මේ ලිපිය ලියන්න නිමිත්ත පහළවුනේ, ඉතා අහඹු විදිහකටයි. අද, අපේ ප්‍රදේශයේ, සුබසාධක සංගමයේ මාසික සභා රැස්වීම පවත්වන දිනය. (සැම මසකම පළමුවැනි ඉරුදින) මම සමිතියේ ගරු ලේකම්. ඇත්තෙන්ම මේ ලේකම් තනතුර බාරගත් දා සිට, ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. නමුත්, මා, සාමාජිකයන්ගේ සියලු තොරතුරු, සමිති වාර්තා, ගනුදෙනු වන සියලු ලිපි, ආදී මෙකී නොකී සියල්ල, පරිගණක ගතකරගෙන තිබෙන නිසා, සෑහෙන පහසුවක් තිබෙනවා. සමිති රැස්වීම පටන් ගන්නේ සවස 4.00 ට.
සමහර දිනවල සභාව උණුසුම් වෙමින්, රාත්‍රී 7.00 පමණ වනතුරු ඇදෙනවා. සමිති වාර්තාව, පිටු 10 ක් තරම් දිගට ලියවෙන අවස්ථා තිබෙනවා. සමිතිය අවසන්වී, 'අපේ කට්ටිය' අල්ලාප සල්ලාපයේ යෙදීමත් සිරිතක්. බොහෝවිට එය කෙලවර වන්නේ, නගරයේ අවන්හලකට ගොඩවී හෝ, අපේ ගෙදර ඉදිරිපස මිදුලේ රවුමට තැබූ පුටුවලට වී, සංවාදය සහ ලේ නහරද, තවත් උණුසුම් කරගැනීමෙන්.
මම අද කලින්ම අපේ කට්ටියගෙන් මිදී ගෙදර ආවේ, අද බ්ලොග් ලිපියක් ලියන්නට සිතා සිටි නිසයි. ඒ මාතෘකාව මෙය නොවේයි. වෙනත් දෙයක්. එය පසුවට තබා, මෙය ලියන්න සිදුවුණේ, ස්වාධීන රූපවාහිනී සේවයේ, වික්ටර් රත්නායකගේ සංගීත සේවය අළලා ප්‍රචාරය වුන වැඩසටහනක්, අද සවස අහම්බෙන් නැරඹීම නිසයි.
වික්ටර් රත්නායකගේ හඬට, මා දක්වන පෙරේතකම නිසාම, Home Theater System එක මගින්, ඒ හඬ, ඉහල මධුර තත්වයෙන් ඇසීම, එක්තරා ආකාරයකින්, මධුවිතක් රසවිදීමක් හා සමානවුවායයි කීම, අතිශයෝක්තියක් නොවෙයි. පසුගිය දිනවල, ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම වෙනුවෙන්, ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ වැඩසටහන, රාත්‍රී 1.00 ට අවසන් වන තුරුත්, සිරස රූපවාහිනියෙන් කල වැඩසටහන මධ්‍යම රාත්‍රිය වනතුරුත්, 'අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද' කියා, බිරිඳගෙන් දෝෂාරෝපණ එද්දීත්, හෝම් තියටර් එකෙන්ම ඇහුවේ, නිසි ශබ්ද ගුණය ඇසිය යුතු නිසාය.
ඇත්තෙන්ම, අවසන් මධු බින්දුව වීදුරුවට හලා ගන්නවාක් මෙන්, වැඩසටහනේ අවසන් වාද්‍ය ඛණ්ඩය දක්වාම, එම වැඩසටහන් රසවින්දෙමි. ඒ මධුර මනෝහර හඬ තුළ ගිලුනෙමි, පිහිනුවෙමි, සම වැදුනෙමි, මෝහනය වීමි, විශ්මයට පත්වීමි, සියලු මනෝ භාවයන් සංවර භාවයට පත්කරගතිමි.
වික්ටර් රත්නායකයන් මගේ සිතට ඇතුළුවුණේ, 1960 දශකයේදීය. ඒ කාලේ අපි, අපේ ඉස්කෝලෙන් පොසොන් පෝයට තොරණක් හැදුවෙමු. කොළඹ - මහනුවර මාර්ගයට දර්ශනය වන සේ ඉදිකරන මේ තොරණේ, ලයිට් වැඩ කලේ, ලොකු අයියලාය. ඒ කියන්නේ, උපනන්ද සේනාරත්න අයියා, දයා සඳගිරි අයියා, නිහාල් ජයකොඩි අයියා, ෂොම්බේ අයියා, (ඒ කාලේ සිටි අප්‍රිකානු ජන නායකයකුගේ මුහුණුවර තිබුන නිසා පටබැඳි නමක්. ඒ අයියගේ ඇත්ත නම මතක නෑ) මෞර්යවංශ අයියා, විජේනන්දන අයියා, ජයසේකර අයියා, (රැබිට්) (රැබිට් ජයසේකර අයියා, රෝසපාට මිනිගවුමක් හැඳ, සුදුම සුදු කකුල් පෙන්නමින්, සන්ග්ලාස් එකක් සහ බටකොළ තොප්පියක් දමාගෙන, බිග් මැච් එකට ආවම, වැඩිපුර රැවටෙන්නේ, අපේ ලේඩි ටීචර්ලාය) ආනන්ද සූරියබණ්ඩාර අයියා, මගේම අයියා ලක්‍ෂ්මන්, වැනි අය ය.
අපේ කස්ටියේ, රාජා විජේතුංග, කේ.ඩී.එස්.ජයවර්ධන, ආනන්ද ජයවර්ධන, අසේල හඳගම, මයිකල් ගම්මන්පිල, බන්ධුල ජයවික්‍රම, භාතිය පියතිස්ස, අයි. ආර්. හරිශ්චන්ද්‍ර, ගුණතිලක(ඩෝපර්), දේවදාස (හඩ්ඩා), (අම්මෝ........බෑ බෑ, පස්සේ වෙන ලිපියක දාන්නං ලැයිස්තුව) අනෙකුත් 'ඔඩ් ජොබ්' කාරයෝය.
පොසොන් පෝය විශේෂ වන්නේ, අනාදිමත් කාලයක සිට පවත්වන මිහිඳු පෙරහැර නිසාය. මේ සියල්ලට සමගාමීව, භක්ති ගීත සන්දර්ශයක්ද සංවිධානය කෙරෙනවා. විවිධ පාසල් වලින්ද එහිදී ගායනා ඉදිරිපත් කෙරෙනවා.
අපේ කස්ටිය, තොරණේ ලයිට් දැමු පසු 'පොඩි මල්ලිලාට' තොරණ බලාගන්න කියා, නගරයේ ඉහල පහල 'කරුණා කරන්නේ' හුදු විනෝදය මෙන්ම, නගරයේ ඉදිකෙරෙන තොරණ දැකබලා ගැනීමට සහ, (මගේ මතකයේ හැටියට, 1968 වර්ෂයේ තොරණ 9 ක් තිබුනා) කඩචෝරු කෑම, විවිධ තොප්පි, වේවැල්, වෙස්මුහුණු, නලා, ආදිය මිලදී ගෙන, එයින් නානාප්‍රකාර වින්දනයක් ලබාගැනීම, පෙරහැර බලන්නට පැමිණ සිටින ජනතාවගෙන් හරුප අසාගැනීම, ඒකාලේ අපි කළුද සුදුද කියා නොදන්නා දෙයක් වුනත්, 'ආදරය සුන්දර වරදකි' යන හැඟීමෙන්, (එතකොට ඒ සින්දුව තියා ගායකයාවත් ඉපදිලා නැතුව ඇති) තම තමන්ගේ සෙනෙහෙවන්තියන්ට ආලහැඟුම් පාන අපේ කස්ටියේ අයගේ, හැලුප්කරුවා ලෙස සේවය කිරීම, ආදී දහසකුත් එකක් රාජකාරි කිරීම සඳහාය.
එක දෙයක් දිවුරා ප්‍රකාශ කලහැකිය. අපි කිසිවෙකුත්, ඒ කාලේ, සිගරට් එකක්වත් නොබිව්වෙමු. බිග් මැච් එක දවසේදී වත් නොබිව්වෙමු.
ඉතින් කෝ ඕයි වික්ටර් රත්නායක?
හරි හරි දෙයියෝ මේ එනවා, මේ එනවා. කොහොමද අප්පා අර රසගුලාව අමතක කොරන්නේ.
ඔන්න ඉතින් 1967 - 68 කාලේ තිබුන මේ පොසොන් සංගීත සන්ධ්‍යාවකට පැමිණි එක ගායකයකු, නිවේදකයා විසින් හඳුන්වා දුන්නේ, කඩුගන්නාවේ කලායතනයකින් හෝ පාසලකින් පැමිණි, 'සංගීතාචාර්ය වරයකු' ලෙස බව මතකය. ඔහුගේ නම එදා මතක හිටියේ නැත. නමුත් ඔහු සිහින් සිරුරක් ඇති, තරමක් උස පුද්ගලයකු බව මතකය. එමෙන්ම ඔහු ගැයූ ගීත කීපය, සියලු දෙනා විසින් ඉතා ආසාවෙන් අසා සිටි බවත් මතකය. ඔහු කළු පැහැති දිග කලිසමක්, සුදු පැහැති අත් දිග කමිසයක් හැඳ, කළු පැහැති සිහින් ටයි පටියක් පැළඳ සිටි බවත් මතකය. ක්‍රීම් ගා, ඉහලට පීරා තිබුණු රැළිති කේශ කලාපය, සීගිරි පර්වතය මෙනි. අපි 70 දශකයට පා තබද්දී, වික්ටර් රත්නායක අපේ හදවත් අරක් ගත්තේ, අපට නොදැනීමය.
අපේ පාසල් කාලයට පින් සිද්ධ වන්නට, භාෂාව, සාහිත්‍යය, (විශේෂයෙන් පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය ඇතුලත්, සාහිත්‍ය ඉතිහාසය) ගැන ලද අවබෝධය, පුවත්පත් සහ ගුවන්විදුලිය ඇසුරෙන්, කියවා අසා දැනගත් හරවත් විද්වත් අදහස් සමුදාය හේතුකොටගෙන, එවකට තිබුණු ජනප්‍රිය රැල්ල සහ සරල ශාස්ත්‍රීය සංගීත ධාරාව වෙන්කර ගැනීමට තරම් දැනුමක්, අපට ලැබුණි.
එහි පුරෝගාමීන් වුයේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස් රත්නායක, වැනි ගේය පද රචකයන්, සුනිල් සාන්ත, ඩබ්ලිව්.ඩී.අමරදේව, සුසිල් ප්‍රේමරත්න, නාරද දිසාසේකර, ඇතුළු මහ පිරිසකි.
වික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව, වරින්වර එම ගායකයන් විසින් කල ප්‍රකාශ වලින් පසක් කරගැනීමෙන් පසු, ඔවුන් ලද සංගීත ශික්ෂණය තුළින්, ඔවුන් තුළ මානව දයාව කොතරම් තිබුනේද යන්න අවබෝධ වෙයි.
බොහෝවිට ඔවුහු, සමකාලීන තවත් ගායකයකු උදෙසා, තනු නිපදවති, තමන්ට ලැබෙන පදමාලා කියවා බලා, මෙය මට වඩා ගැලපෙන්නේ අහවලාගේ හඬට කියා තීරණය කර, එකී ගායකයාට එම පදමාලාව ගැයීමට පවරති. අවශ්‍යනම්, සංගීතය ද සකසා සපයා දෙති. වික්ටර් රත්නායකයන්ගෙන් ම උදාහරණයක් ගතහොත්, මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ' ගීතයේ පදමාලාව, මුලින්ම ලැබී ඇත්තේ, වික්ටර් වෙතටය. එය කියවූ වික්ටර්, එකවරම තීරණය කරන්නේ, මේ පදමාලාව වඩාත් සුදුසු මිල්ටන් මල්ලවාරච්චිට බවය. ඉදින් ඔහු, ප්‍රේමකීර්ති ද අල්විස්ද සමග, මේ ගීතය නිමවා, මිල්ටන් ලවා ගායනා කරවා, ඔහු, ශ්‍රීලංකා ගුවන්විදුලි සේවයේ වර්ගීකරණයෙන් සමත් ගායකයකු බවට පත්කර දෙයි.
මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'තනිවී සිටින්නයි මා අදහස් කලේ' ගීතයද, ඒ ආකාරයෙන්ම, ක්ලැරන්ස් විජේවර්ධන වෙත ලැබුන පදමාලාවකි. නමුත් ක්ලැරන්ස්, එය තමන්ට වඩා මිල්ටන්ට සුදුසුබව කියා, ගීතය සකසා දුන්නේය.
වික්ටර් රත්නායකගේ කටහඬ තුළ මා දකින විශ්මය වන්නේ, එය එන්න එන්නම වඩාත් හැඟුම්බර වීමය. පරිණත වන්නට වන්නට, ඒ ගැයුමෙන් උපදින රසභාවයන් වඩාත් තීව්‍ර වීමය. කිසිදු ස්වරස්ථානයක්, වෙනස් නොකිරීමය. 1970 දශකයේදී ඇසූ ප්‍රමිතිය එලෙසින්ම රැකී තිබීමය.
එය නිරායාසයෙන් ගලා එන කටහඬකි, එහි මානව ප්‍රේමය ගැබ්ව තිබෙන්නේය, ඔහු ගයන්නේ, අප සිත තුළ, භාවමය ශාන්තිය උපදවන ආකාරයට විනා, භාව ප්‍රකෝපයන් ඇති නොකරන ආකාරයටය. එය, සිත නිවන, භාවමය සිහිල් සුළං රැල්ලකි.
වික්ටර් රත්නායක පිලිබඳ මගේ සිහිනයක් සැබෑ වුයේ, 1974 වසරේදීය. එවකට මා පදිංචිව සිටියේ, අවිස්සාවේල්ලට නුදුරු දෙහිඕවිට ප්‍රදේශයේය. ඊට ආසන්න නගරයක් වන රුවන්වැල්ල නගරයේ, පොදු ක්‍රීඩාංගනය හෙවත්, පොදු ව්‍යවහාරයේ පවතින 'මහවත්ත පිට්ටනියේ' පැවැත්වුනු සංගීත සංදර්ශනයකට පැමිණෙන ගායක ගායිකාවන් 'බලාගැනීමේ' කාර්යය, මා වැනි තරුණ තරුණියන් පිරිසකට භාරවී තිබුණි. අපට තිබුණේ, ඔවුන්ව ඛාජ්ජ භෝජ්ජයෙන් සන්තර්පණය කරවා, සංදර්ශන වේදිකාව අසල සිට පැමිණෙන බයිසිකල් කරුවකුගේ පණිවිඩය අනුව, (මේ මොනවා අහනවද? කොහෙද දුරකථන තිබුනේ?) සංවිධායකයන් විසින් සපයා තිබුණු මෝටර් රථයකින්, ඔවුන්ව වේදිකාව වෙත රැගෙන යාමයි.
අනේ මගේ පූරුවේ පිනක් පළදීමෙන්, මට, වික්ටර් රත්නායක සහ ටී.එම්.ජයරත්න යන ගායකයන් දෙදෙනාගේ ආවතේවකරු වීමේ වරම ලැබුණි. වික්ටර් රත්නයකයානෝ මට, 'මල්ලි' කියා ඇමතූහ. මට එකවරම කියවුනේ 'සර්' කියාය. 'නෑ නෑ මල්ලි මට අයියේ කිව්වම ඇති' කියා, ඒ එදත් අදත් නොවෙනස් කරුණාබර හඬින්, එතුමෝ පැවසුහ. සංග්‍රහ කටයුතු අවසානයේ, මම ඔවුන්ව මෝටර් රථය වෙත ගෙනගියෙමි. 'එහෙනම් අයියලා යන්න මම මේ ටික බයිසිකල් එකේ එනවා' කිව්වෙමි. 'නෑ නෑ, මල්ලි ඉස්සරහින් නගින්න, අපි පස්ස සීට් එකට නගිනවා' කියූ ඔවුන් දෙදෙනා, ඔවුන්ගේ විෂයයට අදාළ යමක් කතාකරමින්, වේදිකාව වෙත ගියහ. මා වේදිකාව අසලින් බැස්සේ, මහා සෙනෙවියන් දෙදෙනෙකු, ආරක්ෂා සහිතව රැගෙන ආ, ආරක්ෂක නිලධාරියකුගේ වේශයෙන් පපුව පුම්බාගෙනය.
'ස ප්‍රසංගය' තුළින් ඔහු දායාද කළ, මහඟු දියමන්ති නිධානයක් හා සමාන ගීත සමුච්චය, ලෝකයේ ඕනෑම ගායකයකු හට, තම ගායන දිවිය තුළ උපදවා ගතහැකි, උපරිම කුසලතාවය පිලිබඳ, පරමාදර්ශයකි. ඔහුගේ ගායනා, විවිධ විෂයයන් අළලා නිමවීමද, ඉතා අගනේය. එය, හුදෙක් ලාබ ප්‍රේමයට සීමා නොවුණු, විවිධ පැතිකඩ ඔස්සේ පැතිරෙන ගී ගඟුලකි. එය, ඔහුගේ පූර්වජන්ම කුශල ඵලදීමකින්ම ලද දායාදයකි.
යුගයේ මහා ගාන්ධර්වයාණනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!
2016 අගෝස්තු මස 07 වැනි දින 2354 පැය
ප්‍රාර්ථනීය ගායනවේදීන් අතර තරුවක්
ReplyDeleteසහතික ඇත්ත.
Deleteඑකෙන්ම එකගයි විචා මාමේ. අද ගෙදර ගියගමන් ෂොට් එකක් දාගෙන මේ ලිස්ට් එක ප්ලේ කොරන්ට ඕනි.. 🍻🎶🍻👊🏽
ReplyDeleteහැක් හැක්, කාලයක් මමත් එහෙම තමයි කලේ. කොහෙද මේ දොස්තර මහත්තුරු අපිව අන්දනවනේ. දැන් බොහොම සීමිතයි.
Delete1) වික්ටර් යුග පුරුෂයෙක්
ReplyDelete2) උපනන්ද සේනාරත්න අයියා යනු අපේ ෆිසික්ස් සර් නේද ?
3) ඔබ 71 දී වෙඩි වැදී මිය ගිය සුජාතා හඳගම හෝ ඇයගේ පවුලේ අය දන්නවද ? වර්තමානයේ ඒ අයගේ තොරතුරු මොනවාද ?
1. වික්ටර් ගොහොරු මඩෙන් ඉහලට නැගුනු අගනා සුදු නෙලුම් මල.
Delete2. ඔව් එයා තමයි. ඔහුත් මනුස්සකම අතින් ඉතා ඉහල පුද්ගලයෙක්.
3. සුජාතා හඳගම දන්නවා. නමුත් මම කෑගල්ලෙන් ඈත්වුනේ 1971 දී. ඊට පස්සේ අද වනතුරු මොකුත් දන්නේ නැහැ. (මම තදින් JVP කල නිසා, පොලීසිය මාව අල්ලගෙන ගිහින් මරයි කියන බයට, තාත්තා ඇවිත්, මගේ කන පලලා අරන් ගිහින්, දෙහිඕවිට ප්‍රදේශයේ හැංගුවා)
මොනව උනත් රවුන්ඩ් ටේබල් එකේ අදාළ එව්ව තියෙන එකනම් වරදින්නෑ නේද විචා තුමෝ....
ReplyDeleteහැක් හැක්, එව්වා නැතුව මෙව්වයින් වැඩක් නැත.
Delete// වික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව, වරින්වර එම ගායකයන් විසින් කල ප්‍රකාශ වලින් පසක් කරගැනීමෙන් පසු, ඔවුන් ලද සංගීත ශික්ෂණය තුළින්, ඔවුන් තුළ මානව දයාව කොතරම් තිබුනේද යන්න අවබෝධ වෙයි. // අද තත්වය අහෝ දුකකි!
ReplyDelete//හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවණේ
හබල බිඳීලා.... පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ කවුද අත වනන්නේ...//
වික්ටර් රත්නායකගේ ගීත පමණක්ම තියෙන බ්ලොග් අඩවියක් තියෙනවා.. එතන ගොඩක් දෙනෙක්ට අහන්න ලැබෙන්නේ නැති ගීත 100 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.. http://victorrathnayakelyrics.blogspot.com/
ඉතාම ආසාවෙන් කියවපු පොස්ට් එකක්.. ස්තුතියි විචාරක තුමෝ..
මම අද ගැන මොකුත් කතාකරන්න කැමති නැහැ කල්‍යාණ. එයින් කිසිම පලක් නැහැ. යන අතක ගියාවේ.
Deleteඔව් ඔබ කියන ගීත ඔක්කොම මම mp3 CD එකකට අරන් තියාගෙන ඉන්නවා බොහොම ආදරෙන්.
අදහස් දැක්වීම ගැන ස්තුතියි.
විචා මාම අපේ ඉස්කෝලෙ නේද?......කොතනද ඔය තොරන ගැහුවෙ...
ReplyDeleteහෙහ් හේ..........ගහට ගහක් හම්බවුනා එහෙනම් ඈ?
Deleteතොරණ ගැහුවේ, කොළඹ නුවර පාරෙන් විද්‍යාල පාර පටන්ගන්න තැනම, මීටර් 10ක් පමණ ඉදිරියෙන්, පාරේ වම්පැත්තේ තියන ඉවුර පසුබිම් කරගෙන.
මේ කියන්නේ ඉරිදා සවස විකාශනය වුනු පද්ම තටාකය වැඩසටහන,
ReplyDeleteඇත්තෙන්ම මාත් දැහැන්ගත වෙලා අවසාන සංගීත කණ්ඩය දක්වාම රසවින්දා.
වික්ටර් රත්නායකයන්ගේ හඬ තුල වන භාව ප්‍රකාශනය අසම සමයි විචාරක තුමා කියන ලෙසම පරිනත වීමත් සමග එය තවත් තීව්‍ර වන වා.
මේ වැඩසටහන් බැලුවහම මට සිතුනා මේ ගැන සංගීත රසවතෙකු බ්ලොග් සටහනක් තබාවි කියා. එය සිතූ ලෙසම විචාරක ඉටුකොට තිබීම ගැන සතුටුයි. කිවහැකි දේ බොහෝමයි එහෙම කියන්න ගියොත් මගේ ප්‍රතිචාරය බ්ලොග් ලිපියක් තරම්ම වෙයි.
ඔව් පද්ම තටාකය ගැන තමා කිව්වේ. ඇත්තෙන්ම මේ ලිපියත් නිරායාසයෙන්ම ලියවුණේ.
Deleteවික්ටර් වැනි ගායකයකු ජීවිත කාලයක් තුල දකින්න ලැබෙන්නේ එක වරයි. අපි ඒ සඳහා පින් කරලා තියනවා.
ස්තුතියි ඔබේ අදහස් වලට.
මම මේ කමෙන්ට් එක යාං හෑල්ලෙ දැම්මා ටිකක් වෙනස් විදියකට.
ReplyDeleteවික්ටර් රත්නායකයි සුජාතා අත්තනායකයි කනපිට හරවලා කියන සින්දුවක් තියෙනවා ලොකු අයියා දන්නවද?
වසර සසන තුරු
සසරවසන තුරු
අම මාදරෙයි
මම ආදරෙයි
කියලා?
ඔය සින්දුව හඳුන්වලා දෙන්න නිවේදකයා නිර්මාණාත්මක මගක් ගන්න ගිහින් නාගත්ත කතාවක් මේ
මුල ටික අර කිව්ව විදියටම කියලා
දැන් පිළිගන්න
රක්ට විත්නා-යක සමග....
අත්පොළොසන් සමගම ඉන් පසු නිහැඬියාවක්
අජා-තා සුත්ත-නායක
(හූව)
+++++++++++++++++++++++++++
Delete++++++++++++++++++++++
Deleteහැක්.. හැක්..
Deleteඩූඩ්, උඹ දන්නේ නැහැ අජාතා ගෙන් මම සංගීතය ඉගෙනගෙන තියනවා. යකෝ සැරයි කියන්නේ හරිම සැරයි.
Deleteහැබැයි ඉතින් එක අතකට දැන් ඉන්න නිවේදකයන් අතින් ඔහොම නොකියවුනානම් තමයි පුදුම.
:P
Delete+++++++++++++
Delete++++++++++++++++++++++++
Deleteවික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ ලෙජන්ඩ් එකක්...
ReplyDeleteවික්ටර්ගේ කට හඬ කියන්නේ තවත් සංගීත භාන්ඩයක්..
වික්ටර්ගේ "සා" කොච්චර ජනප්‍රියද කියනවා නම් ඒකට වෙනත් කතාවකුත් තියෙනවා නේ.. වික්ටර් ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි පොඩි මාස්ටර් හෙවත් ප්‍රේමකීරිතිගේ ගේය පද.. ඒවා බොහෝම සරළ එහෙත් මහා ලාලිත්‍යයක් සහිත අකුරු පේලී වීම.
ප්‍රේමකීර්ති මරපු වෙලාවේ ඒ දුකට වික්ටර්ගේ හුස්ම ටික නොගියා විතරයි. ඒ වේදනාවාදත් වික්ටර් විඳිනවා. වික්ටර්ගේ කටහඬ අනුකරණය කරන්න කාටවත්ම බැරිවීමත් ලොකු දෙයක්. මේ ලිපිය ලියන්න පාදක වුනු වැඩසටහනේදී වික්ටර්ගේ පුතා ජයන්ත රත්නායක මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක් ගායනා කල. ඒ හඬේ තිබුනා 1960 ගණන්වල වික්ටර්ගේ හඬ.
Deleteඋඹට අළුත් කොල්ලෝ අරහං නේ.. දෙරණ හොයා ගත්තා වික්ටර්ගේ කට හඬ තියෙන එකෙක්.. දැන් ඌ දෙරණේ වැඩ සටහන් පවා කරනවා.. ඒත් ඌට කවදාවත් විකටර්ගේ සින්දු කියන්න දෙන එකක් නෑ.. ඒ ලංකාවේ හැටි..
Deleteමම අකමැති අලුත් කොල්ලන්ට නෙවෙයි. සංගීතය ඉගෙන ගන්නේ නැතුව, හුදෙක්, තම කටහඬ හැමදාම විකුණගෙන කන්න පුළුවන් කියන මෝඩ සිතුවිල්ලේ ඉන්න අයට. දැක්කනේ, එක්කෙනෙක් වරෙන්තු ලබලා, උසාවි ගානේ රස්තියාදු වෙන හැටි.
Deleteස්තූතියි විචා. මම ටීනේජර් සන්ධියේ ඉස්සෙල්ලම හිතට අල්ලපු සිංහල සින්දුව නීල බිඟු කැල ඊට පස්සෙ අඳුර බිඳින්නට බටහිර සංගීතයට වැඩි කැමැත්තක් තිබුණ නිසා බටහිර සංගීතය යොදාගෙන නිම වුණ සිංදු නිසා වෙන්න ඇති.
ReplyDeleteනීල බිඟු කැල (චස්ස්ස්)
Deleteකාම රස පෙල (චස්ස්ස්)
ආදරෙන් සනසාලා(ඩැං චස්ස්ස් ඩගඩගඩගඩග)
තිසර සුදුමුදු (චස්ස්ස්)
තඹර පහසින් (චස්ස්ස්)
මෝහනය වීලා(ඩ්ර්ර්ර් ඇං ඩ්ර්ර්ර් ඇං ඩ්ර්ර්ර් ඇං චස්ස් ඩගඩගඩගඩග)
දශක හතරක් පුරා ඔහු මේ යන සංගීත චාරිකාවේදී සංගීතය රසවිදිය හැකි සෑම වයස් කාණ්ඩයකම අය ප්‍රිය කරන විවිධ ගීත සමුදායක් නිර්මාණය කර තිබීම මහා පුදුමයක්.
Deleteඅඩේ ඩූඩ්, ඊළඟ සැරේ ආවම ඔය සංගීතය දාන්න කොහාට හරි එකතුවෙමු.
බයක් නැතුව ඉන්දියන් එවුන් ඉස්සරහ උනත් රසවිඳින්න පුලුවන් නිර්මාණ රැසක් අපට දායාද කිරීමම ඇති එතුමාට ගරුකරන්න.මේව අපේ කොපි කියල මොකෙක් වත් කියන්නෙ නෑ එතුමාගේ ගීත අහද්දි.
ReplyDeleteනීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි !
ඇත්තෙන්ම ඔව්. ඔහුගේ ගීත සමුච්චය කවදා හෝ වෙනම ඉතිහාසයක් නිර්මාණය කරනවා.
Deleteඊයෙ හවස මට අහම්බයකින් වගේ මේ වැඩසටහන රසවිඳීමේ වාසනාව ලැබුණා. ඉතිං මමත් බොහොම ආසාවෙන් විචා වගේම අවසාන සංගීත ඛණ්ඩය දක්වා රස වින්දා. පද්ම තටාකය අපූරු වැඩ සටහනක්.
ReplyDeleteඅනේ ඔව්. මේ වගේ වැඩසටහනක් නම් මමත් වෙන වැඩ පාලු කරගෙන හරි බලනවා. පයක් දෙකක් ගියත් කාලය ගතවෙනවා තේරෙන්නේ නැහැ.
Deleteවිට්ටර්ල, සුනිල්ල, ටීඑම්ල කියන්නෙ ඉතිං නියම ගායකයො තමයි.
ReplyDeleteඒක තමයි ප්‍රසන්න මම ලිපියක් ලිව්වේ, දැන් ඉන්න පරපුරත්, තමන්ගේ සංගීත ඥානය දියුණු කරගන්න ඕනේ කියලා. මේ පරපුරෙන් පස්සේ මොකද වෙන්නේ? උත්තරයක් නැහැ.
Delete/* මධ්‍යම රාත්‍රිය වනතුරුත්, 'අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද' කියා, බිරිඳගෙන් දෝෂාරෝපණ එද්දීත්, */
ReplyDeleteමේ මනුස්සයාට ඉඟියක්වත් නොතේරෙන හැටි.....!!!
හුට්ට බටා........දැන්නේ තේරුණේ. අම්මපා මම අමුම අමු ටියුබ් ලයිට් එකක්.
Deleteඒත් ඉතින් වැඩක් නෑ අනේ.
ඉස්සර මාඔබ දකින්න ආවේ............
දැන් ඉඳ හිටලා දකින්න එන්නේ.........
හ්ම්........ආයේ එහෙම මේ වගේ දුක හිතෙන කමෙන්ට් දාන්න එපා ඔන්න.
මෙන්න මේවනේ කමෙන්ට් සහ පිළිතුරු කියන්නේ.
Deleteමේක කියවලා මම විනාඩි ගනනක් ඔෆිස් එකේ තනියම හිනා වුනා. හොඳ වෙලාවට කාටවත් නෝටිස් වුනේ නැහැ.
විචරක කතාව දෝලාවෙන් ගමන පයින් නේද? වික්ටර් රත්නායක ගැන ලිපියේ ඇයි ප්‍රියා සූරියසේන ගේ සින්දුවක් දාලා?
Deleteඅඩු වශයෙන් අමරදේව ගේ කොළොම්තොට නැත මහළු වී ගීතයවත් මතක් කර ගත්තානම්!
ව්‍යංගර්ථය තේරුම් ගන්න ආයේ වික්ටර් මොකද වෙන ගායකයෙක් මොකද? තේරුම් ගන්න එකා කොහොමත් තේරුම්ගන්නවා.
Deleteඉතින් එහෙනම් කොලොම්තොටත් වික්ටර්ගේ නෙවෙයිනේ. කතාව දෝලාවෙන් තර්කය එතැනින්ම පුස්සක් වුනා. හූ........
වික්ටර් කියන එක් ගීතයක් මර්වින් තමන්ට සාදා ගත් එකක් වුණත් වික්ටර් ඉල්ලූ පසු එය වික්ටර්ට ලබා දුන් බවක් මේ ළඟදී සිඩ්නි ප්‍රසංගයේ දී කිව්වා.
ReplyDeleteහැබැයි මේ සහයෝගය සහ පරිත්‍යාගශීලී බව, ඒ කාලේ හිටිය වෙනත් සමගර කලාකරුවන් ළඟ තිබුනේ නැහැ.
Deleteවික්ටර් රත්නායක කියන්නෙ උමතුවක්.. ගස්ලබ්බගෙ පියාණන්ගේ සම්බන්ධතා නිසා එතුමන් සජීවීව හමුවන්න කථාබහ කරන්න අවස්ථාව ලැබිලා තියනවා.පාසලේ යම් කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමටත් හැකි උනා.ඉතාමත් නිහතමානීව හැසිරුන බවත් නිවරදි භාශාවක් භාවිතයෙන් කතාබහ කල බවත් මතකයි.කතාවත් සුගායනීයයි.
ReplyDeleteගස්ලබ්බගෙ පියාණන්ගේ 'වික්ටර් අයියා' උන්මාදය කෙතරම්ද යත් විශ්වවිද්‍යාලයේදී 'අමා' නමින් වික්ටර් උපහාර ඒකපුද්ගල ප්‍රසංගයක්ද පවත්වා තිබෙනවා.
එදා ඔවුන් වශීවූ ආකාරයටම අද අප පරම්පරාව ද සඳතරණයේදී පවා පසුබිම් සංගීතයලෙස ඔහුගේ හඬ දෙවරක් නොසිතා රසවිඳිනවා..
ජයවේවා..!!
මේ වගේ සැබෑ මිනිසෙකු දැන හඳුනාගෙන ආශ්‍රය කරන්නත් පෙර පින් තියෙන්න ඕනේ ලබ්ස්.
ReplyDeleteඔහුගේ උතුම් මානුෂික ගතිගුණ පූර්ව පින් බල මහිමයෙන් ලැබුණු ඒවා වෙන්න ඕනේ.
ස්තුතියි අදහස් දැක්වීම ගැන.
වික්ටර් කියන්නේ සලකුණක් , ඒ ශක්‍යතාවය පුතාලටවත් නෑ මටනං පෙන්නේ
ReplyDeleteඑක අතකට පුතාලට ඒ කටහඬ නොපිහිටීමත් හොඳයි. නැත්නම් කවුරුහරි ඒ පුතාලව පොළඹවනවා තාත්තගේ ගීත විකුණගෙන කන්න.
Deleteබොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
ReplyDeleteනුඹ මුවෙන් පවසන නිසා
අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්
ගිහින් බැලුවා. බොහොම අගෙයි. කමෙන්ට් එකකුත් දැම්මා. බ්ලොග් රෝලටත් දාගත්තා.
Deleteස්තුතියි පාර කිව්වට.
මම වික්ටර් රත්නායකයන්ගේ ගීත ඉඳලා හිටලා ඇහුවත් වැඩිපුරම ඒ ගැන ඇල්මක් ඇති උනේ අවුරුදු ගානකට කලින් ඔහු වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න හම්බුනාට පස්සෙ. මමයි යාළුවෙකුයි වැඩේ කළේ. අපිට ඒ වෙනුවෙන් 'ස' ප්‍රසංගයක් නොමිලේ නරඹන්න අවස්ථාව ලැබුණා. පස්සෙ යාළුවා වික්ටර් රත්නායකයන්ව මුණගැහුනත් මට එච්චර ඕනකමක් තිබ්බෙ නෑ. දැන් ඒ වෙබ් අඩවිය හොයාගන්නත් නෑ.
ReplyDelete'ස' නම් පංකාදු පහයි.
මුල් කාලේ අපිත් වික්ටර් රත්නයකව හඳුනාගන්න කලින්, අමරදේව, නන්දා මාලනී, සිසිර සේනාරත්න, වගේ අය තමයි ගායක ගායිකාවන් හැටියට අගය කලේ. නමුත් වික්ටර් අපිව ටිකෙන් ටික මෝහනය කර වසඟයට ගත්තා.
Deleteගිගිරි ගීත රාවේ සින්දුවේ ඔර්ජිනල් ස්පාඤ්ඤ සිංදුව දන්න කෙනෙක් ඉන්නවද?
ReplyDeleteඉන්නවනම් උත්තර දෙන්න කරුණාකරලා. අද තමයි මෙහෙහෙම දෙයක් ඇහුවේ.
Delete1970 දශකයේ තිරගතවූ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ, 'වෙස්ගත්තෝ, චිත්‍රපටියේ තමයි, ගිගිරි ගීත රාවේ ගීතය ඇතුලත් වුනේ.
මම ටිකක් හෙව්වා. නමුත් එහෙම දෙයක් හොයාගන්න නැහැ
Deleteමේ වගේ දිඟු කාලයක් පවතින නිර්මාණ එදා බිහිවෙන්න ඇත්තේ අද ගැන දිවැසින් වගේ දැකලා වෙන්න ඇති.. මේ වගේ ලිපි ඉදිරියටත් ලියවෙවී. වෙන කාගැන ලියන්නද ....
ReplyDeleteලියන්න අමතක වෙච්ච තවඡේදයක් තියනවා.
Deleteවික්ටර් රත්නායක අපිට ටියුෂන් පාඩමක් කියලා දුන්නා, ඒකේ ගාස්තුව කවදාවත් ආපහු ගෙවලා නිම කරන්න බැරි විදිහට. ඒ තමයි ආදරේ කියන්නේ මොකක්ද, ආදරේ කරන්නේ කොහොමද කියන එක. අද පරපුර වගේ, 'ඉලෙක්ට්‍රොනික් ලව්' නෙවෙයි අපි කලේ. අමාරුවෙන් මුණගැහෙනවා. ගෝනි ගණන් පෙම්පත් ලියනවා. පෙම්පත් ලිවීම නිසා, අපේ සාහිත්‍ය දැනුමත්, සංගීත රස වින්දනයත්, ලේඛන හැකියාවත්, දියුණු වුනා. බලන්න වික්ටර්ගේ ටියුෂන් පාඩම කොච්චර වටිනවද කියලා.
ඇත්තම ඇත්ත විචාරකතුමණි..ඒ ටියුෂන් නැති කමින් මැෂින් වගේ තමයි දැන් ආදරේ.. වින්දනය නැ... විඳවීමක් මිස.
Deleteසම්පූර්ණයෙන් එකඟයි. ඒ නිසයි අද කියන්නේ, 'එකපාර මා මරන්න' කියලා.
Deleteකලාකරුවෙක් නිහතමානී වීම කියන්නේ පුද්ගලික දෙයක්..නමුත් ඔය කියන ටීඑම් මහතා මට මතකයි එක අවස්ථාවක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ගියක් පටිගත කරන්න පිටකොටුවේ ජනාකීර්ණ මහල් නිවාසයක උඩ මහලක කාමරේක තිබුන කුඩා ශබ්ධාගාරයකට ආවා.. ටී එම් ට කන්න සයිවරි කඩේකින් මෙනාද ගෙනල්ලත් තිබුනා..
ReplyDeleteඉතාම නිදහසේ කතා බහ කරමින් එතුමා ඒ රාජකාරිය කලා..ඉන් පසුව ගීතය පටිගත කරලාත් දුන්නා.. මට ඇත්තටම එතුමා ගැන තිබුන ගරුත්වය එතනින් වැඩි වුනා..
මා පෞද්ගලිකව හඳුනන, ඉතා හොඳ මහත්මයෙක්. හරිම රසකතා ගුලාවක්.
Deleteවික්ටර් රත්නායක කෙනෙක් ආයෙ බිහි නොවන බව සැබැයි. ඒ මාධූර්ය කටහඬ ඔහුටම ආවේනිකයි.
ReplyDeleteඒ ගැනනම් කතාකරලා වැඩක් නැහැ. මේ අයගෙන් යමක් ඉගෙනගන්න උත්සාහ කරන පිරිස බොහොම අඩුයි.
Deleteවික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව: I read somewhere that Victor Rathnayake’s song “Soka Senesum Weadanawan” was originally to be sung by Mervyn Perea. When Victor fell in love with the lyrics, Mervyn not only gave him the song but travelled all the way from a far corner in Ampara where he was teaching, to Colombo to play the violin in the orchestra. That would have been one reason for the richness of tapestry of Sri Lankan music at that time.
ReplyDelete