හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 October 2015

මේ වැඩේ හරිද වැරදිද?

   යුද හමුදා සෙබළුන් සිව් දෙනෙකු විසින්, දැනට වසර පහකට පමණ පෙර, මුලතිව් ප්‍රදේශයේදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා කොට, දඬුවම් දීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. නඩුව විභාගවී තිබෙන්නේ, යාපනය මහාධිකරණයෙදී. මේ පිළිබඳව, 'ලංකා නිව්ස් වෙබ් ටුඩේ'  අඩවියේ පළවූ වාර්තාවක් කියවීමෙන් පසු, මට ඒ සම්බන්ධව ඔබ සමග සාකච්ඡා කරන්නට හිතුනා. මුලින්ම කියවා බලන්න, අදාළ වෙබ් අඩවියේ වාර්තාව.


Screenshot (75)
Screenshot (76)


   මේ වාර්තාව අනුව පෙන්වා දෙන්නේ, යාපනය මහාධිකරණ විනිසුරුවරයා, මේ රටේ හමුදා සෙබළුන්, ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ, යුද අපරාධකරුවන් බවට පත්කිරීමේ අරමුණෙන්, ක්‍රියාකරන බවයි. මාතෘකාවේම යොදා තිබෙන්නේ 'හමුදා සෙබළුන් යුද අපරාධකරුවන් කිරීමේ සැලැස්ම සාර්ථක' බවයි. මේ වාර්තාව සැකසූ තැනැත්තා, ජාත්‍යන්තර නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයකු බව, ඒ ප්‍රකාශය තුළින්ම, මැනැවින් ගම්‍ය වනවා. යම්කිසි රටක, අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් පවතින අවස්ථාවක, සක්‍රිය සේවයේ යෙදීසිටින ආරක්‍ෂක හමුදා අයවලුන් විසින්, සතුරු හමුදාවේ හෝ සාමාන්‍ය ජනතාව වශයෙන් සැළකෙන අයගේ, මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් කරන සෑම ක්‍රියාවක්ම සැළකෙන්නේ, යුද අපරාධයක් ලෙසයි.


   මේ වාර්තාව සැකසූ තැනැත්තා, යටත්පිරිසෙයින්, පහත දැක්වෙන කරුණු පිළිබඳව, මූලික අවබෝධයක්වත් නැතිව, මෙය ලියා ඇති බවද පැහැදිළි වෙනවා. 


    මේ අධිකරණ ක්‍රියාවලියේදී සිදුවී තිබෙන්නේ, මේ සෙබළුන්, ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත ගෙනයාමට දරන ලද උත්සාහයක් නොවෙයි. ඔවුන්ට මේ රටේ වලංගු නීතිය යටතේ චෝදනා නගා, සාධාරණ සැකයකින් තොරව එම චෝදනා ඔප්පු කර, මේ රටේ නීතිය අනුව දඬුවම් ලබාදීමයි. එසේනම්, මේ වාර්තාවේ කියන පරිදි (ඉඟි කරන පරිදි), අනාගතයේදී මේ රටේ ඕනෑම අධිකරණයකින්, හමුදා අයවලුන් තම සේවා කාලය තුළ කරන ලද මෙවැනි අපරාධ වලට දඬුවම් දීම වරදක්ද? ඔවුන්ට අපරාධ වලින් ගැලවී සිටීමේ මුක්තියක් දියයුතුද? යාපනය මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ වලංගු නීති පද්ධතියට පිටස්තර යම් ක්‍රියාවක් කර තිබේද? හමුදා අයවලුන්ට එරෙහිව මේ හා සමාන චෝදනා, ඉදිරියේදී විභාග වන්නට නියමිතයි.

   යුද සමයේදී මේ සෙබළුන් දූෂණය කළේ, වවුනියාවේ පදිංචි සිංහල කාන්තාවක් නම්, එම නඩුව වවුනියාවේ මහාධිකරණයේදී විභාග කර, මේ තීන්දුව දුන්නේ, මේ විනිශ්චයකාරවරයා විසින්ම නම්, ලංකා නිව්ස් වෙබ් ටුඩේ හි, ස්ථාවරය කුමක්ද? 

   මට මතක්වනවා එක්තරා සිද්ධි දෙකක්.

   1994 දී පමණ, වවුනියාවේදී, යුද හමුදා ලුතිතන් වරයකු සහ උප පොලිස් පරීක්‍ෂක වරයකු, නිළ ඇඳුමින් මහමගදී ගහගත්තා. අන්තිමේදී උසාවි යන්න වුනා. විත්තිකරු හමුදා නිලධාරියා. ද්‍රවිඩ ජාතික විනිසුරුවරයා දෙදෙනාටම එන්න කිව්වා, විවෘත අධිකරණය ඉදිරියට. විත්ති කූඩුවටවත් පැමිණිලි කූඩුවටවත් නගින්න එපා කිව්වා. ඔවුන්ගෙන් ඇහුවා, ලැජ්ජාව කියල දෙයක් ඔබට තියනවද? මේ රටේ දැන් මහ යුද්ධයක් යනවා, ඒ අතරේ ඔබ දෙදෙනා එනවා, පෞද්ගලික ප්‍රශ්න අරගෙන උසාවියට. ඔබ දෙදෙනාටම මේ රට වෙනුවෙන් කරන්න විශාල කාර්ය භාරයක් තියනවා. එයටයි ප්‍රමුඛත්වය දියයුත්තේ. වහාම අතට අත දී සමාදානවී, මේ උසාවියෙන් පිටවී යන ලෙස මා නියෝග කරනවා කිව්වා.  අර දෙන්නා එහෙම කළා. ඒ විනිසුරුවරයා කළදේ හරිද වැරදිද?

   එවැනිම ඊළඟ සිද්ධිය තමයි, එක්තරා ජ්‍යොෂ්ඨ පොලිස් නිලධාරියකු, සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, තම පවුලේ සාමාජිකයන් ද සමග, හමුදා අධි ආරක්‍ෂක කලාපයක පිහිටි, සුන්දර වෙරළ තීරයකට යාම සඳහා, මාළු බෝට්ටුවකින්, කළපුවක් හරහා පැමිණ, හමුදා පාලනය යටතේ තිබුණු, ජැටියක ගොඩ බැසීමට උත්සාහ කිරීමේදී ඇතිවූ උණුසුම් තත්වයක් මත, අවසානයේදී හමුදා රෙජිමේන්තුවක්ම උසාවියට කැඳවීමේ සිද්ධිය. මෙය සිදුවුණේ 2002 දී පමණ. 

   මෙහිදී උසාවි නියෝගයක් ලැබුණා, නඩුව අවසන් වනතුරු, (කලින් සිද්ධියේදී මෙන්ම මෙයද උසාවියේදී සමථයට පත්වුණා) අදාළ හමුදා බලඇණිය, එම දිස්ත්‍රික්කයෙන් ඉවත් කළයුතුයි කියා. මීටර් 400 ක් කලපුවෙන් මෙගොඩ අයත්වුනේ, වෙනත් දිස්ත්‍රික්කයකට. ඉතින් අර බලඇණිය, තමන්ගේ බඩු කරගහගෙන, මීටර් 400ක් බෝට්ටුවෙන් ගොස්, ස්ථාන මාරුව සිදුකළා. මෙහිදී පොලීසිය උසාවියට නැවතත් වාර්තා කළා, ඈත්වූ දුර මදි බව. නමුත් උසාවිය එය පිළිගත්තේ නැහැ. මේ නඩුව ඇහුවෙත්, ද්‍රවිඩ ජාතික විනිසුරු වරයෙක්. ඉතින් ඔහුගේ ක්‍රියාව හමුදාවට පක්‍ෂපාතී ද?

   ඉහත වාර්තාව ගැන, ලංකා නිව්ස් වෙබ් ටුඩේ අඩවියේදී, ඉඳුරාම අදහස් දැක්වීමේ අයිතියක්, පාඨකයාට නැහැ. ඒ නිසයි, මා මෙය ඔබවෙත ගෙන ආවේ. ඔබ මොකද හිතන්නේ? 

2015 ඔක්තෝබර් මස 08 වැනි දින 1401 පැය 

70 comments :

  1. Nithiya hetiyata punishment eka hari. Eth mewwa katha karaddi oluwen hithanawata wada ape ewun papuwen hithana nisa api okkoma weredda wereddak widihata dakinne ne. Sinhala ewunta ona pukak ok. Demalu kaloth thamai weradi. Buddhist ewunta oni pukak ok. Muslim eka kaloth weradi.. Ane manda ape harak kawada mewwa piliganiwida kiyala. Honda lipiyak wichaaraka..!!

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කිරීම තමයි අද තියන ලොකුම අභියෝගය.

      Delete
  2. මට නං හිතෙන්නේ ඩී එන් ඒ පරිස්සනයක් කරන්න ඕන කියලයි.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒහෙනං යං ජින්ටෙක්...........

      Delete
    2. අයියවත් එක්කරගෙනම යමු එතකොට එක පාරෙන් වැඩේ ඉවරයි

      Delete
    3. මේ වගේ අපබ්‍රංස වාර්ථා ලියන අයගේ මොලයේ ඩී එන් ඒ අරන් බලන්න වටිනවා ඒවා මිනිස් මොලයකටද හරක් මොලයකටද අයිති කියලා.

      Delete
  3. කව්රු කරත් වරදනම් වරදමයි. එයට දඬුවම් ලැබිය යුතුමයි. ඊට ආගම් ජාති බේදයක් තිබිය යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ සරළ සත්‍යය තේරුම් ගන්න බැරි මේ වගේ අයත් ඉන්න එක මේ රටේම අවාසනාවක්.

      Delete
    2. ඒ උනාට මෙතනදි නං ජාත්‍යන්තර යුධ අධිකරණයේ බලපැමක් තියෙනවා කියල පේනවා නේද??
      හැක්

      Delete
    3. නැහැ. මේ නඩුව අහලා තියෙන්නේ සම්පූර්ණයෙන් අපේ උසාවියක, අපේ නීතිය අනුව. මේ තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න පුළුවන්.

      බොරු ගෝරි අදින්න එපා යකෝ.

      Delete
  4. මා නිතරම ඊළාම් යුද්ධයට සම්බන්ධ වූ හමුදාව වෙනුවෙන් බ්ලොග් අවකාශයේ පෙනී සිටින්නෙක්. නමුත් අසූව දශකයේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමූ දුරදිග නොබලන කීප දෙනෙක් සම්බන්ධයෙන් හැර.

    මේ සිදුවීම නම් අන්තිම සාධාරණයි. හමුදාවෙ හිටිය කියල මෙහෙම වැඩ කරන්නනම් ඉඩ දෙන්න බැහැනෙ.


    අර පොලිස් ලොක්ක සිවිල් පිට ජැටියට ගොඩබැහැපු සිද්ධියෙදි ඇයි රෙජිමේන්තුවටම යන්න වුනේ. මට පේන හැටියට එතන වැරදි පොලිස් අප්පුහාමි නේද

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියට සම්බන්ධ සොල්දාදුවොත්, යුද්ධයේදී කැපවීමෙන් සටන් කරන්න ඇති. නමුත් ඒ කැපවීම, මෙවැනි ක්‍රියාවක් කරන්න ලැබෙන බලපත්‍රයක් නෙවෙයි.

      අපොයි පොලිස් අප්පුහාමිලාගේ බලය යොදවා බොහොමම බොහොම ඉහළ තැන් අල්ලාගෙන තමයි හමුදාවට ලෙඩේ ඇද්දේ. නමුත් උසාවියේදී නිකං සවුත්තු වුණා.

      Delete
  5. This is a pro Mahinda web site.What else you can expect?

    ReplyDelete
  6. දැන් ඔය ජාත්‍යන්තර පරීක්ෂණ සාධාරණිකරණය කෙරෙන්නේනෙම මේවගේ තීන්දු අපේ අධිකරණ පද්ධතියෙන් නොදීම නිසානේ. ඇත්තටම මේ තීන්දුව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව තහවුරු කරන තීන්දුවක්. ඔය පොලීසිය සමඟ ගැටුම ගැන කීවිට මට මතක්වුනේ මා අසා ඇති දශක ගණනකට පෙර සිදුවූ රජරට රයිපල් සේනාංකය විසුරුවා හැරීම වැනි දෙයක්. මේ ගැන නිවැරදි තොරතුරු ඔබ දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මේ වෙබ් අඩවිය නිකම්ම නිකම් බම්මන්නෙක් විතරයි කියලා දැන් පෙනෙනවා. මේවා ලිවීමේ පරමාර්ථය පාරාජිකා වූ දේශපාලු වසලයන්ට හුළං ගසා පිම්බීම පමණයි.

      රජරට රයිෆල් රෙජිමේන්තුව විසුරුවා හැරියේ, යුද හමුදා පනත අනුව සලකා බලන කල, හමුදා කැරලි ගැසීම, අවනත නොවීම, යන කාරනා යටතේ. එය හමුදා පනතට එකඟ තීරණයක්.

      Delete
  7. තනතුරු,ආගම්,ජාති භේදයකින් තොරව නීතිය අකුරටම ක්‍රියාත්මක වීම තමයි විය යුත්තේ.ඒකෙන් සාධාරණයක් වෙනවා.අර පොලිසියෙයි හමුදාවේ නිලධාරියයි ආරාවුලක් ඇති කරගත්ත වෙලාවේ විනිසුරැවරයා ක්‍රියා කරපු ආකාරය වඩාත් ඵලදායි කියලයි මට හිතෙන්නේ.ඔවුන්ගේ නිලයේ ගෞරවයත් ආරක්ෂා කරලා වගකිම මොකක්ද කියලා ඔවුන්ට වටහා දුන්නා.හමුදා හෝ පොලිස් නිලධාරියකු යම් අපරාධයකට සම්බන්ධ වෙලා තිබෙනවනම් ඔවුන්ට රටේ පවතින නීතියට අනුව ක්‍රියාත්මක විය යුතුයි.රටේ නීතිය,සාමය,ආරක්ෂාව පිළිබද විශාල වගකීමක් පොලිසියට හා හමුදාවට පැවරිලා තිබෙනවා.එවැනි පිරිසක්ම නීතිය,ආරක්ෂාව නොසලකා හැරලා කටයුතු කරන්න ගියොත් ඒක මුලු රටකටම බලපානව.සාමාන්‍ය ජනජීවිතය අවුල් වෙනවා.අවසානයේ මේ හැම දෙයක්ම බලපාන්නේ සාමාන්‍ය ජනතාවට.

    අර පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා හමුදා රෙජ්මේන්තුවක් තිබු තැනින් ඉවත් කලේ ඇයි කියන එකනම් වැටහෙන්නේ නැ.කොහොම උනත් රටේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව පොලිසියට වඩා ලොකු කැපකිරීමක් කරනවා වගකීමක් දරනවා.මම දැකලා තියෙන දෙයක් තමයි යුධ බිමේ අවි දරාගෙන හිටියත් හමුදා සෙබලෙකු පොලිස්නිලධාරියකුට වඩා මනුස්සකමෙන් ඉස්සරහා ඉන්නවා.


    ReplyDelete
    Replies
    1. කියන්න හිටපු එකක් අමතක වුනා කොමන්ටුව දිගා වැඩි වුන නිසා.
      හමුදා සෙබලු පිරිසක් මේකට සම්බන්ධ නිසා පුවත වාර්ථා කලවෙබ් අඩවිය අනවශ්‍ය විදියට ම්ක උලුප්පලා මේක රටේ ලොකු ප්‍රශ්නයක්,රටට අනතුරක් කියලා පෙන්වන්න යනවා.ඒකෙන් අනවශ්‍ය ප්‍රචාරයක් කෙරිලා විදේශීය වශයෙන් අපේ හමුදාව අපකීර්තියට උනත් පත්වෙන්න පුලුවන්.විදේශිකයන් දකින්නේ වෙබ් අඩවියේ තිබෙන දේ මිසක් සැබැව නෙමෙයිනේ.

      Delete
    2. මේ වෙබ් අඩවිය හමුදාවට ඔච්චර ආදරේ නම් මේ සෙබළුන්ගේ නම් නොකියා ඉන්න තිබුණා. මොවුන් කරන්නේ පරාජිත දේශපාලන බම්මන්නෙකුට හුළං ගැසීමේ සට්ටැඹි ක්‍රියාව බව දැන් පැහැදිළියි.

      Delete
  8. මමත් හිතන්නෙ ඒක සිවිල් නඩුවක් විතරයි..ඡාත්‍යන්ත්‍රරයට බලපැමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකවත් නොතේරෙන අබබ්බයෙක් තමයි මේ වාර්තාව ලියලා තියෙන්නේ.

      Delete
  9. මේකෙන් ජාත්‍යන්තර තලයේදි වාසියක් තියෙනවා. උතුරු පළාත් සභාව යුධ හමුදාව උතුරේ ඉන්න එක ගැන සහ ඒක ඉවත්කරගන්න ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑම් කරනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල මේවගේ සිද්ධි වලින් පෙනුනම අපිට වාසියි. අනික ස්ත්‍රී දූශණයට සමාවක් නොලැබෙන බව හමුදා සෙබළු දැනගත්තම ඒවගේ සිදුවීම් අඩුවෙයි. හිටපු හමුදා නිලධාරියෙක් විදිහට විචාරක මේ දැක්වූ අදහස් වලට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ත්‍රිවිධ හමුදාවේ සෑම සාමාජිකයකුම, මුලින්ම රටේ සාමාන්‍ය නීතියට යටත්, දෙවනුව හමුදා නීතියට යටත්, එහෙනම් හමුදා සාමාජිකයින්ගේ විනය දෙගුණයක් හොඳ වෙන්න ඕනේ. යුද්ධයේදී නීතියට හා මානව හිමිකම් වලට පටහැනිව සාමාන්‍ය මිනිසුන් හෝ සතුරන් පෙලන්න හමුදාවට විශේෂ වරප්‍රසාද නැහැ.

      Delete
  10. ගොඩක් ගොසිප් බ්ලොග්, මුහුණු පොතේ ලියන්නේ ඔහොම තමයි ජාතිවාදය අවුස්සලත් වාසී ගන්න අය ඕනෙතරම් ඉන්නවා, විමලෙට චන්ද කොච්චර හම්බුනාද, හෙහ් හෙහ් .
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ඔයවගේ බොරුවලට ආයුෂ කෙටියි. ඇත්ත එළිවෙනවා, වැඩිකල් නොගිහින්.

      Delete
  11. ඔතන තියෙන වැරැද්ද වෙලා තියෙන්නෙ ඒ හමුදා සෙබළු වීම නේද? හරියට අර චීවර ධාරීන් කියනවා වගේ. වැරැද්දක් කලා නම් ජනාධිපති උනත් දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම වෙන දේකට දඩ මීමා කරගන්න එකයි වැරැද්ද. මේක නිකන් අර අඬන්න හිටපු එකාගෙ ඇහැට ඇන්නා වගේ වැඩක්. ඔය වගේ සිද්දියකින් කොහෙවත් නැති දෙයක් මවා පාන්න අපෙ මිනිස්සු කොහොමත් දක්ෂයි. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔය දේ ඔතනින් නතර වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. තව දෙයක්. හෙදර ගිනි පිටට දෙන්න එපා කියලා තියෙන්නෙ ගෙදර ප්‍රශ්න පිට අයට කියන්න එපා කියන එක විතරක් නෙවෙයි.
      පවුලෙ දේවල් පවුලෙන් පිටට නොයෑම,
      පාසලේ දේවල් පාසලෙන් පිටට නොයෑම,
      ආයතනයක දේවල් ආයතනයෙන් පිටට නොයෑම,
      ගමේ දේවල් ගමේන් පිටට නොයෑම(ග්‍රාම නිලධාරියෙක් ඉන්නෙ ඒකනෙ)

      විතරක් නෙවෙයි.
      ඕනෙම කෙනෙක් දැනගන්න ඕනෙ තමන්ගෙ රටේ ප්‍රශ්න රටින් පිටට නොයවා රට ඇතුලෙම විසඳගන්න. ඒත් වෙන්නෙ ඒක නෙවෙයි.

      Delete
    2. මේ වෙබ් අඩවිය පාට කන්නාඩියක් දාගෙන එක ඇහැකින් බලාගෙන තමයි මේවා ලියන්නේ. පැස්බරා හැංගුනා වගේ පස්ස පැත්ත එළියේ කියලා තේරෙන්නේ නැහැ. උපතින්ම ගෙනා අමනකම නිසා.

      Delete
  12. කියන්න දෙයක් නෑ ඉතිං......... මේක ලංකාවනේ............ මටත් තියෙන ප්‍රස්නෙ ඇයි අර සිද්ධියේදි හමුදාව ඉවත් කරේ කියන එක?

    ReplyDelete
    Replies
    1. මේ තත්වය වෙනස් කරන්න දැන් කාලය ඇවිත්.

      අර සිද්ධියේදී හමුදාව ඉවත් කරන්න වුණේ පොලීසිය ලොකු ලොකු තැන් වලට කියලා එයාලගේ බලය පෙන්වීම නිසයි.

      Delete
  13. මේ දේවල් ගැන බුද්ධියෙන් බැලීම කියන කාරණය අපේ සමාජය විසින සදහටම අමතක කරලා තියෙන්නේ . මෙවැනි කාරනාගැන සමාජය සංවේදී වෙන්නේ තනිකරම හැඟීම් ඔස්සේ . ඒ අතරදිත් බහුතරය අතර පවතින මතය තමයි සෙසු සමාජය කෙරෙහි බලෙන් පටවන්න උත්සාහ ගන්නේ . ඉතිං ඒ සමග අනුගත නොවෙන ඕනෑම පුද්ගලයෙක් ද්‍රෝහියෙක් හැටියට හංවඩු ගැහීම තමා මෙපමණ කාලයක් සිදුවුනේ , දැන් වත් ඒ මානසිකත්වයෙන් මිදිලා , සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන පරිසරයක් හැදීමෙන් බොහොමයක් ප්‍රශ්න විසඳාගන්න පුළුවනි

    ReplyDelete
    Replies
    1. මේ වෙබ් අඩවිය කියන විදිහට හමුදා සාමාජිකයකු කරන සෑම ක්‍රියාවක්ම සාධාරණයි. ඔවුන් කරන කිසිම වැරැද්දකට දඬුවම් දීම වැරදියි. එහෙම රටක් ලෝකයේ වෙන කොහෙද දන්නෑ තියෙන්නේ.

      මෙන්න මේ වගේ අබබ්බයෝ නිසා තමයි පිටරටවල් අපේ රටට අත පොවන්න එන්නේ.

      Delete
  14. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරිම ගැන නම් මගේ හිතේ තියෙන්නේ කලකිරීමක් විතරයි විචාරක මාමේ...

    ReplyDelete
    Replies
    1. නීතිය සැමට සාධාරණව ඉටුකිරීමට රටේ පුරවැසියන් සියලුදෙනා පෙරමුණ ගතයුතුයි.

      Delete
  15. ඕක හොර අඩවියකි. මා වසර හත අටක සිට කියවන ඔරිජිනල් ලංකා නිවුස් වෙබ් අඩවියේ (අරූ ගේ දෙල්කඳ හන්දිය ලිපි පළවෙන්නේ මෙහිය. අජිත් ධර්මා ගේ නෙළුම් යාය ද මෙහි කොටසකි) ලිපිනය www..lankanewsweb.net වේ.

    වත්පොතේ New Lanka Buddhist ගේ පැරඩි meme එක දැක්කාද?

    ReplyDelete
    Replies
    1. Wicharaka sir, Rasika is correct. Please correct this as "Lanka News Web Today"; This is not Lanka News Web (or LNW as we call it) . You are referring a fake pro MaRa website. not to worry much on this.

      Delete
    2. @ රසික
      මම මේ වාර්තාව අහම්බෙන් දැක්කේ ලංකා බ්ලොග් කියවනය සින්ඩිකේටරයේ තිබිලා. වෙනත් අඩවියල් ලෙස ව්‍යාජයෙන් පෙනීසිටීමෙන්ම වැටහෙනවා මොනතරම් අවලම් අදහසකින් ක්‍රියාකරනවාද කියන එක. අනික් ලංකා නිව්ස් වෙබ් අඩවිය බුක්මාක් කරගත්තා. ස්තුතියි.

      @ කල්‍යාණ.
      Thank you my dear. Thank you so much. Corrected everything as you indicated.

      Delete
    3. ඔන්න අපේ එකේ දැම්මා. රසික හා කල්‍යාණ මිත්‍ර ස්තුතියි.
      http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1091-2015-10-09-23-05-24

      Delete
    4. ඔබටත් ස්තුතියි අජිත්.

      Delete
  16. තම දේශපාලන පක්ෂයේ වාසිය වෙනුවෙන්.. නීතිය විතරක් නෙවෙයි.. අම්මා අප්පා වුනත් විකුණන කට්ටිය ඉන්න රටක් නේ අපේ ලංකාව අප්පා...

    ReplyDelete
  17. මේ අපරාදය වෙලා තියෙන්නේ යුද්ධයෙන් පස්සේ කාලේ නේද....?

    ReplyDelete
    Replies
    1. ඔව් යුද්දේ ඉවරවුනාට පස්සේ. මේ හතරදෙනා සරණාගත තත්වයෙන් හිටිය මිනිස්සුන්ගේ කූඩාරම් වලට රෑ ගිහිල්ල මේවා කරලා තියෙන්නේ. ඉතින් නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද? මේ අඩවිය කරන අබබ්බයන්ට ඕනේ තේ කෝප්පේ කුනාටු මවන්න.

      Delete
  18. මේ සෙබළු හතර දෙනා නම් කර තිබෙන්නේ අපරාදයක්. නමුත් මේ ප්‍රවෘත්තීය ඉතාම සාධාරනීකරණය කිරීමට තැත්කර තිබෙනවා. මෙසේ එකම ප්‍රවෘත්තීයක් වෙනුවෙනුත්, තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම ශ්‍රී ලංකා මාධ්‍ය (ශ්‍රව්‍ය, දෘශ්‍ය) වල බාල ගතිය පෙන්වීමක්. චිරාත් කාලයක සිට මාද්‍ය විසින් මිනිසා පාලනය කිරීමේ තදබල උත්සාහයක නිරත වී සිටිනවා, ඒවා ආගමික හා දේශපාලනික වශයෙන් බෙදී තිබෙනවා. උදාහරණයක් වශයෙන් මා කලින් සේවය කල පෞද්ගලික බැංකුව ගන්න පුළුවන්. කිහිප විටක්ම එම බැංකුව හොරු කැඩුවත්, සමහර අවස්ථාවල බැංකුව මගින් තම පාරිබෝගිකයන්ට ලැබිය යුතු දේ නොලබා දීමෙන් ඇති වූ නීතිමය තත්වයන් පවා මාධ්‍යයන් විසින් වාර්තා කලේ නෑ. සොයා බැලු විට හෙළි වූ කරුණ නම්, ප්‍රවර්ධන කටයුතු සඳහා එම බැංකුව විසින් මාද්‍යයට වියදම් කරන විශාල මුදල් කන්දරාව. නමුත්, සේයා ගේ ඝාතනය, පෙළඹ වීමක් ඇති වන සේ යම් පාර්ශව වලට ඉතා අවාසි වන සේ ප්‍රචාරය කළා. මස් රථවල දී පවා නිතර ඇසුණා. නමුත් මේ තත්වය නවතා දමන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ සෙබළුන් හතරදෙනා වරදක් කරඅති බව කිසිදු සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙලා තියනවා. තවත් කුමන කතාද?

      අපේ රටේ සමහර මාධ්‍ය අනවශ්‍ය අධිපතිවාදයක් බලාපොරොත්තු වෙනවා. එවැනි මාධ්‍ය මර්දනය කිරීම නෙවෙයි කලයුත්තේ. ඔවුන් පුස්සන් බව පෙන්වන, සත්‍ය වාර්ථා, හැකිතරම් ප්‍රචාරය කිරීමයි. එවිට ඔවුන් නිකම්ම කුනුගොඩට විසිවෙනවා.

      Delete
  19. යුධ අපරාධ වලට ...... සිවිල් සමාජයේ අපරාධ නඩු තීන්දුවක් ඇදන එක වැරදියි ...ඔය කතන්දර දෙකක්නේ ....ඕකට හේතුව සිද්දිය උනේ උතුරණේ,,,,

    ReplyDelete
  20. නැහැ නිහිංසා, දෙවැනි ලෝක යුද සමයේ සිටම යුද අපරාධ වලට දඬුවම් දෙන්නේ සිවිල් උසාවි මගින්. යුද්ධාධිකරණයක් ඉදිරියේ සාක්ෂි දෙන්න සමහර සිවිල් පුද්ගලයන් බියවෙනවා. හමුදාව සිවිල් නීතියටත් යටත් නිසා, ඔවුන්ව සිවිල් උසාවියකට ගෙන්වා නඩුව විභාග කිරීමේ වරදක් නැහැ. එවිට වින්දිතයන් වන සිවිල් පුද්ගලයන්ට නිදහසේ සාක්ෂිදීමේ අයිතිය තහවුරු වෙනවා. ජාත්‍යන්තර සම්මතයද එයයි. හමුදා විත්තිකරුවන්ට ඕනෑම තරමක් නීතීඥ සහාය ලබාගන්නටත් අවස්ථාව තිබෙනවා.

    උතුරේ වුනත් දකුණේ වුනත් නීතිය එකයි. 1971 කැරැල්ල සමයේදී කතරගම ප්‍රේමවතී මනම්පේරිව මරා දැමූ හමුදා නිලධාරීන්ගේ නඩුව ඇහුවෙත් සිවිල් උසාවියෙන්.

    ReplyDelete
  21. වරදක් කරලා තියනවනම් ඒක සැකයකින් තොරව ඔප්පු වෙලා තියනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙබ් අඩවිය අමතක කරමු. සමස්ත හමුදාව වැරදිකරුවන් කරන්න දෙමළ, සිංගල පුද්ගලයින්, විනිසුරුවන්, පුජකයින්, දේශපාලකයන් තවමත් උත්සාහ ගන්නවා නේද? ඉතින් එහෙම පසුබිමක නීතිය ගැන විස්වාසයක් නැති කාලෙක මේ තීන්දුවත් එහෙම බලපෑමකින් උන එකක් කියලා හිතන්න බැරිද? සෙබළු වරද පිලිඅරන්ද? අහියාචනයකට ගිහින් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්න සෑම ජාතියකටම අයත් අන්තවාදීන් ඉන්නවා. තමන්ගේ ජාතියට ආදරය කිරීම සෑම පුද්ගලයකු තුලම තිබියයුතු උතුම් ගුණාංගයක්. නමුත් ජාතිවාදය කියන්නේ වෙනත් දෙයක්. අනෙක් ජාතීන් පාගා දමා, ඔවුන්ගේ මානව හිමිකම් යටපත් කොට, ඔවුන් දෙවැනි පෙළ පුරවැසියන් තත්වයේ ලා සැලකීම සහ එසේ සිටියයුතු බවට බලකරමින්, විවිධාකාරයෙන් ඔවුන් පීඩාවට පත්කිරීමයි ජාතිවාදය.

      මේ නඩුවිභාගය එක දිනකින් විසඳා අවසන් කළ එකක් නොවේ. ලංකාවේ නීති පද්ධතියේ ඇති ප්‍රතිපාදන වලට එකඟව, ලංකාවේම අධිකරණයකින් දෙන ලද විනිශ්චයක්. මෙතනදී විනිශ්චයකාරවරයා ද්‍රවිඩ ජාතිකයකු වීමත්, විත්තිකරුවන් සිංහල සොල්දාදුවන් වීමත්, නීතිය ඉදිරියේ කිසිදු විශේෂත්වයක් කොට සලකන කරුණු නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පාදිත, සමානාත්මතාව නමැති පරමාධිපත්‍ය බලය අනුවයි, අධිකරණ ක්‍රියාවලිය සිදුවී තිබෙන්නේ.

      අන්තවාදී පිරිස් තවමත් අපේ රට අවුල් කිරීමට උත්සාහ කරනවා. ඔවුන් සමග සටන් කලයුත්තේ මතවාදීවයි. ඔවුන්ව මතවාදීව පරාජය කලයුතුයි. ඒ සඳහා හොඳ උදාහරණයක් ලෙස මේ නඩු තීන්දුව දැක්විය හැකියි. දැන් ඔවුන්ට කියන්න බැහැ හමුදාවේ අපරාද හංගනවා කියා. මෙය හමුදාවේ උපදෙස් මත සිදුකල සංවිධානාත්මක අපරාධයක් නොවෙයි. මේ සොල්දාදුවන් කල්ලියක් ලෙස සංවිධානය වී කළ, ඔවුන් පෞද්ගලිකවම වගකිවයුතු අපරාධයක්. ඔවුන් යුද හමුදාවේ කීර්තිනාමය කෙළෙසා තිබෙනවා. ඔවුන්ව අපකීර්තිමත් ලෙස යුද හමුදා සේවයෙන් පහකළ යුතුයි. සටනේදී ඔවුන් විශිෂ්ට දස්කම් දක්වා ඇති. නමුත් ඒ දක්ෂතාව, මෙවැනි අපරාධ කරන්නට ලබාදුන් බලපත්‍රයක් නොවෙයි.

      යම්කිසි උසාවියකින් නඩු තීන්දුවක් ලබාදෙන්නේ සාධාරණ සැකයකින් තොරව විත්තිය පක්‍ෂය අදාළ වරද කලබව ඔප්පුවන්නේ නම් පමණයි. මෙය මහාධිකරණයකින් පනවන ලද තීරණයක් නිසා, අභියාචනාධිකරණය වෙත අභියාචනයක් කරන්නට, මෙම විත්තිකරුවන්ට අවස්ථාව ඇතැයි මා හිතනවා. එය ඔවුන් විසින් තීරණය කලයුතුයි.

      මෙය කිසිදු බලපෑමක් නිසා ලබාදුන් තීන්දුවක් කියා මා සිතන්නේ නැහැ. එහෙම බලපෑමක් වුනා නම් මේ විත්තිකරුවන්ගේ නීතීඥයන්ට ඒ බව වැටහෙනවා. ඒ අනුව ඔවුන් එයට විරෝධය ප්‍රකාශ කොට, නඩුව ඉහළ උසාවියකට යොමුකරන මෙන් ඉල්ලනවා. ඒ නිසයි මේ ලිපියේදී මා උදාහරණයක් වශයෙන් පෙන්නුවේ, මේ ද්‍රවිඩ ජාතික විනිසුරු විසින්, වවුනියාවේ පදිංචි සිංහල ජාතික කාන්තාවක් දූෂණය කිරීමට එරෙහිව, මේ සෙබළුන්ට මේ දඬුවමම දුන්නා නම්, එහි ඇති අසාධාරණත්වය කුමක්ද කියා.

      Delete
    2. විචරක ගේ මේ පිළිතුරු කොමෙන්ටුව හොඳයි තවත් ලිපියකට. හොඳටෝම එකඟයි.

      Delete
  22. හොඳ ලිපියක්. ඉතාමත් අපක්ෂපාතිව ලිය තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්. ඇත්තටම අපි යථාර්ථයට මුල් තැන දියයුතුයි නේද? ඒ නිසයි ලිව්වේ.

      Delete
  23. මේ හමුදා සෙබලුන් දෙදෙනා අදාල කාන්තාව දූෂණය කළ බවට සැකයකින් තොරව ඔප්පු වෙලානම්, අදාල නඩු භාන්ඩ ගලවා ඉවත් කිරීමේ දඬුවම යෝජනා කරනවා....

    ReplyDelete
    Replies
    1. මළ කෙළියකි. නඩු භාණ්ඩ කිව්වම අර පැමිණිලිකාර කාන්තාවන්ගේ භාණ්ඩත් අයිතියි. කිරිමේල් කේස් එකක් :D

      Delete
    2. හුටා... මළ කෙලියයි මහ රජ කිව්වලු.. මම කිව්වේ පුරුෂ නඩු භාණ්ඩ...

      Delete
    3. අනේ පව්, ඊට පස්සේ ඔය කොල්ලෝ මොනවා කරගනියිද? ඔන්න ඔහේ තිබුණාවේ.

      Delete
  24. නීතිය කාටත් එක විය යුතුයි. හමුදාවේ කියල විශේෂයක් විය යුතු නෑ. වැරද්දක් කරා නම් දඬුවම් ලැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කවදත් කොතනදීත් වියයුත්තේ. එය නොතේරෙන අමනෝඥ පුද්ගලයන් තමා මෙහෙම ලිපි ලියන්නේ.

      Delete
  25. පියලි දෙකකින් ඇරඹෙන ගසක, එකිනෙකට වඩාත්ම ඈත වෙන්නේ මොන අතුද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මුලින්ම එන අතු දෙකද?

      Delete
  26. විචෝ.

    බහුතරේ වැද්දෝ වෙච්ච රටක මීඩියා විතරක් ටොයි හෝ පොෂ් වෙයි කියලා හිටහ්න්න බැහැ.

    අනික වෙබ් වගේ මාධ්‍යක ට එනකොට ඔය කියන ගෝත්‍රික ගතිය තව දරුණු වෙනවා.

    ----------
    මොකා වුනත් නිවුස් එක ලියාපු එකා කාගේ හෝ ණයකට නිස්කාරනේ කහින එකෙක් කියලා හොඳට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. මුන් තමයි නියම සට්ටැඹියෝ

      Delete
  27. මේ කමෙන්ට් එක මෙතන දැමීම ගැන සමාවෙන්න. කලින් පොස්ටුවක ගෙලිඔයේ ලොකු හාමුදුරුවන් ගැන කියා තිබූ නිසා, ඒ හාමුදුරුවන් අපවත් වී වදාළ බව ඔබට කීමට අවශ්‍ය වුනා. ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් එව්වත් එය තවමත් නොදුටු බැවින් මෙතන කමෙන්ටුවක් දමමි. ආදාහන කටයුතු හෙට දහවල් 2ට පන්සලේදී සිදු වේ. ඔබ මෙය දුටු පසු, කමෙන්ටුව මකා දමන්න.

    ReplyDelete
    Replies
    1. පණිවිඩය දුන්නාට ඔබට අපමණ පින්. මම ආදාහනෝත්සවයට යනවා.

      Delete
    2. දැක්කේ නම් නෑලු..

      Delete
    3. මමත් මගේ බිරිඳත් ගියා. ඔබේ දුරකථන අංකයවත් තිබුනානම් ඇමතුමක් දෙන්න තිබුණා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }