හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 May 2015

ගිනි කෑම සාධාරණද?

Solicitor-2
 ගිනි කනවා කියන යෙදුම, අපි කුඩා කාලයේ අහපු දෙයක්. මෙහිදී, ගිනි කෑම යනුවෙන් අදහස් කරන්නේ, නීතීඥයන් විසින්, තම සේවාදායකයන්ගෙන් ගාස්තු අයකිරීමයි. ඉතා ඈත අතීතයේ සිට, නීතීඥ ගාස්තු පිළිබඳව, මහජනතාවගේ මැසිවිලි අසන්නට ලැබෙනවා. ඉස්සර ලංකාවේ හිටිය සමහර නීතීඥවරු, ඉඩම් ඔප්පුවක් ලියන්න ගියාම, කරුණු නොතේරෙන අහිංසක ගැමියන්ගෙන්, 'මුද්දර ගාස්තු' යනුවෙන් එක වරක් සහ stamp fees යනුවෙන් තවත් වරක්, ගාස්තු අයකරගන්නවා කියා, මා කුඩා කාලයේදී අසා තිබෙනවා.

    මේ කෙටි ලිපිය ලියන්නට මා පෙළඹුණේ, අද, මමත් මගේ බිරිඳත් මුහුණ දුන්, එවැනි සිද්ධියක් නිසයි.

   අපි අද වාසය කරන්නේ මමත් මගේ බිරිඳත් මිලදීගත්, එකිනෙකට යාව පිහිටි කුඩා ඉඩම් කැබලි දෙකක, එක් කොටසක හැදූ නිවසකයි. මේ ඉඩම් දෙකම ගත්තේ බැංකු ණය ලබාගැනීමෙන්.

   දැනට වසර කීපයකට පෙර තමා, ඒ ණයෙන් නිදහස් වුණේ. තවමත් වැඩ අවසන් නැති අප නිවසේ, ඉතිරි වැඩ කටයුතු වලින් කොටසක් ඉටුකරගැනීම සඳහා, මගේ බිරිඳ, ඇගේ නමට ඇති ඉඩම් කැබැල්ල ඇපයට තබා, යළිත් ණයක් ගත්තා. මසකට රු 8000 කට මඳක් වැඩි වාරිකයක් ගෙවමින්, බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙමින්, ඒ ණයද දැනට මාස කීපයකට ඉහතදී අවසන් කරගත්තා.

   අපේ ඉඩමේ ඔප්පුව සහ ඇප ඔප්පුවද අපට ආපසු ලැබුණ අතර, බැංකුවෙන් අපට දැනුම් දුන්නා, ඇප ඔප්පුව නීතීඥයකු මගින් අවලංගු කරවාගන්නා ලෙස. මේ වැඩේ අපට අමතක වෙමින් තිබුණේ. අද හදිසියේම මතක්වුණා, මේ වැඩේ කරගත යුතුයි කියා. ඒ අනුව අපි දෙන්නා ගියා, කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ, කීර්තිමත් නීතීඥයකු ගේ කාර්යාලයට.

   අප එහි යනවිට නීතීඥ වරයා උසාවි ගිහින්. එහි වැඩකරන සේවිකාවන් දෙදෙනෙකු පමණයි සිටියේ. එක් සේවිකාවකට අපේ අවශ්‍යතාව දැන්වුවිට, 'මොහොතක් ඉන්න' කියා, ඒ වනවිට දුරකථන සංවාදයක යෙදීසිටි අනෙක් සේවිකාව වෙත, අපව යොමු කරනු ලැබුවා. අපට ඇහුම්කන්දුන් ඒ සේවිකාව, දුරකතනයෙන් යමෙකු අමතනු ලැබුවා. නමුත් ඒ අමතන්නේ නීතිඥයාව නොවන බවත්, එම කාර්යාලයේ වැඩ කරන වෙනත් අයකු හට බවත්, මට වැටහුණා. ඔවුන් කතාකළේ ගාස්තු ගැන පමණක් බවත් මට වැටහුණා.

   අප දෙදෙනාම ඉතා සරල ඇඳුම් වලින් සැරසී සිටිය නිසා, අර සේවිකාව හිතන්න ඇති, වෘත්තීය උපක්‍රම මගින් රවටාගතහැකි, වයසක යුවළක් කියා, අප දෙදෙනා. ඒ සේවිකාව අපට කිව්වා, 'වැඩේ කරදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රු 5000 ක් විතර යනවා, නමුත් මම කිව්වා, එච්චර සල්ලි නැති කට්ටියක් කියලා, ඒ නිසා රු 3000 කින් වැඩේ කරගන්න පුළුවන්' කියලා. එච්චර සල්ලි නැති කට්ටියක් වැනි කිසිදු දෙයක් ඇගේ දුරකථන සංවාදයේදී කියවුනේ නැහැ. ඇය මේ කරන්නේ, ඇය ලබා තිබෙන ඉහළම 'කපටි වෘත්තීය පුහුණුව' අනුව කරන රඟපෑමක් බව, මට වැටහුණා. මට එක්වරම වැටහුණා, මෙහි කුමක් හෝ වරදක් තිබෙන බව. ඒ සේවිකාව දෙස හොඳ නිරීක්ෂන්යෙන් සිටි නිසා, ඇගේ ඉරියව් තුළින්ම ඇගේ කපටි බව මට තේරුණා.

   මමත් ගොන් පාට් එකක් රඟපෑවා. මම ඇහුවා, 'මහත්තයා එන්න හුඟක් වෙලා යයිද මිස්' කියලා. 'පැයක් විතර යයි, ඊට කලින් එන්නත් පුළුවන්. එතකල් වාඩිවෙලා ඉන්නකෝ' කියා ඇය උත්තර දුන්නා.

   අපි මෙතනින් යමු කියා මා බිරිඳට ඉඟියෙන් කිව්වා. අර සේවිකාවට නොදැනීම, බළලා මල්ලෙන් එළියට පැන්නේ, අපි ආපහු යයි කියා සිතූ ඇය, 'වෙන තැන්වල මීට වඩා අයකරනවා' කීමෙන්. 'නෑ නෑ අපි බැංකුවට ගිහින්, සල්ලිත් අරං එන්නම්' කියා අපි දෙන්නා එතනින් එළියට බැස්සා.  'දැන් මොකද කරන්නේ. හරියට ඉඩමක් ලියනවා වගේ වැඩක්නේ මේක' කියා බිරිඳ කිව්වා.

   ඔන්න මෙච්චර වෙලා අමතකව තිබුණු, කල්‍යාණ මිත්‍ර සබඳතාවක්, ඔලුවේ විදුලි කෙටුවා මගේ. (නෑ නෑ අපේ කල්‍යාණ මිත්‍ර නෙවෙයි) මගේ යාලුවෙක් ඉන්නවා, 'ඉඩම් සේල් හෙවත් ලෑන්ඩ් වෙන්දේසි' කරන. 'අනුමානයක් නෑ ඔය යකා දන්නවා ඇති, මේ වැඩේ, දෙකයි පණහක් ගෙවලා කරන හැටි' කියලා මට හිතුණා.

   මම ගත්තා දුරකථන ඇමතුමක්. '..........' මහත්තයා, මට ලොකු උදව්වක් ඕනේ' කිව්වා. අප්පොච්චියේ..... මිනිහා බයවුණා. මෙච්චර කාලෙකට මම සත පහක උදව්වක් ඉල්ලලා නැති නිසා, මිනිහා හිතුවේ, මම මහා අමාරුවක වැටිලා කියලයි. 'ඇයි ඇයි, '..........' මහත්තයා. හදිස්සියක්ද? කොහෙද ඉන්නේ, කියන්න මම එන්නම්' කියලා මිනිහා කිව්වා. මම කිව්වා නෑ නෑ කලබල වෙන්න එපා, මෙන්න මේකයි කාරණේ කියලා. මිනිහට හිනා ගියා. මිනිහා කිව්වා, අයියෝ '........' මහත්තයා. දැන්ම එන්න අපේ ඔෆිස් එකට. එතන ඉන්නවා අපේ ඉඩම් ගැන කටයුතු කරන නීතීඥයා. මම ඉන්නේ අපි අලුතෙන් කඩන ඉඩමක. මම එයාට කෝල් එකක් දාලා කියන්නම් මහත්තයා එනවා කියලා. යන්නකෝ එතෙන්ට' කියලා.

   ඔන්න අපි දෙන්න එතනට ගියා. බුදු අප්පොච්චියේ.......... ඒ නීතීඥයා, මම හමුදා සේවයේ යෙදී සිටියදී, විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙක්. මගේ පරණ මිත්‍රයෙක්. මම දන්නේ නැහැ ඔහු දැන් මේ වගේ තැනක ඉන්නවා කියා. හා...ලෝ... '..........' කියලා, මගේ පැරණි නිළ නාමයෙන්ම මාව අමතා, අතට අත දුන්නා. මම කිව්වා මගේ අවශ්‍යතාව. 'සිම්පල් වැඩක්නේ' කියා කිව්වා ඔහු. ලාච්චුව ඇර, රු 10 මුද්දරයක් එළියට ගෙන, ඇප ඔප්පුවේ ඇලෙව්වා. මගේ බිරිඳගෙන් ඇහුවා, 'ඔප්පුවේ නම් ගම් නිවැරදියි නේද නෝනා' කියා. ඇය කිව්වා නිවැරදියි කියා. 'හරි, එහෙනම් මට දෙන්න ටෙලිෆෝන් අංකය, වැඩේ ඉවරකරලා මම කියන්නම්, අද සිකුරාදානේ, බදාදට ගන්න පුළුවන්' කියලා කිව්වා. මම දුරකථන අංකයත් දීලා, මුදල් පසුම්බිය අතට ගන්නකොටම ඔහු කිව්වා, කිසිදු මුදලක් අවශ්‍ය නැති බව.

   නමුත් ඔප්පුව ගන්න යන දවසට, බලෙන් හෝ කීයක් හරි දෙන්න මම හිතාගත්තා.

   ඇත්තටම අහිංසක මිනිසුන්ගෙන් මෙලෙස මුදල් ගසාකෑම වෘත්තීය සදාචාරට පටහැනි නොවේද? ආදායම් බදු නඩුවලටත් පෙනීසිටින නීතීඥයන්, තමන් උපයන ආදායමෙන් බදු ගෙවනවාද? මටනම් ඇතිවුණේ කලකිරීමක්.

   මෙලෙස කටයුතු කරන අයත්, මේ රටේ, ටයි කෝට් ඇඳගෙන උසාවියටත් යනවනේ, කියා මට සිතුණේ, ආපසු එන අතරෙදියි. 



2015 මැයි මස 09 වැනි දින 0024 පැය

57 comments :

  1. කලු කෝට් කාරයින් තරම් කපටි මම දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව්වෙ! විචාරකතුමෝ මේකනං පැකේජ් එකත් නැතිවෙන මගුලක්!

      Delete
    2. ශෙක්ස්පියර්ගෙ වැනිසියේ වෙළෙන්දා නාට්‍යයෙ පොලීකාර යුදෙව්වාට බැසානියෝ කියපු කතාව පොඩ්ඩක් වෙනස් කරන්නම්.

      බලාපිය යුදෙව්වා විමසිලිවන්ත ආමිකාරයෙක්
      බලාපිය යුදෙව්වා තොට වැඩේ වැරදුනෙහිය.
      බලාපිය යුදෙව්වා නූගත් ගැමි යුවලක් නොවේමය
      බලාපිය මෙය රුපියල් දහයෙ වැඩකි
      බලාපිය යුදෙව්වා තොප මිනිසුන් සියවස් ගනනක් පෙළුවෙහිය
      තොට හෙට එය බැරි වන්නේය
      බලාපිය යුදෙව්වා ගිණිකන යුදෙව්වා

      Delete
    3. @ AnonymousMay 9, 2015 at 3:16 AM හැම දෙනාම එහෙම නැ නේද?

      @ මධුමාධවී රස සරණියMay 9, 2015 at 12:03 PM මානසික රෝගීන්ට අපි අනුකම්පා කරන්න එපැයි මධුවෝ.

      @ AnonymousMay 9, 2015 at 2:03 PM පොහ්.....මාර නිර්මානයක්නේ. මේක ඒ මනුසයගේ ඔෆිස් එකේ බිත්තියේ අලවලා දාන්න හිතෙනවා මට. :e

      Delete
  2. ඔය වැඩේ නොතාරිස් කෙනෙකුට කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් පුළුවන්. මේ ණය ගත්ත බැංකුවෙන් තමා අපිට ඇන්නෙව්වේ නීතීඥයකු ළඟට යන්න කියලා.

      Delete
  3. බොහොම වෙලාවට බැංකුවකට උකස් කලානම් උකස් ඔප්පුව අවලංගු කරන්න නීතිඥයෝ ඕනි නෑ. බැංකුවම ඒක අවලංගු කරන වගන්තිය ගහලා නිළධාරීන් දෙන්නෙක් අත්සන් කරලා දෙනවා. ඒක ඉඩම් කච්චේරියට දුන්නම ඉවරයි. පොඩි මුද්දර ගාස්තුවක් යන්නෙ.

    ඔය ගිනි (කනවා) කියන්නෙ ගිනි කියන මුදල් ඒකකයට සම්බන්ධ කියමනක් මං අහලා තියෙන විදිහට. ඒ ජාතියේ ඇත්තො සම්බන්ධ කවියක් ලියන්න මතක් වුනා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මීට කලින් කවදාවත් කරලා නැති වැඩක් නිසයි මෙහෙම වුණේ මධු.

      ඔව් ඔව් ගිනි කියලා බ්‍රිතාන්‍ය මුදල් ඒකකයක් තිබිලා තියනවා.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මමත් නීතීඥයෙක්. ඥාතීන් අතර රටේ ප්‍රමුඛ පෙලේ නීතීඥයන් ඉන්නවා. නමුත් මට නීතීඥ වෘත්තිය ගැන සතුටුදායක හැඟීමක් නැහැ.අප්‍රසාදයක් තියෙන්නෙ.


      නීතීඥයෙක් වුනත් මම නඩුකතාකරල නෑ. හේතු දෙකක් තියනවා. ප්‍රධාන එක තමා ජොබ් එක දාල උසාවි ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් නඩු ශුවර් නැතිකම. වේලි වේලි ඉන්න ගියොත් මටත් වෙන්නෙ ගොදුරු සොයාගෙන යන්න.
      දෙවෙනි හේතුව මම කැමති නෑ අහිංසකයන්ගෙ සාක්කු සුද්ද කරන්න. විචාරක වගෙ කීප දෙනෙක් බේරෙයි බහුතරයක් අහුවෙනවනෙ.

      මම සංවේදී වැඩි නිසා මම හොද නීතීඥයෙක් වෙන එකක් නෑ කියල යාළුවො කියල තියනව . ඇත්ත කියල මටත් හිතෙනවා.

      නීතියෙ ආධිපත්‍ය කියන්නෙ පෙරකදෝරුවන්ගෙ ගිනිකෑමේ නිදහස/ සමාජයට එරෙහි නීතීඥ ආධිපත්‍ය .ඇත්ත කතාව ඒක . කමක් නෑ මම යකුන් අතර යකෙක්.පීඩිතයෙක් නොවෙයි .පීඩකයෙක්. පීඩිතයන් ගැන තියෙන්නෙ අප්‍රමාණ දුකක්. දඩුවම් දෙන ආයතනයක් වන උසාවියට බියෙන් තැති ගත් පොළේ යන්න තියන නෝට්ටුව පෙරකදෝරුවට පූජා කරන අවුරුදු විසි තිස් ගනන් උසාවිවල රස්තියාදුවන අසරණයන් මම දන්නවා

      කියන්න තියෙන්නෙ එක දෙයයි. උතුමානෙනි චිත්‍රපටයෙ ගාමිණී කිව්ව වගෙ

      " උතුමානෙනි යුක්තිය ඇති ලොවකට අප කැදවා ගැන යනු මැනව " කියල තමයි.

      Delete
    2. මම හිතන්නේ නැහැ ලෝකයේ කොහෙවත් නීතීඥ වෘත්තියට අදාළ මේ තත්වයේ වෙනසක් ඇති කියලා. හොඳ මිනිස්සු නරක මිනිස්සු කියන දෙවර්ගය ඕනෑම වෘත්තියක ඉන්නවා. මේ ලෝකය කෙබඳු තැනක්දැයි හැකිතරම් අවබෝධ කරගත් තරමට මෙවැනි ප්‍රශ්න වලින් ගැලවී ඉන්න පුළුවන් කියලයි මමනම් හිතන්නේ.

      Delete
  5. okunwa me lokayen ayin karann ona kiyala kiwwe Shakspere neda ?

    ReplyDelete
    Replies
    1. ජනතාවට මුන් ගැන තියෙන්නෙ එදා යුරෝපීයයන්ට ගිනි පොලීකාර යුදෙව්වො ගැන තියන වෛරයමයි.

      Delete
    2. ඇතුවත් බැරි නැතුවත් බැරි අය ඉන්නවනේ කොහෙත්. ඉතින් මේ අය ගැනත් හිතන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට සහාය ලබාගැනීම සහ ඒ සඳහා බොහොම කල්පනාවෙන් යුක්තව සුදුස්සකු තෝරාගැනීම කියන සංකල්පනාවේ සිටයි.

      Delete
  6. සාමානයෙන් පර්චස් 10 ක වගේ ඉඩමක් පැවරීමට නීතීඥයන් අය කරන මුදල රුපියල් 3000 ක් වගේ තමයි. ඒක තමයි කොළඹ සහ අවට නං සාමාන්‍යය සම්මතය.

    නීතීඥයන් නඩු සදහා අයකරන මුදලේ සම්මතයක් නෑ.ඒකට ඉතිං රෙගුලාසි දාන්නත් බැහැ නොවැ. හැබැයි ඒ උනාට ඔප්පු ලිවිම වැනි දෑ සදහා නම් බොහෝ විට එක සමාන මුදලක් තමයි අය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නඩු කල් දම්මගන්න පුළුවන් නේද ඇනෝ
      කසිප්පු නඩු , වාහන වැරදි නඩු වගේ ඒවට වැරැද්ද පිළිගන්න තමන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ඕනම කෙනෙකුට.
      හැබැයි එහෙම වුනොත් මොකද වෙන්නෙ. ඌ කෙළින්ම හිරේ නේද
      පෙරකදෝරුවට ගාන කැපුනෙ නැත්නම් උපරිම දඩුවම නේද
      නීතිය කියන්නෙ පෙරකදෝරුවන්ගෙ කන්ට මංග සූත්තරේ නේද

      Delete
    2. AnonymousMay 9, 2015 at 11:15 AM

      +++++++++++++++++++++++++++
      උන්ටම ගිය නීතිය. පොතකින් වහපු සත්‍යය.

      Delete
    3. @ AnonymousMay 9, 2015 at 10:14 AM - මෙය අලුතෙන් මිලදීගත් ඉඩමක අයිතිය පැවරීමක් නෙවෙයි. ඇප ඔප්පුව නිදහස් කරගනේමක්. ඒ සඳහා ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැහැ.

      Delete
  7. මෙය නීතිමය සම්බන්ධ කාරණයක් නිසා අදහස් පළකිරීමෙන් වලකිමි.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවෙන් පේනව පොලී කාර යුදෙව්වො ( මිනී කාක්කො ) සාමාන්ය ජනයා බය කරන ඉන්න තරම.

      Delete
    2. @ AnonymousMay 9, 2015 at 10:59 AM - නීතිය හරියට දන්නවා නම් බයවෙන්ඩ දෙයක් නැහැ.

      Delete
  8. විචා... රුපියල් 10 මුද්දරේ ගහන්න ඕන එක ඇත්තයි. නමුත් ඒක අවලංකු කරන්න යම් මුදලක් (මට මතක විදියට රු. 350 ක්ද කොහේද) ඉඩම් රෙජිස්ට්‍රාර්ට ගෙවන්න ඕන නේද??

    ඕං බලහං.. අපිත් ඒ කාලේ වීදුරු ඔලුවේ තියං නැටුවනං ඕවා හරි සිම්පල් වැඩනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. කලින් කරලා නැති මගුලක් හින්දා දේශ් මෙච්චර වටේ ගියේ.

      හිටපිය උඹ අහුවුණ දවසට වීදුරුවකට දාලා නටවනවා.

      Delete
  9. යන්තන් පහ පාස් ආමිකාරයොන්ටත් ලොකු පඩියක්,ඇදුම් පැළදුම්,කෑම බිම,ප්‍රවාහන පහසුමක් නොමිලේ දෙන්නේ. එව්වා දෙන්නේ රටේ අනික් අයගේ බදු මුදලින්ගේ. ඒකත් අසාධාරණයි නේ බලං ගියාම.

    යුද්ධේ තිබුන කාලේ කමක් නෑ කියමුකෝ. ඒත් මොකද දැනුත් එහෙම කරන්නේ. දැන් ඉන්න ආමිකාරයොන්ට දෙන පඩියත් අඩු කරලා, අපේ බදු සල්ලි වලින් උන්ට දෙන අනිකුත් පහසුකමුත් අයින් කරන්න ඕනි. ඒක තමයි රටේ ජනතාවගේ මතය.

    ReplyDelete
    Replies
    1. පහ පාස් කවුරුවත් ආමි එකේ නැහැ. අධිකාරී ලත් නිළයන්ට පත්වන්නෙ උපාධිධාරීන්. ඔවුන් උසස්වීම් ලබන්නෙ පශ්චාත් උපාධි මට්ටමට සමාන අධ්‍යනයන් තුලින්. සොල්දාදුවෙක් වුනත් හමුදා ජීවිතය තුලම ඉගෙන ගන්නවා. යුද්ද කරනව කියන්නෙ කිරළ ගෙඩි වලට වෙඩි තියන එක නෙමේ. දන්න අදුරන සාමාන්‍ය සෙබලෙකුගෙන් ඉල්ලගෙන බලන්න ක්ශේත්‍ර පොතක්. ඔබ පුදුම වේවි.

      අර නඩුවෙ මෙහෙමයි වුනේ මේ නඩුවෙ මෙහෙමයි වුනේ කියල නඩුතීන්දුවක් දෙකක් කටපාඩම් කරගෙන කසිප්පු නඩුවක වැරදිකරු ස්වාමිනි කියල ගිනි කකා තමන් මහා බුද්ධිමතෙක් කියල සිතන ඔබ දැනගන්න සියළුදෙනා ඔබට ඉදිරියෙන්. ඔබ යාවත්කාලීන නොවූ සත්වයෙක්.

      සිද්ධාන්ත දෙකතුනකුයි නඩුතීන්දු දෙක තුනකුයි මතක තියාගෙන නූගත් ජනයා පෙළන ඔබ ඔබ ගැනම සිතා බලන්න .ඔබ මනුස්සයෙක්ද කියල සේරටම ඉස්සර

      Delete
    2. // ඔබ යාවත්කාලීන නොවූ සත්වයෙක්. //
      මේ ක්ෂේත්‍රයම එහෙමයි.

      මම නීතිඥයෙක්. මම මෙයාව දන්නේ නෑ. :k

      Delete
    3. @ AnonymousMay 9, 2015 at 12:56 PM

      මා හිතනවා මහත්මයාට මෙහෙම කරන්න පුළුවන් වෙයි. මුලින්ම මහත්මයා ඔය ජනමතය මහත්මයා වෙත හරවාගෙන ඡන්දය ඉල්ලා ජනාධිපති වෙන්න. එවිට නිකම්ම සේනාධිනායක කමත් ලැබෙනවනේ. ඊට පස්සේ මහත්මයාට පුළුවන්, පහ පාස් නැති ආමි කාරයන් හෙළුවෙන් යා යුතුයි, පහ පාස් ආමි කාරයන් ජංගිය පමණක් ඇඳගෙන යායුතුයි, ආදී වශයෙන් නිර්ණායක හදන්න.

      හැබැයි ඊට පෙර මානසික රෝහලේ (මහත්මයාට තේරෙන වචන වලින් කියනවානම් පිස්සන් කොටුවේ) අවුරුද්දක් දෙකක් ඉන්නවෙයි කියලා හිතනවා.

      අමනයන් සමග අදහස් හුවමාරු කරගැනීමට මා අකමැති නිසා නවතිමි.

      Delete
  10. නැත, කන එක්කෙනා, තමන්ගේ මුඛයට කරන්නේ විශාල අසාධාරණයකි!

    ReplyDelete
    Replies
    1. මක්කිව්වා........................?

      Delete
  11. ඔය කොච්චර කිව්වත් ඒ රස්සාවෙත් හොඳ මිනිස්සු ඉන්නවා... මේ දවස්වල මම පැටලිලා ඉන්න කේස් එකකත්, උදව් කරන්න ඉන්නේ ඒ ක්ෂේශ්ත්‍රයේම අය තමයි...

    ReplyDelete
    Replies
    1. ඒ රස්සාවෙත් හොඳ මිනිස්සු ඉන්නවා...ඇත්ත හොඳ මිනිස්සු මටත් හමු වෙලා තියනවා

      Delete
    2. කවුද නෑ කියන්නේ. ඕනෙම වෘත්තියක හොඳ මිනිසු සහ නරක මිනිස්සු ඉන්නවා. නමුත් නරක ටික දෙනා, හොඳ වැඩිදෙනාගේ නම්බුවත් කනවා.

      Delete
  12. මට මේ ළඟකදි දොස්තර සුනඛයෙක් කරපු වැඩක් නිසා දොස්තරලා සංහතිය ගැනම කළකිරුනා.. කළකිරීම ටිකක් හරි පහවුනේ ඒ කේස් එකේදිම සත පහකවත් ප්‍රතිලාභයක් නොබලා වෙහෙසුන තවත් දොස්තරලා කට්ටියකුත් හිටපු නිසයි.. ඒකනම් හිමීට ලියලා දානවමයි..බල්ලන්ගේ හැටි මිනිස්සුන්ට දැනගන්නත් එක්ක...

    ඔය හුඟක් ලෝයර්ලා අයි-නෝ-ද-ලෝ ජාතියේ කට්ටිය. වේලි වේලි ඉන්නේ.. කාව හරි අහුවෙච්ච ගමන් ගසාකන්න තමා බලන්නේ..

    ReplyDelete
    Replies
    1. මචෝ එකෙක් දෙන්නෙක් එහෙම උනාට මුලු සංහතියටම අපහාස කරන එක හොඳ මදි....මොන වෘත්තියේ උනත්...
      විචා අහු උනේ නැහැ වගේ බොහොමයක් අය අහුවෙන්නෙ නැහැ..අනික ක්ලාර්ක් නෝනා කෙනෙක්නේමේ විචාගේ දත් ගලවන්න හදලා තියෙන්නේ....

      Delete
    2. කොයි ක්ෂේත්‍රයේද නරක මිනිස්සු නැත්තේ සෙන්නා? හමුදාවෙත් ඉන්නවා. ඕනෙම වෘත්තියක ඉන්නවා. මිනිස්කම උපතින්ම පිහිටා නැති ඒ වගේ උදවිය, හොඳින් සාධාරණව වෘත්තියේ යෙදෙන අයටත් මහා කරදරයක් වෙනවා.

      චෙෆාකි කියනවා වගේ එක මකුනෙක් කෑවට ඔක්කොම මකුණෝ මරන්නත් බැහැ. සෑම වෘත්තියකම ඉන්න හොඳ මිනිස්සු අපට අවශ්‍යයි. ඔබ වගේ ඉතා අමිහිරි අද්දැකීම් මටත් ලැබිලා තියනවා. නමුත් අපිත් කොහොම හරි ඔලුව ගහගෙන ඉන්න එපායැ මැරෙනකල්. ඒ නිසා උපක්‍රමශීලීව මේ සමාජයේ ජීවත්වීම තමයි අද තියන ලොකුම ගේම් ඒක.

      Delete
  13. ඩොක්ටර්ස්ලට...... ලෝයස්ලට ...... අය කරන ගණන් වල ප්‍රමිතියක් නැ...... තුමනි... නොදන්නා මිනිසුන්ගෙන් ගන්නේ ඔහොම තමා. මේක සමහරු පව් පුරෝ ගන්න රස්සාවක්....... හැමෝම නෙමෙයි......

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ, මේ වගේ වෘත්තීන්, රස්සාවක් කියන හැඟීමෙන් කරන්න ගියොත්, අවසානයේ ලැබෙන්නේ අපවාද පමණක් බව, එලෙස මේ වෘත්තියේ යෙදෙන, යෙදීමට බලාපොරොත්තුවන, සියලුදෙනා හිතාගන්නවානම් හොඳයි.

      Delete
  14. මදුරුවෙක් සේ ලේ උරා බොන වෘකයා
    ඌරෙක් සේ තරය තව තව වැඩේ
    උගේ මස් දළුලා වැඩේ.කටට කෙළ උනයි.
    ජනතාවගේ බඩගින්න එලෙසමය.

    වෘකයාගේ ලේ වයින් ළිදක් මෙනි
    රතට රසට ඇත කටට කෙළ උනයි
    ජනතාවගේ පිපාසය එලෙසමය

    ReplyDelete
    Replies
    1. අපොයි ඇඟ හිරිවටෙනවා.

      Delete
  15. නීතියේ ආදිපත්ය සුරකිවු කියා පෙලපාලි ගිය කස්ටියට තේරුනාද කාටද මේ කඩේ ගිහිල්ලා තියෙන්නේ කියලා??


    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උඩ කොමෙන්ටුවේ ටයිපින් දෝෂයක් විය.
      අපි සූදානම්ද දේශපාලනඥයන්ගෙ ආධිපත්‍ය වෙනුවට නීතීඥ ආධිපත්‍ය සහිත සමාජයකට. දේශපාලනයත් වක්‍රව මෙහෙයවන්නෙ නීතීඥයන් තමයි. ඍජු නීතීඥ ආධිපත්‍යයක් අනුකම්පා විරහිත යාන්ත්‍රණයක් වෙයි.
      මානව හිතවාදී නීතීඥයන් නැතිවා නොවෙයි. නමුත් ඔවුන් ආර්ථික වශයෙන් අසාර්ථකයි.
      නීතිය ගැන නොදන්න ඉස්සර යටත් විජිත කාලෙ උසාවිවලින් සිදුවුන අසාධාරණකම් කාලයේ වැලිතලාවෙන් වැහිලා.

      උසාවිය නිහඩවනු
      කුළුගෙඩිය දිළිදු හිස උදුනටම
      මෙය නම් අමුතුම තැනකි
      බිය සැක රජයන
      මෙය ගාම්භීරය
      රජ මාළිගයටත් වඩා
      කෝප වීමද තහනම්ය
      නැත ඉඩක් මිනිස් කදුලට
      දත්මිටි කෑහැකිය
      කාටවත් නොපෙනෙන්න
      අපහාසයක් විය හැකි බැවිනි.

      Delete
    3. @ Sa rasaMay 9, 2015 at 6:46 PM - මා හිතනවා ඔබට යම් අනවබෝධයක් ඇතිවී තිබෙන බව. නීතියේ ආධිපත්‍යය සුරකිව් කියලා පෙළපාලි ගියේ, රටේ නීති පද්ධතියට සියලු පුරවැසියන් අවනත වියයුතු බව හා නීතියට ඉහලින් සිටින කිසිවකුත්, රටේ නොසිටියයුතු බව, තහවුරු කරගන්නටයි. එසේ නොමැතිව කපටි නීතීඥයන්ට අනුකම්පා කරපල්ලා කියලා නෙවෙයි.

      මධ්‍යස්ථ මතධාරියා සමග එකඟ වෙනවා.

      Delete
  16. මෙන්න කන ගිනි...


    The guinea is a coin of approximately one quarter ounce of gold that was minted in the Kingdom of England and later in the Kingdom of Great Britain and the United Kingdom between 1663 and 1814 It was the first English machine-struck gold coin, originally worth one pound sterling,equal to twenty shillings; but rises in the price of gold relative to silver caused the value of the guinea to increase, at times to as high as thirty shillings; from 1717 until 1816, its value was officially fixed at twenty-one shillings. Following that, Great Britain adopted the gold standard and guinea became a colloquial or specialised term.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ විස්තරය ලබාදුන්නාට.

      Delete
  17. මෙවැනි සේවාවකට අය කළ යුතු මුදල ගැන නීති නෑනේ. තැන් දෙක තුනකින් අසා බලා අඩුම තැනින් වැඩේ කර ගැනීම තමයි විවෘත ආර්ථික ක්‍රමය.
    අනික ඔය වැඩේට ලෝයර්ස් ලා ඕනේ නෑ. අපිත් දෙපාරක් ම කළා 2008 දී සහ 2012 දී.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ මීට කලින් කරලා නැති නිසා තමයි මෙහෙම වටේ යන්න වුණේ. දැන් අද්දැකීම ලැබුවා. බොහොම හොඳයි.

      මීට වඩා බරපතල කටයුතුවලදී නම් ලාබ නීතීඥයන හොයා හොයා ඉන්න බැහැ නේද අපේ රටේ ක්‍රමය අනුව. එක් එක් ආකාරයේ නඩුවලට 'අහවලා තමයි හරියන්නේ' කියලා මතයක් තියනවානේ. හරියට 'අහවල් ලෙඩේට' 'අහවල් දොස්තර තමයි හොඳ' කියලා පිළිගැනීමක් සමාජයේ තියනවා වගේ.

      ඒ හේතුව නිසාම ඒ වෘත්තීන් වල ඉන්න අයට අසීමිතව මුදල් අයකිරීමේ නිදහස ලැබී තිබෙනවා.

      Delete
  18. මේ රස්සාවෙන් මිනිස්සු හූරන් කන කට්ටිය වැඩි උනාට මිනිස්සුන්ට හදවතින්ම උදව් කරන පිරිසකුත් ඉන්නව. බහුතරයක් කරන හූරාකෑම නිසා ලංකාවේ ඉන්න නීතීඥඥයෝ ඔක්කොම ගැන ජනතාවට තියෙන්නෙ කලකිරීමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ සමග මමත් එකඟ වෙනවා. වෘත්තීය ගෞරවය කෙලෙසන සුළු පිරිසක් නිසා සමස්ත වෘත්තීය ක්ෂේත්‍රයම අපහාසයට ලක්වෙනවා.

      Delete
  19. හෝම්ස් මහත්මයා, නීතීඥයෝ කියන්නේ කොහොමත් අනිත් අයට වැඩිය නහරයක් වැඩි අයනේ. - G. ලෙස්ට්‍රේඩ්, ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, ඒ නහරය අඩු කරන්න උත්සාහ කරන නිසා වෙන්න ඇති නීතීඥයන් සහ වෛද්‍යවරුන් අතර බොහෝවිට වාද විවාද සිදුවන්නේ.

      Delete
  20. හෆ්ෆෝ... නීතීඥයෝ.. අර කාලයක් තිබ්බනේ ලංකාවේ නව කතා වලින් වැඩි හරියක් නඩු කතා වෙච්ච.. ඔය සසර එහෙම ලියවෙච්ච කාලේ.. ඔය පොත් ටික කියවල එහෙම නඩු සහ නීතීඥ කටයුතු ගැන සුළු අවබෝධයක් මටත් තියනවා.. හැබැයි මෙහෙම ගිනි කන කට්ටිය ඉන්නේ නීතීඥයෝ විතරක් නෙවේ.. ඩොක්ටර්ල ප්‍රොක්ටර්ල හෙක්ටර්ල වික්ටර්ලා ඔක්කොම එකයි බලාගෙන ගියහම..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. කොයි වෘත්තීය ක්ෂේත්‍ර වලත් හොඳ සහ නරක වෘත්තීයවේදියෝ ඉන්නවා. අපි ලබන අද්දැකීම් අනුව දැනගන්න ඕනේ අමාරුවේ නොවැටී හරිපාරේ යන්න. මගේ මොලේ පොඩ්ඩක් තිබුණ නිසා ගැලවුණා.

      Delete
  21. මෙයාලා මෙහෙම කරන්නේ අහිංසක වගේ පේන අයට විතරද?

    ප්‍රාගේ කමෙන්ට් එකක් මේ වෙලාවේ බොහොම වටිනවා... :P

    ReplyDelete
    Replies
    1. මම අංගුලිමාල වගේ ගියානම් නොමිළේම කරලා දෙන්න ඉඩ තිබුණා. අහිංසක වගේ පෙණුමෙන් ගිය නිසා තමා මෙහෙම වුණේ. :e

      Delete
  22. බෑන්ක් එකෙන්ම කරලා දෙන්න ඕන වැඩක්නේ මේක ?

    ReplyDelete
    Replies
    1. මේක ග්‍රාමීය බැංකුව නිසා එච්චර වැඩ බැරුව ඇති. එතනින් තමයි ඔය නීතීඥයකු ලඟට යන්න ඕනේ කියලා ලනුව දුන්නේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }