හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 November 2015

නරලොව හොල්මන් දැකලා තියනවද?

56
ඔව් ඉතින්, එදත් අදත් අපි, නොයෙක්විට, විවිධාකාර හොල්මන් දකිනවනේ. එදා අපේ කාලෙත්, පාරේ යනකොට දකින සමහර අය, මනුස්සයෙක්ද හොල්මනක්ද කියලා හිතාගන්න බැරි අවස්ථා තිබුනා. ඉතින් අදත් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. වැඩේ කියන්නේ, පණපිටින් ඉන්න මනුස්ස පරාණ, හොල්මන් වගේ පෙනෙන එකයි. බොහෝවිට ඒ සඳහා බාලපාන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් සහ බාහිර පෙණුමයි. 'අඳින්න මිනිගවුම අඳින්න' කියලා ඇන්ටන් ජෝන්ස් කියන සින්දුවෙත්, මිනි සහ මිණී දෙක පැටලිලා සිද්ධවෙන අවුලක් ගැන කියනවා නේද?



Scan_20151027_104524   හොඳයි, මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබවෙත ගෙන එන අසහාය ලේඛක, චන්ද්‍ර අනගිරත්න මහතාගේ, 'නරලොව හොල්මන්' කෘතිය ගැන කතා කරන්නයි. අපි පාසල් සිසුන් ලෙස, එතුමාගේ නිර්මාණ රසවිඳි ආකාරය තවමත් මතකයි. 'සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම' හෙවත්, 'දවස නිවස' වෙතින් පළකෙරුණු, සති අන්ත පුවත් පතක් වන, 'රිවිදින' පුවත්පතේ පළවුණු, හාස්‍ය රසයෙන් අනූන මෙම නිර්මාණ, එකල අපේ සිත් තදින්ම බැඳගත් බව, නොකියාම නොහැකියි. ලංකාවේ ඉරිදා නිවාඩු දිනය වෙනුවට, පෝය දින නිවාඩුව ක්‍රියාත්මක වීමෙන් පසු, රිවිදින පුවත්පත 'රිවිරැස' යනුවෙන් නම් කෙරුණා.

   මෙහි මා දක්වන එතුමාගේ ලිපි එකතුව, එසේ පසුකාලීනව රිවිරැස පුවත්පතට ලියන ලද ලිපි බව මෙම කෘතියේ සඳහන් වෙනවා.

Scan_20151027_104343

Scan_20151027_103503    මෙය, මෙතුමාගේ ලිපි එකතු වශයෙන් පලකළ, තුන්වැනි කෘතියයි. මෙහි 1 සහ 2 කොටස් සොයාගන්නට, මට තවමත් නොහැකි වුන බවත්, කණගාටුවෙන් සඳහන් කරනවා. ඒ කාලයේ, මෙම ලිපි, සති අන්තයේ පළවූ පසු, ඉතා පුළුල් ලෙස, එම ලිපි පිළිබඳව, සමාජයේ කතාබහට ලක්වුණා. එයට ප්‍රධාන වශයෙන් හේතුවුණේ, රූපවාහිණිය එකල මේ රටේ නොතිබීම, ගුවන්විදුලිය සීමිත පිරිසකට පමණක් අසන්නට ලැබීම, ග්‍රාමීය ජනතාව පවා, සෑහෙන දුරට පුවත්පත් කියවීම, යන සාධකයි. මෙම ලිපි වලින්, ඉතා ගැඹුරු දේශපාලන ප්‍රහසන, සමාජ ප්‍රහසන, කාලීන සමාජ ගැටළු, මොනවට නිරූපණය කෙරුණා. ඒ නිසාම, ඒ ලිපි තදින් ග්‍රහණය කරගන්නට, ජනතාව පෙළඹුණා යයි කීම නිවැරදියි.

   එතුමාගේ සමහර ලිපි සමහරෙකුට පිස්සු විකාර මෙන් පෙනෙන්න ඇති. ඒ නිසා එතුමා මේ පොත මෙන්න මේ ආකාරයට පිළිගන්වා තිබෙනවා. 



Scan_20151027_103944



   චන්ද්‍ර අනගිරත්න මහතා සෑහෙන ග්‍රන්ථ සංඛ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා. මේ බලන්න.


Scan_20151027_104204

   ශ්‍රී ලාංකීය සමාජයේ පැවැත්ම ගැන සලකා බැලීමේදී, මේ ලිපිවලින් බහුතරයක්, සර්වකාලීන වටිනාකමකින් යුක්ත බව, නොකියාම බැහැ. නරලොව හොල්මන් 3 කෘතියෙන් උපුටාගත් ලිපියක්, ඔබ වෙත ඉදිරිපත් කරන්නට මා සිතුවේ, වර්තමානයේදී අපේ සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්, එදත් සාකච්ඡාවට භාජනය වී තිබුණු ආකාරය ඔබට පෙන්වා දෙන්නටයි. මේ දිනවල, ජනමාධ්‍ය, නීතිය, පොලීසිය, මහජනතාව සම්බන්ධ විවිධ දේශපාලන මතිමතාන්තර කැටිවූ ලිපි, පුවත්පත්වල මෙන්ම අන්තර්ජාලයේත් දකින්නට ලැබෙනවා. බලන්න පහතින් දක්වා ඇති ලිපිය, මා ඉහත සඳහන් කලාක් මෙන්, සර්වකාලීන වටිනාකමක් නැද්ද කියා. 



Scan_20151027_105330Scan_20151027_105517Scan_20151027_105759Scan_20151027_105942Scan_20151027_110126Scan_20151027_110304Scan_20151027_110439


ඔන්න ඔහොමයි චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ කතා.

2015 නොවැම්බර් මස 07 වැනි දින 2301 පැය 

04 November 2015

විදුලිබල මණ්ඩලේ සූප්පුව නැතිකළේ කවුද යකෝ.....


An_electrified_skeleton_111024-213519-049009
   මේ ලිපිය කියවීමෙන් පසු, සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියේ  මෙන්න මේ ලිපිය කියවන්න.

   මුන්ට හෙන හතම වදින්න ඕනේ. කවුද අසමජ්ජාතියෙන් විදුලි මළබන්ඩලේ බලමණ්ඩලේ සූප්පුව නැති කරලා. ඒකෙන් වෙලා තියෙනේ තරුණ ජීවිත තුනක් නැතිවෙලා. අර ගාල්ලේ ගිංතොට පැත්තේ දී අධිබල විදුලි කම්බියක් (රැහැනක්/බහනක්) මණ්ඩලේ බානක් ද? කඩා වැටීම නිසා. මණ්ඩලේ කට්ටිය තම රැකියාවේ/වෘත්තියේ/සේවයේ වගකීම පැත්තක දාලා, රැකියාවේ ප්‍රතිලාභ කියන සූප්පුව උර උරා ඉන්න අතරේ, කවුද එවුන් වගයක් කෝල් එකක් දාලා කියලා, ගිංතොට මහා විදුලි ගිනිවිජ්ජුම්බරයක් කියලා. යන්තං පැයකට විතර පස්සේ, එම වීර විදුලි හමුදාව ඇවිත්, අර මැරිච්ච එවුන්ගේ මිනීටික පටවන්න උදව් වෙලා.

   අම්මප අපි මල් තියන්න, ඕනේ මෙහෙම වීරයන්ට -  රඟ රඟ ටං, රඟට ටකං......

   මණ්ඩලේ කියන්නේ, විදුලි කණුවක ගිය ලේනෙක්, රැහැන් අස්සේ හිරවීමෙන්, පද්ධතිය ලුහුවත් වෙලා, ගිනි ගැනීමෙන් රැහැන කඩා වැටුනා කියා. පද්ධතියද පොට්ටනියද, ලුහුවත් ද නිරුවත් ද අපි දන්නේ නෑ. අනේ මුන්දලාගේ මෑණියන්දෑලාට, සෑම නියං සමයකදීම වැහි ලැබෙන්න, ඉතිං කොහොමද අප්පේ ඔය ලේනෙක් හරි මණ්ඩලේ කාගෙහරි (ගෙදරක ඉන්න) මීයෙක් හරි ගෑවිච්ච ගමන්, මෙව්වා ගිනිගන්නේ? එහෙනං රටේම ඉන්න ලේන්නු, මීයෝ, කාක්කෝ පරෙයියෝ, වවුල්ලු, ඔක්කොම මරන්න ඕනේ මහජනතාවගේ ජීවිත රැකගන්න.

  • අපේ රටේ විදුලිය බෙදා හැරීමේ පද්ධති මේ තරම් අනතුරුදායක ඇයි?

  • සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා පද්ධති බිඳවැටීම්/ගිනිගැනීම් නවත්වන්න ක්‍රමයක් නැද්ද?

  • අපි තවමත් පාවිච්චි කරන්නේ පැරණි ක්‍රම නොවේද?

  • හදිසි අවස්ථාවක දී විදුලිබල මණ්ඩලය එම ස්ථානයට පැමිණෙන්නට මෙපමණ ප්‍රමාදවන්නේ ඇයි?

  • හදිසි අවස්ථා ක්‍රියාමාර්ග යනුවෙන් සැලැස්මක් විදුලිබල මණ්ඩලය සතුව තිබේද? 

  • එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධ පෙරහුරු පවත්වනවාද?

  • විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශවල සේවකයන් රාත්‍රී කාලයේදී බීමත්ව ඉන්නවා කියන්නේ ඇත්තද? 

  • ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර මොනවාද?

   රන්ජිත් සියඹලාපිටිය ඇමෑත්ත තුමෝ, පෞද්ගලිකව දන්නා හඳුනන නමුත්, මෙව්වා ඒ ආකාරයට විසඳන්න බැරි නිසා, මෙසේ ලියා දන්වමි. 

   පසුව එකතු කිරීම. මෙන්න මේ ලිපියත් කියවන්න.

2015 නොවැම්බර් මස 04 වැනි දින 1314 පැය 

03 November 2015

මන්ත්‍රීවරු වෙඩි තියයිද?


Target
   සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි ලබාගත් මන්ත්‍රී වරුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ගිනි අවි පුහුණුව ලබාදීම ආරම්භ කර ඇති බවත්, (එක මන්ත්‍රී කෙනෙකුට, වෙඩි තැබීමේ පුහුණුවේදී, තම පිස්තෝලය හරිහැටි ග්‍රහණය කරගන්නට නොහැකිවීම නිසා, හතර අතට වෙඩි වදින්නට ගොස්, විශේෂ කාර්ය බලකායේ පුහුණු උපදේශකයින් විසින්, මහ අනතුරක් යන්තම් වලක්වා ගත් බවත්, මාධ්‍ය වල පළවුනා)

   මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදීම අත්‍යවශ්‍යම දෙයක්ද? ඔවුන් ඉන්නේ දැඩි ජීවිත තර්ජනයක් තුළද? මේ පිළිබඳව කරුණු කීපයක් තමා, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙය හැකිතරම් කෙටියෙන් අවසන් කරන්නේ, ඔබේ අදහස් වලට වැඩි ඉඩකඩක් දෙන්නයි. 

   පසුගිය ඊලාම් යුද සමයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදී තිබුණා. නමුත් මා දන්නා තරමින්, කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට තම ගිනි අවිය පාවිච්චි කරන්නට අවස්ථාවක් උදාවුනේ නැහැ. විශේෂයෙන්, පාර්ලිමේන්තු පාරේ, රාජගිරිය ප්‍රදේශයේ දී, පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවී ආපසු එන, මැති ඇමතිවරුන් ඉලක්ක කරගෙන, LTTE  ත්‍රස්තවාදීන් විසින් එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරයේදී වත්, මන්ත්‍රී වරුන්ට තම ගිනි අවි පාවිච්චි කරන්න සිදුවුනේ නැහැ.  

   ඒ ප්‍රහාරයේදී, මොළය පාවිච්චි කළ ඉහළ හමුදා නිළධාරියෙක්, මැති ඇමතිවරුන් පිටත්වී ගියාට පසු, එතනින් පරෙස්සමෙන් පිටවුනේ, තම නිළ රථය වෙනුවට, හමුදා මෝටර් සයිකලයක නැගී යාමෙන්. ඒ වෙලාවේ ඔහු අතේ පොලු කෙටියක්වත් තිබුනේ නැහැ.
   
   මේ කතාව මම කිව්වේ, මේ මැති ඇමති පිස්තෝල ගැන, තවත් පැත්තක් කියන්නයි. දැන් මේ පිස්තෝල පාවිච්චි කරන්න, මේ මැති ඇමතිවරුන්ට ලැබේ යයි, උපකල්පනය කළහැකි අවස්ථා මොනවාද?

   පාරවල් හරස්කර, විවිධ ප්‍රදේශවල මහජනතාව, තම දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා කරන උද්ඝෝෂණයක් තිබෙන ස්ථානයක් පසුකරයාම සඳහා, මහජනතාව බියවැද්දීමට.

   විශ්වවිද්‍යාල සිසුන් පාරවල් අවහිරවන ආකාරයට පවත්වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට.

   වෘත්තීය සමිති මගින්, කොටුව දුම්රියපොළ වැනි ස්ථානවල පවත්වන උද්ඝෝෂණ, මැඩපැවැත්වීමට.

   විරුද්ධ පක්ෂ වලට අයත් ක්‍රියාකාරීන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් බිය වද්දා මැඩපැවැත්වීමට.

   මැතිවරණයකදී ඡන්ද මංකොල්ලකෑමට.

   තමන් කොමිස් ගහන, ඩීල් දමන, අවස්ථාවල ඇතිවන දුෂ්කර කඩඉම් පන්නාගන්නට.

   පොදුවේ මහජනතාව බියවැද්දීමට.

   නිකං සෝබනේට යන යන තැන අරන් යන්න.

  මන්ත්‍රීවරුන්ගේ පුත්තු, මේ ගිනි අවි අරගෙන, පාටි/ක්ලබ්/කැරොකී/විනෝද සංචාර/ ආදියේ යෙදෙන්නට වුනොත්, ජනතාවටත් තුවක්කු අතට ගන්න වෙනවා. 

   සාමාන්‍යයෙන් පිස්තෝලයක් හෝ රිවෝල්වරයක් පාවිච්චි කරනවානම්, එය මන්ත්‍රී වරයකුගේ බ්‍රීෆ්කේස් එකේ හෝ මන්ත්‍රී වරියන්ගේ ගමන් බෑග් එකේ තියාගෙන හරියන්නේ නැහැ. හදිසියකදී එය සොයාගන්නට උත්සාහ කරන අතරේ, සතුරා මන්ත්‍රී වරයාගේ ඔලුව කුඩුකර අවසන් වෙනවා. ඒ නිසා, එක්කෝ තම ගිනි අවිය හොල්ස්ටර් holster එකක දමා ඉනේ හෝ උරහිසේ, පැළඳගත යුතුයි.


Holster


   නමුත්, ජාතික ඇඳුම අඳින මන්ත්‍රී වරුන්, මෙහිදී අමාරුවේ වැටෙනවා. මන්ද, ජාතික ඇඳුමේ උඩ කොටසට යටින්, මෙලෙස පිස්තෝලය තබා ගත්තොත්, හදිසියකදී එළියට අදින්න අමාරුයි. උරහිසේ පළඳින හොල්ස්ටර් එකකින් නම්, කොහොමවත් ගන්න බැහැ. ඒ නිසා එවැනි අයට, පාදයේ පහළ කොටසේ පළඳින හොල්ස්ටර් එකක් ankle holster පාවිච්චි කරන්නයි වෙන්නේ.


Ankle Holster


   කෙසේ වෙතත්, මන්ත්‍රී වරියන් මෙහිදී අමාරුවේ වැටෙනවා. ඔවුන් බොහෝවිට අඳින්නේ සාරිය නිසා, ankle holstar එකක් පැළඳ සිටියත්, සාරිය උස්සා, පිස්තෝලය අදින්න පහසු නැහැ. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ, මයික්‍රෝ පිස්තෝලයක් ලබාගෙන, එය තම දෙපියයුරු අතර සඟවා තබාගැනීමයි. සාරි අඳින අයට, මෙතනදීත් ගැටළු මතුවන්න පුළුවන්.


Micro Pistol


   හොඳයි, පිස්තෝලය මොන #@$* හරි, ගහගෙන හරි යනවා කියමුකෝ. අපිට වැඩක් නැහැනේ. කොහොම හරි ඇදලා ගන්නවා කියලත් හිතමුකෝ. නමුත් පිස්තෝලයකින් වෙඩි තැබීම, තුවක්කුවකින් වෙඩි තැබීමටත් වඩා අමාරු, සුළු අත්වැරදීමකින් පවා, මහා විනාශයක් වියහැකි දෙයක් බව,  ඔය මන්ත්‍රීවරුන්ට, අර පුහුණුවේදී කියා දෙනවාදැයි මා දන්නේ නැහැ. වෙඩි තැබීමේදී සෑම ගිනි අවියක්ම ගැස්සෙනවා. එවිට තුවක්කු කට වෙනස්වන කෝණය අනුව වෙඩිල්ල ගමන් කරන මාර්ගය වෙනස් වෙනවා. ඒ තත්වය, පිස්තෝලයකදී බොහොම වැඩියි. ඒ නිසා, වෙඩිල්ල වැරදි මාර්ගයක යන්නට ඇති ඉඩකඩ, බොහොම වැඩියි. 


Holding


   පිස්තෝල හරඹය හරියට කරන්න නොදන්නා මන්ත්‍රීවරයකු, සෙනග ගැවසෙන ස්ථානයකදී, තම පිස්තෝලය පාවිච්චි කරන්න යාමේදී, මොන මොන ජංජාල කරගනියිද කියා කියන්න බැහැ. ඒ නිසා, මෙය ඉතා භයානක කාරණයක්. අපි මොහොතකට හිතමුකෝ, අනාගතේදිවත්, මන්ත්‍රීවරුන්ට පිස්තෝල පාවිච්චි කරන්න අවස්ථා උදාවෙයි කියලා. සාමාන්‍යයෙන් වෙඩි හුවමාරුවකදී, එක තැන ඉඳගෙන නෙවෙයි වෙඩි තියාගන්නේ. ඔබ එය හොඳින්ම දන්නවා. අඩුම ගණනේ චිත්‍රපටි වලින් වත් දැකීමෙන්. න්‍යාය අනුව මෙය හඳුන්වන්නේ, 'වෙඩි තබමින් ඉදිරියට යාම - fire and movement' යනුවෙන්. එමෙන්ම, වෙඩි තැබීමේදී, තමන් ඝන ආවරණයක් ගතයුතුයි. taking a hard cover ඉරියව්ව වෙනස් කළයුතුයි. අර පුහුණුවේදී, මන්ත්‍රීවරුන්ට මේවා කියාදෙන බවක් දැනගන්නට නැහැ. පතරොම් 30 ක් පමණ වෙඩි තියන්නට අවස්ථාව ලැබෙන බවත්, පිස්තෝලය හරියට අල්ලා, ඉලක්කයක් ගන්නා ආකාරය කියාදෙන බවත්, දැනගන්නට ලැබුණා. මන්ත්‍රීවරයකුගේ පිස්තෝලය නැතිවුනොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? නොසැළකිල්ල නිසා නැතිවුනොත්, ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න, පැහැදිළි නැහැ. ඒ නිසා, පිස්තෝල බිස්නස් වලටත් ඉඩකඩ ලැබෙනවා. 

   අර භාරත - දුමින්ද වගේ ගැටුමක් ඇතිවුනා කියා හිතමු. එවැනි ගැටුමකට මන්ත්‍රීවරියක් මැදිවුනොත්, පිස්තෝල ඇදගෙන වෙඩි තබා ගැනීම කොහොම වෙතත්, 'අනී..........මාව බේරගන්නකූ..................' කියලා, විලාප තියනු නොඅනුමානයි. ගිනි අවියක් පාවිච්චි කරන පුදගලයකු, යටත්පිරිසෙයින්, අවුරුද්දකට වරක්වත්, එම ගිනි අවියෙන් වෙඩි තබා, තම පුහුණුව අලුත් කරගත යුතුයි. නැත්නම් ටික කලක් ගියාට පස්සේ, අගමුල අමතක වෙලා, තුවක්කු කට තමන් පැත්තට හරවාගෙන, කොකා ගස්සන්නත් ඉඩ තියනවා. (එතකොට අපිට තියෙන්නේ, 'සාදු සාදු සා..........දු' කියන්න විතරයි.) මම හිතන්නේ නැහැ, මේ මන්ත්‍රීවරුන්ට, එවැනි වාර්ෂික අවි පුහුණුවක් ලැබෙයි කියා.

   හමුදා සොල්දාදුවන් අතින් පවා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමේ අවස්ථා තිබෙනවා. එය ඕනෑම හමුදාවක සිදුවන දෙයක්. ඔවුන්ට එවිට දෙන දඬුවම වන්නේ, දින තුනක් පමණ විශේෂ ගිනි අවි පුහුණු පන්තියකට සහභාගී කරවීම සහ මුර රාජකාරියේ යෙදවීම. එයින් ඔවුන්ගේ අවි පරිහරණ දැනුම අලුත්වී අත්වැරදීම් අඩුවෙනවා. මේ මන්ත්‍රීවරු මේ ගිනි අවි නිතර තම කාර්යාලයේ, නිවසේ, වාහනයේ, තබාගන්නවා. ඒ නිසා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමට ඇති ඉඩකඩ, බොහෝ වැඩියි. එවැනි අත්වැරැද්දක් සිදුවීමෙන් ලැබෙන ප්‍රතිඵලය, සමහරවිට තමන්ගේම කෙනෙකුගේ මරණය වන්නට ඉඩ තිබෙනවා. නැත්නම් තමන්ගේම පාක්ෂිකයකු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගිනිඅවි සහ ගිනිකෙළි ගැන, මන්ත්‍රීවරුන්ට දැඩි අවවාද ලබාදියයුතු වෙනවා.

   සෑම මන්ත්‍රී වරයකුටම පොලිස් ආරක්ෂාව තිබෙනවා. ඇමති, අගමැති, වනවිට ආරක්ෂාව තවත් වැඩියි. එවැනි ආරක්ෂාවක් තිබියදී, පෞද්ගලික ගිනි අවියක් තබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.  ගිනි අවි ඉල්ලන බොහෝ දෙනෙක් ගිනිකෙළි වලට ප්‍රසිද්ධ අය බවයි පෙනීයන්නේ. ඔවුන් යම්කිසි බියකින් පෙළෙන බවක් පෙන්වනවා, මේවා ලබාගැනීම සඳහා.

Sajith-Premadasaමෙයානම් එපා කියනවා. මෙයාට දැන් ඔව්වගෙන් වැඩක් නැහැලු. එයාට කිසිම තර්ජනයක් නැතිලු, ඔව්වා පාවිච්චි කරන්න. ජනතාව සමග ඉන්න නිසා, තමන්ට ඒ ජනතාවගේ ආශිර්වාදය සහ ආරක්ෂාව තියනවලු. එයාට ගිනි අවියක් ලබාගැනීම සඳහා, රජයෙන් කළ දැනුම්දීමත් ප්‍රතික්‍ෂේප කලාලු.








   
Ranjan Ramanayaka   ඒ වුනාට මෙයා ඕනෙමයි කියනවා. එයාට ගොඩක් තර්ජන තියනවලු. එයා අල්ලලා දීපු කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ ඉන්නවලු, කොයි මොහොතේ හෝ එයාව මරන්න බලාගෙන. කොහොමටත්, මෙයා වන්ෂොට් ක්‍රමේට වැඩ කරන නිසා, තර්ජන ඇති කියලා හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් පොලිස් මහත්තුරු කීපදෙනෙක් වැඩිපුර ඉල්ලගන්න එකනේ තියෙන්නේ. නේද? 




මගේ නිරීක්ෂණ සහ නිර්දේශය:-

   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ගිනි අවි අවශ්‍ය නැත. ඔවුන්ට හොඳ පොලිස් ආරක්ෂාවක් තිබේ. ඔවුන්ට, කිසිදු අවස්ථාවක, ගිනි අවි පාවිච්චි කරමින් සටන් කිරීමට අවස්ථාවක්, අද රටේ තිබෙන තත්වය අනුව උදාවේයැයි සිතීම උගහටය. මීට වඩා වැදගත් වන්නේ, සෑම මන්ත්‍රීවරයකුටම, රාජ්‍ය පරිපාලන නීතිරීති, ප්‍රතිපත්ති, චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආදිය ගැන, සතියකට වතාවක්, පැය තුනකවත්, පුහුණු පන්තියකට සහභාගිවීම අනිවාර්ය කිරීමයි.

ඔබ මොකද කියන්නේ? 


2015 නොවැම්බර් මස 02 දින 2319 පැය 

31 October 2015

වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක්

Beef Eating
 ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි.  මීළඟ මැතිවරණයේදී මෙම ප්‍රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ.

 අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි.


   කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු 'කැමතියි' කියා, බුදුපිළිම හිසක් සහිත ග්‍රැවටාර් එකක් දාලා තිබුනත්, එය මත ක්ලික් කලාට එම බ්ලොගර් කවුද කියා පෙන්වන්නේ නැත.

මෙන්න ඒ අඩවියේ ලිපිය


Screenshot (2)
Screenshot (3)
Screenshot (4)
Screenshot (5)
Screenshot (6)

   ඉදින් මේ ලිපියේ කියන පරිදි ගවමස් මිල අධික වීම නිසා හාමත්ව මියයන මහා.....................ජනතාව වෙනුවෙන් අපි කුමක් කරමුද?

2015 ඔක්තෝබර් මස 31 වැනි දින

28 October 2015

තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්..........


Long Hair
දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. දැනුත්, නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන විවිධ ආන්දෝලන මතුවී තිබෙනවා. ඒ ඔක්කොම පැත්තක තියමු. මම මේ ලිපිය ලියන්නේ, පහුගිය ආණ්ඩුවට දොස් කියන්නවත්, දැන් තියන ආණ්ඩුවට සුදු හුණු ගාන්නවත් නෙවෙයි. මම මේ ලිපිය ලියන්නේ, දේශපාලන කරුණු පමණක් පදනම් කරගෙන නෙවෙයි. ඊට එහා ගිය යමක් ඔබ සමග සාකච්ඡා කරන්නයි.

දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා සම්බන්ධ, ළමා අපචාර සිද්ධිය, මෑත ඉතිහාසයේ, අපේ රටේ විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධිය පදනම් කරගනිමින්, සෑහෙන විශාල මහජන කැළඹීමක් ඇතිවුණා. රටපුරා, විවිධ ආකාරයේ උද්ඝෝෂණ මෙන්ම, ළමා අපචාර පිටුදැකීමේ විවිධ ව්‍යාපාර ද, දියත් කෙරුනා. තවමත් කෙරෙමින් පවතිනවා.

   මේ වගේ කටයුතු එදත් අදත් අපේ රටේ පැවතුණා. මට මතක්වෙනවා, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සිද්ධිය. ඒ සිද්ධියෙන් පස්සේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තිබුණා, සෑහෙන කාලයක් යනතුරු. අද සමහර භික්ෂූන් වහන්සේලා යයි කියාගන්න අයගේ ක්‍රියාකළාපය, එදාට වඩා හොඳද නරකද? මේ නිසා තමයි, අපි දැනට වඩා පුළුල් විදිහට, මේ සමාජ ව්‍යසනයන් ගැන සාකච්ඡා කලයුත්තේ කියා මා හිතනවා. මා බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක් ඔස්සේ, මේ ගැන ඔබ සමග කතා කරන්නට.


අපේ රටේ අධ්‍යාපනය 


   අපේ රටේ අධ්‍යාපනය ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්වන්නේ නැහැ. ඇත්තටම සෑහීමකට පත්වන්නට බැහැ. මක්නිසාදයත්, තවමත්, ඉහළ අධ්‍යාපන වරම් තිබෙන්නේ, වැඩියෙන් මුදල් වියදම් කළහැකි අයට පමණක් වීම නිසා. එය සම්පූර්ණ ඇත්තක්. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන් සඳහා, විශාල මුදලක් අයකරමින් පවත්වන, පෞද්ගලික පන්ති ගැන කියන්න අවශ්‍ය නැහැ. පාසල තුළදීම, පහළ පන්තිවල ඉඳලම, දුප්පත් ළමයි අධ්‍යාපනයෙන් කොන් වෙනවා.

   මම කියන්නම් උදාහරණයක්. අද පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ, දරුවන්ට විවිධ විෂයයන් සඳහා, පැවරුම් රාශියක්, ඒ ඒ විෂයය භාර ගුරුවරුන් විසින් ලබාදෙනවා. මේවා කෙරෙන්නේ, විෂයය නිර්දේශය අනුවයි. නමුත් අපි බොහෝ දෙනෙකු දන්නා පරිදි, මේ පැවරුම් කරන්නේ දරුවා නෙවෙයි, දෙමව්පියෝ. පැවරුම ලබාදීම තුළින් බලාපොරොත්තුවන ප්‍රතිඵලයෙන්, 50% ක් වත් ලැබෙන්නේ නැහැ. මන්ද, දරුවා කරන්නේ වෙනත් අයකු විසින් කළ නිර්මාණයක්, තමන්ගේ එකක් ලෙස ඉදිරිපත් කිරීමයි. මේ සඳහා, සමහර නගරවල, පාසල් අසළම කඩ දාගෙන ඉන්නවා. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගෙන, ඒවා සිංහලට පරිවර්තනය කොට, වර්ණ මුද්‍රිත පිටු ලෙස සකසා, මේ කඩ හිමියන් හොඳ ආදායමක් ගන්නවා. 

   හත්වැනි ශේණියේ විද්‍යාව විෂයයට අදාළව ඇති, එක්තරා පැවරුමකට කරුණු සොයාදෙන ලෙස, මගේ අසල්වැසි පවුලකින් ඉල්ලීමක් ලැබුණා. මෙන්න එම මාතෘකා වලින් කීපයක්. බැඔබැබ් ගස, රෙඩ්වුඩ් ගස, රැෆලේසියා මල, අගමුල නැති වැල්, ගල් පැලෑටි,  ඉත්තෑ මැස්සා, රාක්ෂ කුළුණ, සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය, උල්කා ආවාට, උණු දිය ගීසර. තවත් මාතෘකා ගොඩක් තිබුණා. ඒ සියල්ල ගැන තොරතුරු සොයා, A 4 ප්‍රමාණයේ වර්ණ පිටු හතක් සකසන්නට සිදුවුණා. ඒ සඳහා මට පැය තුනක් පමණ ගතවුණා. (මෙවැනි දේ මා කරන්නේ ඉතා කලාතුරකින්. දරුවකුට කරන උදව්වක් නිසා, මා මුදල් අය කරන්නේ නැහැ. හැබැයි, මගේ වර්ණ මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත බෝතල්, සීඝ්‍රයෙන් හිඳෙනවා, මේ වගේ වැඩ නිසා :D ) 'මගේ ඉදිරිපත් කිරීම' පන්තියේ හොඳම ඉදිරිපත් කිරීම වුණා ලු. ටීචර් මාව කැඳවා, තොත්තුවක් වත් දුන්නේ නැති එක ගැන දුකයි. :D මේ කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පන්තියක්. මම ඒ මගේ අසල්වැසි පවුලේ දැරියගෙන් ඇහුවා, 'ඉතින් ඔක්කොටම මෙහෙම කරුණු හොයන්න බැහැනේ, ඈත ඉඳලා එන ළමයි, ඉන්ටර්නෙට් නැති ළමයි මොකද කරන්නේ?'  කියා. මෙන්න ලැබුන උත්තරය. 'ඒ ගොල්ලෝ ඔය මොනවහරි ලියාගෙන එනවා. පන්තියේදී බැනුම් අහනවා'  

   මෙන්න කොණ්ඩයන් බිහිවීමේ ආරම්භය, මෙන්න ලංකාවට නිදහස ලැබුණේ 1964 කියා කීමේ ආරම්භය. මේ විදිහට පන්තියෙන් කොන්වන දරුවා තුළ ඇතිවන්නේ, ඉච්ඡාභංගත්වයයි, වෛරයයි, ක්‍රෝධයයි, පළිගැනීමේ චේතනාවයි, ඉතා දුකසේ ජීවත්වන පවුල්වල දරුවන්, 5 වසර ශිෂ්‍යත්වය සමත්වීම, දෙමව්පියන් විවිධ උප්පරවැට්ටි දමා, ලොකු ඉස්කෝල අසළ පදිංචිය පෙන්වා දරුවන් පාසලට ඇතුළු කරවීම නිසා, මේ පාසල්වලට ආවත්, වසර පුරා, විවිධ කටයුතු සඳහා, පාසල් වලින් එකතු කරන මුදල්, පන්තියට ආහාර සැපයීමේ වියදම් ආදිය දරන්නේ, හරිම අමාරුවෙන්. දරුවා කුඩා කාලයේ සිට පන්තිය තුළදීම අවමානයට, පහත්කොට සැළකීමට ලක්වෙනවා. එවැනි දරුවන් කවදාවත් ඉහළට යයිද? නැත්තේමය. ඔවුන් දිගටම පාසලේ ඉන්නේ දුකෙන්, කණගාටුවෙන්. එය තමයි පසුව වෛරය, ඉච්ඡාභංගත්වය, බවට පත්වන්නේ. ඒ නිසයි ඔවුන් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ.


පාසලෙන් ගිලිහෙන දරුවා 


   අපේ රටේ පාසලෙන් ගිලිහෙන දරුවන්, වෘත්තීය අධ්‍යාපනයකට යොමුකිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් නැහැ. පාසල් යනකාලයේදීම, දරුවන් දකින්නේ, මුදලට පමණක් සැලකුම් ලබන වාණිජ ලෝකය, පුහු ආටෝප වලට තැන දෙන සමාජය, බොරු විච්චූරණ, විකාර විලාසිතා, හරසුන් සංගීත, නැටුම් ගැයුම් සංදර්ශන, එකිනෙකාට අපහාස උපහාස කිරීමෙන් ලබන පහත් වින්දනය, ආදියයි. සාමාන්‍ය පෙළ කඩඉම පැනගන්නට දෙතුන් වතාවකදීත් බැරිවන දරුවා, ඊළඟට මුහුණ දෙන්නේ, ජීවත්වීමේ අරගලයටයි. 'ඕ ලෙවල් ෆේල්වීම' නමැති මහා අපරාධය තමන් අතින් සිදුවී තිබීම, එල්ලුම් ගස් යැවීමට තරම් හේතුවන මහා අපරාධයක් ලෙසයි, සමහර දරුවන් තේරුම් ගන්නේ. එවැනි දරුවන්ගෙන් සෑහෙන පිරිසක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නට හේතුවූ කරුණු හොයන ක්‍රමයක් අපේ රටේ තියනවාද?

   'ඕකා මැට්ටා, ඉස්කෝලෙම හිටිය මැට්ටෙක් ඕකා, හපෝ......මේ ළමයට පැවරුමක් දුන්නම, විකාර කරගෙන එන්නේ. ඔය ළමයට උගන්නන්න මටනම් තේරෙන්නේ නෑ, මේ අනික් ලමයින්ගේත් කාලය ඉවරයි ඔය ළමයා නිසා'

   මේ වගේ කියන ගුරුවරු සැළකියයුතු පිරිසක් නැත්තේම නොවේ. සමහරවිට මීට වඩා හොඳ වචන වලින්ද, මේ අදහසම කියන ගුරුවරුන් ඉන්නවා. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ, ප්‍රාදේශීය පාසල් බොහොමයක ඇති ගුරු හිගය, දුෂ්කර සේවය සඳහා පැමිණි සමහර ගුරුවරුන්, නිසිපරිදි ඉගැන්වීමේ කාර්යයේ නොයෙදීම, අමතර පන්ති වලට යාමට තරම් මුදල් නොමැතිවීම සහ/හෝ එවැනි පන්ති ඒ ප්‍රදේශයේ නොතිබීම, වැනි සාධකයි. මෙසේ නව යෞවනයේදී ම පාසලෙන් ගිලිහී සමාජ ප්‍රවාහයට තල්ලුවන දරුවා යන්නේ කොහේද? කරන්නේ මොනවාද? මේවා හොයාබලන කෙනෙක් ඉන්නවාද? නැත්නම් ඒකා පොලේ එළවලු විකුණනකොට, මාළු විකුණනකොට, ලොරියක ක්ලීනර් වැඩක් කරනකොට, වැලි පටවන තැනක වැඩකරනකොට, ඌ දිහා ඔලොක්කුවෙන් බලනවාද?  මෙන්න මේවා තමයි කොණ්ඩයන් ඇතිවීමේ මූල බීජ.

   මෙලෙස පාසලෙන් පිටවන නව යෞවනයන් සඳහා, විවිධ කාර්මික අධ්‍යාපන පාඨමාලා, වෙනත් වෘත්තීය පාඨමාලා සෑහෙන ගණනක්, රජයේ කාර්මික විද්‍යාලවල, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනවල, වාර්ෂිකව පවත්වනු ලබනවා. නමුත්, එයින් බොහොම ස්වල්පයයි, රැකියා උත්පාදිත පාඨමාලා වන්නේ. රුපියල් 80000 ක් පමණ අවම වශයෙන් ගෙවා, පරිගණක පාඨමාලාවක් හදාරන අය, යන්තම්, ඡායාරූප ශාලාවකවත් රැකියාවක් අල්ලගන්නවා. නමුත් රු 80000 ක් කියන්නේ, අපේ රටේ බහුතරයක් පවුල්වලට, හිතන්න අමාරු විශාල මුදලක්. උසස් පෙළ අසමත්වන පෝසත් පවුල්වල දරුවන් මෙන්ම, තම අතපය හෝ උගස්කර, දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන දෙමව්පියන්ගේ පවුල්වල දරුවන්, රු 300000 සිට ඉහළට ඇති, පරිගණක හෝ වෙනත් එවැනි රැකියා මුල් කරගත් පාඨමාලා හදාරනවා. නමුත් ඒවා බලා හූල්ලන දරුවන් කොපමණ ඇද්ද? ඔවුන් තුළින් කොණ්ඩයන් බිහිවීම පුදුමයක්ද? 


සමාජයට වැටෙන නව යෞවනයා

   පාසලෙන් ගිලිහී සමාජයට වැටෙන නව යෞවනයා එන්නේ අභියෝග රැසක් ඇති, අවනීතිය, අවකල්ක්‍රියාව, බල්ලෝ මරා හරි සල්ලි හොයන, සමාජය තුළටයි.

   මේ මෑතකදී සිදුවුණ එවැනි සිද්ධියක් මට මතකයි. තරමක් ආර්ථික දුෂ්කරතා ඇති, අපේ අසල්වැසි පවුලක පියා, වාරික මුදල් ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රියක් ගත්තා. නමුත් ඔහු කරන රැකියාව අනුව, ඒ රථයෙන් දිනපතා කුලී දිවීම අපහසුයි. ඒ දිනවල ඔහුගේ පුතා, උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර හිටියා. අර පියා, තම පුතු යෙදෙව්වා, එම ත්‍රිරෝද රථයේ රියදුරා ලෙස. ඔහු, නගරයේ ත්‍රිරෝද රථ නැවතුමේ සිට, කුලී ගමන් යන්න පටන්ගත්තා. ටික දිනකට පසු, එම රථ නැවතුම්පොලේ ම  සේවය කළ, වැඩිහිටි රියදුරෙක්, අර පියා මුණගැහෙන්නට ආවා. ඔහු කිව්වා, '..........මල්ලී, මම මේ ටික කියන්නේ, මේ දරුවාට තියන ආදරේ හින්දයි. මේ කොල්ලා තව ටික දවසක් මේ රස්සාව කළොත්, රටේ තියන ඔක්කොම ජරා වැඩ ඉගෙනගන්නවා. ඊළඟට හිරේ ගිහින් තමයි නවතින්නේ. මම මේ ටික කියන්නේ, උඹලගේ ත්‍රී වීල් එක එතනට දානවට තරහේ කියලා හිතනවා නම්, දිගටම් කොල්ලව එවපන්. හැබැයි උඹලා බොහොම පරක්කු වැඩිවෙයි, කොල්ලා අමාරුවේ වැටුන දවසට' කියලා. ඇත්තටම අර පියා, ඒ කතාවේ ඇති බැරෑරුම් කම තේරුම්ගත්තා. වහාම ඒ වැඩේ නැවැත්තුවා. අර දරුවා අද, කැළණිය විශ්ව විද්‍යාලයේ, වාණිජවේදී උපාධිය අපේක්‍ෂකයෙක්. අපේ රටේ ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන, මෙතන කතාකරන්නට මම බලාපොරොත්තුවන්නේ නැහැ.

   ස්වයංරැකියාවලට මෙන්ම, සරලව කරගෙන යාහැකි රැකියා ලෙස පෙනෙන, අද සමාජයේ තිබෙන බොහොමයක් රැකියා වලට එන නව යෞවනයන්, බොහෝදුරට, විවිධ දුරාචාර, අවකල්ක්‍රියා, නීති විරෝධී ක්‍රියා වෙත ඇදගන්නා, විෂම සමාජ බලවේග පිළිබඳව සමීක්‍ෂණයක් කොට, එම බලවේග මැඩපැවැත්වීමට, විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, අද්‍යතන ශ්‍රීලාංකික සමාජයේ, අතිශයින් ප්‍රමුඛත්ව පියවරක් වන බව පැහැදිළිවම පෙනෙනවා. 


රසවින්දනය සහ ජනමාධ්‍ය 


   මුද්‍රිත මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙස බැලීමේදී පැහැදිලිවම බහුතරයක් පිළිගන්නවා අද ඒ සියලු මාධ්‍ය දැඩි ලෙස වාණිජකරනය සිදුවී තිබෙන බව. මුදල් ඉපයීම පමණක් පරමාර්ථකොටගත්, ජනමාධ්‍ය බැටළුහම පොරවාගත් වෘකයන් බව කොතෙක් පෙන්වා දුන්නත්, එම මාධ්‍ය සඳහා නිර්ණායකයන් සකසාදීමක් තවමත් සිදුව නැහැ. අද අපේ රටේ මාධ්‍ය බහුතරයක් මාධ්‍ය නිදහස ලෙස සලකන්නේ වල්බූරු නිදහසයි. රජය මගින් නීතිරීති දමා මාධ්‍ය මර්ධනයක් කිරීම, මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

   ඒ වෙනුවට කළහැකි හොඳම දේ නියාමනයයි. නියාමනය යනු, ඒ ඒ මාධ්‍ය ආයතනයේ වගකිවයුත්තන්, රජය මගින් පිහිටුවන නියාමන මණ්ඩලයක් වෙත කැඳවා, වඩාත් සාධාරණ, සභ්‍ය, හරවත්, දේ ඉදිරිපත්කරන අකාරය වරින්වර පෙන්වාදීම සහ, සාමාන්‍ය සමාජ සම්මතයට පටහැනි ලෙස, ශෘංගාරය වෙනුවට කාමය, සංගීතය වෙනුවට ඝෝෂාව, ලේඛනය වෙනුවට අපහාසය, යොදාගැනීමේ ඇති වැරැද්ද, කාරුණිකව පෙන්වාදීම සහ එවැනි පෙන්වාදීම් වලින් පසුවත්, එය නිවැරදි කර නොගන්නේ නම්, එවනි මාධ්‍ය ආයතන දැඩි විවේචනයට ලක්කිරීමයි. ඔවුන්ව හිරේ යවන්න නඩු දාන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඇත්ත තත්වය රටට පෙන්නුවාම ඇති. එවිට එහි ඇති සාධාරණ අසාධාරණ බව ගැන සමාජ කතිකාවක් නිරායාසයෙන්ම ඇතිවනවා. අදහස් හුවමාරු වෙනවා, තර්ක විතර්ක ඇතිවනවා.

   මා කියන්නේ, දිනපතා උදෙන්ම නැගිට පිරිත් අසා, බුදුසරණ පත්තරේ බලා, උණුවතුර බී, රෑට පිරිත් කියා නිදගැනීමේ සමාජයක් ගැන නෙවෙයි. සාහිත්‍යය සිනමාව, රූපවාහිණිය, සංගීතය අත්‍යවශ්‍යයි.  (ළමයි පාඩම් කරන්නේ නැහැ කියා, ගෙදර රූපවාහිණිය ගලවා තබන අමනොඥ දෙමව්පියනුත්, තවම ඉන්නවා)  නමුත් එහි ගුණාත්මක බවේ ප්‍රමිතිය ගැන හොයන්නේ කීයෙන් කීදෙනාද? අද අහන (බලෙන් අහන්නට සලස්වන) සංගීතය කොපමණ ගුණාත්මකද? සෑම ගීතයකම තිබිය යුත්තේ ප්‍රේමය පමණද? පදමාලා කොතෙක් දුරට අර්ථවත් ද? ඇත්තටම එහි සාහිත්‍ය රසවින්දනයක් ගැබ්ව තිබේද? ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද? 'මහන්සිවෙලා වැඩකරන මිනිස්සු, හවසට දෙකක් දාලා, ඊට පස්සේ ඇඟට වදින සින්දු ටිකක් දාගෙන හරි, පොඩි සංගීතයක් බලන්න ගිහින් හරි, සොමියක් ගැනීම වැරදි නැහැ' කියන ආකල්පය සමාජ සම්මතයක් කරගන්නවාද?

   පාසල් අධ්‍යාපනය තුළ, සදාචාර අධ්‍යාපනයට තැනක් නැතිවී, විෂයය කරුණු පමණක් ඉගැන්වීමේ ප්‍රතිවිපාකය, අද අපි බරපතළ ලෙස අත්විඳිනවා. පාසලේ වාර්ෂික සැලැස්ම යටතේ, වෙසක් පෝය දිනයට සිල් ගන්න යන දරුවන්, එහිදී කෙරෙන ධර්ම දේශනයෙන් යමක් උකහා ගන්නවද? එහෙම උකහාගත් යමක් ඇද්දැයි සොයාබලන දෙමව්පියන් ඉන්නවාද? ඇත්තටම කියන්න ඉන්නවද? නැහැ නේද? ඒ ධර්මශ්‍රවනය තුළින්, ඒ දරුවාගේ චර්යා වෙනසකට මුලපිරීමක්වත් වී ඇද්ද කියා සිතා බලනවාද? නිරීක්ෂණය කරනවාද? නැහැ නේද?  එහෙනම් ඒ වෙසක් සිල්ගැනීම, සිල් නෙවෙයි 'ඩ්‍රිල් එකක්' පමණයි.

   අද අපේ රටේ සැලකියයුතු තරම් විශාල පවුල් ගණනක් දෙමව්පිය දූ දරු සම්බන්ධතාව අන්තිම පහත් අඩියකට වැටී තිබෙනවා. 'ඇයි යකෝ අපි මැරී මැරී ඔක්කොම කරන්නේ උඹලටනේ. ඉතින් මොකවත් අඩුපාඩුවක් නැති එකේ උඹලට තියෙන්නේ ඉගෙනගන විතරනේ' කියන දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. දරුවන්ට ඉල්ලන ඔක්කොම දීලා,' හරිනේද පුතා, ඔයා ඔන්න හොඳට වැඩකරන්න ඕනේ හරිද?' කියන තව වර්ගයක් ඉන්නවා. දරුවන් හිරකාරයන් වගේ ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට, ගෙදර ආවම ඒ දරුවාගේ පාඩම් කරන මේසයට හිරකරලා තියන' තවත් දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. මේ එක ගොං වාහේ කෙනෙක්වත්' අර දරුවන්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඒ ගොං වාහෙලා හිතන්නේ, අපි දරුවට ඔක්කොම දේ ඉහළින්ම කරනවා කියලා. ඇත්තටම ඒ ගොං වාහෙලා දරුවට කරන්නේ, අන්තිම නරකක්. එවැනි දරුවන් තුළිනුත් කොණ්ඩයන් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. 

   ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අඩු කරන්න මොනවද ජනමාධ්‍ය වලින් කරන්නේ. බොරුවට රටවටේ ළමා අපචාර විරෝධී චාරිකා යන අර අහවල් චැනල් එකේ, පෙන්නන්නෙම කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය. බොහොමයක් චැනල් වල රිලවුන් වගේ ළමයින්ව නටවනවා. උන් නටන්නේ, උන්ට තියා උන්ගේ අම්මලා තාත්තලාටවත් නොතේරෙන, ශෘංගාරය පමණක් ඇති පදමාලා සහිත ගීත වලට. 'ඔබේ බුරියේ මා දෙතොල තබා සිඹිමි' කියන තේරුම ඇති හින්දි ගීතවලට. ඒ නැටුම් බලන තාත්තලාටත්, තමන්ගේ දුව ගැන කාමුක හැඟීම් ඇතිවීමට තරම් පහත් තත්වයක් තිබෙන්නේ. 


නීතිය සහ පොලීසිය


    අද අපේ සමාජයේ තියන වනචර පුරුද්දක් තමා, තමන්ගේ වගකීම, වෙනත් කාගේ හෝ කරපිට පටවා නිදහස්වීම. 'මිනිස්සු වැරදි කරති. පොලීසිය එක පැයෙන් වැරදිකරුවන් ඇල්ලිය යුතු ය. පොලීසිය සෑමවිටම, පාරේ තොටේ, ගමේ, නගරයේ සාම අස්සක් මුල්ලක් නෑරම සිටිමින් නීතිය ක්‍රියාත්මක කළයුතු ය. නැත්නම් පොලීසියෙන් වැඩක් නැත' යන ආකල්පය, අද තිබෙන දුර්මත වලින් බරපතළම දුර්මතයක් වන්නේය.

   පුරවැසි යුතුකම් පැහැර හරින අපි, ඒ අඩුපාඩුව, ඉතා පහසුවෙන්, පොලීසිය මත පටවන්නට සැරසී ඉන්නෙමු. ජනමාධ්‍ය තුලින් පොලීසිය වෙත එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. එම බලපෑම් බොහෝදුරට පොලීසියේ කීර්තිනාමයට හානිකරන, පොලීසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය පලුදුකර ඒවා බව ඒ ජනමාධ්‍ය පාලකයෝ නොසිතති. පොලීසිය අපහාසයට උපහාසයට පත්කරන පුවත්පත් වාර්තාවක්, කාටූනයක්, රූපවාහිනී/ගුවන්විදුලි ප්‍රවෘත්තියක් අසන්නට දකින්නට නොලැබෙන දිනයක් නැතිතරම් ය. කොත්තු රොටී ගසන වේගයෙන් සූක්ෂ්ම අපරාධකරුවන් ඇල්ලිය හැකියැයි හිතන, අමනොඥ පිරිසක් ද රටේ සිටිති. එක නඩු දිනයකින් සියලු වරදකරුවන් එල්ලුම්ගසට හෝ සිරගෙට යැවිය හැකියැයි සිතන පිරිසක් ද වෙති. නීතිය අතට ගන්නට පෙළඹෙන්නේ මෙවැනි දුරවබෝධ නිසාමය.

   සැකකරුවකුගෙන් ප්‍රශ්නකිරීම සඳහා පහරදීම, වධ බන්ධනයට ලක්කිරීම, කිසිසේත් අනුමත කළහැකි නොවේ. පොලීසිය එවැනි දේ කරන්නට පෙළඹෙන්නේ, මුළු රටම, වහාම ප්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ හේතුව නිසායැයි කීමද, වලංගු තර්කයක් වියහැකිය.

   සැකකරුවකු චුදිතයකු නොවන බව, කොතරම් කිව්වද, එය පිළිනොගන්නා සමාජයක, නීතියේ සාධාරණත්වය ඉටුකිරීම මහත් අභියෝගයක් වෙයි. අවසානයේ දුනේෂ් ප්‍රියශාන්තට ඉතිරිවූයේ, නොමග යාමේ ප්‍රතිඵලයක් ලෙස, ළමා අපචාර සැකකරුවකු බවට පත්වීමත්, කොණ්ඩයා නමැති අපකීර්තිකර නාමයෙන් හංවඩු ගැසීමත්, සිය පෙම්වතිය අහිමිවීමත්, අපේ රටේ ඇති දුර්වල සමාජ ආකල්ප මත, ප්‍රසිද්ධියේ ජීවත් වන්නට අවකාශ නොලැබී යාමත් පමණි.

   මේ සියල්ල, පිළිවෙලකට යළිත් සිතාබලා, එකින් එක නිවැරදි කිරීම වහාම අරඹන්නට, දැන් කාලය එළඹී තිබේ. 

2015 ඔක්තෝබර් මස 28 වැනි දින 0045 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }