හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

19 March 2016

අපි නොදන්න පෙළපාලි (දෙවැනි කොටස)

Parade
'අපි නොදන්න පෙළපාලි' ලිපි මාලාවේ පළමුවැනි කොටසට, ඔබෙන් ලද ප්‍රතිචාර වලට ස්තුතිවන්ත වෙමින්, දෙවැනි කොටසත් ඔබවෙත ගෙන එනවා. මා සිතාගත්තා, මේ ලිපි මාලාව, හැකිතරම් කෙටියෙන් සහ තරමක් වේගවත්ව ඉදිරියට ගෙනයාමට.

   කෙසේ වෙතත් මේ දිනවල මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්ව සිටිනවා. ඒ අතරම, පසුගිය දිනවල සිදුවුන විදුලිය ඇණහිටීම, ලිපි ලිවීමට මහත් බාධාවක් වුණා. එමෙන්ම, මෙවැනි ලිපි ලිවීමේදී, තොරතුරු නිරවද්‍යතාව සහ අවශ්‍ය කරුණු පමණක් ලිවීම, ඉතා පරෙස්සමෙන් කළයුතුව තිබෙනවා. පසුගිය ලිපියෙන් ඔබ කඳවුරු මුර පරීක්ෂාව හෙවත්, Guard Turnout කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අවබෝධයක් ලබාගත් බව ප්‍රතිචාර වලින් පෙණුනා.

   මේ ලිපියෙන් අපි බලමු 'සම්මාන මුරයක් හෙවත් Guard of Honour' කියන්නේ කෙබඳු පෙළපාලියක්ද යන්න.

   කලින් ලිපියේ සඳහන් මුර පරීක්ෂාවට වඩා, විශාල පරිමාණයේ පෙළපාලියක් තමා, සම්මාන මුරය කියන්නේ. මෙය, ත්‍රිවිධ හමුදා නිලධාරියකුට වගේම, ත්‍රිවිධ හමුදාවට අයත් නැති, රාජ්‍ය නායකයන්, තානාපති වරුන්, මැති ඇමතිවරුන් වැනි අයටත්, පිරිනමන්න පුළුවන්.

   නාවික හමුදාව නම්, මෙවැනි පෙළපාලි නැවකදී වුනත් පවත්වනවා.


(පාප් වහන්සේත් රාජ්‍ය නායකයකු ලෙස සැළකෙන නිසා, උන්වහන්සේටත් මෙවැනි පෙළපාලි පිරිනැමෙනවා. ඔබ මේ දිනවල දකින්නට ඇති, අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ, අතිගරු මහානායක ස්වාමීන් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දෙන අසළ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුරයක් යොදවා තිබෙන ආකාරය. එය සිදුවන්නේද, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශයේ නියෝග අනුවයි. එවැනි ස්වාමීන් වහන්සේනමක ගේ ආදාහන උළෙලේදී, කාලතුවක්කු අචාර වෙඩිමුර පවා පවත්වනවා.)

cdf-ng-chee-meng-was-part-data

   එසේම මෙය අවස්ථාව/අවශ්‍යතාව මත ත්‍රිවිධ හමුදාවෙන් එක් හමුදාවක් විසින් (තම හමුදාවට පමණක් සීමාවන උත්සවයක් නම්, එම හමුදාව පමණයි සහභාගි වන්නේ) හෝ ත්‍රිවිධ හමුදාවම යොදවා, (නිදහස් උත්සවය, රාජ්‍ය නායකයකු පිළිගැනීම වැනි) පවත්වන්නට පුළුවන්.

   මෙවැනි පෙළපාලියක්, දැඩි පරිශ්‍රමයකින් හා සංවිධානයකින් යුක්තව පැවැත්විය යුතුයි. අඩුපාඩු වැරදීම් වුනොත් රටේ අභිමානය කෙලෙසෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා, පුහුණුවීම් ඉතා ඉහළ මට්ටමෙන් පවත්වනවා. (අපේ රටේ නිදහස් උත්සව දින පෙළපාලියේ, අවසන් පෙර පුහුණුවට, ජනාධිපති නියෝජනය කරමින්, නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහභාගි වෙනවා)  නිදහස් දිනය, යුද ජයග්‍රහණය, සැමරීම සඳහා පවත්වන පෙළපාලි ගැන කතාකිරීම පසුවට තබා, ගෞරව සම්මාන පෙළපාලිය ගැන මුලින්ම කියා සිටින්නම්.

   ගෞරව සම්මාන පෙළපාලියක්, කාලගුණික බාධා වලින් වැළකීම සඳහා, අවශ්‍යනම්, ගොඩනැගිල්ලක් ඇතුළත වුනත් තියන්න පුළුවන්. නමුත්, අපේ රටේ එසේ කරන අවස්ථාවක් මා දැක නැහැ. ශීත කාලය දැඩිව පවතින රටවල, එහෙම කරනවා.  

   ගෞරව සම්මාන මුරයක් දීමට සුදුසු වන්නේ කාටද කියා, ඒ ඒ රටේ ආරක්‍ෂක අමාත්‍යාංශය හෝ අදාළ ආයතනය මගින්, කාලීනව ස්ථාවර නියෝග පනවනු ලබනවා. ලංකාවේ රාජ්‍යයට අදාළව, ජනාධිපති, අගමැති, අගවිනිසුරු, කථානායක, කැබිනට් ඇමතිවරු, ෆීල්ඩ් මාර්ෂල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, සඳහා ත්‍රිවිධ හමුදා ගෞරව සම්මාන පෙළපාලි පුද කරනවා.

G of H 1

   එක් හමුදාවකින් පමණක් ඉදිරිපත් කරන පෙළපාලි, ඉහත සඳහන් අයට අමතරව, ආරක්ෂක ලේකම්, ඒ හමුදාවේ හමුදාපති, පොලිස්පති, සහ එසේ පුද කිරීමට සම්මත කරගත් ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන්ට (සාමාන්‍යයෙන් කර්නල් සහ ඊට ඉහළ නිළවලටයි පිරිනමන්නේ. නමුත්, බලඇණියකින් පිරිනමන ආචාරයක්, මාණ්ඩලික නිලධාරි I මට්ටමේ සිටින, මේජර් නිලයේ නිළධාරීන්ටත් පිරිනැමෙනවා.) මේ පෙළපාලියේ සාමාන්‍ය පිළිවෙත මෙහෙමයි.

1. අමුත්තා පැමිණීමට පෙර පෙළපාලිය සහ තූර්ය වාදක කණ්ඩායම නියමිත ස්ථානයේ පෙළ සෑදීම.

2. පේළි නිවැරදි කරගැනීම (ඇදකුද නැතිව පේළි හරියට කෙළින් තැබීම. මෙය කරන්නේ සරඹ උපදේශක වරයකු විසින් කෙරෙන අණදීම් වලින්) 

3. අමුත්තා, පෙළපාලිය පිළිගන්නා පීඨිකාව Saluting Dais වෙත පැමිණීමට පෙර, පෙළපාලිය 'සීරුවෙන් අවි' ඉරියව්වේ තැබීම (පෙළපාලි අණදෙන්නා විසින් අණදීමෙන්)

4. අවශ්‍යනම් පෙළපාලිය පේළි දෙකක් ලෙස සැකසීම සඳහා අණ දීම. 'පසෙක අවි' යන අණ වචනය දීම සහ, උත්තමාචාරය ලබාදීම. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා, අමුත්තා වෙත ගොස්, සිය අසිපත පහත්කොට ආචාර කර, පෙළපාලිය වාර්තා කිරීම. මෙහිදී කියන්නේ, සුබ උදෑසනක්/මධ්‍යාහ්නයක්/සන්ධ්‍යාවක් වේවා, ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි, නිළධාරීන්........දෙනෙකුගෙන් ද, සෙසු නිලයන්........දෙනෙකුගෙන් ද, (පෙළපාලියේ සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් ගණන කියනවා. පෙළපාලිය පිළිගන්වන අමුත්තාගේ තනතුර අනුව, පෙළපාලියේ කී දෙනෙක් සිටිය යුතුද, අණදිය යුත්තේ කුමන නිලයක නිලධාරියකු විසින්ද යන්න පිළිබඳව, හමුදා නියෝග තිබෙනවා. ඒ අනුවයි පෙළපාලිය පවත්වන්නේ) සමන්විත පෙළපාලියේ සියල්ල සම්පූර්ණයි නිවැරදියි, ඔබතුමාගේ පරීක්ෂණය සඳහා සූදානම්, (ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි) යනුවෙන්.

පසුව එකතු කිරීම:- මේ පෙළපාලියේදී උත්තමාචාරය පුදකිරීම සිදුවන අතර තූර්යවාදක කණ්ඩායමෙන් පහත දැක්වෙන වාදනයට සමාන වාදනයක් ඉදිරිපත් කරනවා. අපේ රටේ වාදනයත් මෙයට 99% ක් සමානයි.



5. 'ඔබතුමාගේ පරීක්‍ෂණය සඳහා සූදානම්' කියන්නේ, අමුත්තා විසින්, පෙළපාලිය ඉදිරියෙන් ගමන්කර එය නිරීක්ෂණය කිරීමයි. මේ සඳහා රතු පලසක් එළා තබනවා. පීඨිකාවේ සිට පෙළපාලිය දෙසට මුහුණ ලා සිටගත් විට, අමුත්තාගේ වම් අත පැත්තෙන් අංශක 45 ක පමණ කෝණයකට විහිදෙන රතු පලස, ඉන්පසු පෙළපාලියේ ඉදිරි පේළිය ආරම්භවන ස්ථානයේ සිට, එම පේළිය ආසන්නයෙන් විහිදෙනවා. පේලිය අවසන් වන ස්ථානයේදී, නැවතත් එය අංශක 45 ක් පමණ කෝණයකින් යුක්තව, ආපසු පීඨිකාව වෙත විහිදෙනවා. අමුත්තා මේ පලස දිගේ ගොස් පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා.

G of H 2

   ඒ ඒ පෙළපාලියේ ස්වභාවය අනුව අමුත්තා සමග තවත් අය ගමන් කරනවා. අපි හිතමු පෙළපාලිය පවත්වන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් කියා. එහෙම නම්, ජනාධිපති තුමා පෙළපාලිය නිරීක්ෂණය කරන්නට යනවිට, ඒ පෙළපාලියට අදාළ හමුදාවේ/ඒ ස්ථානයේ සිටින ඉහලම නිලධාරියාත්, ජනාධිපතිතුමාට පසුපසින් ගමන් කරනවා. ජනාධිපති තුමා හෝ ඕනෑම ප්‍රධාන අමුත්තකු සමග, සමාන්තරව ගමන් කරන්නේ පෙළපාලියේ අණදෙන්නා පමණයි. නමුත් මෙය සෑම රටකම ඒ ආකාරයටම කෙරෙන්නේ නැහැ. ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස් වෙනවා. 

G of H 3

 විදේශීය රාජ්‍ය නායකයකු පැමිණි අවස්ථා වලදී, බොහෝවිට, එම රටේ රාජ්‍ය නායකයා එම විදේශීය රාජ්‍ය නායකයා කටුව පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා. කෙසේ වෙතත්, ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස්වන අවස්ථා ද තිබෙනවා.

G of H 4

   හමුදා නිලධාරියකු නොවන අමුත්තන්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට යාමට පෙර දැන සිටිය යුතු කරුණු තිබෙනවා. එයින් වැදගත් කරුණු දෙකක් සඳහා විශේෂ අවධානය දිය යුතුයි. රතු පලස දිගේ, පෙළපාලියේ ඉදිරි පේලියේ කෙලවරට පැමිණි පසු, පෙළපාලි අණදෙන්නා, තමන් ගමන්කළ පැත්ත මාරු කරනවා. ඒ බව නොදැන, අමුත්තා දිගටම ගමන් කලොත්, පෙළපාලි අණදෙන්නාට අමුත්තා පසුපස දුවන්නට වෙනවා. ඒ නිසා එතනදී අමුත්තා තම ගමන් වේගය මඳක් බාල කලයුතුයි.

036

   සමහරවිට අමුත්තාට අමතක වෙනවා, පෙළපාලිය නිරීක්‍ෂණයකොට ආපසු හැරෙන ස්ථානය. එවිට එය පෙන්වාදීම යහපත් ක්‍රියාවක්. 


   ඊටත් වඩා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි පෙළපාලියේ මැද තිබෙන ඒ රටේ ජාතික ධජයට හෝ, හමුදා පෙළපාලියක් නම් එහි ඇති හමුදා වර්ණ ධජ වලට ආචාර කල යුතුයි. හමුදා නිළධාරියකු ප්‍රධාන අමුත්තා ලෙස පෙළපාලිය නිරීක්‍ෂණය කරන්නේ නම්, හමුදා පිළිවෙත අනුව ආචාර කල යුතුයි.


   අපේ රටේ හිටපු ජනාධිපති වරුන් අතරින්, මෙය නිවැරදිව කරනු මා මෙතෙක් දැක ඇති එකම ජනාධිපතිවරයා, ජේ.ආර්.ජයවර්ධන මැතිතුමායි. එයට එකම හේතුව, ඔහු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු ලෙස සේවය කර තිබීම නිසා, එසේ ආචාර කිරීම දැන සිටීමයි. 

   අපේ රටේ ජනාධිපතිවරයා (කවුරු වුනත්) විදේශයකට ගියවිට, එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින හමුදා සම්බන්ධිකරණ නිළධාරියා Military Attaché විසින්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට ප්‍රථම, ජනාධිපතිවරයාට, එහි තිබෙන සම්ප්‍රදාය මතක් කර දිය යුතුයි. එසේ නැතහොත්, ජනාධිපතිවරයා සමග යන ඊනියා උපදේශකයකු, එය මතක් කර දියයුතුයි. සමහර පෙළපාලි වල, අමුත්තාට ඉදිරියෙන් ආරක්ෂක මුරයක් ගමන් කරනවා. ඔවුන් අනිවාර්යයෙන්ම වර්ණ ධජ වලට ආචාර කරනවා. ඒ බව අමුත්තා විසින් කල්තබා මතකයේ රඳවා ගන්නේ නම්, ඒ මුරය ආචාර කල පසු, තමන්ටද ආචාර කිරීම කළහැකි වෙනවා. 


   මෑතකදී, අපේ ජනාධිපතිතුමා, ජර්මනියේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී, මෙවැනි අත්වැරදීමක් සිදුවුණා. එතුමා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිණිය සමග, එරට හමුදාව විසින් පිරිනැමුණු සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමේදී, ධජයට ආචාර කිරීම අමතක වුණා. නමුත්, ඇන්ජලා මර්කල් මැතිණිය, එය මතක් කර දී, එම අතපසුවීම නිවැරදි කළා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. ඇත්තෙන්ම මෙය සිනහවට කරුණක් නොවේ. කුමන ජනාධිපති වරයාට වුනත්, මෙවැන්නක් සිදුවිය හැකියි. අර ජනාධිපති උපදේශක උන්නැහේලා, මෙවැනි සිදුවීම් වල වගකීම භාරගත යුතුයි. 


   පෙළපාලිය නිරීක්‍ෂණය කොට, ආපසු පීඨිකාව වෙත පැමිණෙන අමුත්තා වෙත, නැවතත් උතතමාචාරයක් පුද කිරීමෙන් පසු, අමුත්තා එතනින් ඉවත්ව යනවා. පෙළපාලිය විසිරී යනවා. මේ තමයි, සම්මාන මුරයක සරල විස්තරය. තවත් පෙළපාලි ගැන, ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු. 

2016 මාර්තු මස 19 වැනි දින 0025 පැය


10 March 2016

අපි නොදන්න පෙළපාලි (පළමුවැනි කොටස)

March past
ඉස්කෝලේ ගිය කාලේදී නම්, වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ගමනාචාර පෙළපාලිය සඳහාවත්, ඩ්‍රිල් කරලා ඇති නේද තමුන්නාන්සේලා? හැබෑටම එහෙමවත් වම දකුණ ගහපු නැති අයත් ඉන්නවානේ මං අහන්නේ. බොහොමයක් පාසල්වල සමහර ළමයි, හැම දෙයක්ම කරනවා. පාසලේ තියන බොහොමයක් සමිති සමාගම් වල සාමාජිකත්වය දරනවා, බාලදක්ෂ, ශිෂ්‍යභට ව්‍යාපාරවල යෙදෙනවා, ක්‍රීඩා වලටත් යනවා. හැබැයි ඔය මොකවත් නොකරන, ශරීර හොරුත් ඉන්නවා. හැබැයි ඒ වගේ අයට, ජීවිතයට මූණ දෙන්න අමාරුවෙනවා, සමාජානුයෝගය අඩු නිසා. මෙන්න මේ ටික මුලින්ම කිව්වේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ගැන, අද යමක් කතාකරන්න අදහස් කරන නිසා. ඉස්කෝලවල වගේ නෙවෙයිනේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ටිකක් ඇඟට වදින්න ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

   ඒ මදිවට අද අපේ රටේ අවුරුද්දකට සෑහෙන පෙළපාලි ගණනක් තියනවානේ. මැයි පෙළපාලි, වර්ජන පෙළපාලි, ඉල්ලීම් පෙළපාලි, විරෝධතා පෙළපාලි, තව කීයක් ජාතිද. අර අමුඩ පෙළපාලි යෑම මීට පස්සේ කරන්නේ නැතිලු නේද? පව් අප්පා අමුඩ කට්ටිය. 

   හමුදාවට අලුතෙන් සෙබලියන් බඳවා ගත්තම, මුලදී ඒගොල්ලෝ හිතන්නේ, අර ඉස්කෝලෙදි කළා වගේ, 'වාම් දාක් වාම් - වාම් දාක් වාම්' කියලා, නැලවිල්ලේ ගමන් කරන්නයි. නමුත්, සරඹ උපදේශක වරියන් විසින් ඔවුන්ව නිවැරදි කරනවා. (සරඹ උපදේශකවරු කියන්නේ, 'මොනවද ළමයි යනවකෝ 'චෙස්' (chest) ෆෝවඩ් දාලා, පුක් බෑක් දාලා' කියලයි)  ඒ කියන්නේ, පපුව ඉදිරියට දමා, කඳ තරමක් පසුපසට බර කර යන්න කියන එකයි.  ඔබ සෑහෙන්න දැක ඇති, හමුදාවේ විවිධ පෙළපාලි. නමුත් ඔබට දකින්නට නොලැබෙන, එහෙමත් නැත්නම්, ඉතා කලාතුරකින් පමණක් දකින්නට ලැබෙන පෙළපාලි, හමුදා කඳවුරු තුළ පැවැත්වෙනවා.

   (නෑ නෑ එව්වා ඉතින් පෙළපාලි නෙවෙයිනේ. ඔය ටිකක් ලොකු සාදයක් තිබ්බම වෙන වෙන පෙළපාලිත් යනවා) මෙහෙම, අතනින් මෙතනින් මේ කතාව කියන්න බැහැ. ඒ නිසා, පිළිවෙලකට පටන්ගෙන කතාව කියන්නම්.


මොකක්ද හමුදා පෙළපාලියක් කියන්නේ? 

   හමුදා පෙළපාලියක් කියන එක මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.

යම්කිසි හමුදා සොල්දාදුවන් පිරිසක් (සමූහයක්) එකිනෙකාට ආසන්නව විවිධ හැඩතල අනුව (close formation) ගමන් කරමින්/නැවතී සිටිමින්, ප්‍රදර්ශනය කරන්නාවූ සංදර්ශනාත්මක අභ්‍යාසය, පෙළපාලියයි.

   අද අපි දකින පෙළපාලි, මෑත යුගයට අනුගත වන පරිදි සකසාගත් ඒවායි. නමුත් හමුදා පෙළපාලිය කියන්නේ, ඈත අතීතයේදී පැවති යුද හමුදා, සටන් බිමට පිවිසීමේදී අනුගමනය කළ, සාම්ප්‍රදායික හමුදා පිළිවෙතයි. මේ පහත පින්තූරයේ තිබෙන්නේ, හුණුගල් පුවරු කැටයමක්. ලෝක ඉතිහාසයේ, මිළ කල නොහැකි පුරාවස්තුවක්. ඉරාකයෙන් මේ පුරාවස්තුව හොයාගත්තේ, මෙසපොතේමියානු යුගයේ, යුද ජයග්‍රහණයක් ස්මරණය කරන්න සැකසු, ශිලා ස්තම්භයකින්. අද මෙය පැරීසියේ කෞතුකාගාරයක සුරක්ෂිතව තිබෙනවා. බලන්න මෙහි පැහැදිළිව පෙනෙනවා, පලිහ වලින් ආවරණය ගෙන, සොල්දාදුවන් පිරිසක්, ඝණයක හැඩය සකසාගෙන, ගමන් කරන හැටි. මේ යන්නේ කෙළින්ම යුද භූමියට. 

Stele_of_Vultures_detail_01-transparent

   මෙහෙම ලංවෙලා යනකොට, ආරක්ෂාව හොඳයි. හිතටත් හයියක් තියනවා. අපි සාමාන්‍ය ජීවිතයේදීත් එහෙම නේද ක්‍රියාකරන්නේ? නමුත් අද කාලේ, මේ විදිහට ගුලි ගැහිලා යුද බිමේ ගියොත්, එක මැෂින් තුවක්කු/මෝටාර්/රොකට්/කාලතුවක්කු/ගුවන් ප්‍රහාරයක්/ මගින්, විශාල පිරිසක් වනසන්න පුළුවන්. ඒ නිසා අද කාලයේදී මෙය, ජාතික, සංග්‍රාමික, විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන්, සංදර්ශනාත්මක සහ හමුදා අභිමානය, විනයවත් බව, අණදීම සහ අණ පිළිපැදීමේ කාර්යක්ෂම බව, හමුදා ශක්තිය, නිරූපණය, කෙරෙන අභ්‍යාසයක් පමණක් වන අතර, එවැනි පෙළපාලි පවත්වන්නේ, සාමය පවතින කාලයක හෝ යුද මෙන් ඈත්ව පිහිටි ප්‍රදේශවල පමණයි.  

   මීළඟට මා බලාපොරොත්තු වෙනවා, හමුදාවේ පැවැත්වෙන පෙලපාලි කීපයක් ගැන ඔබට හැඳින්වීමක් කරන්න.


කඳවුරු මුර පරීක්‍ෂාව - Guard Turnout 

   නිළ වශයෙන්, ප්‍රථම වරට, යම්කිසි කඳවුරකට පැමිණෙන උසස් නිළධාරියකුට හෝ, කඳවුරේ පැවැත්වෙන උත්සවයක්, පෙළපාලියක් වෙනුවෙන්, ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන නිළධාරියා වෙනුවෙන්, යම් රෙජිමේන්තුවක/බලඇණියක සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට පැමිණෙන, එම රෙජිමේන්තුවේ/බලඇණියේ අණදෙන නිලධාරියාට, සහ අවශ්‍ය යයි සිතෙන වෙනත් වැදගත් අවස්ථා වලදී මේ පෙළපාලිය පිරිනමන්න පුළුවන්. මේ පෙළපාලියට අණදෙන්නේ, කඳවුරු මුරයේ මුරපති (සාමාන්‍යයෙන් සැරයන් නිලයේ කෙනෙක්) විසින්.

   (හරි හරි, කඳවුරු මුරය කියන්නේ, යම්කිසි කඳවුරක ආරක්ෂාව සඳහා, වරින්වර සොල්දාදුවන් මාරුවෙමින්, පැය 24 පුරා පවත්වාගෙන යන, ආරක්ෂක මුරයයි. පෙළපාලියට එක්වන්නේ, එම අවස්ථාවේ මුරයෙන් නිදහස්ව සිටින සොල්දාදුවන් හතර දෙනෙක්, බියුගල් නලාකරු, සහ මුරපති)

   අර උසස් නිලධාරියා කඳවුරු ගේට්ටුවෙන් ඇතුළුවන විටම, කඳවුරේ ප්‍රධාන නිළධාරියා විසින්, ආචාර කර පිළිගන්නවා.

GT 3

   මේ වනවිට පෙළපාලිය, කඳවුරේ මුරහල guard room ඉදිරිපිට, පෙළපාලිය පැවැත්වීමට වෙන්කර තිබෙන ස්ථානයේ, පෙළ සදා සීරුවෙන් ඉන්නවා. මුරපති විසින්, කල්තබා, 'මුරය.......පෙළ සදන්' යන අණ දීම අනුව තමයි, නියමිත ස්ථානයට අනුපිළිවෙලින් ගමන්කර, පෙළ සදන්නේ. පෙළපාලිය පිළිගන්න නිලධාරියා, තමන්ට මුහුණලා සිටින පෙළපාලියේ හරි මැදට පැමිණ, පෙළපාලිය දෙසට හැරී නවතිනවා. පෙළපාලිය අණදෙන්නා සිටින්නේත් එම පේලියේ හරි මැද. එවිට පෙළපාලි අණදෙන්නා මුලින්ම, 'කඳවුරු මුරය, පසෙක............ අවි'  කියන නියෝගය දෙනවා. එවිට පෙළපාලිය ඉන්නේ මෙහෙමයි.

GT 1


   බලන්න මේ අයගේ අවිය ඔසවා, සිරුරේ දකුණු පැත්තේ සිටින ලෙස අල්ලාගෙන ඉන්නවා. ඒ තමයි, 'පසෙක අවි' ඉරියව්ව. ඊ ලඟට මුරපති, 'කඳවුරු මුරය උත්තමාචාර අවි' කියන නියෝගය දෙනවා. එවිට මුරය, තම අවියෙන්, උත්තමාචාරය පුද කරනවා. ආචාරය පිළිගන්නා නිලධාරියා ද ආචාර කරනවා. බියුගල් නලාකරු, එම පෙළපාලියට අදාළ (හමුදාවෙන් සම්මත) වාදනය ඉදිරිපත් කරනවා. මෙන්න ඒ වාදනය. තත්පර 15 යි යන්නේ. ඒ නිසා අහන්න.  





 බියුගල් වාදනය අවසන් කල පසුව, නැවතත්, 'පසෙක අවි' කියන අණ වචනය, මුරපති දෙනවා. එතෙක් අර නිලධාරියාද, ආචාර කරගෙන ඉන්නවා. 


GT 2

   ඊළඟට මුරපති අඩියක් පෙරට එනවා. පැමිණ, බට් සෙලියුට් කියන ක්‍රමයට ආචාර කර, (තුවක්කුව පසෙක අවි ඉරියව්වේ තිබියදී, වම් අතේ අත්ලෙන්, තුවක්කුවේ බට් එකේ ඉදිරි පැත්තට තට්ටුවක් දී ආචාර කිරීම තමයි, බට් සෙලියුට් එක කියන්නේ. පින්තූරයක් හොයාගන්න නැත) මෙන්න මෙහෙම මුරය වාර්තා කරනවා.

GT 4


   'සුබ උදෑසනක් වේවා තුමනි, (මේ පෙළපාලිය තියන්නේ උදේ වරුවේ පමණයි සාමාන්‍යයෙන්) සෙබල අංක .......වන මම, (අංකය, නිළය, නම, කියනවා) ............රෙජිමේන්තුවේ (මේ පෙළපාලිය පැවැත්වෙන කඳවුරේ නම) කඳවුරු ආරක්‍ෂක මුරයේ අණදෙන්නා වෙමි. මුරයේ සියල්ල සම්පූර්ණයි, නිවැරදියි, ඔබතුමාගේ පරීක්‍ෂාවට සූදානම් තුමනි' මෙසේ වාර්තා කර ඔහු ආපසු පියවරක් පසුපසට ගෙන පේළියට එක්වනවා. ඊළඟට මේ පෙළපාලිය පිළිගන්නා අර නිලධාරියා, එක පෙළට සිටගෙන සිටින, බියුගල්කරු, මුරපති, මුරසෙබළුන් සහිත පේළිය, තම වම් අත පැත්තෙන් පටන් ගෙන, දකුණු අත පැත්ත දක්වා, ගමනේ යෙදෙමින්, පරීක්‍ෂා කරනවා.


GT 5

   එය අවසාන වෙනවා විනාඩියකින් පමණ. නිලධාරියා, ආපසු තමන් සිටිය ස්ථානයට පැමිණ, (පේලියේ හරි මැදට ඉදිරියෙන්) සිටගන්නවා. ඉන්පසු එම නිලධාරියා, මුරපතිට කියනවා, පෙළපාලිය හොඳයි/සතුටුදායකයි කියලා. (කවදාවත් නරකයි කියන්නේ නැහැ. එහෙම කියන තත්වයෙන් ඉදිරිපත් කරන්නෙත් නැහැ)


download (1)එවිට මුරපති යලිත් අණදෙනවා, 'මුර සෙබළ නොසැලෙන්, සෙස්සන් මුරගෙට.......යා,' යනුවෙන්. අර පේළියේ අන්තිමට ඉන්න සෙබලා, එහෙමම සීරුවෙන් සිටිද්දී, අනික් සියලු දෙනා දකුණට හැරෙනවා. 'ඇලේ අවි' කියන ඉරියව්වට තම අවිය ගන්නවා. මේ පින්තූරයේ තියෙන්නේ ඒ ඉරියව්ව. ඒ හා සමානවම, අර නිලධාරියාත් දකුණට හැරෙනවා. නිලධාරියා ආචාර කර එතනින් පිටවෙනවා. මුර සෙබලා හැර සියලු දෙනා, දෙගුණයක් ගමන් වේගයෙන් (double up) මුරහලට යනවා. 

   ඔන්න ඕකට තමයි, කඳවුරු මුර පරීක්ෂාව කියන්නේ. මෙය ඉතා කලාතුරකින් තමයි, සාමාන්‍ය මහජනතාවට දකින්නට ලැබෙන්නේ. මීට පස්සේ, මේ වගේ දෙයක් දැක්කොත්, පරීක්ෂාවෙන් බලන්න, එතන සිදුවන දේ. තවත් කොටසකින් හමුවෙමු. 

2016 මාර්තු මස 10 වැනි දින 0022 පැය

08 March 2016

ගිරාම සේවකටත් මොළේ ඒඩ්ස්


R-4326717-1361823905-4550.jpeg
  අර කුලියාපිටියේ බෝහන්දිය ගම ගැන මේ දවස්වල නිතර කතාවෙන සංගෙදිය ඔය ඇත්තෝ සහසුද්දෙන්ම දන්නවනේ. ඒ ගම අයිති ගල්පොල ගිරාම සේවක උන්නැහේ දීලා තියනවා ඇට්ටි හැලෙන්න ඒ අම්මගේ. අපි මේ මෙච්චර දවස් බැන්නේ මේ ගමේ  බුඩ්ඩිමට් ජනතාවකට නේ අම්මපා. මේ ගිරාම සේවක උතුමාණන් වහන්සේ ලංකා ඊනිවුස් අඩවියට දෙසා වදාර තියනවා මේ අම්මගේ කැරැට්ටුව ආයේ උතුර නොහොල්ලන්න.


මේ තියෙන්නේ ගිරාම සේවක උතුමා දෙන විස්තරේ. 


හැහ් හැහ් හැහ්, කොහොමද විස්තරේ. බලනකොට මේකි අවුරුදු 50000 කටවත් මෙහා පැත්තේ, මේ රටේ උපන්නේ නැති බලු වේසියක්නේ. හුහ්, මුන් වගේ එවුන්ගේ පවුල්වල දරුවොත් මං හිතන්නේ මොන්ටිසෝරි යන කාලෙදිම, මොන්ටිසෝරි ටීචටත් වැඩේ දීලා ඇති. නැහ්නං මේ කුශාග්‍ර, ව්‍යාඝ්‍ර ගිරාම සේවක උන්නාන්සේ, කියයියෑ, මේ අම්මා මැදපෙරදිග ගිහින් එනකොට, චරිතය විනාස කොරගෙන ආවේ කියලා. අම්මපා ඔය ගිරාම සේවක උන්නාන්න්සේ, ඒ ගමේ ගෑණියක් මැද පෙරදිග රස්සාවකට ගිහිල්ලා ආපහු එනකොට, උන්නැහේගේ පරීක්ෂණ දණ්ඩ දාලා බලනවා ඇති, චරිතය කෙලෙසිලාද, කොච්චර ගැඹුරට කෙලෙසිලාද කියලා. නැද්ද මං අහන්නේ. එව්වා ඉතින් උන්නාන්සේගේ පරම රමණීය රාජකාරියක් වෙන්ටෑ.

ඇයි යකෝ, මොකද අපේ රටේ වේසියෝ කියලා ජාතියක් බේතකටවත් හොයාගන්න පුලුවන්ද? ඔය වේසා ගෑණු ඉබේ පහළවෙන එවුන් මිසක්, මොකද අය පිරිමි ඔව්වට වගකියන්න ඕනෙද? වේසා ගෑණුන්ගේ ළමයි අපේ රටේ කොහෙවත් කිසිම ඉස්කෝලෙක ඉන්නවද? මිනිහාට අමතරව හොර මිනිහලා ඉන්න ගෑණු එකෙක්වත් අපේ රටේ ඉන්නවද? අනික මේකි කසිප්පු පෙරනවලු, බාබුල් විකුණනවලු. ඇයි යකෝ අපේ රටේ කිසිම ගෑනියක් කසිප්පු පෙරනවද? ඔන්න අර, සිරිපාල හා රම්මැණිකා පිචර් එකේ මාලිනී පොන්සේකා කසිප්පු පෙරුවා සල්ලි වලට. 

ඊ නිවුස් එකේ සමාප්ති සටහන මෙන්න මෙහෙමයි.

//ගමේ මිනිසුන් මේ දරුවා පාසැලට ඇතුලු කරනවාට විරුද්ධ වූයේ මෙවැනි හේතු කාරණා රාශියක් ඇතිවය. මේ සම්බන්ධයෙන් ග්‍රාම සේවක මහතා ඇතුළු ගමේ බුද්ධිමත් ප්‍රධානීන්ගේ මතය වන්නේ දරුවා මේ මවගෙන් වෙන් කර පරිවාස භාරයේ ගොඩ නැගුවේ නැතිනම් දරුවාද පවුලේ අන් අය මෙන් අපතයෙක් වන බවයි.  

කෙසේ වෙතත් මේ වන විට මාධ්‍ය මගින් ලැබූ විකෘති ප්‍රසිද්ධිය දරුවාගේ යහපතට වඩා අයහපතට හේතු වී තිබේ. ඊටද ප්‍රධාන හේතුව චාන්දනී නම් මවයි. දරුවාට පාසැලක් ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයාද ජනාධිපතිවරයාද පවසා සිටියත් දැන් ඇය කියන්නේ තමාට එංගලන්තයට යෑමට අවස්ථාව ලැබී ඇති නිසා දරුවා පාසැල් නොයවන බවයි. ඇය දරුවාගේ සිද්ධිය තම ආදායම් මාර්ගය කරගෙන තිබේ. දිනපතා ඇය බැලීමට එන රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලට ඇය ගිජු වී සිටී. 

පරිවාස නිලධාරීන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු නිල නොවන තොරතුරුවලින් ඇය HIV ආසාදිත කාන්තාවක් බව පැවසේ. ඒ එසේ නම් ඇයට අනෙකුත් HIV ආසාදිතයන්ට සේ වෙනම සුබ සාධන වැඩ පිලිවෙලක් සූදානම් කළ යුතුය. ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා“ යි තර්ජනය කරමින් සමාජය භීතියට පත් කරමින් පිස්සු කෙළීමට ඉඩ නොදිය යුතුය.

දරුවා HIV ආසාදිතයෙක් නොවේ. කෙසේ වෙතත් දරුවාගේ අනාගතය ගැන සලකා බලන්නේ නම් දරුවා මවගෙන් වෙන් කර මේ අලකලංචි වලින් තොර වෙනත් සමාජ පරිසරයක ගොඩ නැගිය යුතුය. එය අමානුෂික දෙයක් නොවන අතර එය ශිෂ්ඨ සමාජයක වගකීම වන්නේය//

ඔය කියන බුඩ්ඩිමත් ජනතාව එදා ඒ පාසලේ රැස්වීමට ඇවිත්, ඔය විදිහට කතා කලාද, එහෙම නැත්තං, උන්ගේ මෝ ගන්ඩ දැඟලුවාද? වයඹ අජ්ජපාන ඇමැත්තා,  එතන අන්ධභූත ජාතකය නැටුවේ ඇයි? මේ කියන 'පරි' වාස නිලධාරීන්, එදා ඒ රැස්වීමට ආවාද? ඔවුන්,  වයඹ අජ්ජපාන ඇමැත්තාට මේ කරුණු කිව්වාද? මේ අම්මට විරුද්ධව අපරාධ චෝදනා ඇත්නම්, දරුවා පාසලට දමන්නට හදනතුරු, ඒ චෝදනා තිබුනේ කොහෙද? ඒවාට එරෙහි පියවර අර ගිරාම සේවක ගිරවා නොගත්තේ ඇයි?

මේ එක චෝදනාවකටවත්, මේ දරුවා වැරදි කාරයෙක් වෙන්නේ නැති බව, ඔය පුස්සන්ට නොතේරෙන්නේ ඇයි? උගේ මානව හිමිකම් ගැන බලන්නේ කවුද?


2016 මාර්තු මස 08 වැනි දින 1410 පැය

03 March 2016

ත්‍රිවිධ හමුදාවට කුමක් කලයුතුද?

Screenshot (2)
අපේ ත්‍රිවිධ හමුදාව, උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන බවට, ප්‍රවෘත්ති පලවෙනවා. එමෙන්ම, හමුදාවේ ශක්තිය අඩු කිරීමට, රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමරිකාව වැනි රටවලට පොරොන්දු වී ඇති බවත්, අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිලිබඳ මහා විශ්ලේෂක, කීර්ති වර්ණකුලසූරිය උන්නාන්සේ, පොරකාස කොර තිබෙනවා. නමුත්, ඒ තොරතුරු මූලාශ්‍ර සනාථ කරන කිසිදු සාධකයක්, උන්නාන්සේ විසින්, දියවෙන දිවයින පත්තරේ සඳහන් කර නැහැ.

   වසර 30ක් පමණ ඇදීගිය, කාලකන්ණි, අවාසනාවන්ත යුද්ධය, දැන් ඉවරයි. ඒ ගැන සතුටු නොවන්නේ, යුද්ධය ජාවාරමක් කරගෙන හිටිය අය පමණයි. ඒ ජාවාරම්කරුවන්ගේ ගොඩට, සමහර දේශපාලුවන් පවා ඇතුළත් වෙනවා. LTTE හිතවාදී සමහර දේශපාලුවන් වගේම, සමහර වෙනත් සංවිධානත් බලන්නේ, උතුර නැගෙනහිර පළාත්වලින්, හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමටයි. මෙහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ, යුද හමුදාවටයි. එයට ප්‍රධාන හේතුව, වඩා විශාල මෙන්ම, භූමියේ වැඩිපුර විසිරී සිටින්නේ, යුද හමුදාව වීමයි.

   යුද්ධය අවසන් නිසාත්, තවත් යුද්ධයක් ඇතිවෙතැයි හිතන්නට අපහසු නිසාත්, අප කුමක් කළයුතුද? හමුදා ඉවත් කිරීම/අඩු කිරීම/විසුරුවා හැරීම/පිළිබඳව අදහස් දක්වන අයගෙන් බහුතරයක්, ඒක පාර්ශ්විකව අදහස් දක්වන බවයි පෙනෙන්නේ. අපේ පාර්ලිමේන්තුව තුළ, බුද්ධිමය සංවාද වලට ඉඩක් නැතිවීමත්, මැති ඇමතිවරුන් ලෙස සිටින අයගෙන් බහුතරය, දේශපාලන වැද්දන් වීමත් නිසා, මෙවැනි මාතෘකා පිළිබඳව, රටේ මහජනතාවගේ අවබෝධය පුළුල්වන සංවාද, පාර්ලිමේන්තුව තුළ ඇතිවෙතැයි, සිතන්න අපහසුයි. අපේ පාර්ලිමේන්තුව තුළ, ඉතිහාසයේ සිටම සංවාද ඇතිවන්නේ, මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වෙනුවෙන්, ශෝකප්‍රකාශ කිරීමේදී පමණයි. කුමන පක්‍ෂයක් බලයේ සිටියද, සෑමවිටම සිදුවන්නේ, රජයේ සෑමදෙයකටම, විපක්ෂය විරුද්ධවීම පමණයි. අපි එතරම්ම පහත් ගෝත්‍රික ලක්ෂණ සහිත රටක්.
  
   ඇත්තටම අපි කුමක් කළයුතුද? හමුදා ශක්තිය අඩුකළ යුතුද? හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත්කළයුතු ද? හමුදාව සිටිය යුත්තේ දකුණේ ප්‍රදේශවල පමණද? වෙනත් විකල්ප මොනවාද? මෙය ඉතා පුළුල්ව සලකාබලියයුතු බැරෑරුම් මාතෘකාවක්.

   නිකම් බොරු බයිලා ගහන්න එපා මහත්තයෝ. ඔය හමුදාකාරයෝ බාගයක් විතර යවනවකෝ ගෙදර. ඉවරයිනේ කතන්දරේ.

   හොඳයි, අපි හිතමු එහෙම කළා කියලා. අපි හිතමු, ත්‍රිවිධ හමුදාවෙන් බාගයක්, විශ්‍රාම යැව්වා කියලා. රජයට කෙටි කාලීනව ලාබයි. දිගුකාලීනව පාඩුයි. දැනටත්, මේ අපිවගේ පැන්සොන් කාරයන්ට පඩි ගෙවීම, බරපතළ ප්‍රශ්නයක් නේ. ඉතින් ත්‍රිවිධ හමුදාවෙන් බාගයක් විශ්‍රාම යැව්වොත්, වැටුප් ගෙවන්න ගිය වියදම අඩුවෙනවා. නමුත් අර 'පැන්සොන් කාරයන්ගේ' ගොඩ ලොකුවෙනවා. කෙටිකාලීනව හොඳයි, දිගුකාලීනව නරකයි. ඒ වගේම, ඔය විශ්‍රාම ගිය හමුදා සාමාජිකයෝ, මොනවා කරයිද ගෙදර ගිහින්? හොඳ වැඩ කරයිද නරක වැඩ කරයිද? බහුතරයක් හොඳ වැඩ කරනවා. නමුත්, නරක වැඩට පෙළඹෙන සුළුතරයක්, අනිවාර්යයෙන් ඉන්නවා. ඒ අය කරන නරක වැඩ, අර හොඳ ඔක්කොම මකා දමනවා. මේ නිසා, එහෙම විශ්‍රාම යවනවානම්, ඔවුන්ට, තම ජීවිතය අර්ථවත්ව ගෙනයාහැකි ආකාරයේ, පුහුණු වැඩපිළිවෙලකට යොමුකිරීමෙන් පසුව පමණයි, විශ්‍රාම යැවිය යුත්තේ.


   හමුදාව උතුරු නැගෙනහිර අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් අල්ලාගෙන, බලහත්කාරයෙන් කෑම්ප් ගහගෙන ඉන්න එක සාධාරණද?

   මේ ප්‍රශ්නයට උත්තරදෙන්න, යුද න්‍යාය අනුව කරුණු කීපයක් කියන්න වෙනවා. යම්කිසි රටක, යුද්ධයක් ඇතිවුණාම ක්‍රියාත්මක වෙන්නේ, යුද නීතියයි. (martial law) අපේ රටේ තිබුණේ, අභ්‍යන්තර යුද්ධයක් නිසා, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, වැනි නීති තමයි ක්‍රියාත්මක වුණේ. ඒ මොන නීතිය තිබුණත් නැතත්, යුද්ධය යුද්ධයමයි.

   ඇත්තටම අපේ හමුදාව සටන් කළේ, ප්‍රබල සතුරු හමුදාවක් සමග. මෙහිදී, යුද්ධයෙන් ජයගන්න නම්, භූමියේ පාලනය, තමන්ට නතුකරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. යුද භූමියේ යම් යම් ප්‍රදේශ තිබෙනවා, සටනේ ජයග්‍රහණය මෙන්ම, තම ඉදිරිකටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා, අනිවාර්යයෙන්ම රැඳීසිටීම පිණිස, උපක්‍රමික වශයෙන් වැදගත්වන ප්‍රදේශ. ඒවා යුද න්‍යායේදී හඳුන්වන්නේ, (Ground of Tactical Importance = GTI) යනුවෙන්. මේ GTI එකක් අහිමි වුනොත්, අපිව පරදා සතුරා GTI එක අල්ලගත්තොත්, අපිට අබ සරණයි! (සුද්දා උඩරට ආක්‍රමණය කරද්දී, අපි සුද්දට ගල් පෙරළුවා, සුද්දව ඇම්බුෂ් කළා, එහෙම කලේ GTI වල ඉඳලා. මුල්ලේරියාවේ සටන, රන්දෙනිවෙල සටන, ඌව වෙල්ලස්ස සටන කළේ, හොඳ GTI වල)

   ලෝකයේ නරක මිනිස්සු නැත, සංවර්ධනය තුළින් මිනිසුන්ගේ දේශපාලන, ජාතිවාදී, වර්ගවාදී, බෙදුම්වාදී, අදහස් සම්පූර්ණයෙන්ම නැතිකළ හැකිය, මිනිසුන්ට පූර්ණ නිදහස ලබාදීමෙන් පසු ඔවුහු සාමකාමීව වෙසෙති, වැනි අදහස්, බොහෝවිට වලංගු වුනත්, සෑමවිටම වලංගු නැහැ. මෙයින් මා අදහස් කරන්නේ, උතුරු නැගෙනහිර ජනතාව, හමුදා සපත්තුවෙන් පාගාගෙන සිටියයුතු බව නොවේ. උතුරු නැගෙනහිර ඇති සෑම කඳවුරක්ම වසාදැමීම, ණුවනට හුරු නොවන බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු තිබුණේ, අපේ රටට නිදහස ලැබෙන්නත් පෙර සිටයි. ඊලාම් යුද්ධය නිසා, මහා පරිමාණ කඳවුරු සංකීර්ණ බිහිවුණා. ත්‍රිවිධ හමුදාවේම සංයුතිය වර්ධනය වුණා.

   මේ කඳවුරු පිහිටුවා තිබෙන්නේ, ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍යයට අයත් භූමියේ. ඒ නිසා, එක ප්‍රදේශයක ඉන්න අයට කියන්න බැහැ, අපේ ප්‍රදේශයට හමුදා කඳවුරු එපා කියා. එම කඳවුරු, ජාත්‍යන්තර නීතිය යටතේ සලකා බැලුවත්, කිසිදු නීතියක් උල්ලංඝනය කරමින් පිහිටුවා නැහැ. මහජනතාවට අයිති ඉඩම්, මානුෂවාදී නීතිය යටතේ සලකා නිදහස් කලත්, ජාතික ආරක්ෂාව යටතේ, නිදහස් නොකර තියන්නත් පුළුවන්.  අද වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහජනතාවට අයිති ඉඩම්, සාපේක්‍ෂ වශයෙන් ඉතා සුළු කොටසක් පමණයි, හමුදාව පරිහරණය කරන්නේ. එයින් බොහොමයක් ඒවා, අත්‍යවශ්‍ය GTI. මේ නිසා, කළයුතු හොඳම විකල්පය වන්නේ, එම ඉඩම් අයිති අයට, ඔවුන්ගේ ඉඩම් හා සමාන ඉඩම්, වෙනත් සුදුසු ස්ථානයකින් ලබාදීම හෝ ඉඩම් වටිනාකම තක්සේරුකර වන්දි ගෙවීමයි.


   යුද්ධයක් එන්නේ නැති බව දැන දැනත්, මොකටද මෙච්චර ලොකු හමුදාවක් තියාගන්නේ?

   නැවත යුද්ධයක් එන්නේ නැහැ කියලා, 100% ක් සහතික කරලා කියන්න, කාටවත් බැහැ. යුද්ධය අවසන් කියලා, මහා පරිමාණයෙන් හමුදා විසුරුවා හැරියේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පමණයි. ඉතා සාමකාමී රටක් වශයෙන් ප්‍රසිද්ධ, ඕස්ට්‍රේලියාවේ පවා, අදටත් හමුදාවක් පවත්වාගෙන යනවා. එපමණක් නෙවෙයි, යුද්ධායුධ නිපදවීමෙනුත්, ඔස්ට්‍රේලියාව සෑහෙන ධනයක් උපදවනවා. යුද්ධයක් එන්නේ, ගහෙන් ගෙඩි එනවා වගේ, ඇසිපිය ගසන සැණින් නෙවෙයි, ක්‍රමාණුකූලව.

   1971 කැරැල්ල එනවිට, අපේ හමුදාව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, සටන් කර තිබුණේ නැහැ. ඒ නිසා, කැරැල්ලේ මුල් අදියරේදී, කැරලිකරුවන්ට වාසි අත්වුණා. නිවැරදිව සටන් කරන්න නොදන්නා නිසා තමා, සැකකටයුතු අය මරා දමමින්, හිංසනකාරී ප්‍රති ත්‍රස්තවාදී ක්‍රමයට ක්‍රියා කළේ. ඊලාම් යුද්ධය ආරම්භ වූ අවදියේත්, ඒ තත්වය එහෙමමයි. RPG.50 මැෂින් තුවක්කුරාත්‍රී දුරදක්න ආදිය, අපේ හමුදාවලට කලින් LTTE එක ලබාගෙන තිබුණා. එතෙක් පොතේ දැනුමෙන් පමණක් දැනසිටි, සාම්ප්‍රදායික (conventional warfare) සටන් ක්‍රම, ත්‍රස්තවාදය මැඩපවත්වන්නට නොගැලපෙන බව වැටහුණේ, සෑහෙන හානියක් සිදුවුණාට පසුවයි. නව තත්වයට අනුවර්තනය වීම සඳහා, පුහුණු කටයුතු සම්පූර්ණයෙන් වෙනස් කරන්නත්, නවීන යුද උපක්‍රම භාවිත කරන්නත්, අති නවීන ආයුධ ලබාගන්නත්, හමුදාවේ භට සංඛ්‍යාව අතිවිශාල ලෙස වර්ධනය කරන්නත්, සිදුවුණා. යුද්ධය දිනුවේ එහෙමයි.

   එහෙනම් ඉතින් මොකද මේ හමුදාවට කරන්නේ?

   කරන්න දේවල් ගොඩක් තියනවා. මට පුදුමයි, ඇයි සමහර ඒවා නොකරන්නේ කියන එක ගැන. අපිට පුළුවන්, මෙන්න මේ වගේ දේවල් කරන්න.
  • ආරක්ෂක කවුන්සිලය විසින්, පවතින තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට, රටේ පවත්වාගෙන යායුතු අවම හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙපමණකැයි තීරණය කිරීම සහ, එකී අවම ප්‍රමාණය පවත්වාගෙන යාමට ගැලපෙන පරිදි, අලුතෙන් හමුදාවට බඳවාගැනීම් සීමා කිරීම. (හැබැයි එකක් මතක තියාගන්න. යුද්දෙන් පස්සේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, පළපුරුදු, අතිදක්‍ෂ, නිලධාරීන් සහ සෙබළුන් අතිවිශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගත්තා. ඒ නිසා, දැන් අපේ හමුදාවේ සටන්කාරී බව යම් ප්‍රමාණයකින් පහත වැටී තිබෙන්නේ. මොනයම් ආකාරයක හෝ අසහනකාරී තත්වයක් රටේ ඇතිවුනොත්, බොහෝවිට එයට මුහුණදීම, බැරෑරුම් වන්නට ඉඩ තිබෙනවා)
  • හමුදා, රටේ සංවර්ධනයට යොදාගන්න පුළුවන්. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය, විදුලිබල සැපයුම් හා නඩත්තු සේවා, ආදී ක්‍ෂේත්‍රයන්හි හමුදාව යොදවන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වැනි රටවල ඉතා සාර්ථකව එසේ කරනවා. ආපදා කළමනාකරණය සඳහා, ඉතා පුළුල් ලෙස හමුදාව යොදාගන්න පුළුවන්. ඉහත සඳහන් කටයුතු කිරීමේදී, රජයට විශාල ලාභයක් ලැබෙනවා, ශ්‍රමිකයන්ගේ කෑමබීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, වැටුප් හා අනෙකුත් දීමනා, ප්‍රවාහන කටයුතු, වෛද්‍යාධාර, ආදිය සඳහා, අමුතුවෙන් මුදල් වැය කරන්නට සිදු නොවන නිසා. ඊනියා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැති නිසා, වැඩ අඩාල වන්නේ නැහැ. (නමුත් කොමිස් කුට්ටි පස්සේ යන දේසපාළුවන්, අපිට ණයදෙන රටවලින් ඉදිරිපත්කරන කොන්දේසි, ආදිය මේ ආකාරයට හමුදාව යෙදවීමට බාධාවක් වන්නට ඉඩ තියනවා) 
  • එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා, අපේ රටෙන් යවන භටපිරිස් ප්‍රමාණය වැඩිකරගනීමට හැකිනම්, එය, අපේ රටට ඉතා විශාල ලෙස විදේශ විනිමය උපදවන මාර්ගයක් වනවා. එම සාමසාධක ක්‍රියා සඳහා රැගෙන යන සෑම යුද උපකරණයකටම, ගෙවීමක් සිදුකරනවා. එය, අප රටට, විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන මාර්ගයක් වෙනවා. සාමසාධක රාජකාරි සඳහා තෝරාගන්නේ මානව හිමිකම් චෝදනා නැති හමුදාවල සාමාජිකයන් පමණයි. සාමාන්‍යයෙන්, අපේ රටෙන් සාමසාධක හමුදා රාජකාරි සඳහා යවන කිසිදු හමුදා සාමාජිකයකු, කුමන ආකාරයක හෝ විනය චෝදනා වලට ලක් නොවූ අය බව, සහතික කරගෙනයි යවන්නේ.
  • හමුදා සාමාජිකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලා ඔවුන්ව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සුදුසු රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙලක් සැකසිය හැකියි. එවිට නිකම් ගෙදරටවී සිටීමෙන් මනස අවුල්වී නීතිවිරෝධී දේ වලට යොමුවීම තරමක්දුරට හෝ අඩුවෙනවා.
   මෙතනින් එහාට තිබෙන්නේ, ඔබේ අවස්ථාව. ඔබේ අදහස් ඉතා අගය කරනවා. අපි හොඳ සංවාදයක යෙදෙමු.

2016 මාර්තු මස 03 වැනි දින 1314 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }