‍ය සමාජය සමග මුසුවෙමින් පවතී.
  • මොවුන් දෙබිඩි ජීවිතයක් ගතකරන බවට ඉතා පැහැදිලි සාක්ෂි තිබේ. එනම් ඔවුන් තම වත්කමේ ප්‍රමාණයට නවීන තාක්ෂණික මෙවලම්ද සහිතව සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර, තමන්ට විශේෂ අනන්‍යතාවක් ලබාගැනීමට සහ අයිතිවාසිකම් දිනාගැනීමට පමණක්, ආදීවාසී යන වර්ගීකරණයට වැටෙන්නට උත්සාහ කරයි.
  • මෑතකදී මා සමග පිළිසඳරක යෙදුන බ්ලොග් රචකයකු, දැනට දශක දෙකකට පමණ පෙර, මෙම ජනතාව සම්බන්ධ සිය අත්දැකීමක් පවසමින්, ඔහු ඇතුළු පිරිසක් සමග, ඒ ප්‍රදේශයේම වෙනත් මෙවැනි ජන කොටසක් පෙන්වීමට ගිය ආදිවාසී පුද්ගලයකු, අර අනෙක් ජනකොටස IRC Buggers යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි යෙදුමක් භාවිත කරන්නට නම්, එක්කෝ ඔහු ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් ගැන අවබෝධයක් ලබා තිබිය යුතුය. නැතහොත්, වර්තමාන ලාංකික සමාජය සමග ගැටීමෙන්, ඉංග්‍රීසි වචන මුසු භාෂා ස්වරූපයට හැඩගැසී ඇත.
  • ආදිවාසී නායකයා හට පසුගිය රජයෙන් පිකප් ට්‍රක් රථයක්, (ලංකාවේ සමාජ ව්‍යවහාරය අනුව ඩබල් කැබ් එකක්) ලබාදීමට කටයුතු යොදා තිබුණු අතර, ආදිවාසී නායකයා ඊට කැමැත්ත පළකර ඇත. නමුත් පැරණි වැදි සංස්කෘතිය අනුව නම්, ඔවුන් ගොන් කරත්තයක්වත් පාවිච්චි කරන්නේ නැත.  
  • මේ පිරිස තවදුරත් ආදිවාසී යන සුවිශේෂී වර්ගීකරණයක තැබීමෙන් පළක් නැත. ඔවුන්ට තම අභිමතය පරිදි රටේ සාමාන්‍ය සමාජ ප්‍රවාහයට අනුගත වන්නට හෝ තම නිජබිම් ලෙස සැළකෙන ප්‍රදේශවල, රටේ පොදු නීතියට යටත්ව තම පාරම්පරික සිරිත් අනුගමය කරමින් විසීමට නිදහස තිබිය යුතුය.
  • සංචාරකයන් වෙනුවෙන්, තම අතීත ඇවතුම් පැවතුම් පෙන්වාදීමට සුදුසු ආදර්ශ ගම්මානයක්, රාජ්‍ය අනුග්‍රහයෙන් සකසා දියයුතු අතර, එය, මේ පරපුරේ, අද සිටින අයගේ ස්වභාවය නොව, මීට සියවසකට පමණ පෙර ජීවත්වූ, මෙම ජනවර්ගයේ ස්වභාවය බව, සංචාරකයන්ට පැහැදිළි කරදිය යුතුය. මේ පිරිස සංචාරකයන්ගෙන් සිඟාකෑම වැළක්විය යුතු අතර, ඔවුන්ගේ පාරම්පරික දක්ෂතා අර ආදර්ශ ගම්මානය තුළදී ප්‍රදර්ශනය කර, මුදල් උපයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.
  • මේ පරපුරේ වර්තමාන තරුණ කොටස්, අධ්‍යාපනය වෙත උනන්දු කරවිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වහාම වැඩිදියුණු කළයුතුය.  
   මා හිතනවා, ඔබටත් මේ ගැන කියන්න බොහෝ දේ ඇති. ඒ නිසා, ඔබට ඉඩදී, මෙතෙකින් මගේ අදහස් දැක්වීම නිම කරනවා. 
2015 අප්‍රේල් මස 05 දින 2208 පැය

76 comments :

  1. විචාරක, මට පැන නැගෙන ප්‍රශ්නය නම්, ඕනෙම ජනකොට්ටශයක්, තවත් ජනකොට්ටශයක් විසින් ආතල් ගන්නට බලන්න යාමේ සදාචාරාත්මක බව මොකක්ද යන්නයි. උදාහරණයකට, මා කන බොන හැටි, ජිවත් වෙන හැටි බලන්න මට වඩා "දියුණු" කෙනෙක් අවොත්, මට ඇතිවන හැඟීම මෙහි විස්තර කරන්නේ නැහැ. එවිට මේ වැඩි ජනයා මෙවැනි ජිවන විලාසිතාවකට තල්ලු කිරීමේ වැඩි වැඩකොටසක් ඉටු කර තිබෙන්නේ ඔවුන්ව ප්‍රදර්ශන භාණ්ඩ ලෙස බලන්න කැමති "දියුණු යයි කියන" අනෙක් මානවයන් නේද?
    අර පාරම්පරික වෙදකම් කරනවා යයි පෙන්නන චායාරූපයේ, තරුණ ගැටයාට වෙදකම් කෙසේ වෙතත් ව්‍යායාම් නම් ටිකක් අවශ්‍ය වගේ පෙනෙනවා. මොවුන්ව මෙවැනි කුසීත දිවියකට යොමු කිරීමේ වගකීමෙන් මේ බලන්න යන පිරිස් වලට මිදෙන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟ වෙනවා. එක් මිනිස් කොට්ඨාශයක් තවත් මිනිස් කොට්ඨාශයක් 'නරඹන්නට යාම' ලෝකය පුරා සිදුවෙනවා. එවිට මානව හිමිකම් ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ. මෙතන සිදුවන්නේ මෙයයි. අපේ රටේ සිටි නියම වැදි පරපුර, අවසන් වරට දැක තිබෙන්නේ, සෙලිග්මාන්, ස්පිට්ල්, වැනි අය පමණයි. දැන් ඉන්න අය ඉතා කැමැත්තෙන් මේ 'ප්‍රදර්ශන රැකියාවේ' යෙදෙනවා. ඉතා කණගාටුවෙන් වුනත් කියන්නේ ඔවුන්ගේ නායකයාද එලෙසමයි.

      වැදි හෙවත් ආදිවාසී ක්‍රිකට් කණ්ඩායමක් තිබීමෙන් පෙනෙනවා, ඔවුන් කොපමණ දුරට වර්තමාන සමාජයට අනුගතවී ඇද්ද යනවග. එම කණ්ඩායම, තරගයකට සහභාගිවීම සඳහා, ඉතා විශාල මුදලක් අයකරනවා. ඒ නිසා, ඔවුන් තම සාම්ප්‍රදායික යැපුම් ආර්ථික රටාවෙන් මිදී, වාණිජ ආර්ථිකයට ඇතුළුවී තිබෙන බව පෙනෙනවා.

      අර රූපයේ ඉන්න තැනැත්තා දුටු වහාම, මගේ මනසට ආ සිතුවිල්ල, ඔබද එලෙසම කියා තිබෙනවා. තව වැඩි කල් නොගිහින්, මහියංගන රෝහලේ බයිපාස් සැත්කම් පහසුකම් වැඩි දියුණු කරන්න වෙනවා.

      Delete
    2. මගේ කමෙන්ටුවත් මෙතෙන්ටම අලවනව.

      රයිගම් කියන විදියේ හැඟීමක් මට නං ඇතිවෙන්නෙ නෑ. අපි යන්නෙ අපිට වෙනස් සංස්කෘතියක්, පරිසරයක් බලන්න. දකුණෙ ඉඳල කොළඹ-උතුර-නැගෙනහිර-උතුරුමැද...... බලන්න යන අපිත්, රට රටවල යන මිනිස්සුත් ආදී හැම කෙනෙක්ම යන්නෙ අන්‍ය සංස්කෘතියක් දැකගන්න. සංචාරක වයාපාරය කියන්නෙ ඒකය්. ඒක "මා කන බොන හැටි, ජිවත් වෙන හැටි බලන්න මට වඩා "දියුණු" කෙනෙක් " යාමක් ම නෙවේ. දියුණු සමාජ බලන්න ඊට වඩා නොදියුණු මිනිස්සුත් යනව.

      මට පේන ලොකුම අවුල ඒක නෙවේ. මිනිස්සු වංචාවට පෙලඹිලා. මේක වැද්දන්ට විතරක් නෙවේ සිංහල මිනිස්සුන්ටත් පොදු දෙයක්. ප්‍රසිද්ධ ස්ථානයක සුද්දෙකුට පාර කිව්වම ඇඟට ගොඩවෙන ගයිඩ්ලා ඉන්න රටක් මේක. හැම එකාම බලන්නෙ සංචාරකයා සූරාකන්න. ඒකට සිංහලද දෙමලද මුස්ලිම්ද ආදිවාසීද කියල වෙනසක් නෑ.

      Delete
    3. අඩා පැන්සොන් ආමි බොටා... මෙව්වගේ පෝස්ට් දාලා ආයෙ අප ගං තුලාන පැත්තෙ හක්ලං කොරන්ඩ ගනිච්චොත් බලාන...

      මුලිච්චි උනොත් ඇට පොජ්ජ ගල් පොජ්ජකින් මන්දො කරලයි එවන්ඩෙ....

      -තිසාහාමි-

      Delete
    4. @ AnonymousApril 6, 2015 at 5:10 PM

      ඔයාගේ ගොන් මොළෙත් අරගෙන පැත්තකට වෙලා ඉන්නවද තමන්ට නොතේරෙන දේවල් වලට කට නොදා. ඔයාගේ කුණුහරප ඔයාගේ කුණු අඩවියේම ලියාගන්ඩ. දැන් ඒ අඩවිය හොඳටම කුණුවෙලා නේද?

      Delete
    5. //එක් මිනිස් කොට්ඨාශයක් තවත් මිනිස් කොට්ඨාශයක් 'නරඹන්නට යාම' ලෝකය පුරා සිදුවෙනවා//
      හරි විචාරක, සංචාරය කියන්නේ තමා. එය ඔබත් කරනවා මාත් කරනවා. නමුත් මෙතන හා එවැනි සංචාර වල ප්‍රධාන වෙනස් කමක් තියනවා. දැන් ඔබ කැන්බරා ඇවිත් රට තොට බලාගෙන ගියයි කියල, මෙහෙ ජිවත් වන අයගේ ජීවිතය වෙනස් වන්නේ නැහැ. මෙතැනදී කුඩා කණ්ඩායමක් නිසා, ඔවුනගේ ජිවන විලාසිතාවටම මහා බලපෑමක් වෙනවා කියල ඔබට සිතෙන්නේ නැත්ද?

      දැන් මෙතන මෙහෙම දෙයකුත් තියනවා නේද, එනම් මේ කියන සංචාරකයන්ගේ ඉච්ඡාභංගත්වය, මේ මිනිසුන් පෙර කාලෙම වගේ ගල් ගුහා තුල ජිවත් නොවීම ඇස් දෙකෙන් දැකීම.

      ඇත්තටම සමාජ විද්‍යාව කියන එක මා උනන්දු හා ප්‍රචලිත කරන්න අවශ්‍ය විද්‍යාවක්. මේවා මුදල් හෙවිමට සම්බන්ධ නොමැති නිසා අද කැලේට ගිහින්..

      එමෙන්ම මේ ජනකණ්ඩායම් වලට නූතන මිනිසාගේ වෛද්‍ය, අධ්‍යාපන හා අනෙක් පහසුකම් වලින් ප්‍රයෝජනයක් අත්කර දෙන්නේ කොහොමද කියන එකටත් සියුම් ප්‍රව්ශයක් අවශ්‍යයි. සෙලිග්මාන්, ස්පිට්ල් ලගේ අධ්‍යයන අදත් වැදගත් ඒ නිසා. ඒ අධ්‍යයන කෙරී තියෙන්නේ, ඔවුන්ගේ ජිවන විලාසිතාවට "අති ධාවනකාරී" බලපෑම් නොකර. මෙය මෙවැනි කුඩා ජනකණ්ඩායම් අධ්‍යයනය කිරීමේදී සැලකිය යුතු කාරණයක්

      ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල් ජීවිතයට වෙලා තියන දෙයත් මේ වගේම ප්‍රශ්නකාරී ඛේදවාචකයක්. එය ලංකාවේ වැද්දන් ගේ කතාවට වඩා බොහෝ සංකීර්ණයි.

      Delete
    6. මේ මිනිස්සුන්ගේ සමාජ රටාව, සංස්කෘතිය, චර්යාවන් වෙනස්වීම, ආරම්භ වෙලා තියෙන්නේ, දැනට අවුරුදු සියයකට පමණ පෙර සිටයි. ඒ කියන්නේ, මේ මිනිසුන් වනයේ සැඟවුන තම ජීවිතය හැරදමා, අවට ලෝකය සමග ටිකෙන්ටික සම්බන්ධ වෙන්න පටන්ගත් කාලයේ සිටයි. එතැන්සිට, එය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ මිනිස්සු බලන්න එන්න එපා කියලා එයාලා කියන්නේ නැහැ. අපිව දැකීම නිසා අපේ ජීවන රටාව කොපිකිරීම ඒගොල්ලෝ කරන්නේ අද ඊයේ සිට නෙවෙයි. මා හිතන්නේ ලෝකයේ කොහේ වුවත්, මෙවැනි සුළු ජන කොට්ඨාශ වලට බැහැ තමන්ට පෙනී නොපෙනී තියන, අවට ලෝකයේ මහා සමාජ ප්‍රවාහයෙන් මිදී ඉන්නට. අපේ වගකීමක් වන්නේ, ඔවුන්ගේ සංස්කෘතිය, අනන්‍යතාව, රැකගනිමින් ස්වාධීනව ජීවත්වන්නට අවශ්‍ය පරිසරය සකසා දීමයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ ජීවමාන පරිසරයක් යැයි සිතා එහි යන අය තමයි රැවටෙන්නේ. මේ සංචාරකයින් සඳහා කරන ෂෝ එකක් නේ ද? එහෙම හිතාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත. මිනිස්සු විනෝදය, ත්‍රාසය, ලබන්න වගේම අනික් අයගේ හැසිරීම් නරඹන්නත් රහසිගත කැමැත්තක් තියනවා. ඇත්තටම මෙතන හොඳින් සංවිධානය කල ෂෝ එකක් පෙන්නන්න පුලුවන් නම් ඔවුන්ට ජීවන මාර්ගයක් උදාවෙනවා.

      Delete
  4. //නියම මී පැණි හඳුනාගන්නා හැටි,// වතුර භාජනයකට මී පැණ්I බින්දුවක් දැම්මම හොඳ ඒව නම් එහෙම්මම යට යනව. එහෙම ද ?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඒ වගේම තමයි ප්ලේන් වීදුරුවක් (මල් මෝස්‌තර නැති) මත පැණි බින්දුවක් දැමුවිට එය ඉක්මනින් විසිරෙන්නේ නැහැ. ඇලී තිබෙනවා.

      Delete
    2. ඔය වගේ භවුතික ගුණ අනුව කරන සරල පරීක්ෂණ එතරම් සාර්ථක නැහැ. ඔය ගුණ තියෙන විදියට පහසුවෙන් කෘතීම පැණි හදන්න පුළුවන්. යම් යම් ද්‍රව්‍ය කවලම් කිරීමෙන්. නියම මී පැණි සහ කිතුල් පැණි හඳුනා ගන්න නම් හොඳම සංවේදකය දිව පමණි.

      Delete
    3. සීනි වලින් හදපු පැණි බින්දුවක් වතුරට දැම්මොත් දියවෙනවා. වෙනත් රසායනික ද්‍රව්‍ය දාන්න තරම් අපේ රටේ පැණි හදන අය 'දියුණු' නැහැ. රසායනික සංයෝග දානවානම්, දිවට නියම මීපැණි රසය දැනෙන ආකාරයට කෘත්‍රිමව හදන්න පුළුවන්. විවිධ රස සෝයා හදනවා වගේ.

      Delete
    4. මේ පරීක්ෂණ දෙකම වැරදියි. පළමුවැන්නෙන් මැනෙන්නේ ද්‍රවයේ ඝනත්වය. දෙවැන්නෙන් මැනෙන්නේ පෘෂ්ඨික ආතතිය. ඒ නිසාම ද්‍රවය මී පැණි කියන්න බැහැ. මගේ මතය නම් මෙයයි.

      ස්වාභාවික මී පැණි ඇති වෙනත් රටවල මී පැණි කර්මාන්තයක් කියලා දෙයක් තියෙනවා. ඒ නිසා වද බඳින්න මීමැස්සන් ඉන්නවා. මී පැණි කර්මාන්තයක් කියලා දෙයක් නැති ලංකාවේ ස්වාභාවික මී පැණි කියලා දෙයක් තියෙන්න බැහැ. කැලේ කලාතුරකින් දකින්න ලැබෙන වද කඩලා මී පැණි හදනවා නම් ඒවා ඉතාම මිළ අධික විය යුතුයි. එය කරන්න ලෙහෙසි දෙයක් නොවන නිසා. එනිසා එහෙම මී පැණි ලංකාවේ නැහැ. අපට ලැබෙන සියළුම මී පැණි කෘතිමයි.

      Delete
    5. මකලා
      දිවටත් හඳුනාගන්න බැරි රසයන් තියනව. මම අපේ කාර්යාලෙට ගෙනාපු කිතුල් හකුරු මුලක් ගත්ත. ඔරිජිනල් රසයම නැතත් ඊට සෑහෙන්න කිට්යු රසක් තිබුන.
      පැනි/හකුරු හදන මනුස්සයෙක් කිව්ව කිතුල් පැනි රස එසන්ස් එකක් තියනව කියල. අර කොලිටිය ගන්නෙ එහෙමයි. :-)

      Delete
    6. @විචාරක, @රාජ්
      එහෙමනම් ඔරිජිනල් හොයන්න ලැබ් එකක් නැතුව බැරි වෙනවා. දැන් කිතුල් කපන එකා මී පැණි කඩන එකාම තමයි හොර පැණි හදන්නෙත්. කිතුල් කපන එකාගේ ගෙදරට ගියත් විකුනන්නේ හොර පැණි.

      Delete
    7. ඔව් ඇත්තටම රසායනාගාර පරීක්ෂණ තියන්නම වෙනවා. මේකට පොඩි ටෙස්ට් කිට් එකක් හදන්න පුලුවන්නම් හරිම අගෙයි.

      Delete
    8. රාජ් අයියා.. ඔරිජින්ම කිතුල් හකුරු හොයන්න පුලුවන් නේද අර හකුරු බෑයට ඇඟිල්ල තියලා ඔබල බලලා මාළු වල සීන් එක වගේම.. හරිනං ගල්ගෙඩි වගේ හයි වෙන්න බෑ.. තද කරොත් ඇඟිලි පාර හිටින්න ඕනැ නේ බං..

      Delete
    9. බෑයේ ඇඟිල්ල ගහන්න ගිහිල්ලා අතම කපාගන්න තමයි වෙන්නේ

      Delete
  5. ඔවුන්ට හැමදාම ආදිවාසීන් ලෙස සිටිය නොහැකිය. නවීන සමාජයත් සමග ඉදිරියට යාමේ අයිතිය ඔවුන්ටද තිබිය යුතුය. අපිට ආතල් ගැනීමට ඔවුන් ආදිවාසීන් ලෙස සිටිය යුතු බව අප සිතනවානම් එය කාලකන්නි සිතිවිල්ලකි. සංචාරකයින්ගෙන් මුදල් ඉල්ලීම දඹානෙ අය විතරක් නොව සංචාරකයින් ගැවසෙන සැම තැනකම සිදුවන්නකි භාෂා හත අටකින්ම කතා කරමින් හික්කඩුව වැනි ප්‍රදේශවලදී සංචාරකයින්ගෙන් මුදල් ඉල්ලන අයුරු දැක බලා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් එකඟයි. ඔවුන් පරීක්ෂණාගාර මීයන් හෝ සජීවී උදාහරණ ලෙස පෙනීසිටියයුතු නැහැ. බලන්න මම මගේ නිරීක්ෂනවල ඒ බව කියා තිබෙනවා. මොවුන් තම අනන්‍යතාව විකුණාගෙන කණ තත්වයට පත්කර තිබෙන්නේ වර්තමාන ආර්ථික ක්‍රමය මගින්. ඔවුන්ගේ ස්වාධෙනත්වය නගා සිටුවීම සඳහා පළමුව ඔවුන්ට තීරණයක් ගැනීමට අයිතිය ලැබිය යුතුයි. නමුත් එය රටේ නීතියට එකඟ තීරණයක් වියයුතුයි. උදාහරණයක් වශයෙන් ඔවුන්ට බැහැ දඩයමින් ජීවත්වෙනවා කියා තීරණය කරන්න මන්ද එය වනජීවී පනතට පටහැනි වන නිසා.

      ලංකාවේ වෙනත් ප්‍රදේශවලදී සංචාරකයින්ගෙන් මුදල් පිරිස්, වෙනම ජන අනන්‍යතාවක් පිළිබඳව කතාකරන අය නෙවෙයි. සාමාන්‍ය යදින්නන්.

      Delete
  6. මේ ආදිවාසී ජනතාව තමයි ශ්‍රී ලංකාවේ සැබෑ උරුමකරුවෝ. ඒ අයට මේ වගේ අපහාස උපහාස කරන්නේ ඇයි මහත්තයෝ? ඒක ගැලපෙන්නේ නෑ නේද? මහත්තයා ආගමක් ධර්මයක් අදහන්නේ නැද්ද? ආ? මහත්තයා පන්සලකට පල්ලියකට යන්නේ නැද්ද? ඇයි මේ වගේ අපහාස කරන්නේ? ඇයි මෙහෙම තවත් මනුෂ්‍යයන් කොටසකට පහත් විදියට සලකන්නේ? මහත්තයාගේ තියෙන මනුෂ්‍යත්වය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මහත්මයා ලිපිය සම්පූර්ණයෙන් කියවන්නේ නැතිව, තමන්ගේ වාලධිය මත සිටගැනීමේ වේදනාවෙන්, අවලාද නැගීම පිළිබඳව, මාගේ කණගෑටුව සහ අනුකම්පාවද ප්‍රකාශ කරමින්, පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරමි.

      මොවුන් ශ්‍රී ලංකාවේ සැබෑ උරුමකරුවෝ කියා මහත්මයා නිකම් කිව්වාට වැඩක් නැත. මෙවැනි ලිපි ලියවෙන්නේ ඒ ගැන සංවාද කරන්නටයි. මහත්මයා වැනි අවලාද කරුවන්ට නොවෙයි. ඔබේ මතය තහවුරු කරන්නට කරුණු ඉදිරිපත් නොකර අවලාද කීම හාස්‍යජනකය.

      මම කිසිම ආගමක් ධර්මයක් අදහන්නේ නැත. මම බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙක්මි. බෞද්ධ දර්ශනය ඇදහිය නොහැකිය. යැදිය නොහැකිය, අනුගමනය කිරීම, පිළිපැදීම සහ අධිෂ්ඨානය පමණක් පිරිසිදු බෞද්ධ දර්ශනයේ ඇත. එය මහත්මයා වැනි අය අදහන යදින ආගම් හා කිසිසේත් සමාන නොවේ.

      මේ ලිපියේ මම වැදි ජනතාව පහත්කොට සළකා නැත. ඔවුන් විහින්ම තම අනන්‍යට හානි පමුණුවා ගැනීම පිළිබඳව මාගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමකි මා කළේ. ලිපියේ සමස්තයාර්ථය මහත්මයාට නොවැටහුණාට මා කුමක් කරන්නද?

      Delete
  7. 'වැදි' ජනතාවත් සංක්‍රමණය වූවා විය හැකියි.නමුත් ඉබ්බන්කටුව,බෙලි ලෙන,බලංගොඩ ආදී පුරාවිද්‍යා ස්ථාන තහවුරු කරන ආකාරයට ශ්‍රී ලංකාව මනුශ්‍ය වාසස්ථානයක් බොහෝ ඈත අතීතයේ සිටම.
    තවත් මිනිස්සු කොටසක් බලල ආතල් ගන්න එකට මමත් එකඟ නෑ.. නමුත් ලෝකෙ පුරාම ඒකත් ආතල් එකක් වෙලා...

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ අදහස් දැක්වීමක්. ඇත්තටම දැනට තිබෙන පර්යේෂණ ග්‍රන්ථ වලින්ද පෙනීයන්නේ මේ ජන කොට්ඨාශය සංක්‍රමණයවූ පිරිසකගෙන් පවත එන බවයි.

      ප්‍රාග් ඓතිහාසික මානව වර්ගයන් මේ රටේ ජීවත්වූ බව රහසක් නොවේ. නමුත් මෑත ඉතිහාසයට උරුමකම් කියන්නට බැරිතරම් ඈත අතීතයේ තමයි ඔවුන් ජීවත්වී තිබෙන්නේ. විජයාවතරණය සිදුවෙද්දී මෙහිසිටි ජන කොට්ඨාශ තමයි ආදිවාසීන් වියයුත්තේ.

      Delete
  8. තමුන් බලන්න කට්ටියක් එද්දි එන කට්ටියගෙන් වාසියක් වෙද්දි මේ තත්වය ඉබේම ඇතිවෙනව. නමුත් මම ඉහලින් කිව්ව වගේ වඩාත් අවංකව මේ වැඩේ කරන්න බැරිකමක් නෑ. අවුල තියෙන්නෙ එතනයි.

    ආදිවාසීන් කියල හැමදාම කැලේට වෙලා ඉන්න ඕන නෑ. එයාලත් ස්මාට්ෆොන් පාවිච්චි කරන්න ඕන.එයාලත් වාහන වල යන්න ඕන. හැබැයි ඒ වෙද්දි තවදුරටත් 'ආදිවාසීකම' සංකේතයක් විතරක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි රාජ්. කිසිම බලහත්කාරකමකින් තොරව තම පෞද්ගලික මානව නිදහස පාවිච්චි කරමින් තම වර්ගයාගේ පැවැත්ම තීරණය කිරීමට ඔවුන්ට සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඔවුන්ට නැති විකාර ඔලුවට දාලා රූකඩ බවට පත්කර තිබෙන්නේ ඔවුන්ගෙන් වාසි ගන්න බලන දේශපාලකයන් විසින්.

      ඇත්තටම වැදි යන වර්ග නාමය කැමතිනම් පමණක් භාවිත කරමින්, සාමාන්‍ය සමාජය සමග අනුගත වන්නට ඔවුන්ට හැකිවේවා කියා මමත් ප්‍රාර්ථනය කරනවා.

      Delete
  9. මම හිතන විදියට නම් ලංකාවේ දැන් නියම ආදිවාසීන් නැහැ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    2. වෙන්ඩ ආදිවාසීන් 54යි බිංදු 5ක් ඇත.

      Delete
  10. ඔබතුමාගෙ වර්ප්‍රෙස් සමගාමී ලිපියට එන ප්‍රතිචාර මෙයටත් එක් වෙන විදිහක් තියනවා නම් ගොඩක් වටිනවා. ආදිවාසීන් විදිහට ඇඳගත්තු අයයි අන්දවාපු අයයි ඒ අතරට පැනගත්තු වෙළෙන්දොයි නිසා ආදීවාසී සමජය විහිළුවක් බවට පත්වෙලා.

    ReplyDelete
    Replies
    1. තවමත් එහෙම ක්‍රමයක් හොයාගන්න බැරිවුනා.

      ආදිවාසීන් කියන එක හරියට නිර්වචනය කරගත්තම ප්‍රශ්නය විසඳෙනවා

      Delete
  11. මං නං යන්නෙ කැකුළියො බලන්න :D ඕ යේස්

    ReplyDelete
    Replies
    1. හිටුකො. ආයේ මට හම්බවෙන්නේ නැතෑ. දෙන්නම් කැකුළු.

      Delete
    2. හරි අවුලක් නෑ මමත් එනවා

      Delete
  12. ලොකූ කෞතුකාගාරයක් හදලා ඔය තිබුණය, තියෙනවය කියන සංස්කෘතික උරුමයන් සේරම ඒකට දාලා සංරක්ෂණය කරලා, ලේබල් කරලා සංචාරකයන්ට බලන්න ඉඩ ඇරල මේ මින්ස්සුන්ට කැමති විදිහට දියුණු වෙන්න අරින්න ඕනි. දියුණු ජන සමාජවල මිනිස්සු මේ අයව බලන්න ගිහාම එයාලාගෙ අඩුමකුඩුම, කෑම බීම, ඇඳුම්, සල්ලි දැක්කම වැදි ජනතාවට හිතෙනවා ඇති මේ කැලේ මදුරුවො තලා තලා මුවෝ පස්සෙ දුවනවට වඩා බිස්නස් එකක් කරගෙන කාල ඇඳල ඉන්න එකනෙ සැප කියලා. ලෝකෙ කොහෙත් විවිධ ජාතීන් දියුණු වෙලා ඇත්තෙ ඔය ක්‍රමේට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ මදාවියා මෙතනත් වැදී කුණුහරුප කවියක් කියයි කියලා ..:P

      Delete
    2. @ මධු - දැනටමත් එහෙම කෞතුකාගාරයක් දඹානේ තියනවා. නමුත් එය මේ මිනිස්සුන්ගේ ජීවිතයට කිසිම ආධාරයක් වෙන්නේ නැහැ. මේ අයට ස්වාධීනව ජීවත්වීමට යම් මගපෙන්වීමක් කලයුතුයි.

      @ ඉවාන්. උඹ බලාගෙන ඉන්නෙම එව්වා කියනකල් නේද? :e

      Delete
  13. ලංකාවේ ඊනියා වැදි ජනතාවට ඕනෑ තරම් අවස්ථා දුන්නා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. වැඩි දෙනෙක් ඒ අවස්ථා වලින් ප්‍රයෝජන ගත්තා. මේ ඉතුරු වෙලා ඉන්න හොරු ටික තමයි මෙහෙම සංචාරකයින් ගොනාට අන්දලා ජීවත් වෙන්න බලන්නෙ. මේ වැද්දන් නෙවෙයි. ඌරුවරිගේ තිසාහාමි කියන්නෙ මාතර පැත්තේ තමන්ගෙ ගෑනි මරාදාලා පැනලා ආපු මිනිහෙක්. මේ ඉන්න එවුන්ට සෙලිග්මාන් හා ස්පිට්ල් සඳහන් කළ කිසිම වැදි කණ්ඩායමක් එක්ක සම්බන්ධයක් නැහැ. මුන් අමු තක්කඩි රැළක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි . හැබැයි ඔබ කියන තිසාහාමි වෙන කෙනෙක් වෙන්න ඇති. සෙලිග්මාන්ගෙ පොතෙත් තිසාහාමි කෙනෙක් ගැන කියනවා. ඌරුවරිගෙ තිසාහාමි නොවෙයි

      Delete
    2. ඇනෝගෙ කතාව කිව්ව වෙද ගෙදර මහ වෙදනත් ටික කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකට දාපු කමෙන්ටුවකින්

      Delete
    3. ඒ තිසාහාමි හිටියේ නිල්ගල.. ඌරුවරිගේ තිසාහාමි නෙවෙයි ඒ. වැරදි අදහසක්.

      Delete
    4. මේ ගැන යමක් වැඩිදුර දන්නව ඇති ප්‍රා! කොහොම උනත් ගෑණියෙක් මරල කැලේ පැන්න මිනිහෙක්ට වැදි නායක කමක් ලැබෙයි කියල හිතන්න බෑ. අනික ඔය පටලැව්ල්ල එන්නෙ ස්පිට්ල්ගෙ පොතක තීන අම්පාරෙ වන්නකු තිසා හාමි කියන චරිතයක් නිසාය කියල අහල තියෙනව.

      Delete
    5. @ AnonymousApril 6, 2015 at 2:33 PM

      මා කැමති නැහැ ඔවුන් හොරුන් හෝ පහත් මිනිසුන් ලෙස වර්ග කරන්නට. ජීවිතයට නිසි මගපෙන්වීමක් නොලද ඕනෑම මිනිහෙක් නොමග යාම පුදුමයක් නෙවෙයි. මේ වැදි ජනතාවගේ ජීවිත අවුල් වුනේ අපේ මිනිස්සු අනවශ්‍ය ලෙස ඔවුන්ගේ ජීවිත වලට රිංගීම නිසා කියලයි මමනම් හිතන්නේ. අනෙක දේශපාලන රැවටීම් වලට මේ මිනිස්සු අහුවෙලා ඉන්නවා. මේ අයට ස්වාධීනව ජීවත්වන්නට මගපෙන්වීමක් අවශ්‍යයි.

      අදහස් දක්වා ඇති අනෙක් සියලුදෙනාටත් ස්තුතියි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ස්පිට්ල්ගෙ වන්නකු තිසාහාමිගේ වැදි නෑදෑ කම ඔහුගේ ආච්චි පමණයි මට මතක හැටියට. ඒ හැර ඔහු වැද්දන් සමග සම්බන්ධකම් පැවැත්වූ සිංහල මිනිහෙක් . එක් බිරිඳක් වැදි.

      වැද්දන් දකුණු ඉන්දියානු ගෝත්‍රයකට සම්බන්දද, Negrito කොටසක්ද , ඔස්ට්‍රේලියානු ඇබොරිජින්ලට නෑකම් කියනවද, වෙනස්ම කොටසක්ද කියන එක ගැන මත තියනව වැද්දන් ගැන කරපු හොඳම රිසර්ච් එකක් (තාමත්) 1880 ගනන්වල Sarasin ඥාති සහෝදරයින් කරපුඑක.

      ලඟදි මං හොයාගත්ත එකක් වික්‍රමනායකලගෙSecular trends in the physical anthropology of the Veddas of Sri Lanka http://dl.nsf.ac.lk/bitstream/handle/1/7071/CJMS-35?
      sequence=2
      ඒ ඇරෙන්න විජේසේකර, ස්පිට්ල්, සෙලිග්මාන් හා තව තියනව.
      ස්පිට්ල් කියෙව්වනම් තේරෙනව 1930 s පස්සෙ සංස්කෘතික වශයෙන් සැබෑ වැද්දන් නැතිවුන බව. Genetically විදිහටනම් කවද ඉඳන් mixed ද, කියල කියන්න අමාරුයි

      Delete
    8. බොහොම ස්තුතියි මේ අගනා කරුණු පැහැදිලි කිරීමට. මේ ලිපිය ලියන්න කලින් මා කියවන ලද මූලාශ්‍ර ලිපි මධ්‍යස්ථ මතධාරියාගේ සහ ඉන්දික උපශාන්තගේ කමෙන්ට්ස් වලට පිළිතුර සමග දාලා තියනවා.

      Delete
  14. ඇත්තටම ආදිවාසීන් ලෙසින්ම ඔවුන් මෙතරම් කාලයක් පැවතිය යුතුද ? මම නම් හිතන්නේ ඔව්න් යම් යම් ආර්ථික සහ සමාජයීය වාසි බලාගෙන තවමත් එහෙමම පවතින්න උත්සාහ දරනවා කියලයි. නැතිනම් ඔවුන්ට මේ පවතින සමාජයට අනුගත් වීම බොහොම පහසුවෙන් කල හැකි දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අද ඔවුන් ආර්ථික වාසි බලාගෙන තම ඓතිහාසික අනන්‍යතාව හෑල්ලු කරගන්නවා. ඔවුන් දෙබිඩි ජීවිත ගතකරනවා. ඒ නිසා තමයි කරුණු කියාදී ඔවුන්ට ස්වාධීන තීරණ ගැනීමට පෙළඹවිය යුත්තේ.

      Delete
  15. මේ ශාස්ත්‍රීය වටිනාකමක් තියන පෝස්ටුවක්. මෙහෙම එකකට මුලින්ම කොමෙන්ට් කළානම් තමයි අවධානය ලැබෙන්නෙ.
    අපරාදෙ උදේ මේක දැක්කත් මට වැඩ නිසා වෙලාවක් තිබුනෙ නෑ.

    වැදි ජනතාව ගැන පර්යේශන කළ සෙල්ග්මාන් ප්‍රකාශ කලේ සැබෑ වැද්දන් පසුගිය සියවස මුල පවා සිටියේ දෙතුන් දෙනෙක් බවයි. අනෙක් සියල්ලෝම ප්‍රදර්ශන වැද්දෝය. එකල එසේනම් අද කවර කතාද

    වැද්දන්ගේ ආදිවාසී කම බොරුවකි. මහා සමාජයෙන් වෙන්වූ ගෝත්‍රයක් ලෙස වැද්දන් කිසිදා ජීවත් වී නැත. කිරි කොරහෙ නැටුම හා ප්‍රාදේශීය දෙවිවරු වැනි සංස්කෘතික සංරචකයන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකිය හැකි විශේෂ සංස්කෘතික දේවල්ය. උඩරට පහතරට නැටුම් , සබරගමු සම්ප්‍රදායන්, නුවරකලාවියේ හා වන්නියේ සංස්කුතිය ගත්විට ඒවා සුවිශේෂතා ඇත.

    වැද්දන් මෙරට ආදිවාසීන්ය කීම මිත්‍යාවකි. මෙරට අතීතයේ සිටි යක්ෂ නාග දේව වැනි ගෝත්‍ර එක්වී සිංහල ඇතැම්විට දෙමළ මහා සමාජය ගොඩ නැගුනි. එම මහා සමාජයට අනුගත නොවී එහෙත් එම සමාජයෙන් පෝෂනය ලබමින් කැලෑ ජීවිත ගත කළ පිරිසක් ලෙස මේ වැද්දන් හැදින්විය හැක.

    මේ පිලිබදව පර්යේශන කළ ආචාර්ය ශිරාන් දැරණියගල ප්‍රමුඛ විද්වතුන් මානව රූපාකෘති විද්‍යාව හා ජාන ඇසුරෙන් සිංහල දෙමළ හා වැදි ජනයා ගැන අපූරු විවරණයක් කළහ.
    මේ අනුව සිංහල ජනයා තුල වැදි ලේ තිබෙන අතර විදේශිකයන් රැවටීමට වැද්දන් කොටබකිනියෙන් ගෙන්වීමට සිදුනොවේ. මෙරට රැකියා විරහිත උපාධිධාරීන් ඒ සදහා පුහුණු කළ හැක. අපි සැමගේම වැදිලේ ඇති බැවිනි.

    උඩරට රාජ්‍ය තිබූ කාලයේ වැදි රෙජිමේන්තුවක්ම තිබූ අතර රජු ඔවුන්ට සම්මාන ලබා දී උසස් කුලයක් ලෙස සමාජගත කර ඇත. සමහර දිස්ත්‍රික්කවල ගොවි කුලයේ බහුතරයක් වැද්දන් බව ඔවුන්ගේ වාසගම් සාක්ෂි දරයි. වැදි ගම්මාන වලට යාබද සිංහලයන් රූපාකෘති ව පමනක් නොව සංස්කෘතිකමය වශයෙන් පවා වැද්දන් ගෙන් වෙනස් නොවේ.

    විජයාවතරණය ( මෙය සත්‍යක් යැ‍යි පිළිගනිමු නම් ) ඒ සමඟ ලංකාවට ආවේ ඉතා සුළු ජාන ප්‍රමාණයකි. එම විදේශීය ජාන මෙරට මහා ජාන සාගරයේ ගිලී ගියේය.

    වැද්දන් සතුව ඔවුන්ටම ආවේනික සංස්කෘතික ලක්ෂන තිබූ පලියට ඔවුන්ට ආදිවාසී කමක් ආරෝපනය කර ඩෙගා නැටවීම නම් එන්ජීඕ ව්‍යාපෘතියකි.

    පුරාන සිංහලයන් හා වැද්දන් ගේ ජීවන රටාව කිසි ලෙසකින්වත් වෙනස් නොවීය. දෙගොල්ල හදුනාගැණීමද පහසු නොවීය. දැන් සිංහලයන් බටහිර කරනය වී තමන්ගෙ ම පිරිසකට ආදිවාසීන් කියයි.

    ReplyDelete
    Replies
    1. //වැද්දන්ගේ ආදිවාසී කම බොරුවකි. මහා සමාජයෙන් වෙන්වූ ගෝත්‍රයක් ලෙස වැද්දන් කිසිදා ජීවත් වී නැත. //

      සෙල්ග්මාන් තරම් ලංකාවෙ ජනප්‍රිය නොවෙන වැද්දන්ගෙ බස ගැන පොතක් පවා ලියපු සෙලිග්මාන්ට කලින් වැද්දො ගැන සෙව්ව සහ ලිවූ ගයිගර් කියන්නෙ මීට වෙනස් අදහසක්. ගයිගර්ගෙ The Language of the Vaddas කියන පොතේ විදිහට වැද්දන්ගෙ ආදි බස ඉන්දු ආර්ය බසෙන් වෙනස් බොහෝ දුරට. අනික ගයිගර්ට හම්බ උන වැද්දො දරන්නෙ විසාල දුනු, උන් විතර උස. ගයිගර් ලංකාවට මුලිම්ම 1898 ආ ගමණ ගැන තියෙන පොතේ ඒ වැද්දොන්ගෙ පින්තූර තියෙනව.

      අනික ලංකව වගේ පුන්චි රටක සමාන්‍ය ජන සමාජෙන් වෙන්වෙල ඉන්න බැරි උනාට වැද්දන් කියන්නෙ සිංහලයන් හෝ දෙමළුන් නොවෙන, නමුත් ඔවුනුත් මුහු වෙච්චි ජාතියක් කියන තර්කය පිළිගන්න පුළුවන්. සමහරවිට ස්පිට්ල් එහෙම නොවෙන්න ලංකාවෙ වැද්දන් මෙච්චර ජනප්‍රිය නොවෙන්නත් තිබ්බ. දැන් බලන්න මුහුදු වැද්දො කියන ජාතිය. තව දසකයක් දෙකක් යුද්දෙ තිබ්බනම් උන් වඳවෙලාම යනව දෙමළ සමාජෙ ඇතුලෙ. ඒ වගේ වැද්දන්ව බලන්න, උන්ට ආදිවාසි කියල පුදන්න නොගියනම් සිංහල සමාජෙට මීට වඩා වැද්දො එකතුවෙලා දියවෙන්න තිබ්බ.

      දැන් චක් නොරිස් කියන්නෙත් ආදිවාසියෙක්නෙ. ජොනා ලොමු කියන්නෙත් ආදිවාසියෙක්. එහෙම කියල උන් කොළ අතු ඇඳගෙන පිහාටු ගහගෙන නටන්නෙ නෑනෙ. ඒ නිසා අපේ උන්ටත් එන්න දෙන්න ඕන, බලන්න යන්න නෙමේ. මම සොරබොර වැව බලන්න දෙපාරක්ම ගියා ඒත් වැද්දො බලන්න ගියෙ නෑ. නිකන් මොකට භාගෙ වැද්දො බොරුවට බලනවද!

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියාට සහ ඉන්දිකට හද පත්ලෙන්ම ස්තුති කරනවා.

      මා මෙම ලිපිය ලිවීමෙන් අදහස් කලේ මෙවැනි හරවත් සංවාදයකට මුලපිරීමයි. ඇත්තෙන්ම ඔබ දෙදෙනාගේම අදහස් ඉතා අගය කරනවා. මේ ලිපිය ලිවීම සඳහා මා සොයාගත් මූලාශ්‍ර පහත දක්වන අතර එම ලිපිවලද ඔබ කියා ඇති ආකාරයේ අදහස් තිබෙනවා.

      වැදි ජනතාව පිළිබඳව සෑහෙන කලකට ඉහතදී මා කියවා ඇති ලිපිවලවත් සඳහන්වී නැහැ ඔවුන් ලංකාවේ ආදිවාසීන් ලෙස පිළිගැනීමට තරම් පැහැදිලි සාධක තිබෙන බව.

      http://en.wikipedia.org/wiki/Vedda_people

      http://en.wikipedia.org/wiki/Vedda_language

      http://vedda.org/wanniyalaeto.htm

      http://www.encyclopedia.com/topic/Vedda.aspx

      http://www.culturalsurvival.org/publications/cultural-survival-quarterly/sri-lanka/sri-lankas-forests-conservation-nature-versus-peo

      http://www.archaeology.lk/aboriginal-ecology-finding-missing-link-between-prehistoric-man-and-the-modern-man/

      ඇත්තෙන්ම නියම වැද්දන් දැනට සියවසකට ආසන්න කලකට ඉහතදී සිටිය බව සිතිය හැකියි.

      Delete
  16. //මේ ශාස්ත්‍රීය වටිනාකමක් තියන පෝස්ටුවක්. මෙහෙම එකකට මුලින්ම කොමෙන්ට් කළානම් තමයි අවධානය ලැබෙන්නෙ. // +++++++++++

    මධ්‍යස්ථ මතධාරියාගේ ගේ කොමෙන්ටුව ඉහලින් අගය කරනවා. මෙයාකාරයෙන් බැලුවම පුරාණ සිංහලයින්ගේ චාරිත්‍ර වාරිත්‍ර හා ජන ජීවිතය ආශ්‍රිත ක්‍රියාකාරකම් බොහෝමයක් තියෙනවා අද වෙනකොට වැළලී ගිය හා ඉතා විශාල පරිවර්ථන වලට ලක්වුණු.. උදාහරණෙකට ලඟ එන සිංහල අලුත් අවුරුද්ද හා ඒ හා බැඳුණු චාරිත්‍ර ගත්තත් එහෙමයි. මෙය උඩරට පහතරට හා තවත් බොහෝ බෙදීම් මඟින් ද විශමව ගිය එකක්. වැද්දන් ආදීවාසීන් වෙනවනම් ඒ ජනතාව මොක්කුද? වැද්දන් වෙනුවෙන් කෞතුගාරයක් හදල ආරක්ශාකල යුතු වැදි අංග ගැන කියන අය මේ විදි ක්‍රම ගැන කතා නොකරන්නේ ඇයි? මේ හැම සංස්කෘතියකම තියෙන ඉතිහාසය හා සම්ප්‍රධායින් දිනපතා වෙනස් වෙනවා. එක කොට්ඨාශයක් පමණක් විශේෂත්වයක් කොට නොගෙන ඒ හැම එකක්ම අනාගතයට විශේෂයෙන්ම ඒ ගැන හදාරන උන්ගේ පහසුව සඳහා සංරක්ශනය කල හැකි විදියක් සැදිය යුතු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ. ලෝකයේ කිසිම ජන කොට්ඨාශයකට බැහැ හැමදාම තම පාරම්පරික සංස්කෘතික ලක්ෂණ ඒ විදිහටම තියාගන්න. ලෝක සමාජය සමග ගැටෙනවිට තම අනන්‍යතාවයේ වෙනස්කම් සිදුවන්නේ නොදැනීමයි. අද මුස්ලිම් මූලධර්මවාදීන් ඉතා අමනෝඥ ලෙස සටන් වදින්නේ ලෝකය සමග මුස්ලිම් ජාතිය මුසුවීම වලක්වා ගන්නටයි.

      වැදි ජනතාව මේ රටේ ආදිවාසීන් යයි කියන සංකල්පය දේශපාලන වාසි තකා නිර්මාණය වූවක්දැයි සක සිතෙනවා. මේ ජනතාව කොන් කරන්නට අවශ්‍ය නැහැ. ඔවුන්ටත් රටේ පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් එලෙසම තිබෙන නිසා ස්වාධීනව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සැකසීමයි කලයුත්තේ.

      Delete
  17. ඉතිහාස කතා වලින් අපිට කියලා දෙන විදිහට වැද්දන් කියන කොට්ටාසය ආරම්භ වෙලා තියෙන්නෙ කුවේනිගෙ දරුවො දෙන්නගෙන් නම් මේ වැද්දන්ට ආදි වාසීන් කියලා හඳුන්වන්න බෑ නේද? ඊට කලින් ලංකාවෙ ජන කොටස් හතරක මිනිස්සු වාසය කරලා තියෙනවානෙ. එතකොට ආදි වාසීන් වෙන්නෙ වැද්දන්ද කලින් හිටපු අයද? ආදිවාසීන් (aboriginies / indigenous people) කියලා ලෝකය තුල ව්‍යවහාර වෙන්නෙ යම් කිසි රටකට වෙන ජාතීන් කොටසක් ඇවිත් පදිංචි උනාම ඒ රටේ කලින් හිටපු ජන කොට්ටාසයට නේද...?

    ReplyDelete
    Replies
    1. මාත් මේ විදියට අහලා තියෙනවා.. පිළිතුරක් දෙන්න

      Delete
    2. මේ ලිපියේ මුලදීම මා ඒ කරුණු සඳහන් කලේ ඒ නිසයි. කුමන ඉතිහාස පොතකවත්, අභිලෙඛනයකවත්, සඳහන් වන්නේ නැහැ වැදි ජනතාව මේ රටේ ආදිවාසීන් ලෙස සලකන බව. මේ තත්වය පසුකාලීනව ආරූඪ කළ දෙයක් විනා, ඉතිහාසගත සත්‍යයක් නෙවෙයි. නමුත් විවිධ වාසි තකා බුද්ධිමතුන්, දේශපාලකයන් මේ ගැන කරුණු පැහැදිලි කිරීම් වලට ඉඩ දෙන්නේ නැති බවක් පෙනෙනවා.

      Delete
  18. ආදිවාසීන් ගැන මගේ අත්දැකීමක් : 1998 විතර කාලයේ මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යෂක සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී (MOH / DDHS) ලෙස කටයුතු කලා. ඒ කාලයේ වරක් අපි දඹානට ගියා. එකල තිසාහාමි ජීවතුන් අතර​. තිසාහාමි වැදි භාෂාවෙන් කියූ දේ හොඳ සිංහලයට පරිවර්තනය කලේ වර්තමාන වැදි නායකයා ඌරුවරිගේ වන්නනියැලැත්තෝ. ඒ කාලයේත් මේ වෙලඳම් තිබුණා. මහියංගනයෙන් මිලදී ගන්න හරක් මස් තීරු තීරු කපා වේලා වේලපු දඩමස් ලෙස ඔවුන් විකුණනවා. කඩයෙන් සීනි මිලට ගෙන උණු කර පැනි සාදා මී පැණි ලෙස විකුණනවා.

    පසු කලයක ආදිවාසීන් මේ වගේ තමන් ගේ අනන්‍යතාව විකුණාගෙන කෑම උතුරු ඇමරිකාවේත් ඕස්ටෙ‍්‍රලියාවේත් මම දැක්කා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒ අදහස් දැක්වීම ගැන. මටත් පැහැදිලිවම පෙනෙන්නේ මේ මිනිස්සුත් අපේ 'දියුණු සමාජය' ආදර්ශයට අරගෙන, කාලයේ තාලයට වැඩ කරන බවයි. ඒ නිසයි මා කියන්නේ සංචාරකයන්ට පෙන්වීම සඳහා පමණක් වෙනම ආදර්ශ ගම්මානයක් සකසා ඔවුන්ගේ අතීතය පෙන්වන අතර, රටේ අනෙකුත් මිනිසුන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම වරදක් නෙවෙයි. දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමයි වැරැද්ද.

      ඔබ කියන ආකාරයට ලෝකය පුරාම සිටින ආදිවාසීන් දැන් ඒ තත්වයෙන් මිදී සිටිනවා වගේ.

      Delete
  19. පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි එවවලට දාලා තියෙන උත්තර ටිකයි ඔක්කොම කියවල එන්න ගියොත් අපි නාකිවාසියෝ වෙලා තියෙයි

    ReplyDelete
    Replies
    1. නාකි කියන්නේ නොහැකි. උඹ දැන්මම නොහැකි වෙලාද

      Delete
  20. මොනවා බලන්නද අෆ්පා...මම නම් අකමැතිම ගමනක්..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ ආරම්භක පින්තූරය වශයෙන් දාලා තියන පින්තූරයේ වගේ ඉන්නවානම් යන්න තිබුණා. එහෙම නේද?

      Delete
    2. මගේ රස්සාවට කෙලින්නද හදන්නේ?

      Delete
  21. ඔය ආදිවාසියෝ ටික හැබැහින් දැකගන්ට ආසයි... :)

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලම බලලා අත්දැකීමක් ලබන එක හොඳයි.

      Delete
  22. මී පැනි හදුනගන්න ක්‍රමෙත් දැම්ම නම් වටිනවා. :)
    වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් අපල මේ පැත්තට ආවේ. බොහොම ස්තුතියි.

      Delete
  23. අර දුන්හිඳ අල්ල බලන්න යනකොටත් පාර පෙන්වන්න කට්ටිය සෙට් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඒ කට්ටියගෙන් සමහර අය කියනවා කිතුල් රා තියනවා කියලා. ඉතින් අපේ සම හරක් එව්වා බොන්න යනවා. රා වලට මොනවද පොතු ජාතියක් කොටලා දාළලු දෙන්නේ. ඉක්මනින් මත්වෙලා වැටෙනවලු. ඊට පස්සේ සුද්දෙ දීලා අර කට්ටිය මාරු වෙනවලු.

      Delete
  24. මම දන්නා විධිහට මේ මිනිස්සු ලංකාවේ මුල් පදිංචි කරුවෝ. ඒ කියන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉඳන්ම පැවත එන අය . මේ අයගේ නෑදෑයෝ තමා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. වර්තමාන සිංහල ජාතිය ඉන්දියානුවන්ගේ (ආර්යයන්) හා මොවුන්ගේ සංකලනයක්. සංකලනය නොවූ කොටස් තමා වැද්දන් වශයෙන් මුලික ශිෂ්ටාචාරයෙන් ඉවත් වී ඇත්තේ.
    http://nelumyaya.com/?p=1670

    ReplyDelete
    Replies
    1. මා මෙම ලිපිය ලියන්නට පෙර මූලාශ්‍ර වශයෙන් කියවූ කිසිදු ලිපියක මෙවැනි තොරතුරක් තිබුනේ නැහැ. තවදුරටත් හොයාබලන්න වටිනවා. මා කියවූ බොහොමයක් විස්තරවල තිබෙන්නේ මොවුන්ද ඉන්දීය උප මහාද්වීපයෙන් මෙරටට සංක්‍රමනයවූ ජන කොට්ඨාශයක් ලෙසයි.

      Delete
    2. බලන්ගොඩ මානවයා ලංකාවේ හිටියේ අවුරුදු 30000 කට කලින්. පාහියන්ගල ගියාම බලා ගන්න පුළුවන් ඇටකටු හමු වූ තැන. http://en.wikipedia.org/wiki/Balangoda_Man
      ලංකාවේ වැද්දන් සම වෙන්නේ ඉන්දීය උප මහද්වීපයට වඩා ඕස්ට්‍රේලියානු , පොලිනිසියානු අබෝරිජින් ලට. ටැමිල්නෙට් එක කාලයක් ට්‍රයි කල මේ හැමෝම ටැමිල් කියන්නත්. එහෙම සාධකයක් නැහැ.

      Delete
    3. නෑ නෑ සම්පූර්නයෙන්ම වැරදියි. ඕස්ට්‍රේලියාවේ හා මැලේසියාවේ ආදිවාසීන් හා ලංකාවේ වැද්දන් අතර නෑකමක් නැහැ. ඒ තියා අන්දමන් දූපත්වල ආදිවාසීන් සමග හෝ ඉන්දියාවේ කුරුබා වැනි ගෝත්‍රිකයන් සමගවත් නෑකමක් නෑ.

      Delete
  25. වැද්දන්ට තමන්ගේ චාරිත්‍ර ජීවිතය නැති කළේ අපේ සමාජයමයි. මහවැලි ව්‍යපෘතිය එක්ක ඔවුන්ගේ වාසභූමි අරගත්ත.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }