හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 October 2015

අවස්ථාවාදී ගැහිල්ල මෙන්න මෙහෙමයි................. What are the IEDs

Stab Bihind

තමන්ගේ හතුරෙකුට ගහන්න හිතුනම මිනිස්සු විවිධ ක්‍රම වලින් ගහනවනේ. මුලින්ම බලන්නේ කටින් ගහන්න. ඒක අසාර්ථක වුණොත් වෙන අය ලවා අපහාස උපහාස කරවීම, අද කාලේනම් අන්තර්ජාලය ඔස්සේ ගැහීම, (අපේ කාලයේ කැලෑ පත්තර ගැහුවා වගේ) වගේ දේවල් තමා කරන්නේ. බැරිම තැනදී සහ තමන්ගේ කොන්ද පණ තියන, හිත හයිය තියන මට්ටම අනුව තමා, අතින් පයින් හෝ අවි ආයුධ යොදාගෙන ගහන්න එන්නේ. නමුත් ලෝක සම්මත නීතිය අනුව, මේ අවි ආයුධ පාවිච්චිය බොහොම පරෙස්සමෙන් කරන්න ඕනේ. ගෙදර තියන එළවළු කපන පිහියත්, මාරක ආයුධයක් කරගන්න පුළුවන් නේ. ඇයි කතුර? පුවක් කප කපා ඉන්න ගමන්, ගිරයේ යට අණ්ඩේන්, තමන්ගේ තරහ කාරයකුගේ පපුවට අනින්න පුළුවන් මැරෙන්නම. අද කාලයේ තියන, ඝන ලෝහයෙන් නිමවා ඇති සමහර ටෝච් වලින්, ඔලුවේ පිටුපසට වැරෙන් පහරක් එල්ල කරන්න පුළුවන්, මැරිලා වැටෙන්න. මේ වගේ, ක්ෂණිකව, ආයුධ බවට පරිවර්තනය කරගන්න පුළුවන් දේවල් ලැයිස්තුවක්, ඔබටත් කියන්න පුළුවන් බව මා දන්නවා.

   මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන, 'අවස්ථාවෝචිතව සකසා ගන්නා පිපිරීම් උපකරණ  - Improvised Explosive Devices' = IEDs නමැති මාතෘකාව ගැන හඳුන්වා දෙන්නයි. මේ improvised කියන වචනයට, 'වැඩිදියුණු කරණ ලද' කියන යෙදුම සම්බන්ධ කරන්න මම අකමැතියි. මොකද, මේ ආකාරයේ සමහර පිපිරුම් උපකරණ, වැඩි දියුණු කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ, වෙනස් කිරීමක්. 

මොකක්ද අවස්ථාවෝචිතව සකසාගන්නා
පිපිරුම් උපකරණයක් කියන්නේ?

   ඔව්, ඔක්කොටම කලින් ඒක නිර්වචනය කරගැනීම වැදගත්. අවස්ථාවෝචිතව සකසාගත් පිපිරුම් උපකරණයක් කියන්නේ, අවශ්යවිටක, අවශ්‍ය ස්ථානයක ගෙනගොස් තබා ක්‍රියාත්මක කරන, එසේ නැතහොත් අවශ්‍යවිටක යම්කිසි ස්ථානයක ක්ෂණිකව අටවවා ක්‍රියාත්මක කරවනු ලබන, සාමාන්‍ය සම්මත ක්‍රමයට වඩා වෙනස්, මාරාන්තික ආකාරයකින් සැකසෙන, වෙඩිබෙහෙත්, ගිණි බලය ඇතිකරන රසායනික ද්‍රව්‍ය, විවිධ පිපිරුම් උපක්‍රම සම්බන්ධ කරගනිනිමින් සකසන, විනාශකාරී, පිපිරීමක් ඇතිකිරීම සඳහා යොදාගන්නා බෝම්බයක් වැනි ඇටවුමකි.

   වැඩේ බරපතළයි නේද? ඔව් ඇත්තටම බරපතළ කාරණයක්. 

   ඔබ බොහෝවිට දැක ඇති බටහිර චිත්‍රපටිවල තිබෙනවා, පිපිරුම් උපක්‍රම ගැන දැනුමක් තිබෙන, හමුදා පුහුණුවක්ද තිබෙන පුද්ගලයන්, (රම්බෝ වැනි) විසින්, පරිසරයෙන් සොයාගන්නා විවිධ දේ පාවිච්චි කරමින්, පිපිරවීම් සිදුකරන හැටි. ඇත්තෙන්ම, මේ තාක්ෂණය හොඳින් දැනගත් පුද්ගලයකු, එය නරක පැත්තට යොමු කළොත්, ලැබෙන භයානක ප්‍රතිඵලයේ ප්‍රමාණය කියන්න බැරි තරම්.

   ඔබට මතකද, දැනට කාලෙකට ඉහතදී, අපේ යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට අයත්, බෝම්බ නිෂ්ක්‍රිය විශේෂඥ පුහුණුව ඇති සැරයන් වරයෙක්, කුරුණෑගල ප්‍රදේශයේදී, තම අනියම් පෙම්වතියක් සම්බන්ධ සිදුවීමකදී, පාසල් දරුවන් රැගෙන යන වෑන් එකක බෝම්බයක් ඇටවීම නිසා, පාසල් දරුවකු මියගිය සිද්ධිය? හැබැයි ඒවා මහා පරිමාණ සිදුවීම් නෙවෙයි. පෞද්ගලික සිදුවීම්. නමුත් යුද්දෙකදී, මේ විදිහට නෙවෙයි පිපිරීම් සිදුකරන්නේ මහා පරිමාණයෙන්.

   අද වනවිට ලෝකයේ මහා පරිමාණයෙන් මෙවැනි ආකාරයේ පිපිරීම් ක්‍රම භාවිත කරන්නේ ඉරානය, ඉරාකය, සිරියාව, ඇෆ්ඝනිස්ථානය, ලෙබනනය, පාකිස්ථානය, සහ සමහර මධ්‍යම අප්‍රිකානු රටවලයි. එමෙන්ම වැඩිපුරම මෙවැනි පිපිරුම් ක්‍රම භාවිත කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන විසින්.

   1999 දී මා යටතේ සේවය කළ නිලධාරියකු, LTTE ත්‍රස්තවාදීන් විසින් ඇටවූ, මෙවැනි බෝම්බයකින් මියගියා. එය අටවා තිබුණේ, T 56 අවියක පතරොම් ගැබේ magazine. එය තුළට වෙඩිබෙහෙත් පුරවා, පිපිරුම් උපක්‍රමයක් යොදා, එය තුවක්කුවෙන් ගලවනවිට පුපුරන්නට සකසා තිබුණා. අපේ හමුදාව සමග ගැටුමකින් පසු පලායන අතර, ඔවුන් මේ අවිය, අපට අසුවන ලෙස කැලයේ දමාගොස් තිබුණා. අර නිළධාරියා අවිය අහුලාගෙන, ආරක්‍ෂක පියවරක් ලෙස, එහි පතරොම් ගැබ ගලවන්නට යාමේදී, එය පුපුරා යාමෙන් ඔහු මියගිය අතර, තවත් සෙබළුන් දෙදෙනෙකු, බරපතළ තුවාල ලැබුවා.

මොනවද යුද්ධයකදී කරන එවැනි පිපිරීම්?

   භයානකම දේ තමයි බැරල් බෝම්බ. බැරල් බෝම්බයක් දැම්මම සෑහෙන ප්‍රදේශය විනාශ වෙනවා. විශේෂයෙන් සතුරු කඳවුරු, සතුරා රැස්ව සිටින / සැඟවී සිටිනු ඇතැයි සිතන ස්ථාන වලට තමයි, බැරල් බෝම්බ එල්ල කරන්නේ. බැරල් බෝම්බයක් කියන්නේ, සිලින්ඩරාකාර ලෝහ කොපුවකට (හිස් තාර බැරල් එකක්, තෙල් බැරල් එකක්, ගෑස් සිලින්ඩරයක්, වුනත් ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට එකක් හදාගන්න පුළුවන්.) අධිබල පිපිරුම් කාරක ඇතුළත්කර ඉන්පසු මූනිස්සම් ලෙස විසිරෙන විවිධ ලෝහ කැබලි රාශියක්ද, ගිණි අවුළුවන සුළු පෙට්‍රෝලියම් මිශ්‍රනයක්ද ඇතුළත් කර, ගැටීම impact හේතුවෙන් ඩෙටනේටරයක් ක්‍රියාත්මකවීම සඳහා බලය දෙන ෆියුස් එකක් සහිත, සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් ගුවනේ සිට බිමට හෙලන බෝම්බයක්. මෙය, ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් ගෙනගොස්, ඉලක්කය ඇති ප්‍රදේශයට ඉහළ අහසේ සිට, බිමට අතාරින්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ.

මෙන්න බැරල් බෝම්බය.

Structure of a Barrel Bomb


   ගෑස් සිලින්ඩර උපයෝගී කරගෙන සකසා ඇති බැරල් බෝම්බ

Gas Tank

   බැරල් බෝම්බ තහනම් කරන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, විවිධාකාරයෙන් උත්සාහ ගන්නා නමුත්, අදත්, සිරියාව වැනි රටවල බැරල් බෝම්බ පාවිච්චි කරනවා. මෙන්න බලන්න බැරල් බෝම්බයේ භයානක කම.  



   වෙඩි තැබීමෙන් පසු පුපුරා නොගිය මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ ආදියත් අවස්ථානුකූලව පුපුරවා හැරීමට හැකි ආකාරයට සකස්කළ හැකියි. මෙහිදී කරන්නේ, එම උණ්ඩයේ ඉදිරිපස ඇති ෆියුස් කොටස ගලවා එතනට විදුලි ඩෙටනේටරයක් ඇතුළු කර එහි වයර් දෙක අවශ්‍ය තරම් දුරට ඇදගෙන, අවශ්‍ය වෙලාවේදී ස්විච් එකක් මගින් විදුලිය ක්‍රියාත්මක කර පුපුරවා හැරීමයි. මෙය පෑගීමෙන් හෝ වාහනයකට යටවීමෙන් ඇතිවන තෙරපුම අනුව පීඩන බෝම්බයක් ලෙස ක්‍රියාකරන්නත් හදන්න පුළුවන්.

IED

   අද හැමදේකදී ම විද්‍යුත් ක්‍රමවේද වලට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවනේ. ඉතිං මේ වගේ අවස්ථානුකූලව පාවිච්චි කරන බෝම්බත් විද්‍යුත් ක්‍රමවලින් පුපුරවන්නට හැකිවන ආකාරයට සකසා තිබෙනවා. බෝම්බයට සවිකරන ලද දුරකථනයකට අවශ්‍ය අවස්ථාවේදී ඇමතුමක් දීමෙන් බෝම්බය පත්තු කරන්න පුළුවන්. මේ බලන්න. 

Telephone Bomb

   පාරක් අයිනේ තියන තැපැල් පෙට්ටිය, මෝටර් සයිකලයක්, බයිසිකලයක බැඳ ඇති පෙට්ටියක්, නෝනා කෙනෙකු විසින් තම අතේ තියාගෙන සිට, වාහනයක් වෙත දමාගසන අත් බෑගයක්, ළදරුවන් තබා තල්ලුකරගෙන යන කරත්තයක් වැනි, අපට එකවර සිතාගත නොහැකි, විවිධාකාර වේශයන්ගෙන්, මෙවැනි පිපිරුම් උපකරණ තිබෙන්නට පුළුවන්. ඒ සියල්ල මෙහි විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතනවා. මරාගෙන මැරෙන වාහන, ගුවන් යානා, බෝට්ටු ආදියත් වැටෙන්නේ, මෙවැනි අවස්ථානුකූලව සකසාගත් පිපිරුම් ක්‍රම වලටයි.

Box IED



   වාහනයක බෝම්බ ඇටවුමක් සිදුකිරීමෙන් වියහැකි හානියේ ප්‍රමාණය, පහත දැක්වෙන වගුවෙන් බලන්න පුළුවන්.


AA

   රාගෙන මැරෙන බෝම්බ කරුවන් පිළිබඳ අත්දැකීම, අප සෑමදෙනාම පාහේ, පසුගිය යුද සමයේදී අවබෝධ කරගත්තා. ඒ සඳහා යොදාගන්නෙත් අවස්ථාවට සුදුසු ආකාරයේ, හැඩයකින්, පෙනුමකින්, සුදුසු පිපිරුම් කාරක ප්‍රමාණයකින් සහ පිපිරවීමේ උපක්‍රමයකින් යුත් ක්‍රමවේදයක්.

   එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය විසින්, සමීක්ෂණය කර ඇති පරිදි, වසරකට නිරායුධ සිවිල් පුද්ගලයන් 13000 කට අධික ප්‍රමාණයක්, මෙලෙස, අවස්ථාවෝචිතව යොදාගන්නා බෝම්බ මගින් මියයන අතර, 45000 ක් පමණ නිරායුධ සිවිල් වැසියන්, බරපතළ තුවාල ලබා, එයින් සමහරෙක් ජීවිත කාලයටම ආබාධිතයන් බවට පත්වෙනවා.

මේ ව්‍යසනයෙන් මිදෙන්නේ කොහොමද?
  •   අපේ ළඟ මිනිස්කම කියලා දෙයක් ඉතුරු වෙලා තියනවනම් මේ මොකුත් වෙන්නේ නැහැනේ. ඒ නිසා මිනිසා තුළ මිනිස්කම වර්ධනය කිරීමයි සියල්ලට පළමුව කළයුත්තේ. ඒ සඳහා සෑම රටකම සිටින නීත්‍යානුකූල හමුදා සහ සටන්කාමී සංවිධාන තදින් දැනුවත් කළයුතුයි.

  • ලෝකය පුරා නිපදවෙන මෙවැනි පිපිරුම් ක්‍රම, ජාත්‍යන්තර නීති මගින් තහනම් කලයුතුයි. එම නීති පිළිනොගන්නා රටවල් වෙත, සම්බාධක පැනවීමෙන්, ඔවුන් තරමක් දුරට හෝ දමනය කරගත යුතුයි.

  • මෙවැනි උපක්‍රම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කලයුතුයි. විශේෂයෙන් සන්නද්ධ ගැටුම් අති රටවල ජනතාව දැනුවත් කලයුතුයි විවිධ වේශයෙන් එන මෙවැනි පිපිරුම් ක්‍රම අති නිසා තමන් නොදන්නා නොහඳුනන දේ අතපතගෑමෙන් වැලකීමට සහ, සැකකටයුතු සියලුදේ ගැන නොපමාව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට.

  • මෙවැනි පිපිරුම් උපකරණ හඳුනාගැනීම සඳහා වෙනම විශේෂඥ පුහුණුවක් සහිත පුද්ගලයන් යෙදවීම සහ නවීන තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමත්, ඒ තාක්‍ෂණය සහ පුද්ගල සම්පත් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමත් වැදගත්.

  • පාසල් ප්‍රජාව තුළ, මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිකිරීමෙන්, අනාගත පරපුර, මෙවැනි ව්‍යසනකාරී උපකරණ සැකසීමෙන් හා භාවිතයෙන්, ඈත්කළ හැකියි.

  • අන්තවාදී ත්‍රස්ත සංවිධාන, ලෝකයෙන් තුරන් කිරීමට, සෑම රටක්ම, සියලු භේද පසෙක දමා, එකතුවී ක්‍රියාකළ යුතුයි.

ඔබේ අදහසුත් මෙයටම එක්කරන්න. 

2015 ඔක්තෝබර් මස 06 වැනි දින 0016 පැය 

01 October 2015

අපිට බයිසිකල් පදින්නවත් බැරිද?

Cyclist
අනේ මන්දා, අලුතෙන් ක්‍රීඩා ඇමති කෙනෙක් පත්වෙලා ඉන්නවා. උන්නැහේට අර, එක එක ජාතියේ සෙල්ලම් දාන්න එහෙම, දැනුම තියනවනේ. ඒ නිසා, ක්‍රීඩා සෙල්ලම් ගැනත්, එතුමා යමක් කමක් කොරයි කියලා, බොහෝදුරට හිතනවා. හැබැයි, එතුමා අනික් ඔක්කොම සෙල්ලම් නවත්තලා, අපේ රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය නගා හිටුවීමේ සෙල්ලම තමයි පටන්ගන්න ඕනේ. සෙල්ලම් වැරදුනොත්, ඊළඟ මැතිවරණෙදී සල්ලම් වෙන බව, එතුමා දන්නවා ඇතැයි හිතනවා.


Dayasiri in Action

   මේ ටික කිව්වේ, ඊයේ පෙරේදා, චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ, Eurosport නාලිකාව නරඹමින් සිටියදී, හිතට දැනුණු, වේදනාත්මක සිතුවිලි නිසයි. ඒ නාලිකාව ඔස්සේ, පසුගිය දිනවල, ලෝකප්‍රකට Tour de France බයිසිකල් තරගාවලිය මෙන්ම, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤය, වැනි රටවල් ගණනාවක පැවැත්වුණු, අන්තර්ජාතික මට්ටමේ තරගාවලි, නරඹන්නට හැකිවුණා. මේ තරගාවලි නරඹන අතරේ, මට බොහෝ වාර ගණනක් හිතුනේ, අපේ රටේ, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්නට බැරි ඇයි කියලයි.

   ඇත්තෙන්ම, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව අතින් අපි ඉන්නේ, තවම ප්‍රාථමික අවධියේ කියලයි, මටනම් හිතෙන්නේ. බයිසිකල් පැදීම කිව්වම, අපි තවමත් හිතන්නේ, මාර්ග ධාවන තරග ලෙස පැවැත්වෙන, බයිසිකල් තරග පමණයි. නමුත්, අද ලෝකය අපිට වඩා බයිසිකල් තරග අතින්, බොහෝ දුරට ඉදිරියට ගොස් තිබෙනවා. අපි, අන්තර් ජාතික මළල ක්‍රීඩා අතින්, යම් දියුණුවක් ලබාගෙන ආවත්, දැන් එය අඩාළවී ගිහින්. අපි පාපන්දු, රග්බි වැනි ක්‍රීඩා වලින් ඉහළට යන්න උත්සාහ කළත්, සාර්ථක නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවත්, ආයෙත් බින්දුවෙන් පටන්ගන්න වෙලා වගේ. අපි බිලියර්ඩ්/ස්නූකර් ලෝක ශූරයකු බිහිකළා. නමුත් එතනින් එහා දියුණුවක් නැහැ.

(පරිගණකයෙන් ස්නූකර් ගහන්න ඕනෙනම්, මෙන්න මේක දාගන්න. හමුදා කඳවුරු වලදී, මා බිලියර්ඩ් සහ ස්නූකර් දෙකම, ක්‍රීඩා කර තිබෙනවා. මේ පරිගණක ක්‍රීඩාව, අදත් සමහරවිට මා ක්‍රීඩා කරනවා)

   බයිසිකල් පැදීම, පහසුවෙන්, ගම්බද ප්‍රදේශවල පවා ව්‍යාප්ත කරන්න පුළුවන්. අද අපේ රටේ, පාසල් සිසුන් දස දහස් ගණනක්, දිනපතා බයිසිකලයෙන් පාසල් යනවා. විශේෂයෙන් උතුර, නැගෙනහිර, වයඹ, සහ උතුරු මැද යන පළාත්වල, එසේ බයිසිකලයෙන් ගමන් කරන, පාසල් සිසුන් මෙන්ම, සාමාන්‍ය ජනතාවද, සෑහෙන්න ඉන්නවා. මෙය, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව නංවන්න, හොඳ අවස්ථාවක් කරගතහැකි බව, මගේ විශ්වාසයයි. 

   හෙට අනිද්දා දවසක ශ්‍රී ලංකාවේ ජාතික පාසල් අතර, වාර්ෂික පාපැදි ධාවන තරගය, කොළඹදී පැවැත්වෙන බව දැනගන්නට ලැබුණා. ඔබ දන්නවද වාර්ෂිකව මෙහෙම තරගයක් පැවැත්වෙනවා කියා? ක්‍රිකට් තරග වලට දෙන පූර්ව ප්‍රචාරය, මේවාට දෙන්නේ නැත්තේ ඇයි? මේ පාසල් දරුවන්, මේ සඳහා පුහුණු කළේ කුමන පුහුණුකරුවන් යටතේද? ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? ඒ පුහුණුව සම්මත න්‍යාය සහ ක්‍රීඩා නීති රීති වලට එකඟද? තරගකරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාව ගැන, සම්පූර්ණ පුහුණු කාලයට අදාළ වාර්තා තිබේද? තරගයට කලින් දින, තරගකරුවකු වෙනුවෙන්, වෛද්‍ය සහතිකයක් ගැනීම පමණක් ප්‍රමාණවත්ද? මේවා ඉතා ගැඹුරින් සලකා බැලියයුතු කරුණු.

    අපි පාසල් සිසුන් ලෙස හිටිය කාලේ, යාලුවෙකුගේ බයිසිකලයක් හෝ පැද්දා. කියන්න ලැජ්ජයි, මම එක් වරක්, අලුතෙන් හමුදාවට බැඳුන සොල්දාදුවන් පිරිසකගේ, පශ්චාත් පුහුණු කටයුතු අධීක්ෂණය කරමින් හිටිය අවස්ථාවක, නිකමට ඇහුවා, බයිසිකල් පදින්න දන්නා අය අත උස්සන්න කියලා. එතන හිටිය පිරිසෙන් තුනෙන් එකකට පමණ, බයිසිකල් පදින්න බැහැ. මම වහාම නියෝග කළා, ඔවුන් භාරව හිටිය නිළධාරියාට, ඒ සියලුම දෙනාට, සතියක් තුළ බයිසිකල් පැදීම උගන්වා, කි.මී. 10 ක පමණ බයිසිකල් රේස් එකක් පවත්වන ලෙස. (හදිස්සියකට බයිසිකලයක්වත් පැදගන්න බැරි මුන් එක්ක යුද්ද කරානම්, යුද්දේ පරාදයි)

   අවංකව කියන්න, ඔබට මේ දැන්, හදිසියක් සඳහා, නගරයේ වාහන තදබදය මැද්දෙන් බයිසිකලයක් පදින්න පුළුවන්ද? එමු බලන්න, නාකියා එක්ක බයිසිකල් පදින්න, කුරුණෑගල නගරයේ, උදේ 7 - 9 අතර. ඇත්තටම බයිසිකලයක් පදින්න දැන සිටීම, ඉතාම වැදගත්. එයට ගැහැණු පිරිමි භේදයක් තිබියයුතු නැහැ.

'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා' සංකල්පය, දැන් නැහැ නේද?

   අද සෑම නගරයකම පාහේ, පිටරටවලින් ගෙන්වන ලද පාවිච්චි කළ බයිසිකල්, විකිණීමට තිබෙනවා. මිළ රු 4000 පමණ සිට ඉහළට තිබෙන්නේ, මට මතක හැටියට. කුරුණෑගල නගරයේ නම්, බයිසිකල් දහස් ගණනක්, එලෙස විකුණන්නට තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වලින් එන ලොරි වලින්, විශාල තොග රැගෙන යනවා. නරකද ඔබේ පැත්තෙත් හොයලා, එකක් අරන්, සති අන්තයේදීවත් ටිකක් පැද්දොත්? ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි නේද?

   හොඳයි, අපේ රටේ බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්න මොනවද කරන්න පුළුවන්? පළමුවෙන්ම බයිසිකල් පුහුණුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් හොඳ පුහුණුකරුවන් බිහිකරගත යුතුයි. අපේ රටේ තියනවා නේද බයිසිකල් පෙදරේරු ෆෙඩරේෂන් ද මොකක්ද කියලා එකක්. මම හොයලා බැලුවා. මෙන්න මෙච්චරයි හම්බවුණේ. ඉතිං අපේ කිරීඩා ඇමෑත්ත තුමාට, පණ දාගෙන, හිටගෙන පාගන්න වෙනවා, නග්ගලා ගන්න. (බයිසිකලේ බයිසිකලේ........., ආයේ වෙන මොන කෙහෙල්ගෙඩියක්ද නග්ගලා ගන්නේ)

   හොඳ විද්‍යාත්මක දැනුමක් තියන බයිසිකල් පුහුණු කරුවන් දහදෙනෙක්, හදාගන්න පුළුවන් නම්, වේගවත් වැඩපිළිවෙලක් යටතේ, එක පළාතකට එක බයිසිකල් පුහුණු පාසලක් හදලා, මේ ක්‍රීඩාව නංවන්න පුළුවන්. නමුත් ඉතින්, පුහුණුව සඳහා පිට රටකට යවන අය, එහෙදි අතුරුදහන් වෙනවානම් ප්‍රශ්නය බරපතලයි. ඒ වෙනුවට, විදේශීය පුහුණු උපදේශකයන් මෙහාට ගෙනෙන එක තමයි හොඳ. අඩු ගණනේ,  මෙන්න මේ වගේ පොත් ටිකක්, සිංහලට/දෙමළට පරිවර්තනය කරලා, පහසු මිළට ගන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? පොත් විතරක් අරගෙන මදිනේ. බයිසිකලුත් පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.

   ඔබ අපි කවුරුත් දකිනවා, සමහර විට, තනි තනිව හෝ දෙන්නා තුන්දෙනා බැගින්, දිනපතාම පාහේ, මහා මාර්ගවල, මාර්ග ධාවන තරග සඳහා බයිසිකල් පැදීම පුහුණුවන තරුණයන්. කලාතුරකින් (සිංහල අවුරුදු උත්සව කිට්ටුව) තරුණියන්. නමුත් මා හිතන්නේ නැහැ, ඔවුන් කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව, ඒ පුහුණුව ලබනවා කියා. ව්‍යායාම, අභ්‍යාස, පෝෂණය, තරග කිරීමේ තාක්ෂණික ක්‍රම, බයිසිකලය නඩත්තු කිරීම, වැනි විෂයයන් පිලිබඳව, ඔවුන්ට ඇත්තේ, අසා දැනගත් දැනුමක් පමණයි කියා, මා හිතනවා.

   අන්තර්ජාතික මට්ටමේ තරග සඳහා සුදුසු බයිසිකල්වල, මිල ගණන් දැක්කම, ඇඟ හිරිවැටෙනවා. මේ බලන්නකෝ.

Screenshot (53)

   විදේශ වෙළඳපොළේ තිබෙන, ජාත්‍යන්තර තරග සඳහා සුදුසු බයිසිකල් වල මිළ, පහත දක්වනවා. මේ තියෙන්නේ, මේවා ලංකාවට ගෙන්වීමේදී අය කරන තීරුබදු සහ වෙනත් විවිධ බදු නැතිව මිළ.

Screenshot (54)


Screenshot (56)


Screenshot (57)

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. කොහොමද ඉතිං මේ ක්‍රීඩාව නංවන්නේ? මේ බදු රහිත මිළ, බැංකු ණයක් හැටියට ලබාදෙන්න පුළුවන්නම්, කොච්චර වටිනවද? හැබැයි ඉතිං එහෙම හිතන ලොකු උන්නාන්සේලා, මේ රෙටේ ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ.

   මාර්ග ධාවන බයිසිකල් තරග විතරක් නෙවෙයිනේ. අද තියනවා, ගෘහ අභ්‍යන්තර බයිසිකල් ධාවන තරග, රළු භූමි ප්‍රදේශ ආශ්‍රිත බයිසිකල් තරග, කඳුකර බාධක තරණ බයිසිකල් තරග, ආදී වශයෙන්, මේ ක්‍රීඩාවේ විවිධ අංශ ගණනාවක්. ඒ ඒ අංශයට ගැලපෙන බයිසිකල් වෙනම තියනවා. බයිසිකල් ධාවනයද ඇතුළත්, තුන් ප්‍රයාම තරගත්, ඔය අතරේ අමතක කරන්න බැහැ.

   බයිසිකල් තරග පැදීම මගින්, ශරීර සෞඛ්‍යය රැකීමට අමතරව, තියුණු ලෙස කල්පනාකාරී වීම, අභියෝගයන්ට මුහුණ දීම, දරාගැනීමේ හැකියාව වැඩිවීම, වැනි මානසික ශක්තීන් ද දියුණු වෙනවා. ඇත්තටම පාසල් දරුවන් මේ සඳහා සෑහෙන දුරට යොමුකරන්න පුළුවන්.

   දැන් ඔය නිල් බලකායවල් තිබ්බට, ක්‍රීඩා නැංවීමක් වුණේ නැහැනේ. ඉතිං එහෙනම්, කොළ බලකාය හරි, තණකොළ බලකාය හරි, සම්මුතිවාදී බලකාය හරි කියලා එකක්වත් හදලා, නරකද මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත්?

   අද, (2015/09/28) රූපවාහිනී ප්‍රවෘත්ති වල මම දැක්කා, ප්‍රවීණ ක්‍රීඩිකා, සුසන්තිකා ජයසිංහ, ක්‍රීඩා පුහුණු ආයතනයක් පටන්ගන්න යන බව. ඇය කිව්වේ, අද අපේ රටේ මළල ක්‍රීඩා, පසුබෑමකට ලක්ව තිබෙන නිසා, මෙවැනි දෙයක් අරඹන්නට කල්පනා කළ බවයි. මෙය අගය කරමින්, යෝගානන්ද විජේසුන්දර, ඩර්වින් පෙරේරා වැනි, ක්‍රීඩා විශේෂඥයන් අදහස් දැක්වුවා.

   දැන් අපේ රටේ මාර්ග පද්ධති, සෑහෙන තරම් දියුණුවකට පත්වී තිබෙන අතර මාර්ග සංවර්ධන කටයුතු නොකඩවා සිදුවෙමින් පවතිනවා. අධිවේගී මාර්ග පද්ධතියද (ඒවා හයිවේ, අපිට ගම්වල ඉතුරු වෙලා තියෙන්නේ බුරුල්වේ ද? :D ) දියුණු වෙමින් පවතින නිසා, පළාත්බද ප්‍රධාන මාර්ග, තරමක් නිදහස් වෙමින් පවතිනවා. තවමත් තිබෙනවා, අවධානය යොමු නොවුන අතුරු මාර්ග, මෙවැනි බයිසිකල් ධාවන තරග සඳහා දියුණු කළහැකි. දැනට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පවත්වන බයිසිකල් තරග නැහැ නේද? ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වාර්ෂිකව පවත්වන, මාර්ග ධාවන බයිසිකල් තරගයේ ප්‍රමිතිය, මා දන්නේ නැහැ.

   යුද හමුදාව සහ නාවික හමුදාවත්, මේ ක්‍රීඩාවට සම්බන්ධ කර, යම්කිසි ප්‍රමිතියකට අනුව, ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කළහැකිවනු ඇතැයි මා හිතනවා.  යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු විසින්, මෝටර් රථ සහ මෝටර් බයිසිකල් යොදාගනිමින්, තරග පවත්වනවා ඉතා සාර්ථකව. එහෙනම්, බයිසිකල් තරග සංවිධානය කිරීමත්, මහලොකු දෙයක් නෙවෙයි. ඒ සඳහා, ක්‍රීඩා අමාත්‍යාංශයත් සම්බන්ධ වෙනවානම්, වැඩේ බොහොම සාර්ථකව ආරම්භ කරන්න පුළුවන් වෙයි.

මොකද මේ ගැන හිතන්නේ?

2015 සැප්තැම්බර් මස 29 වැනි දින 0021 පැය 

28 September 2015

පරණ පොතක පිටුවක්

Old Books
පරණ පොත් වලට බොහොම දෙනෙක් කැමතියිනේ. අද කාලේ ඉන්න හුඟ දෙනෙක්, අලුත් පොත් කියලා හඳුන්වලා, අපිට දෙන්නේ පරණ පොත්ම තමා, එක අතකින් බලනකොට. මට පහුගිය දවස්වල, අහම්බෙන් පරණ පොත් ටිකක් ලැබුණා. ඉතින් මට හිතුනා, ඒ පොත්වලින් තෝරාගත් කොටස්, ඔබ සමග බෙදාහදා ගන්නට. මෙන්න අද මම ඉදිරිපත් කරන පොත් පිටුව. 


1


   ඔන්න ඉතිං මෙව්වා, මේ පාඩම් පොතේ තියන පාඩම්, මෙන්න මේ වගේ කියලා පෙන්නන්න ඉදිරිපත් කළා මිසක්, වෙන වෙන අර්ථ කථන දෙන්න හිතාගෙන ඉදිරිපත් කළා නෙවෙයි. අනේ මං දන්නෑ, ඕනේ කෙනෙක්, ඕනේ අර්ථ කථනයක් දෙන්න. ඒ කාලේ මේ කියන මෝරුන් සහ හාල්මැස්සා/සෝ, අද කාලේ කවුද? ඒ කාලේ වැද්දා, මුවා සහ සර්පයා අද කාලේ කවුද? කියලා නම් මගෙන් අහන්න එපා. පූර්වාපර සන්ධි ගලපන්න මේක ජාතක කතාවක් නෙවෙයිනේ.


   මේ පොත, 1940 දශකයේදී පමණ මුද්‍රණය කළ එකක් කියා අනුමාන කරනවා. භාෂා විලාශය ටිකක් අමුතුයි නේද? කාලීනව භාෂාව වෙනස්වන ආකාරය පෙන්වන, හොඳ උදාහරණයක්. බලන්න, සර්පයා කියන වචනය සඳහා, රේඵය යොදා ඇති ආකාරය. අද රේඵය යොදාගන්නේ නැති තරම්. ඒ වගේම දෂ්ට කියන වචනයේ හල් ෂයන්න සහ ටයන්න, එකට බැඳලා තියෙන්නේ. මෙසේ බැඳී අකුරු ලිවීම භාවිතයෙන් නැතිවී ගියේ, 1970 දශකයේදී පමණ කියා මා හිතනවා. (අදත් කලාතුරකින් නැත්තේම නොවේ) ඒ වගේම, 'උඹ බන් බොලන්' භාෂාව, පළමුවැනි පන්තියේදීම, ළමුන්ට අහන්න දකින්න ලැබෙනවා. ඒ කාලේ මුද්‍රණ කටයුතු, කෙබඳු තත්වයක තිබෙන්නට ඇද්ද යන්නත්, අකුරුවල ස්වභාවයෙන් පෙනෙනවා.


   තවත් දෙයක්. ඉංගිරිසියේ බලපෑම කොතරම්ද යන්නත්, මනාව පිළිබිඹු වෙනවා. සිංහල උගන්වන පොතේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නම සහ පොතේ නම ඉංගිරිසියෙන් යොදා තිබෙන්නේ, එකල පරිපාලන කටයුතු වලදී, බහුලව ඉංගිරිසිය භාවිත වුන නිසායැයි හිතෙනවා. 



   මේ පිටුව ලැබුණේ, වෙනත් පොතක් අස්සේ තිබිලා. ඉතුරු ටිකත් තිබුණා නම්, හරිම වටින පොතක්. ටිකක් හොයලා බලන්න ඕනේ.


2015 සැප්තැම්බර් මස 20 වැනි දින 1325 පැය 

27 September 2015

බලුකිරියා තවමත් පුරාණය වළඳයි

Shit Eating Dog
බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. 

   මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා. 



පේනවා නේද එපා කියද්දීත් බලුකිරියා පුරාණය වළඳන හැටි?

මේ බලන්න, පුරාණය වළඳන්න එපා කියා, මීට පෙර මා ඉල්ලාසිටි ආකාරය


Screenshot (17)
   

   ඉතින් මෙහෙම ඉල්ලුවට වැඩක් නැහැනේ. පුරාණය අනුභව කිරීම නවත්තලා නැහැනේ. පුරාණය වැළඳීම දිගටම කරගෙන ගිහින්. මේක ඉවසගන්න බැරි සාමාජිකයෙක්, මේ කක්කා හොරාට, හොඳ පදවලින්ම කියලා තියනවා. උගේ කක්කා හොරකමේ තරම. ඒ සාමාජිකයාට මාගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා. මේ බලන්න. මම එක වචනයක් විතරයි සුදු පාටෙන් වහලා තියෙන්නේ. ක්ලික් කරලා, ලොකු කරලා බලන්න. 




   මේ පුඟුලා අමාරුවේ වැටෙන්නේ, විෂයයට අදාළව කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවමයි. මොකද, මේ මිනිහා නොදන්නා විෂයයක කරුණු හොරකම් කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහපු තැන්වල, මේ ගොබ්බරාළ නිහඬව ඉන්නවා. මේ බලන්න.



   හැබැයි මෙව්වා මෙහෙම වෙද්දීත්, ලක්ෂ පහකට වැඩි, මහා සාමාජික බලහමුදාවක, බ්‍රිගේඩයක, සේනාංකයක, අයිතිකාර, උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත් බල කඩදාසිකාර, බලුකිරි ඇඩ්මින් (ඇඩ්ඩින්?) ගොයියට, වගේ වගක් නෑ.

   අයියා චූන් එකේ, ඔහෙ කකුල වන වනා, හඳමාමා වගේ ඉන්නවා. ඉතිං ඔච්චර ලොකු ඇඩ්ඩින් අයියෙකුට, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක්වත් නැද්ද, තමන්ගේ මහා බලුකිරි හමුදාවේ ඉන්න, සමහර හොරිකඩ බල්ලන්, මේ අපි වගේ නාකි පැන්ෂන් කාරයකුගේ ලිපි, අමු අමුවේ හොරකම් කරන තුරු ..... සමග නිදිවදින්න?

අම්මපා මුන් ජන්ම දායාදය ලැබුවේ මොකුන්ට දාවද?

2015 සැප්තැම්බර් මස 21 වැනි දින 2347 පැය  

21 September 2015

මොකක්ද මේ හමුදා අභ්‍යාසයක් කියන්නේ............? Purpose of a Military Exercise


1
මේ දිනවල ලංකාවේ හමුදා අභ්‍යාසයක් පැවැත්වෙනවා කියලා ඔබ දන්නවද?
   මොකක්?............. හමුදා අභ්‍යාසයක්?........ මොකටද එව්වා කරන්නේ? දැන් යුද්දේ ඉවරයිනේ. අරෙහෙන් මානව හිමිකම් නඩු, සුද්දෝ එනවලු නඩු අහන්න, මෙහෙ තව අබ්බියාසලු, අම්මප තමුසෙලාට මොළේ කළඳක් නැද්ද? මේ තියන ටිකත් (පුකත්?) නැතිකරගන්න හදන්නේ? ඔව්වා කරාම, අර ඩයස් කියන පොර ද, ඩයස්පෝරාවද මොකද්ද මන්දා එවුන්ට, උඩගෙඩි දුන්නා වගේ වෙනවා නේද? උන් එයි ගෝනි නැතුවම කරේ යන්න...... අම්මපා මේක යහපාලනේද, වහපාලනේද?

හෝව්....හෝව්.......හෝ..........ව්. මේ, ඔහොම වාඩිවෙන්න. පොඩ්ඩක් හුස්ම ගන්න. නැත්නම් ඔයා මෙතන පැළිලා මැරුණම, මට තමයි, මරණ පරීක්‍ෂණයෙදි සාක්කි දෙන්න වෙන්නේ. හප්පොච්චියේ..........ඔය මූණ දැක්කනම්, තලේබාන්, ISIS, වගේ ත්‍රස්තවාදියොත්, චූ වැක්කෙරි කෙරී දුවනවා ෂුවර්.

   මේ බලන්න, හමුදා අභ්‍යාසයක් කියන්නේ, අමුතු දෙයක් නෙවෙයි. එව්වා එදත්, අදත්, අනාගතයේදීත්, ලෝකයේ සෑම රටකම පවත්වන, පුහුණු වැඩපිළිවෙලක්. මේ ගැන නොදන්නා කෙනෙක් හිතන්න පුළුවන්, අපේ රට, ආපහු යුද්දෙකට ලෑස්ති වෙනවා කියලා. අන්න ඒ වැරදි වැටහීම නැති කරන්නයි, මේ කරුණු ටික කියන්නේ. 

   ඉස්සරවෙලාම, ඔයා කිව්ව එක කාරණේකට උත්තර දීලා ඉන්න ඕනේ. කවුද ඔයාට කිව්වේ, නඩු අහන්න සුද්දෝ එනවා කියලා? අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කළ, අධිකරණ පද්ධතියක් තියනවා. ඒ අධිකරණ පද්ධතියට, විනිශ්චයකාර වරුන් පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. අධිකරණ සේවා කොමිෂන් සභාව අක්‍රිය නම්, පාර්ලිමේන්තුවට ඒ වගකීම දරන්න වෙනවා. ජනාධිපතිගේ බලතල අනුවත්, කටයුතු කෙරෙනවා. අපේ රටේ පරමාධිපත්‍යයට අත තියන්න කාටවත් බැහැ. ඒ අයිතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලින්ම තහවුරු වෙලා තියෙන්නේ. 

   ලෝකයේ මොනම ජගතෙකුටවත් බැහැ, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අපේ අධිකරණ පද්ධතියට, වෙනත් රටකින් විශ්චයකාර වරුන් පත්කරන්න. දැන් නිකම් දේශපාලනයෙන් පාරාජිකා වෙලා, අනුන්ව බිල්ලට දීලා, ඒ අයගේ කරපිටින් පාර්ලිමේන්තුවට පැනගත්ත කුක්කෝ කියන කතා, අහන්න එපා. ඒවා තමයි අජාසත්ත බොරු කියන්නේ.

   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පුළුවන් වාර්තා හදන්න. නමුත් ඒ අය දැනගන්න ඕනේ, රටක ස්වාධිපත්‍යය කියන්නේ මොකක්ද කියලා. යුද්ධයේදී, මානව හිමිකම් කඩවීම සම්බන්ධව කරුණු සොයාබැලීමට, විදේශීය නියෝජිතයන් ආවට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත්, විදේශීය අධිකරණ විනිශ්චයකාර වරුන්ට, අපේ රටේ අධිකරණ කටයුතුවලට මැදිහත්වෙන්න, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, කිසිම ඉඩක් නැහැ. යුද්ධයට අණදුන්, මහ සෙනෙවි ෆොන්සේකාම කියනවා, විදේශීය නියෝජිතයන් සහිතව පරීක්‍ෂණයක් තියනවානම්, බොහොම හොඳයි කියලා. පරීක්ෂණ මණ්ඩලයට පමණයි, විදේශීය නියෝජිතයන් එක්කරගන්නේ. අධිකරණ කටයුතුවලට නෙවෙයි. 

   අනික, එක්සත් ජාතීන්ගේ කොමිසම කියන්නේ, ලංකාවේ හමුදා වලට වගේම, LTTE සංවිධානයටත්, විරුද්ධව චෝදනා තියනවා කියලා. අපිට චෝදනා තිබුණු පළියට ඇයි කලබල වෙන්නේ? ඒවා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න ඕනේ. එතැනදී අපිට, නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය, වැනි ආයතන තියනවා අපේ නිර්දෝශීත්වය පෙන්වන්න. මෙතනදී දේශපාලනය පැත්තක තියලා, රටක් හැටියට අපි එකමුතුව, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම, එයින් ලකුණු දාගන්න කවුරුහරි දේශපාලකයෙක් උත්සාහ කරනවානම්, ඔහු වැඩිකල් පාර්ලිමේන්තුවේ නොතියන්න අපි වගබලාගන්න ඕනේ. උතුරේ මහ ඇමති කියන්නෙත්, විපක්‍ෂ නායක සම්බන්දන් කියන්නෙත්, රටේ ඉන්න සාමාන්‍ය දේශපාලනඥයන් මිසක්, රාජ්‍ය නායකයා නෙවෙයි, රජය නෙවෙයි.

   හොඳයි, අපි ආපහු අපේ මාතෘකාවට යමු. හමුදා අභ්‍යාස කියන ඒවා, පැරණි රජ සමයන්හි පවා සිදුකර තිබෙනවා. ප්‍රසියාවේ රජු වශයෙන් සිටි, මහා ෆ්‍රෙඩ්රික් රජු, (1740 - 1786) ඔහුගේ පාලන සමය තුළ, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. 1909 දී, ජර්මානු හමුදාව, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. මේ එම අභ්‍යාසයක පින්තූරයක්.

1909

  හමුදාවක්, නිකම්ම නිකම් කකා බිබී, කඳවුරු ඇතුළට වෙලා හිටියොත්, ටික කලක් ගියාම, ඔවුන් රතිඤ්ඤා සද්දෙටත් බය වෙනවා. මේ නිසා, ඔවුන් සෑමවිටම, යුද්ධය සඳහා හොඳින් සූදානම්ව තැබිය යුතුයි. සොල්දාදුවන්ගේ ප්‍රථම රාජකාරිය/වගකීම/කාර්යභාරය/ වන්නේ, යුද්ධයකට සූදානමින් සිටීම. ලෝකයේ සෑම රටක්ම, තම සොල්දාදුවන්, මෙලෙස පුහුණු අභ්‍යාසවල යොදවන්නේ ඒ නිසයි.

යුද අභ්‍යාසයක් කියන එක, මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.

   යුද අභ්‍යාසයක් යනු, සත්‍ය යුද්ධයකට මුහුණ දෙන්නේයැයි උපකල්පනය කරගනිමින්, සියලු හමුදා සම්පත් යොදවාගෙන, යුද බිමක් ලෙස තෝරාගත්, ඒකාබද්ධ ගොඩබිම්, ගුවන් සහ මුහුදු කළාපයක, ත්‍රිවිධ හමුදාව එක්කරගනිමින් සිදුකෙරෙන, සජීව ප්‍රහාර සහිත, අභ්‍යාසයකි. මෙයින්, යම්කිසි රටක/රටවල් කීපයක, හමුදා ශක්තියේ ප්‍රමාණය, ප්‍රහාරක බලයේ ප්‍රමාණය, මූලෝපාය න්‍යාය ප්‍රායෝගිකව යොදාගැනීමේ මට්ටම හා ශක්‍යතාව, උපක්‍රමිකව අණදීමේ සහ භට සේනාංක හැසිරවීමේ දක්ෂතාව, සත්‍ය යුදමය තත්වයක් සඳහා, තම කඳවුරෙන් පිටත්ව යාමට, හමුදාවන් තුළ ඇති සූදානමේ මට්ටම ආදී, යුද න්‍යායට අදාළ කරුණු, ඇගයීමකට ලක්කිරීමක් සිදුකෙරේ. 

එහෙනම් ලෝකයේ හැම රටක්ම බයෙන් ද ඉන්නේ යුද්ධයකට පැටලෙන්න වෙයි කියලා?

   හ්ම්..........ඒක බයක් කියලා කියන්න බැහැ. අපි අපේ ගමේ ජීවත්වෙන විදිහ අනුවනේ, අපිට හතුරන් ඇතිවෙන්නේ. බොහොම කල්පනාවෙන් මධ්‍යස්ථව ඉන්නවානම්, අපිට හතුරන් ඇතිවෙන්නේ නැහැ. යම්කිසි රටක්, ලෝකයේ අනික් රටවල් සමග ක්‍රියාකරන ආකාරය අනුව තමයි, ඒ රටට සතුරු රටවල් ඇතිවෙන්නේ. මේ නිසා යම්කිසි රටක විදේශ ප්‍රතිපත්තිය දැඩිව බලපානවා, ඒ රටට සතුරු රටවල් ඇතිවීම කෙරෙහි. අපි වගේ පුංචි රටවලට අමාරුයි, මේ තෝරු මෝරු අස්සේ ඇඟ බේරාගෙන ඉන්න.

හොඳයි ඉතින් මොනවද ඔය අභ්‍යාස වලදී කරන්නේ?

   හමුදා අභ්‍යාස විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. රටකට පුළුවන්, තමන්ගේ යුද හමුදාව පමණක් යොදවලා, රටතුළ අභ්‍යාස කරන්න. උදාහරණයක් වශයෙන්, අපි උපකල්පනය කරනවා, ලංකාවේ එක දිස්ත්‍රික්කයක, පළාතක, විශාල කැරැල්ලක් හටගන්නවා කියා. මෙය පාලනය කරන්න, පොලීසියට බැරිවෙනවා. එතකොට හමුදාව යොදවා, එය මැඩපවත්වන්නේ කොහොමද? කියන සංකල්පය ඔස්සේ, අභ්‍යාසයක් කරන්න පුළුවන්. අපි හිතමු ඒ කැරැල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා. එතකොට ගොඩබිමින් ගිහිල්ලා මැඩපැවැත්වීම අමාරුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී, ගුවන් හමුදාවත් අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අර යුදහමුදා අභ්‍යාසයට, ගුවන් හමුදාවත් එක්වෙනවා. අභ්‍යාසය සඳහා තෝරාගත්තේ, මඩකළපුව දිස්ත්‍රික්කය නම්, නාවික හමුදාවත් සම්බන්ධ කරගන්න වෙනවා. ඔන්න, ත්‍රිවිධ හමුදාවම එක්වී, අභ්‍යාසයක් පවත්වනවා.

ඉතින් ඔහොම කරගත්තම මදිද, මොකටද මේ චීන යුද හමුදාව අපේ රටට ඇවිත් ඉන්නේ?

   චීනෙද ජපානෙද, නැත්නම් වෙන රටක්ද කියලා තීරණය කරන්නේ, කාලීනව රටේ ඉන්න ආරක්‍ෂක කවුන්සිලය විසින්. එහෙම නැතුව ත්‍රිවිධ හමුදා නායකයන්, අර රටම ඕනේ, මේ රටම ඕනේ, කියලා අඬා වැටෙන්නේ නැහැ. (යෝජනා කරන්න පුළුවන්) මේ වගේ, රටවල් එකකට වැඩි ගණනක් එක්වී කරන යුද අභ්‍යාස හඳුන්වන්නේ, 'අන්තර්ජාතික ඒකාබද්ධ යුද අභ්‍යාස - Joint Intentional Military Exercise' කියලා.

ඒ වගේ අභ්‍යාසයකදී මොනවද කරන්නේ?

   සරළ උදාහරණයක් කියන්නද? ඔයාගේ ගමටත් හොරු පනිනවා වරින්වර. අල්ලපු ගමටත් හොරු පනිනවා වරින්වර. ඔයාගේ ගමේදීත් එකෙක් දෙන්නෙක් කොටුකරගන්න පුළුවන් වෙනවා. අල්ලපු ගමේදීත් එහෙමයි. නමුත් සීයට සීයක් සාර්ථක නැහැ. දැන් ගම් දෙකේම අය එකතුවෙලා, තම තමන්ගේ ගම්වල ඉන්න වැඩකාරයෝ එකතුකරගෙන, සාකච්ඡාවක් තියනවා, කොහොමද හොරුන්ව මැඩපවත්වන්නේ කියලා.

   එතැනදී දෙගොල්ලන්ගේම අත්දැකීම් හුවමාරු කරගන්නවා. දක්ෂතා හුවමාරු කරගන්නවා. පණිවිඩ සම්බන්ධතා ඇතිකරගන්නවා. වරින් වර හමුවී සාකච්ඡා කරන්නත්, හදිසි අවස්ථාවකදී, එක ගමකින් අනික් ගමට, ආධාරයට පිරිසක් එවන්න ක්‍රමයකුත් හදාගන්නවා. එක දවසක් රෑක, ඇත්තටම එක ගමකට හොරු පැන්නා කියල හිතාගෙන, අර වැඩපිළිවෙල අත්හදා බලනවා. ඉතින් ඔයවගේ දේවල්ම තමා යුද අභ්‍යාසයේදීත් වෙන්නේ.  

  මෙහිදී, අභ්‍යාසයට පෙර, ඒ සඳහා එක්වන හමුදා නායකයන් සහ යුද විශේෂඥයන් එක්වී සාකච්ඡාවක්/සම්මන්ත්‍රණයක් පවත්වනවා. එතනදී ඔවුන් මුලින්ම සාකච්ඡා කරන්නේ, තමන්ට යුදබිමේදී අත්දකින්නට ලැබී ඇති දේවල් පිළිබඳව. ඊළඟට, තමන්ට, දැන් මුහුණදීමට සිදුවී තිබෙන සහ, අනාගතයේදී මුහුණදීමට සිදුවෙතැයි සිතන ගැටළු සහ අභියෝග පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ අභ්‍යාසය කෙබඳු එකක්ද කියා.

   මුහුදෙන් පැමිණ ගොඩබැසීමක් කර, ප්‍රදේශයක් අල්ලාගැනීම, ගුවනින් භටපිරිස් යවා, ගොඩබිම් ප්‍රදේශයකට බස්සවා, එම ප්‍රදේශය අල්ලාගැනීම, ගොඩබිමින් හමුදා යවා, ප්‍රදේශයක් අල්ලාගැනීම, වැනි අභ්‍යාස තමා සිදුකරන්නේ. මෙහිදී, ප්‍රධාන කාර්ය භාරය ඉටුකරන හමුදාවට, අනික් හමුදා විසින් ආධාරක ප්‍රහාර, භටපිරිස්, ප්‍රතමාධාර, තුවාල කරුවන් රැගෙන යාම, අවි පතරොම් සැපයීම, මාර්ග හා වාහන සේවා කටයුතු, භට පිරිස් සඳහා ආහාර සැපයීම, වැනි විවිධ සහය සහ කාර්ය භාරයන් ඉටුකරදෙනවා. වෙලාවකට කටිනුත් යුද්ද කරනවා.

හෑ............කටින් යුද්ද කරනවා?

   හෙහ් හෙහ්, ඇත්තටම ඒකට කටින් යුද්ද කරනවා කිව්වට ඇති වැරැද්දකුත් නැහැ. එක අභ්‍යාසයක් තියනවා, අණදීමේ ස්ථාන අභ්‍යාසය -  Command Post Exercise කියලා. මේකෙදි අභ්‍යාසය කරන්නේ මෙහෙමයි.
   එකිනෙකට ඈතින් තියන, (එක බිත්තියෙන් වෙන්වුන කාමර දෙකක් වුනත් කමක් නැහැ එහාපැත්තෙ කතාකරන හා සැළසුම් කරන දේවල්, මෙහා පැත්තට ඇහෙන්නේ පෙනෙන්නේ නැත්නම්) ස්ථාන දෙකක ඉන්න කණ්ඩායම් දෙකක් අතරේ, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු මගින් ගහගන්නවා.

   ඔන්න අභ්‍යාසය පාලනය කරන තැනින් එක කණ්ඩායමකට කියනවා අහවල් තැනින් ඔබේ ප්‍රදේශයට සතුරු පිරිසක් ඇවිත් ඉන්නවා කියලා. එතකොට මේ පැත්තේ ඉන්න අය සිතියම් වලින් බලනවා ඒ කියන ප්‍රදේශය. කලින් කතාවෙලා තියනවා, මෙන්න මේ තැන්වල දෙගොල්ලන්ගේ භට පිරිස්, කඳවුරු, කාලතුවක්කු, යුද ටැංකි ආදිය තියෙන්නේ කියලා. ඉතින් අර අභියෝගයට ලක්වුණ අය කියනවා අපි මෙන්න මෙතනින් මෙච්චර පිරිසක් එවනවා රිටන් එක දෙන්න කියලා. එතකොට අරගොල්ලෝ කියනවා, අපි අහවල් පැත්තෙන් පැනලා ගිහින්, අහවල් පැත්තෙන් එනවා කියලා.

   ඔය විදිහට නිකම් කිව්වට බැහැ. අපි හිතමු ගම්පහ ඉඳලා කඩුවෙලට පිරිසක් එවනවා කිව්වා කියලා, ගතවන කාලය, එන්නේ පයින්ද, මගදී ඇම්බුෂ් කරන්න බැරිද, ආදී කරුණු සිය ගණනක් හිතන්න ඕනේ. මෙතැනදී මොළය කල්පනා කරලා සැළසුම් ඉදිරිපත් කරන කණ්ඩායම දිනුම්. ඇත්තටම යුද්දෙදි මේවා හරිම වැදගත්.

   තවත් ක්‍රමයක් තියනවා. කෘත්‍රිම ද්‍රව්‍ය හෝ වැලි, ගල්, පස්, සිමෙන්ති, යොදවා, පොළොවේ සකස් කරන ලද, සමහරවිට අඩි 50 x 50 දිග පළලටත් වැඩි, යුදබිම් ආකෘති වල, උපක්‍රමික අභ්‍යාසවල යෙදෙනවා. මෙය දැන් වැඩිදියුණු කොට, පරිගණක ජාලයකට සම්බන්ධව, තම පරිගණකයෙන් අභ්‍යාසයේ යෙදිය හැකි ආකාරයට සකසා තිබෙනවා.

   දැන් ඉතින් යුද අභ්‍යාසයක් කියන්නේ මොකක්ද කියන එක ගැන සෑහෙන්න දේවල් දැනගත්තා නේද? නිකම් බොරුවටනේ මට කෑ ගැහුවේ. මෙව්වා නොකළොත් අපි අමාරුවේ. දැන් තේරෙනවද, රටක ආරක්ෂාව කියන්නේ, හැමදාම ඇහැ අරගෙන ඉන්න ඕනේ දෙයක් කියලා.

   'ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ' කියලා, ඒ කාලේ කිව්වා දැන් අමතකද?

   ශ්‍රී ලංකාව සහ චීනය අතර මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන යුද අභ්‍යාසය ගැන, මෙතනින්මෙතනින්මෙතනින්මෙතනින්, විස්තර බලන්න පුළුවන්. මෑතකදී, ඇමරිකානු හමුදාව, අපිට බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ පුහුණුවක් දුන්න ආකාරය, මෙතනින් බලන්න පුළුවන්. චීනෙයි අපියි එකතුවෙලා කරපු යුද අභ්‍යාසයේ වීඩියෝවක් තියනවා. හැබැයි චීන භාෂාවෙන් තියෙන්නේ. කමක් නැහැ බලන්න.


2015 සැප්තැම්බර් මස 21 වැනි දින 0001 පැය

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }