හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 September 2014

අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය

අදට යෙදෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඒවා තිබුණු ලිපියක් ඔබේ කියවීම සඳහා මෙසේ පළකරනවා. 



අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය.  එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොර වීමත්  අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි.  

ධර්මපාලතුමා සමාජ අසධාරනයන් අත් විඳින්නේ පාසල් කාලයේදීමය. වෙසක් දිනයේදී පාසල් නොගොස් ආගමික වතාවත් වල යෙදීම නිසා ඔහුව සාන්ත තෝමස් විද්‍යාලයෙන් නෙරපා දමයි. එය පාසල් දරුවෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් විය. අද දිනයේ දියුණු සංස්කෘතියක් පවත්නා සෑම රටකම සිසුන් ගේ ආගමික දින සඳහා නිවාඩු ලබා ගත හැක. මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව හැඟීම් සහ පාසල විසින් තමාට අසාධාරනයක් කල බව ළමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ වටහා ගනියි.  නමුත් එකල සමාජයට , පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපනවේදීන්ට මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව වැටහීමක් නොවීය

අනගාරික ධර්මපාල කොලඹ උසස් සහ ධනවත් ප්‍රභූ පවුලක සාමාජිකයෙකි. එම නිසා බටහිරට ලැදි කොලඹ උසස් සමාජය තුල ගැවසී එම සමාජයේ අඩුපාඩු දැකීමට ඔහුට හැකි විය. ඔහු  අතිථී භීතිකාව (xenophobia ) හෙවත් විදේශිකයින්ට බිය  සහ නුරුස්නා බව නිසා හෝ හීනතාමාන සංකීර්ණය නිසා හුදු බටහිර  විරෝධියෙකු නොවුයේය. ඔහු  බටහිර ශිෂ්ටාචාරයේ උසස් සහ දියුණු අංගයන් අධ්‍යනය කලේය. බටහිර ශිෂ්ටාචාරයේ දියුණුව රඳා පවතින අධ්‍යාපනික , තාක්‍ෂණික  සහ සමාජ විනය ලංකාවේ ඇති කල යුතු බව විශ්වාස කලේය. විදේශයන් වෙත ගොස්    කර්මාන්ත ඉගෙන ගැනීමට ඔහු තම වියදමින් ශිෂ්‍යත්ව  පවා දුන්නේය. අනගාරික ධර්මපාලතුමා විරුද්ධ වූයේත් විවේචනය කලේත් බටහිර සංස්කෘතියේ දියුණු හරය වෙනුවට එහි පහළ ස්ථර වල ඇති කුණු කසළ වැළඳ ගැනීමෙන් සිය ජාතික අනන්‍යතාව ක්‍ෂය කර ගැනීම පිලිබඳවය. 

අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ද ? ඔහු ලියූ ඇතැම් කවි සහ ලිපි මගින් අන්‍ය ජාතිකයන් විවේචනය කල බව ඇතැමෙකු පවසති.  ඔහුගේ බස අද කාලයට සාපේක්‍ෂව කර්කශ වූවද එම කාලයේ අධ්‍යාපනයෙන් අඩු ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රනය කිරීමේදී යොදා ගත් සාමාන්‍ය විවහාරයකි. අධ්‍යාපනයෙන් සහ සමාජ මට්ටමින් අඩු ජනතාවට ආමන්ත්‍රනය කිරීම සඳහා ඔහු සරල ග්‍රාම්‍ය භාෂාවක් යොදාගත්තේය.  නමුත් අනගාරික ධර්මපාල ජාතීන් අතර විස පැතිරූ ස්වාර්ථය සඳහා ජාතීන් අතර විරසක ඇති කල නායකයෙකු නොවීය. ඇතැම් අවස්ථා වලදී දමිළ සහ මුස්ලිම් ජන වර්ගයන් තුල පොදුවේ තිබෙන ඇතැම් දියුණු ලක්‍ෂණ සිංහලයන් විසින් අනුගමනය කල යුතු බව ලිවීය. රැකියා කර්මාන්තයේ නොයෙදෙන යන්තම් ජීවත් වීම සඳහා කය සොලවන , අනාගතයක් මෙන්ම  දුවා  දරුවන් ගැන නොසිතන නූගත්කමේ ගැලී සිට මත් පැන් පානයේ යෙදෙන පුද්ගලයන් ඔහුගේ නිර්දය විවේචනයට ලක් විය.   

ඔහු සිංහල පමණයි යන පටු අදූරදර්ශී ආත්මාර්ථකාමී සටන් පාඨය බැහැර කලේය. එමගින් සිංහල දරුවන් සදාකාලික ග්‍රාම්‍ය නූගත්වයේ  සහ බාහිර ලෝකයට විවෘත විය නොහැකි කොදෙව් මානසිකත්වයේ සිරකරුවන් වන බව පසක් කලේය.  ස්ව භාෂාව ප්‍රගුණ කොට විදේශ භාෂාද ඉගෙන ගත යුතු බව අනගාරික ධර්මපාලතුමා පෙන්වා දුන්නේය. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  පිලිඳව ඔහු සිහින දුටුවේය. 

අනගාරික ධර්මපාලතුමා බුදු දහම ගැඹුරින් හැදෑරීය.  1893 දී චිකාගෝහි   පැවති දෘෂ්ටි සම්මේලනයේදී  එතුමා බුදුදහම පිලිබඳව හරවත් දේශනයක් කලේය. එසේම  කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් වෙත , බ්ලැවට්ස්කි මැතිණිය වෙත , හවායි හි ෆෝස්ටර් මැතිණිය වෙත යැවූ ලිපි වල  බුදු දහම මෙන්ම අන්‍ය ආගම් පිලිබඳව අනගාරික ධර්මපාලතුමා  සතුව පැවති විචක්‍ෂණ අනුභූතිය පෙනී යයි.  බෞද්ධ අයිතිවාසිකම් ස්ථාපිත කොට බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ මහා ක්‍රියාදාමය පසුපස සිටියේ අනගාරික ධර්මපාලතුමාය. 

අනගාරික ධර්මපාලතුමා තද විවේචකයෙකි. ඔහු සත්‍ය දුටු තැන එය පෙන්වා දුන්නේය. මහත්මා ගාන්ධි පවා අනගාරික ධර්මපාලතුමාගේ විවේචන වලට ලක් විය. මේ නිසා ඇතැමෙකු අනගාරික ධර්මපාලතුමා අන්තවාදියෙකු ලෙස හඳුන්වා දෙමින් එතුමාගේ සමාජ විප්ලවය අඩපණ කිරීමට කටයුතු කලෝය. මේ හේතුන් නිසා අවසාන සමයේදී කළකිරීමට පත් වූ එතුමා යළි ලංකාවට නොපැමිනෙන බවට ශපථ කලේය. 

අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්හ කරන ලද සමාජ සංකෘතික විප්ලවයේ අග්‍ර එල නෙලා ගත්තේ ආත්මර්ථකාමී දේශපාලකයන් විසිනි. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  බිහි කිරීමේ අනගාරික ධර්මපාලතුමා ගේ සිහිනය ඔවුන් විසින් පැහැර ගත්හ.  ඒ වෙනුවට ජාතීන් ඇනකොටා ගන්නා සමාජ පසුගාමීත්වයෙන් සපිරි විනයක් නොමැති ලංකාවක් ඔවුන් නිර්මාණය කලහ. 

අනගාරික ධර්මපාලතුමාට කල හැකි උසස්ම බහුමානය වන්නේ වාර්ෂිකව එතුමාගේ පිළිරුවට  මල් මාළා පැලඳවීම හෝ ගුණකථන පැවැත්වීම නොව එතුමා දුටු සිහිනය සැබෑ කරවීම සඳහා පියවර ගැනීමයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 17 දින 1110 පැය 

27 comments :

  1. අනගාරික ධර්මපාලතුමාගේ අරමුණ යහපත් වෙන්න ඇති, ඒ වගේම ඒකෙන් සිංහල ජාතියටත්, බුද්ධාගමටත් ලොකු සේවාවකුත් උනා. ඒත් මගේ මතයට අනුව නම් එතුමන් ජාතිවාදියෙක්.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය සහ ජාතියට ආදරය කිරීම කියන්නේ දෙකක්. මමනම් සිංහල ජාතියට ආදරෙයි. අනෙකුත් ජාතීන්ගේ නිදහසටත් කැමතියි.

      ධර්මපාලතුමා කොතනකවත් කියලා නැහැ අනෙක් ජාතීන් පහත්, ඔවුන්ව මේ රටෙන් එලවපල්ලා කියලා.

      Delete
  2. කවුරු කෙසේ කීවත් ඔහුගෙන් සිදුවූ මෙහෙය අපමණයි. ඔබගේ ලිපිය ඉතාම වටිනවා මොකද මේ වගේ මාතෘකාවක් මේ කාලයේ බොහෝ දෙනෙක් සාකච්චා නොකරන නිසා.

    මගේ අලුත්ම ලිපිය.
    ජාතිවාදයේ මුල පිළිබඳවයි. කියවන්න එන්න මෙතන ක්ලික් කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඔබේ අඩවියට ඇවිත් ලිපිය බලන්නම්.

      Delete
  3. අනගාරික චරිතාපදනය සෑම පාසලකටම අනිවාර්යය කළ යුතුයි යන්න මගේ හැඟීමයි..

    දෘෂ්ඨි සම්මේලනයේදි ඔහු කළ කතාව අසා සිටි එක් විදේශිකයෙක් එම මොහොතේම නැගිටලා තමන් බුදු දහම වැළඳ ගන්නා බව ප්‍රකාශ කරලා තියනවා. ඔහුගේ කතාව එතරම්ම සාර්ගර්භයි, තාර්කිකයි.. එහිදී අනිත් අය වෙතින් කෙරුනු කතාත් එක්ක බලනකොට..

    මට මතක හැටියට ඔහු මහත්මා ගාන්ධිව හැඳින්නුවේ " කාර් එකක් එක්ක තරඟ කරන්න තිරික්කලේකින් ආපු කෙනෙක්" හැටියට. මහත්මා ගාන්ධිගෙ ක්‍රියා කලාපය එතරම්ම තදින් ඔහුගෙන් විවේචනය වුනා.

    කියන්න තියන දේ නොබියව සක්කරයට වුනත් කියපු අභිත හෙළයෙක් තමා අනාගාරික ධර්මපාල. අවාසනාවකට වගේ වර්තමාන තරුණ පරපුර ධර්මපාල කියුවම උඩ බිම බලන තත්ත්වයක් තමා තියෙන්නෙ. බොහොම කණගාටුදායකයි ඒක.

    ReplyDelete
    Replies
    1. //මට මතක හැටියට ඔහු මහත්මා ගාන්ධිව හැඳින්නුවේ " කාර් එකක් එක්ක තරඟ කරන්න තිරික්කලේකින් ආපු කෙනෙක්" හැටියට.//
      සෙන්නා, ඒත් අනගාරික ධර්මපාලට වඩා අති විශාල ලෙස ගාන්ධි සාර්ථක වුනේ ඇයි?
      (මේ කියන්නෙ ධර්මපාල අසාර්ථක යයි හෝ ගාන්ධි සර්ව සාර්ථක යයි නොව සාර්ථකබවේ ලොකු වෙනසයි)

      Delete
    2. ධර්මපාලතුමා ගැන අද කතාකරන අයගෙන් බොහොමයක් එතුමාගේ අදහස් කියවා තිබෙනවාදැයි මටනම් සැකයි. අපි පාසල් යනකාලේ එතුමාගේ පටිගත කල කතා ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. ඒ කතාවල කොතනකවත් තිබුණේ නැහැ සිංහල ජාතියට පමණක් විශේෂ සැලකිල්ලක් තිබිය යුතුයි කියලා. එතුමා කිව්වේ තමන්ගේ ජාතියට ආදරේ කරපල්ලා කියන එක පමණයි. උත්සාහවන්ත වෙලල්ලා, වීර්ය කරපල්ලා, සාධාරණ හා ධාර්මික ජීවිතයකට හැඩගැහියල්ලා, කියලා තමයි කිව්වේ.

      @ Pra Jay මම හිතන්නේ මේ දෙන්නා ගියේ මාර්ග දෙකක. දෙන්නම අවිහිංසාවාදීව සටන් දිනන්න ඕනෙ කියන පිළිවෙතේ හිටියා. ධර්මපාලතුමාට දේශපාලන නායකත්වයක් ලබාගැනීමේ කැමැත්තක් තිබුණේ නැහැ.

      Delete
    3. ප්‍රා,

      විචාරක මහතා කියලා තියනවා වගේ දෙන්නා ගියේ මාර්ග දෙකක. ධර්මපාල තුමාගේ වැඩි උනන්දුව තිබුනේ බුද්ධාගම වෙනුවෙන් මිසක් නිදහස් සටන වෙනුවෙන් නෙමේ. ධර්මපාල තුමා කොහෙත්ම අසාර්තක නෑ. එතුමා කැපවුන අරමුණ එතුමා ජය ගත්තා. ඒකයි අදටත් බෞද්ධයන්ට බුද්ධගයාවක් කියලා දෙයක් ඉතුරු වෙලා තියෙන්නෙ. අනිත් එක ධර්මපාල තුමාට තියෙන්නන් වාලේ තියන සුදු විරෝධයක් තිබුනේ නෑ. එතුමා සුද්දගෙනුත් ගන්න පුළුවන් හොඳ දේවල් ගත්තා හා එහෙම අර ගන්නා ලෙස අනිත් අයවත් දැනුවත් කළා.

      Delete
    4. තරුණ පරපුර එහෙම බලනවනම් ඒක මේ රටේ වාසනාවක්..

      Delete
    5. ඇත්තටහ් ! මාතලන් කියනවනම් එහෙම වෙන්ඩ එපැයි.. මගේ පළවෙනි කමෙන්ට් එක පහත පරිධි නිවැරදි විය යුතු බව සියල්ලෝ කරුණාවෙන් සළකත්වා.

      වාසනාවකට වගේ වර්තමාන තරුණ පරපුර ධර්මපාල කියුවම උඩ බිම බලන තත්ත්වයක් තමා තියෙන්නෙ. බොහොම සතුටුදායකයි ඒක.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ධර්මපාලයන් ජාතිවාදියි තමා.. අද කාලේ හැටියට.. නමුත් සාපේක්ෂව එදා ඒ ජාතිවාදියා නොහිටින්න.. ඔය මයිනර් රෑන්ක් (???) කාරයෝ බීල මැරෙන්නේ.. ඔව් අම්මප... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. එතුමා දුන්න දර්ශනය නිසා තමයි අපි සෑහෙන තරම් දුරකට පරගැති බැවින් මිදුනේ. අපි දැන් ආයෙත් පර සංස්කෘතීන් අගය කරන තත්වයට ඇවිත් තියෙන්නේ, අපි නොදැනුවත්වම, ඔය එක එක සංකල්ප අස්සට රිංගවලා, පර සංස්කෘතීන් අපිව ගිලගෙන තිබෙන නිසයි.

      Delete
  6. අනගාරික ධර්මපාලතුමා දැන් ඇන්ටික්, ඒ නිසා හේනට මාකට්, අඩු ගානේ කන්නන්ගර සමරු දේශනයක්වත් තියෙනවද නිදහස් අධ්‍යාපනන උපන් ඉස්කෝලෙක, එහෙව් කොට ධර්මපාලයන් ගැන කවර කතාද විචාරක තුමෝ. ඔක්කොම ආදී කාලේ සිහින වීරයෝ, ඉතින් නළුවන්ට අන්දලා මාකට් කරන්න පුළුවන් පට්ටෙට, හුදී පහන් ජනයා අනේ සාදු කියා කියා බලනකොට ධර්මපාල චින්තනයද ඔවුන් අතරට යන්නේ.

    ReplyDelete
    Replies
    1. ධර්මපාල තුමා ඇන්ටික් වුනත් අදත් මාකට් වෙන්නේ අද ඒ වගේ අවංක දර්ශනයක් ඉදිරිපත් කරන්න කෙනෙක් නැති නිසයි. අද තියෙන්නේ තමන්ගේ පරම්පරාව බලයේ තබාගැනීම අන්දහා ඉදිරිපත් කරන උප්පරවැට්ටි පමණයි.

      දැන් ඉන්න අධ්‍යාපන ඇමතිට පුලුවන්ද කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය එක වාක්‍යයකට කැටිකර කියන්න.

      Delete
    2. හරියට ධර්මපාල තුමාගේ show එක වගේද.....?

      Delete
  7. ධර්මපාලතුමා බුද්ධාගමට අලුත් අංග එක් කලේ.... එහි කාලින පැවැත්ම උදෙසාය...... මං දන්නා තරමින් ඒ යුගයේ ආගමික පුනුරුධය ....උදා වුයේ..... නත්තල් සමයට සාපේක්ෂ සැරසිලි හා යම් යම් සිරිත් එකතු කිරීම නිසාය. ඒ තුල මං හිතනවා...... යහපත් සංස්කෘතික වෙනසක් ලංකාව තුල ඇති කලා කියල.

    ReplyDelete
    Replies
    1. ඒ ධර්මපාල නෙමෙයි ඕල්කොට්. දෙන්නම එදා කල් දේවල් නිසා තමයි අද මේ තත්වෙන් බෞද්ධයො ඉන්නෙ. නැතුව නිකං ආධ්‍යාත්මික පැත්ත විතරක් තිබ්බනං මිනිස්සු සෑහෙන්න මේ ආගෙමෙන් ගිහින්.

      Delete
    2. හරියට හරි ඉන්දික. කිසියම් ආකර්ෂණයක් නැත්නම් ආගමකට පැවැත්මක් නැතිවෙනවා. වෙසක් සහ පොසොන් උත්සව දෙකම කොච්චර වටිනවද ඒ ආකර්ෂණය පවත්වාගන්න.

      Delete
  8. ඔය නානසාරලා කරන්නේ එතුමා දුටු සිහිනේ සැබෑ කරන එක තමයි.. පට්ට බුද්ධාගම. බුදු සාධු යන එක නිවන්ම ගිය එක ළොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. නානසාරලා පවතින්නේ නැහැ. තව කෙටි කලකින් වියැකී යනවා. එයිනුත් ගම්‍යවන්නේ බෞද්ධ දර්ශනයේ ඇති අනිත්‍යයයි.

      Delete
    2. ළොකු දෙයක්.... අබ සරණයි...

      Delete
  9. අනගාරික ධර්මපාල නමින් ෆිල්ම් එකක් හැදුවා නේද?

    මම හිතාගෙන හිටියේ මෙතුමා ක්‍රිස්තියානු ආගමිකයෙක් . පස්සේ බුද්ධාගමට හැරුණා කියලා. ඒක වැරදිද?

    ReplyDelete
    Replies
    1. නැහැ. මේ තියෙන්නේ විස්තර.

      http://en.wikipedia.org/wiki/Anagarika_Dharmapala

      Delete
  10. අද ධර්මපාල තුමා හිටිය නම් මිනිස්සු කියයි මේ මොන පිස්සෙක්ද කියල. ඒ මදිවට ජාතිවාදියෙක් කියල හංවඩු ගහයි. මට මෙහෙම කියනවා ඇත්තටම ඇහුන නිසයි කියන්නෙ. ධර්මපාල තුමා ඒ කාලේ එහෙම නොකළ නම් අද සමාජෙ මීට වඩා සෑහෙන්න වෙනස් එකක්.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }