මොනව කරන්නද, පාර දන්නවා නම් නිවැරදි පාර තෝරාගෙන යන එකයි තියෙන්නේ.
හොඳයි නොදන්නවානම්.........?
ඒත් ඉතින් කරන්න දේවල් කොච්චර තියනවද. කාගෙන් හරි පාර අහගන්න පුළුවන්, ඒ හන්දියේ තියන නාමපුවරු කියවලා බලන්න පුළුවන්, වාහන වල බෝඩ් කියවලා අදහසක් ගන්න පුළුවන්.
අහන්න කෙනෙක් නැත්නම්, පාලු හන්දියක් නම්, වාහන යන්නේ නැත්නම්, මොකද කරන්නේ...........?
එහෙනම් තමන්ගේ බුද්ධිය තමා පිහිටට තියෙන්නේ.
ඔව්, මමත් හිතන්නේ එහෙම තමා. මමත් දැන් එක්තරා සිව්මංසලකට ඇවිල්ලා ඉන්නේ. කෙළින්ම ඉස්සරහට යනවද, වමට හැරිලා යනවද, දකුණට හැරිලා යනවද, එහෙමත් නැත්නම් ආපහු හැරිලා යනවද කියන එක, තීරණය කරන්න වෙලා තියෙන්නේ.
කොයි මනුස්සයාටත් ඔහොම කාලයක් එනවා. නමුත් ඉතිං මිනිහෙකුට මොළයක් කියලා එකක් තියෙන්නේ, ඔන්න ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න තමා.
ඒක ඇත්ත. දැන් ඔන්න මටත් ඒ වගේ අවස්ථාවක් ඇවිල්ලා තියනවා.
මොකක්ද ඉතිං ඔය අවස්ථාව?
හෙහ් හෙහ්..........., මේ.........කිව්වම මොකද, මම මේ බ්ලොග් ලිවිල්ල පටන් අරං, අදට අවුරුදු හතරක් වෙනවා. ඉතිං මං මේක දකින්නේ, මම සිව්මංසලකට ආවා වගේ.
ඒ කොහොමද?
ඒ කියන්නේ මට යන්න පාරවල් හතරක් තියනවා.
ආයේ මොනවද පාරවල් හතරක්. යනවනේ කෙලින්ම ඉස්සරහට.
නෑ ඉතිං එහෙමමත් නෙවෙයි. මේ වගේ අවස්ථාවක ටිකක් හිතන්න ඕනේ නේ.
හොඳයි ඉතින් මොනවද දැන් හිතන්නේ.
මෙන්න මෙහෙමයි මට හිතෙන්නේ. එක්කෝ මම දැන් ලියන විදිහටම හමුදා තොරතුරු සහ, හමුදාවේ නොවන මාතෘකාත් ලියමින්, දිගටම ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම්, මේ හතරමං හන්දියෙන් දකුණට හැරිලා, හමුදා තොරතුරු විතරක් ලියමින් යන්න ඕනේ. එහෙමත් නැත්නම්, හමුදා තොරතුරු අතෑරලා, සාමාන්‍ය තොරතුරු ගැන විතරක් ලියන්න, මේ සිව්මංසලෙන් වමට හැරිලා යන්න ඕනේ. ඒ ගමන් තුනම නොයනවානම්, මම ආපහු හැරෙන්න ඕනේ. ඒ කියන්නේ බ්ලොග් ලිවීම නවත්තන්න ඕනේ. ඔන්න ඕකටයි සිව්මංසල කිව්වේ.
හොඳයි, ඒ උපකල්පිත සංවාදය පැත්තක තියලා, කෙළින්ම මගේ හැඟීම් කියාගෙන යන්නම්. මීට කළින් මගේ අඩවියේ වර්ෂ පූර්ණ ලිපිවලත්, මා කියා තිබනවා, බොහොම අහම්බෙන් තමයි මා බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියා. අදටත් මා බොහෝවිට සිතනවා, ඇත්තටම මා මේ වැඩේට පෙළඹුනේ කොහොමද කියා. පසුගිය වසර හතර තුළ, මා ලැබූ අත්දැකීම් සියල්ල විග්රහ කරන්නට, උත්සාහ කරන්නේ නැහැ. නමුත් තෝරාගත් වැදගත් කරුණු කීපයක් සඳහන් කරනවා.
- දැනට, මා මගේ බ්ලොග් අඩවි දෙක සම්බන්ධව මෙන්ම, වෙනත් බොහෝ ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවි ඇසුරෙන් ද, අත්විඳ ඇති ආකාරයට, බ්ලොග් අඩවියක ජනප්‍රියත්වය බොහෝදුරට පවතින්නේ, අවුරුදු 5 ක් පමණ කාලයක්. ඉන්පසු ඒ බ්ලොග් අඩවියේ නවමු බව අඩුවී, යම්කිසි සාමාන්‍යකරණයකට පත්වෙනවා.
- බ්ලොග් අඩවි ජනප්‍රියත්වයෙන් අඩුවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ, කුමක් හෝ ලියා ඉදිරිපත්කිරීම නිසායි. බ්ලොග් කියවන බොහෝදෙනා, පළමුව බලාපොරොත්තු වන්නේ, විනෝදයයි. දෙවනුවයි දැනුම කෙරෙහි අවධානයක් යොමුවන්නේ. විනෝදය සැපයීම පහසුයි කියා සිතුවාට, ඇත්තටම දැනුම සැපයීමට වඩා 'නියම විනෝදය' සැපයීම අමාරුයි. 'සම්ඵප්‍රලාප යනු විනෝදය නොවෙයි' කියා, සමහර බ්ලොග් රචකයන් තේරුම් අරගෙන නැතුවා වගේ. මා දන්නා සම්ඵප්‍රලාප කථා ප්‍රමාණය, එක් දිනක්, මා පොතක ලියා බැලුවා, මාතෘකා වශයෙන්. දෙසිය එකොළහක් තිබුනා. නමුත් එයින් බහුතරය, මගේ තක්සේරුවට අනුව, සම්ඵප්‍රලාප ගණයට වැටෙන නිසා, බ්ලොග් අඩවියක ලියන්නට වටින්නේ නැහැ.
- හැකිතරම් වැඩි ලිපිගණනක්, ඉතා කෙටිකලකින් ලිවීම, ඉතා පරෙස්සමෙන් කලයුතු දෙයක්. එහිදී සිදුවියහැකි බරපතලම හානිය, එම ලිපිවල ගුණාත්මක භාවය අඩුවීමයි. ප්‍රතිඵලය, අඩවියේ ජනප්‍රියත්වය අඩුවීමයි.
- සමහර බ්ලොග් අඩවි වලින්, ඉතා කණගාටුදායක ලෙස සහ අත්තනෝමතික මුග්ධ චින්තනය මත, සිංහල භාෂාවට දැඩිලෙස හානි පැමිණෙනවා. නණළල භේදය ගැන අප එතරම් තැකිය යුතු නැහැ. ගොනා තන කයි කියන වාක්‍යයේ, තන යන වචනයෙහි න යන්න, අනිවාර්යයෙන් මූර්ධජ වියයුතුය යන්න, අද මුග්ධ අදහසක්. ගොණුන් පියයුරු කන්නේ නැති බව, ඕනෑම ගොනෙක් දන්නවා. වාක්‍යයේ යෙදුමේ අරමුණ ගැන සිතුවාම, ගොනා කන්නේ කුමන තන ද යන්න, පැහැදිළි වෙනවා. නමුත් හැකි සෑම තැනම, නිවැරදි අක්ෂරය යෙදීමට උත්සාහ ගැනීම වැදගත්. නමුත් සඤ්ඤක අකුරු එසේ අපේ හිතුමතයට වෙනස් කරන්න බැහැ. සමහරු නුඹ යන්නට නුබ යනුවෙන්ද, හොඳ යන්නට හොද යනුවෙන්ද, සඳ යන්නට සද යනුවෙන්ද, යොදනවා. නමුත් ඔවුන් නොසළකා හරින්නේ, බරපතල වැරැද්දක්. නුබ යනු අහසයි, සද යනු ශබ්දයයි, විශේෂයෙන් කවි ලිවීමේදී, මෙලෙස විකෘති අර්ථ මතුවීම් සිදුවන බව, බොහෝදෙනා සිතන්නේ නැහැ. ඒ වගේමයි මහාප්‍රාණ අකුරු. සමාජ අසාධාරනකම්, මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් දැනට ලියවෙන බ්ලොග් අඩවි දෙකක, ඉතා බරපතළ ලෙස මහාප්‍රාණ අකුරු 'ඝාතනය' කරමින් ලියනවා. ඝාතනය කියා ලියන්න සිදුවූවිට, ඔවුන් ලියන්නේ, 'ගාතනය' (ගා තනය කියා වැරදීමකින් ලියවුණොත්, තනය ගාපන් කියන තේරුම) කියායි. ඛ, ඝ, භ, ඵ, ථ, ධ, ඪ, ඨ, ඡ, වැනි අකුරු, යතුරු ලියනය කරන්න නොදන්නවාදැයි, සැකයක් ඇතිවන අවස්ථා ද තිබෙනවා. 'මම ඒ විදිහට ටයිප් කරන්න දන්නේ නැහැ' යන්න, පිළිගත නොහැකි කරුණක්. ඇයි නිවැරදිව ටයිප් කරන්න ඉගෙන ගන්නේ නැත්තේ? ඇයි එසේ ඉගෙන ගන්නාතුරු, වැරදි දේ නොලියා ඉන්නේ නැත්තේ?
- රචකයාගේ පෞද්ගලිකත්වය හුවා දක්වන ලිපි කියවන්නටත්, සෑහෙන තරම් පාඨකයන් සංඛ්‍යාවක් කැමති නැහැ.
- ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේදී, පුදුමාකාර දේවල් සිදුවෙනවා. සමහර රචකයන්, 'අද මට අපාන වාතයක් ගියා' කියා ලියා තිබුණත්, 'හානේ......ඒක තමා, මගේ කොම්පියුටරයේ ස්පීකර් වලින් සුවඳ ආවා' කියා ආවඩන පිරිසක් ඉන්නවා. නමුත්, මෙවැනි සම්ඵප්‍රලාප නොලියන්නැයි, යම් පාඨකයකු ප්‍රතිචාර දැක්වුවහොත්, අර මහානුභාවසම්පන්න රචකයාගේ අනුගාමික වර්ගයා, අවි අමෝරාගන්නවා, 'නුඹ අපගේ දාර්ශණිකයානන් වහන්සේට අපහාස කළෙහිය, අපි නුඹ තලන්නෙමුය, මරන්නනෙමුය, අනේක විධ විචිත්‍ර වධ බන්ධනයට ලක්කරන්නෙමුය, තා අපගේ උත්තමයාණන් වහන්සේට වඩා දන්නේවී ද' කියා. මෙහිදී පැහැදිළිවම කිවයුත්තේ, අනුගාමිකයන් සහිත දාර්ශනිකයකු වීමට, මා අපේක්ෂා නොකරන බවත්, එවැනි අපාන වාත කථා, මා කිසිදින නොලියන බවත් ය. (මතකනේ පොඩි එකෙක් කිව්වා, 'තද්දුලුවෝ එලිවැල්ලෙන් ඉකේ ඉකේ' කියලා)
- බ්ලොග් රචකයන් සැළකියයුතු පිරිසකගේ, සාධනීය ලක්ෂණයක් ලෙස මා දකින්නේ, කිසිදිනක, තම අඩවියේ ලිපියකට ප්‍රතිචාර නොදක්වන රචකයන්ගේ බ්ලොග් අඩවි, තම බ්ලොග් ලැයිස්තුවට ඇතුලත්කර තිබීම සහ, ඔවුන්ගේ අඩවියට ගොස් ප්‍රතිචාර දැක්වීමයි. මමද එම යහගුණය ඉගෙන ගත්තේ, දීර්ඝකාලීනව බ්ලොග් කියවීම තුළිනි. අද ද ඒ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමි. නමුත් මට ගෝචර නොවන දෑ බොහෝ අඩවිවල පළවන ලිපිවල තිබේ. නිහඬව ආපසු හැරී ඒම මිස, අදහස් දැක්වීමට හෝ විවේචනයට නොයමි.
- හැකිතරම් සරල බසින් බ්ලොග් ලිවියයුතුය යන්න අවිවාදයෙන් යුක්තව මම පිළිගනිමි. නමුත්, එහි සීමාව කොතනද කියා අවබෝධ කරගැනීම වැදගත් ය. මේ අඩවි කියවන පාසල් සිසුන් ද සිටින බව, අමතක නොකළ යුතු ය. මාධ්‍ය වල දැක්වෙන දේ සියල්ල, පරම සත්‍යයයැයි සිතා, විමසා බැලීමකින් තොරව ආදර්ශයට ගන්නා සෑහෙන පිරිසක්, පාසල් සිසුන් අතර සිටිති. අප ලියන දෑ, ඔවුන්ගේ මනස වනසන්නේ නම්, අපි කවරහු ද ?
- ලිවීමට තරම් දෙයක් සොයාගැනීමට අපහසුය යන්න, බ්ලොග් රචකයන් නිතර නගන මැසිවිල්ලක් ලෙස පෙනීයනවා. මෙන්න විසඳුම. ලියන්න පුළුවන් වෙන්නේ, කියවීම සහ ඇහුම්කන්දීම වැඩිදියුණු කරගත් තරමටයි. ඒ දෙක දියුණු නැත්නම්, ලියන්න යමක් සිතේ තැන්පත් වන්නේ නැහැ. බොහෝවිට මා උත්සාහ කරන්නේ, සතියකට එක ලිපියක් ලියන්නයි. මා සිතනවා, ලිපි දෙකක් සතියකට ලිවීමත්, අනවශ්‍යයි කියා. පාඨකයාට නිවී සැනසිල්ලේ කියවන්නට දෙයක් දීමයි සුදුසු. සමහර පාඨකයන්, මගේ ලිපි කීප විටක් කියවූ බවට ප්‍රතිචාර දැක්වූවිට, මා සිතන්නේ, 'එසේනම්, මා ලිපි පළකිරීමේ වේගය වැඩිකළයුතු නැහැ' යනුවෙන්.
- නිර්නාමිකයෝ:- දැනට සෑහෙන කාලයක සිට, මා නිර්නාමිකයන් ගැන තොරතුරු ගවේෂණයක් කරනවා. මේ සඳහා මා යොදාගත්තේ, හමුදා බුද්ධි තොරතුරු සෙවීම සඳහා, යොදාගන්නා ක්‍රමවේදය ඇසුරෙන් සකස් කරගත් ක්‍රමවේදයක්. තවමත් මෙය අවසන් කර නැති නිසා, සීමිත විස්තරයක් කරන්නම්. අපි බොහෝ දෙනෙක් දන්නවා, නිර්නාමිකයන් ලෙස එන්නේ, අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයි, ඉන් සෑහෙන පිරිසක්, බ්ලොග් රචකයන්ම බව. මා, ඔවුන්ගේ චර්යා රටාව ගැනයි, ගැඹුරින් අධ්‍යයනයක් කරමින්, දත්ත ගබඩාවක් සකසමින් ඉන්නේ. මගේ දත්ත සැසඳීමෙන් පසු, විශ්මයට පත්වන තොරතුරු උපකල්පනය කරගන්න පුළුවන් වුණා. සමහර 'යහළුවන්' තව දුරටත් යහළුවන් ලෙස තබාගැනීමට කැමති නිසාත්, (ඔවුන් කවුදැයි මා දන්නා බව ඇඟවෙන ප්‍රති පිළිතුරු මා දී ඇති නිසා, ඔවුන්ගේ එම අසම්මත චර්යාව පාලනය කරගනු ඇතැයි සිතනවා) මා මගේ අඩවි දෙකේ, නිර්නාමික අදහස් දැක්වීම වාරණය කළා. එපමණක් නෙවෙයි. කිසිදු විෂයයක් පිළිබඳව හරවත් සංවාදයක යෙදෙන්නට හැකියාවක්, දැනුමක් හෝ උගත්කමක් නැති, එදාවේල ක්‍රමයට ජීවත්වන කීපදෙනෙක්, තමන්ගේ පහත් ජන්ම ලක්ෂණ ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන කමෙන්ට් දැමීමත්, මේ වාරණයට තවත් හේතුවක් වුනා. මා ඒ ගැන ඉතා සතුටුවනවා. අද මෙහි අදහස් දක්වන්නේ, ඇත්තටම බ්ලොග් කියවීමේ හරය වටහාගත් අයයි. දැන් අර නිර්නාමිකයන් පිරිස, ඔවුන්ගේ ඒ පහත් ජන්ම ලක්ෂණ පෙන්වන්නේ, මා වෙනත් අඩවිවල දක්වන අදහස් වලට, ඔවුන්ගේ වසුරු හෙළීමෙන්.
- මගේ ලිපි කොපිකිරීම තවමත් සිදුවෙනවා. නිර්ලජ්ජි පුඟුලන් එසේ කරන්නේ, තමන් පුස්සන් බව, ලෝකයාට ප්‍රදර්ශනය කරමින් බව, බ්ලොග් කියවන බොහෝ දෙනා දන්නවා. ඔවුන්ගේ මනෝව්‍යාධීන් කෙරෙහි, අනුකම්පා කරනවා.
- ඉදිරියේදී ලිවියයුතුයයි මා සිතා සිටින මාතෘකා රාශියක් තිබෙනවා. හමුදා තොරතුරු යනු, කිසිදා නොසිඳෙන උල්පතක් වැනියි. නමුත්, හමුදා තොරතුරු පමණක් නොලියා, සමබරව වෙනත් මාතෘකා ද ලියන්නට, මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. මේ සියල්ල කෙරෙන්නේ, එදා සිට අද දක්වා මා නන් අයුරින් දිරිමත් කරන, ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය නිසයි. එදා මා බ්ලොග් ලියන්නට පටන්ගත් අවධියේ සිටි, සමහර බ්ලොග් රචකයන් මෙන්ම, බ්ලොග් නොලියුවත්, නිරන්තරයෙන් අදහස් දැක්වූ අයගෙන් සමහරෙකුත්, අද බ්ලොග් ලෝකයෙන් වෙන්වී ගිහින්. එය ලෝකස්වභාවය බව නිහඬව මෙනෙහි කරනවා.
- මේ වනවිට, මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට, අමුත්තන් පැමිණීම ලක්ෂ තුන ඉක්මවා තිබෙනවා.
- 2013 දී ආරම්භ කළ, මගේ බ්ලොගර් අඩවියට, අමුත්තන් පැමිණීම, ලක්ෂ එකහමාර ඉක්මවා තිබෙනවා.
- මේ සියල්ල මා සළකන්නේ, ඔබ සියලු දෙනා මා වෙත දැක්වූ කරුණාවන්ත භාවය ලෙසයි. එමෙන්ම, මගේ ලිපි වලට, ඔබ යම් ඇල්මක් දක්වා ඇති බවද, කියවීමට වටින යමක් ඒ ලිපිතුළ ඇති බවද, පසක් කරගන්නවා. ඒ පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා.
- ඔබ සැමගේ දිරිගැන්වීම් ලැබෙනතුරු, සුහද බව තිබෙන තුරු, මා සිත ගත සවිය රැඳෙනතුරු, ලියන්නෙමි ඔබ වෙනුවෙන්. නැවතත් ඔබ සැමට ස්තුතියි.
2015 දෙසැම්බර් මස 13 වැනි දින 2327 පැය