ගිනි කනවා කියන යෙදුම, අපි කුඩා කාලයේ අහපු දෙයක්. මෙහිදී, ගිනි කෑම යනුවෙන් අදහස් කරන්නේ, නීතීඥයන් විසින්, තම සේවාදායකයන්ගෙන් ගාස්තු අයකිරීමයි. ඉතා ඈත අතීතයේ සිට, නීතීඥ ගාස්තු පිළිබඳව, මහජනතාවගේ මැසිවිලි අසන්නට ලැබෙනවා. ඉස්සර ලංකාවේ හිටිය සමහර නීතීඥවරු, ඉඩම් ඔප්පුවක් ලියන්න ගියාම, කරුණු නොතේරෙන අහිංසක ගැමියන්ගෙන්, 'මුද්දර ගාස්තු' යනුවෙන් එක වරක් සහ stamp fees යනුවෙන් තවත් වරක්, ගාස්තු අයකරගන්නවා කියා, මා කුඩා කාලයේදී අසා තිබෙනවා.
මේ කෙටි ලිපිය ලියන්නට මා පෙළඹුණේ, අද, මමත් මගේ බිරිඳත් මුහුණ දුන්, එවැනි සිද්ධියක් නිසයි.
අපි අද වාසය කරන්නේ මමත් මගේ බිරිඳත් මිලදීගත්, එකිනෙකට යාව පිහිටි කුඩා ඉඩම් කැබලි දෙකක, එක් කොටසක හැදූ නිවසකයි. මේ ඉඩම් දෙකම ගත්තේ බැංකු ණය ලබාගැනීමෙන්.
දැනට වසර කීපයකට පෙර තමා, ඒ ණයෙන් නිදහස් වුණේ. තවමත් වැඩ අවසන් නැති අප නිවසේ, ඉතිරි වැඩ කටයුතු වලින් කොටසක් ඉටුකරගැනීම සඳහා, මගේ බිරිඳ, ඇගේ නමට ඇති ඉඩම් කැබැල්ල ඇපයට තබා, යළිත් ණයක් ගත්තා. මසකට රු 8000 කට මඳක් වැඩි වාරිකයක් ගෙවමින්, බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙමින්, ඒ ණයද දැනට මාස කීපයකට ඉහතදී අවසන් කරගත්තා.
අපේ ඉඩමේ ඔප්පුව සහ ඇප ඔප්පුවද අපට ආපසු ලැබුණ අතර, බැංකුවෙන් අපට දැනුම් දුන්නා, ඇප ඔප්පුව නීතීඥයකු මගින් අවලංගු කරවාගන්නා ලෙස. මේ වැඩේ අපට අමතක වෙමින් තිබුණේ. අද හදිසියේම මතක්වුණා, මේ වැඩේ කරගත යුතුයි කියා. ඒ අනුව අපි දෙන්නා ගියා, කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ, කීර්තිමත් නීතීඥයකු ගේ කාර්යාලයට.
අප එහි යනවිට නීතීඥ වරයා උසාවි ගිහින්. එහි වැඩකරන සේවිකාවන් දෙදෙනෙකු පමණයි සිටියේ. එක් සේවිකාවකට අපේ අවශ්‍යතාව දැන්වුවිට, 'මොහොතක් ඉන්න' කියා, ඒ වනවිට දුරකථන සංවාදයක යෙදීසිටි අනෙක් සේවිකාව වෙත, අපව යොමු කරනු ලැබුවා. අපට ඇහුම්කන්දුන් ඒ සේවිකාව, දුරකතනයෙන් යමෙකු අමතනු ලැබුවා. නමුත් ඒ අමතන්නේ නීතිඥයාව නොවන බවත්, එම කාර්යාලයේ වැඩ කරන වෙනත් අයකු හට බවත්, මට වැටහුණා. ඔවුන් කතාකළේ ගාස්තු ගැන පමණක් බවත් මට වැටහුණා.
අප දෙදෙනාම ඉතා සරල ඇඳුම් වලින් සැරසී සිටිය නිසා, අර සේවිකාව හිතන්න ඇති, වෘත්තීය උපක්‍රම මගින් රවටාගතහැකි, වයසක යුවළක් කියා, අප දෙදෙනා. ඒ සේවිකාව අපට කිව්වා, 'වැඩේ කරදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රු 5000 ක් විතර යනවා, නමුත් මම කිව්වා, එච්චර සල්ලි නැති කට්ටියක් කියලා, ඒ නිසා රු 3000 කින් වැඩේ කරගන්න පුළුවන්' කියලා. එච්චර සල්ලි නැති කට්ටියක් වැනි කිසිදු දෙයක් ඇගේ දුරකථන සංවාදයේදී කියවුනේ නැහැ. ඇය මේ කරන්නේ, ඇය ලබා තිබෙන ඉහළම 'කපටි වෘත්තීය පුහුණුව' අනුව කරන රඟපෑමක් බව, මට වැටහුණා. මට එක්වරම වැටහුණා, මෙහි කුමක් හෝ වරදක් තිබෙන බව. ඒ සේවිකාව දෙස හොඳ නිරීක්ෂන්යෙන් සිටි නිසා, ඇගේ ඉරියව් තුළින්ම ඇගේ කපටි බව මට තේරුණා.
මමත් ගොන් පාට් එකක් රඟපෑවා. මම ඇහුවා, 'මහත්තයා එන්න හුඟක් වෙලා යයිද මිස්' කියලා. 'පැයක් විතර යයි, ඊට කලින් එන්නත් පුළුවන්. එතකල් වාඩිවෙලා ඉන්නකෝ' කියා ඇය උත්තර දුන්නා.
අපි මෙතනින් යමු කියා මා බිරිඳට ඉඟියෙන් කිව්වා. අර සේවිකාවට නොදැනීම, බළලා මල්ලෙන් එළියට පැන්නේ, අපි ආපහු යයි කියා සිතූ ඇය, 'වෙන තැන්වල මීට වඩා අයකරනවා' කීමෙන්. 'නෑ නෑ අපි බැංකුවට ගිහින්, සල්ලිත් අරං එන්නම්' කියා අපි දෙන්නා එතනින් එළියට බැස්සා. 'දැන් මොකද කරන්නේ. හරියට ඉඩමක් ලියනවා වගේ වැඩක්නේ මේක' කියා බිරිඳ කිව්වා.
ඔන්න මෙච්චර වෙලා අමතකව තිබුණු, කල්‍යාණ මිත්‍ර සබඳතාවක්, ඔලුවේ විදුලි කෙටුවා මගේ. (නෑ නෑ අපේ කල්‍යාණ මිත්‍ර නෙවෙයි) මගේ යාලුවෙක් ඉන්නවා, 'ඉඩම් සේල් හෙවත් ලෑන්ඩ් වෙන්දේසි' කරන. 'අනුමානයක් නෑ ඔය යකා දන්නවා ඇති, මේ වැඩේ, දෙකයි පණහක් ගෙවලා කරන හැටි' කියලා මට හිතුණා.
මම ගත්තා දුරකථන ඇමතුමක්. '..........' මහත්තයා, මට ලොකු උදව්වක් ඕනේ' කිව්වා. අප්පොච්චියේ..... මිනිහා බයවුණා. මෙච්චර කාලෙකට මම සත පහක උදව්වක් ඉල්ලලා නැති නිසා, මිනිහා හිතුවේ, මම මහා අමාරුවක වැටිලා කියලයි. 'ඇයි ඇයි, '..........' මහත්තයා. හදිස්සියක්ද? කොහෙද ඉන්නේ, කියන්න මම එන්නම්' කියලා මිනිහා කිව්වා. මම කිව්වා නෑ නෑ කලබල වෙන්න එපා, මෙන්න මේකයි කාරණේ කියලා. මිනිහට හිනා ගියා. මිනිහා කිව්වා, අයියෝ '........' මහත්තයා. දැන්ම එන්න අපේ ඔෆිස් එකට. එතන ඉන්නවා අපේ ඉඩම් ගැන කටයුතු කරන නීතීඥයා. මම ඉන්නේ අපි අලුතෙන් කඩන ඉඩමක. මම එයාට කෝල් එකක් දාලා කියන්නම් මහත්තයා එනවා කියලා. යන්නකෝ එතෙන්ට' කියලා.
ඔන්න අපි දෙන්න එතනට ගියා. බුදු අප්පොච්චියේ.......... ඒ නීතීඥයා, මම හමුදා සේවයේ යෙදී සිටියදී, විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙක්. මගේ පරණ මිත්‍රයෙක්. මම දන්නේ නැහැ ඔහු දැන් මේ වගේ තැනක ඉන්නවා කියා. හා...ලෝ... '..........' කියලා, මගේ පැරණි නිළ නාමයෙන්ම මාව අමතා, අතට අත දුන්නා. මම කිව්වා මගේ අවශ්‍යතාව. 'සිම්පල් වැඩක්නේ' කියා කිව්වා ඔහු. ලාච්චුව ඇර, රු 10 මුද්දරයක් එළියට ගෙන, ඇප ඔප්පුවේ ඇලෙව්වා. මගේ බිරිඳගෙන් ඇහුවා, 'ඔප්පුවේ නම් ගම් නිවැරදියි නේද නෝනා' කියා. ඇය කිව්වා නිවැරදියි කියා. 'හරි, එහෙනම් මට දෙන්න ටෙලිෆෝන් අංකය, වැඩේ ඉවරකරලා මම කියන්නම්, අද සිකුරාදානේ, බදාදට ගන්න පුළුවන්' කියලා කිව්වා. මම දුරකථන අංකයත් දීලා, මුදල් පසුම්බිය අතට ගන්නකොටම ඔහු කිව්වා, කිසිදු මුදලක් අවශ්‍ය නැති බව.
නමුත් ඔප්පුව ගන්න යන දවසට, බලෙන් හෝ කීයක් හරි දෙන්න මම හිතාගත්තා.
ඇත්තටම අහිංසක මිනිසුන්ගෙන් මෙලෙස මුදල් ගසාකෑම වෘත්තීය සදාචාරට පටහැනි නොවේද? ආදායම් බදු නඩුවලටත් පෙනීසිටින නීතීඥයන්, තමන් උපයන ආදායමෙන් බදු ගෙවනවාද? මටනම් ඇතිවුණේ කලකිරීමක්.
මෙලෙස කටයුතු කරන අයත්, මේ රටේ, ටයි කෝට් ඇඳගෙන උසාවියටත් යනවනේ, කියා මට සිතුණේ, ආපසු එන අතරෙදියි.
2015 මැයි මස 09 වැනි දින 0024 පැය