මොනව කරන්නද, පාර දන්නවා නම් නිවැරදි පාර තෝරාගෙන යන එකයි තියෙන්නේ.
හොඳයි නොදන්නවානම්.........?
ඒත් ඉතින් කරන්න දේවල් කොච්චර තියනවද. කාගෙන් හරි පාර අහගන්න පුළුවන්, ඒ හන්දියේ තියන නාමපුවරු කියවලා බලන්න පුළුවන්, වාහන වල බෝඩ් කියවලා අදහසක් ගන්න පුළුවන්.
අහන්න කෙනෙක් නැත්නම්, පාලු හන්දියක් නම්, වාහන යන්නේ නැත්නම්, මොකද කරන්නේ...........?
එහෙනම් තමන්ගේ බුද්ධිය තමා පිහිටට තියෙන්නේ.
ඔව්, මමත් හිතන්නේ එහෙම තමා. මමත් දැන් එක්තරා සිව්මංසලකට ඇවිල්ලා ඉන්නේ. කෙළින්ම ඉස්සරහට යනවද, වමට හැරිලා යනවද, දකුණට හැරිලා යනවද, එහෙමත් නැත්නම් ආපහු හැරිලා යනවද කියන එක, තීරණය කරන්න වෙලා තියෙන්නේ.
කොයි මනුස්සයාටත් ඔහොම කාලයක් එනවා. නමුත් ඉතිං මිනිහෙකුට මොළයක් කියලා එකක් තියෙන්නේ, ඔන්න ඔයවගේ වෙලාවක පාවිච්චි කරන්න තමා.
ඒක ඇත්ත. දැන් ඔන්න මටත් ඒ වගේ අවස්ථාවක් ඇවිල්ලා තියනවා.
මොකක්ද ඉතිං ඔය අවස්ථාව?
හෙහ් හෙහ්..........., මේ.........කිව්වම මොකද, මම මේ බ්ලොග් ලිවිල්ල පටන් අරං, අදට අවුරුදු හතරක් වෙනවා. ඉතිං මං මේක දකින්නේ, මම සිව්මංසලකට ආවා වගේ.
ඒ කොහොමද?
ඒ කියන්නේ මට යන්න පාරවල් හතරක් තියනවා.
ආයේ මොනවද පාරවල් හතරක්. යනවනේ කෙලින්ම ඉස්සරහට.
නෑ ඉතිං එහෙමමත් නෙවෙයි. මේ වගේ අවස්ථාවක ටිකක් හිතන්න ඕනේ නේ.
හොඳයි ඉතින් මොනවද දැන් හිතන්නේ.
මෙන්න මෙහෙමයි මට හිතෙන්නේ. එක්කෝ මම දැන් ලියන විදිහටම හමුදා තොරතුරු සහ, හමුදාවේ නොවන මාතෘකාත් ලියමින්, දිගටම ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම්, මේ හතරමං හන්දියෙන් දකුණට හැරිලා, හමුදා තොරතුරු විතරක් ලියමින් යන්න ඕනේ. එහෙමත් නැත්නම්, හමුදා තොරතුරු අතෑරලා, සාමාන්‍ය තොරතුරු ගැන විතරක් ලියන්න, මේ සිව්මංසලෙන් වමට හැරිලා යන්න ඕනේ. ඒ ගමන් තුනම නොයනවානම්, මම ආපහු හැරෙන්න ඕනේ. ඒ කියන්නේ බ්ලොග් ලිවීම නවත්තන්න ඕනේ. ඔන්න ඕකටයි සිව්මංසල කිව්වේ.
හොඳයි, ඒ උපකල්පිත සංවාදය පැත්තක තියලා, කෙළින්ම මගේ හැඟීම් කියාගෙන යන්නම්. මීට කළින් මගේ අඩවියේ වර්ෂ පූර්ණ ලිපිවලත්, මා කියා තිබනවා, බොහොම අහම්බෙන් තමයි මා බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියා. අදටත් මා බොහෝවිට සිතනවා, ඇත්තටම මා මේ වැඩේට පෙළඹුනේ කොහොමද කියා. පසුගිය වසර හතර තුළ, මා ලැබූ අත්දැකීම් සියල්ල විග්‍රහ කරන්නට, උත්සාහ කරන්නේ නැහැ. නමුත් තෝරාගත් වැදගත් කරුණු කීපයක් සඳහන් කරනවා.
- දැනට, මා මගේ බ්ලොග් අඩවි දෙක සම්බන්ධව මෙන්ම, වෙනත් බොහෝ ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවි ඇසුරෙන් ද, අත්විඳ ඇති ආකාරයට, බ්ලොග් අඩවියක ජනප්‍රියත්වය බොහෝදුරට පවතින්නේ, අවුරුදු 5 ක් පමණ කාලයක්. ඉන්පසු ඒ බ්ලොග් අඩවියේ නවමු බව අඩුවී, යම්කිසි සාමාන්‍යකරණයකට පත්වෙනවා.
- බ්ලොග් අඩවි ජනප්‍රියත්වයෙන් අඩුවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ, කුමක් හෝ ලියා ඉදිරිපත්කිරීම නිසායි. බ්ලොග් කියවන බොහෝදෙනා, පළමුව බලාපොරොත්තු වන්නේ, විනෝදයයි. දෙවනුවයි දැනුම කෙරෙහි අවධානයක් යොමුවන්නේ. විනෝදය සැපයීම පහසුයි කියා සිතුවාට, ඇත්තටම දැනුම සැපයීමට වඩා 'නියම විනෝදය' සැපයීම අමාරුයි. 'සම්ඵප්‍රලාප යනු විනෝදය නොවෙයි' කියා, සමහර බ්ලොග් රචකයන් තේරුම් අරගෙන නැතුවා වගේ. මා දන්නා සම්ඵප්‍රලාප කථා ප්‍රමාණය, එක් දිනක්, මා පොතක ලියා බැලුවා, මාතෘකා වශයෙන්. දෙසිය එකොළහක් තිබුනා. නමුත් එයින් බහුතරය, මගේ තක්සේරුවට අනුව, සම්ඵප්‍රලාප ගණයට වැටෙන නිසා, බ්ලොග් අඩවියක ලියන්නට වටින්නේ නැහැ.
- හැකිතරම් වැඩි ලිපිගණනක්, ඉතා කෙටිකලකින් ලිවීම, ඉතා පරෙස්සමෙන් කලයුතු දෙයක්. එහිදී සිදුවියහැකි බරපතලම හානිය, එම ලිපිවල ගුණාත්මක භාවය අඩුවීමයි. ප්‍රතිඵලය, අඩවියේ ජනප්‍රියත්වය අඩුවීමයි.
- සමහර බ්ලොග් අඩවි වලින්, ඉතා කණගාටුදායක ලෙස සහ අත්තනෝමතික මුග්ධ චින්තනය මත, සිංහල භාෂාවට දැඩිලෙස හානි පැමිණෙනවා. නණළල භේදය ගැන අප එතරම් තැකිය යුතු නැහැ. ගොනා තන කයි කියන වාක්‍යයේ, තන යන වචනයෙහි න යන්න, අනිවාර්යයෙන් මූර්ධජ වියයුතුය යන්න, අද මුග්ධ අදහසක්. ගොණුන් පියයුරු කන්නේ නැති බව, ඕනෑම ගොනෙක් දන්නවා. වාක්‍යයේ යෙදුමේ අරමුණ ගැන සිතුවාම, ගොනා කන්නේ කුමන තන ද යන්න, පැහැදිළි වෙනවා. නමුත් හැකි සෑම තැනම, නිවැරදි අක්ෂරය යෙදීමට උත්සාහ ගැනීම වැදගත්. නමුත් සඤ්ඤක අකුරු එසේ අපේ හිතුමතයට වෙනස් කරන්න බැහැ. සමහරු නුඹ යන්නට නුබ යනුවෙන්ද, හොඳ යන්නට හොද යනුවෙන්ද, සඳ යන්නට සද යනුවෙන්ද, යොදනවා. නමුත් ඔවුන් නොසළකා හරින්නේ, බරපතල වැරැද්දක්. නුබ යනු අහසයි, සද යනු ශබ්දයයි, විශේෂයෙන් කවි ලිවීමේදී, මෙලෙස විකෘති අර්ථ මතුවීම් සිදුවන බව, බොහෝදෙනා සිතන්නේ නැහැ. ඒ වගේමයි මහාප්‍රාණ අකුරු. සමාජ අසාධාරනකම්, මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් දැනට ලියවෙන බ්ලොග් අඩවි දෙකක, ඉතා බරපතළ ලෙස මහාප්‍රාණ අකුරු 'ඝාතනය' කරමින් ලියනවා. ඝාතනය කියා ලියන්න සිදුවූවිට, ඔවුන් ලියන්නේ, 'ගාතනය' (ගා තනය කියා වැරදීමකින් ලියවුණොත්, තනය ගාපන් කියන තේරුම) කියායි. ඛ, ඝ, භ, ඵ, ථ, ධ, ඪ, ඨ, ඡ, වැනි අකුරු, යතුරු ලියනය කරන්න නොදන්නවාදැයි, සැකයක් ඇතිවන අවස්ථා ද තිබෙනවා. 'මම ඒ විදිහට ටයිප් කරන්න දන්නේ නැහැ' යන්න, පිළිගත නොහැකි කරුණක්. ඇයි නිවැරදිව ටයිප් කරන්න ඉගෙන ගන්නේ නැත්තේ? ඇයි එසේ ඉගෙන ගන්නාතුරු, වැරදි දේ නොලියා ඉන්නේ නැත්තේ?
- රචකයාගේ පෞද්ගලිකත්වය හුවා දක්වන ලිපි කියවන්නටත්, සෑහෙන තරම් පාඨකයන් සංඛ්‍යාවක් කැමති නැහැ.
- ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේදී, පුදුමාකාර දේවල් සිදුවෙනවා. සමහර රචකයන්, 'අද මට අපාන වාතයක් ගියා' කියා ලියා තිබුණත්, 'හානේ......ඒක තමා, මගේ කොම්පියුටරයේ ස්පීකර් වලින් සුවඳ ආවා' කියා ආවඩන පිරිසක් ඉන්නවා. නමුත්, මෙවැනි සම්ඵප්‍රලාප නොලියන්නැයි, යම් පාඨකයකු ප්‍රතිචාර දැක්වුවහොත්, අර මහානුභාවසම්පන්න රචකයාගේ අනුගාමික වර්ගයා, අවි අමෝරාගන්නවා, 'නුඹ අපගේ දාර්ශණිකයානන් වහන්සේට අපහාස කළෙහිය, අපි නුඹ තලන්නෙමුය, මරන්නනෙමුය, අනේක විධ විචිත්‍ර වධ බන්ධනයට ලක්කරන්නෙමුය, තා අපගේ උත්තමයාණන් වහන්සේට වඩා දන්නේවී ද' කියා. මෙහිදී පැහැදිළිවම කිවයුත්තේ, අනුගාමිකයන් සහිත දාර්ශනිකයකු වීමට, මා අපේක්ෂා නොකරන බවත්, එවැනි අපාන වාත කථා, මා කිසිදින නොලියන බවත් ය. (මතකනේ පොඩි එකෙක් කිව්වා, 'තද්දුලුවෝ එලිවැල්ලෙන් ඉකේ ඉකේ' කියලා)
- බ්ලොග් රචකයන් සැළකියයුතු පිරිසකගේ, සාධනීය ලක්‍ෂණයක් ලෙස මා දකින්නේ, කිසිදිනක, තම අඩවියේ ලිපියකට ප්‍රතිචාර නොදක්වන රචකයන්ගේ බ්ලොග් අඩවි, තම බ්ලොග් ලැයිස්තුවට ඇතුලත්කර තිබීම සහ, ඔවුන්ගේ අඩවියට ගොස් ප්‍රතිචාර දැක්වීමයි. මමද එම යහගුණය ඉගෙන ගත්තේ, දීර්ඝකාලීනව බ්ලොග් කියවීම තුළිනි. අද ද ඒ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමි. නමුත් මට ගෝචර නොවන දෑ බොහෝ අඩවිවල පළවන ලිපිවල තිබේ. නිහඬව ආපසු හැරී ඒම මිස, අදහස් දැක්වීමට හෝ විවේචනයට නොයමි.
- හැකිතරම් සරල බසින් බ්ලොග් ලිවියයුතුය යන්න අවිවාදයෙන් යුක්තව මම පිළිගනිමි. නමුත්, එහි සීමාව කොතනද කියා අවබෝධ කරගැනීම වැදගත් ය. මේ අඩවි කියවන පාසල් සිසුන් ද සිටින බව, අමතක නොකළ යුතු ය. මාධ්‍ය වල දැක්වෙන දේ සියල්ල, පරම සත්‍යයයැයි සිතා, විමසා බැලීමකින් තොරව ආදර්ශයට ගන්නා සෑහෙන පිරිසක්, පාසල් සිසුන් අතර සිටිති. අප ලියන දෑ, ඔවුන්ගේ මනස වනසන්නේ නම්, අපි කවරහු ද ?
- ලිවීමට තරම් දෙයක් සොයාගැනීමට අපහසුය යන්න, බ්ලොග් රචකයන් නිතර නගන මැසිවිල්ලක් ලෙස පෙනීයනවා. මෙන්න විසඳුම. ලියන්න පුළුවන් වෙන්නේ, කියවීම සහ ඇහුම්කන්දීම වැඩිදියුණු කරගත් තරමටයි. ඒ දෙක දියුණු නැත්නම්, ලියන්න යමක් සිතේ තැන්පත් වන්නේ නැහැ. බොහෝවිට මා උත්සාහ කරන්නේ, සතියකට එක ලිපියක් ලියන්නයි. මා සිතනවා, ලිපි දෙකක් සතියකට ලිවීමත්, අනවශ්‍යයි කියා. පාඨකයාට නිවී සැනසිල්ලේ කියවන්නට දෙයක් දීමයි සුදුසු. සමහර පාඨකයන්, මගේ ලිපි කීප විටක් කියවූ බවට ප්‍රතිචාර දැක්වූවිට, මා සිතන්නේ, 'එසේනම්, මා ලිපි පළකිරීමේ වේගය වැඩිකළයුතු නැහැ' යනුවෙන්.
- නිර්නාමිකයෝ:- දැනට සෑහෙන කාලයක සිට, මා නිර්නාමිකයන් ගැන තොරතුරු ගවේෂණයක් කරනවා. මේ සඳහා මා යොදාගත්තේ, හමුදා බුද්ධි තොරතුරු සෙවීම සඳහා, යොදාගන්නා ක්‍රමවේදය ඇසුරෙන් සකස් කරගත් ක්‍රමවේදයක්. තවමත් මෙය අවසන් කර නැති නිසා, සීමිත විස්තරයක් කරන්නම්. අපි බොහෝ දෙනෙක් දන්නවා, නිර්නාමිකයන් ලෙස එන්නේ, අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයි, ඉන් සෑහෙන පිරිසක්, බ්ලොග් රචකයන්ම බව. මා, ඔවුන්ගේ චර්යා රටාව ගැනයි, ගැඹුරින් අධ්‍යයනයක් කරමින්, දත්ත ගබඩාවක් සකසමින් ඉන්නේ. මගේ දත්ත සැසඳීමෙන් පසු, විශ්මයට පත්වන තොරතුරු උපකල්පනය කරගන්න පුළුවන් වුණා. සමහර 'යහළුවන්' තව දුරටත් යහළුවන් ලෙස තබාගැනීමට කැමති නිසාත්, (ඔවුන් කවුදැයි මා දන්නා බව ඇඟවෙන ප්‍රති පිළිතුරු මා දී ඇති නිසා, ඔවුන්ගේ එම අසම්මත චර්යාව පාලනය කරගනු ඇතැයි සිතනවා) මා මගේ අඩවි දෙකේ, නිර්නාමික අදහස් දැක්වීම වාරණය කළා. එපමණක් නෙවෙයි. කිසිදු විෂයයක් පිළිබඳව හරවත් සංවාදයක යෙදෙන්නට හැකියාවක්, දැනුමක් හෝ උගත්කමක් නැති, එදාවේල ක්‍රමයට ජීවත්වන කීපදෙනෙක්, තමන්ගේ පහත් ජන්ම ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන කමෙන්ට් දැමීමත්, මේ වාරණයට තවත් හේතුවක් වුනා. මා ඒ ගැන ඉතා සතුටුවනවා. අද මෙහි අදහස් දක්වන්නේ, ඇත්තටම බ්ලොග් කියවීමේ හරය වටහාගත් අයයි. දැන් අර නිර්නාමිකයන් පිරිස, ඔවුන්ගේ ඒ පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වන්නේ, මා වෙනත් අඩවිවල දක්වන අදහස් වලට, ඔවුන්ගේ වසුරු හෙළීමෙන්.
- මගේ ලිපි කොපිකිරීම තවමත් සිදුවෙනවා. නිර්ලජ්ජි පුඟුලන් එසේ කරන්නේ, තමන් පුස්සන් බව, ලෝකයාට ප්‍රදර්ශනය කරමින් බව, බ්ලොග් කියවන බොහෝ දෙනා දන්නවා. ඔවුන්ගේ මනෝව්‍යාධීන් කෙරෙහි, අනුකම්පා කරනවා.
- ඉදිරියේදී ලිවියයුතුයයි මා සිතා සිටින මාතෘකා රාශියක් තිබෙනවා. හමුදා තොරතුරු යනු, කිසිදා නොසිඳෙන උල්පතක් වැනියි. නමුත්, හමුදා තොරතුරු පමණක් නොලියා, සමබරව වෙනත් මාතෘකා ද ලියන්නට, මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. මේ සියල්ල කෙරෙන්නේ, එදා සිට අද දක්වා මා නන් අයුරින් දිරිමත් කරන, ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය නිසයි. එදා මා බ්ලොග් ලියන්නට පටන්ගත් අවධියේ සිටි, සමහර බ්ලොග් රචකයන් මෙන්ම, බ්ලොග් නොලියුවත්, නිරන්තරයෙන් අදහස් දැක්වූ අයගෙන් සමහරෙකුත්, අද බ්ලොග් ලෝකයෙන් වෙන්වී ගිහින්. එය ලෝකස්වභාවය බව නිහඬව මෙනෙහි කරනවා.
- මේ වනවිට, මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට, අමුත්තන් පැමිණීම ලක්ෂ තුන ඉක්මවා තිබෙනවා.
- 2013 දී ආරම්භ කළ, මගේ බ්ලොගර් අඩවියට, අමුත්තන් පැමිණීම, ලක්ෂ එකහමාර ඉක්මවා තිබෙනවා.
- මේ සියල්ල මා සළකන්නේ, ඔබ සියලු දෙනා මා වෙත දැක්වූ කරුණාවන්ත භාවය ලෙසයි. එමෙන්ම, මගේ ලිපි වලට, ඔබ යම් ඇල්මක් දක්වා ඇති බවද, කියවීමට වටින යමක් ඒ ලිපිතුළ ඇති බවද, පසක් කරගන්නවා. ඒ පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා.
- ඔබ සැමගේ දිරිගැන්වීම් ලැබෙනතුරු, සුහද බව තිබෙන තුරු, මා සිත ගත සවිය රැඳෙනතුරු, ලියන්නෙමි ඔබ වෙනුවෙන්. නැවතත් ඔබ සැමට ස්තුතියි.
2015 දෙසැම්බර් මස 13 වැනි දින 2327 පැය
Go had congratulations
ReplyDeleteThanks by heart
Deleteපළමුව, ඔබේ මේ කඩඉමට මගේ සුබපැතුම්!
ReplyDeleteමමනම් ඔබව කියවන්නේ මාස හයක පමණ සිට වුවත් මගේ අදහසනම් ඔබ කෙලින්ම ඉදිරියට යාම හොඳ බවයි. හමුදා තොරතුරු ඉදිරිපත් කිරීම ඔබේ විශේෂ ප්‍රාගුන්‍යය වුවත්, අනෙක් තොරතුරුත් රසවත්. බ්ලොග් ලියන අයට සාපේක්ෂව වැඩිකලක් ජීවත් වී අත්දැකීම් ඇති ඔබ ලියන අතීත තොරතුරු විශේෂයෙන්ම වැදගත්. කෙසේවුවත්, ඔබ කළ යුතු දෙය ඔබේ තීරණයක්.
ඔබේ වසර පහක නිරීක්ෂණ මගේ කෙටිකාලීන නිරීක්ෂණ සමඟ බොහෝ දුරට සම්පාත වෙනවා. "හැකිතරම් වැඩි ලිපිගණනක්, ඉතා කෙටිකලකින් ලිවීම, ඉතා පරෙස්සමෙන් කළයුතු දෙයක්." මේ ගැන දැන් මම සිතනවා. "රචකයාගේ පෞද්ගලිකත්වය හුවා දක්වන ලිපි කියවන්නටත්, සෑහෙන තරම් පාඨකයන් සංඛ්‍යාවක් කැමති නැහැ." හැමෝම නොවුනත් මෙය සැලකිය යුතු ප්‍රමාණයක්. මේ නිරීක්ෂණ ඔබට වඩා පසුව බ්ලොග් ලිවීමට පැමිණි අයෙකුට හෝ පැමිණීමට බලාපොරොත්තු වන කෙනෙකුට වැදගත්.
බොහොම ස්තුතියි ඉකොන් ඔබේ මේ අගනා අදහස් දැක්වීම ගැන.
Deleteසුබ පැතුම් පිලි ගන්න විචාරක. එළඹෙන බ්ලොග් වසර විතරක් නොවේ, නව වසරත් ඔබේ හා ඔබගේ පවුලේ පැතුම් ඉටු වන එකක් ම වේවා!!!!
ReplyDeleteබොහොම ස්තුතියි රයිගම් ඔබේ කාලීන වැදගත් අදහස් දැක්වීමට.
DeleteWell done Wicharaka. Jayawewa.
ReplyDeleteතමන්ට ඕනෑ දෙයක් ලියන එකයි හොඳම වැඩේ. බලන කෙනෙකු බලාවි!
Deleteමා නම් ලියන්නේ මූලිකවම සිතට අභ්‍යාසයක් විදියටයි. එනිසා, අන්තර්ගතයේ පොදු රසාස්වාදය සලකන්නේ දෙවෙනි කොටයි.
ස්තුතියි රසික. ප්‍රවීනයකුගේ සුබපැතුම හා අදහස් මට බොහොම වටිනවා.
Deleteඔබ බොහෝ දෙනෙකුගේ බ්ලොග් ගුරුවරයෙකි
ReplyDeleteස්තුතියි. මම වෘත්තීය ජීවිතය පටන් ගත්තෙත් ගුරු වෘත්තියෙන් නේ.
Deleteදිගටම ලියන්න විචා...දිගටම ලියන්න පුලුවන් වෙන විදියෙ මානසිකත්වයක් හා සේම ශරීර සෞඛ්‍යය කුත් ඔහේට තියෙනවානෙ....වැඩිය තරහ ගන්න එපා....වැඩිය දේවල් ඇඟට ගන්නත් එපා...අසිමි දකිමි සොයමි විචා හැමදාමත්....බ්ලොගට දීර්ඝායුෂ .......!!
ReplyDeleteස්තුතියි චෙෆාකි. මේ අදහස් සිතට ගන්නම්.
Deleteඔබේ මුල් කාලයේ ලිපිවල තිබුණේ සමහර දේශකයන්ගේ වගේ පුදුමාකාර සිත් ඇදගන්නා භාෂා විලාශයක්. ඒක හරියට ඔබ අපිත් එක්ක සුහද කතාබහක යෙදෙනවා හා සමානයි. පස්සෙ පස්සෙ තාක්ෂණික තොරතුරු වලට වැඩි බරක් තැබීම නිසා අර භාෂා රටාව ආවේ මතක් වුණාම තමා. ආයිත් පරණ ලිපි බලලා ඒ විදිහටම ලියන්න උත්සාහගන්නවානම් අගෙයි.
ReplyDeleteඑහෙම වුණත් නොවුනත් මේ බ්ලොග් එක මටනම් විශ්ව විද්‍යාලයක් වගේ වුණා. මම හිතන්නේ මම ඔබේ ලිපි සියල්ලම ආපස්සට ගිහින් කියවලා ඇති. එහෙම කියවපු බ්ලොග් තියෙන්නේ අතේ ඇඟිලි ගාණට වගේ. එක්කෙනෙක් මාතා. අනිකා සෙන්නා. තව කීපයක් විතරයි.
ඉදිරියටත් තව තවත් රසවත්ව ලේඛන කාර්යයේ යෙදෙන්නට හැකි වේවා! සුභ පැතුම්!
ආයු බෝ වේවා!
ඇත්ත මධු. සම්පූරණ ඇත්ත. මුල් කාලයේ මගේ ලිපිවල තිබුණු ශෛලිය වෙනස් වෙන්න, පස්සේ පස්සේ ලියපු ලිපිවල තිබුණු තාක්ෂණික කරුණු වලින් බලපෑමක් ආවද මන්දා. මට බය හිතෙනවා තේරෙන්නේ නැතිවෙයි කියලා. එතකොට අර සැහැල්ලු භාෂාවෙන් ඉවත්වෙලා සාමාන්‍ය භාෂාවට එනවා. කොහොමහරි පරණ ක්‍රමයට යන්න උතසාහ කරනවා. ඔබ වගේ නිරීක්ෂණය කර අදහස් දක්වන අයගේ යෝජනා හරිම වැදගත්.
Deleteබොහොම ස්තුතියි.
සමහර කරුණු වලට එකඟ අතර, සමහර කරුණුවලට එකඟ නැත.
ReplyDeleteමිනිස්සු කියන්නේ එක වගේ හිතන මතන පිරිසක් නෙමෙයි. ඒකයි මේ ළෝකේ ලස්සන හා අවලස්සන දේ පවතින්නේ. කොහොම හරි මිනිස්සු ඉදිරියට යන්න නම් සම්ප්‍රදාය කඩන්න වෙනවා.
අළුත් අළුත් දෑ නොතනන සහ නොතකන ජාතිය ළොව නොනගී -- ඊයේ රනිලුත් ඕක කිව්වා...
ෆොන්සේකාත් සම්ප්‍රදායි විදියට යුද්දේ කොලා නම් තාමත් ප්‍රබාකරන් ඉන්නවා... ඒත් ෆොන්සේකලා විචාරකලා නැති වෙන්නත් පුළුවන්..
ඔන්න උඹ ඇත්ත කියලා තියනවා. හැම කාරනයකටම එකඟවෙන්න පුලුවන්නම් මම අසාර්ථකයි. විරුද්ධවාදී අදහස් තියනවානම් විතරයි ඒවා අධ්‍යයනය කරලා මට දියුණුවෙන්න හෝ නිවැරදිවෙන්න පුළුවන්.
Deleteරනිල් උන්නැහේ වයස 30 දී ඇමති කෙනෙක් හැටියට නොකියපුවා දැන් කියනවා නේද?
විචා..එල ද බ්‍රා වගේ සුභ පැතුම්..
ReplyDeleteස්තුතියි මෙන්ඩෝ. උඹලා තමයි මට මග පෙන්වන්නේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහමුදා සහ ආයුධ සම්බන්ධ ලිපි වලට ප්‍රමුඛතාවය දෙන්න කියලයි මට නම් කියන්න තියෙන්නේ. එවැනි විෂයයන්ට සිංහල භාෂාවෙන් අන්තර්ජාලයේ කරුණු නැති තරම්. කෙසේ වෙතත් ඔබ මෙම වසර ගනනේ දීම ලියු ලිපි මා ඉතාමත් ආසාවෙන් කියවූවා සේම එම ලිපි වලින් ලැබූ දැනුම අප්‍රමානයි. අටලෝ දහමින් කම්පා නොවී ලිපි ලිවීම ඔබට බාරයි. සුබ ගමන්!
ReplyDeleteඔව් දිලීප, මම දන්නවා ඉස්සර ඉඳලාම ඔයා මගේ හමුදා ලිපි වලට කොයිතරම් කැමැත්තක් දැක්වූවාද කියන එක. මටත් හිතෙන්නේ හමුදා කරුණු වලට ප්‍රමුඛත්වය දෙමින් අනෙක් මාතෘකාත් සහිතව ලියන්නයි.
Deleteබොහොම ස්තුතියි.
සිව් වසරක බ්ලොග්කරණයට සුභ පැතුම්!!!!!!
ReplyDeleteඅවුරුදු 4 ක් ලිව්ව වගේ ඉදිරියටත් ලියමු විචා , මොකෝ අපිට වගේ වැඩ තියනවද ? . මාත් හිතන් ඉන්නෙ පැන්ෂන් ගිය දවසට බ්ලොග් එකක් ලියන්ඩ. වැඩිය මහන්සි වෙන්ඩ ඕනෙත් නෑ විචාගෙම පෝස්ට් ටික අරන් මගෙ වගේ දානව. දැන් ඕක ඇහැටවත් දැකල නැති එවුන් කරන එකේ යාළුවො වෙච්ච අපි කරහම මොකෝ ? .
ස්තුතියි කම්මලේ. උඹලා තමයි මගේ මග පෙන්වන්නෝ.
Deleteහෙහ් හෙහ්, පැන්ෂන් ගිහින් බ්ලොග් ලිවීම කියලා උපදෙස් පොතක් ලියන්නද මම?
අඩෝ කොපියා. දාපියකෝ බලන්ඩ මගේ එව්වා කොපි කරලා. වලෙන් නැගිටලා එනවා.
This comment has been removed by the author.
ReplyDeleteසුබපැතුම්!!! ඉදිරියටත් සියලු බාධක මැඩගෙන සාර්ථකව ගමන් කිරීමට හැකිවේවා කියා පාර්තනා කරනවා. මම ටික දවසක ඉදන් තමයි මේ පැත්තේ එන්න ගත්තේ.හරියටම කිව්වොත් සිංහල බ්ලොග් කියවන්න.හමුදාව ගැන ලියවෙන ලිපි වලට තමයි වැඩිපුර කැමති. ඔබතුමට පුලුවන් විදියට දිගටම ලියයි කියා බලාපොරොත්තු වෙනවා :)
ReplyDeleteබොහොම ස්තුත්යි ඔබට. ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට. මෙවැනි දිරිගැන්වීම් නිසා තමයි දිගටම ලියන්න හිතෙන්නේ.
Deleteමුලින්ම ඔබේ ලක්ෂ තුන කඩඉමට සුභපතනවා....!!!
ReplyDeleteඔබ දක්වා ඇති කරුනු ඉතා වටිනවා අපි වැනි නවකයන්ට.
...//සිංහල භාෂාවට දැඩිලෙස හානි පැමිණෙනවා//...
මගේ මුල් ලිපිවල ව්‍යාකරණ දෝෂ බොහොමයක් තිබුනා.ඇනෝ කෙනෙක් මට ඒ කරුනු නිතරම පෙන්වා දුන්නා.ඇත්තෙන්ම ඔහු මට ලොකු උදව්වක් කලේ.මුල් කාලේදි මම සමහර අකුරු ටයිප් කරන්න දැනගෙන හිටියේ නෑ.මේ වෙනකොට මම ඒ සියළුම අකුරු ටයිප් කරන්න ඉගෙන ගත්තා.මම දැනටත් පැරණි ලිපි නැවත නැවත බලමින් දෝෂ නිවැරදි කිරීමක් කරනවා.ව්‍යාකරණ දෝෂ සහිත ලිපි පලවීමත් බ්ලොග් එකේ ගුණාත්මක බව අඩුවෙන්න හේතුවක් වෙනවා.ඒ නිසා ඔබ පෙන්වන මේ කරුණ බ්ලොග් ලියන හැමදෙනාම අවධනය යොමු කලයුත්තක්.මගේ එක් ලිපියක තිබු "රාගිනි" යන වචනයෙන් මම මතු කරන්න හැදු අදහස වෙනුවට වෙනත් අර්ථයක් මතුවෙන බව ඔබ පෙන්වලා දුන්නට පස්සේ මම ඒක නිවරදි කලා.ඔබ මගේ ලිපි කියවන විට එවැනි කරුණු දුටුවොත් ඉදිරියේදිත් මාව නිවරදි කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මුලින්ම කියන්න තියෙන්නේ මා කවදාවත් නිර්නාමිකව පැමිණ අදහස් දක්වන්නේ නැහැ. ඔබේ අඩවියේ ඒ වැරැද්ද මා පෙන්වා දුන්නේ ඔබේම දියුණුවටයි. එය තේරුම්ගෙන නිවැරදි කරගන්න තරම් බුද්ධිය සහ මහාත්මා ගුණය ඔබ තුල තිබුනා. නමුත් සමහර අඩවි වල එවැනි දේ පෙන්වා දුන්නොත් අසැබි වචනයෙන් අපහාස කරමින් තම පහත් ජන්ම ලක්ෂණ පෙන්නනවා.
Deleteබොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
ඒ ඇනෝ කොමන්ට් තිබුනේ මගේ බිලොග් එක පටන්ගත්ත මුල්ම කාලේදි.ඒ වෙනකොට ඔබතුමා මගේ බිලොග් එක දැනගෙන හිටියේ නෑ.මගේ ව්‍යෘකරණ අඩුපාඩු පෙන්වාදීපු ඇනෝ තවත් බිලොග් කිහිපයකම ව්‍යාකරණ අඩුපාඩු පෙන්වලා තිබුනා.ඇත්තෙන්ම ඔහු හැමෝටම කලේ උදව්වක්.ඇනෝ කෙනෙක් ලෙසින් උනත් ඔහු වැනි අය බිලොග් ලියන්නන්ට කරන්නේ උදව්වක්.
Deleteකොහොම උනත් මම බ්ලොග් වලින් ඉගෙන ගත්ත දේවල්නම් බොහොමයි.මටනම් දිගටම ලියන්නම් කරුණු තිබේවි.බුදු සමයයි,මනෝවිද්‍යාවයි ගැන ලියන්න ඕන තරම් දේවල් තියනවනේ.ඒත් ඉතින් එකම දේ ලියනකොට ඔබ කියනවා වගේ ලිපි පෙල ඒකාකාරී වේව්...
වනචර ඇනෝලා නිසා හොඳ ඇනෝලාට තියන අවස්ථාව නැතිවෙනවා කමෙන්ට් මොඩරේෂන් දැම්මම. හරිම කණගාටුයි.
Deleteමමනම් ඔබේ ලිපිවල ඒකාකාරී බවක් දකින්නේ නැහැ. මට එයින් ඉගෙනගන්න දේවල් තියනවා.
වෙලඳ කලමණාකරණයේ diffrenciation කියල දෙයක් තියෙනවා ඔබ දන්නවා ඇති. ඒ අනුව ඔබ ගේ බ්ලොග් එක අනෙක් බ්ලොග් අතර වෙනසක් ඇතිකර ඇත්තේ හමුදා ලිපිවලින්. හමුදාවට සම්බන්ධ නැති කෙනෙකුටත් පොත් පත් ඇසුරින් එවැනි ලිපි ලියන්නට පුළුවන් ඇති. ඒ උනාට භූමියේ අත්දැකීම් නැති කෙනෙකුගේ එවන් ලිපි කොතරම් දුරට ප්‍රැක්ටිකල්ද යන්න කියවන්නාට සිතට එනවා. ඒඅතින් ඔබට එම වෙනස් කොටස ගැන ලියන්න විශේශ සුදුසුකමක් තියෙනවා. ඊට අමතර ඔබ මනුශ්‍යයෙක් හැටියට අත්විඳි ප්‍රේම කතා, ජීවිතයේ කථාත් ලිවීමට ඔබට බාධකයක් නැහැ. ඒ අතින් ඔබට සිව්මංසලේ ඕනම පාරක යත හැකි වුණත් ඔබගේ විෂෙශත්වය සමඟ මුසු කොට යාම තමයි මට හිතෙන විදිහට ඔබ ගත යුතු මාර්ගය. ඔබට ජය.
ReplyDeleteස්තුතියි ඉයන්. ඔබ කියන දේ හරි. සමහරු හිතන්නේ මා විකිපීඩියාවේ තිබෙන ලිපි අමු අමුවේ පරිවර්තනයකොට ලියනවා කියලයි. හමුදා දැනුම නැති එවැනි අයෙක් වරක් ලියන ලද ලිපියක වැරදි මා පෙන්වා දුන්නාම ඔවුන් ඒ ලිපිය ඉවත් කරනු වෙනුවට මට අපහස කළා.
Deleteඔබේ අදහස් අගය කරනවා. ඒ අදහස් ආදර්ශ කරගනිමින් ඉදිරියේදී ලියන්නම්.
සිව්මංසල කිවුවහම මට මතක් වෙන්නෙ මාෂල් ධවලපාෂ, නිදර්ශා, බවුරා එහෙම.. විචාට මතකද මන්දා දයා රාජපක්‍ෂගෙ චිත්‍රකතාව..
ReplyDeleteමෙහෙම දෙයක් තියෙනවා විචා. බොහෝ දෙනෙකුට කාලයක් යද්දී බ්ලොග් එකේ ලියන්ට දෙයක් නැතිවෙන්නෙ එයාලගෙ අත්දැකීම් ටික ඉවරවෙන නිසා කියලයි මමනම් හිතන්නෙ.. ඊට පස්සෙ තමා ඔය ලියන්ට දෙයක් නැතුව වල්පල් ලියන්නෙ.. එතකොට ඉතිං බලන අයට එපා වෙනවා තමා..
ඒ වුනත් මම හිතන්නෙ නැහැ තව සෑහෙන කාලයක් යනකං විචාට ලියන්ට දේවල් නැතිවෙයි කියලා.. තමන්ගෙ යුදබිමේ අත්දැකීමුත් එක්ක එකතුකරලා සංග්‍රාමික විස්තර මෙහෙම රහට ලියන කෙනෙකුට දැනට ඉන්නෙ විචා විතරයි.. ඉයන් කියනවා වගේ එවැනි විශේෂ සුදුසුකමක් තියෙන කෙනෙක් හැටියට එවැනි දේ නොලියා ඉන්න එක අපරාදයක්.. වල්පල් කියවන්ට උවමනා උදවිය සමහරවිට මේ බ්ලොග් එකට නෑවිත් ඉන්ට පුළුවන්, ඒත් ඉතිං එහෙම අයට වෙන ඔනතරම් බ්ලොග් තියෙන්නෙ විකාර කියව කියව ඉන්ට..
වැඩි විච්චූරණ කරන්ට යන්ට ඕනැන්නෙ නෑ.. පරණ විදියටම සංග්‍රාමික හා ඒ අනුබද්ධ තොරතුරු ලියාගෙන ඉන්ට.. හැබැයි ඉතිං අතිරහත් දිගටම කනකොට තිත්ත වෙන නිසා ඒවා අතරට විටෙන් විටේ අර රසකතා එහෙමත් කියලා දාන්ට.. රස දන්නෝ හැමදාම මෙහාට එයි.. ගුණසිරි බුල්ටො වගේ තමා..
සතියකට එක පෝස්ට් එකක් දාන අදහසට මමත් කැමැතියි.. එතකොට විචාට පුළුවන් කාලවේලාව අරන් හොඳ ගුණාත්මක ලිපියක් ලියන්ට..
කාටද බන් "නිදර්ශා" කියන්නෙ ?
Deleteනිදර්ශා කියන්නෙ ඒ චිත්‍රකතාවෙ එන චරිතයක් බංස්..
Deleteඅඩේ ඒක චිත්‍ර කතාවක්ද ? වයිෆ් ගෙ නමත් නිදර්ශා ඒකය් මම මේ බැලුවෙ. ඒ නම මට වෙන තැනක හම්බුන පලවෙනි වතාව මේ....
Deleteබොහොම ස්තුතියි බූරා. ඔබේ කමෙන්ට් එක දෙවරක් කියෙව්වා. ඔබ කියන එක හරි. මා සමබර මගක යායුතුයි. හමුදා තොරතුරු වැඩිපුර ලියන අතර ඊට අනුපාන වශයෙන් :e වෙනත් ලිපි ලිවිය යුතුයි. හරි නේද? හොඳ උපදේශයක්. බොහොම ස්තුතියි.
Deleteදයා රාජපක්ෂ කියන්නේ අපි ඉස්කෝලේ යනකාලේ අපේ චිත්‍ර කතා වීරයෙක්. ඔබ කියන චිත්‍රකතාව මතක නැහැ. නමුත් දය රාජපක්ෂගෙන් අපි ජීවිතයට ආදර්ශ ලබාගත්තා.
@ සෙන්නා. බොරුනම් කියන්න එපා. අපේ ගෙදර ආව දවසේ බිරිඳට කතාකලේ මැඩම් කියලා. බය කියන්නේ මේම මේම බය. :e
Delete@සෙන්නා,
Deleteපොඩ්ඩක් අහලා බලාන්ට මාමණ්ඩිගෙනුයි නැන්දම්මාගෙනුයි එයැයිලා දෝණියන්දෑට නම දැම්මෙ ඔය චිත්‍රකතාවෙන් දැකලා ද කියලා.. :-)
ලක්ෂ තුනේ කඩඉමට සුබ පතනවා. ඔබේ අඩවිය මා නොවරදවාම යන එකක්.
ReplyDeleteඔබේ සමහර අදහස් වලටත් එකඟයි . ඒ කියන්නෙ තවත් සමහර ඒව සමග එකඟ නෑ කියන එක.
කොමෙන්ට් දමන විට ඇත්තටම මට කොමෙන්ට් කරන්න අවශ්‍ය ප්‍රමානයට වඩා මම ඉස්සර කොමෙන්ට් කළා .ඒ අනෙක් බ්ලොග් කරුවන්ට සහයෝගයක් ලෙස. නමුත් ඒ ප්‍රතිපත්තියෙන් යම්තාක් බැහැරවෙලයි ඉන්නෙ. සමහර යහගුනත් තියනව සීමාව ඉක්මවා යා යුතු නැති.
අපිත් කාලවේලා ප්‍රශ්න නැති අය නෙවෙයි. දහසකුත් එකක් වැඩ තියාගෙන බ්ලොග්කරුවන් දිරිමත් කිරීමට කොමෙන්ට් කරනවා.ඉතින් අපේ සහයෝගය ලබන අයට බැරිද අපට ත් සහයෝගයක් දෙන්න. එහෙම බෑ කියන්නෙ උද්ධච්ඡ කමනෙ.
මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් නොකරන අයගෙත් මම කොමෙන්ට් දානව. නමුත් කාගෙවත් බ්ලොග් එකක කොමෙන්ට් නොදාන අනෙක් අය තමන්ගෙන් ඉගෙන ගන්නව තමන් සියල්ල දත් ය කියා සිතන අයගෙ නම් ලිපියක් කොයි තරම් ගුනාත්මක උනත් එහි කොමෙන්ට් දමන්න මට කොයි තරම් අවශ්‍ය වුනත් දාන්නෙ නෑ.
බ්ලොග් කියන්නෙත් සදාකාලික දෙයක් නෙවෙයි. ඕනම කෙනෙකුට තමන් කරන දේ කාලයක් එක්ක එපා වෙනව.
ඔබ ඔය ලියන විදියට ලියාගෙන යන්න. හමුදා තොරතුරු වැඩි ආකර්ශනයක් තියනව කියල හිතෙනව. ලක්ෂ 3 ක් ආව කියන්නෙ ඔබ බ්ලොග් තරුවක් වෙලා කියන එකනෙ. නවත්වන්න එපා. අපට වගෙ නෙමේ ඔබට කාලවේලා ප්‍රශ්නත් නෑනෙ.
මම නම් කියන්නෙ මේ ලියන විදියටම දිගටම ලියාගෙන යන්න. ඇනෝල සමග පැටලෙන්නෙ නැති ප්‍රතිපත්තියත් හොදයි.ඇනෝල කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි බ්ලොග් වල පදිංචි වෙලා අවුරුදු ගනන් බින්න බැහැපු අයම තමයි. බ්ලොග් වල කෝපි කඩ තියනව. ඒ කෝපි කඩවල මුදලාලිල තමා ඇනෝ එන්නෙ.
අවසාන වශයෙන් කියන්න ඕන ඔබ යහපත් බ්ලොග්කරුවෙක් කියන එක.බ්ලොග් අවකාශයෙත් ඔබ සුහදශීලීයි. බ්ලොග් සහජීවනය ගැන දන්න කෙනෙක්. අනුන් එක්ක සුහදව වැඩකරන්න දන්න හොඳ මිත්‍රයෙක්. ඔබට ජයවේවා.
මගේ ගෞරව ප්‍රණාමය ඔබට පිළිගන්වනවා මේ දීර්ඝ අදහස් දැක්වීමට.
Deleteබ්ලොග් ලිවීම ගැන මා දක්වා ඇති අදහස් වලට එකඟ වෙන හා නොවන බව ප්‍රකාශ කිරීම හරිම වැදගත්. එය මට මහත් උදව්වක්. මා නිවැරදි වියයුත්තේ කෙසේද යන්න පෙන්වාදීමක්.
බ්ලොග් විතරක් නෙවෙයි සියල්ල සදාකාලික නෙවෙයි නේද?
සැහැල්ලුවෙන් සිටිමින් සියල්ල විඳදරාගැනීමත් එක්තරා කලාවක්. එහෙම නේද?
අනේක වාරයක් ස්තුතියි, ඔබේ වටිනා අදහස් වලට.
1. //එක්කෝ මම දැන් ලියන විදිහටම හමුදා තොරතුරු සහ, හමුදාවේ නොවන මාතෘකාත් ලියමින්,// මම නම් හිතන්නෙ මේ විදිහට ලියාගෙන ගියොත් තමයි වඩාත් හොඳ. හැබැයි ලියාගෙන යන ශෛලිය ගැන නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර කරුණු ලිවීමේදී පුවත්පතකට උනත් කෙලින්ම යවන්න පුළුවන් ආකාරයේ සංයමයක් තිබුණා. ඒත් දැන් දැන් භාෂා ශෛලිය ඊට වඩා වෙනස්. සමහර එව්වා හංදියේ බෝකුවක් උඩ කෙරෙන කතා වගේ. විචාර මහත්මයා තරුණ වෙන්න හදනවද මන්දා? :) කොහොමවෙතත් මම පෞද්ගලිකව කැමති කලින් ලිපි ලියූ ශෛලියට. පරණ ලිපි කියවලා බැලුවම විචාරක මහත්මයාටම තේරෙයි මම කියන කතාව.
ReplyDelete2. //බ්ලොග් අඩවියක ජනප්‍රියත්වය බොහෝදුරට පවතින්නේ, අවුරුදු 5 ක් පමණ කාලයක්// මට නම් හිතෙන්නෙ ජනප්‍රියත්වය අඩුවීමටත් වඩා කාර්‍යබහුල වීම හින්දා ලියවෙන ලිපි ප්‍රමාණය අඩුවීමෙන් හා හරබර ලිපි නොලියවීමෙන් බ්ලොග් අඩවි අභාවයට යන බවයි. අනික් අතට හැමදාම එකම දේ තියෙද්දිත් මිනිස්සුන්ට එපා වෙනවනෙ.
3. //බ්ලොග් අඩවි ජනප්‍රියත්වයෙන් අඩුවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ, කුමක් හෝ ලියා ඉදිරිපත්කිරීම නිසායි.// ඔව්.
4. //රචකයාගේ පෞද්ගලිකත්වය හුවා දක්වන ලිපි කියවන්නටත්, සෑහෙන තරම් පාඨකයන් සංඛ්‍යාවක් කැමති නැහැ. //කැමැත්ත රඳා පවතින්නෙ ඉදිරිපත් කරන විදිහ හා කරුණු අනුව.
5. //නමුත් මට ගෝචර නොවන දෑ බොහෝ අඩවිවල පළවන ලිපිවල තිබේ. නිහඬව ආපසු හැරී ඒම මිස, අදහස් දැක්වීමට හෝ විවේචනයට නොයමි.// අන් අයගේ ප්‍රතිවිරුද්ධ මත නොයිවසන කෙනෙක් නම් හැරී ඒම තමයි හොඳම. වාද කිරීමෙන් ලැබෙන දෙයක් නෑනෙ.
6.//ලිවීමට තරම් දෙයක් සොයාගැනීමට අපහසුය යන්න// මට නම් ලිවීමට ඕනෑතරම් දේවල් තිබේ. නමුත් කාලයක් නැත. අනික හැම වෙලාවෙම එක වැඩක් ඉවර කරද්දී තවත් වැඩක් කරන්න වෙලා. මම සැනසිල්ලෙන් මිස කලබලයෙන් ලියන්න කැමති නෑ. මම ගැනනෙ කියලා තියෙනෙ. ;)
7. මම නම් නිර්නාමිකයෝ ගැන දක්වන්නේ වෙනත් අදහසක්. මගේ බ්ලොගයේදී නම් සාපේක්ෂව හොඳ ප්‍රතිචාර ඔවුන්ගෙන් ලැබුණා. ඒ අය නම් බ්ලොග් නොලියන්නන් වෙන්න ඕනා.
8. අවසාන වශයෙන් අවුරුදු හතරක් පුරා දුන්නු දැනුම් සාගරයට ස්තුතියි. ඒ වගේම අවුරුදු හතරට සුභ පැතුම්.
ප.ලි. හුඟ කාලෙකට පස්සෙ දිග කමෙන්ටුවක් දැම්මෙ.
මෙන්න හරීගෙනුත් පරණ පුරුදු තාලෙ කමෙන්ට් එකක් සෑහෙන කාලෙකට පස්සෙ.. :-D
Delete@ හරී. ඔක්කොටම ඉස්සර මෙන්න මේකට උත්තරයක් දීපන්. දැන් දෙකද දෙකහමාරද තුනද? යකෝ ඉක්මනනට තුන හතර කරගනින්. නැත්නම් උඹට අවුරුදු 50 පැනලා, ළමයි 5 ශිෂ්‍යත්වෙට උස්සගෙන යන්න වෙනවා.
Delete1. හරි, පුළුවන් තරම් සංවරව ලියන්න බලන්නම්.
2. ඔව්. මම හැමවිටම උත්සාහ කරනවා විවිධත්වයට යන්න. නමුත් අද වනතුරු කමෙන්ට් 25 ක් වත් නොලැබී ගිහින් නැහැ, මම ලියන ලිපියකට.
3. බොරු නෙවෙයිනේ.
4. එකත් ඇත්ත. මම මගේ පම්පෝරි නොගහා හිටිය තරමට හොඳයි.
5. ඇත්ත. මම උත්සාහ කර තිබෙනවා වාද වෙනුවට සංවාද කරන්න. නමුත් බොහෝවිට අනික් පාර්ශ්වය අවි අමෝරා ගන්නවා.
@ බූරා. මේකා මේ විදිහට අංක දාලා ප්‍රශ්න අහන්න ඉගෙන ගත්තේ, ඉස්සර මූ මට ඇණයක් වෙන විදිහට ප්‍රශ්න ඇහුවම, මෙන්න මෙහෙම අහපන් කියලා මම කිව්ව නිසා.
හුටා.වැරදිලා publish බොත්තම එබුණා. මෙන්න ඉතුරු ටික.
Delete6. පිළිගන්නවා හරී. ඔයා ඉතාම කාර්ය බහුල පුද්ගලයෙක්. නමුත් මාසෙකට එකක්වත් ලියන්න.
7. අවාසනාවකට මෙන් මගේ අඩවියට එන්නෙම සත පහක් වටින්නේ නැති මෝඩ ඇනෝලා.
ඔබේ මේ දිග කමෙන්ට් එක මට දිගුකලක් මතක තිබෙනු ඇති.
බොහොම ස්තුතියි.
තුන හතරක් නෙමෙයි 5ක්. මගේ බ්ලොගියට අවුරුදු 5ක් පිරුණා.
Deleteබුරායියෝ, විචාරක මහත්තැන් තමයි මේ විදිහට නොම්බරේ දාන්න කිව්වෙ. හැබැයි මම මේ විදිහට ගොඩක්ම ප්‍රශ්න ඇහුවෙ හසිතගෙ ආගිය කතාවල. ඒත් ඒක දැන් ලියවෙන්නෙ නෑ. හසිතට කතා කළාම කිව්වෙ දැන් පත්තර වලට පතරංග ලිපි ලියන හින්දා බ්ලොගය ලිවීම නැවැත්තුවා කියලා.
දැනුවත් කිරීමට ස්තූතියි
ReplyDeleteසහ සුභපැතුම්
ජයවේ විචාරක!
ඔබ මීට පෙර මෙහි ආ බවක් මතක නැහැ. සාදරයෙන් පිළිගන්නවා.
Deleteහදපත්ලෙන්ම ඔබට ස්තුතියි.
විචාගෙ සිව් වසරට සහ වර්ඩ් ප්‍රෙස් අඩවියේ ලක්ෂ තුනට සුබ පැතුම් !!
ReplyDeleteඔන්නොහෙ කොහෙවත් හැරෙන්නෙ නැතුව ආපු විදියටම ඉස්සරහට යං.
ස්තුතියි ප්‍රසන්න. ඔබ දිගු කලක පටන් මට දෙන ධෛර්යය හරිම වැදගත්. ඔව් යමු ඉස්සරහට.
Delete/හමුදා තොරතුරු පමණක් නොලියා, සමබරව වෙනත් මාතෘකා ද ලියන්නට, මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා/
ReplyDeleteමෙන්න මේක තමා වෙන්න ඕනෙ තවදුරටත්.
ඔබතුමාගෙ හතරට හදවතිම්ම සුභපතනවා. තව දාහතරක්වත් ලියන්න පුළුුනන් වෙවා කියා පතනවා.
ඔබතුමාට මේල් එකක් එව්වා. පොඩ්ඩක් බලලා කියන්න...
බොහොම ස්තුතියි ඩ්‍රැකී. පුළුවන් තරම් කල් ලියන්න හිතට හයිය එන්නේ ඔබ වැනි අය දෙන ධෛර්යයෙන්. බොහොම ස්තුතියි.
Deleteමේල් එක බලන්නම්.
මෙහෙමයි විචා.............
ReplyDeleteඔබ කියන විදිහට ඔබ සිව්මංසකට අැවිත් බව ඔබට තේරෙනවානං අපිට ඒක නෑ කියන්න බැහැ....... මොනවා වුණත් මං ඔබේ බ්ලොගයේ දැකපු විශේෂත්වය තමයි හමුදා තොරතුරු.... ඒවා අග මුල සියල්ල මං කියවනවා...... ඒවා හමුදාවේ අධ්‍යාපනය ලබන අලුත් නිලධාරීන්ට සහ සෙබලුන්ට ඉතා වැදගත් බවයි මගේ හැගීම...
ඔබේ අනික් රචනාවන් ද තරමක් රසවත්.... මොකද අත්දැකීම් බහුතරයක් ඒවා හරහා අපිට දැනගන්න ලැබෙන නිසා... බොහෝ විට ඒවා ටිකක් තරහින් වදින්න ඔ්නේ තැනට නියමෙට ගහලා ලියලා තියෙනවා.... ඉතින් ඔබ අරන් තියෙන තීරණය අනුව මේ අංශ දෙකම කරගෙන යන්න හිතාගෙන ඉන්න ඒක ගැන නම් සතුටුයි.... මොකද බ්ලොගය ඒකාකාරී වෙනවාට වඩා ඒක හොදයි.....
අනික තමා බ්ලොගයක් අවුරුදු 05 ක් පමණ ගිය පසු නව්‍යතාවය අඩු වෙනවා කියලා ඔබ කියූ කතාවත් අැත්ත.... ඒතැනදී අපි උපක්‍රමික විය යුතුයි මේ කියන නව්‍යතාවය සහ නිර්මාණශීලීත්වය රැක ගැනීමට.... ඔබ වැනි බ්ලොග් ලෝකයේ අත්දැකීම් බහුල අය තවමත් රැදී සිටීම සහ නිතර අනික් හැම කෙනෙකුගේ ම (කිිසිදු තේරීමකින් තොරව) බ්ලොග් වලට පැමිණ දිරිමත් කිරීම හරිම අගෙයි... ඒ ගුණාංගය අපි ඔබෙන් ඉගෙන ගත් දෙයක් බවත් කීමට කැමතියි.....
ඉදිරි ගමනට සුභපැතුම්....
බොහොම ස්තුතියි කුරුටු.
Deleteඇත්තටම මම කැමතියි මම වගේ තවත් හමුදා නිළධාරීන් බ්ලොග් ලියනවානම්. ඒ සඳහා සෑහෙන නිලධාරීන් පිරිසක් පොළඹවන්න මා දැරූ උත්සාහය අසාර්ථක වුනා. අන්තර්ජාලය බලන හමුදා නිලධාරීන් බොහොමයක් කරන්නේ මූණු පොතේ ඇවිදින එක විතරයි.
ඔබේ අදහස් ඉතා ඉහළින් අගය කරන අතර ඒවා සිත්හි තබාගෙන ඉදිරියේදී ක්‍රියාකරන්නම්.
සුභ පැතුම්
ReplyDeleteඅක්ෂර වින්‍යාස දෝස ගැන බැනුම් තොප්පිය නම් මම ද හිස ලා ගත්තෙමි
නෑ නෑ ඒවා බැනුම් හැටියට හිතන්න එපා. මට දුකයි එහෙම කිව්වම. මා ඔබට උදව් කරන්නම්. භාෂාව ගැන ඇතිවන ගැටළු විමසන්න. wmjgslsr@gmail.com වලට ඊයක් විදින්න.
Deleteස්තුතියි සුබ පැතුමට.
සිව් මංසල ගැන කිව්වාම ගැටයා මතක් උනා.. ඇත්තටම විචා අවුරුදු හතරක් උනාට විචාගේ නැව්මු අදහස් හා කරුණු තියෙනවා. ජීවිත කාලෙම ලිව්වත් ඉවර කරන්න බැරි තරං හමුදා දැනුමක් ඔබට අපට දිය හැකියි.. වඩාත්ම සරලව කිව්වොත් මෙවැනි තාක්ෂණික කරුණු පහසුවෙන්ජීර්නය කරන්න දෙන එක ලොකු සේවයක්.. ඔබගේ හතරට සුභ පැතුම්. එසේ උනා කියා තුන ගලවා නොදමන්න.. හැක්..
ReplyDeleteඒ බං අර කියපු ඒවා ගොඩාක් හොදායි. අර අක්ස්ර විනයාසේ ගැන මාමා බැන්නේ මට නේද?? මොකද මාත් තන කන එකෙක් නෙව. ජය වේවා..
තන කාලා තොට මේ ආත්මයේදීම නිවන් යන්න ලැබේවා!
Deleteදේශ්. උඹ මට දෙන ධෛර්යය සුළුපටු එකක් නෙවේ. උඹලා නැත්නම් මම මෙලහට මේ මගුල නවත්තලා.
පිංසිදුවේවා!
විචා... ('තුමනි' කෑල්ල හලල එහෙමකියන්න හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා.)
ReplyDeleteගස්ලබ්බ බ්ලොග් ලියන්න අරගෙන තාම අවුරුද්දක් නෑ.කියවන්න අරගෙන නම් අවුරුදු කීපයක්.ඒ කාලෙ ඉඳන්ම කම්මැලි නැතිව කියවන්න පුළුවන් විදිහට ලියන ඕනෑම දෙයක් රසවත්ව ඉදිරිපත් කළ බ්ලොග් එකක් මෙය. හමුදා තොරතුරු වේවා පුද්ගලික තොරතුරු වේවා එදිනෙදා කටයුතු වේවා මොන මාතෘකාවක් ලිව්වත් එයට ඔබේ අත්දැකීම් හා දෘශ්ඨීන් එක් වී එය හැඩ වෙනවා.අවසන අර්ථාන්විත් වෙනවා.ඒ නිසා ඔබ ලියන්න... හිතෙන දේ ලියන්න... මොකද කියවන්න දාස්ගාණක් බලන් ඉන්න නිසා..
ජයවේවා..!!
හෙහ් හෙහ්, උඹ අදත් තුමා කිව්වනම් හබ්බ දෙකක් සහිතව පිළිතුරු දෙනවා. උඹ ලියන්න පටන්ගත්ත කාලේ ඉඳලා උඹත් මගේ හිතට ඇල්ලුවා. ඒ වගේම උඹ මේ අදහස් කියන්නේ හදවතින්ම බව මම දන්නවා.
Deleteපිංදෙනවා මේ ධෛර්යවත් කිරීම ගැන.
අක්ෂර වින්‍යාස දෝස ගැන බැනුම් තොප්පිය නම් මම ද හිස ලා ගත්තෙමි x 2 :D
ReplyDeleteඅවුරුදු හතරට හා (තුන්)ලස්සෙට කොඩිය දාපු එකට සුභ පැතුම්! බ්ලොග් සම්භන්දව කල නිරීක්ෂණ හා නිගමන වලට ස්තුතියි. හමුදා තොරතුරු හා රසවත් කාලින තොරතුරු/ අත්දැකීම් බෙදා හදාගෙන ආ මාවතේ ඉදිරියටම යාමට සුභාශිංසන!
විචාරකතුමාගේ කොන්සිස්ටන්ට් යුද හමුදා කතා වලට රස වැටුණු පිරිස නිසා මගේ ඉඳල හිටලා දාන නාවික හමුදා කතා වලටත් හොඳ ඉල්ලුමක් ආවා.. ඒක ගැන වෙනම ස්තුතියි.
හිහ් හිහ්, ආමි එකයි නේවි එකයි කොහොමහරි ජාලයේ ගේම දෙනවා. පියාඹන්නෙක් තවම නැති එක ලොකු අඩුවක්.
Deleteමොන තොප්පිද, ඔන්න ඔහේ ලියන්න. බරපතල වැරදි තිබුනොත් ඒවා හදාගන්න බලමු.
බොහොම ස්තුතියි කල්‍යාණ. ඔබ ඇත්තටම කලණ මිතුරෙක්.
සුබපැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteජය වේවා විචා ....බොක්කෙන්ම සුභ පැතුම් ...!!!!!!!!!!
ReplyDelete(බලාගෙන සිව් මංසල් වල භූතයෝ පෙරේතයෝ ඉන්න පුළුවන් ,,හැක් හැක් )
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
විනෝද වෙන්න
විනෝද වෙන්න
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
ඔන්න සින්දුවෝ, සින්දුව මෙතනටම දැම්මා. බොහොම ස්තුතතියි බොහොම පිං
Deletehttps://www.youtube.com/watch?v=BvVN0oieC6M
ඔබතුමා කර්නල් නිමල් රත්නායක කියා කෙනෙක් දන්නවාද?
ReplyDeleteදන්නවා. සන්නාහ සන්නද්ධ බලකායේ එක්කෙනාද? පාබල හමුදාවේ එක්කෙනාද?
Deletehttp://nelumyaya.com/?p=4831
ReplyDeleteබොහොම ස්තුතියි කල්‍යාණ
Deleteඔන්න ඉතින් ඔය කිව්වම තමා මතක් වුනේ මගේ බ්ලොග් පඩන්ගුවටත් අවුරුදු හතරක් වෙලා කියලා..
ReplyDeleteවිචාරක ඉතින් මුල්ම කාලෙ අදුන ගත්තු කෙනා වෙච්චි, නිතර නිතර ආගිය තැනත් වෙච්චි, පෞද්ගලිකව හමු වෙච්ච තුන්දෙනාගෙන් කෙනෙකුත් වෙච්චි, ළඟකදි වැඩිය කියවන්න නොලැබුනත් වෙච්චි.....එහෙනම් ඉතින් ඔන්න ඔහේ පුරුදු විදිහටම යමු ඉතින්.....
ජය වේවා !!
ළඟක හිටියනම් ගහනවා අම්මපා. ඇයි යකෝ නරකද ආපහු කුරුන්දේ කැලෑව කපලා සුද්ද බුද්ද කරලා ගත්තොත්?
Deleteපුරුදු විදිහට යමු කියලා මමයි කියන්න ඕනේ. අම්මපා 2016 දී වත් ආපහු පටන්ගම්මුද?
විචාරකතුමා... හදවතින්ම සුභපතනවා ... කියන දේ කෙලින්ම කියන ඔබතුමාගෙ ලක්ෂණයක්... ඔබ මෙතන දක්වා ඇති සමහර කරුණු වලින් ගුරුහරුකම් ලබාගන්නම්.. පිස්සු නං කෙලින්න එපා... කොහෙද පරණයි කියල ඔය උල්පත් හිඳෙන්නෙ...
ReplyDeleteහෙහ් හෙහ්, සජ්ජෝ, එදා ඉඳලා උඹ මට ලොකු හයියක්. උඹලා හැමදාම කියන්න තියනදේ කියන එකත් හරිම වැදගත්.
Deleteබොහොම ස්තුතියි. එහෙනම් අපි යමු ඉදිරියටම.
විචාරක ලොක්කො, මේ තියෙන්නෙ අනෝනිමසයෙක් විධියට තමුසෙ දවස් කීපයකට කලින් මාතලන්ගෙ බොගට ඇවිත් මම දාපු කමෙන්ටුවකට reply කරලා තියෙන විධිය.
ReplyDelete"AnonymousDecember 4, 2015 at 5:28 AM
කෝසල.. මේ ලියන මමත් අවුරුදු දොළහක රජයේ සේවයේ සර්විස් එකක් තියන කෙනෙක්.. එත් ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනවා රාජ්‍ය සේවය කියන්නේ එකම පල් හැලියක් කියන එක.... මේක මම ඇනොනිමස් ලියන්න හේතුව තමයි ඔයා වගේ පුද්ගලයින්ගේ හැසිරීම ගැන දන්නා නිසා. මේක මගේ ID එකෙන් ලිව්වොත් මගේ බ්ලොග් එක පුරාම වසුරු හෙලන එක ඔයා වගේ කෙනෙකුට සුළු දෙයක්. "
දැන් දෙන පොර ටෝක් එක......
"නිර්නාමිකයෝ:- දැනට සෑහෙන කාලයක සිට, මා නිර්නාමිකයන් ගැන තොරතුරු ගවේෂණයක් කරනවා. මේ සඳහා මා යොදාගත්තේ, හමුදා බුද්ධි තොරතුරු සෙවීම සඳහා, යොදාගන්නා ක්‍රමවේදය ඇසුරෙන් සකස් කරගත් ක්‍රමවේදයක්. තවමත් මෙය අවසන් කර නැති නිසා, සීමිත විස්තරයක් කරන්නම්. අපි බොහෝ දෙනෙක් දන්නවා, නිර්නාමිකයන් ලෙස එන්නේ, අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයි, ඉන් සෑහෙන පිරිසක්, බ්ලොග් රචකයන්ම බව. මා, ඔවුන්ගේ චර්යා රටාව ගැනයි, ගැඹුරින් අධ්‍යයනයක් කරමින්, දත්ත ගබඩාවක් සකසමින් ඉන්නේ. මගේ දත්ත සැසඳීමෙන් පසු, විශ්මයට පත්වන තොරතුරු උපකල්පනය කරගන්න පුළුවන් වුණා. ....දැන් අර නිර්නාමිකයන් පිරිස, ඔවුන්ගේ ඒ පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වන්නේ, මා වෙනත් අඩවිවල දක්වන අදහස් වලට, ඔවුන්ගේ වසුරු හෙළීමෙන්...."
තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි අතේකෝට් වැඩ කරල අනිත් උන්ට පොර ටෝක් දෙන්ඩ ? කොන්දක් නැති හිවලෙක්නෙ ඕයි තමුසෙ. අම්මගෙ රෙද්දෙ බුද්ධි අංශෙ..
සොක්කෝ, සොක්කා නිකං බොරු ආතල් ගන්න සිඟිත්තෙක් වීම ගැන කණගාටු වෙනවා. පස්ස පැත්තෙන් හිනා යනවා. බ්ලොග් ලියන පාහර උත්තමයෙකුට මේ ලිපියෙන් වැදුන පාර දරාගන්න බැරුව ගිහින් තියනවා. සොක්කාව මේ කමෙන්ට් එක දැමීමට පෙළෙඹේව්වේ කවුද කියා සොක්කා දන්නවනේ. සොක්කාගේ ප්‍රොෆයිල් එක පුස්සක්. ඒකෙ මොකවත් නෑ. ඒ කියන්නේ සොක්කා පුස්සෙක්.
Deletehttps://plus.google.com/117377055718933820642
සොක්කා ප්‍රොෆයිල් පින්තුරේ හදාගෙන තියෙන්නේ කන්නඩා චිත්‍රපටි නළුවෙකු වන යෝගේෂ් ගේ පින්තූරයකින්.
http://celebprofile.blogspot.com/2012/10/kannada-actor-yogesh-photos-movies-list.html
කරුනානායකලා කොහොමද කන්නඩා වෙන්නේ සොක්කාට තාත්තලා කීයක් ඉන්නවද?
සොක්කා කොහොමද කියන්නේ අර ඇනෝ කමෙන්ට් එක දැම්මේ මම කියලා. සොක්කාව අන්දවලා මේ කමෙන්ට් එක දාන්න පොළඹවපු කාලෙන් කාලෙට එක එක රස්සා වලට ගිහින් නන්නත්තාර වෙච්චි අහිගුන්ටිකයාට මගේ ලිපිය දිරවන්නේ නැති බව මම දන්නවා.
සොක්කා තව හුඟක් දේවල් දැනගන්න වෙනවා හමුදාව බුද්ධි තොරතුරු හොයන්නේ කොහොමද කියන එක දැනගන්න. ඒ නිසා සොක්කෝ සොක්කා සොක්කා විදිහට සයිඩ් එකේ ඉන්නේ නැතුව තමන්ගේ පුහු බව පෙන්නන්න ආවොත් වැඩි වයසකුත් නැතුව නිකං සවුත්තුවෙන එක විතරයි වෙන්නේ.
අම්මගෙ රෙද්දේ බුද්ධි අංශෙ කොහොම වෙතත් රෙද්දේ පිහදාගන්න ගිහින් වැරදීමකින් ගර්භාෂ ගතවූ ශුක්‍රාණුවකින් පඳුරක් අස්සේ උපන් සොක්කා ගැන දුක හිතෙනවා.
සොක්කා හිවලෙකුටවත් ජාතක වුණා නම් ඒ ගැන සොක්කා සතුටු වියයුතුයි.
සුබ පැතුම් විචා...
ReplyDeleteකැමති ඕනෙම දෙයක් ලියන්න, බ්ලොග් වල කියවන්න දේවල් හිඟ කාලයක් මේක...
ඒ නිසා කොයික ලිව්වත් වටිනවා...
බොහොම ස්තුතියි ලොකු පුතා. හැකි උපරිමයෙන් හරවත් දේවල් ලියන්නම්.
Deleteඔය කියන විදියට තව අවුරුද්දක් තියනවා..
ReplyDeleteනොනැවතී ඉදිරියටම යමු...
ජ ය වේ වා !!! හැමදේකටම
හිහ් හී..........ඒ කියන්නේ තව අවුරුද්දකින් මම බ්ලොග් පැන්ෂන් එකත් ගන්නවා. අම්මප කීයක් විතර හම්බවෙයිද දන්නේ නෑ.
Deleteබොහොම ස්තුතියි සුබ පැතුමට.
ඇනෝ උදවිය පස්සෙං හඹා ඒම ගැන මා දැකපු දෙයක් තමා,
ReplyDeleteඒ උදවිය දිවා රෑ නැතුව කැපවීමෙං පස්සෙං හඹා එනවා.
ඒ එන්නෙත් බොහොම සාර්ථක විදිහට ලියන උදවිය පස්සෙ (මං දැක්කා සෑම පස්සෙ, රසික හෙවත් කකා පස්සෙ, මාතලං පස්සෙ එහෙම ඒ උදවිය හඹා එනව.)
උත්සාහ කරන්නෙ කේන්ති ගස්සන්න
මගෙ නිර්දේශය නම්,
කේන්තිය පිටට පෙන්වන්න එපා.
මොන දේ කිව්වත් කරන දේ නවත්තන්නත් එපා. මොකද, ඇනෝ ලා බහුතරයකගෙ අරමුණ ඒකයි. ඒ උදවියගෙ අරමුණ අපි අතින් සාර්ථක උනොත් ඒ අය ජයගන්නවා.
එකෙක් දෙන්නෙක් මොන දේ කිව්වත්, අපි ලියන බ්ලොග්, අපිට විතරක් අයිති නෑ. මේව කියවන උදවියටත් අයිතියි. (චන්දන හිටි අඩියෙ බ්ලොග් එක වහල දැම්මා. ඒක කොච්චර පාඩුවක්ද අපිට?)
ස්තුතියි ඩ්‍රැකී, මම දැනට මේ ඇනෝලා ගැන හොයාගෙන යන කරුණු වලින් ලිපියක්ම ලියන්න පුළුවන් වෙයි.
Deleteහුඟක් ඇනෝලාට අවශ්‍ය විදිහට මාව නටවන්න බැරිවීම ගැන දුකට සහ බලවත් චිත්ත පීඩාවට පත්වී තිබෙන බව පෙනෙනවා. මම වෙලාවක ඔයාට කෝල් එකක් දෙන්නම්.
කේක් කෑල්ලක් කමු එහෙනං...
ReplyDeleteකෑල්ලක් මොකටද? හොඳ අයිසිං කේක් එකක් අරන්, ගහන්නද මූණට, මූණ වෙස් මූණක් වෙන්න.
Deleteකේක් වෙනුවට බයිට් කමුකෝ දවසක.
ආයිබෝං කිව්වා සෑර්.. සුබපැතුම් බොක්කෙන්ම.
ReplyDeleteමේවා ලේසියෙං ඇරල බෑ. සමරන්ඩ ඕනෑ ඇඹරිලා යන්ඩ.ඕ යේස් .. බ්‍රෑන්ඩ් එක දන්නවනේ :D
හම්මෝ............පත්තරේ. මොකද උඹ නැත්තේ කියලා හිත හිතා හිටියේ. සමරමු සමරමු. ආයේ දෙකක් නෑ ඔරේ මන්දන් වෙන්න සමරමු.
Deleteබොහොම ස්තුතියි.
මුල් කාලයේ සිංහල බ්ලොග් වලට ඇබ්බැහි වී සිටි මම, පසුකාලීනව මාක් සකස්බර්ගට පින්සිදුවන්නට බුකි පාලුවෙක් වූයෙමි.
ReplyDeleteඑහෙත් ඈත අතීතයේ කියවු ඔබගේ ලිපි පවා තවමත් මතක ඇත.
වඩාම මතකයේ ඇත්තෙ " සපත්තු පොලිෂ් කිරීමේ නිවැරදි ක්‍රමය" අළලා ලියූ ලිපියයි.
ඉත සිතින් සුභ පතමි
විෂයයන් සියල්ල කලවමේ ලියනවා නම් වඩා මනාපයි..