හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 May 2015

චාරිකා සටහන් එකතුවක්

Writing
 පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් 'යාපනයේ සංචාරය' සහ 'වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව' පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්‍රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා. ඔන්න ඒ මගහැරුණු චාරිකා ඔක්කොම එකතු කරලා, මේ ලිපිය ලියන්නේ.

   
රන්ටැඹේ චාරිකාව 

   වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව බොහොම රසවත්. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ගිය මේ චාරිකාව සඳහා, දින තුනක් ගතවුණා. එයින් දින දෙකක් මා සහ සහෝදර විශ්‍රාමික නිළධාරීන්, නැවතී සිටියේ, රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේ. 

   මා හමුදා සේවයේ යෙදීසිටියදී, කවරදාක වත්, මේ කඳවුරට ගිහින් නැහැ. එසේ යන්නට අවශ්‍යතාවක් නොතිබුණු නිසා. මේ තමයි මා පළමුවරට එහි ගිය අවස්ථාව. ශ්‍රී ලංකාවේ දර්ශණීයතම භූමි භාගයක පිහිටි මේ කඳවුර, ප්‍රධාන නගර වලින් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක්. ප්‍රධාන නගරයක් වශයෙන් පිහිටි මහියංගනය නගරයටත්, මෙහි සිට කි.මී. 28 ක් පමණ දුරක් තිබෙනවා.

   මෙම කඳවුරු භූමිය, මහවැලි ව්‍යාපාරයට අදාළව නිමවුණු, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ව්‍යාපෘතීන්හි සේවය කළ, ජර්මානු ජාතික නියෝජිතයන්ගේ නවාතැන්, ගබඩා, කාර්යාල, සංකීර්ණයක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ප්‍රදේශය වල් අලින් ගෙන් ගහණ ප්‍රදේශයක් වුවත්,

   (වල් අලියා යන්න, වන අලියා ලෙස හඳුන්වන්නට අදහස් කළේ, මොන ගොන් අලියාදැයි දන්නේ නැහැ. වල / වළ යන වචන දෙකෙහි තේරුම නොදත්, සිංහල නූගත්, අබබ්බයකු වෙන්න ඇති, ඒ යෝජනාව ගෙනෙන්න ඇත්තේ. මෙවැනි අබබ්බයන්, 'වල්' කියන වචනයට දන්නේ, එක තේරුමයි. ඒ කියන්නේ, අසභ්‍ය කියන තේරුම. මේ අය, ඒ තේරුම දන්නෙත්, තමන් වල් නිසා වෙන්න ඇති. වන අලියා, වණ අලියා කියලත් ලියයි, සමහරවිට) 

   මෙතෙක් ශිෂ්‍යභට පුහුණුවට එයින් බාධාවක් වී නැති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ශිෂ්‍යභටයන් වන අභ්‍යාසවල යෙදීමේදී, උපදේශක මණ්ඩලය විසින්, ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත්වන බවත්, දැනගන්නට ලැබුණා. කඳවුර වටා විදුලි වැටක් ඉදිකර තිබෙනවා, අලින් පැමිණීම වළක්වන්නට. මෙන්න රන්ටැඹේ ප්‍රදේශය. පින්තූරය මත ක්ලික් කර, විශාල කර බලන්න. 

Rantambe

   මෙන්න රන්ටැඹේ දී සහ මහියංගණ ප්‍රදේශයේ චාරිකාවේදී ගත් පින්තූර කීපයක්.

රන්ටැඹේ කඳවුර 

DSC01270


DSC01260



මහියංගණ චෛත්‍යය

DSC01291



සොරබොර වැව

DSC01329


DSC01324

   සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි.  එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි. අදාළ විස්තර, වැව අසළ ඇති පුවරුවක සඳහන්වන්නේ මෙහෙමයි. 

DSC01318

මේ සොරොව්වේ වීඩියෝවක් ගන්නට මට හැකිවුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. (තත්පර 30 ක් පමණයි)




  කල්පිටිය චාරිකාව 

   ඔබට මතකද මා මීට පෙර කීප වතාවක් ඔබට කියා තිබෙනවා අපේ ගමේ සුබසාධක සමිතියෙන් යන වාර්ෂික චාරිකාව ගැන. 2015 වසර වෙනුවෙන් ඒ චාරිකාව අපි ගියේ කල්පිටිය අර්ධ ද්වීපය සහ පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත කරගෙනයි.

   කල්පිටියට යනවානම් නොවරදවාම නැරඹිය යුතු ස්ථානයක් වන්නේ, කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ පිහිටි, පැරණි ඕලන්ද බලකොටුවයි. මෙය නැරඹීම සඳහා, කල්තබා දැනුම්දීමක් කර, අවසර ගන්නවානම්, වඩා හොඳයි. කෙසේවෙතත්, හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම්, ඒ මොහොතේම වුනත්, කඳවුරේ ඇති සම්බන්ධිකරණ කාර්යාලයෙන්, අවසර ගන්න පුළුවන්. 

   මේ ඕලන්ද බලකොටුව සීඝ්‍රයෙන් විනාශවීගෙන යන බවත්, පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කිසිවක් සිදුවී නැති බවත් පෙනෙනවා. පසුගිය යුද සමයේ මා, මේ කඳවුරට කීප වතාවක් ගියා. නමුත් නිදහසේ මේ බලකොටුව නරඹන්නට ලැබුණේ, මේ පහුගිය පෙබරවාරි මාසයේ යෙදුන සංචාරයෙදීයි. කඳවුර හරිම අලංකාරයි. ඔබට පුළුවන්, අවසර දී ඇති ප්‍රදේශ වලට පමණක්, නිදහසේ ඇතුළුවී නරඹන්න.

   කඳවුර ඇතුළට යනකොටම දකින්න ලැබෙන්නේ තල්මසකුගේ ඇටසැකිල්ලක් සංරක්ෂණය කර ඇති ආකාරය.

DSC01826

   හමුදා භටයන් විශ්‍රාම ගන්නවා වගේ, අවි ආයුධත් විශ්‍රාම ගන්නවා. මේ නාවික යාත්‍රාවල සවි කරන මැෂින් තුවක්කුවක් විශ්‍රාම ගෙන තිබෙන ආකාරය.

DSC01824


ඕලන්ද බලකොටුවේ පිවිසුම් දොරටුව 

DSC01827


බලකොටුව අභාවයට යමින් පවතින හැටි 

DSC01829

   බලකොටුවේ, පැරණි, අතිවිශාල, දැවමය දොරටුවක් තිබෙනවා. එහි සටහන්ව තිබෙන ආකාරයට, මේ බලකොටුව ඉදිකර තිබෙන්නේ ක්‍රි.ව. 1759 දී. MDCCLIX = 1759

DSC01862

   මේ පහත පින්තූරයේ තිබෙන්නේ, 'ක්‍රිස්තු වර්ෂ' යන්න, ANNODOMINI යනුවෙන්, සටහන් කර ඇති ආකාරයයි. 

DSC01861

   යුද්දෙට ගිහින් වෙහෙසට පත් ප්‍රහාරක යාත්‍රා, මේ කඳවුරේ, විවේක සුවයෙන් තිබෙනවා. නමුත් ඕනෑම වෙලාවක රාජකාරියට සූදානම්. අදත් අභ්‍යාසවල යෙදෙනවා. මේ යාත්‍රා අසළටම ගොස් බලන්නට අවසර තිබෙනවා. 

DSC01870

   නාවික කඳවුර නරඹා ආපසු එන ගමන්, අපි, අති සුප්‍රසිද්ධ, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර වන්දනා කරන්නටත් ගියා. ඉතා අලංකාර පරිසරයක පිහිටි මේ දෙව් මැඳුරු භූමිය, පරිසර සංරක්ෂණය අතින් ඉහළ තැනක් ගන්නවා. 

DSC01920


DSC01927

   ඊළඟට අපි ගියේ, නොරොච්චෝලේ, 'ලක් විජය ගල් අඟුරු තාප විදුලිබලාගාරය' නරඹන්නටයි. බලාගාරය ඇතුලේ පින්තූර ගන්න අවසට නැහැ. මේ පෙනෙන්නේ, නැව් මගින් ගෙන එන ගල් අඟුරු, බත්තල් මගින් ගොඩබිම ආසන්නයට ගෙනැවිත්, ධාවන මාර්ගයක් ඔස්සේ, Conveyor Belt බලාගාරය වෙත එවන ආකාරයයි. 


DSC01917

   නොරොච්චෝලේ ප්‍රදේශයේ, ඉතා විශාල ප්‍රමාණයක්, සුළං විදුලි ජනක සවිකර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ. මේ තියෙන්නේ. 

DSC01887

   'අනේ ඔය දෙන්නා නිකං, ඈතින් හිටෙව්ව හුළං මෝල් දෙකක් වගේ ඈත්වෙලා ඉන්නැතුව ලංවෙන්නකෝ', කියලා, ලොකු දුව කොච්චර කිව්වත්, ලංවුණේ නැහැනේ.

DSC01906

   දිවා ආහාරය සඳහා අපි බලාපොරොත්තු වුණේ, පුත්තලම - මන්නාරම මාර්ගයේ, එළුවන්කුලම ප්‍රදේශය පසුකර, කලාඔයේ දිය පැන්නුමෙන් එගොඩවී, ඔයෙන් නෑමෙන් පසු, මොක මොකවත් කරගෙන, දෙයියනේ කියලා බත්ටික කන්නයි.

   නමුත් ඔයේ වතුර වැඩි නිසා වාහන එගොඩ කරන්න බැහැ, සපත්තු පාළමෙන්. Causeway කෝසුව කියලත් කියනවා. මේ බලන්න කෝසුවේ වතුර වැඩියි. එගොඩින් පෙනෙන්නේ, විල්පත්තු අභයභූමිය.

DSC01935

   මෙතනදී මම දැක්කා, තම වර්ගයා බෝ කිරීමේ අරමුණින්, උඩුගං බලා, කෝසුවෙන් පණින මසුන්. ඔන්න මම උන්ව වීඩියෝ කරගත්තා.



   ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.  දැන් කොහේ ගිහින්ද,  මොක මොකවත් කරගෙන, දවල් බත කොටාබාන්නේ කියලා, අපේ කට්ටිය විස්සෝප වුණා. හෙහ් හෙහ්......එව්වා කොහෙද මාත් එක්ක.

   මේ ප්‍රදේශය මට හොඳට හුරුයි. මම මුලින්ම මේ ප්‍රදේශයේ රාජකාරි කලේ 1987 දී. මම අපේ කට්ටියත් අරගෙන ගියා, ඉතා සුන්දර පරිසරයක පිහිටි ධීවර ජනාවාසයක් වන, 'ගඟේවාඩිය' නමැති ප්‍රදේශයට. (සිතියමේ බලන්න)

   ඉස්සර මේ පැත්ත ඉතා දැඩි ලෙස LTTE තර්ජනයට ලක්ව තිබුණා. දැන් නිදහස්. මේ අසළ, අති විශේෂ නාවික හමුදා කඳවුරක් තිබෙනවා. එය තරමක් රහසිගත එකක්.

   මෙන්න බලන්න ගඟේවාඩිය. 

DSC01948

Screenshot (14)



ත්‍රිකුණාමලය සහ තිරියාය චාරිකාව

   මේ චාරිකාවේ යෙදුණේ පහුගිය මාර්තු මාසේ. අපේ පන්සලේ තිබෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන්, චාරිකාවක් සූදානම් කර තිබුණා. අපේ හාමුදුරුවෝ මට කිව්වා, 'මහත්තයත් ඇවිත්, පින්තූර ටිකක් අරං දුන්නොත් හොඳයි' කියලා. ඒ නිසා තමා ගියේ. මේක දහම් පාසල් චාරිකාවක්නේ. ආයෙ 'වෙන වැඩ බැහැ' ඒ නිසා, උපාසක ලීලාවෙන් ගිහින් ආවා.

   ත්‍රිකුණාමලයේ පින්තූර නම්, බොහෝදෙනෙක්, අනන්තවත් දැකලා ඇති. ඒ නිසා වැඩිය පින්තූර දාන්නේ නැහැ. ත්‍රිකුණාමාලයේ පිහිටි ෆ්‍රෙඩ්රික් බලකොටුවේ ප්‍රධාන දොරටුව මේ පෙනෙන්නේ.

1

   ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිලට පහළින් පිහිටා ඇති, 'ස්වාමි ගල හෙවත් පෙම්වතුන් පිනූ ගල' සෑම සංචාරකයකුගේම කැමරාවට හසුවෙනවා. 

2

   අතීතයේ පටන් ත්‍රිකුණාමලයේ වෙසෙන මුව රංචුව, ප්‍රධාන නගරයක් තුළ වෙසෙන, ලෝකයේ එකම මුව රංචුවයි. නමුත් ඔවුන් වඳවේගන යනවාලු. මමත් මේ මුවාව දැක්කේ, ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් තුළදී. 

3

   මේ ගමනේ අපි ප්‍රධාන අරමුණක් කරගත්තේ, තිරියායේ ගිරිහඬු සෑය වන්දනාමාන කිරීමයි. අපි ඉක්මණින්ම තිරියාය බලා පිටත්වුනා. ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ, තිරියායට හැරෙන හන්දිය අසළ ඇති නාවික හමුදා කඳවුරෙන්, අපිට ඉතා ඉහළ මට්ටමේ තේ පැන් සංග්‍රහයක් ලැබුණා. අපේ ගමේ ඉන්න නාවික හමුදා නිළධාරියකු විසින් එය සූදානම් කර තිබුණා. මේ තියෙන්නේ ඒ කඳවුරේ අලංකාරයි. 

4

5

   තිරියාය ගැන හැඳින්වීමක්  බලලා, පින්තූර බලමු.

6

   ලංකාවේ තිබෙන විශාලතම වටදාගේ තියෙන්නෙත්, තිරියාය ගිරිහඬු සෑයේ.

9

   ගිරිහඬු සෑය පිහිටි කන්ද පාමුල, පැරණි ගල් පාළමක් සහ දිය අගලක් දකින්නට ලැබෙනවා. 

7

8

   මේ සිතියම දාන්නේ, ඔබටත් තිරියායේ යන්න මග සලකුණු පෙන්වන්නයි. 

Screenshot (15)

   අපේ කණ්ඩායමේ හිටිය මේ සංචාරිකාවෝ, මගේ කැමරාව ඉදිරියේ, නිරූපිකාවෝ බවට පත්වුණා. 

10

11

   මේ කෙටි ලිපිය කියෙව්වාට බොහොම ස්තුතියි.


2015 මැයි මස 19 වැනි දින 2333 පැය 

11 May 2015

ඔන්න කතන්දර මෙන්න කතන්දර

හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා.

සාජන්ලා
11   
හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට උසස් කරනු ලැබුවා. දෙන්නම බුද්ධි මට්ටම අතින් ටිකක් දුර්වලයි. උසස්වීම ලැබූ දා හවස, එක්කෙනක් කිව්වා අනිකාට,
   ‘අපි යමු හමුදා සාමාජිකයන්ගේ ක්ලබ් එකට’ කියලා.
   අනික් එක්කෙනා කිව්වා, ‘අපි සොල්දාදුවො නේද’ කියලා.  
   අරයා ආපහු කියනවා, ‘ඉතින් මොකද? අපි දැන් සාජන්ලා, පණ්ඩිතකම නැතුව වරෙන් යන්න’ කියලා.
  ඔන්න දෙන්නා ගියා ක්ලබ් එකට. ගිහින් සැර බීම වීදුරු දෙකක් ඕඩර් කරලා බලා ඉන්න අතරේදී, ලස්සන ගෑණු කෙනෙක් එතනට ආවා.
   එයා කිව්වා, ‘ඔය දෙන්නා මෙහාට අලුත් අය වගේ. මම ඉස්සර ඉඳලම මෙහාට එන අයව සතුටු කරනවා. නමුත් මේ දිනවල මට ගොනෝරියා හැදිලා නිසා කණගාටුයි. නමුත් ඔයාල කැමතිනම් මමත් කැමතියි’ කියලා.
   පළමුවැනි සාජන්, (ක්ලබ් යමු කියලා යෝජනා කරපු කෙනා) දෙවෙනියාට කිව්වා, ගොනෝරියා කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි අහලා, නරක දෙයක් නෙවෙයි නම්, OK සිග්නල් එක දෙන්න කියලා.
  දෙවෙනි සාජන්, බාර් එකේ වැඩකරන මිනිහා ලඟට ගිහින්, වචන කීපයක් හුවමාරු කරගත්තා. පළවෙනියා දිහා බලලා ඇහැක් ගහලා, අත මිටමොලවලා, මහපටැඟිල්ල උස්සලා, OK සිග්නල් එක දුන්නා.
   පළමුවැනි සාජන්, අර කාන්තාව සමග ක්ලබ් එක ඇතුළට ගියා. ටික දවසකට පස්සේ, පළමුවැනි සාජන්ට ගොනෝරියාව හැදිලා අමාරු වුණා.
   එයා දෙවැනි සාජන්ට බැන්නා, ‘ඇයි යකෝ උඹ මට එදා OK සිග්නල් එක දුන්නේ’ කියලා.
   දෙවනියා කිව්වා, ‘මම එදා බාර් එකේ වැඩකරන මිනිහගෙන් ඇහුවම කිව්වේ, ඒක සොල්දාදුවන්ට හැදෙන ලෙඩක් කියලා. ඉතින් අපි සොල්දාදුවෝ නෙවෙයි සාජන්ලානේ, ඒකයි මම OK සිග්නල් එක දුන්නේ’ කියලා. 

වෙනස 
හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරුවා සහ සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා අතර වෙනස කුමක්ද? 
හමුදා යාන්ත්‍රික ඉංජිනේරුවා ඉලක්ක විනාශ කරන යන්ත්‍ර නිපදවයි.
සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා ඒ විනාශකාරී යන්ත්‍ර සඳහා ඉලක්ක නිපදවයි. 

කාගේ ජීප් එකද
    මඩ ගොහොරු පාරක, හමුදා ජීප් රථයක් පදවාගෙන යන කපිතන් වරයකු දැක්කා, කර්නල් වරයකු පදවාගෙන ආ ජීප් රථයක් මඩේ එරී ඇති බව.
  කපිතන් ඇහුවා ‘සර්ගේ ජීප් එක එරිලා නේද’ කියලා.
  කර්නල් කිව්වා ‘පොඩ්ඩක් මෙහාට එන්ඩකෝ’ කියලා. කපිතන් ලඟට ගියාම කර්නල් කිව්වා,
  ‘මෙන්න මේ ජීප් එකේ යතුර, කෝ දෙනවා තමුසෙගෙ ජීප් එක මට. ඔන්න දැන් එරිලා තියෙන්නේ තමුසෙගෙ ජීප් එක’ කියලා. 


පැරෂුට් පිම්ම 
 Parachute    පැරෂුට් පුහුණුවට අලුතෙන් පැමිණි සොල්දාදුවකුගේ සගයකු දැක්කා, ඒ සොල්දාදුවා අමාරුවෙන් ඇවිදිනවා.
  ‘මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියලා, සගයා අර සොල්දාදුවාගෙන් ඇහුවා.
  ‘අද අපිව එක්ක ගියා පැරෂුට් එකෙන් පනින අභ්‍යාසයට’ සොල්දාදුවා කිව්වා.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඔන්න අපි එක එක්කෙනා ප්ලේන් එකෙන් පනින අවස්ථාව ආවා. බුදු අම්මෝ….. උඩ ඉඳලා බිම බලපු ගමන් මගේ ඇස් නිලංකාර වුණා, ඇඟ හීතල වුණා’.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  සොල්දාදුවා කියනවා, ‘මම එහෙම ඉන්නකොට අපේ උපදේශක සාජන් මට කිව්වා, ‘යකෝ තෝ පනින්නේ නැත්නම් මම උඹේ ………..වා කියලා’
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඉතින් මම පනින්නේ නැතුව සාජන් කියපු දේට එකඟ වුණා’ සොල්දාදුවා කිව්වා. 

වන්දි ගෙවීම 
33   වියට්නාම් යුද්ධයට ගොස් ආබාධිතවූ හමුදා සාමාජිකයන්ට, වන්දි ගෙවීමේ මණ්ඩලය වෙත, සොල්දාදුවන් තිදෙනෙකු ඉදිරිපත් කරනු ලැබුවා. වන්දි ගෙවීමේ මණ්ඩලය සොල්දාදුවන්ට කිව්වා, තමන්ගේ ශරීරයේ එකිනෙකට ඈතින් පිහිටි ස්ථාන දෙකක් නම් කරන ලෙසත්, ඒ ස්ථාන දෙක අතර ඇති පරතරය මැන, එක් අඟලකට, ඩොලර් 10000 බැගින් ගෙවන බවත්.
   පළමුවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ හිසේ සිට දෙපතුළට දුර මැන, වන්දි ගෙවන ලෙස. ඒ අනුව ඔහුට විශාල වන්දියක් ලැබුණා.
  දෙවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ අත්දෙක පොළොවට සමාන්තරව දෙපසට විහිදවූවිට, එක් අතක කෙළවර සිට, අනෙක් අතේ කෙළවර දක්වා ඇති දුරට, වන්දි ගෙවන ලෙස. ඔහුටත් විශාල වන්දියක් ලැබුණා. 
   තුන්වැනි සොල්දාදුවා කිව්වා, තම පුරුෂ ලිංගය තිබෙන තැන සිට, වෘෂණ කෝෂ තිබෙන තැන දක්වා ඇති දුර මැන, වන්දි ගෙවන ලෙස.
  අපොයි බොහොම සරල ඉල්ලීමක්නේ කියමින්, පුදුමයට පත්වූ වන්දි ගෙවීමේ මණ්ඩලය, ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වුණා.
   වන්දි ගෙවීමේ මණ්ඩලය අදාළ ස්ථාන අතර පරතරය මනින්නට බලනවිට, පුරුෂ ලිංගය තිබුණත්, වෘෂණ කෝෂ තිබුණේ නැහැ.
   ‘කෝ ඔබේ වෘෂණ කෝෂ’ කියා මණ්ඩලය ඇසුවා.
   ‘ඒවා වියට්නාමේ’ අර සොල්දාදුවා උත්තර දුන්නා. 

කිඹුහුම
Missile   අවි ආයුධ තොගයක් පටවාගෙන ගුවන්ගතවූ හමුදා ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වුණා. යානය බේරා ගන්නට නම් එහි පටවා තිබුණු බඩු ඉවත් කරන්නට වෙනවා.
  නියමුවා කිව්වා, වහාම බඩු බිමට හෙලන ලෙස. බිම තිබුණු කැලෑ ප්‍රදේශ වලට බඩු එකින් එක හලමින් ආවා, අන්තිමට නාගරික ප්‍රදේශයකට ආවා.
  නියමුවා කෑගනනවා, ‘ඔක්කොම බඩු බිමට දාපල්ලා’ කියලා.
   අන්තිමට යානයේ තිබුන අත් බෝම්බත් බිමට දැම්මා, තුවක්කුත් බිමට දැම්මා, බොහොම බයෙන් මිසයිලයකුත් බිමට දැම්මා.
   බර අඩුවීම නිසා යානය කඩා නොවැටී බේරගන්න පුළුවන් වුණා.
   ගොඩ බැස්ස වහාම, නියමුවා සහ පිරිස, වාහනයක් අරං ආපහු ගියා, බිම දාපු දේවල් හොයන්න.
   පොඩි කොල්ලෙක් පාර අයිනේ අඬ අඬා, ඉන්නවා. ‘ඇයි පුතා’ කියලා ඇහුවම කිව්වා, කවුදෝ මට උඩින් එව්වා ගලක් වගේ එකක්, ඒක මගේ පිටේ වැදුනා කියලා. හොඳ වෙලාවට ඒ අත් බෝම්බේ පුපුරලා නැහැ.
   තව ටිකක් දුර යනකොට මිනිහෙක් කොන්ද අතගගා කුණුහරප කියමින් ඉන්නවා. මොකද කියලා ඇහුවම, කවුද එකෙක් මට තුවක්කුවකින් දමලා ගැහුවා කිව්වා.
  තවත් ඉස්සරහට යනකොට, කොල්ලෙක් හිනාවෙවී පාරේ දුවගෙන එනවා. ‘මොකද පුතා’ කියලා ඇහුවම කොල්ලා කියනවා,
   ‘මට එකපාරටම කිඹුහුමක් ගියා, එතකොටම මාත් එක්ක තරහ කොල්ලෙක් ඉන්න, අපේ ගෙවල් ළඟ ගෙදර, ගිනි ගුලියක් වෙලා නැතිවෙලා ගියා’ කියලා.

කාන්තාවන්ට සැලකීම 
   බොහොම කාලයකට පස්සේ, ඇෆ්ඝනිස්ථානයට පැමිණි සමාජ සේවිකාවක් දැක්කා, මහා පුදුමයක්. ඉස්සර ඇෆ්ඝනිස්ථානයේ විවාහක කාන්තාවන්, පාරේ ගමන් කරද්දී, තම සැමියාට වඩා අඩි පහක් විතර පසුපසින් තමයි ගමන් කරන්නේ. දැන් ඇෆ්ඝනිස්ථානු සැමියන්, තම බිරිඳට වඩා අඩි 20ක් විතර පසුපසින් යන්නේ.
   අර කාන්තාව පුදුමයට පත්වෙලා, ඇෆ්ඝනිස්ථානයේ දැනට සේවය කරන සමාජ සේවිකාවකගෙන් ඇහුවා, ‘කවුද මේ මහා විප්ලවය කළේ? පුදුමාකාර විදිහට දැන් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියනවා නේද? අපි මේ විප්ලවය කළ කෙනාට උපහාර දැක්විය යුතුයි, ඇත්තටම කවුද මේක කළේ’ කියලා.
   අර සමාජ සේවිකාව උත්තර දුන්නා ‘බිම් බෝම්බ’ කියලා. 
අදට ඔය මදෑ. තව ගොඩාක් තියනවා. පස්සේ බලමුකෝ.

2015 මැයි මස 1 දින 0024 පැය

09 May 2015

ගිනි කෑම සාධාරණද?

Solicitor-2
 ගිනි කනවා කියන යෙදුම, අපි කුඩා කාලයේ අහපු දෙයක්. මෙහිදී, ගිනි කෑම යනුවෙන් අදහස් කරන්නේ, නීතීඥයන් විසින්, තම සේවාදායකයන්ගෙන් ගාස්තු අයකිරීමයි. ඉතා ඈත අතීතයේ සිට, නීතීඥ ගාස්තු පිළිබඳව, මහජනතාවගේ මැසිවිලි අසන්නට ලැබෙනවා. ඉස්සර ලංකාවේ හිටිය සමහර නීතීඥවරු, ඉඩම් ඔප්පුවක් ලියන්න ගියාම, කරුණු නොතේරෙන අහිංසක ගැමියන්ගෙන්, 'මුද්දර ගාස්තු' යනුවෙන් එක වරක් සහ stamp fees යනුවෙන් තවත් වරක්, ගාස්තු අයකරගන්නවා කියා, මා කුඩා කාලයේදී අසා තිබෙනවා.

    මේ කෙටි ලිපිය ලියන්නට මා පෙළඹුණේ, අද, මමත් මගේ බිරිඳත් මුහුණ දුන්, එවැනි සිද්ධියක් නිසයි.

   අපි අද වාසය කරන්නේ මමත් මගේ බිරිඳත් මිලදීගත්, එකිනෙකට යාව පිහිටි කුඩා ඉඩම් කැබලි දෙකක, එක් කොටසක හැදූ නිවසකයි. මේ ඉඩම් දෙකම ගත්තේ බැංකු ණය ලබාගැනීමෙන්.

   දැනට වසර කීපයකට පෙර තමා, ඒ ණයෙන් නිදහස් වුණේ. තවමත් වැඩ අවසන් නැති අප නිවසේ, ඉතිරි වැඩ කටයුතු වලින් කොටසක් ඉටුකරගැනීම සඳහා, මගේ බිරිඳ, ඇගේ නමට ඇති ඉඩම් කැබැල්ල ඇපයට තබා, යළිත් ණයක් ගත්තා. මසකට රු 8000 කට මඳක් වැඩි වාරිකයක් ගෙවමින්, බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙමින්, ඒ ණයද දැනට මාස කීපයකට ඉහතදී අවසන් කරගත්තා.

   අපේ ඉඩමේ ඔප්පුව සහ ඇප ඔප්පුවද අපට ආපසු ලැබුණ අතර, බැංකුවෙන් අපට දැනුම් දුන්නා, ඇප ඔප්පුව නීතීඥයකු මගින් අවලංගු කරවාගන්නා ලෙස. මේ වැඩේ අපට අමතක වෙමින් තිබුණේ. අද හදිසියේම මතක්වුණා, මේ වැඩේ කරගත යුතුයි කියා. ඒ අනුව අපි දෙන්නා ගියා, කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ, කීර්තිමත් නීතීඥයකු ගේ කාර්යාලයට.

   අප එහි යනවිට නීතීඥ වරයා උසාවි ගිහින්. එහි වැඩකරන සේවිකාවන් දෙදෙනෙකු පමණයි සිටියේ. එක් සේවිකාවකට අපේ අවශ්‍යතාව දැන්වුවිට, 'මොහොතක් ඉන්න' කියා, ඒ වනවිට දුරකථන සංවාදයක යෙදීසිටි අනෙක් සේවිකාව වෙත, අපව යොමු කරනු ලැබුවා. අපට ඇහුම්කන්දුන් ඒ සේවිකාව, දුරකතනයෙන් යමෙකු අමතනු ලැබුවා. නමුත් ඒ අමතන්නේ නීතිඥයාව නොවන බවත්, එම කාර්යාලයේ වැඩ කරන වෙනත් අයකු හට බවත්, මට වැටහුණා. ඔවුන් කතාකළේ ගාස්තු ගැන පමණක් බවත් මට වැටහුණා.

   අප දෙදෙනාම ඉතා සරල ඇඳුම් වලින් සැරසී සිටිය නිසා, අර සේවිකාව හිතන්න ඇති, වෘත්තීය උපක්‍රම මගින් රවටාගතහැකි, වයසක යුවළක් කියා, අප දෙදෙනා. ඒ සේවිකාව අපට කිව්වා, 'වැඩේ කරදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රු 5000 ක් විතර යනවා, නමුත් මම කිව්වා, එච්චර සල්ලි නැති කට්ටියක් කියලා, ඒ නිසා රු 3000 කින් වැඩේ කරගන්න පුළුවන්' කියලා. එච්චර සල්ලි නැති කට්ටියක් වැනි කිසිදු දෙයක් ඇගේ දුරකථන සංවාදයේදී කියවුනේ නැහැ. ඇය මේ කරන්නේ, ඇය ලබා තිබෙන ඉහළම 'කපටි වෘත්තීය පුහුණුව' අනුව කරන රඟපෑමක් බව, මට වැටහුණා. මට එක්වරම වැටහුණා, මෙහි කුමක් හෝ වරදක් තිබෙන බව. ඒ සේවිකාව දෙස හොඳ නිරීක්ෂන්යෙන් සිටි නිසා, ඇගේ ඉරියව් තුළින්ම ඇගේ කපටි බව මට තේරුණා.

   මමත් ගොන් පාට් එකක් රඟපෑවා. මම ඇහුවා, 'මහත්තයා එන්න හුඟක් වෙලා යයිද මිස්' කියලා. 'පැයක් විතර යයි, ඊට කලින් එන්නත් පුළුවන්. එතකල් වාඩිවෙලා ඉන්නකෝ' කියා ඇය උත්තර දුන්නා.

   අපි මෙතනින් යමු කියා මා බිරිඳට ඉඟියෙන් කිව්වා. අර සේවිකාවට නොදැනීම, බළලා මල්ලෙන් එළියට පැන්නේ, අපි ආපහු යයි කියා සිතූ ඇය, 'වෙන තැන්වල මීට වඩා අයකරනවා' කීමෙන්. 'නෑ නෑ අපි බැංකුවට ගිහින්, සල්ලිත් අරං එන්නම්' කියා අපි දෙන්නා එතනින් එළියට බැස්සා.  'දැන් මොකද කරන්නේ. හරියට ඉඩමක් ලියනවා වගේ වැඩක්නේ මේක' කියා බිරිඳ කිව්වා.

   ඔන්න මෙච්චර වෙලා අමතකව තිබුණු, කල්‍යාණ මිත්‍ර සබඳතාවක්, ඔලුවේ විදුලි කෙටුවා මගේ. (නෑ නෑ අපේ කල්‍යාණ මිත්‍ර නෙවෙයි) මගේ යාලුවෙක් ඉන්නවා, 'ඉඩම් සේල් හෙවත් ලෑන්ඩ් වෙන්දේසි' කරන. 'අනුමානයක් නෑ ඔය යකා දන්නවා ඇති, මේ වැඩේ, දෙකයි පණහක් ගෙවලා කරන හැටි' කියලා මට හිතුණා.

   මම ගත්තා දුරකථන ඇමතුමක්. '..........' මහත්තයා, මට ලොකු උදව්වක් ඕනේ' කිව්වා. අප්පොච්චියේ..... මිනිහා බයවුණා. මෙච්චර කාලෙකට මම සත පහක උදව්වක් ඉල්ලලා නැති නිසා, මිනිහා හිතුවේ, මම මහා අමාරුවක වැටිලා කියලයි. 'ඇයි ඇයි, '..........' මහත්තයා. හදිස්සියක්ද? කොහෙද ඉන්නේ, කියන්න මම එන්නම්' කියලා මිනිහා කිව්වා. මම කිව්වා නෑ නෑ කලබල වෙන්න එපා, මෙන්න මේකයි කාරණේ කියලා. මිනිහට හිනා ගියා. මිනිහා කිව්වා, අයියෝ '........' මහත්තයා. දැන්ම එන්න අපේ ඔෆිස් එකට. එතන ඉන්නවා අපේ ඉඩම් ගැන කටයුතු කරන නීතීඥයා. මම ඉන්නේ අපි අලුතෙන් කඩන ඉඩමක. මම එයාට කෝල් එකක් දාලා කියන්නම් මහත්තයා එනවා කියලා. යන්නකෝ එතෙන්ට' කියලා.

   ඔන්න අපි දෙන්න එතනට ගියා. බුදු අප්පොච්චියේ.......... ඒ නීතීඥයා, මම හමුදා සේවයේ යෙදී සිටියදී, විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙක්. මගේ පරණ මිත්‍රයෙක්. මම දන්නේ නැහැ ඔහු දැන් මේ වගේ තැනක ඉන්නවා කියා. හා...ලෝ... '..........' කියලා, මගේ පැරණි නිළ නාමයෙන්ම මාව අමතා, අතට අත දුන්නා. මම කිව්වා මගේ අවශ්‍යතාව. 'සිම්පල් වැඩක්නේ' කියා කිව්වා ඔහු. ලාච්චුව ඇර, රු 10 මුද්දරයක් එළියට ගෙන, ඇප ඔප්පුවේ ඇලෙව්වා. මගේ බිරිඳගෙන් ඇහුවා, 'ඔප්පුවේ නම් ගම් නිවැරදියි නේද නෝනා' කියා. ඇය කිව්වා නිවැරදියි කියා. 'හරි, එහෙනම් මට දෙන්න ටෙලිෆෝන් අංකය, වැඩේ ඉවරකරලා මම කියන්නම්, අද සිකුරාදානේ, බදාදට ගන්න පුළුවන්' කියලා කිව්වා. මම දුරකථන අංකයත් දීලා, මුදල් පසුම්බිය අතට ගන්නකොටම ඔහු කිව්වා, කිසිදු මුදලක් අවශ්‍ය නැති බව.

   නමුත් ඔප්පුව ගන්න යන දවසට, බලෙන් හෝ කීයක් හරි දෙන්න මම හිතාගත්තා.

   ඇත්තටම අහිංසක මිනිසුන්ගෙන් මෙලෙස මුදල් ගසාකෑම වෘත්තීය සදාචාරට පටහැනි නොවේද? ආදායම් බදු නඩුවලටත් පෙනීසිටින නීතීඥයන්, තමන් උපයන ආදායමෙන් බදු ගෙවනවාද? මටනම් ඇතිවුණේ කලකිරීමක්.

   මෙලෙස කටයුතු කරන අයත්, මේ රටේ, ටයි කෝට් ඇඳගෙන උසාවියටත් යනවනේ, කියා මට සිතුණේ, ආපසු එන අතරෙදියි. 



2015 මැයි මස 09 වැනි දින 0024 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }