හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 October 2015

තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්..........


Long Hair
දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. දැනුත්, නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන විවිධ ආන්දෝලන මතුවී තිබෙනවා. ඒ ඔක්කොම පැත්තක තියමු. මම මේ ලිපිය ලියන්නේ, පහුගිය ආණ්ඩුවට දොස් කියන්නවත්, දැන් තියන ආණ්ඩුවට සුදු හුණු ගාන්නවත් නෙවෙයි. මම මේ ලිපිය ලියන්නේ, දේශපාලන කරුණු පමණක් පදනම් කරගෙන නෙවෙයි. ඊට එහා ගිය යමක් ඔබ සමග සාකච්ඡා කරන්නයි.

දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා සම්බන්ධ, ළමා අපචාර සිද්ධිය, මෑත ඉතිහාසයේ, අපේ රටේ විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධිය පදනම් කරගනිමින්, සෑහෙන විශාල මහජන කැළඹීමක් ඇතිවුණා. රටපුරා, විවිධ ආකාරයේ උද්ඝෝෂණ මෙන්ම, ළමා අපචාර පිටුදැකීමේ විවිධ ව්‍යාපාර ද, දියත් කෙරුනා. තවමත් කෙරෙමින් පවතිනවා.

   මේ වගේ කටයුතු එදත් අදත් අපේ රටේ පැවතුණා. මට මතක්වෙනවා, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සිද්ධිය. ඒ සිද්ධියෙන් පස්සේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තිබුණා, සෑහෙන කාලයක් යනතුරු. අද සමහර භික්ෂූන් වහන්සේලා යයි කියාගන්න අයගේ ක්‍රියාකළාපය, එදාට වඩා හොඳද නරකද? මේ නිසා තමයි, අපි දැනට වඩා පුළුල් විදිහට, මේ සමාජ ව්‍යසනයන් ගැන සාකච්ඡා කලයුත්තේ කියා මා හිතනවා. මා බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක් ඔස්සේ, මේ ගැන ඔබ සමග කතා කරන්නට.


අපේ රටේ අධ්‍යාපනය 


   අපේ රටේ අධ්‍යාපනය ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්වන්නේ නැහැ. ඇත්තටම සෑහීමකට පත්වන්නට බැහැ. මක්නිසාදයත්, තවමත්, ඉහළ අධ්‍යාපන වරම් තිබෙන්නේ, වැඩියෙන් මුදල් වියදම් කළහැකි අයට පමණක් වීම නිසා. එය සම්පූර්ණ ඇත්තක්. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන් සඳහා, විශාල මුදලක් අයකරමින් පවත්වන, පෞද්ගලික පන්ති ගැන කියන්න අවශ්‍ය නැහැ. පාසල තුළදීම, පහළ පන්තිවල ඉඳලම, දුප්පත් ළමයි අධ්‍යාපනයෙන් කොන් වෙනවා.

   මම කියන්නම් උදාහරණයක්. අද පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ, දරුවන්ට විවිධ විෂයයන් සඳහා, පැවරුම් රාශියක්, ඒ ඒ විෂයය භාර ගුරුවරුන් විසින් ලබාදෙනවා. මේවා කෙරෙන්නේ, විෂයය නිර්දේශය අනුවයි. නමුත් අපි බොහෝ දෙනෙකු දන්නා පරිදි, මේ පැවරුම් කරන්නේ දරුවා නෙවෙයි, දෙමව්පියෝ. පැවරුම ලබාදීම තුළින් බලාපොරොත්තුවන ප්‍රතිඵලයෙන්, 50% ක් වත් ලැබෙන්නේ නැහැ. මන්ද, දරුවා කරන්නේ වෙනත් අයකු විසින් කළ නිර්මාණයක්, තමන්ගේ එකක් ලෙස ඉදිරිපත් කිරීමයි. මේ සඳහා, සමහර නගරවල, පාසල් අසළම කඩ දාගෙන ඉන්නවා. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගෙන, ඒවා සිංහලට පරිවර්තනය කොට, වර්ණ මුද්‍රිත පිටු ලෙස සකසා, මේ කඩ හිමියන් හොඳ ආදායමක් ගන්නවා. 

   හත්වැනි ශේණියේ විද්‍යාව විෂයයට අදාළව ඇති, එක්තරා පැවරුමකට කරුණු සොයාදෙන ලෙස, මගේ අසල්වැසි පවුලකින් ඉල්ලීමක් ලැබුණා. මෙන්න එම මාතෘකා වලින් කීපයක්. බැඔබැබ් ගස, රෙඩ්වුඩ් ගස, රැෆලේසියා මල, අගමුල නැති වැල්, ගල් පැලෑටි,  ඉත්තෑ මැස්සා, රාක්ෂ කුළුණ, සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය, උල්කා ආවාට, උණු දිය ගීසර. තවත් මාතෘකා ගොඩක් තිබුණා. ඒ සියල්ල ගැන තොරතුරු සොයා, A 4 ප්‍රමාණයේ වර්ණ පිටු හතක් සකසන්නට සිදුවුණා. ඒ සඳහා මට පැය තුනක් පමණ ගතවුණා. (මෙවැනි දේ මා කරන්නේ ඉතා කලාතුරකින්. දරුවකුට කරන උදව්වක් නිසා, මා මුදල් අය කරන්නේ නැහැ. හැබැයි, මගේ වර්ණ මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත බෝතල්, සීඝ්‍රයෙන් හිඳෙනවා, මේ වගේ වැඩ නිසා :D ) 'මගේ ඉදිරිපත් කිරීම' පන්තියේ හොඳම ඉදිරිපත් කිරීම වුණා ලු. ටීචර් මාව කැඳවා, තොත්තුවක් වත් දුන්නේ නැති එක ගැන දුකයි. :D මේ කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පන්තියක්. මම ඒ මගේ අසල්වැසි පවුලේ දැරියගෙන් ඇහුවා, 'ඉතින් ඔක්කොටම මෙහෙම කරුණු හොයන්න බැහැනේ, ඈත ඉඳලා එන ළමයි, ඉන්ටර්නෙට් නැති ළමයි මොකද කරන්නේ?'  කියා. මෙන්න ලැබුන උත්තරය. 'ඒ ගොල්ලෝ ඔය මොනවහරි ලියාගෙන එනවා. පන්තියේදී බැනුම් අහනවා'  

   මෙන්න කොණ්ඩයන් බිහිවීමේ ආරම්භය, මෙන්න ලංකාවට නිදහස ලැබුණේ 1964 කියා කීමේ ආරම්භය. මේ විදිහට පන්තියෙන් කොන්වන දරුවා තුළ ඇතිවන්නේ, ඉච්ඡාභංගත්වයයි, වෛරයයි, ක්‍රෝධයයි, පළිගැනීමේ චේතනාවයි, ඉතා දුකසේ ජීවත්වන පවුල්වල දරුවන්, 5 වසර ශිෂ්‍යත්වය සමත්වීම, දෙමව්පියන් විවිධ උප්පරවැට්ටි දමා, ලොකු ඉස්කෝල අසළ පදිංචිය පෙන්වා දරුවන් පාසලට ඇතුළු කරවීම නිසා, මේ පාසල්වලට ආවත්, වසර පුරා, විවිධ කටයුතු සඳහා, පාසල් වලින් එකතු කරන මුදල්, පන්තියට ආහාර සැපයීමේ වියදම් ආදිය දරන්නේ, හරිම අමාරුවෙන්. දරුවා කුඩා කාලයේ සිට පන්තිය තුළදීම අවමානයට, පහත්කොට සැළකීමට ලක්වෙනවා. එවැනි දරුවන් කවදාවත් ඉහළට යයිද? නැත්තේමය. ඔවුන් දිගටම පාසලේ ඉන්නේ දුකෙන්, කණගාටුවෙන්. එය තමයි පසුව වෛරය, ඉච්ඡාභංගත්වය, බවට පත්වන්නේ. ඒ නිසයි ඔවුන් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ.


පාසලෙන් ගිලිහෙන දරුවා 


   අපේ රටේ පාසලෙන් ගිලිහෙන දරුවන්, වෘත්තීය අධ්‍යාපනයකට යොමුකිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් නැහැ. පාසල් යනකාලයේදීම, දරුවන් දකින්නේ, මුදලට පමණක් සැලකුම් ලබන වාණිජ ලෝකය, පුහු ආටෝප වලට තැන දෙන සමාජය, බොරු විච්චූරණ, විකාර විලාසිතා, හරසුන් සංගීත, නැටුම් ගැයුම් සංදර්ශන, එකිනෙකාට අපහාස උපහාස කිරීමෙන් ලබන පහත් වින්දනය, ආදියයි. සාමාන්‍ය පෙළ කඩඉම පැනගන්නට දෙතුන් වතාවකදීත් බැරිවන දරුවා, ඊළඟට මුහුණ දෙන්නේ, ජීවත්වීමේ අරගලයටයි. 'ඕ ලෙවල් ෆේල්වීම' නමැති මහා අපරාධය තමන් අතින් සිදුවී තිබීම, එල්ලුම් ගස් යැවීමට තරම් හේතුවන මහා අපරාධයක් ලෙසයි, සමහර දරුවන් තේරුම් ගන්නේ. එවැනි දරුවන්ගෙන් සෑහෙන පිරිසක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නට හේතුවූ කරුණු හොයන ක්‍රමයක් අපේ රටේ තියනවාද?

   'ඕකා මැට්ටා, ඉස්කෝලෙම හිටිය මැට්ටෙක් ඕකා, හපෝ......මේ ළමයට පැවරුමක් දුන්නම, විකාර කරගෙන එන්නේ. ඔය ළමයට උගන්නන්න මටනම් තේරෙන්නේ නෑ, මේ අනික් ලමයින්ගේත් කාලය ඉවරයි ඔය ළමයා නිසා'

   මේ වගේ කියන ගුරුවරු සැළකියයුතු පිරිසක් නැත්තේම නොවේ. සමහරවිට මීට වඩා හොඳ වචන වලින්ද, මේ අදහසම කියන ගුරුවරුන් ඉන්නවා. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ, ප්‍රාදේශීය පාසල් බොහොමයක ඇති ගුරු හිගය, දුෂ්කර සේවය සඳහා පැමිණි සමහර ගුරුවරුන්, නිසිපරිදි ඉගැන්වීමේ කාර්යයේ නොයෙදීම, අමතර පන්ති වලට යාමට තරම් මුදල් නොමැතිවීම සහ/හෝ එවැනි පන්ති ඒ ප්‍රදේශයේ නොතිබීම, වැනි සාධකයි. මෙසේ නව යෞවනයේදී ම පාසලෙන් ගිලිහී සමාජ ප්‍රවාහයට තල්ලුවන දරුවා යන්නේ කොහේද? කරන්නේ මොනවාද? මේවා හොයාබලන කෙනෙක් ඉන්නවාද? නැත්නම් ඒකා පොලේ එළවලු විකුණනකොට, මාළු විකුණනකොට, ලොරියක ක්ලීනර් වැඩක් කරනකොට, වැලි පටවන තැනක වැඩකරනකොට, ඌ දිහා ඔලොක්කුවෙන් බලනවාද?  මෙන්න මේවා තමයි කොණ්ඩයන් ඇතිවීමේ මූල බීජ.

   මෙලෙස පාසලෙන් පිටවන නව යෞවනයන් සඳහා, විවිධ කාර්මික අධ්‍යාපන පාඨමාලා, වෙනත් වෘත්තීය පාඨමාලා සෑහෙන ගණනක්, රජයේ කාර්මික විද්‍යාලවල, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනවල, වාර්ෂිකව පවත්වනු ලබනවා. නමුත්, එයින් බොහොම ස්වල්පයයි, රැකියා උත්පාදිත පාඨමාලා වන්නේ. රුපියල් 80000 ක් පමණ අවම වශයෙන් ගෙවා, පරිගණක පාඨමාලාවක් හදාරන අය, යන්තම්, ඡායාරූප ශාලාවකවත් රැකියාවක් අල්ලගන්නවා. නමුත් රු 80000 ක් කියන්නේ, අපේ රටේ බහුතරයක් පවුල්වලට, හිතන්න අමාරු විශාල මුදලක්. උසස් පෙළ අසමත්වන පෝසත් පවුල්වල දරුවන් මෙන්ම, තම අතපය හෝ උගස්කර, දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන දෙමව්පියන්ගේ පවුල්වල දරුවන්, රු 300000 සිට ඉහළට ඇති, පරිගණක හෝ වෙනත් එවැනි රැකියා මුල් කරගත් පාඨමාලා හදාරනවා. නමුත් ඒවා බලා හූල්ලන දරුවන් කොපමණ ඇද්ද? ඔවුන් තුළින් කොණ්ඩයන් බිහිවීම පුදුමයක්ද? 


සමාජයට වැටෙන නව යෞවනයා

   පාසලෙන් ගිලිහී සමාජයට වැටෙන නව යෞවනයා එන්නේ අභියෝග රැසක් ඇති, අවනීතිය, අවකල්ක්‍රියාව, බල්ලෝ මරා හරි සල්ලි හොයන, සමාජය තුළටයි.

   මේ මෑතකදී සිදුවුණ එවැනි සිද්ධියක් මට මතකයි. තරමක් ආර්ථික දුෂ්කරතා ඇති, අපේ අසල්වැසි පවුලක පියා, වාරික මුදල් ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රියක් ගත්තා. නමුත් ඔහු කරන රැකියාව අනුව, ඒ රථයෙන් දිනපතා කුලී දිවීම අපහසුයි. ඒ දිනවල ඔහුගේ පුතා, උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර හිටියා. අර පියා, තම පුතු යෙදෙව්වා, එම ත්‍රිරෝද රථයේ රියදුරා ලෙස. ඔහු, නගරයේ ත්‍රිරෝද රථ නැවතුමේ සිට, කුලී ගමන් යන්න පටන්ගත්තා. ටික දිනකට පසු, එම රථ නැවතුම්පොලේ ම  සේවය කළ, වැඩිහිටි රියදුරෙක්, අර පියා මුණගැහෙන්නට ආවා. ඔහු කිව්වා, '..........මල්ලී, මම මේ ටික කියන්නේ, මේ දරුවාට තියන ආදරේ හින්දයි. මේ කොල්ලා තව ටික දවසක් මේ රස්සාව කළොත්, රටේ තියන ඔක්කොම ජරා වැඩ ඉගෙනගන්නවා. ඊළඟට හිරේ ගිහින් තමයි නවතින්නේ. මම මේ ටික කියන්නේ, උඹලගේ ත්‍රී වීල් එක එතනට දානවට තරහේ කියලා හිතනවා නම්, දිගටම් කොල්ලව එවපන්. හැබැයි උඹලා බොහොම පරක්කු වැඩිවෙයි, කොල්ලා අමාරුවේ වැටුන දවසට' කියලා. ඇත්තටම අර පියා, ඒ කතාවේ ඇති බැරෑරුම් කම තේරුම්ගත්තා. වහාම ඒ වැඩේ නැවැත්තුවා. අර දරුවා අද, කැළණිය විශ්ව විද්‍යාලයේ, වාණිජවේදී උපාධිය අපේක්‍ෂකයෙක්. අපේ රටේ ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන, මෙතන කතාකරන්නට මම බලාපොරොත්තුවන්නේ නැහැ.

   ස්වයංරැකියාවලට මෙන්ම, සරලව කරගෙන යාහැකි රැකියා ලෙස පෙනෙන, අද සමාජයේ තිබෙන බොහොමයක් රැකියා වලට එන නව යෞවනයන්, බොහෝදුරට, විවිධ දුරාචාර, අවකල්ක්‍රියා, නීති විරෝධී ක්‍රියා වෙත ඇදගන්නා, විෂම සමාජ බලවේග පිළිබඳව සමීක්‍ෂණයක් කොට, එම බලවේග මැඩපැවැත්වීමට, විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, අද්‍යතන ශ්‍රීලාංකික සමාජයේ, අතිශයින් ප්‍රමුඛත්ව පියවරක් වන බව පැහැදිළිවම පෙනෙනවා. 


රසවින්දනය සහ ජනමාධ්‍ය 


   මුද්‍රිත මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙස බැලීමේදී පැහැදිලිවම බහුතරයක් පිළිගන්නවා අද ඒ සියලු මාධ්‍ය දැඩි ලෙස වාණිජකරනය සිදුවී තිබෙන බව. මුදල් ඉපයීම පමණක් පරමාර්ථකොටගත්, ජනමාධ්‍ය බැටළුහම පොරවාගත් වෘකයන් බව කොතෙක් පෙන්වා දුන්නත්, එම මාධ්‍ය සඳහා නිර්ණායකයන් සකසාදීමක් තවමත් සිදුව නැහැ. අද අපේ රටේ මාධ්‍ය බහුතරයක් මාධ්‍ය නිදහස ලෙස සලකන්නේ වල්බූරු නිදහසයි. රජය මගින් නීතිරීති දමා මාධ්‍ය මර්ධනයක් කිරීම, මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

   ඒ වෙනුවට කළහැකි හොඳම දේ නියාමනයයි. නියාමනය යනු, ඒ ඒ මාධ්‍ය ආයතනයේ වගකිවයුත්තන්, රජය මගින් පිහිටුවන නියාමන මණ්ඩලයක් වෙත කැඳවා, වඩාත් සාධාරණ, සභ්‍ය, හරවත්, දේ ඉදිරිපත්කරන අකාරය වරින්වර පෙන්වාදීම සහ, සාමාන්‍ය සමාජ සම්මතයට පටහැනි ලෙස, ශෘංගාරය වෙනුවට කාමය, සංගීතය වෙනුවට ඝෝෂාව, ලේඛනය වෙනුවට අපහාසය, යොදාගැනීමේ ඇති වැරැද්ද, කාරුණිකව පෙන්වාදීම සහ එවැනි පෙන්වාදීම් වලින් පසුවත්, එය නිවැරදි කර නොගන්නේ නම්, එවනි මාධ්‍ය ආයතන දැඩි විවේචනයට ලක්කිරීමයි. ඔවුන්ව හිරේ යවන්න නඩු දාන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඇත්ත තත්වය රටට පෙන්නුවාම ඇති. එවිට එහි ඇති සාධාරණ අසාධාරණ බව ගැන සමාජ කතිකාවක් නිරායාසයෙන්ම ඇතිවනවා. අදහස් හුවමාරු වෙනවා, තර්ක විතර්ක ඇතිවනවා.

   මා කියන්නේ, දිනපතා උදෙන්ම නැගිට පිරිත් අසා, බුදුසරණ පත්තරේ බලා, උණුවතුර බී, රෑට පිරිත් කියා නිදගැනීමේ සමාජයක් ගැන නෙවෙයි. සාහිත්‍යය සිනමාව, රූපවාහිණිය, සංගීතය අත්‍යවශ්‍යයි.  (ළමයි පාඩම් කරන්නේ නැහැ කියා, ගෙදර රූපවාහිණිය ගලවා තබන අමනොඥ දෙමව්පියනුත්, තවම ඉන්නවා)  නමුත් එහි ගුණාත්මක බවේ ප්‍රමිතිය ගැන හොයන්නේ කීයෙන් කීදෙනාද? අද අහන (බලෙන් අහන්නට සලස්වන) සංගීතය කොපමණ ගුණාත්මකද? සෑම ගීතයකම තිබිය යුත්තේ ප්‍රේමය පමණද? පදමාලා කොතෙක් දුරට අර්ථවත් ද? ඇත්තටම එහි සාහිත්‍ය රසවින්දනයක් ගැබ්ව තිබේද? ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද? 'මහන්සිවෙලා වැඩකරන මිනිස්සු, හවසට දෙකක් දාලා, ඊට පස්සේ ඇඟට වදින සින්දු ටිකක් දාගෙන හරි, පොඩි සංගීතයක් බලන්න ගිහින් හරි, සොමියක් ගැනීම වැරදි නැහැ' කියන ආකල්පය සමාජ සම්මතයක් කරගන්නවාද?

   පාසල් අධ්‍යාපනය තුළ, සදාචාර අධ්‍යාපනයට තැනක් නැතිවී, විෂයය කරුණු පමණක් ඉගැන්වීමේ ප්‍රතිවිපාකය, අද අපි බරපතළ ලෙස අත්විඳිනවා. පාසලේ වාර්ෂික සැලැස්ම යටතේ, වෙසක් පෝය දිනයට සිල් ගන්න යන දරුවන්, එහිදී කෙරෙන ධර්ම දේශනයෙන් යමක් උකහා ගන්නවද? එහෙම උකහාගත් යමක් ඇද්දැයි සොයාබලන දෙමව්පියන් ඉන්නවාද? ඇත්තටම කියන්න ඉන්නවද? නැහැ නේද? ඒ ධර්මශ්‍රවනය තුළින්, ඒ දරුවාගේ චර්යා වෙනසකට මුලපිරීමක්වත් වී ඇද්ද කියා සිතා බලනවාද? නිරීක්ෂණය කරනවාද? නැහැ නේද?  එහෙනම් ඒ වෙසක් සිල්ගැනීම, සිල් නෙවෙයි 'ඩ්‍රිල් එකක්' පමණයි.

   අද අපේ රටේ සැලකියයුතු තරම් විශාල පවුල් ගණනක් දෙමව්පිය දූ දරු සම්බන්ධතාව අන්තිම පහත් අඩියකට වැටී තිබෙනවා. 'ඇයි යකෝ අපි මැරී මැරී ඔක්කොම කරන්නේ උඹලටනේ. ඉතින් මොකවත් අඩුපාඩුවක් නැති එකේ උඹලට තියෙන්නේ ඉගෙනගන විතරනේ' කියන දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. දරුවන්ට ඉල්ලන ඔක්කොම දීලා,' හරිනේද පුතා, ඔයා ඔන්න හොඳට වැඩකරන්න ඕනේ හරිද?' කියන තව වර්ගයක් ඉන්නවා. දරුවන් හිරකාරයන් වගේ ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට, ගෙදර ආවම ඒ දරුවාගේ පාඩම් කරන මේසයට හිරකරලා තියන' තවත් දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. මේ එක ගොං වාහේ කෙනෙක්වත්' අර දරුවන්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඒ ගොං වාහෙලා හිතන්නේ, අපි දරුවට ඔක්කොම දේ ඉහළින්ම කරනවා කියලා. ඇත්තටම ඒ ගොං වාහෙලා දරුවට කරන්නේ, අන්තිම නරකක්. එවැනි දරුවන් තුළිනුත් කොණ්ඩයන් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. 

   ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අඩු කරන්න මොනවද ජනමාධ්‍ය වලින් කරන්නේ. බොරුවට රටවටේ ළමා අපචාර විරෝධී චාරිකා යන අර අහවල් චැනල් එකේ, පෙන්නන්නෙම කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය. බොහොමයක් චැනල් වල රිලවුන් වගේ ළමයින්ව නටවනවා. උන් නටන්නේ, උන්ට තියා උන්ගේ අම්මලා තාත්තලාටවත් නොතේරෙන, ශෘංගාරය පමණක් ඇති පදමාලා සහිත ගීත වලට. 'ඔබේ බුරියේ මා දෙතොල තබා සිඹිමි' කියන තේරුම ඇති හින්දි ගීතවලට. ඒ නැටුම් බලන තාත්තලාටත්, තමන්ගේ දුව ගැන කාමුක හැඟීම් ඇතිවීමට තරම් පහත් තත්වයක් තිබෙන්නේ. 


නීතිය සහ පොලීසිය


    අද අපේ සමාජයේ තියන වනචර පුරුද්දක් තමා, තමන්ගේ වගකීම, වෙනත් කාගේ හෝ කරපිට පටවා නිදහස්වීම. 'මිනිස්සු වැරදි කරති. පොලීසිය එක පැයෙන් වැරදිකරුවන් ඇල්ලිය යුතු ය. පොලීසිය සෑමවිටම, පාරේ තොටේ, ගමේ, නගරයේ සාම අස්සක් මුල්ලක් නෑරම සිටිමින් නීතිය ක්‍රියාත්මක කළයුතු ය. නැත්නම් පොලීසියෙන් වැඩක් නැත' යන ආකල්පය, අද තිබෙන දුර්මත වලින් බරපතළම දුර්මතයක් වන්නේය.

   පුරවැසි යුතුකම් පැහැර හරින අපි, ඒ අඩුපාඩුව, ඉතා පහසුවෙන්, පොලීසිය මත පටවන්නට සැරසී ඉන්නෙමු. ජනමාධ්‍ය තුලින් පොලීසිය වෙත එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. එම බලපෑම් බොහෝදුරට පොලීසියේ කීර්තිනාමයට හානිකරන, පොලීසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය පලුදුකර ඒවා බව ඒ ජනමාධ්‍ය පාලකයෝ නොසිතති. පොලීසිය අපහාසයට උපහාසයට පත්කරන පුවත්පත් වාර්තාවක්, කාටූනයක්, රූපවාහිනී/ගුවන්විදුලි ප්‍රවෘත්තියක් අසන්නට දකින්නට නොලැබෙන දිනයක් නැතිතරම් ය. කොත්තු රොටී ගසන වේගයෙන් සූක්ෂ්ම අපරාධකරුවන් ඇල්ලිය හැකියැයි හිතන, අමනොඥ පිරිසක් ද රටේ සිටිති. එක නඩු දිනයකින් සියලු වරදකරුවන් එල්ලුම්ගසට හෝ සිරගෙට යැවිය හැකියැයි සිතන පිරිසක් ද වෙති. නීතිය අතට ගන්නට පෙළඹෙන්නේ මෙවැනි දුරවබෝධ නිසාමය.

   සැකකරුවකුගෙන් ප්‍රශ්නකිරීම සඳහා පහරදීම, වධ බන්ධනයට ලක්කිරීම, කිසිසේත් අනුමත කළහැකි නොවේ. පොලීසිය එවැනි දේ කරන්නට පෙළඹෙන්නේ, මුළු රටම, වහාම ප්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ හේතුව නිසායැයි කීමද, වලංගු තර්කයක් වියහැකිය.

   සැකකරුවකු චුදිතයකු නොවන බව, කොතරම් කිව්වද, එය පිළිනොගන්නා සමාජයක, නීතියේ සාධාරණත්වය ඉටුකිරීම මහත් අභියෝගයක් වෙයි. අවසානයේ දුනේෂ් ප්‍රියශාන්තට ඉතිරිවූයේ, නොමග යාමේ ප්‍රතිඵලයක් ලෙස, ළමා අපචාර සැකකරුවකු බවට පත්වීමත්, කොණ්ඩයා නමැති අපකීර්තිකර නාමයෙන් හංවඩු ගැසීමත්, සිය පෙම්වතිය අහිමිවීමත්, අපේ රටේ ඇති දුර්වල සමාජ ආකල්ප මත, ප්‍රසිද්ධියේ ජීවත් වන්නට අවකාශ නොලැබී යාමත් පමණි.

   මේ සියල්ල, පිළිවෙලකට යළිත් සිතාබලා, එකින් එක නිවැරදි කිරීම වහාම අරඹන්නට, දැන් කාලය එළඹී තිබේ. 

2015 ඔක්තෝබර් මස 28 වැනි දින 0045 පැය 

101 comments :

  1. ඔබ හා සීයට සීයක් එකඟයි මහත්මයා... ඔබ කොතරම් විචාරාත්මකව ඒ වගේම අවංකව මේ ලිපිය ලියල තියනවද කිව්වොත් ඔබට නිකම්ම විචාරක කියල අමතන්න මගේ හිත දුන්නෙ නෑ. මේ ඇත්තම ඇත්ත!

    ReplyDelete
    Replies
    1. අපේ හිත්වල තවමත් අපේ අතීතය, අපේ රටේ අතීතය අපේ සමාජයේ අතීතය තියනවා. ඒ අතීතකාමයේ ගැලෙමින් ඉන්න කිසිසේත් අවශ්‍ය නැහැ. බෞද්ධ දර්ශනය තරම් නම්‍යශීලී දර්ශනයක් තියාගෙන, කිසිදු ආගම් භේදයකින් තොරව එය සමාජය වෙත හඳුන්වා දීමේ හැකියාව තියාගෙන, එමගින් රාජ්‍ය ප්‍රතිපත්ති වුනත් හැදීමේ හැකියාව තියාගෙන, අපි මේ මොනවද කරන්නේ?

      බොහොම ස්තුතියි රවී ඔබේ මේ අදහස් වලට.

      Delete
  2. මේ පෝස්ට් එක කියවලා ඉවර වුනාම දාන්න හිතට ආව කෙටි කමෙන්ට් එක "විචාරකත් දැන් බ්ලොග් ලියනවා..." කියලා...

    ඒත් ඒක වරදවා වටහා ගන්න ඉඩ තියෙන හින්දයි මේ විස්තරේ... ඔබ වගේ සමාජයේ අත්දැකීම් බහුල කෙනෙක් තමන්ගේ සිතුවිලි අකුරු කරන්නේ නැතුව අන්තර්ජාලයේ දැනුම සිංහලෙන් බෙදාදීමට බොහෝ විට සීමා වෙලා හිටි එක ගැන මට තිවුනේ දුකක්... ඒවා නරකයි හෝ එපා කියනවා නෙමෙයි...ඒ ලිපි වලින් නොදන්නා බොහෝ දේ මම දැනගත්තා... නමුත් පුද්ගලිකව මට ඒවායේත් මේවායේත් අනුපාතයේ ගැටළුවක් තිබුනා..

    එකඟවීම හෝ නොවීම වෙනම දෙයක්...මේ බ්ලොග් එකේ මෙවැනි ලිපි තව ලියවෙනවානම් මම කැමතියි,,,

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බීට්ල්, කිසිම වරදවා වටහා ගැනීම නැහැ. ඔයා කියන්නේ ඇත්ත.

      හිතේ ගොඩක් දේවල් තියනවා. කෙටුම්පත් කළ ලිපි ගොඩක් තියනවා. මම ටිකක් කම්මැලි වෙලා. නමුත් මාව දැඩි ලෙස පොළඹවන යමක් සමාජය තුළ සිදුවුනාම ඒ ගැන ඉබේම ලියවෙනවා.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  3. ඔබතුමාගේ අදහසට සියයට සියයක් එකඟයි. මට හිතෙන තව දෙයක් තමයි දැන් තියෙන විෂය නිර්දේශ, ගොඩක්ම පහල පන්තිවල තියෙන ඒවා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා.
    මා සිටිනා රටේ, පොඩි උන්ට උගන්නන්නේ කියවීම, ලිවිම හා ගණිතය පමණයි. කියවීම හා ලිවීම මගින් විද්‍යාව, තාක්ෂනය, ඉතිහාසය වගේ දේවල් ආවරණය වෙනවා. ගණිතයේදී උගන්වන්නේ කිසියම් ගැටළුවක් විසඳිය හැකි විවිධ උපායමාර්ග (strategies). ඉතින් ගණිත ගැටලුවකදී හරිම strategy එක යොදන විදිහ එයාලා ඉගෙන ගන්නවා. කිසිම විදිහකින් ආගම උගන්වන්නේ නැහැ. ආගමට රජයෙන් කිසිම අනුග්‍රහයක් දෙන්නෙත් නැහැ.
    උගන්වන්නෙම පරිසරය එක්ක. වැසි දිනවල වැහිකබා අන්දවා ළමයින් එලියට දමනවා සෙල්ලම් කරන්න බොහෝ පෙර පාසල්වල. ගෙදර වැඩ ඇත්තේම නැහැ. සතියටම ගෙදර වැඩ සඳුදාට ලබා දෙනවා එයටත් වැඩිම උනොත් ගත වන්නේ පැයකටත් අඩු වෙලාවක්. පාසල් නිවාඩු කාලවල කිසිම ගෙදර වැඩක් දෙන්නේ නැහැ. ඔවුන්ගේ පාසැල් බෑගයේ තියෙන්නේ. පුස්තකාලයෙන් ලබාගත් පොතක් හෝ දෙකක්, කෑම පෙට්ටිය, වතුර බෝතලය හා අමතර ඇඳුමක් පමණයි. මෙහි දරුවන් ඔවුන්ගේ ළමා කාලය විඳින හැටි දකින විට අපේ රටේ දරුවන් ගැන මහා දුකක් හිතෙනවා. අපි අපේ ළමා කාලය වින්දාටත් වඩා හොඳින් මේ දරුවන් එය විඳිනවා. මගේ දුව මෙහි පාසලට ඇතුළුවී දැනට හරියටම මාස 7ක්, හතර වසරේ ඉගෙන ගන්නා ඇය පවසන්නේ... "මම ලංකාවට ගියාට අයෙත් එහේ ඉස්කෝලෙට නම් යන්නේ නැහැ" කියලා.........

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්න/හිටපු අධ්‍යාපන ඇමතිලාට තමයි කොණ්ඩයට වගේ එල්ලලා ගහන්න ඕනේ. අපේ රටේ තියෙන්නේ කුහක පාලන ක්‍රමයක්. කොයිතරම් හොඳ වැඩපිළිවෙලක් එක රජයකින් පටන්ගත්තත් ඊළඟ රජය ආව ගමන් ඒක කඩාකප්පල් කරනවා. විශේෂයෙන්ම අපේ රටේ නිතරම කඩාකප්පල් කරන දෙයක් තමයි අධ්‍යාපනය. 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය' කියලා දෙයක් තිබුණේ 1960 ගණන්වල. අද කොහෙත්ම නැහැ. ඉතින් මේ රටට හරියයිද?

      Delete
  4. ඉතා හොඳ කාලෝචිත ලිපියක් මේක අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට කියවීම සඳහා තැපැල් කර යවන්න​. කොන්ඩයාලා එල්ලන්න කප්පරකට මිනිසුන් ඉදිරිපත් වන රටක තවත් කොණ්ඩයන් බිහිනොවන්න කටයුතු කරන්නේ කීයෙන් කී දෙනාද ?

    ReplyDelete
    Replies
    1. ඊට හොඳයි ටිෂූ කොලවල ලියලා පස්ස පිහදා ගත්තාම.

      එවයේ ඉන්නේ සියල්ල දත් ලා..

      මම හිතන්නේ ළෝකයේ ළොකුම පොත් ගොඩ උස්සගෙන පාසල් යාමේ වාර්ථාවත් තියෙන්නේ අපේ රටේ...

      Delete
    2. //ඊට හොඳයි ටිෂූ කොලවල ලියලා පස්ස පිහදා ගත්තාම.//
      නියම කතාව මාතෙ.

      Delete
    3. @ Trans SylvaniaOctober 28, 2015 at 3:32 AM

      අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්න ලොකු මහත්වරුන්ට වගේ අපිට උපාධි හත අටක්, තව නම්බු නාම එහෙම නැහැනේ. ඉතින් මේ ලිපිය එයාලට යැව්වොත්, එයාලා කරන්නෙත්, ඔය පහළින් මාතලන් කියල තියන දේ ම තමා.

      හැබැයි එයාලා පිහදාන හරියේ තමා එයාලගේ මොළය තියෙන්නේ :e

      Delete
  5. ඔබ අදාල කරුණු රැසක් පුළුල්ව හා සමබරව සාකච්ඡා කර තිබෙනවා. මේ අයුරින් බිහිවෙන කොණ්ඩයින් අන්තිමේ සුපර් ස්ටාර්ස්ලා වෙන අවස්ථාත් තියෙනවා. (එය නිසි පරිවර්තනයක් සමඟ සිදුවන්නක්නම් කමක් නැහැ. ඒත් ඒක වෙන්නේ ඒ විදිහට නෙමෙයි.) බණ්ඩා උඩින් විස්තර කර ඇති විදිහට තමයි ගොඩක් දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ. එයින් සිතීමට පුරුදු කරනවා. අපේ ක්‍රමයෙන් බොස් කියන දේ කියන විදිහට කළ හැකි හොඳ සේවකයින් මිසක් නවනිර්මාණකරුවන් බිහිවෙන්නේ නැහැ. හරියටම පුරුදු කරන්නේ බොස්ව රවට්ටන විදිහ.

    ReplyDelete
    Replies
    1. මම මගේ හිතට ආව දෙයක් අවංකවම කියන්නම් ඉකොන්.

      මම දුනේෂ් ප්‍රියශාන්ත තුළින් (මම කැමති නැහැ තව දුරටත් කොණ්ඩයා කියන්න) දැක්කා හොඳ තාරුණ්‍යයක්. කඩවසම් බවක්. මේ තරුණයා නිසිමගට යොමුකර, ඔහුතුල සැඟවී ඇති දක්ෂතා එළියට ගන්න පුළුවන්නම්, අපි පුදුමයට පත්වන දේවල් සිදුවෙයි. දැනුත් ඊට ප්‍රමාද නැහැ. කලයුත්තේ, පළමුව, ඔහුගේ හිතට ආමන්ත්‍රණය කරන, පුනරුත්ථාපන වැඩපිළිවෙලකට යොමු කිරීමයි.

      අපේ රටේ ඉන්න, නොමග ගිය මෙවැනි තරුණ තරුණියන් රාශියක්, විනාශයට යමින් සිටිනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කවුරුහරි තමන්ට අවධානය යොමු කරයි කියලා. නමුත් ඒ බව සමාජ සේවා අමාත්‍යාංශයවත් තේරුම් නොගැනීම අවාසනාවක්.

      Delete
  6. ඉතා වැදගත් කරුණු රැසක්!

    ඔබ වැනි අය සමාජ වෙනස්කම් ගැන මේ ආකාරයේ ඒක පුද්ගල සටන්වලට සීමා නොකොට ජාතිත තලයේ උපදේශක තනතුරකට සහ ක්‍රියාන්විතයකට නායකත්වය දීමට පත් කළ හැකි නම්....!!!

    නමුත්, මේවා යුධ හමුදාවල මෙන් කෙවිටෙන් කළ හැකි වෙනස්කම් නොවෙන බවත් මතක් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔය උපදේශක සභාවල ඉන්නේ ඇත්තටම කියනවා නම් එහෙයියන් පමණයි. ඒ අය කවදාවත් උපදෙසක් දෙන්නේ නැහැ. ලොක්කා කරන වැඩ එහෙයි, එහෙමයි, හොඳයි, මාරු, ටොපේ ටොප්, කියමින්, තමන්ගේ ගතමනාව අරන් චූන් එකේ ඉන්න එක විතරයි. අපි ඒ වගේ තැනකට ගියොත් වැඩිකල් නොගිහින් එකෙක් දෙන්නෙක් ගේ හොම්බට ඇනලා එළියට එන්න වෙන්නේ.

      හමුදාවේ ක්‍රමයට කවදාවත් සිවිල් සමාජය හදන්න බැහැ. හදන්නත් හොඳ නැහැ. ඒකට නේද Militarism කියන්නේ?

      Delete
  7. ඒ සිද්ධිය ලංකාවේ අද තත්වයේ බරපතල කම ගැන හොඳම උදාහරණයයි. විශේෂයෙන් අර පාසල් සිසුවාට කළ හිංසා ගැනවත් පොලිස්කාරයින්ට කිසිම දඬුවමක් හෝ පරික්‍ෂණයක් හෝ නැ නේද?

    මා ඉන්නා රටේ නම්, මේ වගේ දේවල් නොවෙයි ඉතා සුලු කරුණු ගැන පවා, පසුවදාම අගමැතිට උත්තර දෙන්න වෙනවා. සමහර විට, නිව්යෝක්වල එජා රැස්වීමට ගොස් පුවත්පත් සාකච්ඡාවක් පවත්වන විටත් එදා දවසේ පුවත් මවන දේශිය සුලු කාරණා ගැන පවා මෙහෙන් ගිය පත්තරකාාරයෝ අහන හැටි දැක්කාම හිනාත් යනවා!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ අග්‍රාමාත්‍ය තනතුර ජෝකර් තනතුරක් වුනේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියලයි මමනම් හිතන්නේ. එම තනතුර ස්වාධීන වීමට බාධා මතුව තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්මයි.

      අර පාසල් සිසුවා අනාගතයේදී තවත් කොණ්ඩක් වුනොත් මමනම් පුදුම වෙන්නේ නැහැ. පොලීසිය ක්‍රියාකළේ ඉතාම අමනෝඥ විදිහට. මාධ්‍ය කියන සමහර වෛශ්‍යා ආයතන කළේ, ඒ දරුවා විකුණාගෙන කෑම. කාන්තා සහ ළමා කටයුතු ඇමතිට ඕනෑකමක් තියනවා කියලා හිතමු, මේ ගැන ක්‍රියා කරන්න. නමුත් එම ඇමති පාලනය කරන්නේ, වෙනත් බලවේග විසින්. කතාව එතනින් ඉවරයි.

      Delete
  8. විචාරක තුමා... අතිශය එකගයි .... අම්මල තාත්තල තමන්ට නොලබුනු දේවල් දරුවන් ලවා ලබාගන්න ඔවුන්ට දහසක් වද දෙන වැඩෙනුත් කොන්ඩයන් බිහි වෙනවා...

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලාට ඔය ලෙඩේ හැදෙව්වේ අපේ රටේ තියන ගොන් අධ්‍යාපන ක්‍රමය විසින්. ලෙඩේ හොඳ කරන්න තියන එකම ක්‍රමය ස්ථිර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හැදීම.

      Delete
  9. පුවත්පතක පලකල යුතු ලිපියක් කියලයි මට හිතෙන්නේ.අධ්‍යාපන බලධාරීන්ගේ වගේම දෙමාපියන්ගේ,යොවුන් වයසේ සුවන දරුවන්ගේ වගේම අනෙකතුත් සෑම දෙනාගේම අවධානයත් මේ ලිපියට යොමු විය යුතුයි.

    මෙතනදි මට මතක් වුනේ බුදුසමයේ කියවෙන කරුනු කිහිපයක්.ඒ තමයි අධ්‍යාපනය ලබන කාලසීමාවේදි දරුවකු "දැන උගත්කමින්,ජීවත්වීමට අවශ්‍ය කෙරෙන අනෙකුත් ශිල්ප ශාස්ත්‍ර පිලිබද පුහුණුවෙන්,සංවරසීලි සාදාචාරසම්පන්න බව" කියන කරුනු වලින් පෝෂණය කලයුතුයි කියලා උගන්වනවා.දැන උගත්කම කියනකොට අධ්‍යාපනය පමනක් නෙවෙයි.සමාජයේ ජීවත්වීමට අවශ්‍ය අවබෝධය ගහකොල සතා සව්පාවා,පරිසරය ගැන පවා දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ, පුවත්පත්වල මෙවැනි ලිපියක් පලකරගැනීම සඳහා, පුවත්පත් කතුවරයා වෙත මා ගැන පූර්ව හඳුන්වාදීමක් අවශ්‍ය වෙනවා කවුරුන් හෝ විසින්. මම කැමති නැහැ ඒ ක්‍රමයට යන්න.

      අද තිබෙන විෂයය නිර්දේශ තුළ ගුරුවරයාත් ළමයාත් හිරවෙලා. විභාග තියනවා 5 පන්තියේ ඉඳලා. දත් විලිසාගෙන් ඉන්න රාස්සයෝ වගේ. ඉතින් ඒවාගෙන් ගැලවෙන්න දඟලනවා මිසක්, සදාචාරයක් ගැන උගන්වන්න/ඉගෙනගන්න වෙලාවක් නැහැ. ඉස්කෝලෙට යන එන අතරේ ළමයා වැඩිපුරම දකින්නේ ජීවිතය නොමග යවන දේවල්.

      Delete
  10. කොන්ඩයට යන අතක යන්න දීලා කොහොමද , එතකොට කොහොමද උදුල් පේමරත්නලා ජීවත්වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන්ට පුළුවන් නේද වීදි ගණිකාවන් වගේ අලුත් දේවල් අල්ලගන්න. ඒවා මහ අපරාධ. ගෑණු තමයි වගකියන්න ඕනේ. පිරිමි නෙවෙයි.

      Delete
  11. පත්තර මල්ලිගේ පිංතුරය පලකිරිම ගැන අපගේ බලවත් මෙව්වා එක..

    ReplyDelete
    Replies
    1. ලෙල්ල හුටං.. හැබෑ නේන්නං.. වල් පත්තරයම තමයි

      Delete
    2. චැහ්.. අපි දුප්පත් උනත් වැදගත් මිනිස්සු සෑර් .. නැද්ද මං අහන්නෙ

      Delete
    3. අනික ලෝකයා මොනවා නොකියයිද...
      මෙච්චරකල් රැකගෙන ආව කොල්ලාගේ පතිවෘත්තාව...

      Delete
    4. දැට්ෂ් රයිට්. ආං ඒක !!

      Delete
    5. මේක දේශදෝහී, විදේශ කුමන්ත්‍රණයක අතුරු ප්‍රතිපලයක්..

      Delete
    6. අපේ සෑර්ට තට්ටෙ කියලා මං පලියෑ .… මට මළ පනිනව චාමර :D

      Delete
    7. ඔය පත්තරයමද කියල DNA ටෙස්ට් එකක් කරල බලමු.

      Delete
    8. මට අයියෙක් නෑ බොලව් :D

      Delete
    9. හුටා ,,,,,පත්තරේ මොකක්ද බන් මේ උනේ ...(අම්මට සිරි ලැප්ටොප් එක ෆොර්මැට් කරන්න ඕනෑ ...මේකා එවපු මේල් තිබුනොත් .සින්දුයි පත්තරෙයි එකක් වෙනවා ..) යකෝ අපි නුගත් උනත් මෝඩ නැ හරිය ...හැක්

      Delete
    10. හැක්.. ඕක ෆෝමැට් කරන එක නං හොඳා..බිකෝස් මතකනේ අර ඒලෙවල් කොල්ලට වෙච්චි නිංගිරාව ..හැක හැක .. මෝඩයා කියල මරන්ඩයැ :D

      Delete
    11. හෙහ් හෙහ්, උඹලා පත්තරයව අන්දන්න හදනකොට පත්තරයා උඹලගේ කිරිජ්ජපල්ලත් ගලවාගෙන මාරුවෙලා ඉවරයි. මට බය ඕකා ඉතාලියේ විසූවියස් ගිනිකන්ද කීයකට හරි විකුනලා දායිද කියලා.

      Delete
  12. කාලෝචිත මාතෘකාවක් සහ කවදාවත් නිසි බලදාරීන් විසින් කිසි පිලියමක් නොසොයනා දෙයක්. මටත් දවසක කාමරේ සිටිද්දී සාලෙන් අමුතු සද්දයක් එනවා. කාන්තාවක් "ආහ්හ්, උඋහ්හ් " ගානවා, පිරිමියෙකුත්, "අහ්, ආග්ග්හ් " ගානවා. යකෝ මට හිතා ගන්න බෑ, සාලේ කව්රුහරි නිල් චිත්‍රපටයක් බලනවද, එහෙම නැත්නම් කක්කා දාන්න තටමනවද කියා. බලද්දී මගේ බාල සොයුරා ටී වී එකේ සිංහලෙන් හඬ කැවූ විදේශ නාට්‍යයක් බලනවා.

    ReplyDelete
    Replies
    1. හැක, හැක, මේ අර කොරියන් නාට්‍ය නේද? මගේ ඥාති සොහොයුරියගේ දියණියන් මේ නාට්‍යවලට වහ වැටී සිටි අයුතූ දැක මට පුදුම හිතුණා!

      ඉස්සර චිත්‍රකතා ශිල්පියෙකු වූ බෙම්මුල්ලේ හැන්රි ගේ චිත්‍රකතාවල දෙබසුත් ඒ වගේ තමයි!

      Delete
    2. හිකිස්! සිරා කතාව

      Delete
    3. @ DileepaOctober 28, 2015 at 9:18 AM

      මටනම් හිතෙන්නේ තව වැඩිකලක් නොගිහින් ඔයිට වඩා ලොකු ආහ්, ඌහ්, එව්වත් එළිපිටම බලයි මේවා අපේ මානව හිමිකම් කියාගෙන.

      අදනම් සිංහලෙන් හඬකවා විදේශ නාට්‍ය පෙන්වන්නේ තම නාලිකා ජනප්‍රිය කරගැනීමේ පරමාර්ථයෙන්. ඒ කාලේ රූපවාහිනියෙන් 'ඔෂින්' පෙන්නුවේ වෙනත් සංස්කෘතියක ඇති දේවල් අපිට හඳුන්වා දෙන්නයි. නමුත් රූපවාහිණිය ඒ නාට්‍යය පට්ට ගැහීමේ ප්‍රතිඵලය තමා, 'කුණු ඉන්දියන් නාට්ටි' මේ රටට ඒම සහ ගෙවල්වන වැඩ නැතුව ඉන්න නූගත් අම්මලා, ඒවාට ඇබ්බැහිවීමෙන් දරුවන්ගේ ඔලුවත් කුරුවල් කිරීම.

      Delete
  13. අගෙයි විචාරක තුමා.. ඔබ තුමා වැනි අයෙකු විසින් දිය යුතුම වටිනා උපදෙස් ටිකක්..
    බැරිද නලින්ට කියලා පත්තරේකට යවාගන්න පුළුවන් උනොත්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට.

      මම කියන්නේ මේවා උපදෙස් හැටියට නෙවේ, තිත්ත ඇත්ත හැටියට විවෘතව සාකච්ඡා කරලා, අවංකවම ඒ ඒ පාර්ශවයට අදාළ කොටස ඉටුකිරීමට අධිෂ්ඨාන කරගෙන, ඒ අනුව නොසැලී ක්‍රියාකළ යුතු බවයි.

      පත්තරවල මේවා පලකරයිද කියා සැකයි. අපි ලොකු ලේඛකයෝ නෙවෙයිනේ.

      Delete
  14. අපේ අධ්‍යාපනයෙන් 'ෆේල්' වෙන්න චාන්ස් නෑ.ඕනම දේකින් එක වෙන්න,පාස් වෙන්න තමයි ෆයිට් එක.ඇත්තටම ඒක ෆයිට් එකක්.ෆේල් වෙන එකා ගොබ්බයෙක් වෙනවා.ඌ ඉච්ඡාභංගත්වයට පත්වෙනවා.(අතලොස්සක් නිර්මාණශීලීව කොපි කරන්න පෙළඹෙන්නෙත් ෆේල් වෙන්න තියෙන බයට.උංගෙ හැකියාව පලක් ඇති දේකට යෙදවෙන්නෙ නෑ.)
    ගොබ්බයෙක් කියලා එලියට වැටෙන එකා කොහොම හරි තැනක් හදාගන්න කැපී පෙනෙන්න දඟලනවා.මාකටිං කාරයන්ට,දේශපාලුවන්ට,මැරයන්ට මෙයාල හොඳ සොෆ්ට් ටාගට් එකක්.අනේ ඉතිං මුංට අබ සරණයි.පොලෝසියෙනුත් හෙවිලි බැලිලි නෑ සඳ සාක්කි කියාපුදෙන් කියලා සලකන්නෙත් මුංට මයි.
    භයානකම දේ තමයි මේ තමයි ඇතිවෙමින් පවතින බහුතරය... සැබෑ ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහට.මේ වගේ දෙයක් අඳුනාගෙන සාකච්ඡා කිරීම ගැන ගස්ලබ්බාගේ ප්‍රනාමය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගේ පංතියේ ඉන්න මොස්ට් ක්‍රියේටිව් එකා තමයි පංතියේ අන්තිමයා, පංතියේ නිවුස් ගෙදරට ආරංච්වුනාම හම්බුවෙන සබුක්කුව දන්න නිසා, පට්ට ක්‍රිෙය්ටිව් ස්ටොරිස් හදනවා, ඩ්‍රාමාස් සෙට් කරනවා, අනිත් පුංචි එවුන් නොදැනම ඒවායේ රඟ පානවා. මේ දක්ෂතාවන් අවබෝධ කරගන්න බැරි තාත්තා තඩි ගහනවා,ගොබ්බය කියලා බනිනවා ලැජ්ජා කරනවා, මේ තාත්තාගේ ක්‍රියා පිළිවෙල අපිටත් අවුලක් වෙලා තියෙන්නේ, ඒ පොඩි එකා දැන් පංතියේ හොඳයි කියන අයට පුංචි පුංචි හිංසාවන් කරන නිසා, ලොකු වෙන කොට ලොකු හිංසකයෙන් වෙයි කියන ලකුණු තියනවා.

      Delete
    2. @ ලබ්ස්

      දේශපාලන අම්බරුවන් තමයි මුලින්ම පුනරුත්ථාපනය කරන්න ඕනේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා, ජනමත විචාරණයකින් එක සම්මත කරගන්න ඕනේ වෙනස් කරන්න බැරිවෙන විදිහට.

      @ ඇණයා

      සම්පූර්ණ ඇත්ත. අද අපි දක්ෂයා කියන බොහොමයක් අයට ගැලපෙන නියම නම පොත්ගුල්ලා කියන එකයි. පන්තියට හදිස්සියේ පිස්සූ බල්ලෙක් පැන්නොත්, ටීචර් මේසේ උඩට නගිනවා, පොත්ගුල්ලෝ දුවනවා, ගොබ්බයා බලලත් එක්ක සටන් කරලා ඌව එලවනවා. නමුත් ඌව ඇගයීමකට ලක්වෙන්නේ නැහැ.

      Delete
  15. අගෙයි. පෝස්ට් කීපයක් කියෙව්ව වගෙ හැඟීමක් හිතට ආව. අපේ සමාජයටම කිසියම් ආකාරයක පුනරුත්ථාපනයක් අවශ්‍යයි කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ලිපියෙ ප්‍රින්ටවුට් එකක් ගත්ත. තවම ස්ක්‍රීන් එකෙන් අකුරු කියවන්න නුහුරු අයත් ඉන්නවනෙ . එහෙම කීප දෙනෙකුට දෙන්න ඕන.

      Delete
    2. පසුගිය මස කීපය තුළ හිතේ ගොණුවු අදහස් ටිකක් එළියට දාන්න හිතුනා. මා හිතනවා මේවා විවෘතව සාකච්ඡා කලයුතු කරුණු කියා. වැඩිදෙනෙකුට කියවන්න අවස්තාව උදාකරදීම ගැන ඔබට බොහොම ස්තුතියි.

      Delete
  16. විචා උඹත් එක්ක 99% එකඟ වෙන ළිපියක් මේක..

    මේ තමයි මචෝ උඹ ලියපු හොඳම ළිපිය..

    හැට් ඕෆ්.. සීරුවෙන් හිටගෙන.. ඩබල් සැලියුට්.. වෙල් ඩන් විචා...

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් උන් උස්සයි... ඒකට කලබල වෙන්න එපා රජෝ.. විය යුත්තේ එයයි..

      Delete
    2. අනිවාර්යෙන්.... වියයුත්තේ එයයි...

      Delete
    3. @ මාතලන්

      පහුගිය මාසයක විතර කාලයක් මේක හිතේ කැකෑරෙමින් තිබුණේ. එක පාරටම ලියලා දැම්මා. බොහොම ස්තුතියි මාතේ. උඹ වගේ එකෙක් කිව්වනම් ලිපිය සාර්ථකයි කියලා ඒක සාර්ථකම තමා.

      උස්සන එකෙක් උස්සපුවාවේ. එතකොට තවත් අය කියවන්නේ නැතෑ.

      Delete
  17. විචාරකතුමා.. ඇත්තටම මේ ලිපියට කියන්න දෙයක් නැති තරං..
    අර ඩ්‍රිල් කතාව ගැන අනික්වට වඩා දැනුන. මොකද ඒක හරිම නීරසඅත්දැකීමක්. කවුරුවත් කීවට සුදු රෙදි ඇදන් ඇවිත් කවුරු හරි දෙසන දෙයක්පඅහං ඉදල ඒත් ඒ වෙලාවෙම පුලුවං තරං අටසිල් කඩල තියෙන හින්ද. ඇත්තටම කඩනව නෙවී කැඩෙනව.. ඒ ඉබේ වෙන දෙයක්. මොකද කවුරුවත් ඒකට 100% අනුගත නැති හංද.
    ඉස්සරෝම වෙනස් කරන්න ඕන අම්මල. මොකද අම්මල නැති තරගයක් ළමයි අතර හදනව. ගුරුවරුත් ඒකට එකෙන්ම එකග වෙනව. මොකද ලකුණු දාගන්න එපැයි. අම්මල හොද කියද්දිකාටද ආඩම්බර. නේද. ඉතිං අර ළමය දෙපැත්තෙංම තැලෙනව...
    ඉන්ටනැසනල් ගැන කතා කරල වැඩක් නෑ.. අමුම අමු කම්පෙටිටර්ස්ල මිසක් ළමයි නෑ ඒවැයි.. කොටංම උං දන්නෑ දෙයක් බෙදාගන්නව කියන්නෙ මකද කියල...
    වැඩිය ඕන නෑ. ළමෙක්ට අද යන්න බැරිවුණා නං අසනීප වෙලා හරි මක හරි වෙලා.. උට අබ සරණයි.. අඩුමගානෙ ඒ දවසෙ කරපු දේවල් වත් පෙන්නන්න ළමයෙක් ඉදිරිපත් වෙන්නෑ...

    ඉතිං කොණ්ඩයො වගේ උං අර 64 කේස් එළිබහින එක අහන්නත් දෙයක්ද.. ඇත්තටම කොණ්ඩයට වැරැද්දක් ම කියන්නෑ.. ඒක පොඩි කාලෙ ඉදල ඌ හැදුණ හැටි. ඒත් උට ඒ නම තිබ්බ උං... මොන තරං කුජීතයිද.. බුජ්ජිමත් ජනතාව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.

      මම ඔය සිල් කතාව ලිව්වේ ඇත්තටම එම සිද්ධිය කීප වතාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ආගමේ නාමයෙන් පොඩි ළමයි ලවා ගොන්පාට් කරවන එක පවක් කියලා මහ එවුන්ට නොතේරෙනවා නෙවෙයි. ඉස්කෝලේ වැඩසටහන කරන්න ඕනේ නිසා ඔහෙ කරනවා.

      ගුරුවරු, ළමයි, දෙමව්පියෝ ඔක්කොම එකම කැඳ හැළියක ඉන්නේ. නිවැරදි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිවීමේ විපාක තමයි මේ විඳින්නේ.

      ඔය කොණ්ඩයා වගේ නම් හදලා තරුණ ජීවිතයක අනාගතය විනාශ කරන එවුන්ට නම් හදන්න ක්‍රමයක් සමාජය තුළම නිර්මාණය වියයුතුයි. එතකොට තමයි උන්ට තේරෙන්නේ.

      Delete
  18. Replies
    1. ඔෆ් වුනාට කමක් නෑ තෝගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට උත්තර දිලා අලුත් පොස්ට් එකක් ලියපිය..

      Delete
    2. @ කල්‍යාණ

      Thank you so much Sir.

      @ මෙන්ඩා

      උඹ තවම නේවි එකෙන් කාලා නෑ වගේ. :e

      Delete
  19. //ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද?//

    සෑර්.. ආන්න ආන්න ඉතිං :D

    ReplyDelete
    Replies
    1. //ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද?//

      කෙබඳු නොවේ..

      Delete
    2. "සකල සතට සෙත සාදන පරාදිසයයි සිරි සර
      සකල සතට මෙත සාදන දහම් දීපයයි සුනිමල"

      https://www.youtube.com/watch?v=vQviT-gBMoE&feature=share

      Delete
    3. @ පත්තරේ

      නෑ නැ පත්තරේ මම කියන්නේ ප්‍රස්ග නවත්වා රට පුරා ස්ටේජ් ගහලා පිරිත් කියන්න කියලා නෙවෙයි. තමන් ඉදිරිපත් කරන ප්‍රසංගය අර්ථවත් දෙයක් කරන්න. එය අරක්කු වීදුරුවක්, ගංජා සුරුට්ටුවක් කරන්න එපා. විනෝදය සමග රස වින්දනයද උසස් මට්ටමකට ගන්න කියලයි.

      @ විදානේ

      කෙබඳුද සබඳ?

      @ සින්දු

      බොහොම ස්තුතියි. වෙනදා වගේම.

      Delete
  20. වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා. මහන්සි වෙලා මේ වගේ ලියනවට විචාරකට ගොඩක් ස්තූතියි.

    මට නම් දැක්ක ගමන හිතුනේ පිරිමි කොන්ඩේ වවන එක තහනම් කලොත් හොඳයි කියලා... :P

    ReplyDelete
    Replies
    1. :)
      හ්ම් බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ, අර අන්තර් මොකද්ද විඥානෙන් කොන්ඩයව දැක්කද දන්නේ නෑ.

      Delete
    2. බොහොම ස්තුතියි පොඩ්ඩි ඇගයීම ගැන.

      හෑ............කොණ්ඩය වවන පිරිමි හොඳ නැද්ද? මටනම් හිතෙන්නේ එක්කෝ පොඩ්ඩි ලඟකදී කොන්ඩේ කපලා. නැත්නම් ආදරේ වැඩිකමට අරයගෙ ඔලුව වැඩිපුර අතගාලා කොන්ඩේ ගිහින් ඇති.

      Delete
  21. නීතිය අවනීතිය වෙන කාලෙක, නීතිය අතට ගන්න හදනවා මහජනයා. ජුලියස් සීසර් ඝාතනය් කල වෙලාවෙ ඒ මලමිනිය ළඟ ඉඳන් කළ කතාවෙන මිනිස්සු කොපමණ ප්‍රකෝප වුනාද?
    ප්‍රංශ විප්ලවයදි අතට අහුවෙන දෙයක් අරන් වීදි බැස්සේ මහ ජනතාවයි.
    'වැටත් නියරත් ගොයම් කා නම් කාට පවමි ඒ අමාරුව කියල කතාවක් තියෙනවා නෙ?
    රජයෙන් ඉහළ නිලධාරීන්ගේ වග කිව යුත්තන් ගෙන් තම කටයුතු අත පහු වෙන කොට මිනිස්සු කල්ලි ගැහිලා තීරණ ගන්නව + ක්‍රියාතමක වෙනවා = ඒක වළකවන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. නීතිය බල්ලට ගියාම මිනිස්සු තමන් අතට නීතිය ගැනීම පුදුමයක් නෙවෙයි. රටක් ඒ තත්වයට පත්වීම ඛේදවාචකයක්. පිරිහීමේ ලක්ෂණයක්. අන්න ඒ පිරිහීම වලක්වාගන්නයි, මහජනතාව සාමූහිකව උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ, නීතිය යලිත් ප්‍රතිෂ්ඨාපනය කොට, ඊට අදාල පාර්ශ්වයන්ට, නීතිය පසිඳලීම භාරදී, අපි නීතිගරුකව ජීවත්වීම.

      Delete
  22. උසස් පෙළ අසමත්වන පෝසත් පවුල්වල දරුවන් මෙන්ම, තම අතපය හෝ උගස්කර, දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන දෙමව්පියන්ගේ පවුල්වල දරුවන්, රු 300000 සිට ඉහළට ඇති, පරිගණක හෝ වෙනත් එවැනි රැකියා මුල් කරගත් පාඨමාලා හදාරනවා. නමුත් ඒවා බලා හූල්ලන දරුවන් කොපමණ ඇද්ද? ඔවුන් තුළින් කොණ්ඩයන් බිහිවීම පුදුමයක්ද?


    මට ගොඩක්ම වැදුනේ මේ ටික විචාරක මහත්තයෝ. මේ ළගදි මට පරන යාළුවෙක් හම්බ උනා උපාධියක් තියාගෙන රස්සාවක් හොයනවා. මට කිවුවා දකින හැම එකටම ඇප්ලයි කරනවා මචෝ පියන් ජොබ් එකකටත් දැම්මා ඒත් ආවේ නෑ කියලා. මේ හොද වෙලාවට කෙල්ලක් කොල්ලෙක් උනා නම් දෙකක් නෑ තවත් කොන්ඩයෙක්.

    ලිපිය ගැන නම් කියන්න දෙයක් නෑ... ගොඩක්ම ඉහලයි කරුණු විචාරක මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. අළුගෝසු තනතුරටත් උපාධිධරයකු අයදුම් කර තිබුනා නේද? අපේ අධ්‍යාපන ක්‍රමය සුද්දා හැදුව එකවත්, ඊට පස්සේ අපි හදාගත්ත එකවත් නෙවේ. මහ අසමජ්ජාති ක්‍රමයක් දැන් තියෙන්නේ. දැන්වත් ස්ථිර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදා නොගත්තොත් අපේ රටේ අධ්‍යාපනය කපෝතියි.

      Delete
  23. ගොඩක් වටිනා ලිපියක් විචා.
    ඇත්තටම හෝඩියෙ පන්තියෙ ඉඳලම ලංකාවෙ තියන අධ්‍යාපන ක්‍රමය නුසුදුසුයි කියල තමයි මගේ හැඟීම. ඒකෙන් ළමයි වගේම යමක් කමක් නැති දෙමාපියන් හිට අපහසුතාවයට පත්වෙනව. අනික ප්‍රාථමික පන්තිවල ළමයින්ට කිසිසේත්ම අවශ්‍ය නැති දේවල් ඒ සිලබස් වල තියෙනව.
    ඒ වගේම පාසල් වල වැඩ සහ අධ්‍යාපනයට අවශ්‍ය සමහර වැඩ වලට වියදම් කරන මුදල කුලී වැඩ කරල ජීවත්වෙන පවුලකට දරන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ ඒ වගේ ළමයි හැමදාම සමාජයෙන් කොන් වෙන එක.

    මේ ලිපිය ප්‍රසිද්ධ මාධ්‍යයක දාන්න පුලුවන්නං අගනේයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න පළමුවැනි ශ්‍රේණියේ ඉඳලම ළමයින්ගේ ඔලුව කුරුවල් වෙනවා. ඕනෙවට වඩා බර පටවනවා. නමුත් ළමයින්ගේ ඔලුවේ ඇති දේකුත් නැහැ නැති දේකුත් නැහැ.

      ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකමේ විපාකය.

      ලිපිය මාධ්‍ය වලට යැව්වත් මම ලොක්කෙක් නොවෙන නිසා පලකරන එකක් නැහැ.

      Delete
  24. නියමයි විචාරක තුමෝ ...නැවතවරක් කියවන්න ඕනෑ ....නියමයි
    ජයවේවා !!

    නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
    හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

    ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
    (ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

    මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
    (මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

    කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
    (කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

    ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
    (ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

    නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
    හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

    ගායනය - ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
    පද රචනය - කපිල කුමාර කාලිංග
    තනුව හා සංගීතය - ආනන්ද ගමගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සින්දුවෝ. උඹ කවදත් තැනට ගැලපෙන සින්දුවක් දෙනවනේ. එකම දේ මේ වගේ ගීත අද ළමයින් කීයෙන් කී දෙනෙකුටද මතක තියෙන්නේ කියන එකයි. ජරා හින්දි සින්දුනම් මතකයි.

      Delete
  25. වෙන කියන්න දෙයක් නෑ විචාරකතුමා......... අවංකවම සුපිරියි.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට

      Delete
  26. මේකට මට මෙතන පෝස්ට් එකක් දාන්න කරුණු තියනවා.
    මුලින්ම අධ්‍යාපනය. අධ්‍යාපනය කියල අද මොකද්ද කරන්නේ? පොත් කට පාඩම් කරනවා, පාස්ට් පේපර් කට පාඩම් වෙනකල් උත්තර ලියනවා. ඒ ඔක්කොම ටික ගිහිල්ල එක්සෑම් එක (සාපෙ, උපේ) දවසේ හලලා එනවා. එච්චරයි. කිසිම කෙනෙක් අද ඒ පාඩම් වලින් කිසි දෙයක් ජීව්තේට ගන්නේ නෑ. ඉතාමත් කලාතුරකින් තමා එහෙම කරන්නේ. මම දහම් පාසල් ගුරුවරයෙක් විදියටත් මේක දකිනවා. බොහෝ විට මට අනික් ගුරුවරු කියන කතාවක් තමයි - අනංමනං කියවන්නේ නැතුව දෙන අච්චුපොත ඉවර කරන්න. විභාගෙට එන්නේ එකෙන් විතරයි.. කියන එක.
    ඔව්, වර්ෂාවසාන පරීක්ෂණය නම් සමත් වේවි. නමුත් ජීවිත විභාගය??
    අනික් එක තමා සාමාන්‍ය පෙළ/ හුචස් පෙළ සමත් වීම. අද සමාජය මේ ගැන ලොකු බරක් තියනවා. මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිපලයත් මහා ලොකු "හොඳක්" නෑ. මගේ ප්‍රතිපල අහපු සමහර කට්ටිය මම දහම් පාසලේ උගන්නන ඒකත් ප්‍රශ්නයක් කරගත්ත වෙලාවල් තිබ්බා.
    අද අධ්‍යාපනය කියල කරන්නේ එක්සෑම් පාස් වෙන එක විතරයි. ප්‍රැක්ටිකල් සයිඩ් එක 0යි. මට මතකයි 2012 උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ප්‍රායෝගික ගැටලුවකට සෑහෙන ළමයි ගානක් බැනල තිබ්බා. ඇයි, ඒක විසඳන්න ටිකක් හිතන්න ඕනේ. ඒක සාම්ප්‍රදායික රාමුවෙන් එලියට ගිය ප්‍රශ්නයක්
    අනික ටියුෂන්. මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ටියුෂන් නැත්තම් විභාග පාස් වෙන්න බෑ කියන මතය අද හදලා තියන්නේ. ඒක වෙනස් කරන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. මම සාමාන්‍ය පෙලට ටියුෂන් ගියේ ගණිතය 1යි විද්‍යාව 1යි කිව්වම දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරන උන් කටත් ඇරගෙන මගේ දිහා බලං ඉන්නවා. සිංහලට ක්ලාස් ගියේ නෑ කිව්වම උන්ට හාට් ඇටැක් හැදෙන සයිස්.. ඇයි මේ? හැමෝටම ටියුෂන් ඕනෙද? කෝ හැමෝටම ඕවට දෙන්න සල්ලි? මම සාමාන්‍ය පෙළ කරේ 2009. ඒ වෙද්දී ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා/ගණිතය කණ්ඩායම් පන්තියක් සාමාන්යෙන් 500-600ක් අය කළා. ඉතිං ඔච්චර ටියුෂන් වලින් ගොඩ යන්න පුළුවන් නම්, ඉස්කෝලයක් නැතුව ටියුෂන් පංති 9කට දාල ප්‍රයිවට් ඇප්ලයි කරලා එක්සෑම් කරන එකනේ තියන්නේ..
    අනික් එක ගුරුවරු- අද ගුරුවරු වැඩ කරන්නේ සල්ලි බලාගෙන. උගන්නන්න බලාගෙන නෙවේ. ගොඩක් ගුරුවරුන්ට සේවා තෘප්තිය නෑ. ඒ වගේම ලොකු ඉස්කෝලෙකට පනින මේනියාව තමා තියන්නේ. ඒ කරලා "මම අහවල් ඉස්කෝලේ උගන්නන ගුරුවරයා" කියල නම ගහගෙන, ටියුෂන් පටන් ගන්න. මම දහම්පාසල් ධර්මාචාර්ය විභාගය කරනවා කිව්වම සමහරු කියනවා, අන්න මරු. ඕකෙන් ගුරුපත්වීමක් අරගෙන කොහේ හරි ඉස්කෝලෙකට, ටියුෂන් පටන්ගත්තා නම් සෑහෙන ගානක් හොයන්න පුළුවන් කියලා. අන්න ඕකයි අද තත්වේ.

    මීළඟට මාධ්‍ය. කතා කරලා තිත්ත උන මාතෘකාවක්. කොටින්ම ඔය කොණ්ඩයා කියන නම හැදුවෙත් ඔය ජඩ මාධ්‍ය තමයි. දැන් තියන සිංදු නම් මෙලෝ රහක් නෑ. මම අර ෆේස්බුක් ඒකෙ හිලේරියස් රස කතා ගෘප් එකට ශෙයා කළා මම දැකපු හොඳ නිර්මාණයක්. "හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදාගන්නා ආකාරය" කියලා. ඒක අද මොන සින්දුවට උනත් ගැලපෙනවා. මේ ලඟදි අපේ දහම් පාසලේ ඉහල පංති දෙකේ ළමයි ටිකක් එක්ක පන්සලේ හවස පූජාවකට සෙට් උනා. ඊළඟ දවසෙත් උදේ කිරි ආහාර පූජාවක් තිබ්බ නිසා, අපි ටික පන්සලේම හිටියා. ඉතිං රෑ කරන්නත් දෙයක් නැති ඒකෙ, පහල ශාලාවට වෙලා අපි ටික සිංදු කියන්න සෙට් උනා. ඒ සෙට් එක කියපු සිංදු ඇහුවම මට සංසාරේ එපා උනා. හැම එකම ලවු සිංදු. ලවු නෙවේ ඇත්තටම ඉලව් සිංදු. අර ඔබතුමා කීව මාධ්‍යට හොඳින් ටොකු අනින වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ.

    අවසාන වශයෙන්- අපේ අධ්‍යාපන ක්‍රමයත් මෙලෝ රහක් නෑ. කොච්චර හොඳද කියනවා නම්, අපි 11 ශ්‍රේණියේ ඉතිහාසයට ඉගෙනගත්තේ, රුසියානු ජාතික යුරි ගගාරින්, 1971 පළවෙනියට හඳ මත පා තැබුවා කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කෙනෙක් ඔබේ අතීතය සහ වර්තමානය මේ විදිහට දැක්වීම හරිම වැදගත්. මේ දිග විස්තරයෙන් කදිමට පෙනීයනවා ද අපි ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියන එක. අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිවීමෙන් කාලකන්නිවන දරුවන්ගේ ජීවිත වලට වගකියන්නේ කවුද? දරුවකුගේ නියම දක්‍ෂතා හඳුනා නොගන්නා අධ්‍යාපන ක්‍රමයක් තුළ අපේ රටට කවදාවත් දියුණුවක් ඇතිවෙයිද? මේවා වෙනුවෙන් හඬ නොනගන ජාතියක ඉරණම කුමක්වේද?

      බොහොම ස්තුතියි ඔබේ අදහස් ගොන්නට.

      Delete
  27. කියන්න ඕනි ගොඩක් දේවල් උඩහිං දාලා තියෙන්නෙ ඔය.
    ළමයින්ට වෙලා තියෙන අපරාදෙ ගැනනං කතා කරලා වැඩක් නෑ විචාරක තුමා. අපිත් ළමයින්ව යම් පමණකට දක්කනවා තමා. ඒ කරන්නෙත් කැමැත්තෙන් නෙමේ උන්ව අනික් ළමයි අතරේ කොන් වෙන නිසා. අම්මලා තමා ඉස්කෝලෙ එන්නෙ. අම්මලා තමා ගෙදර වැඩ කරන්නෙ. අම්මලා තමා ළමයින්ව කන්නෙ. ගුරුවරු කියලාත් කියන්න තරම් වෙනසක් නෑ. අපේ කාලෙයේ ගුරුවරු ළමයින්ට ඉගැන්නුවේ ජීවිතය.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මධු, සහතික ඇත්ත. ළමයින්ව ඉස්කෝලේ යැවීමත් දැන් ඩ්‍රිල් එකක්. එක්කෝ ඌ ගොඩ යයි. නැත්නම් වලට යයි. වලට ගියොත් ඌට දසවද දීලා ආයේ අයෙත් විභාග කරවනවා. බැරිනම් මොකකට හරි තල්ලු කරනවා ඔච්චරනේ. කෙල්ලෙක් නම් ඔන්න ඔහෙ හිටපන් කියලා බන්දලා දෙනවා. දරුවොත් මේවා දන්නවා දෙපාරක් විතර විභාග ෆේල් වෙනකොට.

      අධ්‍යාපනය අතින් අපි තවම ඉන්නේ ගල් යුගයේ. නමුත් ඇමරිකාවට ගහන්නයි කතාව. අනේ $#%@ තමයි.

      Delete
  28. හම්මෝ කොමෙන්ට්ස් තොගේ, පොස්ටුවේ අගේ කොමෙන්ට්ස් තොගෙන් වලින් තේරේ.

    ලංකාවේ පාසල් අධ්‍යාපන බලධාරීන් ගේ අළුත්ම සොයා ගැනීම තමා, පාසල් ගුරුවරුන් පාඩමට නිසි පරිදි සූදානම්ව නොපැමිණ කාල පරිච්ඡේදය පුරාවටම පිස්සු කෙලින බව. කොහොම හරි දැන්වත් ඒ බව හොයාගත්ත එකනම් ලොකු දෙයක්, රටේ අභාග්‍ය වෙන්නේ ඒ ගැටළුවට එයාලා දුන්න අරුමපුදුම විසඳුම.
    මම දන්නේ මධ්‍යම පලාත ගැන, දැන් මෙහේ (මධ්‍යම පලාතේ) හැම ගුරුවර - ගුරුවරියක්ම, එක් එක් කාල පරිච්ඡේදයට වෙන වෙනම පාඩම් සටහන් හදන්න ඔනේ, පාඩමෙන් පසු දින සටහන් ලියන්න ඕන, ඒ අනුව එක කාල පරිච්ඡේදයකට පිටු 5 පමණ ලියන්න තියනවා, මේවා නියමිත කාල සීමාවන් ඇතුලත විදුහල්පතිගෙන් අනුමත විය යුතුයි, නැතිනම් කාරය සාධන අනුමත කරන්නේ නෑ. මේක ඉතාම හොඳ වැඩ පිළවෙලක්, එත් හැබෑවට වෙන්නේ මොකක්ද? ගුරුවරු ගෙන් අති බහුතරය ඔය කියන සටහන් ලියන්නෙත් පංතියක ඉගැන්වීමට නියමිත වේලාවේදී මයි, පංතියට ඇවිත් ළමයින්ට මොකක් හරි පැවරුමක් කරන්න දීලා එයාගේ අතපසු වූ පාඩම් සටහන් / දින සටහන් ලියනවා, ළමුන් ගැන කිසිම අවධානයක් යොදවන්නේ නෑ, අවසාන ප්‍රතිපලය වෙලා තියෙන්නේ ඉස්සර කට හුරුවට උගන්නපු ටිකවත් දැන් කෙරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වැඩියෙන්ම පිස්සු තියෙන්නෙත් ගුරුවරුන්ටද මන්දා. පොඩ්ඩක් සමීපව ආශ්‍රය කරලා බලන්න. ගෙදර ආවත් කතාකරන්නේ ඉස්කෝලේ භාෂාවෙන්. අපේ උන්දැටත් ඔය රෝගය තිබුනා. බොහොම අමාරුවෙන් කියලා කියලා හොඳ කරගත්තේ. ගුරුවරුන්ටත් ප්‍රශ්න කෝටියක් තියනවා. කොච්චර කරත් ඔවුන්ට කිසිම පිළිගැනීමක් නැහැ. ගුරුවරුන්ට අධ්‍යාපන සේවයේ ඉහලට යන ක්‍රමයක් හදා නොදීම බලවත් වරදක්. පන්දමාලට එහෙයියලාට තමයි තැන ලැබෙන්නේ.

      පාසල්වල තියන වාර්ෂික සැලැස්ම දැක්කම කලන්තේ හැදෙනවා. ඒ ටික කරන්න ගියාම උගන්නන්න වෙලාවක් නැහැ. ඔය දින සටහන් වාර සටහන් තමයි ගුරුවරුන් ලවා කරවන ලොකුම බොරුව. (මමත් ගුරු වෘත්තියේ අවුරුදු තුන හතරක් හිටියා)

      Delete
  29. විචාරක මාමා ඔබතුමා එක්ක එකඟයි..... අර විස්තර එකතු කරලා දුන්න ළමයා ගැන කියද්දි මතක් උනේ 2004 සා/පේ කාලේ අපිට සිද්ධ උනා පිකාසෝ,මයිකල් ඇන්ජලෝ,ලියනාඩෝ ඩාවින්චී ගැන හොයන්න.... පුස්තකාල 5කට විතර ගිහින් මමයි,මගේ ගමේ යාළුවෙකුයි විස්තර හෙව්වා අපිට විස්තර බොහෝම අල්ප ප්‍රමාණයක් හොයා ගන්න උනේ... අපිට ලකුණු ලැබුනෙත් හරි අඩුවෙන් ... ඒත් පොහොසත්,යමක් කමක් කර ගන්න පුළුවන් ළමයි අපි දෙන්නට වඩා හොදට වැඩේ කරලා තිබ්බා.. අපි පැනෙන් සුදු කොල උඩ ලියද්දි... පාට කොල උඩ පින්තූරු එක්කම විස්තර ලියන් ආපු අය හිටියා.... ඒ නගරේ පාසලේදි අපි වගේ ගමේ අයට වෙච්ච දේ මතක් උනා...... මේ සටහන රන් මසුරන් වලට වඩා වටිනවා විචාරක මාමේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු අදටත් ඔයාගේ හිතේ ඒ දුක තියනවා නේද? ඉතින් මම කිව්වේ බොරුද? ඔයා කොහොමහරි උත්සාහයෙන් ඉහලට ආවා. ඔයාට හොඳ දෙමව්පියන් හිටියා. නමුත් නූගත්, දිළිඳු දෙමව්පියන්ගේ දරුවන්ට අත්වන ඉරණම පැහැදිලියි නේද? මේවා තේරුම් ගියත්, තේරෙන්නේ නෑ වගේ ඉන්න එවුන්ට තමයි, කොණ්ඩයාට ගැහුවා වගේ, එල්ලලා ගහන්න ඕනේ.

      Delete
  30. //'ඉතින් ඔක්කොටම මෙහෙම කරුණු හොයන්න බැහැනේ, ඈත ඉඳලා එන ළමයි, ඉන්ටර්නෙට් නැති ළමයි මොකද කරන්නේ?' කියා. මෙන්න ලැබුන උත්තරය. 'ඒ ගොල්ලෝ ඔය මොනවහරි ලියාගෙන එනවා. පන්තියේදී බැනුම් අහනවා' //
    මෙතනින් ගොඩක් දේවල් කියවෙනවා.
    http://nelumyaya.com/?p=4498

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අජිත්. අපිම කොන්ඩයෝ හද හදා, අපිම උන්ට ගහනවා. ඉතින් අපි අපිටම තමයි ගහගන්නේ.

      බොහොම ස්තුතියි ලිපියට නෙලුම්යායේ ඉඩක් ලබාදීම ගැන.

      Delete
  31. අගනා ලිපියක් , ජනමාධ්‍ය තුලින් සමාජය තුල කතිකාවතක් ඇරඹිය යුතු මාතෘකාවකට අදාල සියළු දේ රැගත් ලිපියක් , ස්තුතියි විචාරක මහත්මයා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්. මේවා මෙතනින් නවත්වන්නේ නැතිව අපි සියලුදෙනා එක්ව හැකි සෑමවිටම, සෑම තැනකදීම හඬ නැගිය යුතුයි.

      Delete
  32. කියන්න ඕනි ඔක්කොම දේවල් විචාරකතුමා කවර් කරල. අපේ රටේ ප්‍රතිපත්ති හදන උදවියට මේව කල්පනා නොවෙන එක නං මහම මහ අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. කල්පනා නොවෙනවා නෙවෙයි. කල්පනා නොවෙනවා වගේ පෙන්නනවා. උන් බලන්නේ තමන්ගේ මන්ත්‍රී කම ඇමෑත්ත කම පාවිච්චි කරලා ධනවත් වෙන විදිහ ගැන විතරයි.

      Delete
  33. පරක්කු වෙලා කියවන්න් වුනත් අන්තරගතය ගැන නම් සියට සීයක් ම එකඟයි , එකම දුක මේ ගැන ඇහුන කන් දෙන්න උවමනාවක් ඇටි පිරිසක් රටේ පාලන තන්ත්‍රයේ නොසිටීම , මොකද එයාලට මෙහෙම දෙයක් කවදාවත් හිතෙන්න නැති නිසා. ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන අය දිහා හැමදාම බලන්නේ රාජ ද්‍රෝහී කෝණයෙන් නිසා විචා මාමා ප්‍රවේසමෙන්

    ReplyDelete
    Replies
    1. පොඩි කතාවක් තිබුණා නේද යම්කිසි බුද්ධිමතුගෙන් සැදුම්ලත් රාජ්‍ය උපදේශක සභාවක් හදනවා කියලා. අන්න එකට පත්කරගන්ඩ ඕනේ නිකම්ම නිකම් එහෙයියන් නෙවෙයි. මැරුවත් ඇත්ත ඇති හැටියෙන් කියන පිරිසක්. මොකද දැන් ඉන්න ඇමෑත්තයෝ බොහොමයක් එක්කෝ පිස්සෝ, නැත්තං උක්කුං බබාලා.

      අපිට රාජ ද්‍රෝහී ලේබල් ගහන අවොත් එහෙම ගහන්න එන හුඟ දෙනෙකුගේ ලේබල් ගැලවෙනවා.

      Delete
  34. අධ්‍යාපනයට සීයට හයක් නෙමේ ඊටත් වැඩියෙන් මුදල් වෙන්කෙරුවත් පලක් නැහැ රටේ අධ්‍යපනය කාලයට ගැලපෙන ලෙස යාවත්කාලින නොවේ නම්.රට සංවර්ධනය කරනවා කියන්නේ පාරවල්,ගොඩනැගිලි විතරක් හදනවා කියන එක නෙමේ කියලා පාලකයෝ තේරුම් ගන්න ඕනේ.

    ඔබ සමගින් එකඟයි.නිවැරදිකරුවන්,අපරාධකරුවන් කරන්නේ මේ සමාජයමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      අපේ ඉන්න සමහර 'අජ්ජපාන ඇමෑත්තයෝ' හිතන්නෙම අධ්‍යාපනය සංවර්ධනය කරනවා කියන්නේ ගොඩනැගිලි හදනවා කියලයි.

      Delete
  35. අජිත් ධර්මකීර්තිගේ වප් හොඳම ලිපිය සටහන දැකලා ආවේ. පුළු ප්‍රශ්ණයම ඉතා හොඳින් ඇනලයිස් කරලා තියෙනවා. පලවුනා, කියෙව්වා නැතුවා කතෘවරුන්ගේ ඒමේල් වලට යවන්න විචා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්

      Delete
    2. බොහොම ස්තුතියි ඉයන්

      Delete
  36. තවත්වතාවක් මේ ලිපියට ආවා. ඔබතුමාගෙ ලීවීම් ශෛලිය නිසා මේ ගැටළුව සිත්කාවදින අයුරින් ලියවී තිබෙනවා. රටේ පවතින අධ්‍යාපනය උඩුයටිකුරු කර පෙරලා දමා නැවත සකස් කිරීම අත්‍යවශ්‍යයි. පිටරටවල පුහුණුවට ගොස් පැමිණ තමතමන්ගේ හිතූමතයට ඒ දැකපු දේවල් අලවන්න ගියා මිසක් අධ්‍යාපනය හැඩ ගැසීමක් වී නැත්බව 1970 දශකයේ ඉඳලම තේරුම් යන්නක්. ජාතික අධ්‍යාපන ආයතනය තොග වශයෙන් බෙදාහරින තැනක් සහ ප්‍රාදේශීය මට්ටමේ ගුරුපුහුණුව සිල්ලරට බෙදාහරින තැනක් බවටපත්වීමෙන් තවම මිදී නැහැ. ඒ විදිහට පුහුණුවෙන අය ළමයින්ට දැනුම වක්කරන පිරිසක් මිසක් මානවීය ගුණ ධර්ම අත්කර දෙමින් උන්ගෙ කුසලතා වර්ධනය කරවන දැනුම ලබාගන්නට පිපාසාව ජනනය කරන වැඩ පිළිවෙලක් වුනේ නැහැ.

    ReplyDelete
  37. මේ පිළිබඳ වාද විවාද සංවාද විසංවාද ඇති කරන එක් කාලීන අවශ්‍යතාවක්. අධ්‍යාපනය සම්බන්ධව (මොන්ටිසෝරියේ සිට උසස්පෙළ දක්වා විශේෂයෙයෙන්) පවතින ගැටළු කාරී තත්තවය සුළු පටු එකක් නොව හැමගේම අවධානය දී විමසා බැලිය යුත්තක් බව ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ට ඒත්තු ගැන්වෙන තුරු මේ සංවාදය ගෙනයාම වැදගත් විචාරක තුමා. ඔබතුමා වටා සිටින විද්වත් පාඨක ප්‍රජාව සෑහන තරමින් විශාල බැවින් ඒ සඳහා අවධානය දීම වැදගත් වේවි. දැනටමත් අධ්‍යාපනය ගැන ලියන ආධුනික අංකුර ලේඛක ලේඛිකාවන් සිංහල බ්ලොග් ලෝකය තුළ දකින්නට ලැබීම සුබ ලකුණක් බව පෙනී යනවා.

    ReplyDelete
  38. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
  39. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete

  40. Do you need a loan?
    Do you need financial help?
    Does your firm, company or industry need financial assistance?
    Do you need finance to start your business?
    Do you need finance to expand your business?
    Do you need personal loan? Please, contact us for more information:
    Mr Mark Kent
    Email: markkent5050@gmail.com

    ReplyDelete

  41. Do you need a loan?
    Do you need financial help?
    Does your firm, company or industry need financial assistance?
    Do you need finance to start your business?
    Do you need finance to expand your business?
    Do you need personal loan? Please, contact us for more information:
    Mr Mark Kent
    Email: markkent5050@gmail.com

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }