හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 August 2015

අළු යට ගිනි හෙවත් අත යට සෙල්ලම්...................... පළමුවැනි කොටස

1

මේ මාතෘකාවේ තියන යෙදුම් වලින් පෙනෙන්නේ, අපේ භාෂාව, අදහස් ප්‍රකාශය අතින්, ලෝකයේ ඉතා ඉහළ තැනක පවතින බව නේද? 'අළු යට ගිනි' කිව්ව ගමන්, අපට තේරෙනවා, විනාශයකට මුල්වන දෙයක්, අවස්ථාව ලැබෙන තුරු, සැඟවී පවතින බව. 'අත යට සෙල්ලම්' කියපුගමන් වැටහෙනවා, ලෝක සම්මත, සාමාන්‍ය, නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටස්තරව, හොර වැඩ සිදුවීමක් ගැන කියන බව. ඔව්, මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වසංගතයකටත් වඩා භයානක, කවදාවත් කෙලවරවේයැයි සිතිය නොහැකි, ලෝකය පුරා පැතිරී ඇති, 'හොර අවි වෙළඳාම' නමැති භයානක ජාවාරම ගැනයි.

මේ මාතෘකාව, ඉතා දීර්ඝ ලෙස කරුණු දැක්විය හැකි මාතෘකාවක්. සම්පූර්ණ විස්තරයක් කරන්න, අඩුම ගණනේ ලිපි පහක්වත් ලියන්න තරම් කරුණු මට ලැබුනා, මේ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර. නමුත්, එතරම් දිගට මේ ලිපිය ලියන්නට මා උත්සාහ කරන්නේ නැහැ. අවශ්‍යම දේ පමණක් ඔබට කියන්නම්. 

නිර්වචනය:-

   හොර අවි ජාවාරම/වෙළඳාම යනු, (Arms Trafficking / Gunrunning) ඒ ඒ රටවල බලපවත්නා නීතිය යටතේ සහ/හෝ, ජාත්‍යන්තර නීතිය යටතේ, 'තහනම් ආයුධ' හෝ 'අවසර නොලත් ආයුධ' යනුවෙන් පිළිගනු ලබන අවි ආයුධ වර්ග සහ, සියලුම වර්ගවල පතරොම්, බෝම්බ, වෙඩි බෙහෙත් සහ පිපිරුම් කාරක රසායනික ද්‍රව්‍ය, රටකින් රටකට අනවසරයෙන් රැගෙන යාම, විකිණීම, ගබඩාකර තබා ගැනීම, යන කරුණු වේ. 

1. ඉතිහාසය

   ලෝකය තුළ යුද්ධය කියන දේ ඇතිවුනේ කවදාද, හොර අවි වෙළඳාම කියන දෙයත් ඒ තරම්ම පැරණියි. එයින්ම පෙනෙනවා, මේ අමානුෂික ක්‍රියාව, ඉතා දිගු ඉතිහාසයක් තිබෙන, මහා ව්‍යාපාරයක් බව. යුද්ධය කොතරම් අමානුෂික ද යන්න පහුගිය කාලේ මේ රටේ තිබුණු යුද්ධය සියැසින් දුටු ඔබත්, එයට සහභාගිවූ අපිත් හොඳින්ම දන්නවා.

   ඔබ කියයි, 'ඉතින් ඔය කාලකන්ණි යුද්ධ තියන නිසානේ, ඔය භයානක ආයුධ හැදෙන්නේ. ඒවා හදන නිසානේ, ඔය හොර වෙළඳාම පවතින්නේ' කියා. යුද්ධය ඇති කරන්නෙත් අවසන් කරන්නෙත් රාජ්‍ය පාලකයෝ. හමුදාව නෙවෙයි. යුද්ධයක් ඇතත් නැතත්, ආයුධ හදන්න නියෝග දෙන්නේ, හමුදාව නෙවෙයි රාජ්‍ය පාලකයෝ. යුද්ධායුධ හදන්නේ හමුදාව නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල යුද්ධායුධ හදන්නේ පෞද්ගලික සමාගම්. ඩොලර් බිලියන / ට්‍රිලියන ගණනින් ඔවුන් ආදායම් ලබන්නේ.  ඒකත් වෙනම කතාකලයුතු කාරණයක්.

   හොර අවි ජාවාරමෙන්, ලෝකය පුරා හොර වෙළෙන්දෝ, වසරකට ඩොලර් බිලියන් 60 ක් පමණ උපයනවා. එයින් බිලියන 8 ක් පමණ උපදවන්නේ, පිස්තෝල, රයිෆල්, මැෂින් තුවක්කු, සහ පතරොම් වෙළඳාමෙන්. ලෝකයේ හොර අවි වෙළඳාමේ සම්පූර්ණ පිරිවැටුම මෙතෙකැයි කියා ගණන් බැලීම, සැබවින්ම කළ නොහැකියි. තොරතුරු රහසිගත නිසා. 


2. මේ ජාවාරමට මග පෑදෙන්නේ කොහොමද?

   මේ ව්‍යාපාරයේ සමහර කරුණු පුදුමයි. ඒ වගේම ලැජ්ජා සහගතයි. සමහර කරුණු, බලගතු රාජ්‍ය රහස් සමගත් පැටලෙනවා.   මුළු ලෝකයේම අවි වෙළඳාම කෙරෙන ආකාරය, කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්, මෙන්න මෙහෙම. 
  • පළමුවැනි ක්‍රමය, නීත්‍යානුකූල රාජ්‍යයක්, තවත් නීත්‍යානුකූල රාජ්‍යයකින් (එම රාජ්‍යයේ තිබෙන අවි නිපදවන සමාගම් වලින්) ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් මගින් හෝ අන්‍යොන්‍ය අවබෝධය මත අවි මිලදී ගැනීම. (මතක තියාගන්න අවි කිව්වම, පුංචි පිස්තෝල පතරොමක ඉඳලා, මහා විශාල බෝම්බ දක්වාත්, සාමාන්‍ය තුවක්කුවක සිට, කාලතුවක්කු, යුද ටැංකි, යුද නැව්, යුද ගුවන් යානා දක්වා සියල්ල අයිතියි)

  • දෙවැනි ක්‍රමය, කළු කඩෙන් බඩු ගැනීම. (අපිට කවුරුවත් බඩු විකුනන්නේ නැත්නම් කළු කඩේකට යනවා. ලෝකයේ සමහර රටවල තියනවා, සෑම ආකාරයකම අවි ආයුධ මිලදීගත හැකි හොර සමාගම්. ඒවායෙන් හොඳ බඩු වැඩි මිලට හෝ පාවිච්චි කරපුවා අඩු මිලට  ගන්න පුළුවන්) නමුත් මේ ආකාරයට අවිආයුධ ගන්නේ, ලෝකයේ නරක රටවල් හැටියට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන වලින් හංවඩු ගහපු, විවිධ සම්බාධක වලට යටත් රටවල් සහ ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධාන විතරයි.

  • තුන්වැනි ක්‍රමය තමයි හිරිකිතම දේ. ඒ තමයි වහලා ගැහිල්ල. අපිට ඕනේ වෙනවා යම්කිසි යුද්ධායුධයක් ගන්න. උදාහරණයක් වශයෙන් මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගන්න ඕනේ කියල හිතන්න. නමුත් අපේ සතුරාට නොදැනෙන්න මේක ගන්න ඕනේ. මොකද සතුරා දැනගත්තොත්, ඒකෙන් බේරෙන්න ක්‍රම සහ විධි සකසාගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ප්‍රසිද්ධියේ අපි මිලට ගන්න ගියොත්, ඒ ඒ රටවලට විවිධ ගතු කේලම් කියා, අපි ඒක ගැනීම වලක්වන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ, වෙනත් පාර්ශවයක් යොදවා රහසිගතව ගණුදෙනුව කිරීමයි. ත්‍රස්තවාදීනුත් මේ ආකාරයට වෙනත් පාර්ශව යොදවා ගණුදෙනු කරනවා. මෙහෙම හිතන්න. එක රටකට අවශ්‍යවෙනවා වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්න. මේ සඳහා, අති විශේෂ වර්ගයක තුවක්කුවක් ඕනෑ වෙනවා කියා හිතන්න. අන්න ඒ වගේ අවියක්, ප්‍රසිද්ධියේ මිළදී අරගෙන, අර ඝාතනය ඉතා රහසිගතව කළත්, පස්සේ එළියට එනවා, අහවල් රට විසින්, ඒ ජාතියේ අවියක් මෑතකදී මිළට ගත්තා කියලා. අන්න ඒ වගේ රහස් රකින්න, මේ විදිහේ වහලා ගැහිලි කරනවා. 

      මේ හැම ක්‍රමයක් තුළම තියනවා, අක්‍රමිකතා සිදුවීමට ඉඩකඩ. උදාහරණයක් වශයෙන්, අවි තොග වෙනස් කරමින්, ප්‍රවාහනයේදී වෙනත් අය අතට (ජාවාරම් කරුවන්ට) අවි ලැබෙන්න සලස්වන්න පුළුවන්. අපි යම්කිසි රටකින් තුවක්කු 5000 ක් ඇණවුම් කරනවා. ඒ රටේ සමාගමට පුළුවන්, විවිධ උප්පරවැට්ටි මගින්, තුවක්කු 5000 ක් වෙනුවට 8000 ක් නැවේ පටවාගෙන එන ගමන්, අතරමගදී, අවි ජාවාරම් කාරයෙකුට අමතර තුවක්කු 3000 විකුණන්න. 


3. ආයුධ වෙළඳාම නිසා සිදුවන විනාශයේ තරම

   ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය හෙවත්, Amnesty International විසින් නිකුත්කර තිබෙන නිවේදනයක දක්වා තිබෙනවා, නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට, අවි වෙළඳාම නිසා සිදුවන හානිය, කැටිකර දැක්වීමක්. ඒ මෙන්න මෙහෙමයි. 

I. අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි.

   යුද්ධ, සන්නද්ධ මිනීමැරුම්, නීත්‍යානුකූල නොවන මරණ දඬුවම් පැමිණවීම්, රාජ්‍ය ආරක්ෂක අංශ මගින් කෙරෙන, නීතියට පටහැනි අවි බලය යෙදවීම් හේතුවෙන්, වසරකට ලොව පුරා මිනිසුන් පන්ලක්ෂයක් පමණ මරණයට පත්වේ.

II. ලෝකයේ අවි වෙළඳාම පාලනය කිරීමට පනවා ඇති නීති රීති වලට වඩා වැඩි නීති රීති ප්‍රමාණයක්, ජාත්‍යන්තර කෙසෙල් වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇත. 

  හාස්‍යයද ජනිත කරවන මේ ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම අදහස් කෙරෙන්නේ, මෙයයි. ලෝකයේ අවි ආයුධ වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇති නීති රීති වල ඇති අඩු ලුහුඬුකම් හේතුවෙන්, නීතියේ හිල් වලින් රිංගා ගොස්, නීතිවිරෝධී ක්‍රියා කරන්නට අවස්ථාව පෑදෙයි. එනම්, ආඥාදායකයන් සහ/හෝ ඒකාධිපති කෲර පාලකයන් විසින් පාලනය කරන රටවලට පවා, සීමාවකින් තොරව අවි විකිණීමට, අවි නිපදවන රටවලට/සමාගම් වලට අවස්ථාව තිබීමෙන්, අහිංසක රටවැසියන් ඝාතනය කිරීමට, බරපතල තුවාල සිදුකිරීමට, ඉතා භයානක ලෙස එම රටවැසියන්ගේ මානව හිමිකම් කඩවීමට ලක්වෙයි. කෘෂිකාර්මික නිෂ්පාදන, රටකින් රටකට යැවීමේදී, දැනට බලපවත්වන සමහර ජාත්‍යන්තර නීති, අවි ආයුධ වෙළඳාම සඳහා පනවා ඇති නීති වලට වඩා බරපතළයි.

III. ලොව පුරා වසරකට පතරොම් බිලියන අටත් දොළහත් අතර ප්‍රමාණයක් නිපදවනු ලැබේ.

      මෙම පතරොම් ප්‍රමාණය, ආසන්න වශයෙන්, ලෝකයේ සිටින සෑම පුද්ගලයකුම, දෙවරක් ඝාතනය කිරීමට ප්‍රමාණවත්වේ. මේ වනවිට ලෝකය පුරා සාමාන්‍ය තුවක්කු මිලියන 875 ක් පමණ තිබන අතර, විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ මැෂින් තුවක්කු මිලියන 8ක් වසරකට අලුතෙන් නිපදවන බව අනාවරණයවේ. 

IV. ලොව පුරා සිදුවන සන්නද්ධ ගැටුම් හේතුවෙන් වසරකට ලොව පුරා සාමාන්‍ය මහජනතාව මිලියන 26 ක් පමණ අවතැන් වෙයි.

        ඔවුන්ට හිසට සෙවනක් හෝ බීමට පිරිසිදු වතුර පොදක් නොලැබෙන අතර දරුණු බෝවන රෝගවලටද ලක්වෙයි. ඔවුන් දුප්පත්කම වෙත තල්ලු වෙයි. ඔවුන් මෙසේ අවතැන් වන්නේ, ඔවුන්ගේ කැමැත්තෙන් නොව, සන්නද්ධ ගැටුම් තුළින්, ඔවුන්වෙත එල්ලවන බලපෑම නිසාය.

V. ළමා සොල්දාදුවන් බිහිවීමේ ප්‍රවනතාව වැඩිවෙයි.

   වර්තමානයේදී සන්නද්ධ ගැටුම් වලට මැදිව සිටින සමහර රටවල රජයේ අනුග්‍රහය ඇතිව කිසිදු නීතියක් ගැන නොසලකා වගකීම් විරහිතව ළමයා යන නිර්වචනයට අයත් පිරිස් සන්නද්ධ සෙබළුන් ලෙස සටනට යොදවා තිබේ. එමෙන්ම සමහර ත්‍රස්තවාදී සංවිධාන සහ සන්නද්ධ කල්ලි ඒ ආකාරයටම ක්‍රියාකරයි. එයින් ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙයි.

VI. එක මරණයකට තුවාල සිදුවීම් 28 යි

     ලොව පුරා සිදුවන යුද්ධ සහ සන්නද්ධ ගැටුම් වලදී, එක් පුද්ගලයකු මියයනවිට, 28 දෙනෙක් තුවාලවීමේ සාමාන්‍යයක් දකින්නට ලැබෙයි.

VII. බර අවි සහ පිපිරුම් නිසා යටිතල පහසුකම් සහ දුප්පත්කම නැතිකිරීමේ අවස්ථා අහිමි වෙයි.

      ගුවනින් හෙලන මහා පරිමාන බෝම්බ, මිසයිල්, කාලතුවක්කු, රොකට් වෙඩි, යුද ටැංකි නිසා භූමියේ ඇති යටිතල පහසුකම් වලට බරපතල හානි සිදුවන අතර මහජනතාවට සෙත සැලසීමට ඇති අවස්ථා අහිමිවීමෙන්, දුප්පත්කම වර්ධනය වෙයි.

VIII. මේ ඔක්කොම කරන්නේ ප්‍රධාන රටවල් හයක්

      මුළු ලෝකයටම අවි ආයුධ, පතරොම්, බෝම්බ, යුද ගුවන් යානා, යුද ටැංකි, ආදිය නිපදවා සපයන්නේ රටවල් හයක් විසින්. මෙන්න එයාලාගේ විස්තර. මුළු නිෂ්පාදනයෙන් ඒ ඒ රටට අයත් ප්‍රතිශතය සහිතව.

1 ඇ.එ.ජ. - 34.84%,
2 රුසියාව - 14.86%,
3 ජර්මනිය - 7.43%,
4 එක්සත් රාජධානිය - 6.57%,
5 චීනය - 6.29%,
6 ප්‍රංශය - 4%

IX. සන්නද්ධ ගැටුම් හේතුවෙන් ස්ත්‍රී දූෂණ වර්ධනය වෙයි.

     සන්නද්ධ කණ්ඩායම් සහ/හෝ  රාජ්‍ය හමුදා අතර සිදුවන සන්නද්ධ ගැටුම් අතරතුර, පළිගැනීමේ චේතනාව, බලය පෙන්වීමේ චේතනාව, යටත් කරගැනීම සහ ගැරහීමේ චේතනාව මත, විශාල වශයෙන් ස්ත්‍රී දූෂණ සිදුවන බව, පිළිගත් ජාත්‍යන්තර සංවිධාන මගින් නිරීක්ෂණය කර තිබේ. උදාහරණ වශයෙන්, සියරා ලියොන් රාජ්‍යය, කොන්ගෝ ජනරජය, දැක්විය හැකිය.

X. අවි නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව දැඩි නීති අවශ්‍යයි

    ලොව පුරා සිදුවන, ලක්ෂ ගණනක් අහිංසක ජීවිත නැතිවීමේ ඛේදවාචකය නවත්වාගැනීම සඳහා, අවි ආයුධ නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව, දැඩි නීතිරීති අවශ්‍ය වෙනවා. 2012 වසරේදී, ලෝක නායකයන් මේ පිළිබඳව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලද නමුත්, අවසාන එකඟතාවකට පත්වීමට අපොහොසත් විය.

   ඔව්වා ඔහොම තමා. මුදලාලිලා එකතුවෙලා කවද්ද පාරිභෝගිකයාට සහන සලසන වෙළඳාමක් ගැන කතා කළේ? මෙන්න බලන්න වැඩියෙන්ම බඩු හදන අය සහ වැඩියෙන්ම බඩු ගන්න අය.



බඩු සපයන්නෝ 

Screenshot (2)




බඩු මිලදීගන්නෝ 

Screenshot (3)

   
මේ ගැන තවත් පුදුම සහගත/පිළිකුල්/කණගාටුදායක විස්තර ඉදිරියේදී කතාකරමු. 


2015 අගෝස්තු මස 23 වැනි දින 2333 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }