නෑ නෑ ඒ පස්මහ බැළුම් නෙවෙයි, මේ මගේ පස්මහ බැළුම්. වැඩේ කියන්නේ, ඊයේ තමයි මේ ලිපිය ලියන්න ඕනේ. නමුත්, අද රෑට රෑ වෙලා තමයි මතක්වුණේ. මොනවා කරන්නද, මතක්වෙච්ච වෙලාවේදි වත් ලියන්න එපායැ. ඈ.........? මොකක් ගැනද ලියන්නේ කියලද ඇහුවේ. අනේ වෙන මොකක් ගැන ලියන්නද පින්වතුනි, මේ මගේම බ්ලොග ගැන ලියනවා ඇර.
හප්පොච්චියෙ සෙල්ලන්ද කොල්ලො කිව්වලු. මේ දෙසැම්බර පහළොස්වැනිදාට, මේ බ්ලොග් කෙරුවාව පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ ආකාරයයි. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ වැඩේ හරියයි කියලා. ටික දවසක් ලිපි එක දෙක ලියවෙනකොට තමයි, තමුන්නාන්සේලාගේ 'පෙතිචාර' ලැබුණේ. එයින් ලද අහවල් දහිරියෙන් තමා, අද වනතුරු ලියන්නේ.
මේ අවුරුදු පහ ඇතුළත ලද, සතුටුදායක, කණගාටුදායක සහ අප්‍රසන්න අත්දැකීම් බොහොමයි. සතුටුදායක වන්නේ හොඳ ප්‍රතිචාර ලැබීම සහ සම්මාන වලින් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වීමයි. කණගාටුදායක වන්නේ, සමහර බ්ලොග් සහෘදයන්, බ්ලොග් ලිවීම මෙන්ම කියවීමද අතහැර දමා ඇති නිසයි. අප්‍රසන්න වන්නේ අමන පුද්ගලයන්, රිසි සේ බ්ලොග් ලෝකය පුරා තම දූෂිත සිත්වලින්, බ්ලොග් කමෙන්ට් වසුරු හෙලීමයි. තවත් සමහරු නිර්ලජ්ජිතව මගේ ලිපි සොරකම් කොට තමන්ගේ මෙන් පළකිරීමයි.
මගේ බ්ලොග් ලිපිවල ලියන යුද තොරතුරු සඳහා කමෙන්ට් වලදී පින්තූර සහ වීඩියෝ යෙදීමට අවශ්‍ය වෙනවා. නමුත් ඉතා මෑතකදී, ගූගල් සමාගම, එම පහසුකම අත්හිටුවීම මටනම් බලවත් පාඩුවක්. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී නම් ඒ හිරිහැරය නැහැ.
ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති.
ඉතා දීර්ඝ විස්තර රාශියක් සිතට ආවත්, ඒ සියල්ල යටපත් කරගෙන, මෙතෙකින් නවතින්නේ, 'සිතේ සවිය සහ ගතේ සවිය තිබෙනතුරු, ඔබ වෙනුවෙන් ලියමි' යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි.
2016 දෙසැම්බර් මස 16 දින 0020 පැය.