හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 August 2016

මොකද කියන්නේ? ටෑර් දක්කනවද, පට්ටං ගහනවද?

  හෙහ් හෙහ් හෙහ්, ඔය ඇත්තෝ කැමති ටෑර් දක්කන්ටද පට්ටං ගහන්ටද කියලා, ඔය ඇත්තෝම තීරණය කොරන්ට. ඒ මොකෑ කිව්වොත්, ඔය දෙකෙන්ම කාටවත් අගුණයක් වෙන්නේ නෑ. ගුණයක් මිසක්කා. අද අපි ගහන්නේ මොබයිල් ගේම්. නිකං අත්දෙකේ මහපට ඇඟිලි දෙකයි, තමන්ගේ ඇස් ගෙඩි දෙකයි, මොළෙයි, නරක් කරගන්නවා විතරයි. 

මෙහෙන් 'රාජ්ජ ප්‍රොතිපත්ති' හදනවා, පාසල් දරුවන්ට සීනි කවන්ට එපා, පාන්පිටි කවන්ට එපා, පැණිබීම පොවන්ට එපා, ක්‍ෂණික ආහාර කවන්ට එපා, කිය කියා. ඉස්කෝලෙට ගේන කෑමත් ප්‍රමිති ගතකොරලා තියනවා. නමුත් අද මේ ලිපිය ලියන්ට හිතුනේ, කුරුණෑගල නගරයේ, ප්‍රධාන පාසලක් අසල කඩයකට ඇවිත්, අර තහනම් කෑම බීම හිතේ හැටියට වළඳන, පාසල් දරුවෝ සහ, උන්නේ අම්මා අප්පලා දුටුව නිසයි. 

   උන්ට අරවා ගිල්ලවලා, ඉක්මනට දක්කනවා, හවස් වරුවේ ටියුෂන් පන්ති වලට. නැත්තං අම්මලම ඇදගෙන දුවනවා. පහේ ශිෂ්‍යත්වෙට ඉන්න එවුන්ගේ පංති ඉවරවෙන්නේ, රෑ 8.00 ට. පන්සලේ බෝධි පූජාව, බාගෙට ඉවරකරලා දුවනවා, ළමයව අර පන්තියෙන් මේ පන්තියට ගෙනිහින් දාන්න. පාන්දර 4.00 ට පන්තියට යවලා, උදේ 7.30 ට ඉස්කෝලෙට ගෙනත් දානවා. ඇයි යකෝ ඊට වැඩිය හොඳයි, උන්ගේ බෙල්ල මිරිකලා දාපන්කෝ ඇලකට. 

   ඒක එහෙමම තියාගෙන තව පැත්තකට හැරෙමුකො. ඉස්කෝලවල තියනවා නොයෙක් නොයෙක් ආකාරයේ ක්‍රීඩා. පලවෙනි එක කිරිකැට් කෙලිය නේ. තමන්නේ පුතා කිරිකැට් කෙලියට දමාගැනීම සඳහා, සමහර අම්මලා, කිරිකැට් පුහුණු මහත්තරුත් එක්ක, 'සුඛ ලබ්බති'  කියලා, පොළොවේ අත ගහලා, සත්තයි කියන මගේ මිත්තරයෙක් ඉන්නවා. 'වරෙන් පෙන්නන්න' කියලා මට අඬ ගැහුවත්, අනේ අපිට මොකටද අප්පා, ඔය අනුන්ගේ වහුකුණු.

   සමහර පාසල් වල නෙට්බෝල්, වොලිබෝල්, හොකී, මෙකී නොකී කණ්ඩායම් වලට, දරුවන් ඇතුළු කරගන්ට, දෙමව්පියෝ නොයෙක් දොල පිදේනි පූජා කොරන බවත්, ප්‍රසිද්ධ මහා රහසක්. තමන්නේ ළමයා, ක්‍රීඩා අංශයෙන් ඉහලට යනවා දකින්ට, ඔලිම්පික් ගිහින්, ලෝකඩ පදක්කමක් හරි ගන්නවා බලන්ට, කොයි අම්ම අප්පද අකමැති? 

   අපේ 'අජ්ජාපොන ප්‍රොතිපත්ති' අනුව, කාලෙන් කාලෙට එනවනේ නියෝග, ඉස්කෝල බූමියේ, තුම්මුල්ල, පෙම්මුල්ල, හුටා නෑ නෑ, 'සෙල්ලම් මිදුල' කියලා එකක් හදපියව්, ළමයින්ගේ කිරීඩා කුසලතා, ආකල්ප, ගුලි කල්ක, හුටා.......ආයෙත් වැරදුනා, වර්ධනය/මර්දනය කොරන්ට කියලා. ඉතින් සල්ලිකාර දෙමව්පියන් ඉන්න ඉස්කෝලවල, නානාප්පොරකාර වැඩකෑලි ගෙනත් හයිකොරවා ගන්නවා. ටික දවසකින් ළමයින්ට එව්වා එපා වෙනවා. උන් කැමතිම මොබයිල් ගේම් වලට. ඉස්කෝලේ ඇරිලා එන ළමයි, නගරයේ සුපිරි වෙළඳසල් සංකීර්ණයේ පිහිටි, කොම්පියුටර් කඩ ගානේ යනවා, ගේම් සීඩී ගන්න හෝ ගේම් ගහන්න. ඒ ගේම් ගහන ගමන්, සමහර කොම්පියුටර් කඩ කාරයෝ, උන්ට තව තව ගේම් පෙන්නනවා. එදා ඉඳලා උන් බලන්නේ එව්වා. එතැනින් එහා කොටස තමුන්නාන්සේලා දන්නවා. 

   'හොඳ මනසක් ඇතිවෙන්නේ, නීරෝගී සිරුරක් තුළයි' කියලා, කියමනක් තියනවා නේද? ඉතින් අපේ ළමා පරපුරේ මනස නීරෝගී ද නැද්ද කියලා, 'හුරුදය සාක්කියට' එකඟව හිතන, අම්මලා අපුච්චලාට වැටහෙනවා ඇති. වැටහුණත් නොවැටහුණා වගේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර තිබෙන නිසා, එන්නා සෙයියරදු? මෙන්න පහුගිය ඉරිදා ලංකාදීපේ, දොස්තර නෝනා කෙනෙක් කියලා තියන දේවල් වලින්, ටිකක්.








   මේ ලිපිය තව ගොඩක් දිගයි. සම්පූර්ණ ලිපියම කියවා බලන්න කියා, මම තමුන්නාන්සේලාට ආරාධනය කරනවා, බොහෝම කාරුණිකව. 

   මහත්වරුනි, මා මෙයින් අදහස් කරන්නේ, 'බුදු ආ...ම් ම් ම් මෝ.......ඔය කොම්පියුටර් කියන ජාතිය ළමයින්ට පෙන්නන්නවත් එපා' කියා, ගොබ්බ අදහසක් ප්‍රකාශ කිරීම නෙවෙයි. තමුන්නාන්සේලාගේ හිතට එකඟව හිතාබලන්න, අද ඔව්වා පාවිච්චි කරන, අලුත් ජංගම දුරකථන පාවිච්චි කරන, පාසල් දරුවන්ගෙන් බහුතරය, දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ එහෙම කරනවාද නැද්ද කියා. උත්තරය නැහැ කියන එකනේ. 

   අඩුගානේ ඉරිදටවත් මේ දරුවන්ට විවේකයක් නැහැනේ. එදාටත් දහම් පාසල් යවන්නම වෙනවා. දහම් පාසල් සහතිකයට ලකුණු ලැබෙන නිසා. වෙහෙස වෙලා ගෙට රිංගන දරුවන්ට, එකම විනෝදෙ පරිගණකය, ජංගම දුරකථනය, රූපවාහිනිය පමණයි.

   අද හවස මම බලාගෙන හිටියා, අපේ ගෙවල් ළඟ ළමයි ටිකක්, එළිමහනේ සෙල්ලම් කරනවා. වාසනාවන්. මොනවා හරි කරලා දැඟලුවාම, ඒ පොඩි එවුන්ට ශාරීරික ව්‍යායාමය වගේම, මනසට නිදහසකුත් ලැබෙනවා. කොච්චර හොඳද. හැබැයි ඒ ළමයි අපේ ජනාවාසයට එන පාරේ තමයි දුව පැන්නේ. නොසැලකිලිමත් කමින් වාහනයක හැපීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ජනාවාසයටම වෙන්වූ පොදු ක්‍රීඩාංගණයට ඔවුන්ව එක්ක යන්න කවුරුවත් නැහැ. දෙමව්පියෝ රස්සාවට ගිහින්. ගෙවල්වල ඉන්නේ අපි වගේ වයසක අය. 

   මම අද මේ ළමයින්ට, පරණ වැඩක් කියලා දුන්නා. ඒ තමයි, අපි පොඩි කාලේ කරපු, 'ටෑර් දැක්කිල්ල' ඔය ඇත්තන්ට මතකැයි, එහෙම දෙයක් තිබුණා කියලා ඉස්සර? ඔන්න බලන්ඩකො ඔය පහල පින්තූරවල ඉන්න අයියලා ටෑර් දක්කන හැටි. නෑ නෑ ඒ මම කියලා දීලා නෙවෙයි. මෙව්වා ජාලයෙන් හොයාගත්ත පින්තූර.





   තප්පර 10 - 15 පොඩි වීඩියෝ කෑලි දෙකතුනක් තියනවා, ටෑර් සෙල්ලම් ගැන. දන්නවද ටෑර් එකක් ඇතුලට රිංගලා පෙරලෙන හැටි.  අපි පුංචි කාලේ මේ වැඩේ කලේ, වියන්ඩ පොල් අතු පොඟවන්ඩ දාලා තියන, පොඩි දිය කඩිත්තක් ළඟ. ටෑර් එක, ඒක ඇතුලේ ඉන්න කොල්ලත් එක්කම පෙරලිලා ගිහින්, අර පොල් අතු පොඟවන වතුරට තමයි වැටෙන්නේ. එතන ඉන්න දිය කූඩැල්ලෝ, කලිසම අස්සට රිංගලා සැප දෙනවා. 

බලන්ඩකො මේ වීඩියෝ කෑලි.









   මම කිව්වා නේද, පොඩි එවුන් ටිකකට, ටෑර් දැක්කිල්ල ගැන ටියුෂන් දුන්නා කියලා? මෙන්න මගේ ටියුෂන් පින්තූරේ.


   හෙහ් හෙහ්, මේ විදිහට ටෑර් දක්කපු අයනම් තමුන්නාන්සේලා අතර ඇති. මතකද කළුතෙල් හරි, ගිරී......ස් හරි ටෑර් එක ඇතුලට දාලා, ඔය ලී දෙකෙන් දක්කපු හැටි? තමුන්නාන්සේලා පිත්තෙන් ටෑර් දක්කලා තියනවද? කිරිකැට් පිත්තෙන් නෙවෙයි, පොල්පිත්තෙන් පොල්පිත්තෙන්. ඕකනේ කියන්නේ. පිත්ත කිව්ව ගමන් .......... හරි හරි, මේකයි කතාව. අපි පොඩි එවුන් කාලේ, මෙන්න මෙව්වා පැද්දා මතකද? අපිනං ඉතිං පැද්දේ, ඔය රූපයේ තියනවා වගේ, රැජිනගේ රටේ හදපුවා. 


   දැන් මේකේ මේ ඉස්සරහ ටෑර් එක තියනවනේ. ඒක තමයි පොල්පිත්තෙන් දක්කන්නේ. වාහනේ අභාවයට ගියාම, ඒ කාලේ, අදවගේ කෑලි බෑලි අමතර කොටස් ගන්න ලේසි නෑ. ඉතිං නිකම්ම අහක දානවා. ඊට පස්සේ අපි කරන්නේ ඔය ඉස්සරහ රෝදේ ගලවාගෙන, 'ඉස්කෝප් කූරු' ටික කපලා ඇන්න, නිකම් විනෝදෙට, කඩේ යනකොට, නාන්න ඇලට දොලට යනකොට, දක්කාගෙන යනවා. දක්කන පිත්තක්, තමුන්නාන්සේලාට පෙන්නනම කියලා, මම හැදුවා. විනාඩි පහයි යන්නේ, මේකක් හදන්න.


   මේකයි වෙන්නේ. පොල්පිත්තේ ඇතුළු පැත්තේ තියන කානුව වගේ කොටසෙන්, ටයරය පාලනය කරනවා. නිශ්චිත වේගයක් පවත්වාගෙන යාමේදී, ටයරය නොවැටී ගමන් කරනවා. පිත්තෙන් ටයරය හරවන්නත් පුළුවන්. මේ පින්තූරය ආදර්ශයක් නිසාත්, ට්‍රයිසිකල් ටයරයක් වෙනම පෙන්වන පින්තූරයක් සොයාගන්න අපහසු නිසාත්, මෙහි පෙන්වා ඇත්තේ බයිසිකල් ටයරයක්. නමුත් සිදුවන කාර්යය ඔබට වැටහෙනවා ඇති. 

   ඒ වගේම මේ පිත්තෙන් අපි, යකඩ දැතිරෝද දැක්කුවා. ඒ කාලේ විශේෂයෙන්, රබර් කම්හල්වල තිබෙන යන්ත්‍ර වලින්, කල් ඉකුත්වීම නිසා ගලවා ඉවත් කරන, අඟල් 12 ක් හෝ සමහරවිට ඊටත් ටිකක් ලොකු විෂ්කම්බයක් සහිත දැතිරෝද, මේ පිත්තෙන් දැක්කීම අපි කළා.  දැතිරෝදය බර නිසා, ටයරය දක්කනවාට වඩා වැඩි ආරම්භක වේගයක් ගතයුතුයි. එමෙන්ම දැතිරෝදයේ ඝනකම, අඟල් භාගය නොඉක්මවිය යුතුයි. නැත්නම් පාලනය කරන්න බැහැ.



   හරි, ඔන්න ඉතිං ටෑර් දැක්කුවා, දැතිරෝද දැක්කුවා, ඊළඟට මොනවද? ඇයි මම මුලදීම කියලා තිබුනේ, පට්ටං ගැන. හැබෑට මොකද්ද ඔය පට්ටම. නෑ නෑ, ඔය එක එක්කෙනාට ලැබෙන, පදවි තානාන්තර වගේ පට්ටමක් නෙවෙයි. ඒ කාලේ අපි පට්ටම කිව්වේ, බයිසිකලයකින් ගලවාගන්න 'රිම්' එකට. පට්ටම් දක්කනවා කියලත් කිව්වා, පට්ටං ගහනවා කියලත් කිව්වා, ඒ කාලේ.

   මේක හරිම විනෝද වැඩක්. මොකද දන්නවද? පට්ටම දක්කනකොට ක්‍රී........න් ගාලා සද්දයක් එනවා. ඒකට හේතුව තමයි, පට්ටම දක්කන්නේ කම්බියකින් වීම. මොනවගේ කම්බියක්ද සුදුසු? අනේ මන්දා, ඒ කාලේ කොහෙන් ලැබුනද කියලා, පැන්සලකට වඩා හීනි කම්බි, අපට ලැබුනා. අද මේ වැඩේ කරනවානම්, හරියටම ගැලපෙන කම්බියක් තියනවා. ඒ තමයි, වාහන වල රේඩියෝ එකට, පිටතින් සවිකරන ඇන්ටෙනාවේ කම්බිය. 



  අඩි තුනක් විතර දිග කම්බි කෑල්ල, ඉස්කුරුප්පු නියනක මිට වගේ හදාගත්ත පොඩි ලී මිටකට හයිකරගන්නවා.   මේකෙන් දෙආකාරයකට පට්ටම දක්කන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අර ටෑර් එක දැක්කුවා වගේ දැක්කීම. කම්බිය පට්ටමේ කාණුවට වැටෙන නිසා හොඳින් පාලනය වෙනවා. 



   අනික් ක්‍රමය හරි විශ්මය ජනකයි. පට්ටම නිශ්චිත වේගයකින් ගමන් කරනවිට, පට්ටමේ උඩපැත්තෙන් කම්බිය තියපුවම, යෙදවෙන බලය නිසාත්, නොවැටී ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ වගේ. 


   ඉතිං නරකද, මෙව්වා ටිකක් ආයෙත් ජනප්‍රිය (ළමාප්‍රිය) කරවා, උන්ගේ මොලයේ තියන කුණු කන්දල් ඉවත් කරන්න මාර්ගයක් පාදා ගත්තොත්? කොලපත් පදින්න, ගුඩු ගහන්න, චග්ගුඩු පනින්න, එහෙම උගන්නන්න පුළුවන් නම් යහපතක් වෙයි නේද? 

2016 අගෝස්තු මස 11 වැනි දින 0603 පැය

41 comments :

  1. අපේ දෙමාපියන් මේ සම්බන්ධව හිතා බලන්න ඕන. ඒ වුනත් එහෙම හිතන්න ඉඩ වෙළඳ දැන්වීම් කාරයන් ඉඩ දෙන්නෙ නෑ විචාරක තුමා. එක ගෙදරකට පරිගණකයක් ගෙනා විගස අල්ලපු ගෙදරටත් ගෙනෙනතුරු ඉවසිල්ලක් නෑ. දරුවන් අතට මෙවැනි උපකරණයක් දෙනවා නම් ඒ ගැන දෙමාපියනුත් දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යයි. දෙමාපියන් ඒ ගැන සලකන බවක් පෙනෙන්නෙ නැහැ නේද ? මේ වගේ මාධ්‍ය මෙහෙවරක වැදගත් කම තේරුම් ගත් ලංකාදීපයට මගෙත් ස්තුතිය .

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ගුණසිංහ මහත්තයෝ, ඉස් ඉස්සෙල්ලම, දෙමව්පියෝ, තමන් වැටිලා ඉන්න, මෝහය නමැති වලෙන් ගොඩ එන්න ඕනේ. යම්කිසි ජාතික සංවිධානයක් මගින්, කරුණු පැහැදිලි කිරීමක් කරන්න ඕනේ, යන්නන් වාලේ යන්න එපා කියලා. අන්න එතනින් තමයි, පටන්ගන්න වෙන්නේ.

      Delete
  2. තවමත් ගම්බද ප්‍රදේශවල ඕව කෙරෙනව ඇති. මොකද ඒ ළමයින්ට තවම පරිගණක බරපතල විදියට ව්‍යාප්ත වෙලා නැති හින්ද සහ දුව පනින්න ඕන තරං ඉඩකඩ තියෙන හන්ද. ඔක්කොටම වඩා මහ එකත් ඔය වගේ දෙයක් දැනගෙන ඉන්න එපැයි ළමයට උගන්නන්න.

    //පහේ ශිෂ්‍යත්වෙට ඉන්න එවුන්ගේ පංති ඉවරවෙන්නේ, රෑ 8.00 ට.// ඔහේ හොඳයි. මේ පැත්තෙ රෑ 10.00-11.00 වෙනකල් තියෙන පන්ති තියෙනව.

    ReplyDelete
    Replies
    1. කොහෙවත් නෑ ප්‍රසන්න. ඒ තරමට විවිධ ගේම් ගැහිලි පැතිරිලා. ඈත පැතිවල ගොයම් කපන කාලෙට කොළඹින් යනවා වෙළෙන්දෝ අර ගේම් ගහන්න පුළුවන් ගැජට් අරගෙන. ඉතින් පොඩි කාලේ ඉඳලම එව්වා විතරයි.

      ඇයි යකෝ පහේ ශිෂ්‍යත්ව ළමයි රෑ 11.00 වෙනකල් පන්ති යනවනම්, ඒ ලෙවල් කරන්න, උන්ව ටියුෂන් මාස්ටර්ගේ ගෙදර පදිංචි කරවයි. හනේ මෙහෙම ගොන් වහන්සේලා.

      Delete
    2. ////පහේ ශිෂ්‍යත්වෙට ඉන්න එවුන්ගේ පංති ඉවරවෙන්නේ, රෑ 8.00 ට.// ඔහේ හොඳයි. මේ පැත්තෙ රෑ 10.00-11.00 වෙනකල් තියෙන පන්ති තියෙනව.//

      ඕවට පොඩි ගේමක් සෙට්කරා බලමු ඉදිරියට

      Delete
  3. අපිත් ටෑර් දැක්කුවා, පට්ටමුත් දැක්කුවා. පොඩි කාර් එකකුත් එලෙව්වා පැඩල් කර කර, ට්‍රයිසිකලුත් පැද්දා, ඊට පස්සේ පොල්ල අස්සෙන් දාලාත් ඊට පස්සේ මිරිස් අඹර අඹර පත සැයිකල් පැද්දා... ඔය ඔක්කෝම කලේ ඇත්ත කාර් එලවන්න බැරි නිසා..

    දැන් උන්ට වර්චුවල් රියලිටි රේසින් කාර් ඉතරක් නෙමෙයි ෆයිටර් ජෙට් හිටන් එලවන්න පුළුවන්.. එහෙම එකේ ඒවයේ අවුලක් මම නම් දකින්නේ නෑ..

    ඔය දොස්තර නෝනලා ඇවිල්ලා බන්ඩාරනායකලා වගේ අය.. එයාලගේ දරුවෝ ඔය ඔක්කෝම කරනවා.. ඒක නේ ඔක්කෝම දන්නේ.. හැබයි අනික් අය ඒවා කරනවට එයාලා කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. එව්වා කල නිසා තමයි උඹ මොන දේස දීපන්කරේ ගිහින් ආවත් සිංහල ගැමිකම උඹේ හිතේ තියෙන්නේ. අනික රටට ගැලපෙන දේ ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ.

      නොදෝකින් පොල්ල අස්සෙන් කකුල දාලා බයිසිකල් පදින්න ගිහින් පෙරලිලා ඇනුනා ආණ්ඩුවේ පැත්ත චොප්ප වෙන්න. අම්මපා තව හයියෙන් ඇනුනානම් පරම්පරාව ගෙනියන්න බැරිවෙනවා :D

      අනේ මන්දා පත්තරවල මේ වගේ ලිපි පුරවලා තියනවා. ඒත් කීයෙන් කීදෙනාද බලන්නේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි මොන ක්‍රමේකින් හරි ගොඩ යනවා.

      Delete
  4. ටයර් දක්කද්දි ඔය ලී දෙක ටයර් එක ඇතුලෙදි පොඩි ටිං එකකින් එකට සම්බන්ධ කරගත්තම වැඩේ ලේසි කලු තෙල් වෙනුවට වතුර උනත් දාන්න පුලුවන් හැබැයි වතුර විතරක් දැම්මම ටිං එක ඉක්මනින් දිරල යනව. ඒකට ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන්නත් පුලුවන්. ටයර් එකක්,රිම් එකක් ,ලොකු ටියුබ් එකක් කියන්නෙ ඒ දවස් වල සෑහෙන වටින දේවල් :)

    පහේ ශිෂ්‍යත්වෙ කියන්නෙ නම් තනිකරම ළමා හිංසනයක්.

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ අත්දැකීම් තුලින් ලැබෙන විශේෂඥ උපදෙස්.

      අනේ ඒ කාලේ ටයර් එකක් රීම් එකක් හොයාගන්න පුදුම දුකක් විඳින්න ඕනේ.

      පහේ ශිෂ්‍යත්වේ අහෝසි කලොත් අම්මලා තාත්තලා බෙල්ලේ වැල දාගනියි.

      Delete
  5. ගල්යුගේ දරුවෝ මොනවගේ සෙල්ලම් කළාද දන්නෑ, අපි එවා නොදන්නේ ඒකාලේ අපේ මුතුන්මිත්තොත් අද අපි කරනවා වගේ ළමා අයිතිවාසිකම් නොතකා හැරිය නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ගල් යුගේ ඉතින් ගල් වලින්ම තමා හැම කිලියක්ම කොරන්ට ඇත්තේ. :D

      දැනට අපේ රටේ කෙරෙන ළමා අයිතිවාසිකම් කෙලෙසීමට නඩු දැම්මොත් ගෝල්ෆේස් පිටිය වැහෙන්න හිරගෙයක් හදන්න වෙනවා.

      Delete
  6. දැන් පාරවල වාහන වැඩියිනෙ. ගමේ ඇතුලෙ පාරවල්වලත් ත්‍රීවීලර්, මෝටර්සයිකල් වේගයෙන් යන්නෙ. ටෑර් දක්කන්න වෙන්නෙ පොලීසියෙන් පිරිත් කියවගෙන තමයි

    ReplyDelete
    Replies
    1. සෑම විදුලි කණුවකම, සෑම දුරකථන කණුවකම ස්පීකර් එක බැගින් හයිකරලා, පැය 24 ම පිරිත් දාලා තියනවා, අපි බලයට ආවම.

      Delete
  7. පොඩි කාලෙ කරපුවා කීපයක්ම මතකයි
    1. ඔය කිව්ව ටයර් පට්ටම් පැදිල්ල
    2. පොල්පිති ගොන්නු
    3. පොල්කොළ නයි
    4. ඕලු මාල
    5. එරඬු කොළ වලින් බෝල පිම්බිල්ල
    6. ජිල් ගැහිල්ල
    7. කලින් පෝස්ට් එකේ දාපු ගල් සෙල්ලම
    8. ටකර ගැහිල්ල
    9. අල්ලන සෙල්ලන්
    10. කොළැ අත්ත හැංගීම
    11. ටින් කැඩීම
    12. ගල්බට තුවක්කු
    13. ගස් මාරු
    14. වන් බම්ප්
    15. බට්ටො පැනීම

    ReplyDelete
    Replies
    1. පොල්කොළ නලා, නූල් පන්දු වලට පොල්කොළ ඉපියෙක් ගහලා හදන නලා, කණු හතරෙන් උස්සාගෙන අරන් යන්න පුළුවන් සෙල්ලම් ගෙවල්, ගුඩු ගැහිල්ල, තට්ටු පැනිල්ල, එල්ලේ වල මූලික අවස්ථාවක් වගේ එකක් තිබුනා රවුං ඩෑෂ් කියලා.

      අපි දෙන්න යමුද ඉස්කෝල වලට ගිහින් ආයෙත් ඔව්වා පටන්ගන්න.

      Delete
  8. //හෙහ් හෙහ්, මේ විදිහට ටෑර් දක්කපු අයනම් තමුන්නාන්සේලා අතර ඇති. මතකද කළුතෙල් හරි, ගිරී......ස් හරි ටෑර් එක ඇතුලට දාලා,//

    ඔහේට සෙල්ලම මිස් වෙලා , ඔය සෙල්ලමේ නියම ආතල් එක තියෙන්නේ ...වඳමල් හරි සෙවල බෝඹු හරි කොටල වතුරත් එක්ක දාල ගත්තහම

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ සෙල්ලම් වල ප්‍රාදේශීය නවීකරණයන් තියනවා. අපි දැම්මේ කළුතෙල් හෝ ග්‍රීස්.

      Delete
    2. අන්න රයිට් වදමල් තමා භාණ්ඩේ වතුරත් එක්ක

      Delete
  9. නැවතත් පොඩි කාලයට ගියා . ඔය පට්ටම් පදින්ඩ අපි ගත්තේ කොසු මිටකින් කපාගත්ත පොලු කෑල්ලකට අගින් යකඩ ඇණයක් ගහලා . පට්ටම් පදිනකොට සද්දේ ටිකක් වැඩ්යි. ටයර් එකට පොලු දෙකක් දාල පදින එකත් කරා ..මට මතකයි අම්මල කෑගහනවා වැටිලා ඔය පොල්ලක් බඩේ ඇනෙයි කියල..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලලිත්. මට ඔය කොහු මිටෙන් දැක්කිල්ල අමතක වෙලා නේද? පට්ටම් දක්කනකොට සමහර වැඩිහිටියෝ බනිනවා කන් කරච්චලේ කියලා.

      Delete
  10. දැං කාලෙ පොඩි උන් ඔව්ව නොකරට ඕන ෆෝන් එකක්,සොෆ්ට්වෙයා එකක් ගැන දෙනවා ඇට්ටි හැලෙන්න.ගේම් ගගහා හොරෙන් වැල බල බල ඉඳලා ලොකු වෙනකොට උන් යනවා ජිම් පන්ති.සල්ලි දීල යකඩ කන්න.
    පාරක ටයර් එකක් අරගෙන ළමයෙකුට දුවන්න තරම් තත්වයක් ඇත්තෙ බොහොම කලාතුරකින්..
    වෙනස් ලෝකෙක වෙනස් හැකියා එක්ක අමුතු ක්‍රීඩා එයාලම හොයාගන්නවා. ඕනම දේක අන්තෙට නොයවන්න වැඩිහිටියො පරිස්සම් උනා නම් ඇති කියන එකයි ගස්ලබ්බගෙ මතය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තාක්ෂනය දරුවන්ගෙන් ඈත් කරන්න හොඳ නැහැ. නමුත් සීමාවක්, පාලනයක්, සහිතවයි තාක්ෂණික මෙවලම් ඔවුන්ට පරිහරණය කිරීමට ඉඩදිය යුත්තේ. ඇබ්බැහිය ඉතා භයානකයි. එයින් සිදුවන්නේ මහා විනාශයක්.

      අද ටයර් දක්කන්න පොදු ක්‍රීඩාංගනයක් හොයාගන්න වෙනවා.

      Delete
  11. විචාරකගේ උත්සහයට නම් අගය කිරීමක් දෙන්නම ඕනේ.
    හැබැයි ඉතින් මේවා අලුත් පරපුරට බලෙන් දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. අනික අපිටත් මේවා කවුරු දුන්නද කියල අපි දන්නෙත් නැහැනේ. ඒත් රටේ විවිධ පලාත් වල ළමා කාලය ගත කල මෙවායේ සැරිසරන අපි වගේ උන් හැමෝටම පොඩි පොඩි වෙනස්කම් සහිතව මේ එකම සෙල්ලම් බඩු වල අත්දැකීම් තියෙනවා
    කොහොම වුනත් මෙවා ගැන මෙහෙම හරි සටහන් ලිඛිතව තියන එක හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි නයනේ. මේවා මෙහෙම හරි සටහන් කර තැබුවම, අනාගතේදීත් කවුරු හරි බලන්නේ නැතෑ නේද?

      කිසිම දෙයක් බාල පරපුර වෙත බලෙන් පටවන්න හොඳ නැහැ. අපි කලයුත්තේ, ඔවුන් තුළ, ඒවාට ආකර්ෂණයක්, අවධානයක්, ඇතිකරවීම පමණයි. භාවිත කිරීම හෝ නොකිරීම, ඒ අයගේ වැඩක්. නමුත්, මගපෙන්වීමකින් කියලා දෙන්න පුළුවන්, මේවා ක්‍රීඩා වගේම ශාරීරික අභ්‍යාස බව.

      Delete
  12. අර යකඩ රෝදය දක්කනවාට අපේ පැත්තේ කිව්වේ "වන්ඩි" දක්කනවා කියලා.. අපිත් ඒ කාලේ ඔය පට්ටම් දැක්කීම , ලි රෝද . ලි බ්රේක් එහෙම හයි කරලා ලි රෝද වලට පට්ටම් ගහපු "කරත්ත " පදිනවා.. ඒ කරත්ත වල අපේ සමන්ත යි ( අය්යා ) මමයි ඩබල් දාලත් යනවා . අපේ පැත්තේ හේන කඳු පල්ලම් නේ හරි භයානක සෙල්ලම් ඕවා . ඒ කාලේ පල්ලමේ කරත්තේ යනවා හැටට හැටේ බ්රේක් එකට දාල තියෙන කම්බිය කැඩුනොත් හරි.. රෝදෙට දාලා තියෙන ලි හක් එක කැඩුනොත් හරි දෙය්යන්ගේ පිහිටයි ඉතින්.. කිච්චි ගැසීම, වෙල් ඉපනැල්ලේ එල්ලේ ගැසීම විතරක් නෙවෙයි ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ක්‍රිකට් ගැසීමත් අපි කළා ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, බලනකොට ලොකු තැන හොඳ වැඩකාරයෙක් නේ. අම්මපා මටත් අමතක වුනානේ ඔය කරත්ත ගැන කියන්ඩ. අපි කරත්ත හැදුවේ වාහන වලින් අයින් කරන රේසර් රෝද දාලා. බුදු අම්මෝ පල්ලම් වල යනවා රේසින් කාර් වගේ. එහෙම ගිහින් හොම්බෙන් ගිය වෙලාවලුත් තියනවා. වෙල් ඉපනැල්ලේ සෙල්ලම් නොකළ කොල්ලා කොල්ලෙක් නෙවෙයි.

      බොහොම ස්තුතියි මේ අදහස් ගොන්නට.

      Delete
  13. ටෑර් දැක්කිල්ල' මාත් කරලා තියනවා; ලොකු ටයර් එකක් අරගෙන කොල්ලෙක්ව ඒකට ඔබ්බවලා දක්කල තියනවද ? පල්ලමකට දාලා තියනවද ?

    ReplyDelete
    Replies
    1. හඃ හඃ, බලනකොට කවුරු කවුරුත් ඔක්කොම දේවල් දක්කලා තියනවා. අම්මෝ ඔය ටයර් එකට රිංගලා පල්ලමට යාම ඒ කාලේ කරලා මට තුවාලත් වෙලා තියනවා. ඊට පස්සේ තමයි අපි අර පොල් අතු පොඟවන වලට යන්න කල්පනා කලේ.

      Delete
  14. Replies
    1. ඔව්, ඒ නිසයි මෙහෙම සටහනක් තියන්න හිතුවේ.

      Delete
  15. විචා මාම දාලා තියෙන සෙල්ලං අම්මප

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපි ඉතින් එදත් සූරයා අදත් (වැඩ බැරි) සූරයා තමයි හරිය.

      Delete
  16. මමත් ඔය ටයර් දක්කන එකයි,පොල් පිති ගොනයි වගේ සෙල්ලම් කරල තියනව....මට හිතෙන විදිහට අපිතමා එහෙම සෙල්ලන් කරපු අන්තිම සෙට් එක....

    හැබැයි විචාමාමෙ දැන් ඔය සෙල්ලන් පොඩි අයට හුරු කරද්දි ප්‍රායෝගික ගැටලු එනව නේද?.....දැන් ඕව පදින්ඩ ඉඩ නෑ......ඔය වගේ දූවීලෙ සෙල්ලන් කරන්ඩ දැං ලමයින්ට බෑ..මොකද පොඩ්ඩ ඇත්තන් ලෙඩ හැදෙනව.....අනික ඔය ටයර් පොල්පිති හැම තැනම දැම්මහම මදුරු උවදුර..ඔව් ඔව් ඉස්සරත් එහෙනන් මදුරු උවදුර එනඩ ඇති ඒත් ජන තද බදය නැති හිංද රෝග පැතිරෙන්ඩ නැතුව ඇති...ඒ දැන් අපේ වැට අයිනෙ ටයර් එක්ක මදුරුවො බෝ උනොත් ෂුවර් එකට එහා ගෙදර එකාටයි මටයි දෙන්නටම අයිනව...මොකද දැන් මිනිස්සු ඉන්නෙ තද බදේ....ඉතින් එතකොට රෝග ව්‍යාප්තිය වැඩි....කොහොම හරි ඔය සෙල්ලන් යාවත්කාලීන උනානන් දැන් ළමයි අතරට ගෙනිච්චැහැකි....විචා මාමෙ පොඩි ට්‍රයි එකක් දෙමුද මේව ඩිවලොප් කරන්ඩ

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස් ටිකක් රසික. මමත් හිතන්නේ ඔබේ කාලේ අය තමයි, අන්තිමට මේවා ගෙදරදී කරන්න ඇත්තේ. දැන් මේවා කරොත් කරන්නේ, පාසලේ පැවරුමක් හැටියට.

      මේක බලෙන් පුහුණු කරන්න බැහැ. ළමයින්ට මේවා දකින්න, පාසලේ සෙල්ලම් මිදුලේ තියන්න ඕනේ. ඊට පස්සේ ළමයා තුළ ඇතිවන කුතුහලය මත තමා, හඳුන්වා දෙන්න ඕනේ.

      ටයර් වල පොඩි හිල් හදන්න පුළුවන් වතුර නොපිරෙන්න. පොල්පිති දිරායන දෙයක් නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත්, දූවිල්ල නැති තැනක තමයි මේවා කරන්න ඕනේ.

      මේ සෑම ක්‍රීඩාවකම තිබෙනවා, ශරීරය වගේම මනසටත් ලැබෙන අභ්‍යාස. ළමා අධ්‍යාපනය පිලිබඳ ගුරු පුහුණුවේදී, මේවා කියාදීම වැදගත්.

      ඕනෙම ඔට්ටුවක් අල්ලනවා, අද ඉන්න පෙර පාසල් ගුරුවරියන්ගෙන් 10% කට වත් බැහැ, කුරුම්බැට්ටි මැසිමක් හදලා, ඒකට වදමල් කොලයක් දාලා, මහලා පෙන්නන්න. හැබැයි, වද දීලා ළමයින්ට අකුරු ලියවන්න නම් දන්නවා.

      Delete
    2. කුරුම්බැට්ටි මැෂිමට මහන්න ගන්න හොදම කොලේ කෝපි සාමාන්‍ය දල්ල ,
      විචාරක, පොඩි කාලෙ ආයුධ ගැනත් පෝස්ට් එකක් දාමුද ?
      ඉනේ ගහගත්ත කැටපෝල දෙකයි, එල්ලගත්ත ලුණුමිදෙල්ල පුරෝපු මල්ලයි, එක්ක පිදුරු ගොඩවල් වලට මුවා වෙලා යුද්ධ කරපු හැටි මතක් උනා.

      Delete
    3. ඇයි කැප්රෝල් පිස්තෝල වලින් වෙඩි තියාගත්ත හැටි මතකද. අයත් මේ වගේ පෝස්ට් එකක් ලියන්නම්කො.

      Delete
  17. ලොරි ටියුබ් එකක් හරි ,ලොකු ට්‍රැක්ටර් ටියුබ් එකක් හරි හම්බුනා කියන්නෙ මසුරං තමයි. ඔයේ නැමිච්ච අතුවල තියන පේර කඩන්න නියමයි.
    ට්‍රයිසිකලේ රෝදෙ අපි පැද්දෙ කොහු මිටකට ගහපු කම්බි කොක්කෙන්, ආයෙ පස් කන්දක ඉදන් වතුර දාල මැදල හදපු පල්ලමේ කොලපත් කෑල්ලක් දාල වාඩි වෙලා පදින එකත් නියම සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. කොලපත් පදිනකොට පස්ස පැත්තට මාර සනීපයක් දැනෙනවා, ටිකක් බොරළු තියන හරියක් උඩින් යනකොට. අම්මපා.

      ටියුබ් පැදිල්ල ඒ කාලේ අපිට තහනම්. අනතුරු කරගනියි කියලා. කොහු මිටට කම්බි කොක්ක ගැහීම ගැන මට කියන්න අමතක වෙලා. ස්තුතියි මතක් කලාට.

      Delete
  18. කලින් කව්රු හරි මතක් කලාද දන්නේ නෑ.ඔයාල කරලා තියෙනවද අර පොල් පිත්තෙන් හරකෙක් හදන් දක්කන එක..පොල් කට්ටෙන් තමයි උගේ අං දෙක හදන්නේ.

    ReplyDelete
    Replies
    1. මතක් කරලා තිබුනා. අනේ අපි පුංචි කාලේ නිතර පොල්පිති හරක් හැදුවා. ඒ කාලේ කඩෙන් ගේන සෙල්ලම්බඩුවක් ලැබුනේ අවුරුද්දකට එකක් විතර.

      Delete
  19. //කළුතෙල් හරි, ගිරී......ස් හරි ටෑර් එක ඇතුලට දාලා//
    අපේ ගම් වලනම් දැම්මෙ ගිනිසීරිය කොල වගේ සෙවල ගතිය තියන කොළ.ඒ ඉතින් වටපිටාවෙන් හොයාගන්ඩ තියන පහසුවට.දැන්නම් ටෑර් දක්කනව තියා ඒ ගැන කිව්වහමත් ළමයි මූණ දිහා බලන්නෙ නිකන් නෝන්ඩියට වගේ.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }