ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට,මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා සතුව එම පොත ඇති බවට මතකයක් ඇතිබවත්, අවශ්‍යනම් ඒ පොත මා වෙත ලබාදිය හැකි බවත්, දන්වා තිබුනා. මා ඒ සඳහා දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙන්, ඒ මහතාගේ පියා වන විජේරත්න නමැති මහතා විසින්, තැපැල් මගින් මට මේ පොත ලැබෙන්නට සැලැස්වූවා. සිංහල බ්ලොග් ලිපි කියවන සියළුම පාඨකයන්ගේ යහපත තකා, එතුමන් දෙදෙනා විසින් කරන ලද මේ සත්කාර්යය වෙනුවෙන්, ඒ දෙදෙනාටම, මාගේ හද පත්ලෙන්ම නැගෙන කෘතවේදීත්වය, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. එමෙන්ම මගේත් පාඨක ඔබ සැමගේත් අවධානය මේ පොත වෙත යොමු කළ, වෛද්‍ය රුවන් එම්. ජයතුංග වෙතද, අප සැමගේ විශේෂ ස්තුතිය හිමි වියයුතුයයි මා සිතනවා.
මේ කෘතිය කියවා බැලීමෙන් පසු මට විශාල සතුටක් මෙන්ම දුකක්ද ඇතිවුණා. සතුටක් ඇතිවුනේ, ඉතා දිගු කලකට පසු, අපේ ළමා කාලයද සිහිගන්වන අගනා ළමා කතාවක් කියවන්නට ලැබීම නිසයි. දුකක් ඇතිවුනේ, අප එදා ඉහළින්ම රසවිඳි ගැමි පරිසරය තුළ ගතකළ අපේ ළමා කාලය, අද දරුවන්ට අහිමි වීම සහ ඒ පරිසරයද අද අපිට අහිමිවී තිබීම නිසයි. වෛද්‍ය ජයතුංග මේ පොත ගැන කර තිබුණු සටහනේද සඳහන්වන පරිදි, මෙවැනි අද්භූත රසය සහිත කතාවක් 1960 දශකයේදී ලියන්නට තරම්, මේ ලේඛකයා තුළ මුහුකුරා ගිය චින්තනයක් මෙන්ම, ළමා කතාවක් ලිවීමේ භාරධූර කාර්යය පිළිබඳව, පෘථුල අවබෝධයක් ද තිබුණු බව, මනාව පැහැදිළි වෙනවා. මා සිතුවා මුලින්ම පොතේ පිට කවරය, පසු කවරය සහ ආරම්භක පිටු කීපය ඔබට පෙන්වන්නට.
මේ පින්තූර වලින් සාක්‍ෂි ලැබෙන නිසා පොතේ පැරණි බව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැතැයි මා හිතනවා. ඒ කාලයේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමිතිය කෙබඳුද යන්නත් මෙවැනි පොත් වලින් පැහැදිළි වෙනවා.
පොත ආරම්භයේදීම කතුවරයා අපට කතා නායකයා හඳුන්වා දෙනවා. ඔහු කුඩා පිරිමි ළමයෙක්. එමෙන්ම කතුවරයා ඒ දරුවාගේ සිතුවිලි අපූර්ව ආකාරයෙන් අපවෙත ඉදිරිපත් කරනවා. ආරම්භක පරිච්ඡේදය කියවා බලමු.
මේ පළමුවැනි පරිඡේදය කියවද්දී ඔබට ඇතිවුණු හැඟීමම තමා මටත් ඇතිවුනේ. අද වැඩිහිටියකුව සිටින මේ කතානායකයා, එදා තම ළමාකාලය ගැන කියන විස්තරයක්, මේ පොතේ ඇතුළත්ව ඇතැයි යන හැඟීම තමයි මටත් ඇතිවුනේ. නමුත් එක් එක් පරිඡේදය තුළින් කතුවරයා පාඨකයාව විවිධ මානයන් වෙත ගෙනයනවා. සාමාන්‍ය දැනුම, විද්‍යා තොරතුරු, වලින් පටන්ගන්න මේ කතාවේ, සමහර පරිච්ඡේද දේශපාලන සහ සමාජ විවරණ අදහස් වලින්ද පරිපූර්ණ වන අතර, එය ඉතා අපූරු ලෙස අදටත් ගැලපෙනවා.
පොතේ දෙවැනි, තුන්වැනි, සහ හතරවැනි ඡේද වෙන්වී තිබෙන්නේ අඟහරු ලෝකයෙන් පැමිණෙන මේ අපූරු බළලා සහ කතානායකයා වන කුඩා පිරිමි දරුවා අතර හමුවීම සහ ඔවුන් දෙදෙනා තර මිත්‍ර සම්බන්ධය ගොඩනැගීම සහ තහවුරු වීම පිළිබඳව කදිම විස්තරයක් ගෙන එන්නටයි. එම ඡේද වලින් තෝරාගත් කොටස් කීපයක් පහත දක්වනවා.
තමන් මේ පොත ලියන්නේ අඟහරු ලොවින් පැමිණි බළලාගෙන් අසාගෙන බව කතුවරයා කියනවා.
එමෙන්ම ඔහු මේ කතාව මගින් සරල විද්‍යා දැනුමක් පාඨකයාට ලබාදෙන්නට උත්සාහ කරනවා.
අඟහරු ලෝකයට බළල්ලු ගිය හැටි කියන්නේ මෙහෙමයි. අතීතයේ දඹදිව වේදේහ රජ්ජුරුවෝ කාන්තාවන්ට බොහොම ආසයිලු. ඉතින් මේ රජ්ජුරුවන්ගේ අසාවට එක්තරා කුමාරියක් විවාහ කරගන්න හිමාලයේ හිටිය රත්තරන් කෙඳි සහිත බලලුන්ව මරා සේලයක් සාදා අර කුමරියට තෑග්ගක් හැටියට යවන්න හදනවා. මහෞෂධ පණ්ඩිතයෝ ඒ කාලේ හිටිය විද්‍යාඥයන් මගින් ඒ බළලුන්ව අඟහරු ලෝකෙට යවනවා.
අපූර්වත්වය තුළ, ඉතිහාසය, නවීන විද්‍යා දැණුම, කැටිකරගනිමින් ඇදීයන මේ කතාවේ, එදාට මෙන්ම අදටත් වලංගු දේශපාලන ප්‍රහසනය මීළඟ කොටසෙන් ඔබවෙත ගෙන එන්නම්.