හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 August 2016

සොළොස් මහා ගීත වන්දනාව

   ඉයන් උන්නැහේගේ ගීතාභියෝගය, සිංහල බ්ලොග් ලෝකය තුළ, නව රැල්ලක් ආරම්භ කරන්නට සමත්වී තිබෙන බව පෙනෙනවා. ඇත්තෙන්ම, මේ අදහස, සාර්ථකව බ්ලොග් රචකයන් අතර පැතිරී ගොස් තිබෙන බව පෙනෙනවා. ටිකක් ප්‍රමාද වී හෝ, මේ සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නට මටත් හිතුනත්, මතකයේ ඇති ගීත සිය ගණනක් අතරින්, දහසයක් තේරීම ම, ලොකු අභියෝගයක්. ඒ වගේමයි, ගායක ගායිකාවන් දහසය දෙනෙකු පමණක් තෝරාගැනීම, ඊටත් වඩා ලොකු අභියෝගයක්. මෙහිදී මා අවසානයට ගත් තීරණය වුනේ, 1960 දශකයෙන් පටන්ගෙන, සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නයි. 



1. මහා ගාන්ධර්වයාගේ විස්ම ප්‍රාතිහාර්යය 

මහා ගාන්ධර්වයා, මුලින්ම අප සිත් තුළට එබී බැලුවේ, ඈත කඳුකර හිමව් අරණක සිට ය. එම දිව්‍යමය ස්තෝත්‍ර ගායනය, දන මන පුබුදුවන, තුරුණු සිත් පොළඹවන, සුගායනයක්ම විය. ආචාර්ය පණ්ඩිත් අමරදෙව් ශූරීන්, ලොවට දායාද කල අනුපමේය මහා ගීත සාගරයෙන්, එක් බිඳක් හෝ කණ වැකීම ම, මෙලොව අමා මහ සුවයකි. නාරි ලාලිත්‍යය මෙන්ම ස්වභාව සෞන්දර්යය ද, අපූරු රටාවකට එකට ගොතා, ශෘංගාරය මුසුවූ ලෝක ස්වභාවය, බෞද්ධ දර්ශනයේද ඡායාවක සඟවමින්, යථාර්ථවාදීව ඉදිරිපත් කළ, දර්ශනවාදී ගීයකැයි හඟිමි. අග්‍රගණ්‍ය ගේය පදරචක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීහු මේ ගීයේ පදමාලාව මැවූහ.


2. සුසිල්වත් මනමෝහකයා 

සුසිල්වත් මනමෝහකයා, බහුවිධ දක්ෂතාවන්ගෙන් හෙබි, විශ්වකර්මයෙකි. වරෙක හෙතෙම, තම සිතුවම් මැවීමේ ප්‍රාතිහාර්යයෙන් අප දෙනෙත්, අප සිත්, අපූර්ව මනෝ ලෝකයකට රැගෙන යයි. වරෙක තම සොඳුරු සුගායනයෙන් අප මත් කරයි. ශ්‍රාවකයාගේ මනස තුළ චිත්තරූප මැවීම අතින් ද, විදිලි සරයක් මෙන් තුරුණු සිතක ඇතිවූ, ක්‍ෂණික ප්‍රේමාවනද්ධ  හැඟීමක් පිළිබඳ අපූර්ව ගේය කථනයක් මවන මේ ගීතය, මා සිත තුළ අදත් නොමැකී පවතී.




3. මෝහනීය සිසිර මාරුතය 

ඔහුගේ කඩවසම් බව තිබුනේ, රූපකායේ පමණක් නොවේ. ගීත ගායනයේ ද, ඒ කඩවසම් බව මොනවට රැඳී තිබුණි. ඒ ගායනයෙන් මත් නොවුණු, මෝහනය නොවුණු තරුණ සිතක්, ඒ කාලයේදී නොතිබුණු තරම් ය. තම දැඩි ශික්ෂිත හඬ මාධූර්යයට,  නිවැරැදි උච්ඡාරණ කුසලතාවද කැටිකොට, ඔවුන් විසින් ගුවනේ පා කළ ගීත ධූප වලාවෝ, අද ද අප හදවත් සුවඳ කෙරෙති.




4. ගී රද වූ නාරද 

විරහවේ යථාර්ථය කෙබඳුද යන්න, ලාංකේය ගායන ඉතිහාසයේ සටහන් කළ මුල්ම ගායකයන් අතර, නාරදට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පිදූ ප්‍රේමය, අවතක්සේරුවට, අපහාසයට, ගර්හාවට, නොසැලකිල්ලට ලක්වීම, අසන්නා තුළ දැඩි කම්පනයක් ඇතිවන පරිදි, තම පෞද්ගලික අද්දැකීමක් ඉදිරිපත් කරන ආකාරයට කෙරෙන, මේ අපූර්ව ගීතය, මතකයේ නොමියෙන්නකි. මෙහි දැක්වෙන්නේ, මුල් ගායනය නොව පසුකලෙක, නොගැලපෙන සංගීතයක් සහිතව කළ ගායනයකි. මුල් ගායනයට ඉතා ආසන්න ලෙස ගායනය කළ අවස්ථාවක්, මෙතැනින් ඇසිය හැකියි.






5. මහා ගායනා කළ කුඩා මිල්ටන් 

ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ ඔහු, ලාංකේය ගීත ක්ෂේත්‍රයේ මහා ප්‍රතිරූපයක් විය. මුල් කාලයේදී අනුකරණ ගීත වෙත වැඩි අවධානය යොමු කළ ද, දක්ෂ සංගීතවේදීන්ගේ ඇසුර තුලින්, ඔහු තම හැකියාව ඔපමට්ටම් කරගෙන, ස්වතන්ත්‍ර නිර්මාණ තුළින්, ගීත ලෝකයේ ඉහළටම ගොස්, තම කීර්ති කදම්බය පතුරවාලීමට සමත්විය. මේ ගීතය, එකල්හි, ගුවන්විදුලියෙන් ඇසෙනවිට, කඳුළු සලන පෙම්වතුන් පෙම්වතියන් සිටි බව, මට හොඳටම මතකය. සරල පදමාලාවක් තුලින්, ඔහු මවන භාවමය හැඟීම් සමුදාය අද ද, එදා මෙන්, එක සේ අගය කළහැකිය. වීඩියෝවක් සොයාගැනීමට නැත. ගීතය මෙතනින් අසන්න.



6. තරුණ බවින් කුල්මත් හඬ 

මේ කතාව CD ගැනවත්, 'ෆොන්සේකා' ගැනවත් නෙවෙයි. ඒ දෙකම එකට එකතුවුන සී.ඩී.ෆොන්සේකා ගැන. 60 දශකයේ ජනප්‍රිය ගායකයන් අතර ඔහු ඉහලින් සිටියේය. ඒ හඬ තරුණ සිත ඇමතීම සඳහාම උපන් හඬකැයි සිතෙයි. ඔහු වයසට ගියද, ඔහුගේ තරුණ හඬ වයසට නොගියේය. පාසල් ප්‍රේමය පාදක කරගත් මේ ගීතය, සරල ජනප්‍රිය ගීතයක් ලෙස, හදේ කොනක අදත් ලැගුම්ගෙන සිටී. 



7. සංගීතය ඉක්මවා ගිය විස්මිත දේවානන්ද හඬ 

ඔහුගේ ගායන විලාශයට, සංගීතය කුමකටදැයි බොහෝවිට මට සිතේ. ඔහුගේ මධුර ස්වරය, එකම සංගීතයකි. එහි ඇත්තේ, හුදු කටහඬ පමණක් නොවේ. ස්වර පරාසයන් තුළ දිවෙන, සංගීතමය මන්ත්‍රයකි. ඒ ගායනය, සිත් පහන් කරයි. මනස සන්සුන් කරයි. අසන්නාගේ සිත, සංගීතමය භාවනාවක් වෙත පා කර යවයි.




8. පරිපූර්ණ සංගීතඥයා 

ගායන ලොවට පිවිසි මුල් යුගයේ සිට, ඔහුගේ ගැඹුරු එහෙත් සන්සුන් හඬ, අසන්නන්ගේ සිත් තදින් පැහැරගත්තේ, මන්ද්‍ර, මාධ්‍ය, උච්ඡ, සප්තකයන් තුළ, වේගවත්ව, තානය, ලය, ශ‍්‍රැතිය, අපූර්ව ලෙස සුරකිමින්, ගීතය රසමසවුලක් සේ අප සවන්පත් වෙත ගලා එවීමේ නෛසර්ගික හැකියාව නිසාමය. ඇත්තෙන්ම ඔහුගේ ගීතසමුදාය අතරින් එකක් තෝරාගැනීම දුෂ්කරක්‍රියාවකි. මේ ලිපිය ලියන මොහොතේදී ද, ලිපිය ලිවීම පසෙක තබා, ගීතය යලිත් වරක් රසවින්දෙමි. 




9. හදවත් සනසන්නා මුසපත් කරන්නා 

ඔරුවක පාවෙන රෑ ගැන අඳුරේ ගීතය, 60 දශකයේදී එළිදැක්වූ මොහොතේදී, එය හින්දි ගීතයක අනුකරණයක් දෝ, යන සැකය, බොහෝ දෙනා තුළ මතුවිණි. එහෙත්, ඊනියා අනුකාරකයකු බවට පත්නොවුණු ඔහු, ගායකයකු ලෙස, තමන් තුළ, ඕනෑතරම් ශක්‍යතා, කුසලතා, සහජ දක්ෂතා ඇති බව, මොනවට ඔප්පු කළේය. මගේ පෞද්ගලික ජීවිතයේදී, මා අත්විඳි විරහ වේදනාවක ප්‍රේමනීය රසය, අද ද නොඅඩුව ලැබෙන මේ ගීතය, මා ජීවිත සිහිවටනයකි. 





10. හදවිල කැළඹෙයි 

කවදත් කොතනත් ඉක්මනින් කැළඹෙන්නේ, තරුණ හදවත් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ කැළඹීම වඩාත් තීව්‍ර වන්නේ, හදවත් දෙකක් අතර ඇතිවන කැළඹීමක්, ඒ දෙහදටම දැනෙන රිද්මය අනුවයි. පාසල් යන කාලයේදී, හෙමින් හෙමින් අපේ හිතට, ආදරය යන මිහිරි සිහිනය මෝදුවුනේ, මෙන්න මේ වගේ ගීත ඇසීමෙන්. එදා ඇගේ හිරිමල් තරුණ හඬ, මේ ගීතය තුළ මොනවට ගැබ්ව පවතිනවා.

 


11. නිහඬවූ සුරඟන 

සැබෑ ලෝකයේ සුරඟනන් ඇතැයි කියා විශ්වාස මම විශ්වාස නොකරමි. 
නමුත්, සිංහල ගීත ලෝකයේ සුරඟනන් ඇතැයි විශ්වාස කරමි. අකාලයේ නිහඬ වූ මේ සුරඟන, අප හදවත් දිනාගත්තේ, ළමා ගායිකාවක ලෙස ගීත ලෝකයට පිවිසි යුගයේ සිටයි. ඇගේ කුමන ගීතය තෝරාගතයුතුදැයි උභාතෝකොටිකයකට පත්ව සිටින කල්හි, වත්මන් පෙම්වතුන් පෙම්වතියන්ටද ඔබින, පෙරදිග චින්තනයද පිළිබිඹු කරන, ඇගේ සුරංගනා හඬ උපරිමයෙන් ඇතුලත් මේ ගීතය, මතකයට නැගුණා. 







12. ගීතයේ සිරිමතිය 

සංගීත ගුරුවරියක ලෙස, සිය දිවිය පුරා කල මහා මෙහෙයට අමතරව, ගායිකාවක ලෙස, සිංහල ගීත කෙත අස්වැද්දීමට ඇය ගත් වෙහෙස අපමණය. වර්ණනා විෂයාතික්‍රාන්ත ය. සරල සුගම පදමාලා, ඇගේ සුකොමල හඬින්, අප සවන් පිනවද්දී, එමගින් අප මහත් අමන්දානන්දයට පත්කරද්දී, 'ජීවිතය නම් මේ යැ'යි සිතු වාර අනන්තය. ඇය සුවඳැති ගීත පුබුදුවන නෙලුම් විලක්ම වූවාය. 




13. ගීතයේ සිහල රූපය 

දේශීය සංගීතය නම් මේ යැයි කියන්නට, උදාහරණ සපයද්දී, ඇගේ ගීතමය ස්වරය, ඒ සඳහා ලබාදිය හැකි ඉහලම ප්‍රමිතියේ පරමාදර්ශයක් බව නොකිවමනාය. දේශීය සංගීතය තුළ, ඈ ලද ශික්ෂණය සහ සතතාභ්‍යාසය, ඇගේ සෑම ගායනයක් තුලින්ම, මනාව පිළිබිඹු වෙයි. නිරායාසයෙන් නැගෙන ඇගේ ගීතමය ස්වරය තුළ, කිසියම් ශෝකී බවක ඡායාවක් මම දකිමි. එම ස්වභාවයෙන්, ඇගේ ගායන විලාශයට, ධාරාලෝකයක් සැපයුවාක් වැනි, අමුතු අලංකාරයක් ගෙනදෙයි. 





14. අකාලයේ වියෝවූ පෙම්වතිය 

ඇගේ අකල් වියෝවෙන්, සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ ඇතිවූ මහා හිඩැස පුරවන්නට, කිසිවකු නූපදින බව සක්සුදක් සේ පැහැදිළිය. අපේ ගීත ක්‍ෂේත්‍රය තුළ විස්කම් පෑ ගායිකාවන් බොහොමයක්, සංගීත ගුරුවරියන් වීම විශේෂත්වයකි. එමෙන්ම ඒ සංගීත ගුරුවරියන්, කිසිදු විටක ජනප්‍රියත්වය හඹා නොගියවුන් වීම ද, විශේෂත්වයකි. ප්‍රේම ගීත මෙන්ම, විවිධ විෂයයන් අළලා ගැයුණු ඇගේ ගීත සමුච්චය, සිංහල ගීත ලෝකය වෙත පැළඳවූ මුක්තහාරයකි. 




15. ලංවෙන හැටි වෙන්වෙන හැටි කිව්වේ ඔහුයි

ඔහු ආවේ බොහොම නිහඬවයි. ඔහුගේ කාලයේදී බොරු පිම්බිලි, විකුණාගෙන කෑම්, ප්‍රදර්ශන ගායනා, ගැයුමට වඩා දැඟලීමට තැන දීම්, විච්චූරණ ඇඳුම් නොතිබුණි. එබැවින්ම ඔහු, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගායකයකු විය. ඔහු ආවේ, සිහිල් සුළං රැල්ලක් මෙනි. ඒ සිහිල් සුළං රැල්ල, සොබා සොඳුරු බව සමග කැටිවූ, අපරිමිත ප්‍රේමයේ ලගන්නා සුලු බව, ලොව්තුරු රසය, සංවර සහ සමීප බව කදිමට පිළිබිඹු කළේය. ශෘංගාරයෙන් තොර ආත්මික ප්‍රේමය මේ යැයි කියන්නට, මේ ගීතය හොඳම උදාහරණයකි. 





16. සුන්දර මිනිසෙකි රන් සමනලයෙකි 

පුංචි දියසීරාවක් ලෙස පටන්ගෙන, සුන්දර දියදහරාවක් බවට පත්වූ ඔහු, ගීත ලෝකය අතික්‍රමණය කලේ, කිසිදු අභියෝගයකින් තොරවය. ගැමි දිවියේ සොඳුරු බව, යථාර්ථවාදීව ඉදිරිපත් කරන මේ ගැයුම, සිංහල ගීත කලාවේ අගනා පියසටහනක් ලෙස හැඳින්වීමට, මම කැමැත්තෙමි. මෙහි ඇති සරල සුගම බව නිසාම, ගීතයක් වශයෙන් එහි ඇති කලාත්මක වටිනාකම, ඉතා ඉහල තැනක පවතී. 




ඔන්න එහෙනම් ලිව්වා ඉයන්. 

2016 අගෝස්තු මස 18 වැනි දින 0107 පැය

11 August 2016

මොකද කියන්නේ? ටෑර් දක්කනවද, පට්ටං ගහනවද?

  හෙහ් හෙහ් හෙහ්, ඔය ඇත්තෝ කැමති ටෑර් දක්කන්ටද පට්ටං ගහන්ටද කියලා, ඔය ඇත්තෝම තීරණය කොරන්ට. ඒ මොකෑ කිව්වොත්, ඔය දෙකෙන්ම කාටවත් අගුණයක් වෙන්නේ නෑ. ගුණයක් මිසක්කා. අද අපි ගහන්නේ මොබයිල් ගේම්. නිකං අත්දෙකේ මහපට ඇඟිලි දෙකයි, තමන්ගේ ඇස් ගෙඩි දෙකයි, මොළෙයි, නරක් කරගන්නවා විතරයි. 

මෙහෙන් 'රාජ්ජ ප්‍රොතිපත්ති' හදනවා, පාසල් දරුවන්ට සීනි කවන්ට එපා, පාන්පිටි කවන්ට එපා, පැණිබීම පොවන්ට එපා, ක්‍ෂණික ආහාර කවන්ට එපා, කිය කියා. ඉස්කෝලෙට ගේන කෑමත් ප්‍රමිති ගතකොරලා තියනවා. නමුත් අද මේ ලිපිය ලියන්ට හිතුනේ, කුරුණෑගල නගරයේ, ප්‍රධාන පාසලක් අසල කඩයකට ඇවිත්, අර තහනම් කෑම බීම හිතේ හැටියට වළඳන, පාසල් දරුවෝ සහ, උන්නේ අම්මා අප්පලා දුටුව නිසයි. 

   උන්ට අරවා ගිල්ලවලා, ඉක්මනට දක්කනවා, හවස් වරුවේ ටියුෂන් පන්ති වලට. නැත්තං අම්මලම ඇදගෙන දුවනවා. පහේ ශිෂ්‍යත්වෙට ඉන්න එවුන්ගේ පංති ඉවරවෙන්නේ, රෑ 8.00 ට. පන්සලේ බෝධි පූජාව, බාගෙට ඉවරකරලා දුවනවා, ළමයව අර පන්තියෙන් මේ පන්තියට ගෙනිහින් දාන්න. පාන්දර 4.00 ට පන්තියට යවලා, උදේ 7.30 ට ඉස්කෝලෙට ගෙනත් දානවා. ඇයි යකෝ ඊට වැඩිය හොඳයි, උන්ගේ බෙල්ල මිරිකලා දාපන්කෝ ඇලකට. 

   ඒක එහෙමම තියාගෙන තව පැත්තකට හැරෙමුකො. ඉස්කෝලවල තියනවා නොයෙක් නොයෙක් ආකාරයේ ක්‍රීඩා. පලවෙනි එක කිරිකැට් කෙලිය නේ. තමන්නේ පුතා කිරිකැට් කෙලියට දමාගැනීම සඳහා, සමහර අම්මලා, කිරිකැට් පුහුණු මහත්තරුත් එක්ක, 'සුඛ ලබ්බති'  කියලා, පොළොවේ අත ගහලා, සත්තයි කියන මගේ මිත්තරයෙක් ඉන්නවා. 'වරෙන් පෙන්නන්න' කියලා මට අඬ ගැහුවත්, අනේ අපිට මොකටද අප්පා, ඔය අනුන්ගේ වහුකුණු.

   සමහර පාසල් වල නෙට්බෝල්, වොලිබෝල්, හොකී, මෙකී නොකී කණ්ඩායම් වලට, දරුවන් ඇතුළු කරගන්ට, දෙමව්පියෝ නොයෙක් දොල පිදේනි පූජා කොරන බවත්, ප්‍රසිද්ධ මහා රහසක්. තමන්නේ ළමයා, ක්‍රීඩා අංශයෙන් ඉහලට යනවා දකින්ට, ඔලිම්පික් ගිහින්, ලෝකඩ පදක්කමක් හරි ගන්නවා බලන්ට, කොයි අම්ම අප්පද අකමැති? 

   අපේ 'අජ්ජාපොන ප්‍රොතිපත්ති' අනුව, කාලෙන් කාලෙට එනවනේ නියෝග, ඉස්කෝල බූමියේ, තුම්මුල්ල, පෙම්මුල්ල, හුටා නෑ නෑ, 'සෙල්ලම් මිදුල' කියලා එකක් හදපියව්, ළමයින්ගේ කිරීඩා කුසලතා, ආකල්ප, ගුලි කල්ක, හුටා.......ආයෙත් වැරදුනා, වර්ධනය/මර්දනය කොරන්ට කියලා. ඉතින් සල්ලිකාර දෙමව්පියන් ඉන්න ඉස්කෝලවල, නානාප්පොරකාර වැඩකෑලි ගෙනත් හයිකොරවා ගන්නවා. ටික දවසකින් ළමයින්ට එව්වා එපා වෙනවා. උන් කැමතිම මොබයිල් ගේම් වලට. ඉස්කෝලේ ඇරිලා එන ළමයි, නගරයේ සුපිරි වෙළඳසල් සංකීර්ණයේ පිහිටි, කොම්පියුටර් කඩ ගානේ යනවා, ගේම් සීඩී ගන්න හෝ ගේම් ගහන්න. ඒ ගේම් ගහන ගමන්, සමහර කොම්පියුටර් කඩ කාරයෝ, උන්ට තව තව ගේම් පෙන්නනවා. එදා ඉඳලා උන් බලන්නේ එව්වා. එතැනින් එහා කොටස තමුන්නාන්සේලා දන්නවා. 

   'හොඳ මනසක් ඇතිවෙන්නේ, නීරෝගී සිරුරක් තුළයි' කියලා, කියමනක් තියනවා නේද? ඉතින් අපේ ළමා පරපුරේ මනස නීරෝගී ද නැද්ද කියලා, 'හුරුදය සාක්කියට' එකඟව හිතන, අම්මලා අපුච්චලාට වැටහෙනවා ඇති. වැටහුණත් නොවැටහුණා වගේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර තිබෙන නිසා, එන්නා සෙයියරදු? මෙන්න පහුගිය ඉරිදා ලංකාදීපේ, දොස්තර නෝනා කෙනෙක් කියලා තියන දේවල් වලින්, ටිකක්.








   මේ ලිපිය තව ගොඩක් දිගයි. සම්පූර්ණ ලිපියම කියවා බලන්න කියා, මම තමුන්නාන්සේලාට ආරාධනය කරනවා, බොහෝම කාරුණිකව. 

   මහත්වරුනි, මා මෙයින් අදහස් කරන්නේ, 'බුදු ආ...ම් ම් ම් මෝ.......ඔය කොම්පියුටර් කියන ජාතිය ළමයින්ට පෙන්නන්නවත් එපා' කියා, ගොබ්බ අදහසක් ප්‍රකාශ කිරීම නෙවෙයි. තමුන්නාන්සේලාගේ හිතට එකඟව හිතාබලන්න, අද ඔව්වා පාවිච්චි කරන, අලුත් ජංගම දුරකථන පාවිච්චි කරන, පාසල් දරුවන්ගෙන් බහුතරය, දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ එහෙම කරනවාද නැද්ද කියා. උත්තරය නැහැ කියන එකනේ. 

   අඩුගානේ ඉරිදටවත් මේ දරුවන්ට විවේකයක් නැහැනේ. එදාටත් දහම් පාසල් යවන්නම වෙනවා. දහම් පාසල් සහතිකයට ලකුණු ලැබෙන නිසා. වෙහෙස වෙලා ගෙට රිංගන දරුවන්ට, එකම විනෝදෙ පරිගණකය, ජංගම දුරකථනය, රූපවාහිනිය පමණයි.

   අද හවස මම බලාගෙන හිටියා, අපේ ගෙවල් ළඟ ළමයි ටිකක්, එළිමහනේ සෙල්ලම් කරනවා. වාසනාවන්. මොනවා හරි කරලා දැඟලුවාම, ඒ පොඩි එවුන්ට ශාරීරික ව්‍යායාමය වගේම, මනසට නිදහසකුත් ලැබෙනවා. කොච්චර හොඳද. හැබැයි ඒ ළමයි අපේ ජනාවාසයට එන පාරේ තමයි දුව පැන්නේ. නොසැලකිලිමත් කමින් වාහනයක හැපීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ජනාවාසයටම වෙන්වූ පොදු ක්‍රීඩාංගණයට ඔවුන්ව එක්ක යන්න කවුරුවත් නැහැ. දෙමව්පියෝ රස්සාවට ගිහින්. ගෙවල්වල ඉන්නේ අපි වගේ වයසක අය. 

   මම අද මේ ළමයින්ට, පරණ වැඩක් කියලා දුන්නා. ඒ තමයි, අපි පොඩි කාලේ කරපු, 'ටෑර් දැක්කිල්ල' ඔය ඇත්තන්ට මතකැයි, එහෙම දෙයක් තිබුණා කියලා ඉස්සර? ඔන්න බලන්ඩකො ඔය පහල පින්තූරවල ඉන්න අයියලා ටෑර් දක්කන හැටි. නෑ නෑ ඒ මම කියලා දීලා නෙවෙයි. මෙව්වා ජාලයෙන් හොයාගත්ත පින්තූර.





   තප්පර 10 - 15 පොඩි වීඩියෝ කෑලි දෙකතුනක් තියනවා, ටෑර් සෙල්ලම් ගැන. දන්නවද ටෑර් එකක් ඇතුලට රිංගලා පෙරලෙන හැටි.  අපි පුංචි කාලේ මේ වැඩේ කලේ, වියන්ඩ පොල් අතු පොඟවන්ඩ දාලා තියන, පොඩි දිය කඩිත්තක් ළඟ. ටෑර් එක, ඒක ඇතුලේ ඉන්න කොල්ලත් එක්කම පෙරලිලා ගිහින්, අර පොල් අතු පොඟවන වතුරට තමයි වැටෙන්නේ. එතන ඉන්න දිය කූඩැල්ලෝ, කලිසම අස්සට රිංගලා සැප දෙනවා. 

බලන්ඩකො මේ වීඩියෝ කෑලි.









   මම කිව්වා නේද, පොඩි එවුන් ටිකකට, ටෑර් දැක්කිල්ල ගැන ටියුෂන් දුන්නා කියලා? මෙන්න මගේ ටියුෂන් පින්තූරේ.


   හෙහ් හෙහ්, මේ විදිහට ටෑර් දක්කපු අයනම් තමුන්නාන්සේලා අතර ඇති. මතකද කළුතෙල් හරි, ගිරී......ස් හරි ටෑර් එක ඇතුලට දාලා, ඔය ලී දෙකෙන් දක්කපු හැටි? තමුන්නාන්සේලා පිත්තෙන් ටෑර් දක්කලා තියනවද? කිරිකැට් පිත්තෙන් නෙවෙයි, පොල්පිත්තෙන් පොල්පිත්තෙන්. ඕකනේ කියන්නේ. පිත්ත කිව්ව ගමන් .......... හරි හරි, මේකයි කතාව. අපි පොඩි එවුන් කාලේ, මෙන්න මෙව්වා පැද්දා මතකද? අපිනං ඉතිං පැද්දේ, ඔය රූපයේ තියනවා වගේ, රැජිනගේ රටේ හදපුවා. 


   දැන් මේකේ මේ ඉස්සරහ ටෑර් එක තියනවනේ. ඒක තමයි පොල්පිත්තෙන් දක්කන්නේ. වාහනේ අභාවයට ගියාම, ඒ කාලේ, අදවගේ කෑලි බෑලි අමතර කොටස් ගන්න ලේසි නෑ. ඉතිං නිකම්ම අහක දානවා. ඊට පස්සේ අපි කරන්නේ ඔය ඉස්සරහ රෝදේ ගලවාගෙන, 'ඉස්කෝප් කූරු' ටික කපලා ඇන්න, නිකම් විනෝදෙට, කඩේ යනකොට, නාන්න ඇලට දොලට යනකොට, දක්කාගෙන යනවා. දක්කන පිත්තක්, තමුන්නාන්සේලාට පෙන්නනම කියලා, මම හැදුවා. විනාඩි පහයි යන්නේ, මේකක් හදන්න.


   මේකයි වෙන්නේ. පොල්පිත්තේ ඇතුළු පැත්තේ තියන කානුව වගේ කොටසෙන්, ටයරය පාලනය කරනවා. නිශ්චිත වේගයක් පවත්වාගෙන යාමේදී, ටයරය නොවැටී ගමන් කරනවා. පිත්තෙන් ටයරය හරවන්නත් පුළුවන්. මේ පින්තූරය ආදර්ශයක් නිසාත්, ට්‍රයිසිකල් ටයරයක් වෙනම පෙන්වන පින්තූරයක් සොයාගන්න අපහසු නිසාත්, මෙහි පෙන්වා ඇත්තේ බයිසිකල් ටයරයක්. නමුත් සිදුවන කාර්යය ඔබට වැටහෙනවා ඇති. 

   ඒ වගේම මේ පිත්තෙන් අපි, යකඩ දැතිරෝද දැක්කුවා. ඒ කාලේ විශේෂයෙන්, රබර් කම්හල්වල තිබෙන යන්ත්‍ර වලින්, කල් ඉකුත්වීම නිසා ගලවා ඉවත් කරන, අඟල් 12 ක් හෝ සමහරවිට ඊටත් ටිකක් ලොකු විෂ්කම්බයක් සහිත දැතිරෝද, මේ පිත්තෙන් දැක්කීම අපි කළා.  දැතිරෝදය බර නිසා, ටයරය දක්කනවාට වඩා වැඩි ආරම්භක වේගයක් ගතයුතුයි. එමෙන්ම දැතිරෝදයේ ඝනකම, අඟල් භාගය නොඉක්මවිය යුතුයි. නැත්නම් පාලනය කරන්න බැහැ.



   හරි, ඔන්න ඉතිං ටෑර් දැක්කුවා, දැතිරෝද දැක්කුවා, ඊළඟට මොනවද? ඇයි මම මුලදීම කියලා තිබුනේ, පට්ටං ගැන. හැබෑට මොකද්ද ඔය පට්ටම. නෑ නෑ, ඔය එක එක්කෙනාට ලැබෙන, පදවි තානාන්තර වගේ පට්ටමක් නෙවෙයි. ඒ කාලේ අපි පට්ටම කිව්වේ, බයිසිකලයකින් ගලවාගන්න 'රිම්' එකට. පට්ටම් දක්කනවා කියලත් කිව්වා, පට්ටං ගහනවා කියලත් කිව්වා, ඒ කාලේ.

   මේක හරිම විනෝද වැඩක්. මොකද දන්නවද? පට්ටම දක්කනකොට ක්‍රී........න් ගාලා සද්දයක් එනවා. ඒකට හේතුව තමයි, පට්ටම දක්කන්නේ කම්බියකින් වීම. මොනවගේ කම්බියක්ද සුදුසු? අනේ මන්දා, ඒ කාලේ කොහෙන් ලැබුනද කියලා, පැන්සලකට වඩා හීනි කම්බි, අපට ලැබුනා. අද මේ වැඩේ කරනවානම්, හරියටම ගැලපෙන කම්බියක් තියනවා. ඒ තමයි, වාහන වල රේඩියෝ එකට, පිටතින් සවිකරන ඇන්ටෙනාවේ කම්බිය. 



  අඩි තුනක් විතර දිග කම්බි කෑල්ල, ඉස්කුරුප්පු නියනක මිට වගේ හදාගත්ත පොඩි ලී මිටකට හයිකරගන්නවා.   මේකෙන් දෙආකාරයකට පට්ටම දක්කන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අර ටෑර් එක දැක්කුවා වගේ දැක්කීම. කම්බිය පට්ටමේ කාණුවට වැටෙන නිසා හොඳින් පාලනය වෙනවා. 



   අනික් ක්‍රමය හරි විශ්මය ජනකයි. පට්ටම නිශ්චිත වේගයකින් ගමන් කරනවිට, පට්ටමේ උඩපැත්තෙන් කම්බිය තියපුවම, යෙදවෙන බලය නිසාත්, නොවැටී ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ වගේ. 


   ඉතිං නරකද, මෙව්වා ටිකක් ආයෙත් ජනප්‍රිය (ළමාප්‍රිය) කරවා, උන්ගේ මොලයේ තියන කුණු කන්දල් ඉවත් කරන්න මාර්ගයක් පාදා ගත්තොත්? කොලපත් පදින්න, ගුඩු ගහන්න, චග්ගුඩු පනින්න, එහෙම උගන්නන්න පුළුවන් නම් යහපතක් වෙයි නේද? 

2016 අගෝස්තු මස 11 වැනි දින 0603 පැය

08 August 2016

වික්ටර් රත්නායක ගැන සොඳුරු මතකයක්

   මේ ලිපිය ලියන්න නිමිත්ත පහළවුනේ, ඉතා අහඹු විදිහකටයි. අද, අපේ ප්‍රදේශයේ, සුබසාධක සංගමයේ මාසික සභා රැස්වීම පවත්වන දිනය. (සැම මසකම පළමුවැනි ඉරුදින) මම සමිතියේ ගරු ලේකම්. ඇත්තෙන්ම මේ ලේකම් තනතුර බාරගත් දා සිට, ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. නමුත්, මා, සාමාජිකයන්ගේ සියලු තොරතුරු, සමිති වාර්තා, ගනුදෙනු වන සියලු ලිපි, ආදී මෙකී නොකී සියල්ල, පරිගණක ගතකරගෙන තිබෙන නිසා, සෑහෙන පහසුවක් තිබෙනවා. සමිති රැස්වීම පටන් ගන්නේ සවස 4.00 ට. 

   සමහර දිනවල සභාව උණුසුම් වෙමින්, රාත්‍රී 7.00 පමණ වනතුරු ඇදෙනවා. සමිති වාර්තාව, පිටු 10 ක් තරම් දිගට ලියවෙන අවස්ථා තිබෙනවා. සමිතිය අවසන්වී, 'අපේ කට්ටිය' අල්ලාප සල්ලාපයේ යෙදීමත් සිරිතක්. බොහෝවිට එය කෙලවර වන්නේ, නගරයේ අවන්හලකට ගොඩවී හෝ, අපේ ගෙදර ඉදිරිපස මිදුලේ රවුමට තැබූ පුටුවලට වී, සංවාදය සහ ලේ නහරද, තවත් උණුසුම් කරගැනීමෙන්.  

   මම අද කලින්ම අපේ කට්ටියගෙන් මිදී ගෙදර ආවේ, අද බ්ලොග් ලිපියක් ලියන්නට සිතා සිටි නිසයි. ඒ මාතෘකාව මෙය නොවේයි. වෙනත් දෙයක්. එය පසුවට තබා, මෙය ලියන්න සිදුවුණේ, ස්වාධීන රූපවාහිනී සේවයේ, වික්ටර් රත්නායකගේ සංගීත සේවය අළලා ප්‍රචාරය වුන වැඩසටහනක්, අද සවස අහම්බෙන් නැරඹීම නිසයි. 

   වික්ටර් රත්නායකගේ හඬට, මා දක්වන පෙරේතකම නිසාම, Home Theater System එක මගින්, ඒ හඬ, ඉහල මධුර තත්වයෙන් ඇසීම, එක්තරා ආකාරයකින්, මධුවිතක් රසවිදීමක් හා සමානවුවායයි කීම, අතිශයෝක්තියක් නොවෙයි.  පසුගිය දිනවල, ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම වෙනුවෙන්, ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ වැඩසටහන, රාත්‍රී 1.00 ට අවසන් වන තුරුත්, සිරස රූපවාහිනියෙන් කල වැඩසටහන මධ්‍යම රාත්‍රිය වනතුරුත්, 'අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද' කියා, බිරිඳගෙන් දෝෂාරෝපණ එද්දීත්,  හෝම් තියටර් එකෙන්ම ඇහුවේ, නිසි ශබ්ද ගුණය ඇසිය යුතු නිසාය. 

   ඇත්තෙන්ම, අවසන් මධු බින්දුව වීදුරුවට හලා ගන්නවාක් මෙන්, වැඩසටහනේ අවසන් වාද්‍ය ඛණ්ඩය දක්වාම, එම වැඩසටහන් රසවින්දෙමි. ඒ මධුර මනෝහර හඬ තුළ ගිලුනෙමි, පිහිනුවෙමි, සම වැදුනෙමි, මෝහනය වීමි, විශ්මයට පත්වීමි, සියලු මනෝ භාවයන් සංවර භාවයට පත්කරගතිමි.  

   වික්ටර් රත්නායකයන් මගේ සිතට ඇතුළුවුණේ, 1960 දශකයේදීය. ඒ කාලේ අපි, අපේ ඉස්කෝලෙන් පොසොන් පෝයට තොරණක් හැදුවෙමු. කොළඹ - මහනුවර මාර්ගයට දර්ශනය වන සේ ඉදිකරන මේ තොරණේ, ලයිට් වැඩ කලේ, ලොකු අයියලාය. ඒ කියන්නේ, උපනන්ද සේනාරත්න අයියා, දයා සඳගිරි අයියා, නිහාල් ජයකොඩි අයියා, ෂොම්බේ අයියා, (ඒ කාලේ සිටි අප්‍රිකානු ජන නායකයකුගේ මුහුණුවර තිබුන නිසා පටබැඳි නමක්. ඒ අයියගේ ඇත්ත නම මතක නෑ) මෞර්යවංශ අයියා, විජේනන්දන අයියා, ජයසේකර අයියා, (රැබිට්) (රැබිට් ජයසේකර අයියා, රෝසපාට මිනිගවුමක් හැඳ, සුදුම සුදු කකුල් පෙන්නමින්, සන්ග්ලාස් එකක් සහ බටකොළ තොප්පියක් දමාගෙන, බිග් මැච් එකට ආවම, වැඩිපුර රැවටෙන්නේ, අපේ ලේඩි ටීචර්ලාය)  ආනන්ද සූරියබණ්ඩාර අයියා, මගේම අයියා ලක්‍ෂ්මන්, වැනි අය ය. 

   අපේ කස්ටියේ, රාජා විජේතුංග, කේ.ඩී.එස්.ජයවර්ධන, ආනන්ද ජයවර්ධන, අසේල හඳගම, මයිකල් ගම්මන්පිල, බන්ධුල ජයවික්‍රම, භාතිය පියතිස්ස, අයි. ආර්. හරිශ්චන්ද්‍ර,  ගුණතිලක(ඩෝපර්), දේවදාස (හඩ්ඩා), (අම්මෝ........බෑ බෑ, පස්සේ වෙන ලිපියක දාන්නං ලැයිස්තුව) අනෙකුත් 'ඔඩ් ජොබ්' කාරයෝය. 

   පොසොන් පෝය විශේෂ වන්නේ, අනාදිමත් කාලයක සිට පවත්වන මිහිඳු පෙරහැර නිසාය. මේ සියල්ලට සමගාමීව, භක්ති ගීත සන්දර්ශයක්ද සංවිධානය කෙරෙනවා. විවිධ පාසල් වලින්ද එහිදී ගායනා ඉදිරිපත් කෙරෙනවා. 

  අපේ කස්ටිය, තොරණේ ලයිට් දැමු පසු 'පොඩි මල්ලිලාට' තොරණ බලාගන්න කියා, නගරයේ ඉහල පහල 'කරුණා කරන්නේ' හුදු විනෝදය මෙන්ම, නගරයේ ඉදිකෙරෙන තොරණ දැකබලා ගැනීමට සහ, (මගේ මතකයේ හැටියට, 1968 වර්ෂයේ තොරණ 9 ක් තිබුනා) කඩචෝරු කෑම, විවිධ තොප්පි, වේවැල්, වෙස්මුහුණු, නලා, ආදිය මිලදී ගෙන, එයින් නානාප්‍රකාර වින්දනයක් ලබාගැනීම, පෙරහැර බලන්නට පැමිණ සිටින ජනතාවගෙන් හරුප අසාගැනීම, ඒකාලේ අපි කළුද සුදුද කියා නොදන්නා දෙයක් වුනත්, 'ආදරය සුන්දර වරදකි' යන හැඟීමෙන්, (එතකොට ඒ සින්දුව තියා ගායකයාවත් ඉපදිලා නැතුව ඇති) තම තමන්ගේ සෙනෙහෙවන්තියන්ට ආලහැඟුම් පාන අපේ කස්ටියේ අයගේ, හැලුප්කරුවා ලෙස සේවය කිරීම, ආදී දහසකුත් එකක් රාජකාරි කිරීම සඳහාය. 

  එක දෙයක් දිවුරා ප්‍රකාශ කලහැකිය. අපි කිසිවෙකුත්, ඒ කාලේ, සිගරට් එකක්වත් නොබිව්වෙමු.  බිග් මැච් එක දවසේදී වත් නොබිව්වෙමු. 

   ඉතින් කෝ ඕයි වික්ටර් රත්නායක? 

   හරි හරි දෙයියෝ මේ එනවා, මේ එනවා. කොහොමද අප්පා අර රසගුලාව අමතක කොරන්නේ. 

   ඔන්න ඉතින් 1967 - 68 කාලේ තිබුන මේ පොසොන් සංගීත සන්ධ්‍යාවකට පැමිණි එක ගායකයකු, නිවේදකයා විසින් හඳුන්වා දුන්නේ, කඩුගන්නාවේ කලායතනයකින් හෝ පාසලකින් පැමිණි, 'සංගීතාචාර්ය වරයකු' ලෙස බව මතකය. ඔහුගේ නම එදා මතක හිටියේ නැත. නමුත් ඔහු සිහින් සිරුරක් ඇති, තරමක් උස පුද්ගලයකු බව මතකය. එමෙන්ම ඔහු ගැයූ ගීත කීපය, සියලු දෙනා විසින් ඉතා ආසාවෙන් අසා සිටි බවත් මතකය. ඔහු කළු පැහැති දිග කලිසමක්, සුදු පැහැති අත් දිග කමිසයක් හැඳ, කළු පැහැති සිහින් ටයි පටියක් පැළඳ සිටි බවත් මතකය. ක්‍රීම් ගා, ඉහලට පීරා තිබුණු රැළිති කේශ කලාපය, සීගිරි පර්වතය මෙනි. අපි 70 දශකයට පා තබද්දී, වික්ටර් රත්නායක අපේ හදවත් අරක් ගත්තේ, අපට නොදැනීමය. 

   අපේ පාසල් කාලයට පින් සිද්ධ වන්නට, භාෂාව, සාහිත්‍යය, (විශේෂයෙන් පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය ඇතුලත්, සාහිත්‍ය ඉතිහාසය) ගැන ලද අවබෝධය, පුවත්පත් සහ ගුවන්විදුලිය ඇසුරෙන්, කියවා අසා දැනගත් හරවත් විද්වත් අදහස් සමුදාය හේතුකොටගෙන, එවකට තිබුණු ජනප්‍රිය රැල්ල සහ සරල ශාස්ත්‍රීය සංගීත ධාරාව වෙන්කර ගැනීමට තරම් දැනුමක්, අපට ලැබුණි. 

   එහි පුරෝගාමීන් වුයේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස් රත්නායක, වැනි ගේය පද රචකයන්, සුනිල් සාන්ත, ඩබ්ලිව්.ඩී.අමරදේව, සුසිල් ප්‍රේමරත්න, නාරද දිසාසේකර, ඇතුළු මහ පිරිසකි. 

   වික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව, වරින්වර එම ගායකයන් විසින් කල ප්‍රකාශ වලින් පසක් කරගැනීමෙන් පසු, ඔවුන් ලද සංගීත ශික්ෂණය තුළින්, ඔවුන් තුළ මානව දයාව කොතරම් තිබුනේද යන්න අවබෝධ වෙයි. 

   බොහෝවිට ඔවුහු, සමකාලීන තවත් ගායකයකු උදෙසා, තනු නිපදවති, තමන්ට ලැබෙන පදමාලා කියවා බලා, මෙය මට වඩා ගැලපෙන්නේ අහවලාගේ හඬට කියා තීරණය කර, එකී ගායකයාට එම පදමාලාව ගැයීමට පවරති. අවශ්‍යනම්, සංගීතය ද සකසා  සපයා දෙති. වික්ටර් රත්නායකයන්ගෙන් ම උදාහරණයක් ගතහොත්, මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ' ගීතයේ පදමාලාව, මුලින්ම ලැබී ඇත්තේ, වික්ටර් වෙතටය. එය කියවූ වික්ටර්, එකවරම තීරණය කරන්නේ, මේ පදමාලාව වඩාත් සුදුසු මිල්ටන් මල්ලවාරච්චිට බවය. ඉදින් ඔහු, ප්‍රේමකීර්ති ද අල්විස්ද සමග, මේ ගීතය නිමවා, මිල්ටන් ලවා ගායනා කරවා, ඔහු, ශ්‍රීලංකා ගුවන්විදුලි සේවයේ වර්ගීකරණයෙන් සමත් ගායකයකු බවට පත්කර දෙයි. 


  මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'තනිවී සිටින්නයි මා අදහස් කලේ' ගීතයද, ඒ ආකාරයෙන්ම, ක්ලැරන්ස් විජේවර්ධන වෙත ලැබුන පදමාලාවකි. නමුත් ක්ලැරන්ස්, එය තමන්ට වඩා මිල්ටන්ට සුදුසුබව කියා, ගීතය සකසා දුන්නේය.  

   වික්ටර් රත්නායකගේ කටහඬ තුළ මා දකින විශ්මය වන්නේ, එය එන්න එන්නම වඩාත් හැඟුම්බර වීමය. පරිණත වන්නට වන්නට, ඒ ගැයුමෙන් උපදින රසභාවයන් වඩාත් තීව්‍ර වීමය. කිසිදු ස්වරස්ථානයක්, වෙනස් නොකිරීමය. 1970 දශකයේදී ඇසූ ප්‍රමිතිය එලෙසින්ම රැකී තිබීමය. 

   එය නිරායාසයෙන් ගලා එන කටහඬකි, එහි මානව ප්‍රේමය ගැබ්ව තිබෙන්නේය, ඔහු ගයන්නේ, අප සිත තුළ, භාවමය ශාන්තිය උපදවන ආකාරයට විනා, භාව ප්‍රකෝපයන් ඇති නොකරන ආකාරයටය. එය, සිත නිවන, භාවමය සිහිල් සුළං රැල්ලකි.





   වික්ටර් රත්නායක පිලිබඳ මගේ සිහිනයක් සැබෑ වුයේ, 1974 වසරේදීය. එවකට මා පදිංචිව සිටියේ, අවිස්සාවේල්ලට නුදුරු දෙහිඕවිට ප්‍රදේශයේය. ඊට ආසන්න නගරයක් වන රුවන්වැල්ල නගරයේ, පොදු ක්‍රීඩාංගනය හෙවත්, පොදු ව්‍යවහාරයේ පවතින 'මහවත්ත පිට්ටනියේ' පැවැත්වුනු සංගීත සංදර්ශනයකට පැමිණෙන ගායක ගායිකාවන් 'බලාගැනීමේ' කාර්යය, මා වැනි තරුණ තරුණියන් පිරිසකට භාරවී තිබුණි. අපට තිබුණේ, ඔවුන්ව ඛාජ්ජ භෝජ්ජයෙන් සන්තර්පණය කරවා, සංදර්ශන වේදිකාව අසල සිට පැමිණෙන බයිසිකල් කරුවකුගේ පණිවිඩය අනුව, (මේ මොනවා අහනවද? කොහෙද දුරකථන තිබුනේ?) සංවිධායකයන් විසින් සපයා තිබුණු මෝටර් රථයකින්, ඔවුන්ව වේදිකාව වෙත රැගෙන යාමයි. 

  අනේ මගේ පූරුවේ පිනක් පළදීමෙන්, මට, වික්ටර් රත්නායක සහ ටී.එම්.ජයරත්න යන ගායකයන් දෙදෙනාගේ ආවතේවකරු වීමේ වරම ලැබුණි. වික්ටර් රත්නයකයානෝ මට, 'මල්ලි' කියා ඇමතූහ.  මට එකවරම කියවුනේ 'සර්' කියාය. 'නෑ නෑ මල්ලි මට අයියේ කිව්වම ඇති' කියා, ඒ එදත් අදත් නොවෙනස් කරුණාබර හඬින්, එතුමෝ පැවසුහ. සංග්‍රහ කටයුතු අවසානයේ, මම ඔවුන්ව මෝටර් රථය වෙත ගෙනගියෙමි. 'එහෙනම් අයියලා යන්න මම මේ ටික බයිසිකල් එකේ එනවා' කිව්වෙමි. 'නෑ නෑ, මල්ලි ඉස්සරහින් නගින්න, අපි පස්ස සීට් එකට නගිනවා' කියූ ඔවුන් දෙදෙනා, ඔවුන්ගේ විෂයයට අදාළ යමක් කතාකරමින්, වේදිකාව වෙත ගියහ. මා වේදිකාව අසලින් බැස්සේ, මහා සෙනෙවියන් දෙදෙනෙකු, ආරක්ෂා සහිතව රැගෙන ආ, ආරක්ෂක නිලධාරියකුගේ වේශයෙන් පපුව පුම්බාගෙනය. 

'ස ප්‍රසංගය' තුළින් ඔහු දායාද කළ, මහඟු දියමන්ති නිධානයක් හා සමාන ගීත සමුච්චය, ලෝකයේ ඕනෑම ගායකයකු හට, තම ගායන දිවිය තුළ උපදවා ගතහැකි, උපරිම කුසලතාවය පිලිබඳ, පරමාදර්ශයකි. ඔහුගේ ගායනා, විවිධ විෂයයන් අළලා නිමවීමද, ඉතා අගනේය. එය, හුදෙක් ලාබ ප්‍රේමයට සීමා නොවුණු, විවිධ පැතිකඩ ඔස්සේ පැතිරෙන ගී ගඟුලකි. එය, ඔහුගේ පූර්වජන්ම කුශල ඵලදීමකින්ම ලද දායාදයකි. 

   යුගයේ මහා ගාන්ධර්වයාණනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!

2016 අගෝස්තු මස 07 වැනි දින 2354 පැය


04 August 2016

ඉස්සර වගේ ගල් කිරමුද?

   චී චී චී, මාතෘකාව දැකපු ගමන්, එකපාර හිතට එන ඒ වචනේ, කියන්නවත්, කමෙන්ට් වල ලියන්නවත් එපා. මම ලියලා තියෙන්නේ, ගල් කිරමුද කියලා. ඒ නිසා වෙන වැරදි අදහසක් ගන්න එපා. අහලා තියනවද ගල් කිරනවා කියලා දෙයක්? අහලා නෑ? ඔය ඇත්තන්ගේ වැඩිහිටියො නම්, හොඳට දන්නා දෙයක් මේක. අපි පුංචි කාලේ නිතර දැකපු දෙයක්. හැබැයි, ඒ කාලේ මේ වැඩේ උවමනාවට වඩා කරන අයට, ගෙවල් වලින් බලු බැනුම් අහන්න වෙනවා. සමහර අම්මලා කියනවා, මේක මහා සාපයක්ලු. සාපයක් තියනවද නැද්ද මන්දා, ඒ කාලේ ඉඳලම මේ වැඩේ වැඩිපුර කරන්නේ, ගෑණු ළමයි. ඒ වගේමයි මේක පුදුම ඇබ්බැහියක් ඒ කාලේ. මමත් පුංචි කාලේ, මගේ අක්කලා තුන්දෙනා එක්ක, මේ වැඩේ කරලා තියනවා. නමුත් ඒ තුන්දෙනාගේ දක්‍ෂතාවය එක්ක මට හැරෙන්නවත් බැහැ. 

   හැබෑටම තවම අදහසක් ආවේ නැද්ද ඔලුවට, මොකක්ද මේ ගල් කිරිල්ල කියලා. මේකට තව නමක් කියනවා, ගල් දරනවා කියලා. දැන්වත් ටිකක් මතකයට ආවද? මේක ගෘහාශ්‍රිත ක්‍රීඩාවක්. අදනම් දකින්න ලැබෙන්නේ නැහැ. අද මේ ක්‍රීඩාව කරන්න දන්නා අය ඉන්නවානම්, ඔවුන්ගෙන් බහුතරය, මැදිවිය ඉක්මවූ අයයි. 

   මම කියලා තියනවා මීට කලින් කීප වතාවක්ම, මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා කියලා. මේ අක්කලා තුන්දෙනා මට ආදරය කරන්නෙත් තුන් විදිහකට. බාලම අක්කා හරිම සැරයි. මම ටිකක් වැඩිපුර පානය කරනවා කියලා, අපේ උන්දෑ කේලමක් කිව්වොත්, මට ඇමතුමක් ඇන්න, දෙනවා මගෙ කන් පිරෙන්නම. ඊළඟ අක්කා, ඒ කියන්නේ දෙවනියා, මට හරිම ආදරෙයි. අරයා වගේ නෙවෙයි, කියන්නෙත්, උඹලට ඔව්වගේ ආදීනව තේරෙයි තව පස්සට, කියලා විතරයි. ලොකු අක්කා, උඹට ඕනෙනම් හැදියන් නැත්නම් මැකියන් වර්ගයේ තමයි. 

   දැන් මේ ගල් කිරිල්ලෙයි, අක්කලා තුන් දෙනයි අතර සම්බන්ධය මොකක්ද? ඒකනේ කියන්නේ. අද මම මේ තුන්දෙනාවම, දුරකථනයෙන්, අමතා අර කොන්සල්ට් ද මොකද්ද කළා. මොකෑ කිව්වොත්, මේ තුන්දෙනා, ඒ කාලේ (1960 දශකයේ) ගල් කිරීමේ විශේෂඥ වරියන් නිසා. ඔව් ඔව්, ගල් කිරිල්ලට ගිහින්, කෙහෙවලු පටලවා ගත්තම, අම්මගෙන් පාරවල් දෙක තුනක් වදිනවා පිට මැද්දට, ඩීන් ඩීන් ගාලා. ටිකක් අඬලා, තුන්දෙනාම ආයෙත් පටන්ගන්නවා සෙල්ලම. ඔව්වා ඔහොම තමයි නේද? 

   දැන් මේ ගල් කිරිල්ල (අද කලේ කියන, 'ගල් කරනවා' කියන එක නෙවෙයි හොඳේ)  ගැන ලිපිය ලියන්න නිමිත්ත මොකක්ද? මෙන්න මේකයි. අපේ ගෙදර වැඩට ගෙනත්, ඉතුරු වෙලා තියන කොන්ක්‍රීට් ගල් වගයක්, තිබෙන තැනින් වෙනත් තැනකට ඉවත් කරද්දී, එකවරම මට මේ අතීත මතකය පහළ වුනා. 

   මම වහාම අපේ ඇත්තීගෙන් ඇහුවා, ඔයා දන්නවද ගල් කිරන්ඩ කියලා. 'මොකක්' කියලා, මගෙ දිහා බැලුවේ, මොකක්හරි මගෝඩි කතාවක් කියයි කියලා. මම කිව්වා, ඔයාට මතකද, පුංචි කාලේ, අර ගල් කැට පහක් අරගෙන කරන සෙල්ලම, කියලා. ආ.........හරි හරි, ටිකක් මතක තියනවා කිව්වා. මම කිව්වා, හරි ඒ මතක තියන ටික මට පෙන්නන්න කියලා. 

   ඒ අතරේ ඔන්න මම කැමරා බෑගය ඇරලා, කැමරාව සූදානම් කරනවා දැකලා අහපි, ඔය මොකටද කියලා. මම කිව්වා, මේක මගේ බ්ලොග් එකේ දාන්න, පින්තූර ගන්න ඕනේ කියලා. බෑ බෑ, මගේ පින්තූර දාන්න බෑ කිව්වා. මම කිව්වා හරි හරි, මූණ වැටෙන විදිහට පින්තූර ගන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ තමා, මේ නිදර්ශන පින්තූර ටික ගත්තේ. සාලේ ටයිල් උඩ ගල්කැට දාන්න බෑ කිව්වා. ඒ පාර කුස්සිය තමයි ස්ටුඩියෝ එක කරගත්තේ. 'මළකෝලං පයින් යනව' කියන්නේ ඔව්වට තමා. නෑ ඉතිං අපේ ප්‍රියම්බිකා තොමෝ, මූණ දාන්න එපා කිව්වේ, බලන අය, 'ඇස් වහගනියි' කියලා හිතලා වෙන්ඩෑ. 

   ඇත්තටම, ගල් කිරීම ගෙවත් ගල් දැරීම ක්‍රීඩාව සම්බන්ධව යම් තොරතුරක්, අන්තර්ජාලයේ තිබේදැයි සොයා බැලුවම, මට හමුවුනේ, මෙන්න මේක විතරයි

   අපේ අක්කලා තුන් දෙනාගෙන් දෙවැනි අක්කා, මේ වැඩේ ගැන හොඳම දැනීමක් තියන කෙනෙක්. බයිපාස් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා නිසා, අදටත් දුක් විඳින ඇය, ගමන් කරන්නේ සැරයටියක ආධාරයෙන්. ඇයව වෙහෙසට පත් නොකර, කෙටියෙන් අසාගත් දේ, මෙතැන් සිට විස්තර කරනවා. 

   ගල් කිරන ක්‍රීඩාවට, එක්කෙනෙකුට වැඩි පිරිසක් අවශ්‍යයි. නමුත් හතර පස් දෙනෙක් වුනාම කරදරයි. තුන් දෙනෙක් විතර තමා හොඳ. මේ සඳහා ගන්නේ, අඟල් 1.5 පමණ පැත්තක් තියන, ආසන්න වශයෙන් ඝනයක හැඩය ඇති, කළුගල් පහක්. හුඟක් බර ගල්, සිමෙන්ති පොළොවක් මත වැටුනම කෑලි කඩෙන ගල්, ගන්න එපා. මේ පින්තූර වල තියන සමහර ගල් පොඩි වැඩියි.




 මුලින්ම, අර කවඩි අරගෙන, සිංහල අවුරුද්දට කරන පංච දැමීමේදී වගේ, සළුවෙන්න හෙවත් සල්ලම් වෙන්න ඕනේ. ඒ සඳහා කරන්නේ, ගල් පහම මිටට අරගෙන, උඩ දමා, පිටි අල්ල ඇල්ලීමයි. පහත වැටෙන ගල් පහම හෝ එකක් හෝ පිටි අල්ලේ රැඳුනොත්, සළුවෙනවා. සළු නොවුනොත්,  ඊළඟ එක්කෙනාගේ වාරය.


   සළුවුන එක්කෙනා, (සළුවුන පිළිවෙලට අනුව)  ගල්කැට පහම අත්දෙකට ගන්නවා. (ආයුබෝවන් කියන විදිහට අත්දෙක තියාගන්නේ) අත් දෙක ඇතුලේ ගල් කැට ටික හොලවලා, බිමට දානවා. හොලවද්දී ගල් කැට එලියට විසිවුනොත්, ඊළඟ එක්කෙනාගේ වාරය. 




  දැන් එක ගල් කැටයක් අතට ගන්නවා. ඒ වෙලාවේදී අත වෙනත් ගල් කැටයක ගෑවුනොත්, තමන්ගේ වාරය අවසන්, ඊළඟ එක්කෙනාගේ වාරය. එයා මුල ඉඳලා පටන් ගන්න ඕනේ. අතට ගත්ත ගල් කැටේ උඩ දාලා, බිම වැටෙන්න කලින්, බිම තියන ගල් කැටයක් අතට අරන්, ඒ අතින්ම අල්ලගන්න ඕනේ, අර උඩ ගිහින් එන ගල් කැටේ. ඒ විදිහට, එක ගල් කැටයක් උඩ දාලා, බිම තියන ගල් කැට, දෙකක්, තුනක්, හතරක්, වශයෙන් අතට අරගැනීම සහ උඩ ගිහින් එන ගල් කැටය, ඒ අතින්ම ඇල්ලීම කරන්න ඕනේ. 



   ඊළඟ වතාවේදී කරන්නේ, එක ගල් කැටයක් පිටි අල්ලේ තබා උඩ දමා, අර විදිහටම බිම තියන එක ගලක්, දෙකක්, තුනක්, හතරක් ඇල්ලීමයි. ඊළඟට සෑහෙන අභියෝගයක් එනවා. එතැනදී කරන්නේ ආයෙත් එක ගලක් පිටි අල්ලට නොගෙන නිකම්ම උඩදමා, තමන්ගේ පපුවට එම ගල් උඩ දැමූ අත තියා, බිමින් ගලක් ගෙන, ඒ සමගම උඩ සිට බිම වැටෙන ගල ඇල්ලීම. මේකත් ගල් 2,3,4, වශයෙන් කරන්න ඕනේ. හැක් හැක් හැක්, පොටෝ කෙළින්න ගිහින්,  ඔන්න උඩ දාපු ගල බිම වැටිලා තියෙන්නේ.....................




  දැන්, එක ගල් කැටයක් පිටි අල්ලට ගෙන, උඩ දමා, පපුවට අත තියා, බිම තිබෙන ගල් 1,2,3,4, වශයෙන් ගතයුතුයි. මෙන්න මේ අවසාන අවස්ථාව ගැන, ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර, එයට සහභාගි වන්නන් එකඟතාවයකට එනවා. එනම්, මේ පපුව අල්ලන අවස්ථා කීයක් කරනවාද යන්නයි. ඒ කියන්නේ, 1,2,3,4,5, වශයෙන්, ගල් කැට පහ ඇල්ලීම, කී වතාවක් කලයුතුද යන්නයි. ගල්කැට පහම අල්ලන එක වාරයක්, 'පත්තුවක්' ලෙසයි හැඳින්වෙන්නේ. ඉතින් මුලදීම එකඟතාවයකට එනවා, පත්තු තුනක් හෝ පහක් කලයුතුයි කියා. ක්‍රීඩාවේ ඕනෑම අවස්ථාවක දී, උඩ සිට වැටෙන ගල අල්ලාගන්න බැරිවුනොත්, බිමින් ඇහිඳගන්නා ගලක් අතහැරුනොත්, ඒ ක්‍රීඩකයා, ආපහු, ආරම්භක, එනම් පළමුවැනි පියවරේ සිට, නැවත පටන්ගත යුතුයි.  

   ඔබේ ප්‍රදේශවල මේ ක්‍රීඩාව වෙනත් නම්වලින් හැඳින්වෙනවා ඇති. ක්‍රීඩාවේ නීතිරීති මීට වඩා වෙනස් ඇති. ඔබේ අදහස් දැක්වීම් වල, එවැනි තොරතුරු ඇතුලත් වෙතැයි බලාපොරොත්තු වෙනවා. 

   ඉතින් අපිට පාන්ද/බනිස්ද/විස්කෝතුද/ කියා කියන්න බලාපොරොත්තුවන අය,  මේ ටික කියවන්න.

 බොහෝවිට, පරිගණක ක්‍රීඩා වලට පමණක් සීමාවී සිටින අද කාලේ දරුවන්ට, මෙයින් යම් ප්‍රයෝජනයක් තිබේද? 

තිබෙනවා. මෙන්න ප්‍රයෝජන;

1. අනෙකාගේ දක්‍ෂතා දෙස ඉවසීමෙන් බලන්නට පුරුදුවෙනවා. 

2. තම දක්‍ෂතා වර්ධනය කරගන්නට, අනෙකා නිරීක්‍ෂණය කොට, දැනුම උකහා ගැනීමට පෙළඹෙනවා. උපක්‍රම ඉගෙනගන්නවා. එය, වෙනත් අවස්ථාවන්ට, අනාගතයේදී යොදාගතහැකි වෙනවා. 

3. දරුවකු මෙය කරනවිට සිත, ඇස, අත, දැඩි සමායෝජනයකට ලක්කිරීමට සිදුවනවා. තමන්ගේ අතේ, ඇසේ, චාලක හැකියා, උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට සිදුවෙනවා. එයින්, අධ්‍යාපන විද්‍යාවේදී, කියවෙන, Eye - Hand Coordination සහ Fine Mortar Skills වැඩි දියුණු වීමෙන්, ශරීර සෞඛ්‍යයට යහපතක් වෙනවා. මනසට ද අභ්‍යාසයක් ලැබෙනවා. සතපහක වියදමක් යන්නේ නැති මෙවැනි ක්‍රීඩා වලින්, පරිගණක ක්‍රීඩා වලටත් වඩා යම් සේවයක් වෙනවා. 

ඉතින් ඒ ටිකම මදිද?

හොඳයි. ඔබේ අදහස් බලාපොරොත්තුවෙන් ලිපිය මෙතෙකින් අවසන් කරනවා.

පසුව එකතු කිරීම. 2016/08/04 2227 පැය 

මෙම ලිපිය කියවූ, NissankaAugust 4, 2016 at 7:55 PM මහතා විසින්, එක්කල කරුණු ඉතා වැදගත්. එහි සඳහන් වීඩියෝව, මෙතනට එකතු කරනවා. එසේ කරන්නට සිදුවුනේ, බ්ලොගර් අඩවිවල කමෙන්ට්ස් වලට, යූ ටියුබ් වීඩියෝ එකතු කිරීමේ පහසුකම, දැනට මාස දෙකක පමණ කාලයක සිට, ගූගල් පාලනාධිකාරිය විසින් අත්හිටවා ඇති බවක් පෙනෙන නිසයි. මෙන්න වීඩියෝව. මා විස්තර කර ඇති ක්‍රීඩාවට බොහෝ දුරට සමානයි.




 





2016 අගෝස්තු මස 03 වැනි දින 2355 පැය 

01 August 2016

යුද්ද කෑගැහිල්ල. හෑ.....ඒ මොකක්ද?

   හෙහ් හෙහ් හෙහ්, යුද්දෙට ගියාම සද්දේ වැඩක් නෑ. යුද්දේ තමයි කරන්ඩ ඕනේ. නමුත් ඉතිං දැක්කනේ පහුගිය කාලේ, යුද්දෙයි සද්දෙයි දෙකම තිබුණා. සමහරු කටින් යුද්ද කළා. සමහරු කොළඹ සීතල කාමරවල ඉඳගෙන යුද්ද කළා. සමහර 'මාජ්ජ' කොළඹ ඉඳගෙන, අනුන්ගෙන් තොරතුරු අහගෙන ලිව්වා, මහා යුද වාර්තා හෝ ගාලා.  අපේ රටේ සමහර අහිංසක ජනතාව, ඒ වාර්තා, ජාතක කතා වගේ විශ්වාස කළා. අනේ මන්දා, සිංහල රජකාලෙන් පස්සේ දිනුව ලොකුම යුද්දේ දිනලත්, අපිට තවමත් බැරිවුනා හරියට මිනිස්සුන්ගේ සිත් දිනාගන්ඩ. අන්න ඒක කළ දාට තමයි, යුද ජයග්‍රහණය තහවුරු වෙන්නේ. ඒ සඳහා සෑම ජාතියක්ම, සෑම දේශපාලන පක්‍ෂයක්ම යම් යම් පරිත්‍යාග කලයුතුයි. ඒක තමයි, ජයගතයුතු ලොකුම යුද්දේ. 

   හොඳයි, ඒ කතාව එතනින් නවත්වා, මා කැමතියි, ඔබව අද මාතෘකාව වෙත කැඳවාගෙන යන්නට. මම මාතෘකාවේ සඳහන් කළ, යුද්ද කෑගැහිල්ල කියන වචනය, ඒ ආකාරයෙන් ඔබ අසා නැතුව ඇති. නමුත්, 'Battle Cry හෙවත් යුද ඝෝෂාව' (රණ ඝෝෂාව, රණගොස) යන්න, ඔබ මීට පෙර අසා ඇති.  ඔබ දන්නවා නේද, වෙහෙසවී කරන යම් යම් වෘත්තීන්හිදී, වැඩකිරීමේ වෙහෙස නිවාගන්නට, කම්මැලිකම දුරලන්නට, අලසව වැඩ කරන අය අවදි කරන්නට, සාමූහිකව යොදන මිනිස් බලය ඒකරාශී කරන්නට,  මිනිසා විවිධ හඬ නගන බව? 

   උදාහරණ ගොඩක් කියන්න පුළුවන් නේද? ගොවිතැනේදී, ධීවර කර්මාන්තයේදී, කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයේදී, ඔරු වැනි ජලයාත්‍රා පැදවීමේදී, පතල් කර්මාන්තයේදී, එවැනි හඬනැගීම් කෙරෙනවා. මේවා යම් ආකාරයක ගායනා ස්වරූපයෙන් හෝ එකවර ජවය යෙදවීම සඳහා කෙරෙන, සාමූහික හඬනැගීම් වන්නට පුළුවන්. 

   අදත් අපේ පිරිස්, ලොකු බරක් එසවීමට හෝ තල්ලු කිරීමට උත්සාහ ගැනීමේදී, 'හා ඕං එහෙනං, හා ඕං, හා ඕං ඇල්ලුවා, වැනි කෑගැසීම් භාවිත කරනවා නේද? 

   ඒ විතරක් නෙවෙයි, මතකද බිග්මැච් කාලෙදි, විරුද්ධවාදී පාසලට 'පරිප්පුවෝ' ආදී උපහාර වචන කියමින්, තමන්ගේ පාසලට ජයවේවා,...............කොල්ලො වසයි, යකඩ කඳන් දෙකට කඩයි' ආදී වශයෙන් යුද ඝෝෂා කරපු හැටි. 



   හෙහ් හෙහ්, බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල බලන්න ගිහින් අනේ.......(කැමති නමක් දාගන්න) 'හයියෙන් ෆාස්ටර්'.........කියපු හැටි. 



  ඇයි ඉතින්, අදත් ඔය යන්නේ එක එක යාත්‍රා, 'කාගෙද මේ බලවේගේ - අපෙ තොම්මගෙ බලවේගේ' (බලුවේගේ?) කියා කියා. එව්වත් එක ජාතියක යුද ඝෝෂා තමයි, බලාගෙන යනකොට. 

   කෑගැසීම් කියනකොට මතක්වුණේ, මා, ලංකාවේ බටහිර වෙරල ආශ්‍රිත, ධීවර ගම්මාන පිහිටි ප්‍රදේශයක රාජකාරියේ යෙදී සිටියදී, දැල් ඇදීම සඳහා ප්‍රමාදවී පැමිණි තම මවට, තම පියා ඉදිරිපිටදීම, පුතකු ඇමතූ වදන් මෙහි ලියන්නට බැහැ. නමුත් මා පුදුමයට පත්කළ කාරණය වුණේ, ඒ පියාටත්, ඒ මවටත්, ඒ ගැන කිසිදු තැකීමක් නොවීමයි. ඒ මව, ඒ වදන් ඇයට කිව්ව ඒවා ලෙස නොසලකා, දැළ ඇදීමට පටන්ගත්තා. 'දේසේ හැටියට බාසේ' කියනවානේ.

   ඉතිං යුද්ද කරනකොටත් ඒ වගේ කෑගහනවද? අපොයි ඔව්, සතුරු ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙනවිට, අපි සතුරු කඳවුරකට පහර දෙනවිට, 

'වම්පැත්ත බලපල්ලා වම්පැත්ත........'

'3 ඉලක්කමට RPG ගහපන්, එතන ගෘප් එකක් ඉන්නවා වගේ.....'

'ඉස්සරහින් වේව් ඇටෑක් එකක් එනවා වගේ, බලාගෙන හිටපල්ලා......'  

'ඇමෝ ඉවරවේගන යන්නේ, ඇමෝ එවපල්ලා........' 

'උන්ගේ බංකර් වලින් ෆයර් එකක් එනවා.......කවර් අරගෙන ගහපල්ලා.....'

   වගේ කෑගැහිලි සිද්දවෙනවා.  

   ඒ විතරක් නෙවෙයි, සතුරු කඳවුරක් වැනසුවාම, ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, අපේ කට්ටිය දෙනවා හූවක්, පළාත දෙදරන්න. ඕනෙනම්, අහසට පොකුරු වෙඩි ටිකකුත් තියනවා. සමහර වෙලාවට කෑගහලා නවත්තන්නේ, 'යකෝ ඔය ඇති, හොඳට බලාපියව් වටේ හැමතැනම, හැංගිච්ච එවුන් ඉන්නවද කියලා' කියලා තමයි නවත්තන්නේ.  

   නමුත් මම කියන්න යන්නේ, ඊට වඩා වෙනස් යුද ඝෝෂාවක් ගැන. ඉතා ඈත අතීතයේදී, මිනිසා, කඩු, දුණු, හෙල්ල, වැනි ආයුධ වලින් සටනට යද්දී, තම හමුදාවේ අභිමානය, බලය, ශක්තිය, සතුරා වෙත පෙන්වා සතුරා බියපත් කිරීම සඳහා යම් සාමූහික කෑගැසීම් කළා. මෙය හරියට සමාන වන්නේ, නවසීලන්තයේ ආදිවාසීන් ලෙස සැළකෙන, මඕරි ගෝත්‍රිකයන් විසින් ඉදිරිපත් කරන, හාකා නමැති, සාම්ප්‍රදායික චාරිත්‍ර විධික්‍රමයටයි. 

   


ඇයි මේ විදිහට යුධ ඝෝෂා පවත්වන්නේ? හේතු කීපයක් තියනවා. 

1. තමන්ගේ කණ්ඩායම් හැඟීම සහ චිත්ත ධෛර්යය වර්ධනය කරගැනීමට.

2. සතුරා වෙත තර්ජනාත්මක සහ බියවැද්දීමේ බලපෑමක් ඇතිකිරීමට.

3. ප්‍රහාරය වඩාත් බලවත් ලෙස සතුරා වෙත එල්ල කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය ඒකරාශී කිරීමට. 

   යුධ ඝෝෂා පැවැත්වීම, ලෝකයේ සෑම මහාද්වීපයකම පාහේ ජීවත්වන, ජාතීන්/ගෝත්‍ර අතර, ඉතා ඈත අතීතයේ සිට තිබුණු චාරිත්‍රයක් බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. ඒ සෑම එකක්ම, මෙහි විස්තර කරන්නට මා අදහස් කරන්නේ නැහැ. 


   මේ ආකාරයට තම අභිමානය විදහා දැක්වූ/දක්වන, වෙනත් ජාතීන්ගේ යුද ඝෝෂාව ගැන, මෙතැන් සිට කරුණු ඉදිරිපත් කරනවා.



   
   ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී මෙවැනි යුධ ඝෝෂා ඉදිරිපත් කර තිබෙන්නේ ගීතමය ස්වරූපයෙන්. විශේෂයෙන් යුදජයග්‍රහණ සැමරීම සඳහාත්, එවැනි ගීත සකසා තිබෙනවා. මේ ගීතය ඔබේ පැරණි මතකය අවදි කරනු ඇති. තත්පර 40 ක් ඇහුවම ඇති.




   පහත දැක්වෙන වීඩියෝවේ තිබෙන්නෙත්, ඇමරිකානු සිවිල් යුද්ධයේ ප්‍රවීනයන්ගේ හමුවකදී ඔවුන් එදා කල යුධ ඝෝශාව නැවත කර පෙන්වීමක්.





මේ විදිහට යුධ ඝෝෂා කරමින්, අතීතයේදී, සටනක් සිදුවන්නට ඇත්තේ, පහත දැක්වෙන, ඉතා කෙටි වීඩියෝවෙන් පෙන්වන ආකාරයටයි.




    
   මෙන්න තියනවා බලන්නම වටිනා යුධ ඝෝෂාවක්. රෝමන් අධිරාජ්‍යයේ සෙබළු යුධ ඝෝෂාව කළේ, තම පළිහ, මුහුණට ඉදිරියෙන් අල්ලාගෙනලු. එවිට ඝෝෂාවේ දෝංකාරය වැඩිවෙනවලු. මේ බලන්න, 1964 වර්ෂයේදී තිරගතවූ, 'The fall of the Roman Empire' චිත්‍රපටියේ, එවැනි අවස්ථාවක්.




 රෝම යුධ ඝෝෂාව හැඳින්වුණේ, 'බැරිටස් Barritus' යනුවෙන්. පැරණි රෝම මූර්තියක එවැනි අවස්ථාවක් දක්වා ඇති අයුරු, පහත දැක්වෙනවා.


  ඇමරිකානු නිදහස් සටනේදී, ඒකාබද්ධ හමුදාව විසින් නිර්මාණය කරගත්, ඇඟ කිලිපොලා යන යුධ ඝෝෂාවක් තිබුනා. මෙන්න අහන්න. තත්පර 8 යි ගතවෙන්නේ. මෙය හැඳින්වුණේ Banshee Yell යනුවෙන්. බාන්ෂී කියන්නේ, වියරු හඬින් කෑගසන අවතාරයක්ලු. 






  පැරණි ග්‍රීක සම්ප්‍රදාය අනුව සටනක් සඳහා සටන් බිමට යනතුරු, ග්‍රීක බලසේනා, විවිධ යුද ගීත ගායනා කළ බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. සටන් බිමට පැමිණ සතුරා සමග ගැටෙන්නට පෙර, ඔවුන්, තම කඩුව හෝ හෙල්ල, තමන්ගේ පළිහේ ගටමින්,  සියලු දෙනා එකවර 'අලාලා - එලේලූ' යනුවෙන් යුද ඝෝෂා පවත්වා තිබෙනවා. 




  දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී, 1942 වර්ෂයේ මුල් භාගයේදී, ජර්මානු හමුදාව විසින්, රුසියාවේ ස්ටැලින්ග්‍රාඩ් නගරය වටකර, තම ආධිපත්‍යයට නතු කරගත් අතර, ටිකෙන් ටික ඉදිරියට යමින්, රුසියාව සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කළා. එහෙත්, රුසියානු නායක ජෝසෆ් ස්ටාලින් විසින්, රුසියානු රතු හමුදාවේ ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන ගිය, 'එක පියවරක්වත් පසුපසට නොයනු' යන ආදර්ශ පාඨය ක්‍රියාවට නැංවූ රතු හමුදාව, සෑමවිටම, 'වොල්ගා නදියෙන් මෙහා අපට මව්බිමක් නැත' යන පාඨය හඬ නගා කියමින්, සටනට එළඹුනා. එම පාඨය, ඒ කාලයේ යුද ඝෝෂාවක් ලෙස සැලකෙනවා. ඉහත සඳහන් පාඨ,  ස්ටැලින්ග්‍රාඩ් නගරය ගලවාගත් යුද විරුවන් සමරන ස්මාරක වලද සටහන් වෙනවා. 




   ජපන් රටටත් සෑහෙන යුද ඉතිහාසයක් තිබෙන බව, ඔබ දන්නවා. ජපන් අධිරාජ්‍යය දෙවැනි ලෝක මහා සංග්‍රාමයට එළඹෙන්නට පෙර සිටම, විවිධ සටන් වල යෙදී තිබෙනවා. ඔවුන්ගේ යුද ඝෝෂාවට අදාළ ප්‍රධාන හඬ නැගීමක් වුනේ, Banzai යන වචනයයි. මෙහි තේරුම, 'වසර දස දහසක්' යන්නයි. පසුකාලීනව මෙම වචනයද ඇතුලත්ව, ජපන් හමුදාව සකස් කරගත් යුද ඝෝෂාව වුනේ, 'Tenno Heika Banzai' යන්නයි. මෙයින් අදහස් කලේ, 'අධිරාජයා දිගුකල් වැජඹේවා' යන අදහසයි. තම සිරුරේ බෝම්බ බැඳගෙනගුවනින් ගොස්, සතුරු නැව් වල දුම් කවුළුවට පැන, මරාගෙන මැරෙන, කමිකාසේ සටන් කරුවන්, එසේ පැන්නේ, මේ ඝෝෂාව කියමින්ලු.
   


  මා හිතනවා, යුද ඝෝෂාව යනු කුමක්ද යන්න අවබෝධ කරගැනීමට, මේ කරුණු ඔබට ප්‍රමාණවත්වේයැයි කියා. අද කාලෙදී නම්, කිසිම හමුදාවක්, මෙවැනි යුද ඝෝෂා පවත්වන්නේ නැහැ. 

   හැබැයි, යුද ඝෝෂාවක් ගැන, මේ වෙලාවේ මතක්වුන, පුංචි කතාවක් කියන්නම්. මේක ඇත්ත කතාවක්.



     දන්නවනේ උඩින් ගිහින්, රෙදි ගොට්ටෙන් පැනීම. ඔව් ඔව්, ඉතින් ඒක ගොට්ටක් වගේ නේ. ඔය ගොට්ටෙන් පැනිල්ල උගන්නන්නත්, ඉගෙනගන්නත්, බොහොම මහන්සි වෙන්න ඕනේ. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සමත් වෙන්නත් ඕනේ. විවිධ ශාරීරික අභ්‍යාස කරවලා, උඩ පිණුම් බඩ පිණුම් ගස්සවලා, ඊළඟට, පොළොවේ ඉඳන් අඩි හැට හැත්තෑවක් විතර උස අට්ටාලයක ඉඳලා, පහළ තියන වතුර ටැංකියකට පන්නවනවා. උඩට ගිහින් බැලුවම, වතුර ටැංකිය පෙනෙන්නේ, ගිනිපෙට්ටියක් තරමටලු. 

   ඔන්න අපේ වීරයන් පිරිසක් ගියා පාකිස්ථානයට, ගොටු පැනිල්ල ඉගෙනගන්න. ඉතින් අර වතුර ටැංකියට පනින අවස්ථාව ආවා. පාකිස්ථානු උපදේශක වරුන් කිව්වා, 'තමන්ගේ රටේ තියන යුද ඝෝෂාවක් කරගෙන' පනින්න කියලා. පළවෙනියා පැන්නා, 'කොමාන්ඩෝ...........' කියාගෙන, දෙවැනියා පැන්නා 'ජයවේවා...........' කියාගෙන, තුන්වෙනියා පැන්නා, 'බුදු අම්මෝ..................' කියාගෙන. පාකිස්ථානු උපදේශකයන්ට තේරිලා තියනවා, ඒ යුද ඝෝෂාව ටිකක් අමුතුයි කියලා. ඒ නිසා පැන්න කෙනාගෙන් අහලා තියනවා, මොකක්ද ඒ යුද ඝෝෂාව කියලා. තවමත් බයේ වෙවුලමින් එයා කිව්වලු, මේක අපේ සිංහල රජ කාලේ යුද ඝෝෂාවක් කියලා.  

2016 ජූලි මස 31 වැනි දින 2327 පැය   
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }