වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ ප්‍රලාපය දඩයක්කාරයාගේ කණටද වැටුණු නමුත්, ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලායාය, බෙරලියවැව, ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්ධන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට තුන්පත් රෑන් හමුවි තිබේ. එහෙත් ධවල ඇතෙකු මේ හිමයේ සිටිනවා කීම සිතා ගැනීමටවත් අපහසුය.
වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ කටකතාව මුලින්ම ගම්මානයේ පැතුරුනේ බෙරලියවැවට දිය නෑමට ගිය ඉතිරියක මගිනි. සාමාන්‍යයෙන් ගම්මු දිය නෑවේ සහ බීමට වතුර ගත්තේ, ගම්මානයට නොදුරු කොලොන් වැවෙනි. කිඹුලන්ගෙන් පවා ගහන බෙරලියවැවට දිය නෑමට යාමට, ගම්මු බිය ගත්තෝය. එහෙත් බෙරලියවැවේ වතුර සිහිල් මෙන්ම පිරිසුදුය. එම නිසා ඉඳහිට ගම්මු කාන්ඩ ගැසී බෙරලියවැවට දිය නෑමට ගියහ. එහෙත් ඔවුන් කිඹුලන් පිලිබඳව නිතරම සුපරීක්‍ෂාකාරී වූහ. දඩයක්කාරයා නම් සතියකට දෙකකට වරක් රාත්‍රියට බෙරලියවැවට යයි. ඔහු වැව අසල කුඹුක් ගසකට නැග වැවට දිය බීමට එන ගෝනෙකු, මුවෙකු හෝ වල් ඌරෙකු එළාගනියි.
ධවල හස්ථියා පිලිබඳ ප්‍රලාපය පමණක් නොව, ඉතිරිය බෙරලියවැවට දිය නෑමට ගිය හේතුවද, ගම්මුන් ගේ කතාබහට ලක්වූහ. මේ තරුණ ගම්බද ගැහැණිය විවාහකය. පුරුෂයා යාබද ගමක තල හේනක් කෙටීමට ගිය අවස්ථාවක් බලා, ඇය සොර සැමියා මුණ ගැසීම සඳහා දවස් භාගයක් පමණ පයින් මහ කැළය හරහා බෙරලියවැවට ගියාය. ඇය පිටත් වූයේ හිරු පෑයීමටත් පෙර අළුයම් කාලයේය. ගෙදර සදාගත් අග්ගලා මල්ලක් අතැතිව සොර සැමියා සොයා ගිය ඇය, දහවල් කාලයේදී බෙරලිය වැවට ලඟා වූවාය. ඇය එනතෙක් පෙම්වතා බෙරලිය වැව මහා නුගය අසල අලසව වැතිර සිටියේය.
එදින උෂ්ණාධික දිනයකි. ඔවුන් දෙදෙනා සතුටින් දිය නෑහ. අණතුරුව අග්ගලා මල්ල ලිහා දිවා ආහාරය ගත්හ. පෙම්වතා ඇයට පළතුරු පැසක් ගෙනවිත් තිබුණි. පැසේ දිව පිනා යන රසැති පළතුරු තිබිණි. දිවා ආහාරයෙන් පසු දෙදෙනා මහා නුගය යට තණකොල බිස්සේ වැතිරී ලෝකාස්වාද රතියේ යෙදුනහ. ඉර අවරට ගියද ඔවුන් ගේ ආශාවන් ඌන නොවුයේය. ඔවුන් පැය ගණනාවක් එකිනෙකා සමග තදින් වෙලී දෛහික ආශාවන් සංතර්පණය කර ගැනීමේ වෑයමක යෙදුනහ.
පෙම්වතුන් දෙදෙනාගේ කායික මානසික ඒකාග්‍රතාව කැඩී ගියේ නොසිතූ ලෙසිනි. මහා කුංචනාදයක් සමග, පොළව හෙල්ලී යන බවක් ඔවුනට දැනුනි. නිරුවතින් බිම වැතිරී සිටි මිනිසා හා ගැහැණිය අසළින්, මහා වෘක්‍ෂයක් මෙන් උසැති සද්ධන්ත ධවල ඇතෙකු ගමන් කළේය. සඳ එළියට හස්ථියාගේ සුදු පැහැති නිකලැල් චර්මයද විශාල රන් පැහැති දළ දෙකද හොඳින් දැක ගැනීමට හැකි විය.
ධවල ඇතා දැකීමෙන් දෙදෙනා බිය ගත් හ. මිනිසා එක් පසකට දිවූ අතර නිරුවත් ගැහැණිය තවත් පසකට දිව ගියාය. මේ නයින් දෙදෙනා මහා වනයේ අතරමං වූහ. බොහෝ වේලාවක් වනයේ ඒ මේ අත දිව යමින් පෙම්වතාගේ නම කියමින් කෑ ගැසූ ඇය, මධ්‍යම රාත්‍රිය වෙත්ම බියෙන් තැති ගත්තාය. අවසානයේදී පෙම්වතා ගැන අමතක කල ගැහැණිය, යළි ගම්මානයට යාම සඳහා අසීරුවෙන් පාර සොයා ගත්තාය.
ඇය ගමට එන විට පසුදින දහවල්වී තිබුණි. ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණි ඇය මහ හඞින් හූවක් තියා විසඥ වූවාය.අසල හේනක සිටි පිරිසක් ඇයගේ හූව අසා තැතිගත් විලසින් දිව ආහ. අතපය සීරී හරිහැටි සිහියක් නොමැතිව නිරුවතින් සිටි ගැහැනියව ගමේ යකැදුරා ලඟට වත්තම් කරගෙන යන ලදි. වරු දෙකකට පසු ඇයට සිහිය එන ලදින්, ඉතිරිය, පෙම්වතා ගැන කරුණු සඟවා, ධවල ඇතා පිළිබඳව කතාව ගම්මුන්ට කීවාය.
ධවල ඇතා පිලිබඳ පුවත් ඇසූ ගම්මු, මුලින් විස්මයටත් පසුව කුතුහලයටත් පත් වූහ. ගමේ හැඩි දැඩි තරුණයන් පිරිසක් පසුදින ධවල ඇතා සොයනු වස් බෙරලියවැවට ගියහ. පුරා දින තුනක් පුරා මහ වනය පීරා සොයා බැලුවද, ධවල ඇතෙකුගේ සෙවනැල්ලක්වත් පවා දැකීමට ඔවුන් අපොහොසත් වූහ. මේ නිසා අධෛර්ය වූ කණ්ඩායමේ කොටසක්, මේ පුවත ගැහැණිය විසින් කියූ බොරුවක් බවට තර්ක කලහ. සමහරෙක්, ගැහැණිය දැක ඇත්තේ මහසෝන් පිල්ලියක් බව කීහ. අවසානයේදී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව, ඔවුන් අසාර්ථක වූ කර්තව්‍යය අත් හැර දමා, යළි ගම්මානය කරා ආහ.
සති කීපයක් ගත විය. ගම්මුන්ට ධවල ඇතා පිලිබඳ ප්‍රලාපය අමතක විය. ගැහැණිය, සොර සැමියා නොමැති වීමේ සාංකාව සඟවා, යළි පැමිණි සැමියා පිළිගෙන ඔහුට උවටැන් කළාය. එහෙත්, සොර සැමියා මෙන්ම ධවල හස්ථියා පිලිබඳ මතකය, ඇයට අමතක කරනු නොහැකි විය.
පෝයවල් දෙකක් ගත විය. දිනක් ගැමියෙක් මීයක් කෙටීම සඳහා බෙරලියවැව ආසන්නයට ගියේය. ඔහු මාර ගසකට නැග මීය කොටන විට පොලව හෙල්ලී ගියේය. මාර ගසද කුණාටුවකට අසු වූ තණපතක් මෙන් දෙපසට වැනෙන්නට විය. ගැමියා මාර ගස තදින් බදාගත් නමුත් මී පැණි පුරවා ඉණට ගැටගසා තිබූ ලබු කැටය බිමට වැටුනි. බිමට වැටුණු ලබු කැටය දෙස බැලූ ගැමියා ගේ නෙත් අදහා ගත නොහැකි විය. මාර ගස යටින් පර්වතයක් සේ උසැති ධවල ඇතෙක් ගමන් කරමින් සිටියේය. විශ්මයටත් බියටත් පත් වූ ගැමියා, මාර ගසේ ඉහළටම බඩ ගෑවේය.
සවස් වන තෙක් මාරගසේ අත්තක් උඩ ඉඳි ගැමියා හොඳින් වටපිට බලා ගසින් බැස්සේය. ඉක්බිති ලබු කැටයද අමතක කොට ගම්මනයට දිව ගියේය. ඔහුගේ බස් ඇසූ ගම්මු, යළිත් වරක් විස්මයටත් ආකූලතාවටත් පත් වූහ. එදිනම කණ්ඩායමක්, හුළු අතු පන්දම් බැඳගෙන ධවල ඇතා සොයා වනගත වූහ. පුරා දෙදිනක් ඔවුන් වනයේ කරක් ගැසූ නමුත් ධවල ඇතා පිලිබඳව හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිව හිස් අතින් යළි පැමිණියහ.
ධවල ඇතා පිළිබඳව කතිකාව ලැව් ගින්නක් සේ පැතිරෙද්දී, ගමේ විදානේ, දඩයක්කාරයා සොයා පැමිණියේය. විදානේ ධවල ඇතා ගැන බොහෝ දේවල් කියූ නමුත්, දඩයක්කාරයා ඒවාට කන් දුන්නේ උදාසීන බවකිනි. ධවල ඇතෙකු වන සාවියේ නොමැති බව, දඩයක්කාරයා පුන පුනා විදානේට කී නමුදු, ඉන් පලක් නොවීය. කෙසේ හෝ ධවල ඇතා අල්ලා ගතහොත් උගේ දළ හොඳ මිළකට විකිණිය හැකි බව විදානේ දඩයක්කාරයාට කීවේය. එහෙත් දඩයක්කාරයා කිසිවක් කීවේ නැත.
දඩයක්කාරයාගේ උදාසීන බවින් කෝපයට පත් වූ විදානේ, මිනිසුන් පස් දෙනෙකුට පයිණ්ඩ යවා, ඔවුන් ගෙන්වාගෙන, ධවල ඇතා අල්ලා ගැනීමට මද්දක් ගැසීමට සූදානම් විය. ඔවුහු ඉතා ශක්තිමත් කඹ යොදා, මද්දක් සකස් කළහ. අනතුරුව මද්ද බෙරලියවැව අසළ අලිමංකඩ අටවා, තෙදිනක් සැඟවී බලා සිටියහ. නමුත් ඔවුන් දුටු ධවල ඇතෙක් නම් නැත. එහෙත් පරාජය භාර ගැනීමට අකමැතිවූ විදානේ, තවත් රැයක් පිරිස රඳවා ගත්තේය. අවසානයේදී මද්දත් රැගෙන ඔවුන් හිස් අතින් ගම්මානයට පැමිනියහ.
ධවල ඇතා පිලිබඳ කතාව දඩයක්කාරයා කිසිසේත්ම විස්වාස නොකළේය. දඩයක්කාරයාගෙන් වසන් වී ධවල ඇතෙකුට වනයේ සිටිය නොහැක. ඒ නිසා ගම්මානයේ පැතිර යන කථා බහ දඩයක්කාරයා මායිම් නොකලේය.
දිනක් සඳ ඇති රැයක, බෙරලියවැවට පැමිනි වල් ඌරෙකු දඩයක්කාරයාගේ තුවක්කුවට ගොදුරු විය. හොඳින් බෙහෙත් කොටා තිබූ වෙඩිල්ල සැහැසි වල් ඌරා විනාඩි කීපයකින් නිසළ කලේය. වල් ඌරා මිය ගිය බව සහතික කරගත් දඩයක්කාරයා, වල් ඌරා මස් කිරීමට ලෑස්ති විය. මුලින්ම හුළු අත්තකින් වල් ඌරා ගේ මවිල් පුලුස්සා දැමූ දඩයක්කරු, මුවැති පිහියකින් සතාගේ උදර කුහරය විවෘත කොට, අතුණුබහන් බඩවැල් ඉවත් කළේය. ඉක්බිති මස් තීරු තීරු කපා ගසක එල්ලීය. වල් ඌරා ගේ එක් ගාතයක්, ගිණිමැලයේ ලා පළහා ගත්තේය.
බඩගින්න බොහෝ සෙයින් තිබූ නිසා, දඩයක්කාරයා ගින්නෙන් පළහන ලද වල් ඌරු මස් අනුභව කළේය. ආහාරයෙන් පසු ලබු කැටයෙන් දිය පානය කල දඩයක්කාරයා, නිසලව තණ බිස්සේ වැතිර සිටියේය. විඩාව නිසා ඔහුදේ දෑස් පියවිනි.
පොළව හෙල්ලී යන සෙයක් දැනුන නිසා, දඩයක්කාරයා එකවරම ඇස් ඇරීය. ඔහු දුටුවේ උසැති ධවල ඇතෙකි. ඉතා තේජමාන්විතව ගමන් ගත් හස්ථියා, ගාම්භීර ස්වරයකින් කුංචනාද කළේය. දඩයක්කාරයාගේ අත සෙමින් තුවක්කුව කරා ගියේය. එසැනින්ම, තුවක්කුවට වෙඩිල්ලක් කෙටීමට අමතක වූ බව ඔහුට වැටහිණි. තුවක්කුවේ වෙඩිල්ලක් තිබ්බේ නම්, දැන් කදිම ඉලක්කයකි. ඇතුගේ සුවිසල් කන් පෙත්ත යටින් තිබෙන මාරක නිලයට වෙඩි පහරක් යැවීමට හැකි වූයේ නම්, උගේ සුවිසල් දළ දෙක දඩයක්කරුවාගේය. තම අතපසු වීම ගැන සිතින් දෝශාරෝපණය කළ දඩයක්කරු, වහ වහා තුවක්කුවට වෙඩිල්ලක් කෙටීය. ඒ අතරවාරයේ ධවල හස්ථියා වේවැල් පඳුරු අතරින් නොපෙනී ගියේය.
වෙඩිල්ල කොටා ගත් දඩයක්කරු ඇතා හඹා ගියේය. හොඳින් සඳ පායා තිබීම නිසා, බෝහෝ දුර දැකීමට හැකිවූ එම රාත්‍රියේ, ධවල ඇතා පෙනෙන්නට නොසිටීම අරුමයකි. ඔහු අළුයම තෙක් ධවල ඇතා සෙව්වේය. ගෝමර ඇතා , කන් කබරයා , හොඞ කෙටියා, ගම් පාළුවා යනාදී හස්ථීන් රැසක් දුටු නමුදු, ධවල ඇතා දකින්නට නොසිටියේය. ධවල ඇතා, පොළව විසින් ගිල ගත්තාක් මෙන් විය.
අවසානයේදී, ධවල ඇතා සෙවීම අත් හැර දැමූ දඩයක්කරු, ගම්මානය කරා ගියේය. ඔහුට පෙරදා රාත්‍රියේ කළ දඩයමද අමතක විය. එය දිවියෙක් විසින් භුක්ති විඳින ලදි.
ගම්මානයට ගිය දඩයම්කරු, කෙලින්ම ගියේ විදානේගේ පැළටය. විදානේ මහත් අභිරුචියෙන් දඩයම්කරුට සවන් දුන්නේය. ධවල ඇතා පිලිබඳ පුවත තව දුරටත් හිතළුවක් නොවේ. එය සත්‍යයකි.
පසුදින දඩයක්කරු , විදානේ සහ ගම්මුන් සත් දෙනෙකු, සතියකට අවශ්‍ය කළමනා ගෙන වන වැදුනි. ධවල හස්ථියාගේ දළ රැගෙන මිස, හිස් අතින් නොයෙමි යැයි ඔවුන් ගිවිස ගත්හ.
ඔවුන් කණ්ඩායම් කීපයකට බෙදී සැඟවී සිටියහ. එක් කන්ඩායමක් බෙරලියවැව ඉස්මත්තේද, තවත් කන්ඩායමක් වේවැල් ගාල අසලද, තව කන්ඩායමක් වැව් පිට්ටනිය අසල යනාදී වශයෙන් රැඳී සූදානම්ව සිටියහ. මුවන් , ගෝනුන් , ඌරන්, ඔවුන් ගේ දෙනෙත් ඉදිරියෙන් ගියද කිසිවෙකු තුවක්කුවක් පත්තු කලේ නැත. ඔවුන් ගේ අපේක්ෂාව වූයේ ධවල හස්ථියාය.
රැයවල් තුනක් ගත විය. ධවල ඇතාගේ හෝඩුවාවක්වත් නොමැත. නමුත් පිරිස පසුබට නොවූහ. ඔවුන් මාරුවෙන් මාරුවට රැකවල් දා ධවල ඇතා එනතෙක් බලා සිටියහ. එක් දිනක් රාත්රිඳයේ වේවැල් ගාල පොඩි කරන ශබ්දයක් ඇසුනි . දඩයක්කරුවා තුවක්කුව ගෙන වේවැල් ගාල දෙසට දිව ගියේය. පිරිසද ඔහු පසුපස දිවූහ. ඔවුන් දුටුවේ හොඞ කෙටියා නම් අලියාය.
සත් වන දිනය වන විට විදානේ සහ දඩයක්කරුවා හැරුණු කොට අනෙක් ගැමියන් ආපසු ගමට යා යුතු බව කීහ. එහෙත් විදානේ තව තෙදිනක් ඔවුන්ව රඳවා ගත්තේය. එහෙත් එම තෙදින අවසන් වන විට පිරිසෙන් හතර දෙනෙක් විදානේගේ නෝක්කඩු මධ්‍යයේ ගමට ගියෝය. ඉතිරි තිදෙනා පසුදින උදයේ අතුරුදහන්වී සිටි අතර ඔවුන් තම බඩු බාහිරාදියද අත් හැර දමා පළා ගොස් තිබුණි.
අවසානයේදී ඉතිරි වූයේ දඩයක්කරුවා සහ විදානේ පමණි. වනගත ජීවිතය නොපුරුදු විදානේ කෙරෙන් දිස් වූයේ විඩාබර පෙනුමකි. එහෙත් ඔහුගේ උනන්දුවේ අඩුවක් නම් නොවීය.
ඔවුන් තවත් සතියක් ධවල ඇතා සොයමින් වනයේ කරක් ගැසූහ. එහෙත් ඔවුන් ගේ වෑයම නිරර්ථක විය. බලාපොරොත්තු සුන් වූ විදානේ ගසක් මුල අළසව වැතිර සිටියේය. ඔහුට කැලෑ උණ සෑදී තිබේ. විදානේ වරින් වර වෙව්ලුවේය. ඔහු දෙදිනකින් ආහාරයක් ගත්තේ නැත. අවසන් වරට ආහාරයට ගත් පුළුස්සන ලද අල ගෙඩියෙන් කොටහක් ඔහු වමනය කලේය. දඩයක්කරුවා විදානේ රැගෙන ගම්මානයට යාමට තැත් කලද විදානේ එයට එක හෙලා විරුද්ධ විය. කෙසේ හෝ තව දින කීපයක් රැඳී ධවල ඇතා සොයාගත යුතුයි විදානේ තර්ක කලේ දඩයක්කරුවා නිහඞ කරවමිනි.
එදින රාත්‍රියේ විදානේට තවත් අසාධ්‍ය විය. ඔහු ගිණිමැලය අසළ වැතිරී සිටියේය. උණ රෝගය නිසා විදානේගේ ශරීරය ගැස්සුණි. ඔහුට උසුලා ගත නොහැකි දිය තිබහක් වරින් වර දැනුනු හෙයින්, ලබු කැට වල තිබූ වතුර අහවර වන තෙක් පානය කළේය. ඔහුට තවත් දිය අවශ්‍ය විය. දිය අහවර වීම නිසා, දඩයක්කරුවා හිස් ලබු කැට ගෙන වැවට ගියේය. ඒ සමගම ශීත සුලං සමග පොද වැස්සක් ආරම්භ විය. ශීත නිසා විදානේ ගිණිමැලයට තවත් කිට්ටු වූයේය.
දිය ගෙන ඒමට වැවට ගිය දඩයක්කරුවා තවමත් නොමැත. ගිණිමැලය නිවී යාමට ආසන්න නිසා එයට දර කොටයක් දැමිය යුතුය. එහෙත් දර කොටය එසවීමට පමණක් නොව, නැගිටීමට පවා විදානේට ශරීර ශක්තියක් දැන් නැත. ඔහු අසරණව නිවී යාමට ආසන්න ගිණිමැලය දෙස බලා සිටියේය.
තමා වැතිරී සිටින තණ බිස්ස දෙදරුම් කන බව විදානේට හැඟී ගියේය. ඔහු අසීරුවෙන් ඇස් ඇරියේය. විදානේට තම දෙනෙත් අදහා ගත නොහැකි විය. ඔහුගේ දෙපා අසලින් ධවල හස්ථිරාජයා ගමන් කරමින් සිටියේය. උගේ රන් පැහැති දෙදළ දිලිසුනේය.
විදානේ තුවක්කුව අතට ගැනීමට තැත් කල නමුත්, ශරීර ශක්තියෙන් දුර්වලව ගිය ඔහුට එය කළ නොහැකි කාර්යයක් විය. විදානේ මුලු වැර යොදා දඩයක්කාරයාට කෑ ගෑසූ නමුත්, ඔහුගේ උගුරින් පිට වූයේ දුබල හඞකි. ඔහුට කළ හැකි වූයේ තමන් ගේ දෑස් ඉදිරියෙන් තේජාන්විතව ගමන් කරන ධවල ඇතා දෙස බලා සිටීම පමණි.
දඩයක්කාරයා දිය රැගෙන එන විට විදානේ අසිහියෙන් පොළව පහුරුගාමින් සිටියේය. වහාම විදානේව කරට ගත් දඩයක්කාරයා ගම්මානය කරා යාම ඇරඹීය. විදානේ දුබල අත් වලින් දඩයක්කරුගේ උරපතු වලට පහර දෙමින් ධවල ඇතා පසුපස හඹා යා යුතු බව නොකඩවා කීවේය. එහෙත් දඩයක්කරුවා විදානේගේ කීම ගණනකටවත් ගත්තේ නැත.
ඒ අඳුරු රාත්රිමයේ ගල් මුල් වල හැපෙමින් විදානේව කරගසාගත් දඩයක්කරුවාට ගම්මානයට ඒමට බොහෝ වේලා ගත විය. වැස්ස නිසා ඔවුන් තෙත බරිත වූහ. වෙහෙස නිසා දඩයක්කරුවාගේ ගමන සෙමෙන් සිදු වූවද ඔහු විදානේව කරින් බිම තිබ්බේ නැත. ඒ අතර විදානේ හුස්ම ගත්තේ ඉතා සෙමෙනි. ඔහුගේ දැඟලීම ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගියේය.
අළුයමට ආසන්න වෙත්ම, දඩයක්කරුවාට ගම්මානයට ළඟා වීමට හැකි විය. ගම්මානයට පය ගැසූ පැයේදීම, එකවරම ගැස්මකට ලක් වූ විදානේ ගේ සිරුර, නිසල විය. දඩයක්කරුවා දිගටම ගමන් කළේය. ඔහුට විදානේගේ සිරුරේ උණුසුම අඩුවී යනවා දැණුනි. එහෙත් ඔහු විදානේගේ සිරුර බිම තැබුවේ නැත. විදානේගේ සීතල සිරුර කර තබාගත් දඩයක්කරුවා ගමේ වෙදරාළගේ පැල් කොටය වෙත ගියේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
වෙනස්ම විදියේ කතාවක්. ස්පිට්ල්ගේ කතා මතක් වුණා. භාෂාව හරිම අපූරුයි.
ReplyDeleteඇත්තටම මටත් පළමුවරට මේ කතාව කියවද්දී දැනුනේ ස්පිට්ල් ගේ මෝස්තරය වගේ කියලයි.
Deleteඅපූරු කතාවක්...සුදු වැද්දා කතාව තමා මතක් වුනේ....
ReplyDeleteමේ දඩයක්කාරයො දන්න ඉලව්ව, බෙරලිය වැවට නෙමේ දියවන්නාවට ගියානම් ධවල හස්තියො රොත්තක්ම එකපාරම අල්ලගන්න තිබුනා.. හැබැයි උන්ගේ දළනම් කාඩ්බෝර්ඩ් දළ.. පාටත් නෑ, ඉරිත් නෑ...
නොදන්න දෙයක් දැනගන්න අහන්නේ, කලේය කියද්දි මුර්තද ලයන්න යොදන්නෙ නැද්ද...
ගැමියන් රංචු වශයෙන් එකතුවෙලා ඔය කියන වැවට නාන්නත් යනවනම්, කැලේ නිතරම කරක්ගහන දඩයක්කාරයෙකුත් ගමේ ඉන්නවනම්, අර ඉතිරිය හොර සැමියා එක්ක ලෝකාස්වාද රතියේ යෙදෙන්න ඔය කියන වැව ලඟ ගහක් යට තෝරා ගැනීම ටිකක් විතර අස්වාභාවික නැද්ද ? ඒක නිකන් කතාවට XX කෑල්ලක් දාන්න ඕනා හින්දා ඔබ්බපු කොටසක් වගෙයි මට පේන්නෙ.
Deleteඇගයීම ගැන කතුවරයා වෙනුවෙන් ස්තුතියි.
Deleteදියවන්නාව පැත්ත බලාගෙන බත්කන්නවත් මමනම් කැමති නැහැ. ඔක්කොම එකයි.
අර වචනය මූර්ධජ යනුවෙන් නිවැරදි විය යුතුයි. උඩු තල්ලෙන් උපදින = මූර්ධජ. සමාවන්න මට මෙතනදී මේ කතාවේ භාෂාව හෝ අක්‍ෂර වින්‍යාසය සකස් කරන්න අයිතියක් නැහැ. මා කළේ කතාව එලෙසින්ම පළ කිරීම පමණයි.
මා නුවරකලාවියේ සේවය කරද්දී බොහෝවිට අසා තිබෙනවා අනියම් පෙම්වතුන් මුණගැසෙන එක තැනක් තමයි වැව් තාවුල්ල කියලා. වැවට යාම කවුරුවත් එපමණ සැක කරන්නේ නැහැ. කතුවරයා මේ ශෘංගාරාත්මක කොටස එකතුකළේ, සමහරවිට කතාවට කිසියම් උද්දීපනයක් ලබාදීම සඳහා වෙන්න ඇති. නිශ්චිත මතයක් කියන්න මට අපහසුයි.
නෑ නෑ මම වැරැද්දක් හෙව්වා නෙමේ.. මට සැකයක් තිබුන තැනක් නිවැරැදි කරගන්න හැදුවා විතරයි. මෙත්නදි මම කතුවරයා හරි කියන මතයේ පිහිටලා තමා ඒ ප්‍රශ්නේ ඇහුවේ..
Deleteඑක හුස්මට කියෙව්වා..එල ද බ්‍රා.
ReplyDeleteකතුවරයා වෙනුවෙන් ස්තුතියි මෙන්ඩා.
Deleteරස වින්දෙමි...
ReplyDeleteස්තුතියි
Deleteකතාව හොදයි. ඒත් මොකක්ද අඩුවක් තියෙනවා මට තේරෙන්නෑ..
ReplyDeleteකතාවේ මුකුත් නෑ.. විජේ මාලනීගේ සෝ එකක් බැලුවා වගේ.. රහයි.. එච්චරයි..
Deleteසිද්ධි මාලාවේ පෙළගැස්ම නැවත සැකසීමක් කළානම් හොඳයි කියා මටත් හිතෙනවා දේශා.
Deleteඇගයීම ගැන, කතුවරයා වෙනුවෙන් ස්තුතියි.
මං මැරුනෙ නෑ බොලව්... මේ පනගහල ඉන්නේ...
ReplyDeleteකථාව අගෙයි රුවන් - බැද්දේගම මතක් උනා
ජ ය වේ වා !!!!
හරි හරි ඉ්න්නේ අඹුව සමග නිට්ටඹුවේ නේ..
Deleteඅඹුව නැතිව
Deleteදේශා පරිස්සම් වෙයන්. CJ කියන්නේ Chief Justice
Deleteමේක දෘශ්‍ය මායාවන් වගෙ එකක් අරමුණු කරල ලියලද මන්දා ? කොහොම වුනත් ලියල තියන විදිහ නිසා කතාව නම් රසවත්.
ReplyDeleteඅද්භූත රසය ඇති කථා කවදත් ජනප්‍රියයි නේද? මා හිතන්නේ කතුවරයා අද්භූත රසය ඉස්මතු කරන කථාවක් අපට දී ඇති බවයි.
Deleteසෙවූ කොට ළඟ නොමැත, නොසෙයු කල ලඟම ඇත.
ReplyDeleteමිනිස්සු ළඟ ඉන්න අලියට වඩා හැමදාමත් දවල හස්තියෝ සොයන්න ගිහින් අතරමන් වෙනවා,
"අචින්ති තම්පි භවති..චින්ති තම්පි විනස්සති.." නොවේද මේ කතාවෙන් කියවෙන්න.
ඇත්තටම මේ කතාවේ යම් ව්‍යංගාර්ථයක් තිබෙනවා. මිනිසා තමන්ගේ කාම තන්හා, භව තන්හා, විභව තන්හා, සදාතනිකව පවත්වාගෙන යමින් එහිම ගැලී දුකට සහ විනාශයට පත්වන බවයි කතුවරයා කියන්නට ඇත්තේ.
Deleteමේ කතාවේ සොමියා කියන අර්තය ගන්න තිබුනා.. මුලින්ම අලියව දෙන්නෙක් දකින කොටස නැත්නම්.. ඒකෙන් කතාවේ වටිනාකම සම්පූර්ණයෙන් නැති වෙනවා.. රති කෙලියෙන් පසුව දෙන්නා එහාට මෙහාට වෙලා.. එක්කෙනෙක් අලියව දැක්කා නම්.. මේ කතාවේ බොහෝ දෙනෙක් මතු කරන, යටිහිත ගැන කතාව අපූරුවට එලි දක්වන්න තිබුනා.. මොකෝ අනිත් සෑම තැනකම අලියව දකින්නේ තනියෙන්.. මිනිස්සු හොල්මන් දකින්නේ තනියම නේ.. කවදාවත් දෙන්නෙක් එක්ක දැකලා නෑ.. එහෙම ගත්තා නම්, මේ කතාවේ දාර්ශනික පැත්තක් ගන්න තිබුනා.. ඒත් කතාවෙ මුලදිම ඒ අගනා අවස්ථාව අහිමි කර ගන්නවා..
Deleteබොහොම හොඳයි කෙටියෙන් හෝ මෙවැනි විචාරයක් කිරීම. වෛද්‍ය ජයතුංග මේ අඩවිය නරඹන නිසා මෙය කියවනු ඇති.
Deleteනවගත්තෙගමයන්ගේ කතාවක් වගෙයි කියල මොහොතකට හිතුණා.හැබැයි හස්ථියා කියන එක වැරදියි නේද?හස්තියා විය යුතුයි.
ReplyDeleteහොඳ කතාවක් ලෙස අගය කරන්න පුළුවන්.
Deleteමා මෙම කතාව ඉදිරිපත් කරන්නා ලෙස ක්‍රියා කළා පමණයි. වචනයක්වත් වෙනස් කරන්න ගියේ නැහැ. හස්තියා තමයි හරි.
ම්ම්ම්...ලිපිය කියෙව්වෙ නැහැ විචාරක තුමණි .....
ReplyDeleteඔබේ N ' එලිය සුහද හමුව ආසාවෙන් කියවූවා.....
අද මෙහෙම දෙයක් දැක්ක....
https://www.facebook.com/video.php?v=1559699807582142&set=vb.100006264138259&type=2&theater
ස්තුතියි කෙන්ජි. මේ ලින්ක් එක ඔස්සේ ගොස් මා එහි තිබුණු වීඩියෝව නැරඹුවා. එය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශයක තිබෙන/තිබුණු කඳවුරක සිටින සෙසු නිළයන්ට රිසිසේ විනෝද වන්නට ලබාදී තිබුණ අවස්ථාවක් බව පෙනෙනවා.
Deleteහැබැයි, මේ වීඩියෝව පමණක් නොව, ඔහුගේ මූණු පොතේ පිටුවේ දමා තිබෙන පින්තූරත්, හමුදා සේවයේ යේදී සිටින්නෙකුට, හමුදාවෙන් නිසි අවසරයක් නොමැතිව ප්‍රසිද්ධ කරන්න, හමුදා නීතිය යටතේ අවසර නැහැ.
ගහමු පැත්සොමක් එම්පී එකට..
Deleteඒකනම් මගෙන් කවදාවත් කෙරෙන්නේ නැහැ. කරනවානම් කෙලින්ම පියවරක් ගැනීම හැර.
Deleteලස්සන කතාවක්... මම කියෙව්ව විදියට, අපි හැමෝම ජීවිතේ එක කාලෙක මේ ධවල හස්තියා හොයාගෙන යනවා... සමහරු ආපහු ගමට යනවා... තව සමහරු විදානේ වගේ මැරිලා යනවා...
ReplyDeleteඔව් මේ කතාවෙන් පෙන්වනවා අසීමිත තන්හාව විනාශයට මුල බව.
Deleteඅපූරු කතාවක්.. භාෂා විලාසයට තමයි හුඟක්ම හිත ගියේ..
ReplyDeleteගහක් ගලක් වගේ හිටපු විදානේ !!!
ReplyDeleteනිට්ටඹු යනවා කිය කිය යද්දි මං හිතුවා ඔහොම දෙයක් කරගනී කියලා !! ඒත් නිට්ටඹුවෙ කොයින්දෑ අලි ??
විදානේ යා හොර ගමනක් යන්න ගිහින් ඔය කරගෙන තියෙන්නේ වැඩක්..
Delete@ තුශානි. මේ කතාවේ කිසියම් අපූර්වත්වයක් ඇති නිසාමයි පලකරන්න හිතුවේ.
Delete@ පත්තරේ. උඹ ඉවාන්ගෙන් කනවා මදිවාටද විදානේගෙනුත් කන්න හදන්නේ?
@ විභීෂණ. අමතක කරන්න එපා CJ කියන්නේ විදානේගේ මුල අකුරු නෙවෙයි. Chief Justice කියන එකයි.
අති විශිෂ්ටයි විචාරක සර්..
ReplyDeleteබොහොම ආසාවෙන් කියෝගෙන යන්න පුලුවන් කෙටි කතාවක්...
කතුවරයා වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි. ඇත්තටම අපූරු කතාවක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅඩුව තමයි කතුවරයා කුමන අදහසකින් ලිව්වද කියන එක තේරෙන්නෙ නැති එක. ඇතා ඇත්ත එකෙක්ද? අද්භූතද? ඉමැජිනේශන් හෝ දෘශ්‍ය මායාවන්එකක්ද? ලස්සනට ලියල anti-climax විදිහට ඉවරවුන කතාවක්.
ReplyDeleteඒක නෙමේ ඔය කොටන තුවක්කුවකින්ද ඇතා මරා ගන්න හැදුවෙ? ඉස්සරම කාලෙ සුදු දඩයක්කරුවන්ගෙ එලිෆන්ට් ගන් ( with even 2,000-grain projectiles) ඒවත් කොටන විදිහට තිබුන එක ඇත්ත. ඒත් ඔය කියන ගමේ කොටන තුවක්කුවකින් අලි දඩයමේ යයිද? (කන් ගැට්ටෙ නිලය කොහොම වුනත්)
මා කනගාටු වෙනවා කතුවරයා වෙනුවෙන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට නොහැකිවීම ගැන. ඇත්තටම ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු දියයුත්තේ කතුවරයායි.
ReplyDeleteදන්නා දේවල් එකක් තියනවා. දැනට අවුරුදු 100 කට පමණ එහා පැත්තේ තිබුණ කොටන තුවක්කුවකින් අලි වෙඩි තියන්න පුළුවන්. අපේ රටේ අවුරුදු 50 කට එහාපැත්තෙ නිපදවපු කොටන තුවක්කුවකින් අලියෙක් මරාගන්න පුළුවන් නියම තැනට ඉලක්ක කළොත්. grain 2000 = 129.59 grams නමුත් අපේ පැරැන්නෝ පෙලට්ස් වශයෙන් දැම්මේ ලෝහ කෑලි කපලා. දැනට අවුරුදු 45 කට පමණ පෙර මා දැක තිබෙනවා ගැල්වනයිස් බාල්දිවල කොක්ක කෑලි කපලා දානවා.
කතාව නම් කියල වැඩක් නෑ... සුදු වද්දා පොත් මතක් වුණා...
ReplyDeleteබොහෝ දෙනෙක් කියා තිබුනා සුදු වැද්දා කතාව ඒ කියන්නේ ස්පිට්ල් ශෛලිය දැක්කා කියලා.
Delete