යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, 'ලංකා නිව්ස් වෙබ් ටුඩේ' අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ වෙබ් අඩවියේ වාර්තාව.
මේ වාර්තාව අනුව පෙන්වා දෙන්නේ, යාපනය මහාධිකරණ විනිසුරුවරයා, මේ රටේ හමුදා සෙබළුන්, ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ, යුද අපරාධකරුවන් බවට පත්කිරීමේ අරමුණෙන්, ක්‍රියාකරන බවයි. මාතෘකාවේම යොදා තිබෙන්නේ 'හමුදා සෙබළුන් යුද අපරාධකරුවන් කිරීමේ සැලැස්ම සාර්ථක' බවයි. මේ වාර්තාව සැකසූ තැනැත්තා, ජාත්‍යන්තර නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයකු බව, ඒ ප්‍රකාශය තුළින්ම, මැනැවින් ගම්‍ය වනවා. යම්කිසි රටක, අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් පවතින අවස්ථාවක, සක්‍රිය සේවයේ යෙදීසිටින ආරක්‍ෂක හමුදා අයවලුන් විසින්, සතුරු හමුදාවේ හෝ සාමාන්‍ය ජනතාව වශයෙන් සැළකෙන අයගේ, මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් කරන සෑම ක්‍රියාවක්ම සැළකෙන්නේ, යුද අපරාධයක් ලෙසයි.
මේ වාර්තාව සැකසූ තැනැත්තා, යටත්පිරිසෙයින්, පහත දැක්වෙන කරුණු පිළිබඳව, මූලික අවබෝධයක්වත් නැතිව, මෙය ලියා ඇති බවද පැහැදිළි වෙනවා.
http://www.wikigender.org/index.php/International_Law_and_War_Rape
https://www.icrc.org/customary-ihl/eng/docs/v1_rul_rule93
https://www.icrc.org/customary-ihl/eng/docs/v1_rul_rule93
මේ අධිකරණ ක්‍රියාවලියේදී සිදුවී තිබෙන්නේ, මේ සෙබළුන්, ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත ගෙනයාමට දරන ලද උත්සාහයක් නොවෙයි. ඔවුන්ට මේ රටේ වලංගු නීතිය යටතේ චෝදනා නගා, සාධාරණ සැකයකින් තොරව එම චෝදනා ඔප්පු කර, මේ රටේ නීතිය අනුව දඬුවම් ලබාදීමයි. එසේනම්, මේ වාර්තාවේ කියන පරිදි (ඉඟි කරන පරිදි), අනාගතයේදී මේ රටේ ඕනෑම අධිකරණයකින්, හමුදා අයවලුන් තම සේවා කාලය තුළ කරන ලද මෙවැනි අපරාධ වලට දඬුවම් දීම වරදක්ද? ඔවුන්ට අපරාධ වලින් ගැලවී සිටීමේ මුක්තියක් දියයුතුද? යාපනය මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ වලංගු නීති පද්ධතියට පිටස්තර යම් ක්‍රියාවක් කර තිබේද? හමුදා අයවලුන්ට එරෙහිව මේ හා සමාන චෝදනා, ඉදිරියේදී විභාග වන්නට නියමිතයි.
යුද සමයේදී මේ සෙබළුන් දූෂණය කළේ, වවුනියාවේ පදිංචි සිංහල කාන්තාවක් නම්, එම නඩුව වවුනියාවේ මහාධිකරණයේදී විභාග කර, මේ තීන්දුව දුන්නේ, මේ විනිශ්චයකාරවරයා විසින්ම නම්, ලංකා නිව්ස් වෙබ් ටුඩේ හි, ස්ථාවරය කුමක්ද?
මට මතක්වනවා එක්තරා සිද්ධි දෙකක්.
මට මතක්වනවා එක්තරා සිද්ධි දෙකක්.
1994 දී පමණ, වවුනියාවේදී, යුද හමුදා ලුතිතන් වරයකු සහ උප පොලිස් පරීක්‍ෂක වරයකු, නිළ ඇඳුමින් මහමගදී ගහගත්තා. අන්තිමේදී උසාවි යන්න වුනා. විත්තිකරු හමුදා නිලධාරියා. ද්‍රවිඩ ජාතික විනිසුරුවරයා දෙදෙනාටම එන්න කිව්වා, විවෘත අධිකරණය ඉදිරියට. විත්ති කූඩුවටවත් පැමිණිලි කූඩුවටවත් නගින්න එපා කිව්වා. ඔවුන්ගෙන් ඇහුවා, ලැජ්ජාව කියල දෙයක් ඔබට තියනවද? මේ රටේ දැන් මහ යුද්ධයක් යනවා, ඒ අතරේ ඔබ දෙදෙනා එනවා, පෞද්ගලික ප්‍රශ්න අරගෙන උසාවියට. ඔබ දෙදෙනාටම මේ රට වෙනුවෙන් කරන්න විශාල කාර්ය භාරයක් තියනවා. එයටයි ප්‍රමුඛත්වය දියයුත්තේ. වහාම අතට අත දී සමාදානවී, මේ උසාවියෙන් පිටවී යන ලෙස මා නියෝග කරනවා කිව්වා. අර දෙන්නා එහෙම කළා. ඒ විනිසුරුවරයා කළදේ හරිද වැරදිද?
එවැනිම ඊළඟ සිද්ධිය තමයි, එක්තරා ජ්‍යොෂ්ඨ පොලිස් නිලධාරියකු, සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, තම පවුලේ සාමාජිකයන් ද සමග, හමුදා අධි ආරක්‍ෂක කලාපයක පිහිටි, සුන්දර වෙරළ තීරයකට යාම සඳහා, මාළු බෝට්ටුවකින්, කළපුවක් හරහා පැමිණ, හමුදා පාලනය යටතේ තිබුණු, ජැටියක ගොඩ බැසීමට උත්සාහ කිරීමේදී ඇතිවූ උණුසුම් තත්වයක් මත, අවසානයේදී හමුදා රෙජිමේන්තුවක්ම උසාවියට කැඳවීමේ සිද්ධිය. මෙය සිදුවුණේ 2002 දී පමණ.
මෙහිදී උසාවි නියෝගයක් ලැබුණා, නඩුව අවසන් වනතුරු, (කලින් සිද්ධියේදී මෙන්ම මෙයද උසාවියේදී සමථයට පත්වුණා) අදාළ හමුදා බලඇණිය, එම දිස්ත්‍රික්කයෙන් ඉවත් කළයුතුයි කියා. මීටර් 400 ක් කලපුවෙන් මෙගොඩ අයත්වුනේ, වෙනත් දිස්ත්‍රික්කයකට. ඉතින් අර බලඇණිය, තමන්ගේ බඩු කරගහගෙන, මීටර් 400ක් බෝට්ටුවෙන් ගොස්, ස්ථාන මාරුව සිදුකළා. මෙහිදී පොලීසිය උසාවියට නැවතත් වාර්තා කළා, ඈත්වූ දුර මදි බව. නමුත් උසාවිය එය පිළිගත්තේ නැහැ. මේ නඩුව ඇහුවෙත්, ද්‍රවිඩ ජාතික විනිසුරු වරයෙක්. ඉතින් ඔහුගේ ක්‍රියාව හමුදාවට පක්‍ෂපාතී ද?
ඉහත වාර්තාව ගැන, ලංකා නිව්ස් වෙබ් ටුඩේ අඩවියේදී, ඉඳුරාම අදහස් දැක්වීමේ අයිතියක්, පාඨකයාට නැහැ. ඒ නිසයි, මා මෙය ඔබවෙත ගෙන ආවේ. ඔබ මොකද හිතන්නේ?
2015 ඔක්තෝබර් මස 08 වැනි දින 1401 පැය