නොසිතූ විදිහට ටික දිනක් පරිගණකයෙන් ඈත් වී ඉන්නට සිදුවුණා. පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ සිදුවුණ අවමංගල්‍යයන් දෙකක් සහ, තුන් මාසයේ පින්කමක් නිසා, විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදුවුණා. අළු යට ගිණි නමින් ලියන්නට ආරම්භ කළ ලිපියේ දෙවැනි කොටස සකසන්නට ඉඩ නොලැබුණේ, ටෙලිකොමා මට කළ අරියාදුව නිසයි. ටෙලිකොමා ගේ මාර්ග බාධකය ඉවත්වුණේ, අගෝස්තු 31 රෑ 12 ට යි. නමුත් අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය හා කාලය කැපකිරීමේ යුද්ධයේ යෙදී සිටින අතර, එහේ මෙහේ දුවන ගමන් ලැබුන විවේකයේදී, සහෘද බ්ලොග් වල කමෙන්ට් එකක් දෙකක් දමනවා හැරෙන්නට, වෙනත් කිසිවක් කරගන්නට ඉඩක් ලැබුනේ නැහැ. ඔය අල්ල පනල්ලේ, 'ජනෙල් 10' ලැබුණත්, ඒ ගැන ලියන්න හිතාගෙන හිටිය ලිපියත්, අතපසුවී ගියා. පසුගිය දිනවල මා ලද අත්දැකීම්, අපේ අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳව නැවත සිතා බැලීමක් කරන්නට, මා තුළ පෙළඹීමක් ඇතිකළා. ඒ නිසයි මේ කෙටි ලිපිය ලියන්නේ.
පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ මරණ දෙකක් සිදුවුණා. එකක් නව යෞවනයේ සිටි තරුණයකුගේ මරණය. 23 හැවිරිදි ඔහු මියගියේ, වන සතුන් නැරඹීම සඳහා ජාතික වනෝද්‍යානයක යමින් සිටියදී, ඔහු ගමන්ගත් ජීප් රථය පෙරළීමෙනුයි. ඉදිරි පස වම් පැත්තේ අසුන්ගෙන සිටි ඔහු, රථයෙන් එළියට වැටීමෙන් පසු, ජීප් රථය ඔහුගේ ඇඟ මතටයි පෙරළී තිබෙන්නේ. දැඩි සත්කාර මැද එක් දිනක් පමණයි ඔහු ජීවත් වුණේ. අපේ රටේ තවමත්, හදිසි ආපදා සඳහා කඩිනම් ආධාර ලබාදීම අතින් අපි ඉන්නේ, ප්‍රාථමික මට්ටමකයි. මේ තුවාලකරු, ගුවන් මගින්, ප්‍රධාන පෙළේ රෝහලකට ගෙනයන්නට හැකිවුනා නම්, ජීවිතය රැකගන්නට තිබුණා.
දෙවැනි මරණයත් අපේ අසල්වැසි, මගේ හිතවතකුගේ මවගේ මරණය. ඇය 77 හැවිරිදි, ඉතා නිහඬ, පිනට ලැදි ජීවිතයක් ගතකළ මාතාවක්. බොරු විච්චූරණ කවදාවත් ඇය ළඟ තිබුනේ නැහැ. කවදාවත්, කාගේවත් ඇද කුද හෙව්වේ නැහැ. කිසිම කෙනෙකුගේ වැරැද්දක්, නරකක් කියනවා මා අසා නැහැ. ඇය මට සැළකුවේ ඇගේ බාල සහෝදරයකුට වගේ. දීර්ඝ කාලයක සිට ඇය විවිධ අසනීප තත්වයන් කීපයකින් පෙළුනත්, තනිවම දෛනික වැඩකටයුතු කරගත්තා. මීට පෙර ද ඇය හදිසියේ අසනීපවී, රෝහල් ගතකර සුවය ලබා පැමිණියත්, මෙවර රෝහල් ගතකර පැයකට පමණ පසු, මියගියා.
ඉහත සඳහන් තරුණයාගේ අවමංගල්‍යය, ඔහුගේ මවට අයත් (ඇත්තටම ඔහුට අයත්) අපේ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත්වෙනු ඇතැයි අප සිතුවත්, අපේ ප්‍රදේශයට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි, ඔහුගේ සහෝදරියගේ නිවසේ පවත්වන්නට, ඒ පවුලේ අය විසින් කටයුතු සූදානම් කෙරුණා. මේ නිසා, අපේ සමීප සහයෝගය, ඒ අවමංගල්‍ය කටයුතු සඳහා ලබාදෙන්නට අපහසු වුණා. කෙසේ වෙතත්, ඒ පවුලෙන් ලැබුණ විවිධ ඉල්ලීම් නිසා, කොතරම් දුෂ්කරතා තිබුණත්, විවිධ ආධාර උපකාර කරන්නට අපට සිදුවුණා. මේ අවමංගල්‍ය දෙකේදීම, පොදුවේ මා නිරීක්‍ෂණය කළ කරුණු, අප තවමත් පරණ හණමිටි කරපින්නාගෙන යන ජන කොට්ඨාශයක් නොවේද යන සිතුවිල්ල, මා සිත තුළ ජනිත කළා. අර තරුණයාගේ අවසන් කටයුතු සිදුකරන්නට පෙර දිනයේදී තමයි අර මව මියගියේ. මේ නිසා අපෙන් සෑහෙන පිරිසකට, තම රැකියා වලින් නිවාඩු ලබාගෙන, (පෞද්ගලික අංශයේ රැකියා කරන අය ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා) කොටස් දෙකකට බෙදී, මේ අවමංගල්‍ය දෙකේ වගකීම් බෙදාගෙන කරන්නට සිදුවුණා. පාර දෙපස තණකොළ කපා පිරිසිදු කිරීමේ සිට, කෑම පිසින ලද භාජන ඔසවාගෙන යාම, ඒවා සෝදා පිරිසිදු කිරීම දක්වා, දහසකුත් එකක් කාර්යයන්හි නියැලෙන්නට, අපට සිදුවුණා.
එපමණක් නොවෙයි, දෙවැනි අවමංගල්‍යය අවසන් කළ ඊයේ දිනයේම රාත්‍රියේ, අසල්වැසි තවත් හිතවතකුගේ සහෝදරිය මියගොස්, තුන් මසක් පිරීමේ මතක ධර්ම දේශනාව සහ දානය (දානය මේ ලිපිය ලියන්නට පටන් ගත් අද, එනම්, සැප්තැම්බර් 5 වැනි දිනට යෙදී තිබුණා) යෙදී තිබුන නිසා, ඒ සඳහා අවශ්‍ය සහයෝගය, ආධාර උපකාර කරන්නටත් සිදුවුණා. මේ නිසා, කාර්ය බහුල, වෙහෙසකර, දින ගණනාවක් ගතකරන්නට, අපේ ප්‍රදේශයේ සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සියළුදෙනාටම පාහේ සිදුවුණා.
පසුගිය දින කීපය තුළ, මා නිරීක්‍ෂණය කළ කරුණු, පහත දක්වනවා.
- මංගල්‍ය කටයුතුවලදී කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු වලදී බොරු මහන්තත්තකම්, ආරූඪ කරගන්නට ධනය වැය කරමින්, විවිධ සැරසිලි, අලංකරණ, කරන්නට මෙතරම් වෙහෙසක් ගන්නේ ඇයි? තමන්ට නැති තත්වයක් ලෝකයට පෙන්වීමට විනා, මියගිය කෙනාට ගෞරවයක් ලබාදීමට නෙවෙයි නේද?
- විවිධ ප්‍රභූවරුන්, මැති ඇමති වරුන්, උසස් රාජ්‍ය නිළධාරීන් වෙත, දූතයන් මගින් පණිවිඩ යවා, ඔවුන් විනාඩි පහකට හෝ අවමංගල්‍ය නිවස වෙත ගෙන්වා ගන්නට, මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?
- තමන්ට මුදල් වියදම් කිරීමේ ශක්තිය තිබුණු පළියට, පිටින් ඔප දැමූ ලෑලි පෙට්ටියකට, ඉතා විශාල මුදලක් ගෙවන්නෙත්, කිලෝමීටරයකට රුපියල් 1000 කට වඩා අය කරන, අති විශේෂ අවමංගල රථයක් යොදාගන්නෙත්, තමන්ගේ හිතට බොරු කරගන්නටත්, ලෝකයාට බොරුව මවා පෑමටත් නොවේද?
- යාන්ත්‍රිකව නිපදවන කිරිකෝපි සඳහා යන වියදමෙන්, කුලියට පුද්ගලයන් දෙදෙනෙකු යොදවා, විදුලි බෝයිලේරුවකින් ජලය උණුකොට, එකවර, කිරි තේ, කිරි කෝපි, කහට තේ, බෙලිමල්, වැනි පාන කීපයක් සැකසිය හැකියි. නමුත්, අහවල් වෙළඳ නාමයේ එක දුන්නම නම්බුව වැඩියි. (සීනිත් වැඩියි)
- එක ළඟ අවමංගල්‍ය එකකට වැඩි ගණනක් සිදුවූ විටක, ඒ සෑම අවමංගල්‍ය නිවසකටම, ගමේ සමිතියෙන් ලබාදෙන සුබසාධක පහසුකම් සියල්ලම, එකවර ලබාදිය නොහැකි බව දැන දැනත්, අපේ අවමංගල්‍යයට ප්‍රමුඛත්වය ලැබියයුතු යැයි සෑම පාර්ශවයක්ම සටන් කරන්නේ ඇයි?
- තමන්ට හැකියාවක් නොතිබුණත්, මානුෂිකත්වය උදෙසා, සමහර නිවෙස් වලින්, ඉතා දුකසේ උයා පිහා ගෙනගොස් ලබාදෙන ආහාරවල, රසගුණ විවේචනය කරන්නේත්, ඒ ආහාර නිසිපරිදි පරිභෝජනය නොකොට ඉවත ලන්නේත් ඇයි? පසුගිය දිනවල, එක් අවමංගල්‍ය නිවසකට සමිති සාමාජිකයන්ගේ වියදමෙන් ලබාදුන් ආහාර අති විශාල ප්‍රමාණයක්, (රෝද දෙකේ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පිරෙන ප්‍රමාණයේ තොග දෙකක් ඌරු කොටුවකට යැවුණා) ඉවත ලා තිබෙනු දුටු මට, දැඩි කළකිරීමක් ඇතිවුණා.
- මියගිය අය ගැන බොරු වර්ණනා කරමින්, කාලය කා දමන දීර්ඝ ගුණ කථන ගණනාවක් පවත්වන්නේ, කාව සතුටු කිරීමටද? තමන්ගේ ඥාතියාට මෙපමණ ආදරයක් තිබුණා නම්, ජීවත්ව සිටියදී ඒ ආදරය නොදැක්වුවේ ඇයි?
- එවෙලේ ලියාදෙන කොළ කෑල්ලක තිබෙන දේවල්, වඩා වර්ධනය කරමින්, මියගිය අය ගැන පෞද්ගලිකව තොරතුරු නොදන්නා භික්ෂූන් වහන්සේ, විප්‍රකාර අනුශාසනා කරන්නේ ඇයි?
- ප්‍රදේශවාසී අනෙකුත් නිවැසියන් අපහසුතාවයට පත්කරමින්, ඔවුන්ගේ ගෙවතුවල අති ගස්, නිවාසයේ වහලය, ප්‍රයෝජනයට ගනිමින් කොඩිවැල් අදින්නේත්, වාහන නැවත්වීමට ඉඩ නැති බව දැන දැනත්, ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට බාධාවන පරිදි, අවමංගල නිවස වෙත එන වාහන නවත්වා තබන්නේත්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය යොදාගන්නේත්, ශෝක ප්‍රකාශ බැනර්, අසල්වැසි නිවෙස්වල වැටේ සවිකරන්නේත්, ඇයි?
- කාඩ් සෙල්ලම් කිරීම, කැරම්, දාම්, සෙල්ලම් කිරීම නොකළොත් නිදිමරන්න බැරිද? මහා හඬින් උසුළු විසුළු කරමින්, එසේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මකද? විශාල පිරිසක් රෑ එළිවනතුරු මළ ගෙදර සිටියේ නැත්නම්, මළ සිරුරට පණ එයිද?
ඔබටත් කියන්න බොහෝ දේ ඇති. අපි සංවාදයක යෙදෙමුද?
2015 සැප්තැම්බර් මස 06 වැනි දින 0023 පැය