හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (තුන්වැනි කොටස)

   ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා නොසිටි සමහර කරුණු ද, මේ කොටසට ඇතුලත් කරන්න සිදුවුණා. 

   මේ කොටස ආරම්භයේදීම, ඔබට AK 47 තුවක්කුවේ කොටස් සහ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබා දියයුතුයැයි මා සිතුවා. ඒ නිසා, අපි මුලින්ම, මේ අවියේ කොටස් හඳුනාගනිමු.



   හොඳයි, බොහොම සංකීර්ණයි වගේද පෙනෙන්නේ? ඇතුලේ කොටස් මොකුත් නැතුව, බාහිර පෙනුම විතරයි මෙතන පෙන්නන්නේ. ඔක්කොම කියන්න ගියොත් මෙන්න මේ වගේ සංකීර්ණයි.




  මේ ඔක්කොම ඕනේ නැහැනේ? මොකද විභාගයකට ඉගෙනගන්නවා නෙවෙයිනේ.  ඒ වගේම හොඳින් බලන්න, ඉහත පින්තූරය සහ මේ පින්තූරය අතර, කොටස්වල නම් ලිවීමේදී, වෙනසක් තියනවා. මා ලියා තිබෙන්නේ, අපේ රටේ පුහුණුවේදී කියන නම්. 

   ඉහත පින්තූරයේ තියන කොටස් වලින් මොනවද වෙන්නේ කියා, කෙටියෙන් සරලව කියන්නම්.

  • බට් ප්ලේට් = තුවක්කුවේ මිටේ පසුපසින්ම සවිකර තිබෙන මේ ලෝහ තහඩුවෙන් තුවක්කු මිටේ ලීය ආරක්‍ෂා වෙනවා. මේකේ පොඩි දොරක් තියනවා. තුවක්කුව පිරිසිදු කිරීමේ උපකරණ තියෙන්නේ ඒ දොර ඇරියම, තුවක්කු මිට ඇතුළේ.


  • බට් = තුවක්කු මිට. ලීයෙන් හදලා තියෙන්නේ. විවිධ මෝස්‌තර අනුව මෙහි හැඩය සහ සාදා ඇති ද්‍රව්‍යය වෙනස් වෙනවා.


  • රිලීසිං කැච් = ඒ කියන්නේ තුවක්කු බඳෙන් එලියට ඇවිත් තියන අර පුංචි හතරැස් බොත්තම. මේක ඔබලා, ඊට ඉහලින් තියන රිසීවින් කවර් එක හෙවත්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් වැසී තිබෙන ආවරණයත්, තුවක්කුවේ රිටන් ස්ප්‍රින් යනුවෙන් හඳුන්වන දුන්න සහ, පිස්ටන් බ්ලොක් එකත් ගලවන්න පුළුවන්. (ඇයි ගලවන හැටි පහුගිය කොටසේදී වීඩියෝ එකකින් කියලා දුන්නනේ) 






  • සිලෙක්ටර් = ඒ කියන්නේ, වෙඩි තැබීම සහ අගුලු දැමීම කරන පාලකය. මෙය ඉහලටම එසවූ විට, තුවක්කුව අගුළු වැටෙනවා. පහතට එක වරක් දැමුවිට, ස්වයංක්‍රීය තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ, නොකඩවා සියලුම පතරොම් වෙඩි තැබිය හැකියි. තවත් වරක් පහතට දැමුවාම, අර්ධ ස්වයංක්‍රීය තත්වයට එනවා. එවිට, තුවක්කුවේ කොකා මිරිකන සෑම වාරයකටම, එක් පතරොම බැගින් පත්තු වෙනවා. 








  • රියර් සයිට් = මෙයින් තමයි වෙඩි තැබීමේ දුර සකසාගැනීම සහ ඉලක්කය ගැනීම සිදුකරන්නේ. 






  • අපර් හෑන්ඩ් ගාඩ් = තුවක්කුව හොඳින් ග්‍රහණය කරගැනීමට මේ කොටස උදව් වෙනවා.

  • ගෑස් වෙන්ට්ස් = මෙයින් කරන්නේ පතරොමකින් නිකුත් කෙරෙන අධික වායු පීඩනයෙන්, කොටසක් මුදා හැරීමයි. තුවක්කුව තුළ අනවශ්‍ය වායු පීඩනයක් ඇතිවීම වලකිනවා.

  • ගෑස් ටියුබ් = මෙතන විශ්මයජනක ක්‍රියාවක් සිද්ධ වෙනවා. පතරොමක් පත්තුවී ඇතිකරන මහා වායු පීඩනයෙන් කොටසක්, තුවක්කු බටය දිගේ උණ්ඩය ඉදිරියට තල්ලු කරගෙන යන අතර, මෙතනදී එම අධික වායු පීඩනයෙන් කොටසක්, ගෑස් ටියුබ් එක දිගේ ඉහලට ගොස්, ගෑස් චේම්බරයට යනවා. එය කොපමණ අධික පීඩනයක්දැයි කිවහොත්, තුවක්කුවේ පිස්ටනය, සම්පූර්ණයෙන් පසුපසට තල්ලුකර යවනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි, ඊළඟ පතරොම පත්තුවීමේ ක්‍රියාවලිය, ස්වයංක්‍රීයව සැකසෙන්නේ.

  • ෆෝ සයිට් පිලර් = රියර් සයිට් එකෙන් විතරක් ඉලක්කය ගන්න බැහැනේ. වෙඩි තබන්නාගේ ඇස, රියර් සයිට් එකේ අර කට්ටය, (බැට්ල් හෝල්) එක, ෆෝ සයිට් පිලර් එක තුළ තිබෙන ෆෝ සයිට් ටිප් එක, ඉලක්කය, කියන ඔක්කොම, එකම සරල රේඛාවක සමපාතව පිහිටන්න ඕනේ, නිවැරදිව ඉලක්කය ගන්න නම්. 




  • මස්ල් = තුවක්කු කට 
  • ක්ලීනින් රොඩ් = තුවක්කු බටය පිරිසිදු කරන කූර


  • බේනට් = බයිනෙත්තුව (මෝස්‌තර කීපයක් තියනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ මේ මෝස්තරය. මෙය තුවක්කු බටය යට පිහිටන සේ නවන්න පුළුවන් අවශ්‍යවිට.) 


  • බැරල් = තුවක්කු බටය 
  • ෆෝහෑන්ඩ් ගාඩ් = මෙතනින් තමයි වෙඩි තියනවිට ඉදිරියට යොමුවන අතින් තුවක්කුව අල්ලාගන්නේ. 
  • මැගසින් = පතරොම් ගැබ. මෙහි පතරොම් 30 ක් පිරවිය හැකියි. පොඩ්ඩක් බලන්නකෝ පුරවන හැටි. හැබැයි මෙයා පුරවන්නේ, ලෙඩ කපුටා වැල ගිලින වේගෙන්. යුද්දෙදි අපේ කොල්ලෝ පුරවන්නේ, ඇහිපිල්ලම් ගහන වේගෙන්. 




   පතරොම් දැම්මා වගේ නෙවෙයි ඒවා අයින් කරන හැටිත් දැනගන්න එපායැ. ඔන්න බලාගන්න, කොහොමද පතරොම් ඉවත්කර තුවක්කුව ආරක්ෂක තත්වයට ගන්නේ කියලා. මේ වීඩියෝව පසුව එකතු කළේ , 
ගේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි.




  • මැගසින් කැච් = මැගසින් මාරුකරන්න මේක ඉදිරි පැත්තට මිරිකලා මැගසින් එක ගලවන්න පුළුවන්.


  • ට්‍රිගර් ගාඩ් = තුවක්කුවේ කොකාගේ ආරක්ෂාවට තියන යකඩ පටිය.

  • ට්‍රිගර් = තුවක්කුවේ කොකා 

  • පිස්ල් ග්‍රිප් = මේක හරියට පිස්තෝලෙක මිට වගේ නේද? ඒකයි මේ නම කියන්නේ. තුවක්කුව අල්ලාගන්නා අත් දෙකෙන්, පසුපස තියන අතින් තමයි, මෙතන අල්ලාගන්නේ.

  • ස්වයිවල් රිං = තුවක්කුව එල්ලාගෙන යන පටියේ එක කොනක් මෙතනට හයිවෙනවා. එතන දිගටි හැඩයේ මුද්දක් තියෙන්නේ. 

   දැන් හරි නේද කෑලිටික? දැන් පොඩ්ඩක් බලමුද ඔය කෑලිටික එකතුවෙලා, මේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව නොවරදවාම බලන්න.




   මේ තුවක්කුවේ ගතිලක්‍ෂණ, Characteristics දැනගැනීම තමයි, ඊළඟට වැදගත් වෙන්නේ. මෙන්න ඒ විස්තරය. වැදගත්ම කරුණු පමණයි.


  • වර්ගීකරණය = ප්‍රහාරක රයිෆලය 
  • මෝස්තරය = AK 47 
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග = මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර = කි.ග්‍රෑම් 3.7 
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර කි.ග්‍රෑම් 4.75 
  • තුවක්කු බටයේ දිග = මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය = 7.62 x 39 මි.මී. 
  • යොදවන පතරොම් වර්ග = 
  • (1) 7.62 x 39 සාමාන්‍ය, 
  • (2) 7.62 x 39 Armour Piercing = සන්නාහ විනිවිද යන, 
  • (3) 7.62 x 39 Incendiary = ගිනි අවුළුවන, 
  • (4) 7.62 x 39 Tracer = රාත්‍රී කාලයේදී ඉලක්ක පෙන්වන.
  • (5) 7.62 x 39 Blank = පුහු පතරොම් 
  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය = වායු පීඩනයෙන් ක්‍රියාත්මක. කරකැවෙන බෝල්ට් ක්‍රමය Gas operated, rotating bolt 
  • වෙඩි තැබීමේ වේගය = විනාඩියකට උණ්ඩ 600 යි. 
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය = තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර = මීටර් 350 

   මේ තුවක්කුව,  වෙනත් සංග්‍රාමික ක්‍රියාකාරකම් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, මේ තුවක්කුව බෝම්බ විදිනයක් ලෙස පාවිච්චි කිරීම. මේ සඳහා යම්කිසි වෙනස්කමක් කරන්න වෙනවා. පහත වීඩියෝ වලින් ඔබට එය කරන ආකාරය බලන්න පුළුවන්.






   
   මේ අවියට සයිලන්සරයක් සකස් කරන්න, ලෝකයේ විවිධ රටවලදී උත්සාහ ගෙන තිබෙනවා. අපේ විශ්වකර්ම දොස්තර මහතාත්, මෙය සාර්ථකව කර තිබෙනවා. නමුත් එය දකින්න නොලැබීම, අපේ අවාසනාවක්. මේ බලන්න එලෙස ගෙදර හදපු සයිලන්සරයක ක්‍රියාකාරිත්වය. 



   හොඳයි, පසුගිය ලිපියේදී මම ඔබට කිව්වා, මේ තුවක්කුවට නෑදෑයන් ඉන්නවා කියා. ඒ අය අතරින් ළඟම නෑයන් දෙදෙනෙකු පමණයි, මා ඔබට හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් 25 කට වඩා ඉන්න නෑයන් ගැන කියන්න ගියොත්, තව ලිපි 25 ක් ලියන්න වෙයි.

T 56 ප්‍රහාරක රයිෆලය 

   චීනයේ නිෂ්පාදිත මේ රයිෆලය, 1956 වර්ෂයේදී තමයි, භාවිතයට ගෙන තිබෙන්නේ. ඒ නිසයි මෙය, Type 1956 හෙවත් T 56 යනුවෙන් හඳුන්වන්නේ. මුලදී නම් මෙය, සෝවියට් AK 47 අවියේ ගෙඩිපිටින් කොපියක් ලෙසයි නිපදවා තිබෙන්නේ. අද මෙය අතිසාර්ථකව නිෂ්පාදනය වන ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් තියන අවියක්. අපේ ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරන්නේ මේ අවියයි. චීනයේ නොරින්කෝ සමාගමයි මේ අවිය නිපදවන්නේ. ගති ලක්ෂණ 99% ක් AK 47 ට සමානයි.




T 81 ප්‍රහාරක රයිෆලය 

   මේ අවියත් චීනයේ නිෂ්පාදනයක්. 1981 දී තමයි භාවිතයට ගෙන තිබෙන්නේ.  ඒ නිසයි T 81 යනුවෙන් හඳුන්වන්නේ. මූලික න්‍යාය AK 47 ම තමයි. සියලුම කොටස් ඒ හා සමානයි. තුවක්කු බටයේ සැකැස්මේ සුළු වෙනසක් තියනවා. එමෙන්ම මේ අවියේ සිලෙක්ටරය, ඉතා කුඩාවට අවියේ වම් පැත්තේ සවිකර තියනවා. මේ නිසා වැරදීමකින් තුවක්කුව පත්තුවීමේ අවදානම වැඩියි. එසේ සිදුවූ අවස්ථා මා දැක තිබෙනවා.  AK 47 ට සහ T 56 ට වඩා බරෙන් වැඩියි. ගැස්සීමත්, ශබ්දයත් වැඩියි. මේ අවියත් අපේ ත්‍රිවිධ හමුදාවල තියනවා. නමුත් දැන් භාවිතය බොහොම අඩුයි. 






   දැන් ඉතින්, මේ ලිපි මාලාවේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ.

   ලෝක සංග්‍රාමික භූමියේ විප්ලවයක් කල, විශ්මයජනක අවියක් ගැනයි අපි මේ ලිපි මාලාවෙන් කතාකලේ.

   ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල්  කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්,  සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා.  ඔහු, මේ අවිය, තම ජාතියේ නිදහස වෙනුවෙන් නිපදවා පරිත්‍යාග කළා විනා, එයින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ, සැබෑ දේශමාමක නිලධාරියකු බව, මෙහිදී අවධාරණය කලයුතුයි.

   ඔහුට ලබාදියහැකි උපරිම ගරු සම්මාන සෝවියට් දේශය විසින් ලබාදුන් අතර, ඔහුගේ කියමන් පවා, ආදර්ශ පාඨ ලෙස, ප්‍රචලිතව තිබෙනවා. එයින් එක් කියමනක් මෙහි දක්වමින්, මේ ලිපිමාලාව මෙතෙකින් අවසන් කරනවා.



2016 ඔක්තෝබර් මස 10 වැනි දින 0033 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }