හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 November 2014

ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද.......................? - Do you want gifts from Germany?

giftsCover
 දන්නවද වැඩක්. මට මගේ ජංගම දුරකතනයට ලැබුනානේ කෙටි පණිවිඩයක්, මට තෑග්ගක් ලැබෙන්ඩ තියනවා, වහාම ඇමතුමක් දෙන්ඩ කියලා. පණිවිඩේ ආව නොම්මරේ මුලට තියෙන්නේ 0037, හොයලා බැලින්නං, ඒ නොම්මරේ අයිති ජර්මනියට.  හප්පොච්චියේ.......................අපේ හත්මුතු පරම්පරාවේ එකෙකුටවත් ආයෙ පිටරටින් තෑග්ගක් තියා, කඩල ගොට්ටක් වත් හම්බවෙලා තියන එකක්යැ. පණිවිඩේ ආවේ රෑ වෙලා. අම්මපා දවාලක නම් එවෙලේම මම යනවා ජර්මනියට. (රෑට පාර හොයාගන්ඩ අමාරුයිනේ පිට රටකට යන්ඩ) දැන් ඉතිං මොකෑ කරන්නේ. ආයෙපාරක් කියවලා බැලුවා පණිවිඩේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. 

   Sri Lanka Mobitel Urgent please call us immediately to get your gift 0037122857005 free calls

   පොහ්..........අම්මපා මට මගේ ජංගම දුරකතන රාජයා අල්ලලා ගිලින්ඩ හිතුනා, තන්තෝසේ බැරිකමට.  අම්මෝ...............පවුලේ අයටවත් කියන්ඩ හොඳ නෑ මේ වැදිච්ච චෑන්ස් එක. කිව්වොත් උනුත් ඉල්ලයි, 'අනේ මටත් කෑල්ලක් මටත් කෑල්ලක්' කියා කියා. මළ වදයක් තමයි වෙන්නේ. හරි හරි, ඔක්කොමලා නිදාගත්තට පස්සේ අර නොම්මරේට ඇමතුමක් දෙනවා. ම්.........එක්කෝ බාත්රූම් කාමරේට ගෙහුං, දොර වහගෙන, හොඳට ඈඳිගෙන, කෝල් එකක් දුන්නනම් නාකද? හයියෝ.......මගේ යකා හිතේ කම්මල වගේ. හුටා.......නෑ...නෑ... මගේ හිත යකාගේ කම්මල වගේ.

  ඔන්න ඔහොම ඉතිං, 'බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ..........' කියලා, හිතෙන් කියමින් ඉන්න වෙලාවේ.........., පැන්නනේ එළියට....... මොකාද?...... මොකාද ඉතිං මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයා තමා, ආයෙ වෙන මොකෙක්ද. ඒකා කිව්වේ නැතෑ මෙන්න මෙහෙම.

  "එම්බල මුග්ධය, තට නොවැටහේද තා මේ අහුවෙන්නට යන්නේ, ලෝක බොරුවකට බව? කොහෙද අම්බරුවෝ ජර්මනියේ මොබිටෙල් එකක් තියෙන්නේ? මොබිටෙල් එකෙන් පණිවිඩයක් එනවානම් නොම්මරේ 071 එකක් වෙන්න ඕනේ නේද? මොකක්හරි උප්පරවැට්ටියකින්, තට කෙළවන්නට කවුරුහරි අරඅඳින බව, තාගේ ඔය ........ක් තරම් මොළයට නොවැටහේද? වහාම මේ විප්‍රකාරය, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය වෙත වාර්තා කර කරුණු විමසනු"

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් ඉතිං හොඳම දේ, මගේ හිතේ ඉන්න ආමිකාරයා කියන දේ කොරන එක තමා. හරි, එවෙලේම යැව්වා ඊයක් මොබිටෙල් එකට. මගේ උපහාර පැකේජයේ විස්තර සහිතව, 'මෙන්න මෙහෙම මෙව්වා එකක් මට ඇවිත් තියනවාය. අම්මපා මේක ඔහෙලමද එව්වේ, මේකේ ඇත්ත නැත්ත කුමක්දැයි මට කියලා දෙනවා හොඳයි' කියලා.

   අනේ පහුවදාම දවල් මට කතාකොළේ නැතැයි, කර්ණ රසායන, මධුර මනෝහර, සුකොමළ, සුලලිත, ස්වරයකින් යුක්තවූ  ඉස්තිරියාවක්. 'ස.........................ර්, අපි මොබිටෙල් ආයතනයෙන්, අපිට සර්ගේ ඊ මේල් එක ලැබුණා, සර් බොහොම බුද්ධිමත්ව ක්‍රියා කරලා තියනවා, මේ වංචාව දැන් සෑහෙන කාලයක ඉඳලා සිදුවෙනවා, සර් ඔය කෝල් එකට උත්තර දුන්නා නම්, සර්ට මහා විශාල දුරකථන බිලක් වැටෙනවා. ඒ සල්ලි ඒ මිනිස්සු ගන්නවා, නමුත් අපිට සිදුවෙනවා, ඒ සල්ලි සර්ගෙන් අයකරගන්න. මාසෙකට මෙවැනි සිදුවීම් දහයක් විතර වාර්තා වෙනවා. නමුත් සර් වගේ පැමිණිලි කරන්නේ බොහොම ටික දෙනයි. මේ වගේ අංක වලින්, අපේ ජාලයට ඇමතුම් දීම අපි බ්ලොක් කරනවා, නමුත් අලුත් අංක හදාගෙන දිගටම වැඩේ කරනවා. බොහොම කණගාටුයි සර් අපහසුතාවයකට පත්වුණා නම්. 

   අප්පොච්චිගෙ පප්පේ.................ගිරහයෙක් මාරුවුණා වගේ වැඩක් නේද මට වෙලා තියෙන්නේ? ඔයින් ගියා මදෑ. අම්මප මේ මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයාට පින් දෙන්න වටිනවා.

   අපි 21 වැනි සියවසේ ජීවත් වුණත්, තවමත් මේ වගේ ජරා සත්තු මේ සමාජයේ ඉන්නවා. දුරදිග නොබලා, තන්හාව පාලනය කරගන්නට නොහැකිව, මෙවැනි වංචා වලට අහුවෙන කොපමණ මිනිසුන් ගණනක්, අපේ සමාජය තුළ ඇතිද? මෙවැනි දෑ, ජනමාධ්‍ය තුළින්, කොපමණ පෙන්වා දුන්නත්, තවමත් ඒවාට අහුවන සංඛ්‍යාවෙහි, අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැති තරම්.

   ඔබට මොකද මේ ගැන හිතෙන්නේ?


my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 14 වැනි දින 0939 පැය  

66 comments :

  1. හම්මේ ලංකාවේ දැන්,දැන් ඔයවගේ වැඩත් වෙනවද ? .බොහෝ අය සල්ලි දිනුමක් කියද්දි ඕනම කුණු ගොඩකට රැවටෙනවා....කියෙන් කී දෙනාද රැවටිලිකාරයන්ගෙන් බේරෙන්නේ...විචාරක මාමා කරපු වැඩේ නම් අගේ කරන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොනවා හරි දේවල් වලින් අපිත් අන්තර්ජාතික මට්ටමේ ඉන්න ඕනේ නේ :e

      මේවාට අහුවන අය අනික් අයව දැනුවත් කරනවානම් මේ ප්‍රශ්න අඩුකරගන පුළුවන්.

      Delete
  2. ඕවා මොනද මචෝ.. බුකියේ ප්‍රසිද්දියේ මංකොල්ල කන්නේ.. කෝ අර කොඳු නාරටිය ඇද වෙච්චි දැරිවි. හොඳ ගානල් කඩා ගත්තනේ. බුකියටත් හැමදාම එනවා හායි හූයී හව් ආ යූ අයි ලව් යූ කියලා මැසෙජ්. මම කරන්නේ අමු කුණුහබ්බෙන් රිප්ලයි කරන එක. එතනින් ගේම ඉවරයි. නොදන්න ඊ මේල් එකක්වත් ක්ලික් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මමනම් මූණුපොත පාවිච්චි කරන්නේ මම පලකරන ලිපි ගැන පාඨකයන් දැනුවත් කරන්න පමණයි. මට වෙලාවකට හිතෙනවා මූණුපොත හරියට නිරුවත් වෙරලක් වගේ කියලා. මගේ ජනප්‍රිය වැඩ සඳහා වෙනමම ඊ මේල් ඇඩ්‍රස් එකක් සහ වැදගත් පෞද්ගලික කටයුතු සඳහා වෙනමම ඊ මේල් ඇඩ්‍රස් එකකුත් පාවිච්චි කරනවා, ආරක්‍ෂාව ගැන හිතා බලලා.

      Delete
    2. @මාතලන් අයියන්ඩි
      යශෝදා නංගිගේ සැත්කමට මගේ පැක්ට්‍රිස් වලින් ලොකු මුදලක් එකතු කරලා දුන්නා. සෑමා පෞද්ගලිකව ගෙනත් දුන්න ටිකට් පොත් ටික ගන්න මම සදුව මගට යැව්වා.. සල්ලි දාන්ක පරක්කු වුන නිසා සිරා මාත් එක්ක අමනාපත් වුනා එත් හැම රැපියලක්ම මම බැකුවට දැම්මා ඒ රිසිට් මම ලග තියනවා.. ඒ කියන්නේ මම වංචාවකට අහුවෙලාද?

      Delete
  3. අපොයි විචෝ.. ඕවා සරල දේවල්.. කොයි තරං බයානක කැපිලි තියේද ආදරෙන්ම දෙන.. කෝම උනත් පෙරේත කම අතෑරල ඊමේල් එකක් යවල සුකොමල හඩකින් උත්තරේ අරගෙන නොදන්න අයටත් දැනගන්න දුන්නට තුති..

    ReplyDelete
    Replies
    1. ඕව විතරක් නෙවී විචාරක තුමා බුකියට ඊමේල් ගිණුමට කොයි තරං ඔය වගේ මැසෙජ් එනවද...;
      මම නං ඊමේල් ස්පෑම් කරල දානව බුකියෙ බ්ලොක් කරනව ඒත් තාම ජංගමේට අවුලක් නෑ...
      පහුගිය දවසක හරි ත් ඔන්න ඔහොම සීන් එකක් ගැන පොස්ට් එකක් දාල තිබ්බ මතකයි

      Delete
    2. මොකද යකෝ මගෙ කමෙන්ටුවට වුනේ ඒක රිප්ලයි කමෙන්ටුවක් විදියට වැටිල තියෙන්නෙ විචාරක තුමා විහිළු කොරනවද මාත් එක්ක ඈ

      Delete
    3. උම මාව දැක්කම ඇමිණෙන්නම බලන නිසා බ්ලොගර් පවා ඒක යුසර් පෙන්ඩ්ලි කරල තියෙන්නෙ බොට.. හැක්..

      Delete
    4. වෙන්නැති වෙන්නැති
      හිහි..................
      ඇමිණෙන්නෙ වෙන කොරන්ට දෙයක් නැතිවයි දේසක තුමෝ
      හෙක් හෙක්

      Delete
    5. @ දේශා. මටනම් මුන්ව පෙනෙන්නේ බණකතා වල කියන නිරිසත්තු වගේ. අම්මපා එකෙක් අහුවුනොත් මම එකා ඉන්න අපායෙන් ගොඩගන්නවා බෙල්ලට ලනුවක් දාලා.

      @ මෙන්ඩා. ඇමිනෙන්න කියන තැන ඇ යන්න නේද තියෙන්නේ. හරි හරි එහෙනම් උඹලා දෙන්න ඇමිනියල්ලා ඇතිවෙනකල්. :e

      Delete
    6. හැක්. මෙන්ඩ ගේ මල්ලි නේ ඔය ඇවිත් ඉන්නේ..

      Delete
  4. මටත් නංගියෙක් කෝල් කරලා කිව්වා මට මුදලක් ලැබෙන්න තියනවා ඒක ගන්න 30000/= බැංකුවට දාලා එයාට කොල් එකක් දෙන්න කියලා.මම කිව්වා හැදුනුම්පත අරගෙන 18 කනුවට එන්න මම එයාට ගානක් දෙන්නම් කියලා..

    ReplyDelete
    Replies
    1. ආවානම් ඉතින් ඒ කෙල්ලට ආපහු යන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකකින් තමයි නේද? :e

      Delete
    2. ඕ යේස් . නවතින්න වෙන්නේ කාසල් එකේ …

      නිවුන්නු !!!

      Delete
    3. @පත්තර මල්ලි
      $^%&*((&%#@%$^&*
      ඉන්න තැනකින් කියන්න දන්නේ නැද්ද? අපි පොලිසියටත් කිව්වා..අතුරැදහන් වි ඇත අවසන් වරට දුටු විට කිසිවක් ඇද සිටියෙ නැත කියලා.

      Delete
    4. හුටා......!!! උබත් අන්තරස්දහන් වෙනකොට උපන් අදුමෙන්ද හිටියේ...???

      Delete
    5. අනේ බොල පත්තරයෝ. මම හිතුවේ උඹ අඟහරු ලෝකෙට ගිහින් කියලා.

      හැබෑටම මොකද නිහඬ වුණේ?

      Delete
  5. ඇයි එක වතාවක් දිනුමක් කියලා සල්ලි දාන්න කියලා සල්ලි කඩා ගන්න වැඩක් උනේ. :)

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ දිගටම යන එකක්. මෙවැනි සිද්ධි වලට මුහුණ දෙන අය, ඒවාට අහුනොවී, පුළුවන් තරම් අනික් අයව දැනුවත් කරනවානම්, මේ සෙල්ලම වැඩිකල් පවතින්නේ නැහැ.

      Delete
  6. ඔන්න ඕකනේ ආමි කාරයොත් එක්ක බැරි..

    ReplyDelete
    Replies
    1. හෑ..................මීට කලින් නම් ඔසාමා කෙනෙක් මේ පැත්තේ ඇවිත් නැහැ. අන්න ඔසාමාට ගැහුව ආමි කාරයත් අනවශ්‍ය විදිහට ප්‍රචාරයක් දීලා තමන් ගැනම.

      Delete
  7. දැනුවත් කිරීමට ස්තූතියි විචාරකයෝ.................... කොහොමත් ඔය අැතුළේ ඉන්න අාමිකාරයා තාම අැක්ටිව් නේද????

    ReplyDelete
    Replies
    1. ඇතුලේ ඉන්න ආමිකාරයා ඇක්ටිව් අර පොඩි ආමිකාරයා......... ඔව් යකෝ එකා තමා. ඌ සම්පූර්නෙන්ම ඩිසේබල්. දුකේ බැරුවා. :e

      Delete
    2. //ඌ සම්පූර්නෙන්ම ඩිසේබල්. // හයියෝ... තල්ලු ස්ටාර්ට් වත් නැද්ද ??? :e

      Delete
  8. අපරාදෙ විචාරක නොමිලේ ජරමනියට යන්න තියෙන චාන්ස් එක මිස් කොරගෙනනෙ. :D

    ලංකාවෙ දුරකථන සමාගමක් ඒ ගොල්ලංගෙ සේවාව වෙනුවෙන් අපෙන් අයකරගන්න මුදලක් වෙන කෙනෙක් ගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. රොමැන්ටික් රෝමින්

      Delete
    2. @ ප්‍රසන්න. මමත් දන්නේ නැහැ ඔය සල්ලි කොහොමද වෙන එකෙක් අතට යන්නේ කියලා. මොනවහරි තාක්ෂණික වැඩක් කරලා ඇති.

      @ දේශා. රෝම සහිතවද රහිතවද මං දන්නෑ. වැඩේ හරිම හිරිකිතයි.

      Delete
    3. මෙන්න තාක්සොනේ.
      http://en.wikipedia.org/wiki/Mobile_donating

      සිරස සුපර් ස්ටාර් වගේ ඒවා තොපි ගොනාට අන්දවලා මුදල් ගැරුවෙත් ඔය ක්‍රමයේ පිහිටෙන්ම තමයි.

      Delete
    4. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.

      Delete
  9. අප්පට සිලි කිව්වලු. දැනුවත් කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහෙම ලියන්න හිතුවේ තවත් අය මේ උගුලට අහුවීමෙන් බේරගන්නයි.

      Delete
  10. හුදී ජන හිත සුව පිණිස අර මයියා උඩින් කියපු හරීගේ පෝස්ටුවට මම දැමූ කොමෙන්ටුව නැවතත් මෙහි පළ කරමි.. පුදුමෙ කියන්නේ හරීටත් ඒ දේම වෙලානේ.. හැබැයි හරි හාමිනේ අපේ මිතුරි තරම්ම වැඩේ චොර කරගෙන නෑ වගේ.. ජයශ්‍රී!

    මීට අවුරුදු තුන හතරකට කලින් ඔය සෙල්ලම පටං ගත්ත මුල් කාලේ අපේ 'මිතුරි'ට මොකෙක්ද කොම්‍යුනිකේශන් එකක හු@#$% කෝල් එකක් දීල මොබිටෙල් එකෙන් රී ලෝඩ් දාපු එකකට ලක්ශ 25ක් වටින ඇල්ටෝ කාර් එකක් ඇදිල කියල.. කලින් මැසේජ් එකකින් දැනුං දීල තිබුනා කිව්වලු.. ප්‍රතිචාරයක් දක්වපු නැති නිසාත් එදා හවස් වෙනකොට එක්ස්පයර් වෙන නිසා කතා කලේ කිව්වලු. රුපියල් තුන්දාස් හයසිය ගානක මුද්දර ගහල එදා වෙනකොට වෙන්කර ගත්තෙ නැත්නං කෙල වෙනව කිව්වලු.. එදා සෙනසුරාද දවසක්.. මන් උන්නෙ ගාල්ලේ.. මිතුරි කොළඹ ඉඳල කි.මි. දෙසීය ගානක් දුර.. අපේ මෝඩ මිතුරි කතා කරපු පලවෙනි වතාවෙම ඔක්කොම විස්තර දීල.. ගෙදර ඇඩ්‍රස් ටැලිපෝන් නොම්මර ඔක්කොමත් එක්ක.. මට හෙන වදේ මේක කියල.. කොච්චර කිව්වත් විස්වාස කරන්නෙත් නෑ.. 'ලොකු එකී' කරා වගේ අපේ මිතුරිත් මේක රට වටේටම කියල..දැන් හැමෝගෙන්ම මට බර බරේ මෙච්චර අවස්ථාවක් හම්බෙලත් ඒ ගැන කිසි උනන්දුවක් නෑ කියල. අපිට කොළඹ එන්න අමාරු (බැරි ) නිසා මූ කරන ක්‍රමේකුත් කියල දීලා. අදාල ගානට හරියන්න මොබිටෙල් කාඩ් අරන් ඒ වයේ තියෙන නොම්මර ටික ඌට කියන්න කිව්වලු.. එතකොට මිනිහ වැඩේ කරන්නං කියල.. විශ්වාස කරන්ඩ මට තිබ්බ කරදරේ හැටියට මං කීප සැරයක්ම කල්පනා කරා ඔය තුන්දාස් ගානට කෙළවුනාට කමක් නෑ මුන්ටම ඕක තේරුං ගන්ඩ අරින්ඩ ඔය කාඩ් කෙරුවාවට කැමති වෙලා ඒ විදියට කරන්න කියන්න.. ඒත් අපරාදෙනෙ..රුපියලක්වත් වංචාකාරයෙකුට දෙනව කියන්නේ.. මං මගෙ ඔය සම්භන්දයෙං දන්න යාලුවෙකුටත් කෝල් එකක් දීල හරියටම විස්තර දැනගෙන මිතුරිට කිව්ව ඒ කතා කරපු එකාට මට කෝල් කරන්න කියල.. අපරාදේ කියන්න බෑ මූ පණිවුඩේ කියනකොටම මිතුරිත් ලයින් එකේ ඉද්දිම කෝල් කොන්ෆරන්ස් වලින් මට කතා කලා. මං උගෙන් ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා.. මුළින්ම ඇහුවේ ඇල්ටො කාර් එකක් ලක්ශ 25ක් වෙන්නෙ කොහොමද කියල..ඒකට මූ මොකක්ද බහුබූත උත්තරයක් දුන්න. තව දෙක තුනක් අහනකොට මූ දැන ගත්ත මං ගල් ආඳෙක් මගෙන් වැඩේ වෙන්නේ නෑ කියල.. ඊට පස්සේ මූ එච්චර වෙලා කතා කරපු මල් ටෝන් එක වෙනස් කරල ලොකු සීන් දෙන්න ගත්තා.. මං මිතුරිට එහා පැත්තෙන් ෆෝන් එක තියන්න කියල උගේ වරිගේ විස්තරේ තාත්තගේ දණිහේ ඉඳන් කියල දුන්න.. මූත් මට බැනගෙන ආවට මූ අම්බානට බය උනා කියල මට තේරුනා.. පස්සෙ පස්සෙ මූ අපේ මිතුරිට කතා කරල කියනවලු ඌ ගැන පොලීසියට කියල තිබ්බොත් ගෙදර ඇඩ්‍රස් එක හොයාගෙන ඇවිත් ලමයි උස්සනව.. බෝම්බ ගහනව අරව මේව හෙන ගොඩක්.. මට තේරුනා මූ මේ බයට දොඩවන්නේ කියල.. මං ඒ පාර ඌට බොහොම හොඳින් කතා කරල දවසක් කිව්ව..මන් ඒක අමතක කරල ඉන්නේ.. උඹ හැබැයි ආයෙත් ඔය වගේ කෝල් දීල තිබුණොත්.. මං අනිවාර්යෙන්ම උඹව හොයාගෙන එනව පුතේ කියලා.. එදයින් පස්සෙනං කරදරයක් උනේ නෑ දෙයියනේ කියල.. මේ කතාවත් ලියුවෙ මුන්ගේ සිස්ටම් කට්ටියට දැන ගන්න.. දිග වැඩි උනාද මංදා.. මතක තියා ගන්න ඔය වගේ උන්ට මොනම වෙලාවකවත් ගෙවල් වල විස්තර දෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං....!!

      Delete
    2. බොහොම ස්තුතියි මේ දීර්ඝ විස්තරයට. මෙයින් පෙනෙනවානේ මේ වගේ ජරා වැඩ ලෝකේ පුරාම තියනවා කියලා. ඇත්තටම අනාගතේදී මේවා මීට වඩා සූක්ෂ්ම විදිහට අපිව ගිලගන්න එයි කියලා හිතෙනවා.

      Delete
    3. ඒ වුනාට අපරාදේ බං ලක්ෂ 25 ක ඇල්ටෝ කාර් එක

      Delete
  11. කට්ටිය දවසින් දවස අළුත් ක්‍රම හොයාගන්නවා මිනිස්සුන්ව අන්දන්න. බලන් යද්දි වැඩේ දැන් ජාත්‍යන්තර වශයෙන්නෙ යන්නේ. :c

    ReplyDelete
    Replies
    1. මේක වසංගත රෝගයක් වගේ පැතිරෙන එකක් කියලයි මටත් හිතෙන්නේ. විදුලි සංදේශ නියාමන කොමිසම මේ ගැන හොයා බලනවාද කියා මා දන්නේ නැහැ.

      Delete
  12. විචාරකතුමා...... මේ වැඩේ දියත් කරන්නේ ලංකාවේ එව්වොද...? නැත්නම් ජර්මනියත් සම්බන්ධද....? මට එන msg මං පැත්තකට කරා...... කීපයක් ආවා.....කොහෙන්ද දන්නේ නැ....ඔයා මේක නැවත දැම්මා එක හොදයි..... තව නොදන්නා ඇයට දැනගන්න....

    ReplyDelete
    Replies
    1. කොම්පියුටර් සෙල්ලං දන්න එවුන් ලෝකේ පුරාම ඉන්නවා ලංකාවෙත් ඉන්නවා. ඒ නිසා කවුද දන්නේ මේක ලංකාවේම එවුන් කට්ටියකගේ වැඩක්ද කියලා.

      මේවගේ දේවල් වෙනවා කියලා හැම දෙනාවම දැනුවත් කරන්න ඕනෙ කියලා හිතුන නිසා තමයි මේ ලිපිය ලිව්වේ.

      Delete
  13. චැහ්.. විචාරක තුමා මොනවද අප්පා කොෙර්... අපරාදේ.. මට උංගේ නම්ඉර් එකන ෙද්ින ෙක්ිා්

    ජ ය නවාේ වෙිාෙ !!!

    බබුද වු සරණථධධවයි !!!

    ReplyDelete
    Replies
    1. නිට්ටඹුවට සිග්නල් නැති නිසා වෙන්ටැ තැනිං තැන අකුරු මඤ්ඤං වෙලා තියෙන්නෙ.

      Delete
    2. විදානේටම හෝම්මන් එකේ අකුරු ගැන මොන කතාද.....

      Delete
    3. ප්‍රසන්න අයියා...
      අද හවසත් ගොඩකවෙල ගියා..
      ඒකයි මේ ..

      අඩෝ මාලුවේ ඊයේ මේ ටිකක් .. හැක් හැක්

      Delete
    4. @ විදානේ. මොකද අර අකුරු කොලොප්පන් වෙලා තියෙන්නේ? අම්මපා ප්‍රසන්න කිව්වා වගේ සිග්නල් හුටපටයක්ද? උන්ට ටෝක් එකක් දෙනවා? දුන්න ගමන් පටස් ගාලා අපේ බිලට ලොකු ගානක් වැටෙනවා. එක තප්පර 10 ක් කතාකලත් ඇති. නැත්නම් මම උන්ට කියලා දෙනවා උන්ගේ අම්මලාට ක්ලිනික් යන්ඩ සිද්දවෙන්න.

      Delete
  14. සල්ලි කඩා ගන්න නානාප්‍රකාර උප්පරවැට්ටි එනව ඉතින් කාලෙන් කාලෙට. විචාරකතුමා බොහොම බුද්ධිමත් ව ක්‍රියා කරල තියනව. අසමි දකිමි සොයමි ලියමි !!! :) අනෙක් අය දැනුවත් වෙනවා මෙවැනි සටහන් වලින්. ස්තුතියි !!

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන ඇත්තටම මෙන්න මේ වගේ වැඩ කරන එවුන්ට තමයි අර 'අවජාතක' කියන වචනේ හරියටම ගැලපෙන්නේ.

      Delete
  15. විස්තරේට නම් බොහොම ස්තුතියි විචාරක බොස්.

    මේ වැඩේ කාලෙක ඉඳන් සිද්දවෙන මහා අලුගුත්තේරු වැඩක්.

    ඔහෙලා වගේ අය මොලේ පාවිච්චි කරලා බේරුනාට ගොඩක් අය ඕකට අහුවෙලා නැති නාස්ති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ පරිගණක සහ ජංගම දුරකථන තාක්ෂණයෙන් කරන රැවටිලි වලට ලෝකේ පුරා කොච්චර මිනිසුන් ගණනක් එක දිනකට අහුවෙනවා ඇද්ද?

      අපේ විදුලි සංදේශ නියාමන කොමිසමට බැරිද දන්නේ නෑ මෙව්වට මැදිහත් වෙන්න.

      Delete
    2. ඒ ගොල්ලෝ මැදිහට් වෙන්නේ ඒවාට නෙමයි..

      ඒගොල්ලන්ට තියෙන රාජකාරිය ඇවිල්ල ආන්ද්දුවට විරුද්ධ වෙන චැනල් වල සිග්නල් බ්ලොක් කරන එක සහ ඒ වගේ චැනල් තහනම් කරන එක.

      Delete
  16. ඔය වැඩේ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අන්තර්ජාලයේ සමහර සේවාවන් ලබා ගැනීමේදී ඔවුන් අපේ දුරකතන අංකය ලබා ගැනීම. මාත් දෙපාරක් මට්ටු උනා.

    ReplyDelete
    Replies
    1. මමත් අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි වලට යනවා මා ලියන ලිපි වලට අවශ්‍ය කරුණු හොයන්න. ඒ වගේ අඩවි වලින් ඉල්ලනකොට දෙන්න මම වෙනමම ඊ මේල් ලිපිනයක් හදාගෙන ඉන්නවා. ඒ වගේමයි කවදාවත් දුරකථන අංකය දෙන්නේ නැහැ. දෙනවානම් දෙන්නේ ගෙදර තියන ටෙලිකොම් අංකය. ඒකට කෙටි පණිවිඩ එවන්න බැරි නිසා අනිවාර්යයෙන් දුරකථන අංකයක් දියයුතු අඩවි වලින් බේරිලා ඉන්නවා.

      Delete
  17. මට එකපාරක් ලංකාවේ උගන්නපු සර් කෙනෙක් ඊමේලයක් එව්වා සල්ලි වගයක් ගන්න උදව් කරන්න කියල. බලාගෙන ගියාම නයිජීරියාවේ ආධාර ව්‍යාපාරයක මිලියන් ගානක් හම්බ වෙනවලු. කොටසක් එයට දෙනවලු. මට පවුම් දාහක් දාන්නලු ලන්ඩන් බැංකුවකට. සර්ගේ ආචාර්ය උපාධියක් තියෙන විශ්ව විද්‍යාල කථිකාචාර්ය තුමෙකුත් හවුල්. මටත් දෙන්නම්ලු ගානක්. මන් කෙලින්ම බැහැ කිව්වා.පොරවල්ට දැන් මල පැනල. පස්සේ ආයි කතාකරල කිව කථිකාචාර්ය ගේ නංගි අහවල් රටේ ඉන්නවා. එයා සල්ලි එවයි. මට දාන්න කියල. නංගි මට කතා කලාම මන් කිව්වා. නංගි ඔයාගේ සල්ලි දාන්නම් නමුත් ඉන්ටපෝල් ඔයාගේ පස්සෙන් එයි. ඔයට සල්ලිත් නැති වෙයි. මේවා නයිජීරියන් කාරයෝ සල්ලි ගරා ගන්න කරන හොර වැඩ කියල. ඒ මනුස්සයට යන්තන් තේරුණා. මාස ගානකට පස්සේ අර සර් මට ස්තුතියක් එවල තිබුන බේරා ගත්තට.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් නිසා අන්තිමට නැති හිත් අමාරු ඇතිකරගෙන තමයි නවතින්නේ. මෙවැනි දේ ගැන විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි මගින් පුළුල් ප්‍රචාරයක් දියයුතුයි.

      ඔබේ මේ අදහස් දැක්වීමෙන් මේ ලිපියට තවත් වටිනා කරුණු එකතුවුණා. බොහොම ස්තුතියි.

      Delete
  18. තෑන්ක්. අපිවත් දැනුවත් කළාට. කියන්න බෑනේ. අපි කියලා නොරැවටෙන අය යැයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ සිදුවීම් වලින් සනාථ වන්නේ 'තණ්හාය ජායතී සෝකෝ' කියන බුදු වදනයි.

      Delete
  19. ලෝකේ හැම තැනම මේ ගේම් එක යනවා. මීට වඩා දරුණු වැඩ වෙනවා. මගේ ඕමාන් ඉන්න යාලුවෙකුට ඔයවගේ සුදු කෙල්ලො දෙන්නෙක්ගේ නමින් ඊ මේල්ස් ඇවිල්ලා. කෙල්ලො දෙන්නෙක් නිසා අර යකා නියමෙට ඇන්දිලා. මාස දෙකක විතර පනිවිඩ් වලින් සාකච්ඡා වලින් පස්සේ උන් දෙන්නා නිවාඩුවකට ඔමාන් එනවා කියලා සුමාන දෙකකට .අපේ පොරත් ඩබල් බෝනස් කියලා හිතාගෙන කාමර බුක් කරලා එක මගුලයි. පස්සේ මගේ යාලුවෙක් මට මේ බව දැන්නුවා. මම කිව්වා ඕක බොරුවක් අහුවෙන්න එපා කියලා. අන්තිමට අපේ පොරට කියලා දැන් හීත්‍රෝ එයාපෝට් එකේ ඉන්නේ බැංකුවේ මොකක්ද අප්සට් එකක් සල්ලි ගන්න විදිහක් නැහැ එකවුන්ට් එකකට පවුම් දාහක් දාන්න කියලා. මට එකෙක් කතාකරලා කිව්වා මෙන්න මූ සල්ලි දාන්න යන්නේ කියලා. මම අර පොරට කුණුහරුපෙන් බැනලා තමයි බේර ගත්තේ. හැබැයි කාමර බුක් කරන්න දීපු ඩිපොසිට්ස් ආපහු ගන්න බැරිවෙලා.

    ඔයිට දරුණු කේස් එකක් වුනා අපි දන්න මැදිවියේ සුද්දියෙකුට. ඉන්ටනෙට් එකේ මොකක්ද එහෙකින් අන්දවලා. ඒ මිනිහෙක් හැටියට ලව් සීන් එකක් දුර දිග ගිහින්. ඒ කතාව අහන්නත් පුදුමයි. ඒ තරම් කපටියි. ඒ සුද්දිගෙ සම්පූර්ණ සේවින්ග්ස් වලට විද්දා. බර ගානක්.

    ReplyDelete
    Replies
    1. අරුගේ කතාවලින් පෙනෙනවා මේ වසංගතේ ලෝකය පුරාම යන දෙයක් බව. අපි කොහොම කිව්වත් තන්හාව, ආසාව, අපේ හිත්වල තියනවා. අපි නොදැනුවත්වම ප්‍රශ්න වලට, උගුල් වලට, පනිනවා. ඒ මිනිස් සිතේ ස්වභාවයයි. මම මේ ප්‍රශ්නෙදි බේරුනාට මීට වඩා සූක්ෂ්මව ඉදිරිපත්වෙන කපටිකමකට අහුවෙන්න පුළුවන්.

      අපි ඉන්න ලෝකය මොනතරම් කපටිකම්, දුෂ්ඨකම් වලින් පිරිලද තියෙන්නේ?

      Delete
  20. 0037 යනු දැන් භාවිතයේ පවතින ජාත්‍යන්තර ඇමතුම් අංකයක් නොවේ.

    මෙය වර්ෂ 1990 තෙක් නැගෙනහිර ජර්මනිය සඳහා පැවති අංකයයි (බටහිර ජර්මනිය සඳහා පැවතියේ 0049 අංකයයි. මෙය දැන් එක්සත් ජර්මනිය සඳහා ඇති අංකයයි).

    නැගෙනහිර ජර්මනිය නමින් දැන් රටක් නොමැත. එම නිසා 0037 අංකය භාවිතයේ පවතින අංකයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ ඉතා වැදගත් දැනුවත් කිරීම ගැන.

      Delete
  21. මේක LNW එකේ යැව්වා. අවුලක් නැහැනේ.

    ReplyDelete
  22. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14512-do-you-want-gifts-from-germany

    ReplyDelete
    Replies
    1. අජිත් සහ මේ ලංකා නිව්ස් වෙබ් සයිට් එක කරන ගෲප් එකත් එකතුවෙලා මේ බ්ලොග්ස් වෙබ්සයිට්ස් තුලින් කියවන්න සලස්වන එකට මගේ ගෞරවය!! මේ එක්තරා දුරකට බ්ලොග්ස් ජනතාව තුලට ගෙනියන එක මාර්ගයක්. මම හිතන්නේ ප්‍රින්ට් මීඩියා එකට වඩා, වෙබ්ස් තුලින් මේ වැඩේ සමාජගත කරන්න පුළුවන්. මට හිතෙනවා මේක ධනාත්මක පියවරක්.

      Delete
    2. බොහොම ස්තුතියි අජිත්. ඔබ නියම විදිහට මෙය පළකර තිබෙනවා, උපුටාගැනීම සනාථ කරමින්. පහුගිය කාලයේ මගේ ලිපි උපුටාගත් සමහර අඩවි මගේ කතෘත්වය සනාථ කරන්නටවත් කාරුණික වුණේ නැහැ.

      ඇත්තටම මෙවැනි කරුණු හැකිතරම් සමාජය තුළ ප්‍රචලිත කිරීමෙන් මෙවැනි අකටයුතුකම් සඳහා මාර්ගය අහුරන්න අපට පුළුවන්.

      නැවතත් ඔබට ස්තුතියි.

      Delete
  23. ස්තුතියි මහත්වරුනි. අපි හැමෝම ලියන දේවල් හැකි තරම් අයට කියවීමට සැලැස්වීම තමා වෙන්න ඕන.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }