මිනිසාගේ සිතේ, සමූල ඝාතනය නමැති දුෂ්ඨ සිතුවිල්ල, තව තවත් වර්ධනය වුනේ, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුගයේදී යි. විශාල හමුදාවක් යොදවා, දැඩි වියදම් දරා, තමන්ගේ හමුදා භටයන්ගේ ජීවිත මෙන්ම හමුදාමය දේපළ ද විශාල වශයෙන් අහිමි කරගනිමින්, තම රටේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරගනිමින්, යුද්ධ කරනවාට වඩා, එක වර එල්ල කරන මහා පරිමාණ ප්‍රහාර දෙක තුනකින්, සතුරා සහමුලින් වනසා දැමීමට හැකිනම් හොඳයි යන සිතුවිල්ල, ලෝකයේ බලවත් රටවල් බොහොමයක් අතර සඟවාගත් රහසක් වුනා. දැන් ඒ රහස ඉතා භයානක වෙස් ගෙන කරලියට පැමිණ තිබෙනවා. මෙසේ එකවර මහා විනාශයක් කළහැකි අවි, අද ලෝකය සතුව තිබෙනවා. මේවා හඳුන්වන්නේ ‘සමූල ඝාතන අවි’ හෙවත් ‘Weapons of Mass Destruction’ යනුවෙන්. මෙය කෙටියෙන් හඳුන්වන්නේ WMD යනුවෙන්. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ මේ සමූල ඝාතක අවි ගැනයි.
මේ සඳහා යොදාගන්නේ රසායනික ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික අවි. ඒවා හඳුන්වන්නේ Nuclear, Biological, and Chemical Weapons = NBC යනුවෙන්. එවැනි අවි යොදාගනිමින් කරන සංග්‍රාමික කටයුතු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායන අවි සංග්‍රාමික කටයුතු හඳුන්වන්නේ NBC Warfare යනුවෙන්. ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදා සහ පොලීසිය වෙත මේ සමූල ඝාතක අවි සටන් වලදී ක්‍රියාකලයුතු ආකාරය ගැන විශේෂ පුහුණුවක්, අණදීමේ මට්ටමේ සිටින නිලධාරීන් වෙත ලබාදෙනවා.
මේ මාතෘකාව මේ දිනවල ලෝකයේ මතුවී තිබෙන යුදමය වාතාවරණයක් නිසා තමයි මගේ මතකයටත් ආවේ. ඔබ දන්නවා ඇතිනේ මේ දිනවල උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර බොහොම ඉහල මට්ටමේ යුද උණුසුමක් ඇතිවී තිබෙන බව. දෙගොල්ලොම දෙගොල්ලන්ට අභියෝග කරගන්නවා දෙඤ්ඤං බැටේ කියලා. නමුත් දෙගොල්ලොම දෙගොල්ලන්ට බයයි. ඒක තමයි ඇත්ත තත්වය. මේ රටවල් දෙකම දන්නේ නැහැ මොනවයින් මොනවා වෙයිද කියලා යුද්ධයක් ඇවිලුනොත්. හැබැයි මටනම් පෙනෙන්නේ, මෝඩ උතුරු/දකුණු කොරියා දෙක දඩමීමා කරගනිමින්, තමන්ගේ යුද ශක්තිය උරගා බලන්නට හදන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ මහජන චීනය බවයි. ඒ දෙගොල්ලොත් කයිය ගැහුවට එකිනෙකාට බයයි. එමෙන්ම තවත් එක දෙයක් කියන්න පුළුවන්. සමූල ඝාතක අවි වලට අයත් න්‍යෂ්ටික අවි වලින් කෙරෙන යුද්ධයක්, කොරියානු කලාපයේ ඇතිවුනොත්, තල්මස්සු අස්සේ ඉන්න හාල්මැස්සන් පොඩිවෙනවා වගේ අපේ රටටත් අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්.
කොහොම වුනත් අවසාන වශයෙන් මේ කොරියන් ‘බජාර් එකේ චණ්ඩියා’ වැඩසටහන තවත් එක ‘ගොඩ ගෙරවිල්ලක්’ පමණයි කියලයි මට හිතෙන්නේ. ඒ කතාව එතනින් නවත්තලා අපි අපේ මාතෘකාවට බහිමු.
සමූල ඝාතක අවි කියන්නේ මොනවාද?
සමූල ඝාතක අවි කියන එක ජාත්‍යන්තර වශයෙන් නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙමයි.
“රසායනික, ජීවවිද්‍යාත්මක හෝ න්‍යෂ්ටික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන්, සතුන්, මිනිසා විසින් පෘථිවියෙහි නිර්මිත වස්තු මෙන්ම ස්වභාවිකව පෘථිවියෙහි පිහිටි වස්තු වලට මහා පරිමාන හානි (අති මහත් විශාල ජීවිත විනාශ, දේපල විනාශ) ඇති කළහැකි ආයුධ, සමූල ඝාතක අවි වශයෙන් සැලකේ”.
වැඩේ බොහොම බරපතලයි නේද? ඒ කියන්නේ මේ සමූල ඝාතක අවි වලින් පුළුවන් එක ප්‍රහාරයකින් මිනිසුන් ලක්ෂ ගණනින් මරාදමන්න, තවත් ලක්ෂ ගණනකට බරපතල තුවාල සිදු කරන්න, නගර ගම්බිම් මෙන්ම කඳු වුනත් බිමට සමතලා කරන්න. ඒකයි මේ කතාව පටන්ගන්නකොටම මම කිව්වේ, ඔක්කොම සුන්නද්දූලි කරන්න පුළුවන් කියලා. මේවා බොහොම භයානක අවි නිසයි මෙව්වා හොයාගෙන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ගණනාවක් ඉරාකයට රිංගුවේ. ඉරාකය ආක්‍රමණය කලේ. ඉතින් ඉරාකය ආක්‍රමණය කරලා, අන්තිමට සදාම් හුසේන්ව, නඩු අහලා එල්ලලා මරලා, මොනවද හොයාගත්තේ? ඉරාකය තුල සමූල ඝාතක අවි තිබුනද නැද්ද? දෙපැත්තටම කියන්න කරුණු තියනවා. නමුත් ඇත්තටම බලාපොරොත්තු වූ ආකාරයේ මහා පරිමාණ සමූල ඝාතක අවි හමුවුනේ නැහැ. ඉරාකයේ සදාම් හුසේන් යකා, හිතපු තරම් කළු වුනේ නැහැ.
දැන් ඔබ දන්නවා සමූල ඝාතක අවි රසායනික හෝ ජෛවමය හෝ න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව. මේවා වර්ග කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට අනුව තමයි එසේ කර තිබෙන්නේ.
අනේ මේ බටහිරයෝ ජීව විද්‍යාත්මක අවි ගැන හිතන කාලෙත් අපේ අය ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල කරා. මොනවා? ඔව්. හැබැයි ඒ ප්‍රශ්න ජිනීවා ගියේ නැහැ. අදටත් ඒ ප්‍රහාර ඉඳලා හිටලා එල්ල වෙනවා. දැන් ඔබ කියයි ‘නිකං අජාසත්ත බොරු කියන්ඩ එපා ඕයි’ කියලා. හරි හරි ඉන්ඩකෝ කියනකල්. මෙන්න මෙහෙමයි ඒ ජීව විද්‍යාත්මක ප්‍රහාර එල්ල වුණේ. ඒවා මරණීය නොවේ. මොකද අපේ මිනිස්සු හොඳට දෙයියෝ බුදුන් අදහන අයනේ. ඒ නිසා මිනිස්සු මරන්නේ නැතුව අරමුණ ඉෂ්ට කරගත්තා. අපේ පැරණි ග්‍රාමීය සමාජයේ වුනත් විවාහකයන් අතර අනියම් සබඳතා නොතිබුනෙම නැහැ. මේවා ඒ කාලේ හැඳින්වුණේ ‘රෑට පිළිකනු ගානේ යනවා’ වැනි විශේෂ යෙදුම් වලින්. ඔබ අහලා ඇති එක ගැමියෙක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කල ආකාරය. ටිකක් සැර වැඩිද මන්දා. කතාව මෙහෙමයි.
හරි හරි ඒ කතාව පැත්තක තියලා අපේ කතාවට බහිමුකො. සමූල ඝාතක අවි ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වේයැයි හිතන්න අමාරුයි. කාගේ කාගේ කිල්ලෝටෙත් හුණු තියනවා කිව්වා වගේ ලෝකය පුරාම සමූල ඝාතක අවි රඳවාගෙන ඉන්න රටවල් තියනවා. හැබැයි ඒ රටවල තිබෙන න්‍යෂ්ටික අවි ප්‍රමාණය අනුමාන වශයෙන් කිවහැකි වෙතත්, රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ස්ථිරවම තිබෙන බවට හෝ අනුමාන වශයෙන් තිබිය හැකි ප්‍රමාණය ගැන හෝ පිළිගත හැකි සාක්ෂි බොහොම අඩුයි. පහත දැක්වෙන සිතියමේ පෙන්වනවා සමූල ඝාතක අවි ලෝකය පුරා පැතිර තිබෙන්නේ කොහොමද කියලා.
වඩාත් පැහැදිලිව කියනවානම් මේ තමයි ලෝකයට එල්ලවී තිබෙන සමූල ඝාතක අවි තර්ජනය. දැන් පෙනෙනවා නේද අපි කොහෙද ඉන්නේ කියලා. මාරයාගේ (බ්ලොග් ලියන මාරයා නෙවෙයි) දත් තිස්දෙක අස්සේ තමා අපි ඉන්නේ. ඉතින් අපේ . . . . . මාමා වගේ තදවෙන මිනිහෙකුට, ඔය සමූල ඝාතක අවි තියන රටක රජකම ලැබුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ නේද? සමූල ඝාතක අවි හඳුන්වන්න ජාත්‍යන්තර සංකේත තියනවා. මේ තියෙන්නේ එම ජාත්‍යන්තර සංකේත.
න්‍යෂ්ටික අවි සඳහා සංකේතය
ජීව විද්‍යාත්මක අවි සඳහා සංකේතය
පින්තූර ලබාගත්තේ Google Images වෙතින්
No comments :
Post a Comment