හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 June 2016

ඇය සංජීවනී නම් වූවාය

   සංජීවනී අපේ පවුලට (ඇත්තටම අපේ ලොකු අක්කාගේ පවුලට) බැඳෙන්නේ, 1990 දශකයේදී බවයි මගේ මතකය. ඇය අපේ ලොකු අක්කාගේ, දෙවැනි පුතාගේ බිරිඳ ලෙසයි, අපේ පවුලට බැඳුනේ. කෙල්ලෝ කොල්ලෝ යාලුවීම, කසාද බැඳීම, කිසිදු අරුමයක් නෙවෙයි නේ. ඒ වගේම තමයි, අපේ ලොකු අක්කාගේ පුතුන් තුන් දෙනාගෙන්, දෙවැනි පුතා සමග පෙමින් බැඳුණු,  රූපිකා සංජීවනී ද අල්විස්, ඔහු සමග විවාහ වුණේ, මුල් කාලයේදී, ඇගේ පවුලෙන් මෙන්ම අපේ ලොකු අක්කාගේ පවුලෙන්ද, සාම්ප්‍රදායිකව එල්ලවන බාධක සහ විරෝධතා, සාර්ථකව ජය ගනිමිනි. 

   සංජීවනී, ඉතා කෙටි කලකින්, අපේ ලොකු අක්කාගේ දියණියක් හා සමානව කටයුතු කරන්නට වීම, ඉතා විශ්මයජනක විය. අපේ ලොකු අක්කාට දියණියන් නැති නිසා, මේ ලේලිය, ඒ අඩුව මනාව පුරවන බව, අප සැමට මනාව පසක් විය. 

   සංජීවනී සතුව, ඉහත ආත්මයකින් ගෙනා, අපූරු මිනිස්කම් රාශියක් විය. එයින් ඉතාම අගනා වටිනා, මිනිස් ගුණ ධර්මය වූයේ, ඇය සතු ඉතා ඉහල මට්ටමේ සමාජානුයෝගයයි. සංජීවනී සමග විනාඩි 5 ක් කතා කරන ඕනෑම පුද්ගලයකු, ඇය සමග හිතවත් වන්නේ, ඈ සතුව යම් අද්භූත බලවේගයක් තිබුණ නිසායයි, වරෙක මට සිතේ. එමෙන්ම, එක් වරක් හමුවූ පුද්ගලයකු, නැවත හමුවූ විට, මම ඔයාව අහවල් අවස්ථාවේ දී හමුවුනා මතකද  කියා අසන්නට තරම්, හොඳ මතකයක් ඇයට තිබුණි. 

   රූපිකා සංජීවනී, ඇගේ නමට ගැලපෙන ලෙස රූපිකාවක් වූවාය. මේ සමග තිබෙන්නේ, මා ඉතා අපහසුවෙන් සොයාගත් ඇගේ පින්තූරයකි. නමුත් මෙහි දක්වෙනවාට වඩා, ඇත්ත වශයෙන්ම, ඇය රූපිකාවක් වූවාය. කිසිදු අවස්ථාවක, ඇගෙන්, තරහව නැමති දුර්ගුණය දකින්නට නොලැබීම, මා පුදුමයට පත්කළේය. ඇගේ සැමියා විවිධ දුෂ්කර අවස්ථාවන්ට පත්ව, රැකියාව පවා අහිමිවීමේ තත්වයට පත්ව, අසරණව ගිය අවස්ථාවන්හිදී, ඇය පෙන්වන ලද චිත්ත ධෛර්යය, විශ්වාස කල නොහැකි තරම් ඉහළ තත්වයක විය.  

   සංජීවනී, සෑමවිටම නොයෙක් විලාසිතාවන්ගෙන් සැරසෙන නමුත්, එය විකාරයක් නොව අලංකාරයක්ම විය. ඈ සතුව තිබුණු, වයසට වඩා බෙහෙවින් අඩු පෙනුම, ඈ ලද ජන්ම දායාදයක් යයි සිතමි. ඇත්තෙන්ම ඇය දෙදරු මවක්ට වුවද,  පාසල් නිල ඇඳුම ඇන්දුවානම්, පාසල් දැරියක මෙන් පෙනෙනු නොඅනුමානය. 

  සංජීවනී දක්ෂ ගායිකාවක වූවාය. ඇගේ සැමියාගේ බාල සොහොයුරාගේ විවාහ මංගල්‍යයේදී, ඇය, යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග ගීත ගණනාවක් ගායනා කල අතර, ඇගේ ගායන හැකියාව, එම තූර්ය වාදක මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්විය. 

   මා හමුවන සෑම අවස්ථාවකම, 'මාමේ' කියා, ළදැරියක මෙන් අතේ එල්ලී කතාකිරීමට' සංජීවනී පුරුදුව සිටියාය. සැබවින්ම ඇය අපේ පවුලට බැඳුණු ඩයනා කුමරියක් බව මම කියමි.

  හෘද අකර්මණ්‍යතාවක් සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන්, 41 හැවිරිදි සංජීවනී, පසුගිය ජූනි 8 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ලංකාවේදී ලබාදියහැකි ඉහලම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත්, (පිටරටකට ගෙනියන්නට, ඇගේ පවුලේ ඥාතීන් සූදානම් වුවත්, වෛද්‍ය උපදේශය වූයේ ඇයව නොසොල්වන ලෙසයි)  නොසිතූ ලෙස ඇය අප හැරගියාය. එය සංජීවනීගේ පවුලටත්, අපේ පවුලටත් දැරිය නොහැකි වේදනාවකි. සංජීවනීගේ දෙමව්පියන්, ඇගේ සැමියා, පුතණුවන් දෙදෙනා, සුසාන භූමියේදී හඬා වැටුණු අවස්ථාවේ දී, මගේ පපුවේ ගිනි ගුලියක් පත්තුවෙන බවත්, උගුරේ ගිනියම් යකඩ බෝලයක් රැඳී තිබෙන බවත් මට දැණුනි. 

   සංජීවනී යන නමේ තේරුම, ජීවත්වන්නිය කියන එක නේද? නමුත්, මේ සංජීවනී, මෙතරම් ඉක්මනින් ජීවිතය හැරදා යාම, ලෝක ස්වභාවය පිලිබඳව, යලිත් සිතා බලන්නට ලැබුණු අවස්ථාවක් ලෙස, මම දකිමි.

  සංජීවනීගේ සැමියා සහ දරු දෙදෙනා රැකබලාගැනීම, අපේ පවුල්වල යුතුකම බව නොකිවමනාය. එය එලෙසින්ම ඉටුවන බව සහතිකය. නමුත්, බිරිඳ නැති අඩුව ඒ සැමියාටත්, අම්මා නැති අඩුව ඒ දරු දෙදෙනාටත් දැනෙන එක වැලැක්වීම, හිතන තරම් පහසු නොවේ. 

  සංජීවනී, ඉන්න තැනක සිට, ඔබේ සැමියාවත් දරු දෙදෙනාවත් බලාගන්න. අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. 

  තමන්ගේ සැමියා මියගොස්, තුන් මසක් පිරෙන්නටත් කලින්, දියණියන් නැති තමන්ට දියණියකවූ, එමෙන්ම තම දෙවැනි පුතාගේ බිරිඳ, මෙසේ අකල් මරණයකට ගොදුරුවීම, මගේ ලොකු අක්කා දරාගන්නේ කෙලෙසකද යන්න, මට සිතාගත නොහැකිය. ඇගේ සෞඛ්‍ය තත්වයද, එතරම් යහපත් නොවීම, මා සිත තුළ දැඩි කම්පනයක් ඇති කරයි. 

  පසුගිය වසර 10 ක පමණ කාලය තුළ, අපේ පවුල්වලට අයත් අවමංගල්‍ය උත්සව සෑහෙන ගණනාවකට, මට සහභාගී වීමට සිදුවූ අතර, එයින් වැඩි ගණනකදී, අවමංගල්‍ය සභාව මෙහෙයවීමේ වගකීම, මා පිට පැටවුණි. මගේ අවමංගල්‍ය සභාව මෙහෙයවන්නේ කවුද කියා, මා එදා අක්කාගේ පුතාලාගෙන් විමසූවිට, ඔවුන් මා බදාගෙන හඬා වැටුනා මිස, පිළිතුරක් නොදුන්නෝය. 

2016 ජූනි මස 12 වැනි දින 2210 පැය 

   
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }