නැවතුණු තැනින් ......................
ඔන්න ඉතින් 10. 00 විතර වෙනකොට විශ්ව විද්‍යාලයට ගියා . එදා තමයි නේවාසිකාගාර පහසුකම් ලාබාදුන් දිනය . පසුදා සිට විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කළ යුතුව තිබුණා. මා නම් රැගෙන ගියේ බෑග් දෙකක් පමණයි. එහෙත් සමහර ළමයි ගෙනත් තිබුණේ රට යන්න ආවා වගේ බඩු ගොඩක් .
කොහොම කොහොමහරි කාමරයකුත් හම්බ වුණා. කාමරේ 6 දෙනයි. අනිත් අය පොළොන්නරුව , මැදිරිගිරිය, මන්දාරම් නුවර , පලාගල හා අරලගංවිලයි. සියලු පළමු වසරේ සිසුන් එකම නේවාසිගාරයකට යොමු කර තිබුණා. මේ වෙනකොට ජේෂ්ඨයන් සියලු දෙනා කඩියන් වගේ නවකයන්ට හා ඔවුන්ගේ දෙමවුපියන්ට උදවු කරමින් සිටියා .
කාන්තා නේවාසිකාගාරයට යාමට හැකිවුණේ මවට පමණයි . මගේ පියාට ලියාපදිංචි කළ ස්ථානයේදීම සමුදුන් මා මගේ මව සමග කාමරයට යනවිට ළමයි දෙදෙනෙක් වෙන්වීමේ දුක දරාගන්න බැරිව අඬමින් හිටියා . එය හිත පාරවන සුළුයි. මොකද මෙතැන් සිට අසනීපයක් උනත් දෙමවුපියන් ළඟ නැතිනිසා . බොහොම අමාරුවෙන් මා මගේ හිත හදාගත්තා.
එදා හවස ඉඳලා අපට බොහොම සැලකිලි සත්කාර හිමි උණා. පසුදා ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන යනලෙසත් උපදෙස් ලැබුණා. වැඩිපුර ඒ ගැන සඳහන් උන නිසා අපි ඒ ගැන වැඩිපුර සලකා , බොහොම සරළ ලෙස ලැස්ති උණා. එදින හවස පරක්කු වී පැමිණි අයෙකු අප කාමරයට දැම්මා. අපට ඒ ගැන ඇතිවූ සැකය පරිදි ඇයගේ බෑගය ඇවිස්සුවා. ඇයගේ ජාතික හැඳුනුම් පත හමුවුණා. ඇයගේ උපන් දිනය නිසා තරමක සැකය වැඩිවුණා. ඇය හිටි හැටියේ අතුරුදහන් වෙලා නැවත පැමිනුණා. රාත්‍රියේ දී වෛද්‍යවරියක්ද පැමිණියා. වෙද නලාවක් රැගෙන ආ ඇය අපට තිබෙන විශේෂ රෝග පිලිබඳ විමසීමක් කරා.
පසුදා උදයේ අමරදේව ශ්‍රවණාගාරයේ සිසුන්ට හා දෙමවුපියන්ට රැස්වීමකුත් ඉන් අනතුරුව තේපැන් සංග්‍රහයකුත් පැවැත්වුණා. මගේ පියා කිසිදු ආහාරයක් හෝ තේ පානය කළේ නෑ. ඒ වෙනුවට ඔහු මගේ කනට කරලා කිවුවේ අනිවාර්යයෙන් රැග් එක තියනවා. සූදානම් වෙන්න කියලා විතරයි. මමත් ඉතින් චීත්ත ගවුමක් , සෙරෙප්පු දෙකක් අරගන ගියනිසා බය වුනේ නෑ.සියල්ල ඉවරවෙලා දෙමුපියන්ට සමුදීලා අපට ඉංග්‍රීසි දේශනයක් පැවැත්වුවා.එය ඉවර වෙලා නේවාසිකාගාරයට යනවිට කැඳවීමක් ලැබුණා, නැවත ශ්‍රවාණාගාරයට යන ලෙස. අපි ගියාට පස්සේ තේරුණා මොකක්දෝ අමුත්තක්. සියලුම දොරවල් තදින් වැහුවා. ඔවුන් එකදිගට ලංකාවේ අති ශුද්ධ සිංහල භාෂාවෙන් අපව ඇමතුවා. එච්චර ශුද්ධ සිංහල වචන එක පොකුරට මම ඇහුවේ එදා .
ඔන්න පුතෝ ඒ වෙලාවේ තමා මංගල වෙඩිමුරය පත්තු කළේ . ඒ වෙලාවෙම අපව පැන්නුවා කැන්ටිමට . කැන්ටිමේ එකලඟ එකපොකුරට වාඩි කෙරෙවුවා. දැන් ඉන්නවා මීයට පිඹලා වගේ සමහරු අඩනවා , සමහරු බයවෙලා . සමහරුන්ට වෙච්ච දේ හිතාගන්න බෑ. දැන් ඔන්න අපේ ජේෂ්ඨ උත්තමයෝ, උත්තමාවියෝ අප ඉදිරියට ආවා. එතන ඉඳලා නවක අනුරූපිතාවය ගැනත් අපේ කාලසටහන ගැනත් හොඳ අවබෝධයක් ලබා දුන්නා.
උදේ 6.00 වෙනකොට නේවාසිකාගාරය ළඟ පෝලිම් වෙන්න ඕන.චීත්ත ගවුම ඇඳලා , රබර් සෙරෙප්පු දාලා , කොන්ඩේ තෙල්ගාල කරල් දෙකක් බැඳලා රබර් පටි ගැටගහලා , බූල් දාන්න තහනම් . රැග් එක ඉවර වෙනකම් එකම ගවුම අඳින්න ඕන. රැට හෝදලා උදේට අදින්න ඕන . 7.00 උදේ කෑම ඉන්පසු 8.30 වෙනකම් ජේෂ්ඨ උත්තමයෝ ,උත්තමාවියෝ යටතේ 8.30 - 12.30 දේශන හා නවක අනුරූපිතා වැඩසටහන් 12.30 - 1. 30 දිවා අහාරය . 1.30 - 4.30 වෙනකල් දේශන හා වැඩසටහන් 4.30 පස්සේ නින්දට යනකන් ඔවුන් යටතේ. රෑ කෑම නිදහසේ ගන්න දෙනවා . රෑ කෑම 7.30 රෑ 8. 30 වෙනකොට හොස්ටල් කොමන් එකට රැස් වෙන්න ඕන . ඒක ඉවර වෙන්නේ රෑ 1.00 ට .
ඉතින් මගේ යාලුවෝ මගේ කන ළඟ ටයිම් පීස් ඔරලෝසුවක් තිබ්බ 6.00 ට පෝලිම් වෙන්න 4.30 ට නැගිටින්න ඕන . නිදා ගන්න තියන පැය ගාන බොහොම සීමිතයි .
දවස් දෙකක් විතර යනකොට එක දවසක් පාන්දර මගේ කන ළඟ ඔරලෝසු රාජයා වදිනවා . මොකද නින්ද ගියොත් වැඩේ දෙල් හින්දා . ටික් ... ටික්....
ඔහොම වදිනකොටම එකෙක් අහනවා................
කීයද බං වෙලාව
නිදිමතේම මං කියනවා හතර හමාරයි,හතර හමාරයි ජේෂ්ඨ උත්තමාවිය කියලා .
මොකද ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු හින්දා .
ඒ පාර මගේ යාලුවා අහනවා, ඈ බං,උඹට මාව පේන්නෙත් උත්තමාවියක් වගේද කියලා ඒ පාර පාන්දර හැමෝටම හිනාවෙන්න ඒක කාරණයක් වෙනවා .
අපිට කෑම කන වෙලාවට බෙර පදයක් කියලා .වෙලාව කාල තමා පස්සේ බත් කෑවේ ඒ බෙරපද සමාජ ගත කරන්න බැරි ඒ තරම් ශුද්ධ සිංහල බෙරපදයක් තාම මං අහලා නැති හින්දා. දේශනවලට ගියාට වැඩක් නෑ. ඒවා ඇහෙන්නෙ නෑ . එකසිය ගානට නින්ද යනවා . නිදාගන්න බෑ. මහාචාර්ය වරයාගෙන් බේරුනාට උත්තමයන්ගෙන් බේරෙන්න බෑ. තව තුන් දවසක් යනකොට එක උදෑසනක අපේ බැච් එකේ කොළු ගැටයන්ගේ කොන්ඩ තලේබාන් ප්‍රහාරයකට අහුවෙලා තිබුණා. එකෙක්වත් මේ මොකාද කියලා අඳුරගන්න බෑ.
අපේ අයට රෑට නින්ද යනවා එතකොට හීන කියන්න වෙනවා හීන හදන්නේ උත්තමාවියෝ ඒ අය හදල දෙන හීනෙ කියන්නයි තියෙන්නේ .
ඉතින් මෙහෙමයි ඒ හීනෙ.මමයි පිරිමි ළමයෙකුගේ කාඩ් එකක් උදා ( ඉත්තෑවා) යි ගියා මල් උයනට.එතැනදී මට නින්ද ගියා.මම ඇහැරිලා බලනකොට මම හිටියේ තව පිරිමි ළමයෙක්ගේ කාඩ් එකක් ( කකුළුවා ) එක්ක .
ඊළඟට සමහරු මේකෙන් ගැලවෙන්න බොරු ලෙඩ ගත්තොත් ඔවුන්ට උනේ අසීමිතව ශුද්ධ සිංහල කවි කියන්න .
සතියක් පහුවෙලා අපි දැන් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නකොට . කොට බිත්තියක් තිබුනා අපේ දකුණු පසින් , ඒක උඩට එක පාරටම පැන්නා කොල්ලෙක් , ෂර්ට් එක අනික් පැත්ත අන්දලා , කලිසම කණපිට අන්දලා ලණුවකින් ගැට ගහලා , මේස් දෙක අත් දෙකට දාලා . බෙල්ට් එක පස්සෙන් එල්ලලා. සපත්තු බෙල්ලට දාල
මූ ඇවිල්ල කියාපි මමත් උඹලගේ එක්කෙනෙක් මාවත් ගනියෝ කියලා. ඌව දැක්කාම හිනාව ඉවසන්න බෑ . නමුත් හිනා වෙන්න තහනම් . ඒ වුනාට හිනා නොවිච්ච එකෙක් නෑ.එදා තමා ඉස්සෙල්ලම කොහොඹ කොළ බැච් එකේ ඔක්කොම කෑවේ.
ඔහොම ඉන්නකොට මාව බලලා යන්න අපේ ගෙදරින් ආවා . අම්මයි, නංගියි, තාත්තයි . මේගොල්ලෝ ආවේ සෙනසුරාද දවසක , දේශන නැතුව ඇති කියලා හිතලා දේශනා නැති වුණාට අති සුපිරි දේශන යනවා කියලා ඒගොල්ලෝ දැන සිටියේ නෑ.
මට දැන් මාර සැලකිලි. කොන්ඩ කරල් දෙක ගලවලා බෑන්ඩ් එකක් දාල , මට හොඳ හීල් සපත්තු දෙකක් දීලා. කොහොම හරි අම්මලට කැම්පස් එක ඇතුලට එන්න දීලා නෑ. එළියේ බෙන්ච් එකක නවත්වාගෙන . දැන් මම ගියා . දැන් මට පේනවා වටේම සීනියස්ලා මෙහාට ඇන්ටනාව දාගෙන ඉන්නවා මොකද මං මොනවා හරි කියයි කියලා.
අම්මා - මොකද ළමයෝ මේ ?
මම - අයියෝ අම්මේ කෑ ගහන්න එපා. ගෙදර ඇවිත් කියන්නම්. දැන් මොකුත් කියන්න බෑ.
තාත්තා - මං දිහා බලාගෙන ඉන්නවා .
පස්සේ මං ඇහුවා මැච් එකක් යනවා නේ කියලා. මොකද මං කැන්ටිමේ දී සීනියස්ලා මැච් එක බලනවා දැක්කා .
නංගි - ඔව් සංගක්කාර තමා වැඩිපුරම ගැහුවේ කියලා . මගේ තත්වය තේරුම් ගත්ත ගෙදර අය විනාඩි 15 ක් විතර ඉඳලා ගියා.
එදා රැ මමත් කතාවක් කිවුවා . ඒකත් සීනියර් කෙනෙක් ගේ රචනයක්. මම ගෙදර අය එක්ක කතාකරනවා අහන් ඉඳපු . හැමෝම ඉස්සරහා මට කියන්න කීවා .
සංගක්කාර මට ලවු මම සංගක්කාරට ලවු බට් මට හුලං
අපේ කෙල්ලෝ එදා දෙවෙනි වතාවට කොහොඹ කොළ කෑවා.....................
විචාරක දියණිය රාත්‍රී 12.00 පැයට