හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 May 2013

අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ …හරිද…? (තුන්වැනි කොටස) – WMD and NBC Warfare (Part Three)


BW  අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපි මාලාවේ තුන්වැනි කොටසෙනුයි අද මා ඔබව හමුවන්නේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබ සමූලඝාතක අවි ගැන යම් සරල දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඒ දැනුම තවත් ඉදිරියට ගෙනයමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි සහ රසායනික සමූල ඝාතක අවි පිළිබඳවයි. මේ විස්තර කියවද්දී ඔබට පැහැදිලි වෙනවා ඇති, වර්තමාන ලෝකය, සමූල ඝාතක අවි වලින් සන්නද්ධව සිටින ආකාරය අනුව, එම අවි පාවිච්චි කරමින් යුද්ධයක් ඇතිවුනොත්, ඒ යුද්ධයට කිසිසේත් සම්බන්ධ නැති රටවලට පවා, ඉතා දැඩි හානි සිදුවියහැකි බව.
  කෙසේ වෙතත්, වර්තමානයේදී, මේ අවි සහිත රටවල් එකිනෙකාට ඇති බිය නිසා හෝ ඉවසීම නිසා හෝ තවමත් මේ අවි පාවිච්චියට ගෙන යුද්ධ කරන්නේ නැහැ. එහෙත්, සැමදාම එසේ වේයැයි ස්ථිරව නිගමනය කළ නොහැකියි. මිනිසා තම මිනිස්කමෙන් ඉවත්වූදාට ලෝකය තවදුරටත් නොපවතිනු ඇති.
space 2
ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි
මුලින්ම අපි නිර්වචනය කරගනිමු ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි කියන්නේ මොනවාද කියා.
  “සංග්‍රාමෝපාය ලෙස, විවිධ හදිසි රෝගාබාධ තත්වයන් ඇතිකිරීමෙන් හෝ ක්ෂුද්‍රජීවී බලපෑම් සහ/හෝ, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය විකෘතිකරණයෙන්, මිනිසා ප්‍රමුඛ ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි මහා පරිමාණයෙන් එල්ල කෙරෙන බලපෑම් හේතුකොටගෙන, මරණය හෝ තදබල අසාධ්‍ය තත්වයක් ඇති කරන්නාවූ, උපක්‍රමිකව යොදවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලීන්, ජීව විද්‍යාත්මක අවි වශයෙන් හැඳින්වේ”.
  ටිකක් බරපතලයි නේද නිර්වචනය? දෙතුන් වරක් කියවලා බලන්න. එතකොට පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න.
   යුද්ධයකට පැටලුන රටක ඉන්න මිනිස්සුන්ව ලෙඩ කරවලා, හදිසි අසනීප තත්වයන්ට ලක් කරලා, මිනිසුන්ව මරා දමන හෝ තදබල අසාධ්‍ය තත්වයට පත්කරන, විෂබීජ පතුරවන උපකරණ හෝ උපක්‍රම තමයි, ජීවවිද්‍යාත්මක අවි කියන්නේ.
දැන් හරි නේද? තව ඉදිරියට කතාකරගෙන යමුකෝ, තවත් පැහැදිලි වෙන්ඩ.
  යුද කටයුතු වලදී මේ ජීවවිද්‍යාත්මක අවි සහිත සටන් හඳුන්වන්නේ Biological Warfare (කෙටි යෙදුම BW) යනුවෙන්. මොනවද ඉතිං ජීවවිද්‍යාත්මක අවි වලට දාන පතරොම්? පතරොම් තමයි, මිනිස් ජීවිතයට අතිශයින් හානිකර භයානක බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග, පුස් වර්ග, සහ තවත් එවැනි ජෛවමය ක්‍රියාකාරීත්වයෙන් යුත් ද්‍රව්‍ය. මේවා මගින් සොල්දාදුවන් සහ සාමාන්‍ය ජනතාව මරාදැමීම/අඩපන කිරීම/රෝගාබාධ නිසා යුද පිටියෙන් ඉවත්වීමට සැළැස්වීම/ තමයි මේ අවි යෙදවීමේ පරමාර්ථය. ඒ තත්වය යුද්ධය පවතින රටක මහජනතාවටත් එලෙසම බලපානවා. එතකොට මොකද වෙන්නේ. යුද්ධ කරන්න කවුරුවත් නැති නිසා යුද්ධය පරදිනවා. ජීවවිද්‍යාත්මක අවි වලට සෑහෙන ඉතිහාසයක් තියනවා. ක්‍රිස්තු පූර්ව 600 තරම් ඈත අතීතයේදී පවා බෝවන රෝග විෂබීජ සතුරු ප්‍රදේශවල පැතිරවීම සිදුවී තිබෙනවා. පසුගිය වසර 2000 තුළ විවිධ රටවල සිදුවූ ජීවවිද්‍යාත්මක ප්‍රහාර පිලිබඳ සංක්ෂිප්තයක්මෙතනින් බලන්න පුලුවන්. දෙවැනි ලෝක යුද සමයේදීත් ජීවවිද්‍යාත්මක ප්‍රහාර සැලසුම් සහ පර්යේෂණ ලෝකය පුරාම පාහේ සිදුවී තිබෙනවා.
ජීවවිද්‍යාත්මක අවි මේ තරම් භයානක ඇයි?
  පළමුවැනි හේතුව ඒවා ඇහැට පෙනෙන්නේ නැහැ, ගඳ/සුවඳක් නැහැ. පෙනෙනවා නම් හෝ ගඳ සුවඳක් දැනෙනවානම්, දුවලා හරි බේරෙන්න පුළුවන්නේ. දෙවනුව ඒවා සාමාන්‍ය බෝම්බයක් හෝ වෙඩි උණ්ඩයක් මෙන් මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිරුරට ඇතුළුවී පැය/දින ගණනාවකට පස්සෙයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට ‘පෙරහැර ගිහිල්ලා ඉවරයි’. බේරාගන්නට බැහැ. මෙහෙම හිතන්න, අපිත් එක්ක වෙළඳ ගනුදෙනු කරන රටක් තියනවා. අපි ඒ රටට කියනවා, ‘ඔයාලගේ රටට වඩා, අහවල් රටේ බඩු (බඩු කිව්වේ බඩු) හොඳයි. මීට පස්සේ අපි එහෙන් බඩු ගන්නවා, ඔයාලගේ ඒවා එපා’ කියලා. ඊළඟට ඒ රට මොකද කරන්නේ? ඒ රට බොහොම බලගතු රටක්නම්, ‘එහෙමද පුතෝ, හරි එහෙනම් බලාගම්මු’ කියලා, එයාලගේ ගුවන් යානයකින්, අපේ රටට ඉහල අහසේ, අපි මීට කලින් කවදාවත් ගොදුරු වෙලා නැති, මහා භයානක, මාරක, වසංගත රෝග බෝ කරන විෂබීජ, පතුරවලා දාන්න පුළුවන්. ගුවන් යානය, වෙන වැඩකට අපේ රටට එන විදිහට ඇවිත්, අර බලු වැඩෙත් කරලා යනඑක, නිකම් කජු කනවා වගේ වැඩක්. (කවුද දන්නේ දැනුත් එහෙම වෙනවද කියලා. ඔය වරින්වර අපේ රටේ මතුවන්නේ මීට කලින් අහලා නැති එක එක විදිහේ උණ රෝග) ජීවවිද්‍යාත්මක අවි එතරම් භයානකයි.
  ගාලු මුවදොර පිටියේ පැවැත්වෙනවා මහා සංගීත සංදර්ශනයක්. (ඔව් ඔව්, ‘බාල්දිය තංගුස්’, අර ඇමේසන් යෝදිය වගේ එක්කෙනා, ඔක්කොම එනවා. අපි ඔව්වට යන්නේ නැති නිසා බේරෙනවා :D )  මේ සංදර්ශනය බලන්න රටේ හැම පළාතකින්ම වගේ සෙනග එනවා. අපේ හතුරෙක්, වාතය ඔස්සේ පැතිරෙන මාරක වෛරසයක් අඩංගු (කෑම පෙට්ටියක් වැනි) භාජනයක් ගෙනත්, අර සෙනග මැදට දාලා යනවා. කවුරුහරි මේක ඇරලා බැලුවම මොකුත් නෑ. අල්ලලා විසිකරනවා. නමුත් අර වෛරසය, ප්‍රසංගය බලන්න ආව අයගේ සිරුරට ඇතුළුවෙලා, මුළු රටපුරා යනවා.  සමහරවිට මෙතෙක් අපේ රටේ නොතිබුන මාරක වසංගතයකින්, දහස් ගණනක් මියයනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට පවා එවැනිදේ බලපානවා.
  මගේ පරම හතුරෙක් ඒ සංදර්ශනය බලන්න එනබව මම දැනගන්නවා. මම යොදවනවා කාන්තාවක්. ඇගේ අතේ තියනවා මුද්දක්. ඒ මුද්දේ තියනවා සියුම් තුඩක්. ඒ තුඩ සර්පයකුගේ විෂ දළයක් වගේ. ඒ තුළ තියෙන්නේ, මාරාන්තික, ජීවවිද්‍යාත්මක විෂබීජ. මේ කාන්තාව අර මගේ සතුරා ලඟින් යන ගමන්, වැටෙන්න ගියා වගේ ඔහුගේ ඇඟේ හැපෙන ගමන්, අර තුඩෙන් සීරීමක් කරනවා. කාන්තාවක් එහෙම වැටෙන්න යනකොට පැනලානේ අපි (මමත් ඇතුළුව) අල්ලන්නේ. මගේ සතුරා දිනකින්/දෙකකින්/තුනකින් ඉවරයි. 
  ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය පාවිච්චි කළ  අවස්ථා පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න.
  ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයන්ට ලක්වුනොත් ඇතිවන ප්‍රතිඵල පෙන්වන පින්තූර කීපයක් පළ කරනවා පහළින්. මා ඉතාම කණගාටු වෙනවා මේ පින්තූර නිසා ඔබතුළ යම් කම්පනයක් ඇතිවනවා නම්.
Anthrax-reduced
bubonic-plague
untitled
මා හිතනවා, දැන් ඔබට ජීවවිද්‍යාත්මක අවි ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියා. ඒ නිසා අපි මීළඟට සළකා බලමු රසායනික අවි ගැන.
space 2
රසායනික සමූලඝාතක අවි
  මෙහිදීත් අපි මුලින්ම රසායනික අවියක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගැනීම හොඳයි නේද? 
  “මිනිස් සිරුරට සහ අනෙකුත් සත්වයන්ට හානිකර සහ මාරාන්තික හානි පමුණුවන රසායනික මූලද්‍රව්‍යයක්, හෝ සම්මිශ්‍රණයක්, බෝම්බයක් ලෙස හෝ උණ්ඩයක් ලෙස හෝ වෙනත් ප්‍රක්ෂිප්ත උපකරණයක් ලෙස පාවිච්චි කළහැකි උපක්‍රමයකින් ප්‍රචාලනය කිරීමේ උපකරණය රසායනික අවියක් ලෙස සැළකේ”
   අර ජීවවිද්‍යාත්මක අවි නිර්වචනය තරම් අමාරු නැහැ නේද? හරි හරි, කෝකටත් මම ගැටපද විවරණයක් කරන්නම්කො.  මෙන්න මෙහෙමයි.
  අපේ ඇඟේ ගෑවීමෙන්, ආඝ්‍රාණය වීමෙන්, වැනි ක්‍රමවලින් අපේ ශරීරයට හානි පමුණුවන රසායනික ද්‍රව්‍ය තියනවනේ, ඇසිඩ් වගේ දේවල් ගෑවුනොත් පිච්චෙනවා. සමහර වායුවර්ග ආඝ්‍රාණය වුනොත් මැරෙන්න/සිහිනැතිවෙන්න ඉඩ තියනවා. එවැනි වායුව සහිත බෝම්බයක් පිරිසක් මැදට පතිත කෙරුවොත්, මහා විනාශයක් සිදුවෙනවා. සයනයිඩ් වගේ දෙයක් නොදැනුවත්ව කැවුනොත් මැරෙනවා. සයනයිඩ් වගේ දෙයක් වෙඩි උණ්ඩයක තවරලා වෙඩි තිබ්බොත් මැරෙන්නේ උණ්ඩයෙන් නොවෙන්න පුළුවන්. උණ්ඩය අපේ සිරුරේ ගෑවී හූරාගෙන ගියාම ඇති. එතනින් සයනයිඩ් විස ශරීර ගතවෙලා මැරෙනවා. අන්න ඒවගේ ප්‍රහාර තමයි රසායනික අවි ප්‍රහාර වෙන්නේ.
  ඉහත ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් යෙදවීමට අර කාන්තාව ප්‍රයෝජනයට ගත්තා වගේ උදාහරණයක් කියන්නම්.
   මගේ ළඟ තියනවා පිරිමි අය පාවිච්චි කරන අර ලොකු කුඩයක්. ඒකෙ අග තියනවනේ අර කූරක්. (කුඩේ ඉහළගත්තම අහසට යොමුවෙන්නේ) මම, මගේ හතුරා අසලින් යනගමන්, ඒ කූරෙන් ඔහුව සූරාගෙන යනවා, අත්වැරදීමක් වූ ලෙසට. ඒ කූරෙන් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා අදාළ ස්විච් එක තියෙන්නේ කුඩ මිටේ. කොහොමද වැඩේ?   
ලෝකයේ අතීතයේදී පාවිච්චිකළ නමුත්, එක්සත් ජාතීනේගේ ප්‍රඥප්ති අනුව අද පාවිච්චි කරන්න තහනම්, උණ්ඩ වර්ගයක් තියනවා, ‘ඩම් ඩම් බුලට් - Dum Dum Bullet’ කියලා. 
(1870 දී පමණ, එවකට ඉන්දියාව පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්, ඉන්දියාවේ කල්කටා නගරය ආසන්න, ‘ඩම් ඩම්’ කියන ප්‍රදේශයේදී තමයි, මේවා මුලින්ම නිපදවා තිබෙන්නේ. ඒ නිසයි ඒ නම ලැබී තියෙන්නේ)
ඒවා ක්‍රම කීපයකට හදනවා. තහනම් වර්ගය හදන්නේ මෙහෙමයි. සාමාන්‍ය රයිෆල් පතරොමක් අරගෙන එහි තුඩ හෙවත් තුවක්කුවෙන් පිටවී යන උණ්ඩය කොටස යකඩ කපන කියතකින් කුරුස හැඩේට කපනවා. සියුම් පැළීමක් විතරයි. ඒ තුලට සයනයිඩ් වැනි දෙයක් දාලා වෙඩි තියනවා. සීරිලා ගියත් ඇති. මරණය ස්ථිරයි. ඊට අමතරව පතරොමේ තුඩ ඇතුළට කුහරයක් වගේ හදන ක්‍රම සහ ඉලක්කයට වැදුනම තුඩ විසිරී හානිය වැඩි කරන ක්‍රමත් තියනවා. ඒවා තහනම් නැහැ.
32-1
සමූල ඝාතක අවි ලෙස සැළකෙන රසායනික අවි මීට වඩා බරපතළයි. මම දෙන්නම් ලැයිස්තුවක්. ඒක කියවලා බැලුවම තේරෙයි, රසායනික අවි වලට යෙදිය හැකි රසායන වර්ග, කොච්චර තියනවද කියලා.
මෙන්න ලැයිස්තුව.
  • කඳුළු ගෑස් වර්ග –  Tear agents
  • වමනය ඇතිකරන රසායන – Vomiting agents
  • දුර්ගන්ධය ඇති කරන රසායන – Malodorants
  • අඩපණ කරවන රසායන – Incapacitating agent
  • මානසික තත්වය වෙනස් කරවන රසායන – Psychological agents
  • සම මතුපිට බිබිලි හෝ දියපට්ට ඇති කරන රසායන වර්ග – Blister agents & Vesicants
  • සිරුරේ රුධිර සංසරණය අවුල් කරන රසායන – Blood agents
  • සම මතුපිට දැවෙන සුළු තත්වයක් ඇති කරන රසායන – Urticants
  • හුස්ම හිරකරවන රසායන –  Choking agents
  • ස්නායු පද්ධතිය අක්‍රිය කරවන රසායන – Nerve agents
  මේ සෑම වර්ගයකටම අයත් උප වර්ග කිරීම් රාශියක් තියනවා. ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. රසායනික අවි ප්‍රහාර වලට ලක්වූ අයගේ පින්තූර කීපයක් පහත දක්වනවා. නැවතත් අවධාරණය කරනවා මේවා දැකීමෙන් ඔබට ඇතිවන කම්පනය ගැන මා කණගාටු වෙන බව.
CW 1
CW 3
CW 4
මේ දිනවල සිරියානු ජනාධිපතිවරයාටත් චෝදනා එල්ලවී තිබෙනවා, ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන කැරළි කරුවන්ට එරෙහිව රසායනික අවි එල්ල කරනවා කියා. එය සත්‍යයක් බව ඔප්පුවී තිබෙනවා. ඒ වගේමයි ඉරානය දෙසටත් දැන් දැන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් එක්ව එක්සත් ජාතීන්ගේ අවධානය යොමුකරවා තිබනවා. න්‍යෂ්ටික අවි නිපදවීමට ඉඩ ඇතිබව ප්‍රකාශ කරමින්. ඉරානය තවත් ඉරාකයක් වෙයිද දන්නේ නැහැ. උතුරු කොරියාව පාරම්බෑවාට දෙඤ්ඤං බැටේ කියලා, තවම ‘සීන් එකට ඇන්ටර්’ වුනේ නැහැ. අපි වගේ සොක්කන්ට තියෙන්නේ පඬුරක් ගැටගහන්ඩ විතරයි. මෙහාටනම් ඔව්වා එන්ඩ එපා කියලා. :D
pres-assad
න්‍යෂ්ටික අවි වලින් බේරෙන්න බැරි වුනත්, ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි වලින් සිදුවන හානිය අවම කරගතහැකි ඇඳුම් සහ ස්වසන උපකරණ සකස්කර තිබෙනවා. නමුත් ඒවා ඇඳගෙන සටන් කිරීමනම් සොල්දාදුවකුට එතරම් පහසු නැහැ.
A Soldier wearing NBC Kit
  සංග්‍රාමයකදී, තුවක්කු බෝම්බ ආදිය පාවිච්චි කරමින් ගහගැනීම වෙනම දෙයක්. නමුත්. ජීවවිද්‍යාත්මක අවි, රසායනික අවි, පාවිච්චි කිරීම නොමිනිස් ක්‍රියාවක් ලෙසයි සැළකෙන්නේ. ඒ නිසා අද ලෝකයේ කිසිම රටකට අයිතියක් නැහැ ජීවවිද්‍යාත්මක හෝ රසායනිය හෝ අවි නිපදවීමට, ළඟ තබාගැනීමට හෝ පාවිච්චි කිරීමට තහනම් කරමින් විවිධ ප්‍රඥප්ති පනවා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනවද කරලා තියෙන්නේ?
  සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කිරීම සඳහා ක්‍රියාකරන්නේ එක්සත් ජාතීන්ගේ අවිහරණ කටයුතු පිලිබඳ කාර්යාලයයි. United Nations Office for Disarmament Affairs = UNODA. මේ මගින් අතීතයේ සිට විවිධ ප්‍රඥප්ති රාශියක් පනවා තිබෙනවා සමූල ඝාතක අවි පිළිබඳව. නමුත් අවාසනාවකට මෙන් ඒ ප්‍රඥප්ති වලට එකඟවූ සමහර රටවල් රහසිගතව සමූලඝාතක අවි නිපදවීම, ගබඩා කිරීම, පර්යේෂණ පැවැත්වීම සිදුකරනවා. එමෙන්ම සමූල ඝාතක අවි තියන ලෝකයේ සමහර රටවල් මේ ප්‍රඥප්ති වලට අත්සන් තබා නැහැ. 
සමූල ඝාතක අවි ලෝකයෙන් තුරන් කරන්නට අපට කළහැකි යමක් නැද්ද?
  මුලින්ම මේ සමූලඝාතක අවි තියන රටවලට වගකීමක් තියනවා අනෙකුත් අහිංසක රටවල් මේ අනතුරෙන් මුදාගන්නට. දෙවනුව ඔවුන් අවබෝධ කරගතයුතුයි, මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුනොත්, ලෝකය කියා දෙයක් ඉතුරුවෙන එකක් නැතිබව. අප වැනි කුඩා රටවලට පුළුවන්, සමූල ඝාතක අවි සහිත මහා ජාතීන්ට කරුණු කියාදෙන්න. එමෙන්ම ඒ රටවල් ප්‍රතික්ෂේප කර, අමාරුවෙන් හෝ අපේ ආර්ථිකය පවත්වාගනිමින්, වැඩියෙන් වැඩකොට යම් සහනදායක තත්වයක ඉන්න. මේ සඳහා, සමූල ඝාතක අවි නොදරන රටවල එකමුතුවක් සාදාගනීමත් හරිම වැදගත්. සමූල ඝාතක අවි ප්‍රතික්ෂේප කරන රටවල තියන, සමූල ඝාතක අවි නිපදවීම සඳහා ගතහැකි මූලද්‍රව්‍ය, එවැනි කටයුතු කරන රටවලට නොවිකුණා සිටීමත් වැදගත්. අපේ බාල පරපුර මේ පිළිබඳව ඉතා පුළුල් ලෙස දැනුවත් කිරීමත්, අතිශයින්ම වැදගත්. කවදා හෝ ඔවුන්වත් මේ දුෂ්ඨ ලෝකය පිවිතුරු ලෝකයක් කරයි එවිට.
මූළාශ්‍ර:-
සියලුම පින්තූර Google Images සහ මූළාශ්‍ර වලට අදාළ වෙබ් අඩවි වෙතින් ලබාගන්නා ලදී.
My Signature for Blog2013 මැයි මස 03 වැනි දින 2238 පැය

29 April 2013

එදා මෙදා තුර

e

a18-sri4-480එදා මෙදාතුර ඡන්දෙට විවරවු
දේශපාලු කුණු කටක් නිසා
රටේ ගලාගිය ජාතික සම්පත්
ආපසු ඇදගනු කෙළෙස කියා
මිලානවී ගිය මහජන හදවත්
රටටම මූසල පාට පොවා
අපිව ගහේ බැඳ ගහන්න තරමට
අපේම හිත් දෙයි දුකම කියා
රටේම නිදහන් පලා මැණික් කැට
ගෙනයද්දී හෙලිකොප්ටරයෙන්
කාත් කවුරුවත් නැතත් හිතයි මට
ගහන්න මිසයිල් කරට උඩින්
ඈත් කරන්නට මුන්ගේ හඩු ගඳ
හදවත කකියන ලේ සුවඳින්
මාත් මගේ දරුවොත් ගැන සිහිවී
ඒත් සිටිමි මම කල් මරමින්
ඊයේ උපන් අය අද මිය යන්නට
හිතෙන තරම් ගිනි ගොඩකි ලයේ
හීයේ වේගෙන් අහස උසට යන
මේ ජීවන බර හෙටත් තියේ
ඒත් ඉතිං දැන් බලා හිටිය ඇති
පාරට බහිමුද අපිත් මෙහේ
ආයේ දවසක හරියට ඡන්දය
කරවමු මේ රට තුළ ම ප්‍රියේ
සමාවන්න සනත් නන්දසිරි මහතාණෙනි.
My Signature for Blog2013 අප්‍රේල් මස 29 දින 0824 පැය

25 April 2013

අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ. . . හරිද?. . (දෙවැනි කොටස) – WMD and NBC Warfare (Part Two)


  Biological-Weaponsඅපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික කරුණුවල නිරවද්‍යතාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත වියයුතු නිසා, උඩින් පල්ලෙන් ලියන්නට බැහැ.
   මේ ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ එක් එක් සමූල ඝාතක අවි වර්ග ගැනයි. එමෙන්ම වර්තමාන ලෝකයේ සමූල ඝාතක අවි භාවිතය කෙරෙහි ඇති සම්භාවිතාව කෙබඳුද යන්නත් සාකච්ඡා කරන්නට අපට අවස්ථාව තිබෙනවා. කාගෙ කාගේ කිල්ලොටෙත් හුණු තියනවා කියන පැරණි සිංහල කියමන සනාථ කරමින් ලෝකයේ බලවත් රාජ්‍ය බොහොමයක මේ සමූල ඝාතක අවි තිබෙනවා. කිසියම් දිනක මේ අවි පාවිච්චි නොකර සිටීයැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකියි. ඒ කියන්නේ අපේ ලෝකය පවතින්නේ සමූල ඝාතක අවි තර්ජන මැද කියන එකයි කියන්නට තිබෙන්නේ. සමූල ඝාතක අවි පාවිච්චි කරන යුද්ධයක් ඇතිවුනොත් අපි වැනි කුඩා රටවලට සිදුවන හානිය අති මහත්. ඒ නිසාම මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
  සමූල ඝාතක අවි පිලිබඳ ඉතිහාසය පිරික්සීමේදී කාගේත් මතකයට නැගෙන්නේ ලෝකයේ පළමුවැනි පරමාණු බෝම්බ ප්‍රහාර දෙක වෙතයි. මිනිස් ශිෂ්ඨාචාරයේ සමූල ඝාතනයන් සිදුවූ ප්‍රථම අවස්තාව එය නොවෙයි. ඉතා ඈත අතීතයේදී ලෝකයේ පවතී ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී යුද්ධ වලදීත් සමූල ඝාතන සිදුවුනා. නමුත් පරමාණු බෝම්බ ප්‍රහාරයකින් සිදුවන සමූල ඝාතනය ඊට වඩා දරුණුයි, විශාලයි, අමානුෂිකයි. සමූල ඝාතක අවි වර්ග වලින් ප්‍රථම ස්ථානය ලැබෙන්නෙත් න්‍යෂ්ටික අවි වලටයි. අපි මුලින්ම නිර්වචනය කරගනිමු න්‍යෂ්ටික අවියක් කියන්නේ මොකක්ද කියා. 
  “න්‍යෂ්ටික අවියක් යනු පරමාණු ප්‍රතික්‍රියාවක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂණිකව පිපිරීමක් සිදුකිරීමෙන් සමූල ඝාතනයක් කළහැකි බෝම්බයක් වැනි අවියකි”
  මා කල්පනා කළා ගැඹුරු න්‍යායාත්මක කරුණු වලට නොයා ඔබ සමග බොහොම සරලව මේ කරුණු සාකච්ඡා කරන්න. ඒ නිසා පරමාණු දාම ප්‍රතික්‍රියා ගැන න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන්නේ නැහැ. එය අනවශ්‍ය විදිහට ලිපිය දික්ගැසීමක් වන නිසා. එමෙන්ම පරමාණු බෝම්බ නිපදවන මූලද්‍රවය හා සමස්ථානික පිළිබඳවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා න්‍යෂ්ටික අවි වර්ග ගැන විතරක් කියන්නම්. උප වර්ග වලට නොබෙදා සරලව කියනවානම් න්‍යෂ්ටික අවි වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය සහ ජලකර බෝම්බය. මේ වර්ග දෙකෙන් වඩාත් බලවත් වන්නේ ජලකර බෝම්බයයි. ඉතා සරලව කියනවානම් ජලකර බෝම්බයක් පිපිරවීම සඳහා අවශ්‍ය අධික උෂ්ණත්වය ලබාගැනීමට පරමාණු බෝම්බයක් පුපුරවා ලබන උෂ්ණත්වය ලබාගත යුතුයි.
1
න්‍යෂ්ටික බෝම්බයක් පිපිරීමෙන් සිදුවන මහා විනාශය ක්‍රම කීපයකින් සිදුවෙනවා. අපි පියවරෙන් පියවර බලමු මොකද වෙන්නේ කියලා. න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණා වහාම ක්ෂණයකින් ඇස අන්ධ කරන අපට හීනෙන්වත් හිතාගන්න බැරි තරම් මහා ආලෝකයක් හරියට විදුලි කෙටුවා වගේ එහෙමත් නැත්නම් කැමරාවක ක්ෂනිකලෝකය වගේ පිටවෙනවා. ඒ සමගම පැතිරෙනවා මහා ගිනි බෝලයක්. ඒ ගිනි බෝලයේ උෂ්ණත්වය තීරණය වෙන්නේ බෝම්බයේ ප්‍රබලත්වය අනුවයි. එදා ජපානයට දැමූ බෝම්බයෙන් ලෝහයෙන් නිපදවුණ සියල්ල ක්ෂණයකින් උණුවී ගොස් තිබුනා. අද ඊට වටා පනස් ගුණයකට සිය ගුණයකට වඩා වැඩි බලයකින් යුත් බෝම්බ තියනවා. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද විනාශයේ තරම. මේ ගිනි බෝලයේ උෂ්ණත්වයේ බලපෑම කිලෝමීටර් පහකටත් වඩා ඈතට වුනත් දැනෙන්න පුළුවන්. අපි නිකම් කඩදාසි වගේ අළු වෙනවා. මේ බලන්න එදා හිරෝෂිමා බෝම්බයේ දී ගිනි බෝලය පැතිරුණ අන්තිම සීමාවේ සිටි කාන්තාවකගේ ඇඳුම පිළිස්සී එහි හැඩය පෙන්වන ආකාරයට ඇගේ සම පිළිස්සී තිබුන ආකාරය.9මේ ගිනි බෝලය අහසටත් නගිනවා. පොලොව මතුපිටත් දවනවා. එයට හසුවන සියල්ල ක්ෂණයකින් දැවීයනවා. සෙල්සියස් අංශක 3000 කට වැඩි උෂ්ණත්වයක් පුංචිම පරමාණු බෝම්බයකින් ඇති කරනවා. ඊළඟට මොකද වෙන්නේ. ගිනිබෝලය පොලොව මත ඇති තද ඝන වස්තු ගල්, ගොඩනැගිලි, වැනි සෑම දෙයක්ම කුඩා කැබලි වලට පුපුරවා දමනවා. දූවිලි බවට පත්කරනවා. (ඒ නිසයි සුන්නද්දූලි කරනවා කියන වචනය මා මාතෘකාවට යෙදුවේ) ගිනි බෝලය අහසේ ඉහලට ගමන් කලාම හරියට බිම්මලක හැඩය ගන්නවා. ගිනි බෝලයේ ඉතා අධික උණුසුමෙන් අවට වායුගෝලය ක්ෂණයකින් රත්වී මහා බලසම්පන්න වායු පිපිරීමක් ඇතිවෙනවා.  එය කොතරම් ප්‍රබලද කියනවානම්, එයට හසුවන ගොඩනැගිලි බිමට සමතලා කරනවා. කෝච්චියක් වුනත් ඔසවා ඈතට විසිකරනවා. ඈත තිබෙන ගොඩනැගිලි ඉරිතලනවා. වීදුරු ජනෙල් සිල්ල කුඩුවී යනවා. කම්පනයෙන් භූමි කම්පාවක් ඇති කරන තරමට පොලොව හෙල්ලෙනවා. ඒ වායු පිපිරීම ඉතා ඈතට දැනෙන්නේ මහා සුළඟක් ලෙසයි. පරමාණු පිපිරීමෙන් ගැමාකිරණ නිකුත්වෙනවා. ඒවා විශාල දුරකට නොගියත් ඒ කිරණ වැදුන ගස් ගල්, ගොඩනැගිලි, යාන වාහන, වාතය, ජලය, විකිරණශීලී තත්වයට පත්වෙනවා. අහසට විහිදෙන ගිනි බෝලය, ඇසට පෙනෙන නොපෙනෙන සියලු ප්‍රමාණයන්ගෙන් විවිධ ද්‍රව්‍ය (පිපිරීමෙන් විනාශවූ පොලොව මත පිහිටා තිබුණු සියලුදේ වලින් කැඩී බිඳී ගිය කොටස්) අහසේ ඉහලට රැගෙන යනවා. ඒවාගේ ස්කන්ධය අනුව සුළඟ මගින් ඒවා විවිධ දුර ප්‍රමාණයන් වෙත විසුරුවනු ලබනවා. ඒ සියල්ලම විකිරණශීලී ද්‍රව්‍ය. එයින් නිකුත්වන විකිරණ ඈත පරිසර පද්ධතීන්හි සිටින සියලුම ජීවී අජීවී වස්තු වෙත ඉඳුරාම විකිරණ වල බලපෑම එල්ල කරනවා. එයින් ඇතිවන භයානක ප්‍රතිඵල වසර ගණනාවකට, පරම්පරා ගණනාවකට ඉවත්වන්නේ නැහැ. ඒ සඳහා ප්‍රතිකාරත් නැහැ. කවදා හෝ ඒ විකිරණශීලී ද්‍රව්‍ය වල විකිරණශීලී බව ඉබේම අවසන්වනතුරු ඒවා ඒ අහිතකර බලපෑම එල්ල කරමින් පවතිනවා.
10
මේ තියෙන්නේ එදා හිරෝෂිමාවට දමන ලද ප්‍රමාණයේ බෝම්බයක බලපෑමයි.3මෙහි හයිපොසෙන්ටර් Hypocenter යනුවෙන් දැක්වෙන්නේ පිපුරුම් ලක්ෂ්‍යයේ ගැඹුරුම ස්ථානයයි. අද ලෝකයේ ඇති පරමාණු බෝම්බයකින් මෙහි දැක්වෙන දුරට වඩා විශාල දුරක් විනාශ වියහැකියි. (mi = සැතපුම්) පරමාණු බෝම්බයක් පුපුරන හැටි බලමුද.  මෙන්න එදා ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වුන පරමාණු බෝම්බයේ පිපුරුම.


පරමාණු බෝම්බයක විකිරණ බලපෑම දීර්ඝකාලීනව පවතින බවට සාක්ෂි අදත් ජපානයේ තිබෙනවා. අදටත් එහි සෑහෙන පිරිසක් සිටිනවා විකිරණ වලට ලක්වීම නිසා සුව නොවන පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ මෙන්ම ජාන විකෘතිවීම් වලට ලක්වූ අය.
  ඉතින් මේ ටික කියෙව්වට පස්සේ පරමාණු බෝම්බ එපා වුනාද? පොඩ්ඩක් ඉන්න. කෝකටත් ඔන්න ඔහේ පරමාණු බෝම්බයක සැකැස්ම ගැනත් ටිකක් ඉගෙනගන්න. කවුද දන්නේ, මේ අඩවියෙන් බලලා, ඔබටත් එකක් හදන්න පුළුවන් වුනොත්, අපිත් බොහොම බලවත් රටක් වෙනවා. (හැබැයි ඉතින් ඇමරිකන් කාරයා රෙද්ද කරේ තියාගෙන එයි සම්බාධක දාන්න) ඇත්තටම පරමාණු බෝම්බයක් සෑදීම අපහසු වන්නේ ඒ සඳහා අවශ්‍ය යුරේනියම් මූලද්‍රව්‍යය ලෝකයට හොරෙන් එකතුකිරීම සහ ප්‍රතික්‍රියාකාරක ආරම්භ කිරීමට නොහැකි බැවින්. නවීන තාක්ෂණය නිසා සෑම රටකම සිදුවන රහස් තවත් රටවල් දැනගන්නවා. ඔත්තු බලන ක්‍රම ඉතා දියුණුයි. තානාපති සේවා වලට අමතරව විවිධ ක්‍රම (රාජ්‍ය නොවන සංවිධාන, බහුජාතික සමාගම්, විවිධ ව්‍යාපාරික ජාලයන්) මගින් ඔත්තු බැලීම සිදුකෙරෙනවා. මේ බලන්න චීනය පොළොව යට න්‍යෂ්ටික අවි ගබඩාවක් හදන බව ඇමරිකානු ඔත්තු බලන චන්ද්‍රිකාවකින් දැකපු හැටි.11පරමාණු බෝම්බයක සැකැස්ම අතිශයින් සංකීර්ණයි. එදා ජපානයට හෙලන ලද පරමාණු බෝම්බයේ සැකැස්ම පෙන්වන රූප සටහනක් තිබෙනවා. නමුත් මේ රූපයේ ඒම බෝම්බයට අදාළ වැදගත් කොටස් කීපයක් පෙන්වා නැහැ. එයට හේතුව ඒ තොරතුරු අතිශයින් රහසිගත ඒවා වීමයි.8  Warheadපරමාණු බෝම්බයට වඩා බලවත් ජලකර බෝම්බය ගැන මා ඔබ සමග සාකච්ඡා කිරීම බලාපොරොත්තු නොවන්නේ එය ඉතා සංකීර්ණ නිසයි. නමුත් නියුට්‍රන් බෝම්බය සහ ඊ බෝම්බය පිළිබඳව කෙටි සටහනක් තැබීම වැදගත් යයි සිතුන නිසා ඒ ගැන කියන්නම්. නියුට්‍රන බෝම්බය හඳුන්වන්නේ ‘උසස් තත්වාරෝපිත විකිරණ විදාරණ අවියක් – Enhanced Radiation Weapon = ERW’ ලෙසයි. තාප න්‍යෂ්ටික අවි අතර නියුට්‍රන් බෝම්බයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මේ බෝම්බය, සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් ශක්ති විදාරණයට වඩා වෙනස්ව ක්‍රියා කරමින්, මහා බලගතු නියුට්‍රෝන ශක්ති විදාරණයක් සිදු කරනවා. මේ නිසා ජීවීන්ගේ සෛල පටල ක්ෂණයකින් විනාශ වෙනවා. ගැමා කිරණ මගින් මහා විශාල හානියක් සිදු කරනවා. වෙනත් වචන වලින් කියනවානම් සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් බලයට විනිවිද යා නොහැකි ඝනකම මතුපිටවල් (කොන්ක්‍රීට්, යුධ ටැංකිවල ඝන යකඩ ආවරණ තහඩු වැනි) විනිවිද ගොස් මහා විනාශයක් (සමූල ඝාතනයක්) සිදුකරනවා. මේ නිසා විශාල භූමි ප්‍රදේශයක සිටින යුධටන්කි සහ මිසයිල්වලින් සන්නද්ධ මහා යුද සේනාවක් විනාශ කිරීම නියුට්‍රන් බෝම්බ වඩාත් සුදුසු වෙනවා. බෝම්බ වල ශක්ති ප්‍රමාණය මනින ඒකකය වන කිලෝටොන් වලින් එකක් හෙවත් කිලෝටොන් එකක නියුට්‍රන් බෝම්බයකින් පිපුරුම් ලක්ෂ්‍යයේ සිට කිලෝ මීටර් දෙකකට ආසන්න අරයක පිහිටි ප්‍රදේශයකට බරපතල හානි සිදුකල හැකියි. (නමුත් සෑම බෝම්බයක්ම නිපදවන්නේ කිලෝටොන් එකකට වඩා වැඩි ශක්තියකින්) නියුට්‍රන් බෝම්බයක්, මිසයිලයක් මගින් හෝ, ගුවන් යානයකින් හෙලන බෝම්බයක් ලෙස හෝ, කාලතුවක්කු උණ්ඩයක් ලෙස හෝ, එල්ල කල හැකියි.
  දැන් අපි ටිකක් බලමු කවුද ලෝකේ ඉන්න ලොකුම බෝම්බ කාරයෝ කියලා. පහත දැක්වෙන සටහන කියවන්න වචන වලට වඩා ලොකු විස්තරයක් එතන තියනවා.2දැන් පෙනෙනවා නේද තත්වය. ලෝක යුද්ධයක් ඇවිලුනොත් මුළු ලෝකයම ක්ෂණයකින් විනාශ කල හැකි තරම් න්‍යෂ්ටික අවි මහා විශාල ප්‍රමාණයක් තියනවා. මේ තොරතුරු වලට ඇතුලත් නොවී රහසිගතව තිබෙන අවි තව කොපමණ ඇද්ද කියා හිතාගන්නවත් බැහැ. ඊළඟට බලමු බොහෝදුරට නිවැරදි තොරතුරු අනුව මේ අවි කොහෙද රඳවලා තියෙන්නේ කියලා.6ඔබ මෙම සිතියම හොඳින් නිරීක්ෂණය කලොත් පෙනෙයි මේ අවි වලින් බහුතරයක් රඳවා තිබෙන්නේ නිරක්ෂයට ඉහල ප්‍රදේශවල බව. එයට හේතුව වන්නේ පහර දීමට ඇති ඉලක්කවල පිහිටීම අනුව මෙසේ ස්ථානගත කිරීම වඩාත් වාසි සහගත වීමයි.අපි මේ කතාව ආරම්භ කල මේ ලිපියේ පළමුවැනි කොටසේදී කිව්වනේ උතුරු කොරියාවට හොඳටම තද වෙලා දකුණු කොරියාවටයි, අමරිකාවටයි, ජපානේටයි, ඔක්කොටම ගහන්න යන්නේ කියලා. උතුරු කොරියාවේ තත්වය කොහොමද? මම කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරක ශක්තිය පිලිබඳ තත්වය. බලන්න පහල සටහන දෙස.5
 උතුරු කොරියාවට අවශ්‍යනම් ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලස්, වැනි මහා නගර වලටත් ගහන්න පුළුවන් බව පෙනෙනවා. කොහොමද වැඩේ? ලිපිය කියවාගෙන ඉදිරියට එන්න එන්නම තත්වයේ දරුණුකම නේද වඩ වඩාත් දැනෙන්නේ? මේ තමයි ලෝකයේ හැටි. මේ තමයි මනසින් උසස් කියන මිනිසාගේ හැටි. 
  ලිපියේ අද කොටස අවසන් කරන්නේ තවත් එක බෝම්බයක් ගැන කියලයි. ඒ තමා ඊ බෝම්බය හෙවත් විද්‍යුත්චුම්බක තරංග බෝම්බය. Electromagnetic Bomb එක අතකට මේ බෝම්බය බොහොම අහිංසකයි. (අහිංසක? බෝම්බ කොහෙද අහිංසක? :D) මේ බෝම්බයෙන් ජීවීන්ට ඉඳුරාම හානියක් සිදුවන්නේ නැහැ. මේ බෝම්බයෙන් කරන්නේ සාමාන්‍ය මට්ටමේ සංඛ්‍යාතවල සිට ඉතා අධික සංඛ්‍යාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග කිසියම් ඉලක්ක ගත ප්‍රදේශයක් පුරා පතුරවා හැරීමයි.hpm-bomb-2  මෙම තරංග අඩු ශක්ති මට්ටමෙන්, මධ්‍යම ප්‍රමාණයේ ශක්ති මට්ටමෙන්, සහ අධි ශක්ති මට්ටමෙන් මුදා හරින්න පුළුවන්, බෝම්බය සකසන ආකාරය අනුව. අඩු ශක්ති බෝම්බයකින් සිදුවන්නේ, ඉලක්කගත ප්‍රදේශයේ පිහිටි, සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ, සැලකිය යුතු වෙලාවක් අක්‍රියවී යාමයි. ඒ කාලය ඇතුළත, ප්‍රහාරය එල්ල කල අයට පුළුවන්, කල්තියා තමන්ගේ එවැනි පරිපථ ආරක්ෂාකාරීව තබාගෙන, සතුරු පරිපථ අක්‍රීයවූ අවස්ථාවේදී තමන්ගේ උපකරණ වලින් අවශ්‍ය වැඩ කරගන්න. මධ්‍යම මට්ටමේ ප්‍රහාරයකදී පරිගණක දත්ත අවුල්වී යන අතර පරිගණක මගින් පාලනය වන සියලුම යාන්ත්‍රික පද්ධති අක්‍රිය වෙනවා. ඉහළ මට්ටමේ ප්‍රහාරයකින් සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ සම්පූර්ණයෙන් විනාශවී යනවා. ඉතිං මේ මගින් මිසයිල් යැවීමත් අඩපන කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න රාස්සයා කන පරාස්සයා කියලා කියමනක් අපේ රටේ තියනවානේ. ඒ නිසා මේ බෝම්බ කල්තබා හඳුනාගැනීමේ ක්‍රම දැන් වැඩි දියුණු වෙමින් පවතිනවා. අනාගතේදී ලෝකය ගහගන්නේ සොල්දාදුවන් යුද භූමියට යවන්නේ නැතුව පරිගණක තාක්ෂණයෙන්. ඒ ගැන ලිපි ගොඩක් ඉදිරියේදී පලකරන්න හිතාගෙන ඉන්නවා මම.
  ‘ඊ බෝම්බය’ කියා දෙයක්, තොරතුරු තාක්ෂනයේදීත් තියනවා. ඒ කියන්නේ ඊ මේල් එකක් මගින් විනාශකාරී වෛරසයක් එවීමයි. 
  පරමාණු බෝම්බ ගැන කතා කරද්දී 1945 වසරේදී ජපානයට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාර දෙක කවදාවත් අමතක වන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ මෙතෙක් එල්ලවූ එකම පරමාණු බෝම්බ ප්‍රහාරය එයයි. මේ පිළිබඳව වෙනමම ලිපියකින් කියන්න තරම් කරුණු තියනවා. පසුව වෙනමම ලිපියක් ලියන්නම්. මේ ප්‍රහාර දෙකෙන් හිරෝෂිමා නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ 166,000 ක් පමණ මියගියා. නාගසාකි නගරයේ මියගිය සංඛ්‍යාව 800,00 ක්. ඒ ආසන්නතම ගණන් බැලීමක් පමණයි. දැන් තිබෙන පරමාණු බෝම්බයක් එදා පරමාණු බෝම්බයකට වඩා 40 ගුණයකින් පමණ ශක්තියෙන් වැඩියි. එතනින් එහා දේ ඔබම හිතන්න. කවුද මේ බෝම්බ වල නිර්මාතෘ? ඔහු තමයි ඇමරිකානු ජාතික රොබට් ඔපන්හයිමර්. පළමුවැනි වරට අත්හදා බැලීමේ පරමාණු පිපිරවීම දෙස බලාසිටි ඔහුගෙ මුවගට නිතැතින්ම නැගී තිබෙන්නේ, භගවද් ගීතාවේ එන වැකියක්. ‘මම ලෝකයට මරණය මෙන් වීමි’ යන්න එහි අරුතයි.
  මා හිතනවා මීට වඩා අද ලිපිය දීර්ඝ නොකළ යුතුයි කියා. ඔබට නැගෙන ප්‍රශ්න අනුව සහ ඔබේ වටිනා අදහස් අනුව මීළඟ කොටස සකසන්නම්. තවත් සමූල ඝාතක අවි වර්ග දෙකක් (රසායනික සහ ජීව විද්‍යාත්මක) ගැන ඉදිරි ලිපි වලදී සාකච්ඡා කරමු.
  මේ ලිපියට අදාළ සියලුම රූප සටහන් ලබාගත්තේ Google Images වෙතින්. 
My Signature for Blog2013 අප්‍රේල් මස 24 වැනි දින 1256 පැය

19 April 2013

ඇයි අනේ අඳිනකොට පැනලා අඳින්නේ


  limerunners1මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ නූලෙන් බේරුනා මගේ නම ප්‍රචාරය නොවී. අපේ පන්සලේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඉන්නවා ‘ලංකාදීපේ’ ලොක්කෙක්. එයාට කියලා හාමුදුරුවෝ තමයි මට විදලා තිබුනේ. අවුරුදු උත්සව ගැන පත්තර වාර්තා කවුරුවත් කියවන්නේ නැති නිසා මගේ අනන්‍යතාව බේරුනා.
  ඔන්න ඉතිං පුංචි කතාව මේකයි. අර දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ මහා තරගය තියනවානේ. කාන්තා පක්ෂය බලාගෙන ඉන්නේ තරගයට සහභාගිවෙන්නනේ. මට හිතුනා අපේ ඉස්තිරියාවන්ගේ ‘හුර්ද  ඉස්පන්දනය’ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. මම මයික් ටයිසන් වගේ මයික් එක අරගෙන මෙහෙම කිව්වා. ‘මේ නිවේදනය දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ තරගයට සහභාගීවීමට බලාපොරොත්තුවන තරගකාරියන්ටයි. සංවිධායක මණ්ඩලය සියලු උත්සාහ දැරුවා දෙහි සොයාගන්නට. (සම්පූර්ණ බොරු. දෙහි ගෙඩි ලෑස්තියි)  නමුත් දෙහි සොයාගන්නට බැරිවූ නිසා ජම්බෝල සොයාගත්තා. නමුත් ජම්බෝල සාමාන්‍ය හැන්දක තැබිය නොහැකි නිසා, අපි තරගය වෙනස් කළා පොල්කටු හැන්ද මත ජම්බෝලය තබාගෙන දිවීමේ තරගය ලෙස’ බුදු අම්මෝ කාන්තා පක්ෂය එන්ඩ ගත්තා ආක්‍රමණශීලී විලාශයෙන්. හුහ්,…අපිට පුලුවන්ද පොල්කටු හැන්දක් කටේ තියාගන්ඩ? කවුද කිව්වේ ජම්බෝල ගේන්ඩ කියලා? අපිටනම් බෑ ඔය තරගෙට ඉන්ඩ කියලා මාව කන්ඩ හැදුවා. මම හිතුවා තව පොඩ්ඩක් අන්දන්ඩ. මම කිව්වා හරි හරි අපි පොල්කටු හැන්දේ මිට කොට වෙන්ඩ කපලා දෙන්නම් කියලා. අනේ මේ ඉස්තිරියාවෝ කැමති වුනානේ ඒ තීරණයට.
  ඔන්න මමනම් බෝ පැලේ වගේ මොකුත් දන්නේ නෑ හොඳේ.
පින්තූරය Google Images වෙතින් ලබාගන්නලදී
My Signature for Blog2013 අප්‍රේල් මස 19 දින 2327 පැය

09 April 2013

අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ… හරිද………? (පළමුවැනි කොටස) WMD and NBC Warfare (Part One)


  ghostඅපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්‍ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම තියන මතය. නමුත් හැමදෙනාටම මේ යක්කු ආශ්‍රය කරන්න බැහැ. උන් යක්කුනේ. යකා වගේ අයට තමයි උන්ව ආශ්‍රය කරන්න පුළුවන්. මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා අයනම් යක්කු බැඳගෙන වැඩ ගන්නවාලු. අපෙත් සමහර අය බැඳලා ඉන්නේ යකෙක් හෝ යකින්නක්ද කියලා හිතෙන වෙලාවලුත් තියනවා නේද?  :D :D :D අද වුනත් අපේ සමහර අය, කෝපය ඉහවහා ගියාම කියනවා, ‘මම ඕකුන් ඔක්කොම මරාගෙන මැරෙනවා’ කියලා. (පින්තුරය ගත්තේ මෙතනින්)
  mass killingමෙසේ එකවර සමූහයක් ඝාතනය කිරීමේ සිතුවිල්ල අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානයේ පවතින්නක් බව එයින් පෙනෙනවා. මහා ඇලෙක්සැන්ඩර්, අශෝක අධිරාජයා වැනි රජවරු, විශාලත්වය නොගිනිය හැකි තරම් බිම්පෙදෙස් දිග්විජය කරන අතර, සමූල ඝාතන රැසක්ද කළා. නමුත් මෑත ඉතිහාසයේ ප්‍රධාන පෙළේ සමූල ඝාතකයන් ලෙස සැලකෙන්නේ ජර්මන් ආඥාදායක හිට්ලර් ගේ සමූල ඝාතන ක්‍රියා සහ කාම්බෝජයේ පොල්පොට් වැන්නවුන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් සහ වියට්නාමයේ ජනාවාස වලට බෝම්බ හෙළීමෙන් කළසමූල ඝාතන ඉතා බරපතල ගණයට වැටෙනවා. මෑත ඉතිහාසයේදී ලොව ප්‍රධාන තැනක් ගත් සංග්‍රාමික සමූල ඝාතන පිලිබඳ සංක්ෂිප්තයක් මෙතනින් බලන්න පුළුවන්. (පින්තූරය ගත්තේ මෙතනින්)
  මිනිසාගේ සිතේ, සමූල ඝාතනය නමැති දුෂ්ඨ සිතුවිල්ල, තව තවත් වර්ධනය වුනේ, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුගයේදී යි. විශාල හමුදාවක් යොදවා, දැඩි වියදම් දරා, තමන්ගේ හමුදා භටයන්ගේ ජීවිත මෙන්ම හමුදාමය දේපළ ද විශාල වශයෙන් අහිමි කරගනිමින්, තම රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරගනිමින්, යුද්ධ කරනවාට වඩා, එක වර එල්ල කරන මහා පරිමාණ ප්‍රහාර දෙක තුනකින්, සතුරා සහමුලින් වනසා දැමීමට හැකිනම් හොඳයි යන සිතුවිල්ල, ලෝකයේ බලවත් රටවල් බොහොමයක් අතර සඟවාගත් රහසක් වුනා. දැන් ඒ රහස ඉතා භයානක වෙස් ගෙන කරලියට පැමිණ තිබෙනවා. මෙසේ එකවර මහා විනාශයක් කළහැකි අවි, අද ලෝකය සතුව තිබෙනවා. මේවා හඳුන්වන්නේ ‘සමූල ඝාතන අවි’ හෙවත් ‘Weapons of Mass Destruction’ යනුවෙන්. මෙය කෙටියෙන් හඳුන්වන්නේ WMD යනුවෙන්. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ මේ සමූල ඝාතක අවි ගැනයි.
  මේ සඳහා යොදාගන්නේ රසායනික ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික අවි. ඒවා හඳුන්වන්නේ Nuclear, Biological, and Chemical Weapons = NBC යනුවෙන්. එවැනි අවි යොදාගනිමින් කරන සංග්‍රාමික කටයුතු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායන  අවි සංග්‍රාමික කටයුතු හඳුන්වන්නේ NBC Warfare යනුවෙන්. ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදා සහ පොලීසිය වෙත මේ සමූල ඝාතක අවි සටන් වලදී ක්‍රියාකලයුතු ආකාරය ගැන විශේෂ පුහුණුවක්, අණදීමේ මට්ටමේ සිටින නිලධාරීන් වෙත ලබාදෙනවා.   
  මේ මාතෘකාව මේ දිනවල ලෝකයේ මතුවී තිබෙන යුදමය වාතාවරණයක් නිසා තමයි මගේ මතකයටත් ආවේ. ඔබ දන්නවා ඇතිනේ මේ දිනවල උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර බොහොම ඉහල මට්ටමේ යුද උණුසුමක් ඇතිවී තිබෙන බව. දෙගොල්ලොම දෙගොල්ලන්ට අභියෝග කරගන්නවා දෙඤ්ඤං බැටේ කියලා. නමුත් දෙගොල්ලොම දෙගොල්ලන්ට බයයි. ඒක තමයි ඇත්ත තත්වය. මේ රටවල් දෙකම දන්නේ නැහැ මොනවයින් මොනවා වෙයිද කියලා යුද්ධයක් ඇවිලුනොත්. හැබැයි මටනම් පෙනෙන්නේ, මෝඩ උතුරු/දකුණු කොරියා දෙක දඩමීමා කරගනිමින්, තමන්ගේ යුද ශක්තිය උරගා බලන්නට හදන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ මහජන චීනය බවයි. ඒ දෙගොල්ලොත් කයිය ගැහුවට එකිනෙකාට බයයි. එමෙන්ම තවත් එක දෙයක් කියන්න පුළුවන්. සමූල ඝාතක අවි වලට අයත් න්‍යෂ්ටික අවි වලින් කෙරෙන යුද්ධයක්, කොරියානු කලාපයේ ඇතිවුනොත්, තල්මස්සු අස්සේ ඉන්න හාල්මැස්සන් පොඩිවෙනවා වගේ අපේ රටටත් අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්.
Ghaznavimissile295
කොහොම වුනත් අවසාන වශයෙන් මේ කොරියන් ‘බජාර් එකේ චණ්ඩියා’ වැඩසටහන තවත් එක ‘ගොඩ ගෙරවිල්ලක්’ පමණයි කියලයි මට හිතෙන්නේ. ඒ කතාව එතනින් නවත්තලා අපි අපේ මාතෘකාවට බහිමු.
සමූල ඝාතක අවි කියන්නේ මොනවාද?
  සමූල ඝාතක අවි කියන එක ජාත්‍යන්තර වශයෙන් නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙමයි.
  “රසායනික, ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන්, සතුන්, මිනිසා විසින් පෘථිවියෙහි නිර්මිත වස්තු මෙන්ම ස්වභාවිකව පෘථිවියෙහි පිහිටි වස්තු වලට මහා පරිමාන හානි (අති මහත් විශාල ජීවිත විනාශ, දේපල විනාශ) ඇති කළහැකි ආයුධ, සමූල ඝාතක අවි වශයෙන් සැලකේ”.
  වැඩේ බොහොම බරපතලයි නේද? ඒ කියන්නේ මේ සමූල ඝාතක අවි වලින් පුළුවන් එක ප්‍රහාරයකින් මිනිසුන් ලක්ෂ ගණනින් මරාදමන්න, තවත් ලක්ෂ ගණනකට බරපතල තුවාල සිදු කරන්න, නගර ගම්බිම් මෙන්ම කඳු වුනත් බිමට සමතලා කරන්න. ඒකයි මේ කතාව පටන්ගන්නකොටම මම කිව්වේ, ඔක්කොම සුන්නද්දූලි කරන්න පුළුවන් කියලා. මේවා බොහොම භයානක අවි නිසයි මෙව්වා හොයාගෙන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ගණනාවක් ඉරාකයට රිංගුවේ. ඉරාකය ආක්‍රමණය කලේ. ඉතින් ඉරාකය ආක්‍රමණය කරලා, අන්තිමට සදාම් හුසේන්ව, නඩු අහලා එල්ලලා මරලා, මොනවද හොයාගත්තේ? ඉරාකය තුල සමූල ඝාතක අවි තිබුනද නැද්ද? දෙපැත්තටම කියන්න කරුණු තියනවා. නමුත් ඇත්තටම බලාපොරොත්තු වූ ආකාරයේ මහා පරිමාණ සමූල ඝාතක අවි හමුවුනේ නැහැ. ඉරාකයේ සදාම් හුසේන් යකා, හිතපු තරම් කළු වුනේ නැහැ.
WMD_large
  දැන් ඔබ දන්නවා සමූල ඝාතක අවි රසායනික හෝ ජෛවමය හෝ න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව. මේවා වර්ග කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට අනුව තමයි එසේ කර තිබෙන්නේ.
  අනේ මේ බටහිරයෝ ජීව විද්‍යාත්මක අවි ගැන හිතන කාලෙත් අපේ අය ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල කරා. මොනවා? ඔව්. හැබැයි ඒ ප්‍රශ්න ජිනීවා ගියේ නැහැ. අදටත් ඒ ප්‍රහාර ඉඳලා හිටලා එල්ල වෙනවා. දැන් ඔබ කියයි ‘නිකං අජාසත්ත බොරු කියන්ඩ එපා ඕයි’ කියලා. හරි හරි ඉන්ඩකෝ කියනකල්. මෙන්න මෙහෙමයි ඒ ජීව විද්‍යාත්මක ප්‍රහාර එල්ල වුණේ. ඒවා මරණීය නොවේ. මොකද අපේ මිනිස්සු හොඳට දෙයියෝ බුදුන් අදහන අයනේ. ඒ නිසා මිනිස්සු මරන්නේ නැතුව අරමුණ ඉෂ්ට කරගත්තා. අපේ පැරණි ග්‍රාමීය සමාජයේ වුනත් විවාහකයන් අතර අනියම් සබඳතා නොතිබුනෙම නැහැ. මේවා ඒ කාලේ හැඳින්වුණේ ‘රෑට පිළිකනු ගානේ යනවා’ වැනි විශේෂ යෙදුම් වලින්. ඔබ අහලා ඇති එක ගැමියෙක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කල ආකාරය. ටිකක් සැර වැඩිද මන්දා. කතාව මෙහෙමයි.
  kiss-my-ass-51057එක ගැමියකුගේ බිරිඳ ඒ ගමේම පුද්ගලයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියා. ගැමියා දැනගත්තා අර අනියම් පෙම්වතා නිවසේ නිදන කාමරයේ ජනේලය අසලට පැමිණ සිය බිරිඳ සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන බවත් ඉඩක් ඇත්නම් එතනින් එහා දේවල් වලටත් යන බවත්. ගැමියා දිනක් තම බිරිඳට තර්ජනය කළා නිහඬව සිටින ලෙසට. ඔහු නිවසේ පහන් නිවා, අර පෙම්වතාට, වෙනදාට තම බිරිඳ විසින් දෙන සංකේතය වන ජනේලය ඇර තැබීම සිදු කළා. පෙම්වතා කලුවරේම ඇවිත් වෙනදා වගේම අනියම් පෙම්වතියගේ මුහුණ ජනෙල් පොලු අතරින් සිපගත්තා. නමුත් මුහුණ ටිකක් විශාල බවත්, මුහුණෙන් කිසියම් දුගඳක් හමන බවත් අනියම් පෙම්වතාට දැනුනා. ඔහු හෙමිහිට ඇහුවා පෙම්වතියගෙන් ‘සුදෝ ඔයා අද මඩ පුවක් එක්කද බුලත්විට කෑවේ’ කියලා. මොකද මඩ පුවක් තරමක් ගඳයි. එහෙම අහනකොටම පෙම්වතියගේ මුහුණේ තිබුන පුංචි මුඛයෙන් දුගඳ ජීව වායු/ඝන අපද්‍රව්‍ය ප්‍රහාරයක් (ජීවවිද්‍යාත්මක රසායනික දෙකම කලවම්) එල්ල වුනා. පෙම්වතා පළාතේ නොහිට පැන ගියා. ඇත්තටම එදා ඒ පෙම්වතා සිපගත්තේ තම අනියම් පෙම්වතියගේ සැමියාගේ විශාල පශ්චාද් භාගයයි. :D :D :D   ඒකාලයේ කිසියම් ගමක අනියම් සබඳතාවක් හෙලිවුනොත් වතුරේ හොඳින් දියකළ අශූචි ප්‍රහාරයක් ඒ නිවසට එල්ලවුනා රාත්‍රී කාලයේදී. එය බරපතල අපහාසයක් ලෙසයි සැලකුනේ. එවැනි ප්‍රහාරයකට ලක්වන සමහර අය ඒ ගම අතහැර දමා යන අවස්ථා පවා තිබුනා. අශූචි මිශ්‍රණයට කළුතෙල් කලවම් කලොත් සෝදා හරින්න ඉතාම අපහසුයිලු. පැරණි ගැමියා උසාවි නොගොස් ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල කලේ එහෙමයි. :D
  හරි හරි ඒ කතාව පැත්තක තියලා අපේ කතාවට බහිමුකො. සමූල ඝාතක අවි ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වේයැයි හිතන්න අමාරුයි. කාගේ කාගේ කිල්ලෝටෙත් හුණු තියනවා කිව්වා වගේ ලෝකය පුරාම සමූල ඝාතක අවි රඳවාගෙන ඉන්න රටවල් තියනවා. හැබැයි ඒ රටවල තිබෙන න්‍යෂ්ටික අවි ප්‍රමාණය අනුමාන වශයෙන් කිවහැකි වෙතත්, රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ස්ථිරවම තිබෙන බවට හෝ අනුමාන වශයෙන් තිබිය හැකි ප්‍රමාණය ගැන හෝ පිළිගත හැකි සාක්ෂි බොහොම අඩුයි.  පහත දැක්වෙන සිතියමේ පෙන්වනවා සමූල ඝාතක අවි ලෝකය පුරා පැතිර තිබෙන්නේ කොහොමද කියලා.
NBC_Threat
වඩාත් පැහැදිලිව කියනවානම් මේ තමයි ලෝකයට එල්ලවී තිබෙන සමූල ඝාතක අවි තර්ජනය. දැන් පෙනෙනවා නේද අපි කොහෙද ඉන්නේ කියලා. මාරයාගේ (බ්ලොග් ලියන මාරයා නෙවෙයි) දත් තිස්දෙක අස්සේ තමා අපි ඉන්නේ. ඉතින් අපේ  . . . . .  මාමා වගේ තදවෙන මිනිහෙකුට, ඔය සමූල ඝාතක අවි තියන රටක රජකම ලැබුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ නේද? සමූල ඝාතක අවි හඳුන්වන්න ජාත්‍යන්තර සංකේත තියනවා. මේ තියෙන්නේ එම ජාත්‍යන්තර සංකේත.
න්‍යෂ්ටික අවි සඳහා සංකේතය
nuke
ජීව විද්‍යාත්මක අවි සඳහා සංකේතය
bio_hazard_or_biohazard_signරසායනික අවි සඳහා සංකේතය
chemical-weapon-signමේ අවි ගැන බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න කරුණු තියනවා. මා හිතනවා ඊළඟ ලිපියෙන් ඔබ සමග ඒ ගැන කතා කිරීම තමයි වඩාත් සුදුසු කියලා. සමූල ඝාතක අවි ගැන ඔබ දන්නා තොරතුරුත් එකතු කලොත් ලිපියේ අගය තවත් වැඩිවෙයි. ඊළඟ කොටස ලියන්න කලින් උතුරු කොරියාව සමූල ඝාතක අවි පාවිච්චි කරයිද?
පින්තූර ලබාගත්තේ  Google Images වෙතින්
My Signature for Blog2013 අප්‍රේල් මස 09 වැනි දින 2205 පැය

31 March 2013

මගේ පුස්තකාලයෙන් – A Glimpse from My Library


  img012ලංකාවේ ඉතිහාසය ගැන කතාකරද්දී, ‘ලෙනාඩ් වුල්ෆ්’ නමැති, පරිපාලන නිලධාරියා/ගත් කතුවරයා/මානව විද්‍යාඥයා,  ගැන නොකියා ඉන්නට බැහැ. එමෙන්ම ඔහු ලාංකික ජනසමාජය වෙත දැඩි බැඳීමකින් කටයුතු කල පුද්ගලයෙක්. ඔහුගේ ලාංකික ජීවිතය පිලිබඳ විවරණයක් රැගත් අගනා පුස්තකයක් මගේ පුස්තකාලයේ තිබෙනවා. මා සිතුවා එහි ඇති යම් යම් තොරතුරු ඔබ සමග බෙදා හදාගන්නට. මේ පොත 2005 දී මුද්‍රණය කර ඇති අතර, පොතේ කතුවරයා වන්නේ, විජේසිංහ බෙලිගල්ල මහතා. එතුමා ඉතා දුක්මහන්සියෙන් කරුණු රැස් කරමින් , මෙවැනි අගනා සමාජ විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත්, ග්‍රන්ථ රාශියක් සම්පාදනය කර තිබෙනවා. එතුමාටත් මගේ කෘතවේදීත්වය පල කරමින් මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ. මේ පොතේ නම ‘ලෙනාර්ඩ් වුල්ෆ් ගේ මහනුවර භූමිකාව’ මේ අගනා ග්‍රන්ථය මා එක හුස්මට කියවූ පොතක් ලෙස සඳහන් කලහැකියි. 
  මෑතකදී මා කිසියම් අවශ්‍යතාවකට මගේ පොත් එකතුව අතර සැරිසරද්දී, මේ පොත නෙත ගැටුනා. මෙහි සඳහන් ඇතැම් සමාජ විද්‍යාත්මක තොරතුරු, අදවනවිට වෙනස්වී තිබේද නැද්ද යන්න මටනම් ප්‍රහේලිකාවක්. මේ පොතෙහි, මා විශේෂයෙන් අවධානය යොමුකළ පිටු කීපයක්, ඔබටත් පෙන්වා, ඔබේ අදහස් විමසන්නට සිතුන නිසයි, මේ ලිපිය පළකරන්නේ. පොතින් උපුටාගත්, පහත දැක්වෙන පිටු කියවා, ඔබේ අදහස් දක්වනමෙන් කාරුණිකව ඉල්ලනවා. හැබැයි එකක් මතකතබාගන්න. මේ ලිපියේ තිබෙන පොත් පිටුවල තිබෙන්නේ මගේ අදහස් නොවේ. ඒ නිසා ඔබේ අදහස් වලට පිළිතුරු දෙන්නට මට අයිතියක් නැහැ. එයින් පරිබාහිර දේවලට පමණක් පිළිතුරු දෙන්නම්.
වලව් හැදෙන්නේ මෙහෙමයි
img013
img015
img016
උඩරට ගැන කියලා තියෙන්නේ මෙහෙමයි
img018
img019
ලංකාවේ සෑහෙන කලක් සේවය කොට යලි තම මව් රට වන එංගලන්තයට ගිය වුල්ෆ් 1960 දී ලංකාව බලන්න යලිත් එනවා. මේ 1960 දී ඔහු දුටු ලංකාව.
img020
බුදු දහම ගැන වුල්ෆ් තුළ දැඩි පැහැදීමක් සහ විශ්වාසයක් තිබුණු බව පෙනෙනවා.
img017
පොතේ වටිනාකමට සහ කතුවරයාගේ අයිතියට අසාධාරණයක් වන නිසා, මීට වඩා තොරතුරු දක්වන්න අමාරුයි. නමුත් මේ පොතේ ඇති කරුණු, සර්වකාලීන වටිනාකමක් තිබෙන ඒවා බව පෙනෙනවා. ඉතින් දැන් කියන්න ඔබට මොකද හිතෙන්නේ කියලා.
My Signature for Blog2013 පෙබරවාරි මස 20 දින 2257 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }